Vimānavatthu

Stories of Heavenly Mansions

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

පෙන්වන කොටස් 1001-1100 න් 1218

1104. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1105. මුගලන් තෙරුන් විසින් මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1106. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙම් මනා පියෙවි ඇති විද්‍යා හා චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ පිරිවර ඇති බහුශ්‍රුත වූ ශීලව්‍රත සමන්‍වාගත වූ ශ්‍රමණයන් දැක, පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
1107. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1108. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
දුතියකුණ්ඩලීවිමාන යි.
1109. (එම්බා දේවපුත්‍රය) යම් තැනෙක දිව්‍යසමූහයා එක්ව හිඳී ද, ඒ සක්දෙව් රජුගේ යම් සුධර්‍මා නම් සභාවක් වෙයි ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1110. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1111. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1112. මම මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙමි. පායාසි රජුගේ මාණවකයෙක් වීමි. (එකලැ) ධනය ලබා සංවිභාග කෙළෙමි. මට සිල්වත්හු ද ප්‍රියවූහ. (උන්වහන්සේට) පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
1113. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1114. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
උත්තරවිමාන යි.
සවන පායාසිවර්‍ග යි.
එහි උද්දානය:
අගාරිය දෙකයැ ඵලදායක යැ උපස්සය දෙක යැ භික්ඛාදායක යැ යවපාලක යැ කුණ්ඩලී දෙක යැ (උත්තර) පායාසි යැ යි මෙසේ පුරුෂවිමාන පිළිබඳ දෙවෙනි වර්‍ගය කියනු ලැබේ.
7. සුනික්ඛිත්ත වර්‍ගය
1115. (එම්බා දේවපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතා වනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1116. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
1117. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1118. මම (පෙරැ) මිනිසුන් අතරැ මිනිසෙක් වූයෙමි. දිළිඳු වූ අසරණ වූ බැගෑපත් වූ කම්කරුවෙක් වීමි. (ඒ මම) ජරාවෙන් දුර්‍වල වූ මාගේ මවුපියන් පෝෂණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්‍රියවූහ. පහන් සිතැතියෙම් අහර ද පැන් ද සකස් කොට මහාදානයක් දුනිමි.
1119. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1120. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
චිත්‍රලතාවිමාන යි.
1121. (එම්බා දේවපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ නන්‍දවනය හා චිත්‍රලතාවනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1122. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
1123. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1124. මම (පෙරැ) මිනිසුන් අතුරෙහි මිනිස් වූයෙම් දිළිඳු වූ අසරණ වූ බැගෑපත් වූ කම්කරුවෙක් වීමි. (ඒ මම) ජරාවෙන් දුර්‍වල වූ මාගේ මවුපියන් පෝෂණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්‍රියවුහ. පහන් සිතැතියෙම් අහර ද පැන් ද සකස් කොට මහාදානයක් දුනිමි.
1125. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන සම්පත්තීහු මට පහළ වෙත්.
1126. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියම්. එයින් මෙසේ දිලියෙන පුණ්‍යාර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
නන්‍දනවිමාන යි.
1127. (එම්බා දිව්‍යපුත්‍රය) ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණි ආදියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1128. එහි (තෝ) සිටින්නෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහිය, දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙත්. මෙහි දිව්‍යමය වූ රසයෝ ද පස්කම් ගුණයෝ ද වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
1129. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තට පහළ වෙත් ද,
1130. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
1131. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.
1132. (වහන්ස) මම (පෙරැ) මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙම් වන මගෙකැ සක්මනක් කෙළෙමි. එහි ආරාමයක් කොට ගස් ද රෝපණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්‍රියවූහ. පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහා දානයක් දුනිමි.
1133. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය ද එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තීහු මෙහි සමෘද්ධ වෙති. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1134. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
මණිථුණවිමාන යි.
1135. (එම්බා දේවපුත්‍රය) රුවන්දැලින් සැරසූ කිකිණිදැල් ඇති හාත්පසින් බබළන (මේ) විමානය රන්පවුවෙකැ පිහිටියේ වෙයි.
1136. අටැස් වූ සුදුපැහැති සියලු ටැම්හු වෙරළුමිණියෙන් මොනවට කරන ලදහ. (ඒ ටැම්හි) එක් එක් කොටස සත් රුවනින් නිමවන ලදී.
1137-1138. වෙරළුමිණියෙන් හා රනින් ද පළිඟුයෙන් හා රිදියෙන් ද මැසිරිගලින් හා මුතුයෙන් ද රතුමිණියෙන් ද විසිතුරු වූ සිත්කලු භූමිය වෙයි. එහි ධූලි නො නගියි. නිර්මිත වූ රන්වන් වූ ගොනැස් සමූහයෝ (සත්රුවන් පුවා) කැණිමඬල දරත්.
1139. සිවු දිගුහි හිණි සතරෙක් මවන ලදි. නොයෙක් රුවනින් කළ ගබඩාවන් කරණකොට ගෙන (මේ විමන) හිරුමෙන් බබළයි.
1140. එහි සිවු දිගුහි අවට අතිශයින් දීප්තිමත් වූ කොටස් වශයෙන් පමණට බෙදූ සිවු වේදිකාවෝ බබළත්.
1141. ඒ උතුම් විමන්හි සිටින උදාවන හිරුමෙන් මහත් කැලුම් ඇති දෙවිපුත් වූ (තෝ) සිරුරු පැහැයෙන් අතිශයින් බබළහි.
1142. (එම්බා දිව්‍යපුත්‍රය) තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේ ද, නැතහොත් සීලයක්හුගේ ද, නැතහොත් අඤ්ජලිකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.
1143. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1144. (වහන්ස) මම (පෙරැ) අන්‍ධකවින්‍ද නම් රටෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේට පහන් සිතැතියෙම් සියතින් (ඒ ඒ කිස කරමින්) විහාරයක් කරවූයෙමි.
1145. ඒ අන්‍ධකවින්‍ද රටෙහි (මම) වෙසෙසින් පහන් සිතින් ශාස්තෲන් වහන්සේට අභිනව සුවඳ ද මල්ද විලවුන් ද විහාරය ද පූජා කෙළෙමි.
1146. ඒ පිනෙන් මා විසින් මේ විපාකය ලබනලදී. නදුන් වෙනෙහි අනුන් අභිභවා වෙසෙමි. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරනලද මම නොයෙක් පක්‍ෂි සමූහයාගෙන් යුක්ත වූ සිත්කලු වූ නදුන් වෙනෙහි ගී නැටුම්වලින් සිත් අලවා වෙසෙමි.
සුවණ්ණවිමාන යි.
1147. (එම්බා දිව්‍යපුත්‍රය) ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත්සියයෙක් වෙත්.
1148. (තෝ) එහි සිටින්නෙහි ය. පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ රසයෝ ද පස්කම් ගුණයෝ ද වෙ ති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
1149. කවර හේතුවකින් තොපට එබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනෙකින් තොපගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තොපට පහළ වෙත් ද.
1150. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
1151. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1152. ගිමන් කලැ පැසුළුමස්හි හෙවත් ඇසළමසැ හිරු අතිශයින් දිලෙන කල්හි අනුනට බැළමෙහෙ කොට ජීවත්වන්නා වූ පුරුෂයෙක් අඹවනයකට දිය ඉසී.
1153. එකල්හි ඒ දිශායෙන් කයින් ක්ලාන්ත වූ සිතින් ක්ලාන්ත නො වූ ශාරිපුත්‍ර යැයි ප්‍රසිද්ධ වූ මහරහතුන් වහන්සේ වැඩම කළ සේක.
1154. අඹවනයට දිය ඉසින්නා වූ (ඒ මම) එන්නා වූ උන් වහන්සේ දැක, “වහන්ස, යම් හෙයකින් ඔබ වහන්සේ සනහවන්නෙම් නම් යෙහෙක. එය මට සැප එළවන්නේ ය” යි කීවෙමි.
1155. (එසඳ උන් වහන්සේ) ඒ මට අනුකම්පා පිණිස පාසිවුරු බහා තැබූහ. එක් සිවුරෙන් යුක්ත ව රුක්මුල සෙවණෙහි වැඩහුන් සේක.
1156. පහන් සිතැති මම රුක්මුල සෙවණෙහි වැඩහුන් එක් සිවුරෙන් යුත් උන් වහන්සේ පිරිසිදු දියෙන් නැහැවීම.
1157. මා විසින් අඹගස ද දියෙන් ඉසින ලදි. ශ්‍රමණයන් වහන්සේ ද සනහවන ලදහ. ස්වල්ප නො වූ පින් ද රැස්කරනලදැ යි හෙ තෙමේ තමාගේ මුළුසිරුර ප්‍රීතියෙන් පැතිරැවී.
1158. (මම) ඒ ජාතියෙහි එපමණක් ම වූ පින්කම් කෙළෙමි. (ඒ පින්කමින්) මිනිස් සිරුර හැර (මේ) නදුනුයනට පැමිණියෙම් වෙමි.
1159. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරන ලද (ඒ මම) නොයෙක් පක්‍ෂිසමුහයන්ගෙන් යුක්ත වූ සිත්කලු වූ නඳුන්වෙනෙහි ගී නැටුම් වලින් සිත් අලවා වෙසෙමි.
අම්බවිමාන යි.
1160. (සිය) දෙව්විමන්හි සඳදෙව්පුත් යම්සේ බබළා ද, එසේ (බබළන) උස් වූ බොහෝකල් පවත්නා වූ විමානයෙහි පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇති දෙවියකු දැක මෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ (මෙසේ) විචාළ සේක.
1161. (එම්බා දේවපුත්‍රය), අලඞ්කෘත වූ මල්මාලා දරන්නා වූ මනාවත් ඇති මනා කොඬොල් ඇති සැරහූ කෙස්රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇත්තා වූ (තෝ) මේ දෙව්විමන්හි චන්‍ද්‍රයා මෙන් (බබළහි).
1162. (එහි) දිව්‍යවීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූ සැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොවැ සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති, ගයති, ප්‍රමෝද වෙත්.
1163. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි වෙහි ද?
1164. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසී ය.
1165. (වහන්ස) මම (පෙරැ) මිනිසුන් අතරැ මනුෂ්‍ය වූයෙම් අනුන්ගේ දෙනුන් එක්රැස් කොට රැක්කෙමි. එකල්හි මහණෙක් මා වෙතට පැමිණියේ ය. ගවයෝ ද මෑකෙත කන්නට ගියහ.
1166. වහන්ස, එකල්හි මම (මා විසින්) කළයුතු කිස දෙකක් ඇතැ යි සිතීමි. වහන්ස, ඉක්බිති නුවණින් ධර්‍මසංඥාව පිළිලැබ (කොමුපිඬු) දෙමි යි රෙදිකඩ බැහැර කෙළෙමි.
1167. මේ ගවසමූහය තෙමේ යමක්හුගේ මේ මාෂශස්‍යය මඩනේ ද, ඒ (මම) එයට පෙරැ යුහුසුලු වූයෙම් මෑකෙතට පැමිණියෙමි. එහි වේගයෙන් ගිය මාගේ පය මහාවිෂ ඇති කෘෂ්ණසර්‍පයෙක් දෂ්ට කෙළේ ය.
1168. ඒ මම සර්‍පවිෂයෙන් උපද්‍රැත වූයෙම් මරණදුකින් පෙළුණෙම් වෙමි. මහණ ද මට අනුකම්පා පිණිස තෙමේ ම ඒ රෙදිකඩ මුදා කොමුපිඬු වැළඳී ය. (මම) කලුරිය කෙළෙම් ඒ මිනිසත් බවෙන් චුත ව දෙවියෙක් වෙමි.
1169. මා විසින් ඒ කුශලකර්‍මය ම කරන ලදි. වහන්ස, ඔබ විසින් බොහෝසේ අනුකම්පා කරනු ලැබූ මම ඒ කර්‍මයෙන් සැප ද විඳිමි. කළගුණ දන්නා බැවින් ඔබ වහන්සේ වඳිමි.
1170. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ලෝකයෙහි ඔබ වහන්සේ හා සම වූ අනුකම්පා ඇති අන්‍ය වූ මුනිවරයෙක් නැත. වහන්ස, ඔබ වහන්සේ විසින් අතාශයින් අනුකම්පා කරනු ලැබූ (මම) කළගුණ දන්නා බැවින් ඔබ වඳිමි.
1171. මෙලොව ද පරලොව ද ඔබ වහන්සේ හා සම වූ අනුකම්පා ඇති අන්‍ය වූ මුනිවරයෙක් නැත. වහන්ස, ඔබ වහන්සේ විසින් අතිශයින් අනුකම්පා කරනු ලැබූ මම කළගුණ දන්නා බැවින් ඔබ වඳිමි.
ගෝපාලවිමාන යි.
1172. තාරකාවන්ට අධිපති වූ සස ලකුණු ඇත්තා වූ තාරකාවන් විසින් පිරිවරන ලද පුරපසළොස්වක් හි චන්‍ද්‍රයා යම්සේ හාත්පස වටා ඇවිදී ද,
1173. එබඳු වූ මේ දිව්‍යවිමානය ද උදාහිරුමෙන් දෙව්ලොවැ පැහැයෙන් අතිශයින් බබළයි.
1174-1175. වෙරළුමිණියෙන් හා රනින් ද පළිඟුයෙන් හා රිදීයෙන් ද මැසිරිගලින් හා මුතුයෙන් ද රතුමිණියෙන් ද විසිතුරු වූ සිත්කලු භූමිය වෙයි. වෙරළුමිණියෙන් අතුරන ලද වෙයි. සිත්කලු වූ යහපත් වූ කුළු ගෙවල් ද වෙයි. මෙසෙයින් තාගේ පහය මැනවින් මැවුණේ වේ.
1176-77. දිවමසුන් විසින් සෙවුනා ලද නිර්‍මල ජලය ඇති වෙසෙසින් පහන් වූ රුවන්වැලි ඇතුරූ නොයෙක් පියුමෙන් ගැවැසීගත් හෙළ පියුමෙන් හාත්පස පැතුරුණු පවනින් කම්පිත වූ මනරම් වූ තාගේ පොකුණු මනා සුවඳ වහනය කෙරේ.
1178. තාගේ ඒ පොකුණු දෙපස මල්රුකින් හා පලරුකින් යුක්ත වූ වනලැහැබ්හු මවනලදහ.
1179. රන්වන් පා ඇති දිවසළු අතුළ මොළොක් වූ පලඟෙහි සක්දෙව් රජු මෙන් හුන්නා වූ තා වෙත දිව්‍යාප්සරාවෝ එළඹ සිටිත්.
1180. සියලු අබරණින් වැසුණු නන්වන් මලින් සැරැහුණු ඒ දිව්‍යාප්සරාවෝ මහත් ඍද්ධි ඇති තා සතුටු කරවත්. (ඒ තෝ) වසවත් දෙව්රජහු මෙන් සතුටු වෙහි.
1181. දේවරතියෙන් යුක්ත වූ (තෝ) බෙර සක් මිහිඟුයෙන් ද වීණායෙන් හා පණාබෙරින් ද නැටුම් ගැයුම් මැනවින් පවත්නා කල්හි සිත් අලවා වෙසෙහි.
1182. තා විසින් කැමතිවන ලද මනරම් වූ නන්වැදෑරුම් වූ දිව්‍යමය රූපයෝ ද දිව්‍යමය ශබ්දයෝ ද නැවැත දිව්‍යමය රසයෝ ද දිව්‍යමය සුගන්‍ධයෝ ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෝ ද තට ඇත්තාහ.
1183. (එම්බා) දේව පුත්‍රය, (තෝ) ඒ උතුම් දෙව්විමනෙහි උදාහිරු මෙන් මහත් ප්‍රභා ඇති වැ පැහැයෙන් අතිශයින් බබළන්නෙහි.
1184. (එම්බා දේවපුත්‍රය,) තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේ ද? නැතහොත් සීලයක්හුගේ ද නැතහොත් අඤ්ජලිකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.
1185. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසී ය.
1186. (වහන්ස) මම (පෙරැ) ශාක්‍යයන්ගේ උතුම් වූ පුරය වූ කපිල වස්තුයෙහි සුද්ධෝදන රජුගේ පුත්‍රයාගේ සහජ වූ කන්‍ථක අශ්වයා වීමි.