Vimānavatthu

Stories of Heavenly Mansions

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

Showing entries 201-300 of 1218

159. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.
160. (වහන්ස,) මම (පෙර) මිනිසුන් අතර මිනිස්දුවක් වූවා පරහට මෙහෙ කරන කුලයෙක්හි දැස්සක් වීමි. පසැස් ඇති යසස් ඇති ගෞතම බුදුරජුන්ගේ උපාසිකාවක් වීමි. තාදී ගුණ ඇති ඒ බුදුරජුන්ගේ ශාසනයෙහි ඒ මාගේ සම්‍යග්ව්‍යායාමයෙක් වීය.
161-162. ඒකාන්තයෙන් මේ කය බිඳේවා. මේ කර්‍මස්ථානානුයෝගයෙහි වීර්‍ය්‍යයාගේ ලිහිල් බවෙක් නැත් ම යැ. පස් සිකපදයන්ගේ (පිරිපුන් බැවින්) සැපවත් බව සිදු කෙරෙන නිර්‍භය වූ රාගාදි කටු රහිත කෙලෙස් ලැහැබින් තොර ඍජු වූ බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්‍රකාශ කරන ලද යම් ආර්‍ය්‍ය මාර්‍ගයෙක් වේ ද, (දෑඟිලි නුවණැති) ස්ත්‍රියක් වූ මම යම්බඳු උපායමාර්‍ගයෙකින් මෙයට පැමිණියෙම් ද, ඒ වීර්‍ය්‍යාගේ මේ ඵලය බලව.
163. වශවර්තී වූ සක්දෙව් රජුහුගේ අල්ලාප සල්ලාපය සඳහා අමතන්නියක් වීමි. සැට දහසක් තූර්‍ය්‍යයෝ මාගේ ප්‍රීතිය පුබුදුවත්.
164-166. ආලම්බ, ගග්ගර, හීම, සාධුවාදී, සංසය, පොක්බර, සුඵස්ස යන දිව්‍ය පුත්‍රයෝ ද, වීණාමොක්ඛා, නන්‍දා, සුනන්‍දා, සෝණදින්නා, සුවිමහිතා, අලම්බුසා, මිස්සකේසී, පුණ්ඩරීකා, අතිදාරුණි, එණිඵස්සා, සුඵස්සා, සුභද්දා, මුදුවාදිනී යන මේ දෙවඟනෝ ද, අප්සරාවන් අතුරෙන් සංගීතයෙහි ඉතා පැසසිය යුතු වූ පුබුදු කරවන මෙයින් අන්‍ය වූ අප්සරාවෝ ද වෙති.
167. ඒ දේවතාවෝ සුදුසු කාලයෙහි මා වෙත එළඹ “දැන් නටමු ගයමු දැන් තී සතුටු කරවමු” යි ඉදිරියට පැමිණ කියත්.
168. (මා විසින් ලැබූ ) මේ දෙව් විමන පින් නො කළවුන්ට නො ලැබේ. සෝක නැති තව්තිසාවැසි දෙවියන්ගේ රම්‍ය වූ මේ නන්‍දන මහාවනය පින් කළවුන්ට ම ලැබේ.
169. පින් නො කළවුන්ට මෙලොව හා පරලොව සැපයෙක් නැත. පින් කළවුන්ට ම මෙලොව හා පරලොව සැප ලැබේ.
170. ඒ තව්තිසාවැසි දෙවියන් හා සහභාවයට යනු කැමැත්තන් විසින් බොහෝ කුසල් කළයුතු වේ. කළ පිනැත්තෝ ම ස්වර්‍ගයෙහි පස්කම් සැපතින් යුක්ත වූවාහු සතුටු වෙත්.
දාසීවිමන යි.
171. එම්බා දෙව්දුව යම්බඳු වූ තෝ මන රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි?
172. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
173. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
174. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවැසූ ය.
175-176. (බරණැස) කෙවුල් ගම්දොරින් නික්මෙන තැන මාගේ නිවාසය වී ය. එහි පිඬු පිණිස හැසිරෙන මහර්ෂීන්ගේ සවුවනට බත් ද කොමු පිඬු ද පලාකොළ (එළවලු) ද ලෝණසෝවීරකය ද ඍජු සිතැත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් පිදීමි.
177-178. මම පක්‍ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද (යන පොහෝදිනයන්හි) අටඟින් යුත් පෙහෙවස් විසීමි. සියලු කල්හි නිති සිහිල් කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
179. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
180. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
181. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
182. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
වහන්ස, ලඛුමා නම් උපාසිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳී. වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳිනු මැනැවි. වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මා එක්තරා මාර්‍ගඵලයෙක්හි ලා වදාරන සේක් නම් එය පුදුමයෙක් නො වේ. භාග්‍යවතුන් වහන්සේ ඒ මා සකෘදාගාමී ඵලයෙහි ලා ප්‍රකාශ කළාසේක.
ලඛුමාවීමාන යි.
183-4. වහන්ස, පිඬු පිණිස හැසිරෙන්නා වූ ඔබ නිහඬව සිටිය දී මෙරමා ගෙය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් ස්ත්‍රියක් පහන් වූවා සියතින් ඔබ වහන්සේට දමුබතක් පිදී ද ඕ තොමෝ මිනිස්සිරුර හැර (උපත් විසින්) කිනම් දිශාවකට ගියා ද?
185-6. (සක්දෙව් රජුනි,) නිහඬ ව මා පිඬු පිණිස හැසිරෙමින් සිටිය දී මෙරමා ගෙය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් ස්ත්‍රියක් පහන් වූවා සියතින් මට දමුබතක් පිදී ද, ඕ තොමෝ මිනිස්සිරුර හැර මිනිස් දුබග බැවින් මිදුණී මෙයින් ච්‍යුත වූවා ය.
187. මහත් ඍද්ධි ඇති නිර්‍මාණරතී නම් දෙව් කෙනෙක් ඇත. දමුබත් දුන් ඒ ස්ත්‍රී තොමෝ ඔවුනතර සුවපත් වූවා සතුටු වෙයි.
188. මහසුප් තෙරුන් කෙරෙහි පිහිටුවන ලද ඒ දීන වූ ස්ත්‍රියගේ දානය අනේ පුදුමයි. සිඟීමෙන් මෙරමා ගෙයින් ගෙනෙනලද දියයුතු දෙයින් දක්‍ෂිණාව සමෘද්ධ වූවා ය. පුදුමයි.
189. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාට ලමු නො වූ දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජක්හට අගමෙහෙසිබව කරන්නී ද, මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවටත් එය නො අගී.
190. සියක් දහසක් රන් නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස්වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝ ද මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
191. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන්මුවා ගෙළබරණින් සැරැසූ රන් එබූ ඇත්අබරණින් හොබන සියයක් හේමවත ඇත්හු මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
192. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විති රජබව කෙරේ ද, එය මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගී.
ආචාමදායිකාවිමාන යි.
193. එම්බා සැඬොලිය, යසස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයන් වඳුව. ශෛක්‍ෂ-අශෛක්‍ෂ බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධ ඍෂිනට වඩා උතුම් වූ නොහොත් විපස්සී ආදී බුදුවරයන් අතර සත්වැනි වූ ඍෂි ශ්‍රේෂ්ඨයන් වහන්සේ තිට අනුකම්පා පිණිස ම මෙහි වැඩ සිටිසේක.
194. තාදී වූ රහතුන් වහන්සේ කෙරෙහි සිත පහදුව බඳැදිලි ඇත්තී වහා වඳුව, තීගේ ජීවිතය ඉතා ස්වල්ප ය.
195. පැසුළු සිරුරු දරන වැඩු සිතැත්තහු විසින් මෙහෙයවන ලද සෙඩොලී යසස් ඇති ගෞතම බුදුරදුන්ගේ පා වැන්දා ය.
196. ගවදෙනක් තොමෝ අවිද්‍යාන්‍ධකාරයෙන් අඳුරු වූ ලෝකයෙහි නැණලු දෙන බුදුරජුන් බඳැදිලි ව වඳිමින් සිටි ඒ සැඩොලිය ඇණ මැරුවා ය.
197. වීරයන් වහන්ස, දිව්‍යර්ධියට පැමිණි මම මහත් අනුභාව ඇති ක්‍ෂය කළ ආසවයන් ඇති පහවූ කෙලෙස් රජස් ඇති තෘෂ්ණා රහිත වෙනෙහි එකලාව විවේකී ව වැඩහුන් ඔබ වහන්සේ වඳිමි.
198. සොඳුරු දෙව්දුව, රන්වන් පැහැ ඇති සිය සිරුරුපැහැයෙන් දිලෙන පිරිවර ඇති නොයෙක් ලෙසින් විසිතුරු වූ දිවසරන් විසින් පිරි වරනු ලැබූ කිනම් දෙවඟනක් වූ තෝ විමනෙන් බැස මා වඳනෙහි ද?
199. පින්වතුන් වහන්ස, වීර වූ ඔබ වහන්සේ විසින් මෙහෙයන ලද සැඩොලියක් වූ මම යසස් ඇති රහත් වූ ගෞතම බුදුරදුන්ගේ පා වැන්දෙමි.
200. ඒ මම බුදුරදුන්ගේ පා වැඳ සැඬොල් බවෙන් ච්‍යුත ව නඳුන් වෙනෙහි හැමලෙසින් සොඳුරු වූ විමනෙක උපන්නී වෙමි.
201. දෙවසරක් සිය දහසෙක් මා පෙරටු කොට සිටී. ඔවුනතුරෙන් මම වර්‍ණයෙන් යසසින් හා ආයුෂයෙන් ද ඒ දිවසරනට වඩා උතුම් වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි.
202. වහන්ස, බොහෝ කළ පින් ඇති මනා නුවණැති මනා සිහි ඇති මම ලෝකයෙහි මහාකාරුණික වූ ඒ බුදුරදුන් වැඳීම සඳහා පැමිණියා වෙමි.
203. කෘතඥ වූ කෘතවේදිනී වූ ඒ සැඬොල් දෙවඟන මෙය කියා අරහත් වූ මුගලන් මහතෙරුන්ගේ පා වැඳ එහි ම අතුරුදහන් වූවා ය.
චණ්ඩාලිවිමාන යි.
204-5. මහා නුවණැති දෙව්දුව, නීලදී නන් වැදෑරුම් පැහැ ඇති කෙසුරින් පිරිවැරුණු මදාරා මල්දමක් (තෝ) හිසෙහි දරහි. නිල්වන් වූ ද රන්වන් වූ ද කළුවන් වූ ද මදටියවන් වූ ද ලේවන් වූ ද සෙසු සුදුවන් ඈ පැහැ ඇත්තා වූ ද මේ වෘක්‍ෂයෝ අන්‍ය දිව්‍යනිකායන්හි නො වෙත්.
206. යසස් ඇති දෙව්දුව, (තෝ) කවර පිනෙකින් මේ තව්තිසා දෙව්ලොවැ උපනෙහි ද? විචාරන ලද්දී වූ තෝ මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
207. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු මම කිම්බිලනුවරැ උපාසිකාවක් වීමි. එසේ වූ මා භද්දිත්‍ථි යයි අන්‍යයෝ දත්හ.
208. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
209-10. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
211. (එකල්හි) මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
212. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ අප්‍රමාද විහරණ ඇත්තා වූ මම පසැස් ඇති බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
213. මම බිඳහළ සියලු කෙලෙස් ඇති ඉතා උතුම් වූ හිතානුකම්පා ඇති මහා නුවණැති අගසවු දෙනම මනා කොට වැළඳවීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ච්‍යුත ව සිය සිරුරු රැසින් බබළන්නී නදුනුයනෙහි එක්වන් හැසිරෙමි.
214. මම නිතර අපරිමිත සැප එළවන අටඟින් යුත් පෙහෙවස් විසීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ච්‍යුත ව සිය සිරුරු රැසින් බබළන්නී නඳුනුයනෙහි එක්වන් හැසිරෙමි.
භද්දිත්‍ථි විමානයි
215. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
216. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
217. එම්බා දෙව්දුව, නිර්‍මල ශරීරාලෝකයක් ඇති තෝ කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නෙහි ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිශාවෝ බබළත් ද?
218. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
219. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.
220. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන් දීමෙහි ඇලුණු (මම) නාලන්‍දාවෙහි උපාසිකාවක් වීමි. එසේ වූ මා සෝණදින්නා යයි (අන්‍යයෝ) දත්හ.
221. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් ද ඍජු ගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
222-23. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
224. එකල්හි මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
225. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
226. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
227. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
සෝණදින්නාවිමාන යි.
228. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
229. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
230. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යාර්ද්ධි ඇත්තී වෙහි ද?
231. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මෙසේ පැවසූ ය.
232. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) සාකේත නුවරැ උපාසිකාවක් වීමි. (අන්‍යයෝ) මා උපෝසථා යැ යි දත්හ.
233. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් තෙල් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
234-235. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
236. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි, මුසවායෙන් සංයත වීමි, අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
237. පස් සිකපද රැකීමෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යශස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
238. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
239. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
240. නිතර නඳුනුයන ගැන අසා (එහි උපත පිණිස) ඡන්‍දය උපන. එහි සිත පිහිටුවා නඳුනුයනෙහි උපන්නී වෙමි.
241. ශාස්තෘ වූ සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන්ගේ වචනය නො කෙළෙමි. ඒ මම හීන වූ භව සැපතෙහි සිත පිහිටුවා පසුතැවිලි වූවා වෙමි.
242. එම්බා උපෝසථා දෙව්දුව, මේ විමනෙහි කොපමණ දිගුකලක් වසහි ද? විචාරන ලද්දී වූ තී ඉතින් ආයුෂය දන්නෙහි නම් එය කියව.
243. මහා මුනිවරය, තුන් කෙළ සැටදහසක් හවුරුදු මෙහි සිට මෙයින් ච්‍යුත ව මිනිසුන්ගේ සහභාවයට යන්නෙමි.
244. එම්බා උපෝසථාව, තෝ නො බව. සෝවාන් වූ තෝ මාර්‍ගඵල සංඛ්‍යාත විශේෂයට පැමිණියා යයි සම්බුදුරදුන් විසින් ප්‍රකාශ කරන ලද්දී වෙහි. තීගේ දුගතිය ප්‍රහීණ විය.
උපෝසථා විමාන යි.
245. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
246. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
247. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
248. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
249. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) රජගහනුවරැ උපාසිකාවක් වීමි. (අන්‍යයෝ) මා සද්ධා යැ යි දත්හ.
250. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන්තෙල් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
251-252. මම පක්‍ෂය පිළිබඳවූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
253. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංයත වීමි. අයිනාදනින්ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
254. පස්සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂවූ මම යශස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
255. එම පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.