Vimānavatthu

Stories of Heavenly Mansions

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

පෙන්වන කොටස් 1-100 න් 1218

සුත්‍රාන්තපිටකයෙහි
විමානවස්තු පාළි
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. පීඨ වර්‍ගය
1. අලංකෘත වූ දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැසුණු සිරුරු ඇති එම්බා දෙව්දුව, තීගේ රුවන්මුවා උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළඳගත් සැදෑ වලාකුළක් මෙන් බබළව.
2. කවර හේතුවකින් තිට එබඳු පැහැසටහනෙක් වීද? කවර පිනෙකින් මෙහි තීගේ සුචරිත ඵලය සමෘද්ධ වේද? මනවඩන යම් කිසි සම්පත්තීහු වෙත් නම් කවර පිනෙකින් තිට ඒ භෝගයෝ පහල වෙත් ද?
3. මහත් අනුභාව ඇති දෙව්දුව, තී පුළුවුස්මි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
4. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නා ලද්දී මෙසේ ප්‍රකාශ කළා:
5. (වහන්ස) මිනිස්ලොව මිනිසෙක් වූ මම් ආගන්තුක වැ පැමිණි පැවිදි කෙනෙකුට අසුනක් දුනුමු. අභිවාදනය ද කළමු. අඤ්ජලිකර්‍ම ද කළමු, ශක්ති පරිදි දන් දුන්මු.
6. ඒ පිනින් මට එබඳු වර්‍ණසම්පත් වෙයි. ඒ පිනින් මට මෙහි සම්පත් සමෘද්ධ වෙයි. මනවඩන යම් භොග කෙනෙක් වෙත් නම් ඒ භෝගයෝ උපදිත්.
7. මහත් අනුභාව ඇති යතිවරයන් වහන්ස, මම මිනිස් වැ ඉපිද යම් පිනක් කෙළෙමි නම් එය ඔබට කියමි. ඒ පිනින් මෙසේ දිලියෙන අනුභාව ඇති වීමි. මාගේ වර්‍ණය ද සියලු දිගුන් බබුළුවා යි.
පළමු වැනි පීඨවිමාන යි.
8. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැසුණු සිරුරු ඇති (එම්බා) දෙව්දුව, තීගේ වෙරළුමිණිමය වූ මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසිසේ යයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුළක් මෙන් බබළව.
9. කවර හේතුයෙකින් තිට මෙබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
10. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බැබළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වු ද?
11. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි විචාරන ලද්දී (මෙසේ) පැවසූ ය.
12. වහන්ස, මම පෙරැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා එක් ආගන්තුක මහණක්හට ආසනයක් දුනිමි, වැන්දෙමි, ඇඳිලි කෙළෙමි, ශක්ති පරිදි දන් ද දුනිමි.
13. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
14. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම් යම් පිනක් කෙළෙමි ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය පීඨවිමාන යි.
15. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බරවූ සැරැසුණු සිරුරු ඇති (එම්බා) දෙව්දුව, තීගේ රුවන්මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළද ගත් සැඳෑ වලාකුලක් මෙන් බබළව.
16. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
17. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?
18. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවැසූ ය.
19. (වහන්ස) මම පෙරැ අත්බැව්‍හි මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තී වෙම් ද? මෙය (පෙර කළ) මාගේ ස්වල්ප කුශල කර්‍මයක්හු පිළිබඳ විපාකයෙකි.
20. පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැළැඹුණු සිත් ඇති මහණක්හු දිටිමි. (දැක) පහන් වූ මම් උන්වහන්සේට සියතින් පුටුවක් දුනිමි.
21. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
22. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙමි ද (එය) ඔබට කියම්. එයින් මෙසේ දිලියෙන අනුභාව ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
තෘතීය පීඨවිමාන යි.
23. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැහුණු සිරුරු අති (එම්බා) දෙව්දුව තීගේ රුවන්මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුලක් මෙන් බැබළව.
24. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද, කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද, මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
25. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුලුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
26. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කර්‍මයක්හු ගේ දැ යි පුළුවුස්නා ලද්දී (මෙසේ ) පැවසූ ය.
27. (වහන්ස) මම (පෙර) අත්බැව්‍හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙම්ද මෙය (පෙර කළ) මාගේ ස්වල්ප කුශල කර්‍මයක්හු පිළිබඳ විපාකයෙකි.
28. පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති මහණක්හු දුටිමි. (දැක) පහන් වූ මම් උන් වහන්සේට සියතින් පුටුවක් දුනිමි.
29. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
30. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
චතුර්‍ත්‍ථ පීඨවිමාන යි.
31-32. පියුම් පෙති වැනි ඇස් ඇති දෙව්දුව, නොයෙක් රුවනින් කළ සන්නාහ ඇති සිත්කලු වූ ශක්තිමත් වූ ශීඝ්‍ර ජව ඇති පියුම් පැහැයෙන් යුක්ත වු පියුම් උපුල් පැහැ දරන්නා වු පියුම්කෙසුරෙන් ගැවසී ගත් සිරුරු ඇති රනින් කළ පියුම් මල්දම් දරන්නා වූ තීගේ මේ උතුම් ඇත්වාහනය අහසෙහි (පිට සිටියවුන් නො සල්මින්) යයි.
33. ඒ ඇත්වාහනය පියුම්වලින් ගැවසීගත්තා වූ නන්පැහැති පියුම් පෙත්තෙන් වෙසෙසින් බබළමින් සිටියා වූ මාර්‍ගයෙහි මැනැවින් පමණින් යුතුව පා තබමින් ගමන් කරයි.
34. යන්නා වූ ඒ ඇත්වාහනය දෙපස කන්කලු නද ඇති රන්මුවා ඝණ්ටාවෝ (එල්බෙමින් සැලෙත්) ඔවුන්ගේ නාදය පසඟතුරු නද මෙන් ඇසේ.
35. ඒ ඇත්වාහනයාගේ කඳෙහි පිවිතුරු සළුපටින් සැරසීසිටි තෙපි මහත් වූ දිව්‍යකන්‍යා සමූහයා රූපයෙන් ඉක්මවා බබළව.
36. තීගේ මේ පුණ්‍යවිපාකය දානයක්හුගේ ද, නැතහොත් ශීලයක් හුගේ ද, එසේත් නැතහොත් අඤ්ජලීකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලද්දී එය කියව.
37. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවසූ ය.
38. සියලු (ශ්‍රමණ) ගුණයෙන් යුක්ත වූ ධ්‍යාන කරන සුලු වූ සත්පුරුෂ වූ දැහැනෙහි ඇලුණු මහණක්හු දැක (උන්වහ්හන්සේට වැඩහිඳීම පිණිස) මලින් ගැවසුණු අලුත් පිළි අතුළ අසුනක් දුනිමි.
39. ඒ අසුන හාත්පස (බිමැ) මම අඩක් පමණ සියුම් මල්මාලා තබා සියතින් මා මල්පෙති විසිරවීමි.
40. මා කළ ඒ කුශල කර්‍මයාගේ විපාකය මේ ය , මෙබඳු ය (දෙවියන්ගේ ) සත්කාරය හා ගෞරවය (මා කෙරෙහි ) විය. මම දෙවියන් විසින් පුදන ලද්දී වෙමි.
41. යමෙක ඒකාන්තයෙන් මොනවට කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ ශාන්ත කයවාග්මනස් කර්‍ම ඇති බ්‍රහ්මචාරීන්ට සැදෑ සිතැත්තේ අසුනක් දේ නම් හෙතෙමේ මා මෙන් දිව්‍ය සම්පත් ලබා සතුටු වන්නේය .
42. එබැවින් තමාට හිත කැමති මහත් පින්ඵල කැමැත්තහු විසින් රහතුන් වහන්සේට අසුන් දියයුතු වේ.
කුඤ්ජරවිමාන යි.
43. ( එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටින්නෙහිය. ( එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස යිටිනෙහි අතින් පුයුම් නෙළනෙහි.
44. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වි ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත්ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
45. මහත් අනුභව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස්වූවා කවර පිනක් කළහු ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගින් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?
46. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පුළුවුස්නා ලද්දී(මෙසේ) පැවසූ ය.
47. මම පෙරැ අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් කෙරෙහි මිනිස් දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්‍ෂූන් දැක වහා නැගී සිට වළඳන්නට පැනිත්තක් දුනිමි.
48. යමෙක් ඒකාන්තයෙන් ක්ලාන්ත වූ හටගත් පැවස් අත්තවුනට වහා නැගී සිට පැන් දේ ද, ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මලින් ගැවසී ගත් බොහෝ සුදු පියුම් ඇති නදීහු පහළ වෙති.
49. හැමකල්හි ම සිහිල් දිය ගලා බස්නා සිහිල් දිය පිරුණු සුදුවැලි අතුරන ලද ගඞ්ගාවෝ ඒ විමන වටකොට සිටිති. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසළ පළොල් රුක්හු ද (එහි) වෙති.
50. එවැනි (පොකුණු ගඞ්ගා හා උයන්වලින් යුත්) භූමිභාගයන් ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ බෙහෙවින් බබළන ශ්‍රේෂ්ඨ වූ දිව්‍ය විමාන ලබත්. (එදා මා විසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
51. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
52. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වු මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ප්‍රථම නාවාවිමාන යි.
53. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.
54. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
55. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
56. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.
57. මම පෙර, අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ මහණක්හු දැක නැගී සිට බීමට පැන් දුනිමි.
58. යමෙක් ඒකාන්තයෙන් ක්ලාන්ත වූ හටගත් පවස් ඇති මහණක්හට නැගී සිට වළඳන්නට පැන් දේ ද ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදු පියුම් ඇති නදීහු පහළ වෙත්.
59. හැම කල්හිම සිහිල්දිය ගලාබස්නා සිහිල්දිය පිරුණු සුදුවැලි අතුරන ලද ගඞ්ගාවෝ ඒ විමන වටකොට සිටිත්. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසළ පළොල් රුක්හු ද (එහි) වෙති.
60. එවැනි භූමිභාගයන් ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ අතිශයින් බබළන ශ්‍රේෂ්ඨ වූ දිව්‍යවිමාන ලබත්. (එදා මා විසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
61. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
62.මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය නාවාවිමාන යි.
63. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.
64. කොටස් වශයෙන් බෙදනලද ප්‍රමාණවත් වූ, කුළුගෙවල් ඇති බබළන්නා වූ තීගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.
65. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
66. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වූ ද?
67. සම්බුදු රදුන් විසින් ම පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.
68. මම පෙර අත්බැවුහි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස්දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්‍ෂූන් දැක නැගී සිට පීමට පැන් දුනිමි.
69.යමෙක් ඒකාන්තයෙන් හටගත් පවස් ඇති ක්ලාන්ත වූවන්ට නැගී සිට පීමට පැන් දේ ද, ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදුපියුම් ඇති නදීහු පහළ වෙති.
70. හැම කල්හි ම සිහිල්දිය ගලාබස්නා සිහිල්දිය පිරුණු සුදුවැලි අතුරනලද ගඞ්ගාවෝ ඔහුගේ විමන වටකොට සිටිත්. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසල පළොල් රුක්හු ද එහි වෙත්.
71. එවැනි භූමිභාගයන්ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ අතිශයින් බබළන දිව්‍යවිමාන ලබත්. (එදා මාවිසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
72. කොටස් වශයෙන් බෙදනලද ප්‍රමාණවත් වූ කුළුගෙවල් ඇති බබළන්නා වූ මාගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.
73. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
74. මෙසේ මම ඒ පිනෙන් දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. ඒ මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. බුදුරජාණන් වහන්සේ මාගේ ප්‍රයෝජනය පිණිස පැන් වැළදුසේක් ද ඒ කුසල කර්‍මයාගේ මේ විපාකය වේ.
තෘතීය නාවාවිමාන යි.
75. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,
76. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
77. (එම්බා) දෙව්දුව, නිර්‍මල වූ ශරීරාලෝකයක් ඇති තෙපි කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නහු ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිගුහු බබළත් ද?
78.මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ (මේ) සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වූ ද?
79. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසූ ය.
80.මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා පහන් දැල්වීමට සුදුසු බොල් ගන අඳුරෙහි පහන් උපකරණ දුනිමි.