Vimānavatthu

Stories of Heavenly Mansions

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

පෙන්වන කොටස් 501-600 න් 1218

688. මම පබසර කැලුම් ඇති පැහැයෙන් හා සුවඳින් යුක්ත වූ හෝපලු මල්දමක් බුදුරජුන්ට පිදුවෙමි.
689. මම බුදුරදුන් විසින් පසස්නා ලද ඒ කුශල කර්‍මය කොට පහ වූ ශෝක ඇතියා සුව ඇතියා නිරෝග වූවා වෙසෙසින් සතුටු වෙමි.
පාරිච්ඡත්තක විමන යි.
තෙවෙනි පාරිච්ඡත්තක වර්‍ගය නිමි.
එහි උද්දානය:
උළාර යැ, උච්ඡුදායිකා යැ, පල්ලඞ්ක යැ, ගුත්තිල ය සමග ලතා යැ, දද්දල්ලමානා යැ, සේසවතී යැ, මල්ලිකා යැ, විසාලක්ඛි යැ, පාරිච්ඡත්තකයැ යි එයින් වර්‍ගය කියනු ලැබේ.
4. මඤ්ජෙට්ඨක වර්‍ගය
690. රන් වැලි අතුළ රතුපළිඟුමිණිමුවා විමන්හි මැනැවින් වැයූ පසඟතුරු රැවින් ඇලෙහි.
691. (පෙර පිනෙන්) නිර්මිත රුවන්මුවා ඒ විමනින් බැස සියලු කලට සුදුසු සැප ඇති හැම කල්හි පිපී සිටි සල්වනයට පිවිසෙහි.
692. (එම්බා) දෙව්දුව, (තෝ) යම් යම් සල් රුකක්මුලැ සිටිහි ද, ඒ ඒ උතුම් රුක නැමී මල් මුදාලයි.
693. සුළඟින් සැලෙන මඳ සුළඟින් සෙමෙන් කම්පා කරන ලද සල්වනය (මොනර කොවුල් ආදි) විහඟුන් විසින් සෙවුනේ වෙයි. (එහි) සුගන්‍ධය මඤ්ජුස්සක රුක සේ සියලු දිගුන් පැතිර හමයි.
694. ඒ පිවිතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි. ඒ දිව්‍යමය රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරනලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හු ගේ දැයි කියව.
695. මම පෙරැ මිනිසුන් කෙරෙහි මිනිස් දුවක් වූවා සැමි කුලයෙහි දැස්සක් වීමි. (ඒ මම) වැඩහුන් බුදුරජුන් දැක සල්මලින් විසිරැවීමි.
696. මම පහන් සිත් ඇත්තී මැනැවින් කළ සල්මල් බහුල කොට ඇති මුදුන්මල්කඩක් බුදුරජුන්ට සියතින් පිදීමි.
697. මම බුදුරජුන් විසින් පසස්නාලද ඒ කුශලකර්‍මය කොට පහවූ ශෝක ඇතියා සුව ඇතියා නිරෝගවූවා වෙසෙසින් සතුටු වෙමි.
මඤ්ජෙට්ඨක විමාන යි.
698. ප්‍රභාස්වර වූ උතුම් වූ වර්‍ණයෙන් බබළන අතිරක්ත වූ වස්ත්‍ර හැඳි මහත් ඉදුහ ඇති සඳුන් අලෙව් කළාක් වැනි මනරම් සිරිරි අවයව ඇති (එම්බා) හොබනා දෙව්දුව, මා වඳනෙහි. තී කවරක් ද?
699. නඳුනුයනෙහි සක්දෙව් රජු සේ තී ඇසනෙකැ හුන්නී බබළන්නෙහි ද, තිගේ (මේ) පලඟ මහඟු ය, නන් රුවනින් විසිතුරු කරන ලද්දේ මනහර ය.
700. සොඳුර, පෙරැ තී කිනම් සුචරිතයක් කෙළෙහි ද? දෙව්ලොවැ කිනම් කර්‍මයක්හුගේ විපාකය (මෙසේ) අනුභව කෙරෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
701. වහන්ස, පිඬු පිණිස හැසිරෙන ඔබවහන්සේට දෑසමන් මල්දමක් ද උක්කුරුපැනක් ද දුනිමි. (මම) ඒ කර්‍මයෙහි මේ විපාකය දෙව්ලොවැ විඳිමි.
702. වහන්ස, මට විපිළිසරෙක් ද වෙයි. මට ම වැරදිණි. නපුරෙක් ද කරන ලදි. ඒ මම ධර්‍මරාජන් වූ බුදුරජුන් විසින් මැනවින් දෙසූ ධර්‍මය නො ඇසීමි.
703. වහන්ස, එහෙයින් එය ඔබට කියමි. යම්කිසිවෙක් මට අනුකම්පා කරන්නේවේ ද (හෙතෙම) ඒ මා ධර්‍මරාජයන් වහන්සේ විසින් මනාකොට දෙසනලද (සීලාදී) ධර්‍මයන්හි සමාදන් කරවනු මැනව.
704. බුදුරුවන්හි ද දමුරුවන්හි ද සඟුරුවන්හි ද යම් දෙව් කෙනෙකුන්ගේ සැදැහැ ඇත්තේ නම් ඒ දෙවියෝ ආයුෂයෙන්, යසසින් හා සිරියෙන් ඒ මා ඉක්මවා බබළත්.
705. අන්‍ය දෙවියෝ ආනුභාවයෙන් වර්‍ණයෙන් මට වඩා උත්තරීතරයහ. මහත් ඉදුහ ඇතියහ.
පහස්සර විමාන යි.
706. සියලු අබරණින් සැරසුණු තෙපි මිණි කසුනෙන් කරන ලද රුවන් දැලින් ගැවසීගත් මහත් වූ (ගමන සන්නාහයෙන්) සන්නද්ධ වූ අහස්ගත උතුම් ඇතකු මත නැගී අහසින් මෙහි පැමිණියහු.
707. ඇත් රජුගේ දෙදළෙහි, පැහැදි දිය ඇති සුපිපි පියුම් ඇති පොකුණු දෙකෙක් පහළ විය. පියුම් මත පසඟතුරු සමූහයෝ ප්‍රභේදයට යෙත් (වාදනය වෙත්). මේ මනහර දෙවඟනෝ ද නටත්.
708. මහත් ආනුභාව ඇති දෙව්දුව, (තී) දිව්‍යර්ද්ධියට පැමිණියා වෙහි. මිනිස් දුවක් වූවා කවර පිනක් කෙළෙහි ද? තිගේ සිරිරි පැහැය ද සියලු දිගින් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යාර්ධි ඇත්තී වෙහි ද?
709. මම බරණැසට එළඹ බුදුරජුන්ට වස්ත්‍ර යුග්මයක් දුනිමි. පා වැඳ බිම හිඳගතිමි. තුටු වූ මම ඇඳිලි ද කෙළෙමි.
710. යම් ධර්‍මදේශනාවකින් (මම) සිවුසස් දහම් පිළිවිදුයෙම් ද, කසුන්වන් සිවි ඇති බුදුරජාණන් වහන්සේ සමුදය දුඃඛ සත්‍යයන්ගේ අනිත්‍යතාව මට දේශනා කළසේක. තවද, අසංස්කෘත වූ ශාශ්වත වූ දුඃඛ නිරෝධය වූ නිර්‍වාණය ද කෙලෙස් නසන ආර්‍ය්‍යමාර්‍ගය ද දේශනා කළසේක.
711. මඳ ආයු ඇති ඒ මම කලුරිය කළා එයින් ච්‍යුත වූවා දෙවියන් අත්රැ උපන්නී යසස් ඇත්තී වීමි. සක්දෙව් රජහුගේ එක්තරා භාර්‍ය්‍යාවක් වූ මම (දෙදෙව්ලොවැ) දිගුන්හි පතළා වූ යසුත්තරා නම් වෙමි.
නාගවිමාන යි.
712. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
713. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තිගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
714. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
715. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇතිතී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසූ ය.
716. මම ද බරණැස දී සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන්ට පහන් වූවා සියතින් වියළි කොමු පිඬූවක් දුනිමි.
717. වියළි ලුණු නැති කොමුපිඬු දානයෙහි විපාකය ද බලනු මැනවි. (වියළි කොමුපිඬු පමණක් දී) සුඛිත වූ අලෝමාව දැක කවරෙක් පින් නො කරන්නේ ද?
718. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
719. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බුබුළුවයි.
අලොමාවිමාන යි.
720. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
721. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළවෙත් ද?
722. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි, කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
723. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
724. මම අන්‍ධකවින්‍ද රටදී සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන්ට තෙලින් දුහුන් කරනලද කෝලසම්පාක නම් බෙහෙත් කැඳක් දුනිමි.
725. තිප්පිලි සුදුලූනු සුවඳ හොටින් මිශ්‍ර වූ බෙහෙත් කැඳක් ඍජු වූ බුදුරජුන් වෙත වෙසෙසින් පහන් සිතින් දුනිමි.
726. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාහට නො ලමු දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජකුට අගමෙහෙසි බව කරන්නී ද? එය මේ හඹුදනෙහි සොළොස්වන කලාවෙන් කලාවටත් නො අගී.
727. සියක් දහසක් රන්නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස් වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝ ද මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
728. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන් මුවා ගෙල බරණින් සැරසූ රන්එබූ ඇත් අබරණින් හොබනා සියයක් හේමවත ඇත්හු මේ කැඳදුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
729. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විතිරජබව කෙරේද, එය මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගී.
කඤ්ජිකදායිකා විමාන යි.
730. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දස දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
731. නටන්නා වූ ඒ තිගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්‍වප්‍රකාරයෙන් නික්මෙති.
732. නටන්නා වූ ඒ තිගේ අඟ පසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිවසුවඳ සර්‍වප්‍රකාරයෙන් හමයි.
733. තීගේ ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
734. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරුනද සේ ඇසේ.
735. තිගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේද, එහි සුවඳ (සුපිපි) මඤ්ජුසක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.
736. ඒ පිවිතුරු සුවඳ අඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැයි කියව.
737. වහන්ස, මාගේ යෙහෙළි (වූ විසාඛා) තොමෝ සැවැත්නුවරැ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්‍රාසාදය ද මට ප්‍රිය වූ බුද්ධප්‍රමුඛ සඞ්ඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්‍යාගය ද දැක පින් අනුමෝදන් වීමි.
738. ඒ මාගේ පිරිසිදු අනුමෝදනායෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්‍යර්ධියෙන් (ඒ විමන) අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.
739. කොටස් විසින් බෙදූ ප්‍රමාණවත් කරන ලද කුළුගෙවල් ඇති බබළන මාගේ නිවෙස්හු හාත්පස සියක් යොදුන් තැන් බබළත්.
740. මෙහි මට දිවමසුන් විසින් සෙවුනා නො කැලඹුණු පිරිසිදු දිය ඇති රන්වන් වැලි ඇතුරූ පොකුණු ද වෙති.
741. නොයෙක් පියුමෙන් වැසුණු හෙල පියුමෙන් හාත්පස පැතුරුණු මනරම් වූ පවනින් කම්පිත වූ පිරිසිදු සුවඳ හමයි.
742. දඹ කොස් තල් පොල් වනයෝ ද රෝපණය නොකළාවූ ම නොයෙක් වෘක්‍ෂයෝ ද නිවෙස් තුළ හටගත්තාහ.
743. තන්තුරු රැවින් හඬ නැගුණු දෙවඟනන් විසින් ඝෝෂිත වූ මා යමෙක් සිහිනෙන් දකින්නේ ද, ඒ මිනිස් තෙමේ ද ප්‍රීත වන්නේය.
744. මෙබඳු අසිරිමත් දැකුම්කලු වූ සියලු ලෙසින් පැහැපත් වූ විමානය මාගේ කුශලකර්‍මයෙන් උපන්නේ ය. එහෙයින් පින් කිරීම සුදුසු ය.
745. තිගේ ඒ පිරිසිදු අනුමෝදනාවෙන් ලත් විමන අසිරිමත් ය. දැකුම්කලු ය. යම් ඒ ස්ත්‍රියක් තොමෝ දැන් දුන්නී ද, ඕ තොමෝ කොහි උපන්නී දැයි ඇගේ ගතිය කියව.
746. වහන්ස, ඒ මාගේ යම් යෙහෙළියක් තොමෝ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ද, පිළිවිදි සිව්සස් දහම් ඇත්තී දැන් දුන්නී ද, ඕ තොමෝ නිර්‍මාණරතී නම් දෙවියන් අතර උපන්නී ය.
747. (ඕතොමෝ) ඒ සුනිම්මිත දෙවිඳුන්ගේ බිරිඳ වූවා ය. ඇයගේ කර්‍මවිපාකය නො සිතිය හැකි ය. ඕතොමෝ කොහි උපන්නී දැ යි මේ යමක් විචාරහි ද, එය තොපට මම ඇති සැටියෙන් පැවැසීමි.
748. ඒ කරුණෙන් සෙස්සන් ද කුසල් දහම්හි සමාදන් කරවු: සතුටු වූවාහු සඞ්ඝයා දන්දෙවු. පැහැදුණු සිතැත්තෝ දහම් ද අසවු. අතිශයින් දුර්‍ලභ වූ මනුෂ්‍යත්‍වය ලද්දේ (ද එහෙයිනි).
749. බ්‍රහමස්වර ඇති රන්වන්සිවි ඇති බුදුරජාණන් වහන්සේ යම් සුගතිගාමී මාර්‍ගයක් ශ්‍රේෂ්ඨ යයි වදාළසේක් ද, යමකු විෂයෙහි දක්‍ෂිණා තොමෝ මහත්ඵල වන්නී ද (තෙපි) සතුටු වූවාහු ඒ සඟනට දන් දෙවු.
750. බුද්ධාදී සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්‍ය්‍ය පුද්ගලයෝ වෙත් ද, ඔහු අටදෙනෙකි. තෙල යුගයෝ සතර දෙනෙකි. බුදුරදුන්ගේ ශ්‍රාවක වූ ඒ ආර්‍ය්‍ය පුද්ගලයෝ දක්‍ෂිණාවට නිසස්හ. මුන්වහන්සේ කෙරෙහි දෙනලද දානයෝ මහත්ඵල වෙත්.
751. මාර්‍ගස්ථයෝ සිවුදෙනෙක, ඵලස්ථයෝ සිවු දෙනෙක, මේ සඞ්ඝ තෙමේ ඍජු වූයේ යැ. (ආර්‍ය්‍ය වූ) ප්‍රඥාශීලසමාධි ඇත්තේ යැ .
752. යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය පින්පල කැමති ව දැන් දෙන්නා වූ මිනිසුන්ට මහත්ඵල වේ ද,(එබඳු) ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.
753. මේ සඞ්ඝ තෙමේ ගුණයෙන් මහත්බවට ගියේ ය. (ඵලවිපුලත්‍වයට හේතුභාවයෙන්) විපුල වූයේ ය. මේ සඞ්ඝ තෙමේ උදධි නම් සාගරය සේ ගුණයෙන් පමණ නොකටහැක්කේ ය. ලොවට නැණලු කරන්නා වූ තෙල ශ්‍රේෂ්ඨ වූ නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වාත්.
754. යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් (එය) මැනැවින් දෙනලද ය. ගෙනවුත් පුදනලද ය. මහදන් විසින් යාග කරනලද ය. සඟුන් කෙරෙහි පිහිටියා වූ ඒ සඞ්ඝගත වූ දක්‍ෂිණා තොමෝ මහත්ඵල ඇතැ යි බුදුරජුන් විසින් වර්‍ණනා කරන ලදු.
755. හටගත් සොම්නස් ඇති යම් කෙනෙක් මුල් සහිත ව මසුරු මල දුරු කොට ලෝකයෙහි හැසිරෙත් ද, ඔහු නින්‍දා නො කරන ලද්දෝ සගලොවට පැමිණෙත්.
විහාරවිමාන යි.
දෙවන බණවර යි.
756. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තී මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටින්නෙහි.
757. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
758. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද.
759. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
760. මම එසිකා රට උස්බිම් පෙදෙසක පිහිටි මනරම් වූ උතුම් පණ්ණකත නම් නුවරැ පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුනමක්හට ඇසළ මල් කළඹක් දුනිමි.
761. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
762. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (ඉන්‍දීවරදායිකා)
763. (එම්බා) දෙව්දුව, යම්බඳුවූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
764. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
765. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තිගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
766. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
767. මම එසිකාරට උස්බිම් පෙදෙසක පිහිටි මනරම් වූ උතුම් පණ්ණකත නම් නුවරැ පිඬු පිණිස හැසිරෙන භික්‍ෂු නමක්හට නිලුපුල් කළඹක් දුනිමි.
768. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.