1026. රියෙහි සිටි මේ දෙවඟනෝ මුවපොල්ලන්ට බඳු මුදු සිනිඳු ඇස් ඇතියාහු ඝන වූ ඇස්පිහාටු ඇතියාහු සිනා මුහුණු ඇතියාහු ප්‍රිය වදන් ඇතියාහු වෙරළුමිණි දැලින් වැසූ සිරුරු ඇතියාහු සියුම්සිවි ඇතියාහු සියලු කල්හි ම ගඳඹ දෙවියන්ගෙන් හා සෙසු අගදෙවියන්ගෙන් හා ලද පිදුම් ඇතියාහු වෙත්.
1027. ඇලුම් දනවන සැහැවි ඇති රතු රන්වන් සළු දරන විසල් නෙත් ඇති වෙසෙසින් රන්වන් රොදින් හොබනා නුවන් ඇති උසස් දේවනිකායෙහි උපන් සොඳුරු සිරුරු ඇති මනා මදහස පහළ කරන රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති වැ එළඹ සිටියාහු ය.
1028. රන්මුවා අඟුපලඳනා දරන මනාසළු හැඳි සිහිනිඟ ඇති පිරිපුන් වටොර හා පියයුරු ඇති කෙමෙන් දිගු වට ඇඟිලි ඇති සොඳුරු මුව ඇති මනා දැකුම් ඇති රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.
1029. සොඳුරු වේණි ඇති සමසේ බෙදීගිය පැහැසර රන් කෙඳියෙන් මුසු කෙහෙ ඇති අනුගත පැවැතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය තරුණ වූ ඒ ඇතැම් සුරඟනෝ රියෙහි සිටියෝ බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.
1030. පියුමුපුලින් සැදුම් ලත් රැළි දීම් ඇති දිවසඳුනෙන් අලෙව් දුන් අලඞ්කෘත වූ අනුගත පැවතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති වැ එළඹ සිටියාහු ය.
1031. පිහුමුපුලින් සැදුම්ලත් දිව සඳුනෙන් අලෙව් දුන් පුෂ්පමාලා ඇති අලඞ්කෘත වූ අනුගත පැවැතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.
1032. ඔබගේ ගෙලෙහි දු අත්හි දු පාහි දු එසේ ම හිසෙහි දු යම් පළඳනාවෝ වෙත් ද, ඔහු උදා වූ සරාහිරු මෙන් හාත්පසින් දසදිගුන් බබුළුවත්.
1033. වායු වේගයෙන් ද ප්‍රකම්පිත වූ බාහුයෙහි මල්දම් ද පළඳනාවෝ ද සියලු ගඳෙව් සිප් දන්නවුන් විසින් ඇසිය යුතු වූ රුචිර වූ අමිශ්‍ර වූ මනෝඥ වූ නාදය විහිදුවත්.
1034. දිව්‍යපුත්‍රය උයන්බිම දෙපස සිටියා වූ රියහඬ ගජහඬ තුරුහඬහු සුශික්‍ෂිත බැවින් ඉතා මනහර වූ වීණා වාදකයාගේ අතින් වාදනය කරන ලද වීණාව මෙන් තා ම ප්‍රමෝදයට පමුණුවත්.
1035. කන්කලු වූ මනහර වූ බොහෝ වූ මේ වීණාවන් හෘදයඞ්ගම කොට ප්‍රීතියෙන් වයනු ලබන කල්හි මොනවට හික්මුණු දිව්‍ය කන්‍යාවෝ පියුම්වල (රඟපාමින්) හැසිරෙත්.
1036. යම් විටෙකැ මේ ගීතයෝ ද වාදිතයෝ ද නෘත්‍යයෝ ද එකට එකතු වෙත් ද, එකල්හි තෙල රියෙහි ඇතැම් අප්සරා කෙනෙක් නටති. යළි තෙල රියෙහි දෙපස සිටි උතුම් දිව්‍යස්ත්‍රීහු (වස්ත්‍රාභරණාදියෙන් දිගුන්) බබුළුවත්.
1037. කන්කලු වූ මනහර වූ බොහෝ වූ මේ වීණාවන් හෘදයඞ්ගම කොට ප්‍රීතියෙන් (වයනු ලබන කල්හි) ඒ තෝ දිව්‍යතූර්‍ය්‍ය සමූහයෙන් කළ තුටු පිබිදීම් ඇති පුදනු ලබන්නා වූ ශක්‍රයා මෙන් සතුටු වෙති.
1038. තෝ පෙරැ මිනිස් වූයෙහි පෙරැ අත්බැව්හි කිනම් කර්‍මයක් කෙළෙහි ද? තෝ කවර පෙහෙවසක් හෝ විසූයෙහි ද? කවර ධර්‍මචර්‍ය්‍යාවක් කවර ව්‍රතයක් රුචි කෙළෙහි ද?
1039. යම් හෙයෙකින් දේව සමූහයා අතිශයින් මැඩගෙන බබළහි ද? මේ තාගේ මහත් වූ ඍද්ධ්‍යනුභාවයෙකි. මේ විපාකය පෙරැ කරනලද අල්ප කර්‍මයක්හුගේ හෝ පෙරැ පුරුදු කළ අල්ප වූ උපෝසථයක්හුගේ හෝ නො වේ.
1040. තාගේ මේ විපාකය දානයක්හුගේ හෝ නොහොත් ශීලයක්හුගේ හෝ නොහොත් අඤ්ජලි කර්‍මයක්හුගේ හෝ වේ ද? මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.
1041. මේ විපාකය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද සතුටු සිත් ඇති ඒ දෙව්පුත් තෙමේ (මෙසේ) පැවැසී ය.
1042-1043. දිනන ලද ඉඳුරන් ඇති පරිපූර්‍ණ වීර්‍ය්‍ය ඇති නර ශ්‍රේෂ්ඨ වූ අග්‍ර පුද්ගල වූ දෙවියන්ට දෙවි වූ සියපින් ලකුණෙන් යුත් නිවනට දොර විවෘත කරන්නා වූ; හස්තිරාජයක්හු හා සමාන වූ චතුරෝඝය තරණය කළා වූ සිඞ්ගීසුවර්‍ණ ජාම්බොනදසුවර්‍ණ රූපයක් බඳු වූ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දුටුයෙමි. දැක වහා පිරිසිදු සිත් ඇත්තෙම් වීමි. ධර්‍මධ්වජ වූ ඒ බුදුරජාණන් වහන්සේ දැක,
1044. නො ලැගුණු සිත් ඇති ඒ මම මලින් ගැවැසුණු සිය නිවසෙහි උන්වහන්සේ විෂයෙහි පවිත්‍ර වූ ප්‍රණීත වූ රසයෙන් යුක්ත වූ ආහාරපාන ද යළි සිවුරු ද පිළිගැන්වීමි.
1045. ඒ ද්විපදෝත්තම වූ සර්‍වඥයන් වහන්සේ ආහාරපානයෙන් ද චීවරයෙන් ද ඛාද්‍යයෙන් ද භෝජ්‍යයෙන් ද රස විඳගන්නා දැයින් ද සතප්වා ඒ මම ස්වර්‍ගයක් පාසා දේවපුරසඞ්ඛ්‍යාත සුදර්‍ශන මහා නගරයෙහි සිත් අලවා වෙසෙමි.
1046. මේ නයින් විශුද්ධ වූ ත්‍රිවිධ වූ නිරවුල් වූ මේ මහදන් දී මම ඒ මිනිස් සිරුර පියා දෙව්ලොව ශක්‍රයා මෙන් සිත් අලවා වෙසෙමි.
1047. මුනිවරය, ප්‍රණීත වූ ආයුෂය වර්‍ණය සුඛය බලය යන මේ කැමැත්තහු විසින් බොහෝ වූ මනාව පිළියෙළ කරනලද අහර ද පැන් ද නො ඇලුණු සිත් ඇති බුදුන් විෂයෙහි පිළිගැන්විය යුතු යි.
1048. මෙලොවැ හෝ පරලොවැ හෝ පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පින්පල කැමතියනට ආභවනීයයන් අතුරෙහි පරම ආභවනීය භාවයට පැමිණි බුදුරජ තෙමේ ම ශ්‍රේෂ්ඨ වේ. බුදුන් හා සමයෙකුදු විද්‍යමාන නො වේ.
මහාරථවිමාන යි.
පස්වන මහාරථවර්‍ග යි.
එහි උද්දානය:
මණ්ඩුක යැ රේවතී යැ ඡත්ත (මාණවක) යැ කක්කටරසදායක යැ ද්වාරපාලක යැ කරණීය දෙක යැ සූචිදෙක යැ නාග තුන යැ රථදෙක යැ යි පුරුෂ විමානයන් පිළිබඳ ප්‍රථම වර්‍ගය කියනු ලැබේ.
තෙවැනි බණවර නිමි.
6. පායාසි වර්‍ගය
6. 1.
1049. (එම්බා දිව්‍යපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතාවනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටි.
1050. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුර පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1051. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1052. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ පැන් පොකුණක් බඳුව ගිහිගෙයි විසුම්හ. (සඞ්ඝයා විෂයෙහි) පහන් සිත් ඇති ව අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
1053. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1054. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
අගාරියවිමාන යි.
6. 2.
1055. (එම්බා දිව්‍යපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතා වනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1056. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1057. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1058. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ පැන් පොකුණක් බඳුව ගිහිගෙයි විසුම්හ. (සඞ්ඝයා විෂයෙහි) පහන් සිත් ඇති ව අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
1059. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1060. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
දුතිය අගාරියවිමාන යි
6. 3.
1061. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1062. එහි (තෝ) සිටිනෙහි ය, පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය. දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණුවූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති ගයති ප්‍රමෝද වෙත්.
1063. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද, තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
1064. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.
1065. (වහන්ස) පහන්සිත් ඇති ඍජුමාර්‍ගයට පැමිණියා වූ ආර්‍ය්‍ය පුද්ගලයන් විෂයෙහි පලතුරු දන්දෙන පුද්ගල තෙමේ මහත් පුණ්‍යඵලය ලබයි. හෙතෙමේ (උත්පත්ති විසින්) දෙව්ලොව ගියේ තව්තිසා භවනෙහි සතුටු වෙයි. එහි දී (මා මෙන්) මහත් පින්පල ද අනුභව කරයි. මහා මුනිවරයෙනි එසේම මම ද ඵල සතරක් දුනිමි.
1066. එහෙයින් ම දිවසැපත් පතන්නා වූ හෝ මිනිස් සැපත් කැමැත්තා වූ හෝ සැප කැමැති මිනිසා විසින් නිතර ඵල දානය කරන්නට සුදුසු ම ය.
1067. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1068. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ඵලදායකවිමාන යි
6. 4.
1069. (එම්බා දිව්‍යපුත්‍රය) පහවූ වලාකුළු ඇති නුබකුසැ චන්‍ද්‍රයා යම්සේ අහසේ බබළමින් යේ ද. එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1070. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1071. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් අත්තේ (මෙසේ) පැවසී ය.
1072. මම ද (මාගේ) බිරිය ද මිනිස් ලොවැ (එක්තරා) රහත් නමකට සෙනසුනක් පිදුම්හ. පැහැදුණු සිත් ඇත්තමෝ අහර ද පැන් ද සකසා මහත් දානයක් පිදුම්හ.
1073. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1074. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
පඨම උපස්සයදායකවිමාන යි.
6. 5.
1075. (එම්බා දිව්‍යපුත්‍රය) පහවූ වලාකුළු ඇති නුබකුසැ අන්තරීක්‍ෂයෙහි හිරු යම් සේ බබළමින් යේ ද , එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
1076. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1077. මුගලන් තෙරුන් විසින් මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1078. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ (එක්තරා) රහත් නමකට සෙනසුනක් පිදුම්හ. (එමෙන් ම) පහන් සිතැත්තාහු අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
1079. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1080. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලුදිගුන් බබුළුවයි.
දුතිය උපස්සයදාකවිමාන යි.
6. 6.
1081. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාරවූ යහපත්වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1082. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තේ වෙහි ද?
1083. මුගලන් තෙරුන් විසින් මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි විචාරන ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1084. (වහන්ස) මම මිනිසුන් අතරැ මිනිසෙක් වූයෙම් හටගත් පවස් ඇති ක්ලාන්ත වූ එක් මහණකු දැක (මා සඳහා පිළියෙල වූ) එක බතක් පිදීමි. එකල්හි (ඔහු) බතින් යුතුවූවකු කෙළෙමි.
1085. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1086. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
භික්ඛාදායක විමානයි.
6. 7.
1087. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1088. එහි (තෝ) සිටිනෙහි ය. පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති, සූ සැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති ගයති ප්‍රමෝද වෙත්.
1089. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
1090. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1091. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මිනිසෙක් වූයෙම් යව පල්ලෙක් විමි. (එකල්හි) පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති පැවිද්දකු දුටිමි.
1092. මම පහන් වූයෙම් කොමුපිඬු කොටසක් උන්වහන්සේට සියතින් පිදීමි. (ඒ කොමුපිඬු) පිදීමෙන් නදුන්වෙනෙහි සතුටු වෙමි.
1093. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තෘහු මට පහළ වෙත්.
1094. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
යවපාලකවිමාන යි
6. 8.
1095. (එම්බා දිව්‍යපුත්‍රය) අලඞ්කෘත වූ දිවමලින් බරවූ මනාවස්ත්‍ර ඇති ශෝභන කුණ්ඩලාභරණ ඇති අන්දම් තබන ලද කෙස්රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇති (තෝ) දිව විමන්හි සඳ මෙන් බබළන්නෙහි.
1096. (එහි) දිව්‍යවීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍ය කන්‍යාවෝ ද නටති ගයති ප්‍රමෝද වෙත්.
1097. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
1098. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1099. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙම් සිල්වත් විද්‍යා හා චරණ ධර්‍මයන්ගෙන් යුත් පිරිවර ඇති බහුශ්‍රුත වූ තෘෂ්ණාක්‍ෂය කළ ශ්‍රමණයන් දැක පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
1100. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1101. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
පඨමකුණ්ඩලීවිමාන යි.
6. 9.
1102. (එම්බා දිව්‍යපුත්‍රය) අලවකෘත වූ දිවමලින් බර වූ මනාවස්ත්‍ර ඇති ශෝභන කුණ්ඩලාභරණ ඇති අන්දම් තබනලද කෙස් රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇත්තා වූ (තෝ) දිවවිමන්හි සඳ මෙන් බබළන්නෙහි.
1103. (එහි) දිව්‍ය වීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති, ගයති, ප්‍රමෝද වෙත්.