Vimānavatthu

Stories of Heavenly Mansions

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

Showing entries 101-200 of 1218

81. යමෙක් පහන් දැල්වීමට සුදුසු බොල් ගන අඳුරෙහි පහන් දේ ද, (ඒ පිනෙන් හේ) බොහෝ උපුල් මල් ඇති බොහෝ සුදුපියුම් ඇති ජෝතිරස විමානයට පිළිසඳ විසින් පැමිණෙයි.
82. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
83. නිර්‍මල වූ ශරීරාලෝක ඇති මම ඒ පින කරණකොට ගෙන අන් හැම දෙවියන් ඉක්මවා බබළමි. ඒ පිනින් මාගේ සියලු ශරීරාවයවයන් ගෙන් සියලු දිගුහු බබළත්.
84. මහත් ආනුභාව ඇති ශ්‍රමණන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
දීපවිමාන යි.
85. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,
86. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද,
87. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
88. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවසූ ය.
89. මම පෙර අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූමු. (එකල මම) පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ නොකැළඹුණු සිත් ඇති බුදුන් දුටිමි.
90. (දැක දෙය ධර්‍මය නොවටින්නක් හෙයින් ඒ ගැන) නොකැමැත්තෙන් ඉදිරියට පැමිණ දක්‍ෂිණාවට සුදුසු වු බුදුරජාණන් වහන්සේට පහන්සිත් ඇති ව සියතින් ම තලදොහොතක් දුනිමි.
91. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
92. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
තිලදක්‍ෂිණාවිමාන යි.
93.නන් වැදෑරුම් රුවන් මලින් ගැවසුණා වූ නොයෙක් සිතියමින් විසිතුරු වූ දෙවියන් හා දෙවඟනන් විසින් නිති සෙවුනා ලද රමණීය වූ මේ විමනට දිව්‍යමය වූ කොස්වාලිහිණියෝ ද දිව්‍යමය වූ මොනරු ද දිව්‍යමය වූ හංසයෝ ද මිහිරිනද ඇති කොවුලෝ ද නිතර අවටින් පැමිණෙති.
94. මහානුභාව ඇති දෙව්දුව අනේක ස්වරූප වූ ඍද්ධි විකුර්‍වණය කරමින් සිටිහු. තීගේ මේ දිව්‍යප්සරාවෝ හාත්පස නටති. ගයති. සතුටු කරවති.
95. මහත් අනුභාව ඇති දෙව්දුව, (තෝ) දිව්‍යර්ධියට පැමිණියා වහු. මිනිස්දුවක් වූවා කවර පිනක් කළහු ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
96. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.
97. මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස්දුවක් වූවා අන් පුරුෂයකු නොපතන්නී පතිව්‍රතා වීමි. පුතකු රකින මවක් මෙන් තමහිමි රැක්කෙමි.(අනුන් කළ වරදකට) කිපුණි නමුදු පරොස් බස් නො කීමි.
98. මුසාවාදය හැර සත්‍යයෙහි පිහිටියා වෙමි. දීමෙහි ඇලුණා වු මම සතර සඞ්ග්‍රහ වස්තුවෙන් අනුන්ට සඞ්ග්‍රහ කරණ ස්වාභාව ඇත්තී පසන් සිතැත්තී අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
99. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
100. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
පතිව්‍රතාවිමාන යි.
101. මහත් අනුභාව ඇති දෙව්දුව, වෙරළුමිණි මුවා ටැම් ඇති සිත්කලු වූ අතිශයින් බබළන නොයෙක් සිතියමින් විසිතුරු වු විමනට නැග කුදු මහත් ඍද්ධිවිකුර්‍වණය කරමින් එහි සිටුනාව. තීගේ මේ දෙවඟනෝ හාත්පස්හි නටති ගයති සතුටු කරවත්.
102. මහත් අනුභාව ඇති දෙව්දුව, තෝ දිව්‍යර්ධියට පැමිණියා වෙහි. මිනිස් දුවක් වූවා කවර පිනක් කළහු ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?
103. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි. (මෙසේ) පැවසූ ය.
104.මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස්දුවක් වූවා පසැස් ඇති බුදුරදුන්ගේ උවැසියක් වීමි. පණිවායෙන් දුරු වූවා වෙමි. ලෝකයෙහි නුදුන් දෙය ගැනීම හැම ලෙසින් මා දුරු කෙළෙමි.
105. මත්පැන් නො බීමි. බොරු නො කීමි, සිය සැමියා සමග ම සතුටු වූවා වෙමි. පහන් සිත් ඇත්තී අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
106. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
107. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය පතිව්‍රතා විමාන යි.
108. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
109. කවර හේතුවකින් තිට මෙබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
110.මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
111. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මෙසේ පැවසූ ය.
112. මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස් දුවක් වූවා මයිලණුවන්ගේ ගෙහි ලේලියක් වූමු. පහ වූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති මහණක්හු දුටිමි.
113.(දැක) උන්වහන්සේට පහන් වූවා සියතින් කැවුමක් දුනිමි. තමා ලත් කොටසින් අඩක් දී නදුන් වෙනෙහි සතුටු වෙමි.
114. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
115. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවායි.
ප්‍රථම සුණිසාවිමාන යි.
116. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
117. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
118. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
119. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මෙසේ පැවසූ ය.
120. මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස්දුවක් වූවා මයිලණුවන් ගේ ගෙහි ලේලියක් වූමු.
121. පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති මහණක්හු දුටිමි. (දැක) උන්වහන්සේට පහන් වූවා සියතින් යව ධාන්‍යයෙන් කළ කොමු පිඬෙකින් භාගයක් දුනිමි. ඒ කොමුපිඬු දී නඳුන් වෙනෙහි සතුටු වෙමි.
122. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
123. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය සුණිසාවිමාන යි.
124. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි?
125. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත් ද?
126. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
127. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
128. ගිහිගෙහි වසන මට ඊර්‍ෂ්‍යායෙක් හෝ මසුරුබවෙක් හෝ නැවත යුගග්‍රාහයෙක් හෝ නොවීය. ක්‍රෝධ නැත්තී සිය සැමියාගේ අදහස් අනුව පවත්නී පෙහෙවස් රැකීමෙහි නිරතුරු ව අප්‍රමත්ත වූවා වෙමි.
129-130. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද යම්බඳු අටවක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද (යන පොහෝ දිනයන්හි) අටඟින් යුත් පෙහෙවස් විසීමි. සියලු කල්හි නිති සිල්හිද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූවා මොනවට බෙදා දෙන්නී ගෙහි විසීමි.
131. (එකළ මම) පණිවායෙන් දුරු වීමි, මුසවායෙන් සංයත වීමි, අයිනාදනින් මිසහසරින් රහමෙර පීමෙන් දුරු වීමි.
132. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
133. (එසේම) ඒ මම ස්වකීය සීලයෙන් ද කීර්තියෙන් ද යසස් ඇතියා සිය පින්පල විදීමි. නිරෝග වූවා සැප ඇතියා ද වෙමි.
134. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
135. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. වහන්ස, උත්තරා නම් උපාසිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාදයන් මස්තකයෙන් වඳී.
වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් වඳිනු මැනැවි. වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මා එක්තරා මාර්‍ගඵලයෙක්හි ලා වදාරන සේක් නම් ඒ පුදුමයෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ (මා) සකෘදාගාමී ඵලයෙහි ලා ප්‍රකාශ කළ සේක.
උත්තරාවිමාන යි.
136. (එම්බා දෙව්දුව) තීගේ රියෙහි යොදන ලද අශ්වයෝ උතුම් වූ දිව්‍යමය වූ අශ්වාභරණයෙන් සරසන ලදහ, යටිහුරු කළ මුව ඇතියහ, ආකාශචරියහ, බල ඇත්තාහ, ජව ඇත්තාහ. ඒ රිය පන්සියය තීගේ පිනෙන් නිපන. රියැදුරන් විසින් මෙහෙයන ලද්දවුන් වැනි අශ්වයෝ තී අනුව යෙත්.
137. දිව බරණින් සැරැසුණු සඳහිරු තරු සේ බබළන ගිනි සේ දිලියෙන ඒ කී උතුම් රියෙහි සිටිනෙහි ය. අලාමක දර්‍ශන ඇති උතුම් සිරුරු ඇත්තී ය, කිනම් දිව්‍ය නිකායෙකින් බුදුරදුන් වෙත පැමිණියෙහි දැ යි තී විචාරමි.
138. දෙවියෝ කැමති පරිදි කම්සැප මවා ගනිමින් ඇලෙත් ද, කාමසුඛයෙන් අගතැන් පැමිණි තැන් අතුරෙන් යම් දෙව්ලොවක් ශ්‍රේෂ්ඨ යයි කියත් ද ඒ දෙව්ලොවින් කැමති රූ දරන අප්සරාවක් වූ මම බුදුරදුන් වඳින්නට මෙහි ආමි.
139. එම්බා දෙව්දුව, තෝ පෙර කවර පිනක් කේලෙහි ද? අපමණ පිරිවර ඇති සැපෙන් වැඩුණු තෝ කවර පිනෙකින් මෙහි (සැනසී) සිටිනෙහි ද? තීගේ අත්‍යුත්තම වූ ආකාශචාරී වූ දිව්‍යානුභාවය ද වෙයි. තීගේ සිරුරුපැහැය ද දස දිගුන් බබුළුවයි.
140. එම්බා දෙව්දුව, තෝ දෙවියන් විසින් පිරිවරන ලද්දී සත්කාර ද කරන ලද්දී වෙහි. කිනම් භවයෙකින් ච්‍යුත වූවා සුගතියට පැමිණියා වෙහි ද? තෝ කිනම් ශාස්තෘවරයක්හුගේ අවවාදානුශාසනා පිළිගැනීමෙන් වචන කරන්නී වෙහි ද? ඉදින් තෝ බුද්ධශ්‍රාවිකා වූවා නම් මට කියව.
141.(ඉසිගිලි ඈ) පවු අතර මැනැවින් පිහිටුවන ලද උතුම් (රජගහ) නුවර නැටුම් ගැයුම් මැනැව්‍න් පුහුණු වූ මම සිරිමත් (බිම්සර) රජුගේ පරිචාරිකාවක් වීමි. ඒ මා රජගහ නුවර සිරිමා යැ යි දැනගත්හ.
142. ඍෂි ශ්‍රේෂ්ඨ වූ විනායක වූ බුදුරජ සමුදය දුඃඛ සත්‍යයන්ගේ අනිත්‍යතාව ද අසංස්කෘත වූ ශාශ්වත දුඃඛනිරෝධය වූ නිර්‍වාණය ද අකුටිල වූ කෙලෙස් නසන ආර්‍ය්‍යමාර්‍ගය ද මට පැවසී ය.
143. මම උතුම් වූ තථාගතයන් වහන්සේගේ අසංස්කෘත නිර්‍වාණයට කරුණු වූ සද්ධර්‍මය අසා නරශ්‍රේෂ්ඨ වූ බුදුරදුන් විසින් දෙසනලද ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ මම ශීලයෙහි මැනැවින් සංවෘත වූමු.
144. මම උතුම් වූ තථාගතයන් වහන්සේ විසින් දෙසනලද අසංස්කෘත වූ නිර්‍වාණ පදය දැන මම ඒ අත්බැව්හි ලෝකෝත්තර සමාධිය අවබෝධ කෙළෙමි. ඒ ලෝකෝත්තර සමාධි ස්පර්‍ශය ම මට උතුම් මාර්‍ග නියාමය විය.
145. මම විශිෂ්ඨභාව සාධක වූ උතුම් වූ නිර්‍වාණය ලැබ සත්‍ය ප්‍රති වේදයෙහි විශේෂයට පැමිණ තුණුරුවන්හි නිසැක වූවා වෙමි. පහවූ සැක ඇති මම බොහෝ දෙනා විසින් පුදන ලදුයෙම් ස්වල්ප නොවූ ක්‍රීඩාරතිය වළඳමි.
146. මෙසේ දෙව්දුවක් වූ මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූවා නිවන දක්නී වෙමි. පළමු පෙලෙහි පිහිටියා වූ සිවුසස් දහම් දක්නා මම සෝවාන් වීමි. මට දුගතියෙක් නැත් මය.
147. ගෞරව සහිත වූ ඒ මම බුදුරදුන් වැදීමට ද පැහැදීම ඇති කරණ නිවනෙහි ඇලුණු භික්‍ෂූන් වැදීමට ද ශ්‍රීමත් වූ බුදුරජාණන් වහන්සේගේ නිර්‍භය වූ ශ්‍රමණ සමාගමය (ඇසුරු කිරීමට ද) එළඹියෙමි.
148. නරශ්‍රේෂ්ඨ වූ පුරුෂදම්‍යසාරතථී වූ තථාගත වූ බුදුරදුන් දැක පිනා ගියා වූ මම සතුටු සිත් ඇත්තී වෙමි. ඒ මම තෘෂ්ණාව සිඳහළ නිවනෙහි ඇලුණු උතුම් වූ හිතයෙන් සත්ත්‍වයන්ට අනුකම්පා කරන විනායක වූ තථාගතයන් වහන්සේ වඳිමි.
සිරිමාවිමාන යි.
149. මනාව මැවුණු වෙරළුමිණිමුවා ටැම් ඇති රන්රුකින් හාත්පසින් වැසුණු සියලු කල්හි සිත්කලු වූ පැහැසර වූ මේ විමාන ස්ථානය මාගේ කර්‍ම විපාකයෙන් පහළ විය.
150. ඒ විමන්හි උපන් මේ ප්‍රථම දිව්‍යප්සරාවෝ ලක්‍ෂයක් පමණ වෙති. පිරිවර ඇත්තා වූ තෝ ස්වකීය කර්‍මානුභාවයෙන් මෙහි උපන්නී වෙහි. ඒ ප්‍රථම දිව්‍යප්සරාවන් බබුළුවමින් සිටිනෙහි.
151. සසලපින් යුත් සඳු යම් සේ තුරුරැස මැඩගෙන බබළා ද එසේ ම තෝ යසසින් මේ දිවසර මුළුව අතිශයින් බබළවමින් බබළහි.
152. අලාමක දැකුම් ඇත්තීය, තෝ කොතැනකින් නොහොත් කවර පිනෙකින් අවුත් මාගේ මේ විමන්හි උපනිහි ද? ඉන්‍ද්‍රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ බඹහු දැක යම්සේ සෑහීමට නො පැමිණෙත් ද, එසේ ම (අපි) සියලු දෙන තී දැකීමෙන් සෑහීමට නො පැමිණියෙමු.
153. ශක්‍රය, කවර භවයෙකින් ච්‍යුත ව මෙහි ආයෙහි දැ යි යම් ඒ පැනයක් මා අතින් විචාරහි. කසී රට බරණැස් නම් පුරයෙක් ඇත. මම පෙර ඒ නුවර කේසකාරිකා නම් වීමි.
154. බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද පහන් සිත් ඇතියා නියතගතික වූවා සැක නැතියා නොකඩ සිකපද ඇත්තී පැමිණි ඵල ඇතියා නිවනෙහි නියත වූවා නිදුක් වූවා වෙමි.
155. බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද පහන් සිත් ඇති නියතගතික වූ නිසැක වූ නොකඩ සිකපද ඇති පැමිණිඵල ඇති නිවනෙහි නියත වූ එම්බා දෙව්දුව, තෝ ධර්‍ම සම්පත්තියෙන් ද පරිවාර සම්පත්තියෙන් ද බබළහි. තීගේ ඒ ද්විවිධ සම්පත්තිය පිළිගනිමු. තීගේ මෙහි පැමිණීම ද මනා පැමිණීමෙකි.
කේසකාරීවිමාන යි.
ප්‍රථම පීඨවර්ග යි
එහි උද්දානය:
පඤ්චපීඨ යැ තයෝ නාවා යැ දීපතිල දක්ඛිණා දෙක යැ පතිබ්බතා දෙක යැ සුණිසා දෙක යැ උත්තරා යැ සිරිමා යැ කෙසකාරිකා යැ යි එයින් වර්ගය කියනු ලැබේ.
2. චිත්තලතා වර්‍ගය
156. එම්බා දෙව්දුව, තෝ සක්දෙව් රජු මෙන් සිත්කලු සිතුලිය වෙනෙහි දෙවඟනන් විසින් පිරිවරන ලදුව දවහත්තරුව සේ සියලු දිගුන් බබුළුවමින් හාත්පස හැසිරෙහි ද?
157. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
158. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?