සිවුවන මඤ්ජෙට්ඨක වර්‍ග යි.
එහි නාමාවලිය:
මඤ්ජෙට්ඨ ය, පහස්සර ය, නාග ය, අලෝමා ය, කඤජිකදායිකා ය, විහාර ය, චතුරිත්‍ථි ය, අම්බ ය, පීත ය, උච්ඡු ය, වන්‍දන ය, රජ්ජුමාලා යී එයින් වර්‍ගය කියනු ලැබේ.
ස්ත්‍රී විමාන නිමි.
5. මහාරථ වර්‍ගය
5. 1.
858. දිව ඉදුහයෙන් යා යසසින් හා බබළමින් මනහර රුසිරෙන් සියලු දිගුන් බබුළුවමින් කවරෙක් මාගේ පා වඳී ද?
859. මම පෙරැ අත්බැව්හි දියෙහි උපන්නෙම් දියෙහි හැසිරෙන මැඬියෙක් වූයෙමි. ඔබ වහන්සේගේ ධර්‍මය අසද්දී ගොපල්ලෙක් (මා) මැරීය.
860. මොහොතක් සිත පැහැදුණු මාගේ ඍද්ධිය ද යසස ද බලනු මැනැවි. මාගේ අනුභාවය ද බලනු මැනැවි. මාගේ ශරීර වර්‍ණය හා පැතිරෙන ප්‍රභාව ද බලනු මැනැවි.
861. ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් ඔබවහන්සේගේ ධර්‍මය දිගු කලක් ඇසුවාහු ද ඔහු යම් තැනෙක ගොස් ශෝක නොකරත් ද, ඒ අචලස්ථානයට පැමිණියාහු ය.
මණ්ඩුක දේවපුත්ත විමාන යි.
5. 2.
862. බොහෝ කලක් නොරට විසූ දුර සිට සැපසේ පැමිණි පුරුෂයකු දැක නෑ මිතුරු සුහදයෝ ඒ පැමිණියහු (යම්සේ) සතුටින් පිළිගනිත් ද,
863. එසේම කළ පිනැති මෙලොවින් පරලොව ගිය පුඟුලා ද පැමිණි ප්‍රිය නෑයකු මෙන් පුණ්‍යයෝ තුමූ පිළිගනිත්.
864. සුපවිටු දහම් ඇති නො දෙනසුලුවූ රේවතිය, නැගී සිටුව දොර නො වසන ලදී. දුගතියට ගියාවූ නිරා දුකින් යුක්ත වූ නේරයිකයෝ යම් තැනක (පව නො ගෙවෙන තුරු දැඩි දුක් විඳිමින්) තතනත් ද, එහි තී පමුණු වන්නෙමු.
865. යමදූත වූ ලේවන් ඇස් ඇති මහත් වූ ඒ යක්‍ෂයෝ මෙසේ කියා වෙන වෙන ම දෑතින් රේවතිය අල්වාගෙන (තව්තිසා වැසි) දෙව්ගණයා වෙත පැමිණ වූහ.
866. හිරු රැස් බඳු පැහැ ඇති මනහර වූ පැහැසර වූ යහපත් වූ කසුන් දැලින් ගැවසුණු ජනයාගෙන් පිරුණු හිරුරැස් මෙන් බබළන විසීමට රිසි මේ විමානය කවරක්හුගේ ද?
867. සඳුන්හර සුවඳින් අලෙව්දුන් සිරුරු ඇති දිව්‍ය ස්ත්‍රීසමූහයෝ විමන් (ඇතුළත පිටත) දෙපස හොබවත්. හිරුට සමාන පැහැ ඇති ඒ විමන පෙනේ. දෙව්ලොව පැමිණි කවරෙක් (මේ) විමනෙහි සතුටු වේ ද?
868. බරණැසැ නො මසුරු දානපති වූ වචන දන්නාවූ නන්‍දිය නම් උපාසකයෙක් විය. ගැවසුණු ජනයා ඇති හිරු රැස් මෙන් බබළන මේ විමන ඔහුගේ ය.
869. සඳුන්හර සුවඳින් අලෙව්දුන් සිරුරු ඇති (දිව්‍යස්ත්‍රීසමූහයෝ) විමන් (ඇතුළත පිටත) දෙපස හොබවත්. හිරුට සමාන පැහැ ඇති ඒ විමන පෙනේ. දෙව්ලොව පැමිණි හෙතෙමේ මේ විමනෙහි සතුටුවේ.
870. ගෘහිණි වූ සියලු කුලයට ඉසුරුවූ (මම ඒ නන්‍දියගේ බිරිය වෙමි. එහෙයින් හිමි විමනෙහි දැන්) මම සිත් අලවමි. නිරය දැක්මට නො පතමි.
871. සුපවිටු දහම් ඇත්තීය. තෙල තීගේ නිරය ය. තී විසින් මනුලොව දී පිනක් නො කරන ලද. මසුරුවූ අනුන් කුපිත කරවන්නාවූ පවිටු දහම් ඇත්තේ දෙවියන්ගේ සහභාවය නො ලබයි.
872. කිමෙක් ද? මල මූත්‍ර හා අසූචි දක්නා ලැබෙයි. මේ දුගඳ කුමක්ද? මේ කිනම් අසූචි ගඳෙක් හමාද?
873. රේවතිය, තී දහසක් හවුරුදු යම් තැනෙක පැසෙහි ද, මේ ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නම් නිරයයි.
874. කිම කයින් වචනයෙන් සිතින් නපුරක් කරන ලද ද? කවර හෙයකින් ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නම් නිරය ලබන ලද ද?
875. මහණුන් ද බමුණන් ද සෙසු යාචකයන් ද මුසාවාදයෙන් වඤ්චා කෙළෙහිය. තී විසින් ඒ පාපය කරන ලදී.
876. රේවතිය, එහෙයින් ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නිරය ලබන ලද. තී එහි දහසක් හව්රුදු පැසෙහි.
877. අත් ද සිඳිති. යළි පා ද සිඳිති. කන් ද සිඳිති. යළි නැහැය ද සිඳිති. යළි වනකවුඩුමුළුහු එකට එක්රැස්ව සලමින් මස් (විදගෙන) කත්.
878. යම් කුශලයක් කොට සුවපත් වෙත් ද, නො ද පසුතැවෙත් ද, දානයෙන් ද යහපත් පැවැත්මෙන් ද ශීලසංයමයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද, බොහෝ පින් කරන්නෙමි. (එහෙයින්) මා පෙරළා මනුලොවට ගෙන යනු මැනවි.
879. තො පෙරැ පමා වී දැන් විලාප කියමින් හඬනෙහි තමා කළ කර්‍මයට අනුරූප විපාක විඳින්නෙහිය.
880. දෙව් ලොවින් මිනිස් ලොවට ගොස් මවිසින් විචාරන ලද කවරෙක් මසුරු වූ කිපෙනසුලු වූ පවිටු දහම් ඇත්තේ දෙවියන්ගේ සහභාවය නො ලබයි, බහා තබන ලද දඬු ඇත්තවුන් කෙරෙහි දන් දෙව වත් දෙව සෙනසුන් දෙව අහර පැන් දෙවයි මෙසේ මට කියන්නේ ද,
881. ඒ මම ඒකාන්තයෙන් ම මෙලොවින් සැව මිනිසත් බව ලබා වචන දන්නී ශීලයෙන් යුක්ත වූවා දානයෙන් ද සම පැවැත්මෙන් ද ශීලසංයමයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද බොහෝ පින් කරන්නෙමි.
882. වෙසෙසින් පහන් සිතින් දුර්‍ගමස්ථානයන්හි හේදඬු ද, පැන් හල් ද, ළිං ද, අරම් වතු වැවීම ද කරන්නෙමි.
883. මම පක්‍ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන දිනයන්හි අටඟින් යුතු,
884. පෙහෙවස් වසන්නෙමි. හැමකල්හි සිල්හි සංවෘත වූ මම දානයෙහි පමා නො වන්නෙමි. මෙය මා විසින් තමා ම දක්නා ලදී.
885. මෙසේ නන් දොඩවන ඔබ මොබ සැලෙන රේවතිය ගෙන පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ඝෝර වූ සංසවක නිරයෙහි හෙලූහ.
886. මම පෙරැ මහණබමුණන්ට බැණවදින සුලුවූ මසුරුලියක් වීමි. මුසවායෙන් සැමියා ද රවටා මේ ගොරබිරම් සැහැවි ඇති (සංසවක) නිරයෙහි පැසෙමි.
රේවතී විමාන යි.
5. 3.
887. මිනිසුන් අතරැ වාදීන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ ශාක්‍යමුනීන්‍ද්‍ර වූ භාග්‍යවත් වූ කළ කිස ඇති නිවනට පැමිණි කායබල ඤාණ බලයෙන් හා ප්‍රධන් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ යමෙක් වේ ද, ඒ සුගතයන් වහන්සේ වෙත පිහිට පිණිස එළඹෙව.
888. රාගය දුරුකරන්නා වූ තෘෂ්ණා රහිත වූ ශෝක රහිත වූ අප්‍රතිකූල වූ මේ මාර්‍ගඵල නිර්‍වාණධර්‍මය ද (සියලු කල්හි) මිහිරිවූ ප්‍රගුණ වූ මැනැවින් බෙදූ මේ පර්‍ය්‍යාප්ති ධර්‍මය ද පිහිට පිණිස එළඹෙව.
889. යම් ආර්‍ය්‍යසඞ්ඝරත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත් ඵලැයි කීහු ද? පිරිසිදු පුරුෂයුග සතරෙක්හි වූ සිවුසස් හා නිවන් ප්‍රත්‍යක්‍ෂ විසින් දක්නා වූ ඒ පුද්ගලයෝ අටදෙනෙකි, මේ සඞ්ඝයා පිහිට පිණිස එළඹෙව.
890. මහත්සේ ප්‍රභාස්වර වූ නිරූපම වූ මේ විමන යම්සේ අහසෙහි බබළා ද හිරු ද එසේ නො ද බබළයි. සඳුද නො ද බබළයි, ඵුස නැකැත් තරුව ද නො ද බබළයි. දෙව්ලොවින් මිහිබට තෝ කවරෙහි?
891. (ඒ විමනෙහි) රශ්මිය අයිරා විසි යොදුනක් පැතිරැ හිරු එළිය පවා සිඳලයි. පිරිසිදු විමල් යහපත් (ඒ) විමන රැය ද දහවල මෙන් කෙරෙයි.
892. බොහෝ හෙළපියුම් හා විසිතුරු රත්පියුම් ඇති නන් වැදෑරුම් මලින් ගැවසුණු නන්වැදෑරුම් මල්කම් හා ලිය කමින් විසිතුරු වූ පිරිසුදු නිදොස් කසුන් දැලින් වැසුණු (විමානය) අහසෙහි හිරුමෙන් බබළයි.
893. රතුවත් කහවත් ඇති අලෙව්දුන් අගිල් පුවඟු සඳුන් ඇති කසුන් වැනි සියුම් සිවි ඇති දිව්‍ය ස්ත්‍රීන්ගෙන් පිරුණු මේ විමානය තාරකාවන්ගෙන් පිරුණු අහස මෙනි.
894. මේ විමන්හි නන්වන්වූ දිව කුසුමින් සැරසූ දිව අබරණ ඇති සතුටු සිත් ඇති රන්කෙඳිවලින් ගැවසූ කේශරවනා ඇති රන් අබරණ පැළඳි දිව්‍ය පුරුෂ ස්ත්‍රීහු බොහෝ වෙත්. මෙහි මඳ සුළඟින් සැලෙන ස්වර්‍ණමය පුෂ්පයෝ සුවඳ විහිදුවත්.
895. මේ විපාකය තෙමේ කිනම් (කායාදී) සංයමයක්හුගේ කිනම් (ඉන්‍ද්‍රිය දමනාදී) දමයක්හුගේ කිනම් කර්‍මයක්හුගේ ඵල විසින් මෙහි උපන්නේ ද? තා විසින් මේ විමන යම්සේ ලබන ලද ද? විචාරන ලද තෝ මා ඇසූ කරුණට සුදුසු කොට කියව.
896. මේ මහමඟ බමුණු කුමරකු හමුව ශාස්තෘන් වහන්සේ යමකුට අනුග්‍රහ කරනුවෝ අනුශාසනා කළසේක් ද, ඒ උතුම් රත්න වූ ඔබවහන්සේගේ ධර්‍මය අසා පිළිපදින්නෙමියි ඡත්තමාණවක තෙමේ කීයේය.
897. වහන්ස, (සරණාගමනය දනිහි දැයි ඇසූවිට) මම පළමු කොට නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි. අත්‍යුත්තම වූ බුදුරදුන් ද එසේම ධර්‍මය ද සඞ්ඝයා ද පිහිට කොට යමි.
898. අපවිත්‍ර නා නා විධ ප්‍රාණවධය ද නො කරව. පණ්ඩිතයෝ ප්‍රාණීන් කෙරෙහි අසංයමය නො ම වැණූහ. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
899. මෙරමා විසින් රක්නා ලද නුදුන් දෙය ගතයුතු යයි නො සිතව. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
900. මෙරමා විසින් රක්නා ලද පරඹුවන් කරා නොයව මෙය අනාර්‍ය්‍යය. වහන්ස, මම පළමුකොට (පන්සිල් දනිහි දැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
901. අසත්‍යය අසත්‍ය යයි හඟිමින් බොරු නො කියව. පණ්ඩිතයෝ බොරු බස නො වැණූහ. මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
902. යම් සුරා පානයකින් පුරුෂයාගේ සංඥාව පහවේ ද, ඒ සියලු රහමෙර දුරුකරව. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේ ම කෙළෙමි.
903. ඒ මම මෙහි පන්සිල් ඉටා තථාගතයන් වහන්සේගේ ධර්‍මයෙහි පිළිපැද සොරුන්ගේ මධ්‍යයෙයි දෙමංසන්‍ධියකට පැමිණියෙමි. එහිදී භොග හේතුවෙන් සොරු මා මැරූහ.
904. මෙ පමණක් වූ මේ කුශලය සිහි කරමි, එයින් මත්තෙහි අන් පිනෙක් මට නැත්තේ ය. මම ඒ පින්කමින් දෙව්ලොවෙහි රිසි කම්සුව ඇතියෙම් (මේ) දෙව්ලොවෙහි උපන්මි.
905. ඇසිල්ලක් රැකි ශීලයෙහි ද දහම් අනුව පිළිපැදීමෙහි ද විපාකය බැලුව මැනවි. යසසින් දිලියෙන්නකු බඳුවූ මා දක්නා මට වඩා හීන සම්පත් ඇති බොහෝ දෙනා (අපිත් කෙසේ නම් මොහු බඳු වන්නමෝ දැයි) පතත්.
906. ස්වල්ප වූ දේශනාවෙකින් සුගතියට ද ගියෙමි. සැපයට ද පැමිණියෙම් වෙමි. බැලුව මැනවි, යම් කෙනෙක් දිනපතා ඔබවහන්සේගේ දහම් අසත් නම් ඔහු හැම උවදුරින් මිදුණු අමාමහ නිවන පහසත් යයි සිතමි.
907. බුදු රජුන්ගේ අවවාදයෙහි (පිහිටා) කළ මඳ පිනද මහත් විපාක ඇත්තේ මහත් ඵල වේ. බැලුව මැනවි. කළ පිනැති බැවින් ඡත්තමාණවක තෙමේ හිරු පොළොව මෙන් දෙව්ලොව බබුළුවයි.
908. කුසල් නම් වූ මේ දැය කෙබඳු ද? කෙසේ හෝ කරමු ද? ඒ අපි නැවත මිනිසත් බව ලබා සිල්වත්ව දහම් පිළිපන්නමෝ වසන්නෙමුයි මෙසේ ඇතැම් දෙවි කෙනෙක් එක්රැස්ව සාකච්ඡා කෙරෙත්.
909. මට ශාස්තෲන් වහන්සේ බොහෝ උපකාර ඇතිසේක. අනුකම්පා කරන සේක. මා ඇතිකල්හි ඉතා දහවල්හි මෙසේ වැඩි සේක. ඒ මම සත්‍ය නම් ඇත්තහු කරා පැමිණියෙම් වෙමි. අනුකම්පා කළ මැනැවි. නැවත ද බණ අසම්හයි කීයේ ය.
910. මේ සස්නෙහි යම් කෙනෙක් කාමරාගානුසය දුරලද්ද, මෝහය ප්‍රහීණ කිරීමෙන් භවරාගානුසයයත් දුරලද්ද, පිරිනිවන් පෑ එහෙයින් ම නිවී සැනහුණු ඒ රහත්හු තුමූ නැවැත ගැබ හෝනාබවට නො පැමිණෙත්.
ඡත්ත මාණවක විමාන යි.
5. 4.
911. ඉතා උස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළු මිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු ඇතිරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළු ගෙවල් සත් සියයෙක් වෙයි.
912. එහි තෝ සිටිනෙහි ය. පානය කරන්නෙහි ය. අනුභව කරන්නෙහි ය. දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
913. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
914. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය තා විචාරමි. මිනිස් වූයේ කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇති වෙහි ද?
915. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍ය ඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසී ය.
916. රනින් නිමවනලද (දෙපසින්) දස පයක් ඇති මෙනම් කුශලයෙන් මේ සම්පත් ලදැයි සිහි උපදවන්නා වූ රන් කකුළුවෙක් දොරටුවෙහි (එල්බ) සිටියේ බබළයි.
917. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
918. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස මිනිස්වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
කක්කටකරස දායක විමාන යි.
5. 5.
919. ඉතා උස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
920. එහි ඔබ සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙත්. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
921. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
922. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයේ කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තේ වෙහි ද?
923. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍ය ඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසීය.
924. මාගේ ආයුෂය දිව්‍යමය වූ වර්‍ෂ සහස්‍රයෙකි. වචනයෙන් පිළිසඳර කරන ලදී. සිතින් පැහැදීම පවත්වන ලදී. මෙ පමණකින් කළ පින් ඇත්තේ දිව්‍ය වූ කාමයන්ගෙන් යුක්තවූ යේ වාසය කරන්නේ යි.
925. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
926. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුව යි.
ද්වාරපාලක විමාන යි.
5. 6.
927. ඉතා උස් වූ පියුම්රාමිණි ඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
928. එහි ඔබ සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙත්. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
929. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නාවූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
930. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි ද?
931. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසී ය:
932. (තමහට හිතාහිත) දන්නා වූ ප්‍රාඥයා විසින් යම් තැනෙක දුන් දෙය මහත් ඵල වේ ද, ඒ මනාව පිළිපන් බුදුවරුන් කෙරෙහි පින් කළ යුතු ය.
933. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මට වැඩ පිණිස වනයෙන් (දෙව්රම් වෙහෙරින්) ගමට වැඩිසේක. උන් වහන්සේ කෙරෙහි සිත පහදවා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති විසින්) එළඹියෙම් වෙමි.
934. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
935. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද, සියලු දිගුන් බබුළුවයි.
කරණීයවිමාන යි.
5. 7.
936. ඉතා උස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම්ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
937. එහි ඔබ සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
938. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
939. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇතිවෙහි ද?