Pali BJT325. පතීසු ධම්මං පචරාම සබ්බා පතිබ්බතා යත්ථ භවන්ති ඉත්ථියො පතීසු ධම්මා පචරිත්ථ සබ්බා ලච්ඡාමසෙ භාසති යං අයං ලතා.
Sinhala BJT325. සිය සැමියන් කෙරෙහි යම් ඒ හැසිරීමක් නිසා සියලු ස්ත්‍රීහු පතිවත ඇත්තෝ වෙත් ද, අපි සියලු දෙනා ද එම පතිවත රකිමු. මේ ලතා තොමෝ යම් සැපතක් ලබා ය යි කියා ද, ඒ පතිව්‍රතා ධර්‍මෙයහි හැසිර අපි සැපත ලබමු.
Pali BJT326. සීහො යථා පබ්බතසානු ගොචරො මහින්ධරං පබ්බතමාවසිත්වා පසය්හ හන්ත්වා ඉතරෙ චතුප්පදෙ ඛුද්දෙ මිගෙ ඛාදති මංසභොජනො.
Sinhala BJT326. කඳු වනලැහැබ් ඇසුරු කළ මාංසාහාර කොට ඇති සිංහයා (මහීධර) පර්‍වතය ආශ්‍රය කොට වෙසෙමින් අන් සිවුපා සතුන් මැඩ නසා බල විසින් හීන වූ සතුන් යම්සේ මරා කයි ද.
Pali BJT327. තථෙව සද්ධා ඉධ අරියසාවිකා භත්තාරං නිස්සාය පතිං අනුබ්බතා කොධං වධිත්වා අභිභුය්හ මච්ඡරං සග්ගම්හි සා මොදති ධම්මචාරිනීති.
Sinhala BJT327. එසේ ම මේ ලෝකයෙහි ධර්‍මචාරී වූ සැදැහැති යම් ආර්‍ය ශ්‍රාවිකාවක් වී ද, ඕතොමෝ සිය සැමියා නිසා වසන්නී ඔහු අනුව පතිවත රකින්නී ක්‍රෝධය මසුරුමල මැඩ ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
Pali BJTලතාවිමානං.
Sinhala BJTලතාවිමාන යි.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJT328. සත්තතන්තිං සුමධුරං රාමණෙය්යං අවාචයිං, සො මං රඞ්ගම්හි අව්හෙති සරණං මෙ හොති කොසියාති.
Sinhala BJT328. සක්දෙව් රජතුමනි, සත්තතක් ඇති ඉතා මිහිරිවූ සිත්කලු වූ වීණාවාදනය (මූසිලයාට) ඉගැන්වීමි. ඒ මූසිල තෙමේ රඟමඞලෙහි තරඟ වශයෙන් මා කැඳවයි. මට පිහිට වනු මැනවි.
Pali BJT329. අහං තෙ සරණං හොමි අහමාචරියපූජකො, න තං ජයිස්සති සිස්සො සිස්සමාචරිය ජෙස්සසීති.
Sinhala BJT329. ඇදුරුතුමනි, මම ඔබට පිහිට වෙමි. මම ඇදුරන් පුදන්නෙක්මි. ශිෂ්‍ය වූ මූසිල තෙමේ තොප නො දිනන්නේ ය. (තෙපි) සිසුහු දිනන්නහුය.
Pali BJT330. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT330. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනාරුසිරෙන් සියලු දිගින් බබුළුවමින් දවහත් තරුව සේ සිටියෙහි.
Pali BJT331. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT331. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT332. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT332. මහත් ආනුභාව ඇති දෙව්දුව තා විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළාද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු පුණ්‍යාර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT333. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT333. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවසූ ය.
Pali BJT334. වත්ථුත්තමදායිකා නාරී පවරා හොති නරෙසු නාරීසු එවං පියරූපදායිකා මනාපං දිබ්බං සා ලභතෙ උපෙච්ච ඨානං.
Sinhala BJT334. උතුම් වස්ත්‍ර දෙන්නා වූ ස්ත්‍රී තොමෝ ස්ත්‍රීපුරුෂයන් අතුරෙහි උතුම් වෙයි. මෙසේ ප්‍රිය වස්තු දෙන්නා වූ ඕ තොමෝ දෙව්ලොවට පැමිණ මන වඩන්නා වූ දිව ඉසුරු ලබන්නී ය.
Pali BJT335. තස්සා මෙ පස්ස විමානං අච්ඡරා කාමවණ්ණිනීහමස්මි අච්ඡරා සහස්සස්සාහං{1} පවරා පස්ස පුඤ්ඤානං{2} විපාකං.
Sinhala BJT335. ඒ මාගේ විමානය බලනු මැනවි. මම කැමැති සේ රු දරන්නා වූ අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට උතුම් වෙමි. පිනෙහි විපාකය බලනු මැනවි.
Pali BJT336. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT336. එම පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙහි. එම පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද,ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT337. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT337. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යාර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJT(යථා ච එත්ථ එවං උපරි සබ්බවිමානෙසු විත්ථාරෙතබ්බං.)
Sinhala BJT(මේ විමානයෙහි යම්සේ ද එසෙයින් මතුයෙහි හැම විමානයන්හි විස්තර කටයුතු)
Pali BJT338-341. අභික්කන්තෙන වණ්ණෙන -පෙ- වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT338-41. විශිෂ්ට වූ ශරීරප්‍රභායෙන් … තොපගේ සිරුරුපැහැය ද, හැම දිගුන් බබුළුවයි.
Pali BJT342. පුප්ඵුත්තමදායිකා නාරී පවරා හොති නරෙසු නාරීසු එවං පියරූපදායිකා මනාපං දිබ්බං සා ලභතෙ උපෙච්ච ඨානං
Sinhala BJT342. (සමන්මල් ආදී) උත්තමපුෂ්පයක් දෙන ස්ත්‍රී තොමෝ නරනාරීන් කෙරෙහි උත්තම වෙයි. මෙසේ ප්‍රිය ස්වභාව ඇති වස්තු දෙන ඕ තොමෝ දිව්‍යවිමානාදී ස්ථානයට පැමිණ මනවඩන දෑ ලබයි.
Pali BJT343. තස්සා මෙ පස්ස විමානං අච්ඡරා කාමවණ්ණිනීහමස්මි අච්ඡරා සහස්සස්සාහං පවරා පස්ස පුඤ්ඤානං විපාකං.
Sinhala BJT343. ඒ මාගේ විමානය බලව. මම කැමති සේ රූප ධරන අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට උතුම් වෙමි. පුණ්‍ය විපාකය බලව.
Pali BJT344-349. තෙන මෙ තාදිසො වණ්ණො -පෙ- වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT344-49. එයින් මට එබඳු සිරුරුපැහැ වෙයි. … මාගේ සිරුරු පැහැ ද හැම දිගුන් බබුළුවා යී.
Pali BJT350-373. ගන්ධුත්තමදායිකා නාරී පවරා හොති නරෙසු නාරීසු -පෙ- එලුත්තමදායිකා නාරී -පෙ- රසුත්තමදායිකා නාරී -පෙ-
Sinhala BJT350-73. (චන්‍දනාදි) උත්තමගන්‍ධදාන කරන ස්ත්‍රී තොමෝ නරනාරීන් කෙරෙහි උත්තම වෙයි … උතුම් පලවැළ දෙන ස්ත්‍රී උතුම් රස දෙන ස්ත්‍රී ...
Pali BJT374-381. ගන්ධපඤ්චඞ්ගුලිකං අහමදාසිං කස්සපස්ස භගවතො ථූපස්මිං{1} -පෙ- තස්සා මම පස්ස විමානං -පෙ- වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT374-81. මම කසුප් බුදුන්ගේ දාගැබ්හි ගඳ පසඟුල් දුනිමු. ... ඒ මාගේ විමන බලව ... මාගේ සිරුරුපැහැ ද හැම දිගුන් බබුළුවා.
Pali BJT382-389. භික්ඛූ චහං භික්ඛුනියො ච අද්දසාසිං පන්ථපටිපන්නෙ තෙසාහං ධම්මං සුත්වාන එකූපොසථං උපවසිස්සං තස්සා මෙ පස්ස විමානං -පෙ- වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT382-89. මම මඟට පිළිපන් භික්‍ෂූන් ද භික්‍ෂුණීන් ද දුටුමු. මම උන්වහන්සේගේ දහම් අසා එක් දවසක් පෙහෙවස් වුසූමු. ඒ මාගේ විමන බලව. ... මාගේ සිරුරුපැහැ ද හැම දිගුන් බබුළුවා.
Pali BJT390-397. උදකෙ ඨිතා උදකමදාසිං භික්ඛුනො චිත්තෙන විප්පසන්නෙන තස්සා මෙ පස්ස විමානං -පෙ- වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT390-97. මම දියෙහි සිටියා පහන් සිතින් මහණක්හට පැන් දුනිමු. ඒ මාගේ විමන බලව. ... මාගේ සිරුරුපැහැ ද හැම දිගුන් බබුළුවා.
Pali BJT398-405. සස්සුඤ්චා’හං සසුරඤ්ච චණ්ඩිකෙ කොධනෙ ච ඵරුසෙ ච අනුස්සූයිකා සූපට්ඨාසිං අප්පමත්තා සකෙන සීලෙන -පෙ-
Sinhala BJT398-405. මම චණ්ඩ වූ ක්‍රෝධ කරන පරුෂ වූ නැන්දණියන්ට ද මයිලණුවනට ද දොස් පහළ කිරීම රහිත වැ සිහි ඇති වැ ස්වකීය ශීලයෙන් යුතු වැ මැනැවින් උපස්ථාන කළමු ...
Pali BJT406-413. පරකම්මකරී{2} ආසිං අත්ථෙනාතන්දිතා දාසී අක්කොධනා අනතිමානී{3} සංවිභාගිනී සකස්ස භාගස්ස -පෙ-
Sinhala BJT406-13. මම දාසී වැ ක්‍රෝධ නැති වැ අතිමාන නැති වැ ධන හේතුයෙන් නො මැලි වැ මෙරමාගේ බැළමෙහෙ කරන්නක් වූමු. තමා ලද කොටස අර්‍ත්‍ථ ඇතියනට බෙදාදෙන සැහැවි ඇතියක් වූමු ...
Pali BJT414-421. ඛීරොදනං අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස එවං කරිත්වා කම්මං සුගතිං උප්පජ්ජ මොදාමි -පෙ-
Sinhala BJT414-21. මම පිඬු සිඟා යන මහණක්හට කිරිබතක් දුන්මු ... මෙසේ පින්කම් කොට සුගතියට පැමිණ තුටු වෙමි ...
Pali BJT422-609. ඵාණිතං අහමදාසිං -පෙ- උච්ඡුඛණ්ඩකං අහමදාසිං -පෙ- තිම්බරූසකං අහමදාසිං -පෙ- කක්කාරිකං අහමදාසිං -පෙ- එළාලුකං අහමදාසිං -පෙ- වල්ලීඵලං අහමදාසිං -පෙ- ඵාරුසකං අහමදාසිං -පෙ- හත්ථප්පතාපකං අහමදාසිං -පෙ- සාකමුට්ඨිං අහමදාසිං -පෙ- පුප්ඵකමුට්ඨිං අහමදාසිං -පෙ- මූලකං අහමදාසිං -පෙ- නිම්බමුට්ඨිං අහමදාසිං -පෙ- අම්බකඤ්ජිකං අහමදාසිං -පෙ- දොණිනිම්මජ්ජනිං අහමදාසිං -පෙ- කායබන්ධනං අහමදාසිං -පෙ- අංසවට්ටකං අහමදාසිං -පෙ- ආයොගපට්ටං අහමදාසිං -පෙ- විධූපනං අහමදාසිං -පෙ- තාලවණ්ටං අහමදාසිං -පෙ- මොරහත්ථං අහමදාසිං -පෙ- ඡත්තං අහමදාසිං -පෙ- උපාහනං අහමදාසිං -පෙ- පූවං අහමදාසිං -පෙ- මොදකං අහමදාසිං -පෙ-
Sinhala BJT422-609. මම උක්සකුරු කඩක් දුන්මු ... මම උක්දඞු කඩක් දුන්මු … මම තියඹරා ඵලයක් දුන්මු ... මම සිහින් කැකිරි ඵලයක් දුන්මු ... මම මහකැකිරි ඵලයක් දුන්මු ... මම වැල්ඵලයක් දුන්මු … මම බොරළුදමුණු ඵලයක් දුන්මු ... මම ගිනිකබලක් දුන්මු ... මම පළාමිටක් දුන්මු. ... මම මල්මිටක් දුන්මු … මම මූලපළාමිටන් දුන්මු. … මම කොසඹකොළ මිටක් දුන්මු … මම ඇඹුල්කැඳක් දුන්මු … මම තලමුරුවටක් දුන්මු … මම කාබහනක් දුන්මු … මම අංසකඩක් දුන්මු … මම ආයෝග-පට්ටයක් දුන්මු … මම සියුරැස් විජිනිපතක් දුන්මු … මම තල්වටක් දුන්මු … මම මොනරපිලින් කළ මකසවිජනියක් දුන්මු … මම ඡත්‍රයක් දුන්මු … මම වහන්සඟළක් දුන්මු … මම පූපයක් (කැවුමක්) දුන්මු … මම අග්ගලාවක් දුක්මු ...
Pali BJT610. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT610. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි,
Pali BJT611. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT611. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT612. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT612. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT613. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT613. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව් දූ තොමෝ තුටු සිත් ඇත්තී (මෙසේ) පැවසූ ය.
Pali BJT614. සක්ඛලිං අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස එවං කරිත්වා කම්මං සුගතිං උපපජ්ජ මොදාමි.
Sinhala BJT614. පිඬු පිණිස හැසිරෙන්නා වූ භික්‍ෂුනමක්හට මම සක්ඛලික නම් කැවිලි වෙසෙසක් දුනිමි. මෙබඳු (කුශල) කර්‍මයක් කොට සුගතියට පැමිණ සතුටු වෙමි.
Pali BJT615. තස්සා මෙ පස්ස විමානං අච්ඡරා කාමවණ්ණිනීහමස්මි අච්ඡරා සහස්සස්සාහං පවරා පස්ස පුඤ්ඤානං විපාකං.
Sinhala BJT615. ඒ මාගේ විමානය බලනු මැනවි. මම කැමති සේ රූ දරන්නා වූ අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට උතුම් වෙමි. පිනෙහි විපාකය බලනු මැනවි.
Pali BJT616. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT616. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සමාපත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සමාපත්තීහු මට පහළ වෙත්.
Pali BJT617. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT617. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යාර්ද්ධි ඇතියා වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (සක්ඛලිකදායිකා) 36.
Pali BJT618. ස්වාගතං වත මෙ අජ්ජ සුප්පභාතං සුවුට්ඨිතං{1} යං අද්දසං{2} දෙවතායො අච්ඡරා කාමවණ්ණියො
Sinhala BJT618. ආශ්චර්‍ය්‍යයෙකැයි, මාගේ ඊම සුන්‍දර යැ. අද මට මනා උදයෙකි. යහනින් නැඟීම ද යහපති. යම් හෙයෙකින් කැමැති රූ දරන දෙවසරන් දුටුයෙම් ද එහෙයිනි.
Pali BJT619. ඉමාහං{3} ධම්මං සුත්වා{4} කාහාමි කුසලං බහුං දානෙන සමචරීයායං සඤ්ඤමෙන දමෙන ච ස්වාහං තත්ථ ගමිස්සාමි{5} යත්ථ ගන්ත්වා න සොචරෙති.
Sinhala BJT619. මම මොවුන්ගේ දහම් අසා බොහෝ කුසල් කරන්නෙමි දන් දීමෙන් ද සමව හැසිරීමෙන් ද සීලසංවරයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද (අන්‍යයෝ) යම් තැනකට ගොස් ශෝක නො කෙරෙත් ද, ඒ මම ද එහි යන්නෙමි.
Pali BJTගුත්තිල විමානං පඤ්චමං.
Sinhala BJTගුත්තිල විමාන යි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJT620. දද්දල්ලමානා වණ්ණෙන යස්සා ච යසස්සිනී, සබ්බෙ දෙවෙ තාවතිංසෙ වණ්ණෙන අතිරොචසි.
Sinhala BJT620. යසස් ඇති දෙව් දුව, රූප සම්පත්තියෙන් ද පරිවාර සම්පත්තියෙන් ද අතිශයින් ද බබළන තෝ තව්තිසා වැසි සියලු දෙවියන් ඒ වර්‍ණාදී සම්පත්තියෙන් අබිබවා බබළනෙහි.
Pali BJT621. දස්සනං නාභිජානාමි ඉදං පඨමදස්සනං, කස්මා කායා නු ආගම්ම නාමෙන භාසසෙ මමන්ති.
Sinhala BJT621. (මම මින් පෙර තී) දුටු බවක් නො දනිමි. මෙය පළමු දැකීමය. කිනම් දිව්‍යනිකායෙකින් ච්‍යුත ව අවුත් නමින් මා අමතනෙහි ද?
Pali BJT622. අහං භද්දෙ සුභද්දාසිං පුබ්බෙ මානුසකෙ භවෙ, සහ භරියා ච තෙ ආසිං භගිනී ච කණිට්ඨිකා.
Sinhala BJT622. භද්‍රාවෙනි, මම පෙරැ මිනිසත් බවෙහි සුභද්‍රා නම් වීමි. තීගේ කනිටු බුහුන වූ මම (තොප සැමියාගේ) සම බිරියක් ද වීමි.
Pali BJT623. සා අහං කායස්ස භෙදා විප්පමුත්තා තතොචුතා, නිම්මානරතීනං දෙවානං උපපන්නා සහව්යතන්ති.
Sinhala BJT623. ඒ මම කාබුන් මරණින් මතු මිනිසත් බැවින් මිදුණි එයින් ච්‍යුත ව නිර්‍මාණරතී නම් දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
Pali BJT624. පහූතකතකල්යාණා තෙ දෙවෙ යන්ති පාණිනො, යෙසං ත්වං කිත්තයිස්සසි සුභද්දෙ ජාතිමත්තනො.
Sinhala BJT624. මහ පින්කම් කළ ඒ සත්ත්‍වයෝ යම් නිර්‍මාණරතී නම් දෙවියන් වෙත යෙත් ද, සුභද්‍රාවෙනි තෝ ද එම නිර්‍මාණරතී නම් දෙවියන් මැද තම උපත ප්‍රකාශ කෙරෙහි.
Pali BJT625. කථං{6} ත්වං කෙන වණ්ණෙන කෙන වා අනුසාසිතා, කීදිසෙනෙව දානෙන සුබ්බතෙන යසස්සිනී.
Sinhala BJT625-626. යසස් ඇත්තී ය, කවරක්හු විසින් අනුශාසිත වූ තෝ කෙසේ කිනම් කරුණෙකින් කෙබඳු දනෙකින් කිනම් මනා ව්‍රතයකින් මෙබඳු යසසකට පැමිණියා මහත් වූ වෙසෙසක් ලැබූයෙහි ද, (එම්බා) දෙව් දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
Pali BJT626. යසං එතාදිසං පත්තා විසෙසං විපුලමජ්ඣගා, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJTSegment missing in this edition
Pali BJT627. අට්ඨෙව පිණ්ඩපාතානි යං දානං අද්දං පුරෙ, දක්ඛිණෙය්යස්ස සඞ්ඝස්ස පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT627. (භද්‍රාවෙනි) යම් හෙයෙකින් පෙරැ අත්බැව්හි පහන් සිතැත්තී සියතින් දක්‍ෂිණාර්‍හ සඞ්ඝයාට පිඬු පා අටක් දාන වශයෙන් දිනිම් ද,
Pali BJT628. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT628. එම පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT629. අක්ඛාමි තෙ දෙවි මහානුභාවෙ මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT629. මහත් අනුභාව ඇති දෙව් දුව, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යාර්ධි ඇතියෙම් වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJT630. අහං තයා බහුතරෙ භික්ඛූ සඤ්ඤතෙ බ්රහ්මචාරිනො{1} කප්පෙසිං අන්නපානෙන පසන්නා සෙහි පාණිහි තයා බහුතරං දත්වා හීනකායූපගා අහං{2}
Sinhala BJT630. (සුභද්‍රාවනි, එකල) පහන් සිතැති මම ද සන්හුන් ඉඳුරන් ඇති බ්‍රහ්මචාරී වූ බොහෝ භික්‍ෂූන් තිට වඩා සියතින්ම අහර පැනින් සැතැප්පවීමි. මම තිට වඩා ඉතා වැඩියක් දී පහත් දෙව්ලොවට (තව්තිසාවට) පැමිණියෙම් වෙමි.
Pali BJT631. කථං ත්වං අප්පතරං දත්වා විසෙසං විපුලමජ්ඣගා, දෙවතෙ පුච්ඡිතාචික්ඛ යස්සකම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT631. තෝ ඉතා ස්වල්පයක් දී කෙසේ මහත් වූ වෙසෙසකට පැමිණියෙහි ද? (එම්බා) දෙව් දුව විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක් හුගේ දැ යි කියව.
Pali BJT632. මනොභාවනීයො භික්ඛු සන්දිට්ඨො මෙ පුරෙ අහු, තාහං භත්තෙන නිමන්තෙසිං රෙවතං අත්තනට්ඨමං.
Sinhala BJT632. පූර්‍ව කාලයෙහි (උදාර ගුණ ඇති බැවින්) මනවඩවන (රේවත නම්) භික්‍ෂුනමක් මා විසින් නිමතන ලද්දේ විය. මම ඒ රේවත තෙරුන් තමන් සහිත අට නමක් කොට බතින් පැවරීමි.
Pali BJT633. සො මෙ අත්ථපුරෙක්ඛාරො අනුකම්පාය රෙවතො, සඞ්ඝෙ දෙහීති මං අවොච{3} තස්සාහං වචනං කරිං.
Sinhala BJT633. ඒ රේවත තෙරණුවෝ මා හිතයෙහි පෙරටුවූවෝ අනුකම්පා පිණිස සඟනට දෙවයි මට වදාළහ. මම උන්වහන්සේගේ වචනය කෙළෙමි.
Pali BJT634. සා දක්ඛිණා සඞ්ඝගතා අප්පමෙය්යෙ පතිට්ඨිතා, පුග්ගලෙසු තයා දින්නං න තං තව මහප්ඵලන්ති.
Sinhala BJT634. ඒ සඞ්ඝගතදක්‍ෂිණා තොමෝ අපමණගුණ ඇති සඟන කෙරෙහි පිහිටියාය. තී විසින් පුද්ගලයන් කෙරෙහි දෙන ලද ඒ දානය තිට මහත්ඵල නො වී.
Pali BJT635. ඉදානෙවාහං ජානාමි සඞ්ඝෙ දින්නං මහප්ඵලං සාහං ගන්ත්වා මනුස්සත්තං වදඤ්ඤූ වීතමච්ඡරා සඞ්ඝෙ දානානි දස්සාමි{4} අප්පමත්තා පුනප්පුනන්ති.
Sinhala BJT635. සඟුන් කෙරෙහි දුන් දානය මහත්ඵල යයි මම දැන් දනිමි. ඒ මම මිනිසත් බවට ගොස් (ප්‍රතිග්‍රාහකයන්ගේ) වදන් දන්නී පහ වූ මසුරුමල ඇත්තී අප්‍රමත්තව පුන පුනා සඟනට දන් දෙන්නෙමි.
Pali BJT636. කා එසා දෙවතා භද්දෙ තයා මන්තයතෙ සහ, සබ්බෙ දෙවෙ තාවතිංසෙ වණ්ණෙන අතිරොචතීති.
Sinhala BJT636. භද්‍රාවනි, (යම් දෙව් දුවක්) තව්තිසා වැසි සියලු දෙවියන් ශරීරවර්‍ණයෙන් ඉක්මවා බබළා ද තී සමග කථා කෙරේ ද මේ කවර දෙව්දුවක් ද?
Pali BJT637. මනුස්සභූතා දෙවින්ද පුබ්බෙ මානුසකෙ භවෙ සහභරියා ච මෙ ආසි භගිනී ච කනිට්ඨිකා සඞ්ඝෙ දානානි දත්වාන කතපුඤ්ඤා විරොචතීති.
Sinhala BJT637. සක්දෙව්රජුනි, පෙරැ මිනිසත් බැව් හි මිනිස් දුවක් වූ ඕ තොමෝ මාගේ කනිටු බුහුන වූවා සැමියාගේ සම බිරිය වූවා ය. කළ පින් ඇත්තී සඟනට දන් දී වෙසෙසින් බබළා යැ යි.
Pali BJT638. ධම්මෙන පුබ්බෙ භගිනී තයා භද්දෙ විරොචති, යං සඞ්ඝස්මිං අප්පමෙය්යෙ පතිට්ඨාපෙසි දක්ඛිණං.
Sinhala BJT638. භද්‍රාවනි, (තීගේ) බුහුන පෙරැ අපමණ ගුණ ඇති සඟන කෙරෙහි යම් දක්‍ෂිණාවක් පිහිටුවා ලූ ද, ඒ කාරණයෙන් තිට වඞා වෙසෙසින් බබළා යැ යි.
Pali BJT639. පුච්ඡිතො හි මයා බුද්ධො ගිජ්ඣකූටම්හි පබ්බතෙ, විපාකං සංවිභාගස්ස යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT639. යම් සඟ රුවනක් කෙරෙහි දුන් දෙය මහත්ඵල වේ නම් දානයේ විපාකය මා විසින් ගිජුකුළු පව්වෙහි දී බුදුරජාණන් වහන්සේ විචාරන ලද්දේ (උන්වහන්සේගෙන් අසා දැනගන්නා ලද්දේ) ය.
Pali BJT640. යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ්ඤං යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT640. පින් කැමති ව දන් දෙන්නා වූ මිනිස්නට යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද, එබඳු ප්‍රතිසන්‍ධි-ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.
Pali BJT641. තං මෙ බුද්ධො වියාකාසි ජානං කම්මඵලං සකං, විපාකං සංවිභාගස්ස යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT641. යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද, සත්ත්‍වයන්ගේ සිය කම්පල දන්නා වූ බුදුරජානන් වහන්සේ දානයෙහි ඒ විපාකය මට වදාළ සේක.
Pali BJT642. චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා, එස සඞ්ඝෙ උජුභූතො පඤ්ඤාසීලසමාහිතො.
Sinhala BJT642. මාර්‍ගස්ථයෝ සිව් දෙනෙක, ඵලස්ථයෝ සිව් දෙනෙකැ යි මේ සඞ්ඝ තෙමේ ඍජු වූයේ යැ. (ආර්‍ය්‍යවූ) ප්‍රඥා ශීල සමාධි ඇත්තේ යැ.
Pali BJT643. යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලං.
Sinhala BJT643. පින්පල කැමැති ව දන්දෙන්නා වූ මිනිසුනට යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද (එබඳු) ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.
Pali BJT644. එසො හි සඞ්ඝො විපුලො මහග්ගතො එසප්පමෙය්යො උදධීව සාගරො එතෙහි සෙට්ඨා නරවීරසාවකා පභඞ්කරා ධම්මමුදීරයන්ති{1}.
Sinhala BJT644. මේ සඞ්ඝ තෙමේ ගුණයෙන් මහත් බවට ගියේ ය. (ඵලවිපුලත්‍වයට හේතුභාවයෙන්) විපුල වූයේ ය. මේ සඞ්ඝ තෙමේ උදධි නම් සාගරය සේ ගුණයෙන් පමණ නො කොට හැක්කේ ය. ශ්‍රේෂ්ඨ වූ ලොවට නැණලු කරන්නා වූ තෙල නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වත්.
Pali BJT645. තෙසං සුදින්නං සුහුතං සුයිට්ඨං, යෙ සඞ්ඝමුද්දිස්ස දදන්ති දානං සා දක්ඛිණා සඞ්ඝගතා පතිට්ඨිතා මහප්ඵලා ලොකවිදූහි වණ්ණිතා.
Sinhala BJT645. යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් (එය) මැනැවින් දෙන ලද ය. ගෙනවුත් පුදන ලද ය. (මහදන් විසින්) යාග කරන ලද ය. සඟුන් කෙරෙහි පිහිටියා වූ ඒ සඞ්ඝගත වූ දක්‍ෂිණා තොමෝ මහත්ඵල ඇතැ යි බුදුරජුන් විසින් වර්‍ණනා කරන ලද.
Pali BJT646. එතාදිසං යඤ්ඤමනුස්සරන්තා{2} යෙ වෙදජාතා විචරන්ති ලොකෙ විනෙය්ය මච්ඡෙරමලං සමූලං අනින්දිතා සග්ගමුපෙන්තී ඨානන්ති.
Sinhala BJT646. මෙබඳු (සඟුන් උදෙසා දුන්) දාන සිහිකරන්නා වූ හටගත් සොම්නස් ඇති යම් කෙනෙක් මුල් සහිත ව මසුරුමල දුරු කොට ලෝකයෙහි හැසිරෙද්ද, ඔහු නින්‍දා නො කරන ලද්දෝ සගලොවට පැමිණෙත්.
Pali BJTදද්දල්ල විමානං.
Sinhala BJTදද්දල්ල විමන යි.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJT647. ඵලිකරජතහෙමජාලච්ඡන්නං විවිධවිචිත්රතලමද්දසං සුරම්මං ව්යම්හං සුනිම්මිතං තොරණූපපන්නං රුචකුපකිණ්ණමිදං සුභං විමානං.
Sinhala BJT647. පළිඟුමිණිමුවා බිතින් හා රන්රිදී දැලින් හාත්පස වසන ලද නන්වැදෑරුම් විසිතුරු තල ඇති ඉතා රම්‍ය වූ තොරණින් සැදුම් ලත් රුවන් වැල්ලෙන් ගැවසුණු මිදුල් ඇති මැනැවින් බබළන මේ විමන දිටිමි.
Pali BJT648. භාති ච දසදිසා නභෙව සුරියො සරදෙ තමොනුදො සහස්සරංසි තථා තපතිමිදං තව විමානං ජලමිව ධූමසිඛො නිසෙ නභග්ගෙ.
Sinhala BJT648. අඳුරු දුරලන දහස් ගණන් රස් ඇති හිරු සරා කල්හි යම්සේ අහස දසදෙස බබළා ද, එසේම රෑ ගිනිසිළ අහස් පෙදෙස යම්සේ බබළා ද, එමෙන්ම තී ගේ මේ විමන අතිශයින් බබළ යි.
Pali BJT649. මුසතීව නයනං සතෙරතාව{1} ආකාසෙ ඨපිතමිදං මනුඤ්ඤං වීණාමුරජසම්මතාලඝුට්ඨං ඉද්ධං ඉන්දපුරං තථා තවෙදං.
Sinhala BJT649. අහසෙහි තිබූ තීගේ මේ මනරම් විමන විදුලියක් සේ ඇස මුසපත් කෙරේ. (එසේම) මේ විමන වෙණබෙර මිහිඟුබෙර අත්තල කස්තල නදීන් ඝෝෂිත වූ සුදසුන්පුරය සේ දෙව්සැපතින් සමෘද්ධ ය.
Pali BJT650. පදුම කුමුදුප්පල කුවලයං යූධික{2} බන්ධුකනොජකා ච සන්ති සාලකුසුමිත පුප්ඵිතා අසොකා විවිධ දුමග්ග සුගන්ධ සෙවිතමිදං.
Sinhala BJT650. (මෙහි) පියුම් හෙලපුල් රතුපුල් නිලුපුල් යන ජලජ පුෂ්පයෝ වෙති. සීනිද්ද බඳුවද අනෝජ වෘක්‍ෂයෝ ද වෙති. පිපිමල් ඇති සල් හෝපලු වෘක්‍ෂයෝ ද වෙති. (තීගේ) මේ විමන මෙසේ නන්වැදෑරුම් උතුම් ගස්වල සුවඳින් සුවඳ කැවුණේ ය.
Pali BJT651. සළල ලබුජ භුජක{3} සඤ්ඤතා{4} කුසකසුඵුල්ලිත ලතාවලම්බිනීහි මණිජාල සදිසා යසස්සිනී රම්මා පොක්ඛරණී උපට්ඨිතා තෙ.
Sinhala BJT651. යසස් ඇති දෙව්දුව, ඉවුරෙහි පිහිටි හොර දෙල් බුජඟ රුක්වලින් යුක්ත වූ තල් පොල් ඈ තෘණ ජාතීන්ගෙන් හා මනා සේ පිපි මල් ඇති එල්බෙන වැල්වලින් යුත් මිණිදැල් බඳු දිය ඇති මනරම් පොකුණු තීට පහළව ඇත.
Pali BJT652. උදකරුහා ච යෙත්ථි පුප්ඵජාතා ථලජා යෙ ච සන්ති රුක්ඛජාතා මානුසකාමානුසකා ච දිබ්බා සබ්බෙ තුය්හං නිවෙසනම්හි ජාතා.
Sinhala BJT652. දියෙහි හටගන්නා යම් (පදුමාදී) පුෂ්පජාතයෝ වෙත් ද, ගොඩ හටගන්නා යම් සීනිද්ද ආදී වෘක්‍ෂ ජාතයෝ වෙත් ද, (එයින් අන්‍යවූත්) යම්බඳු මල්රුක් පලරුක්හු වෙත් ද, මිනිසුන් අයත්වූත් නො මිනිසුන් අයත් වූත් දෙවියන් අයත් වූත් ඒ සියලු ම වෘක්‍ෂයෝ තී ගේ විමන් සමීපයෙහි ඇත්තා හු මැ යි.
Pali BJT653. කිස්ස සංයමදමස්සයං{5} විපාකො කෙනාසි කම්මඵලෙනිධූපපන්නා යථා ච තෙ අධිගතමිදං විමානං තදනුපදං අවචාසු’ළාරපඛුමෙති.{6}
Sinhala BJT653. මනහර ඇස්පිය ඇත්තිය, මේ විපාකය කිනම් කායාදි සංයමයක්හුගේ ද? කිනම් ඉන්‍ද්‍රිය දමනාදි දමයක්හුගේ ද, (විපාක දෙන්නට ඇරැඹූ) කිනම් කර්‍මබලයෙකින් මෙහි උපන්නී වෙහි ද? තී විසින් මේ විමන යම් සේ ලබන ලද ද, ඒ කර්‍මය (මට) අනුරූප පද විසින් කියව.
Pali BJT654. යථා ච මෙ අධිගතමිදං විමානං කොඤ්චමයූරචකොර සඞ්ඝචරිතං දිබ්බපිලවහංසරාජචිණ්ණං ද්විජකාරණ්ඩව කොකිලාභිනදිතං.
Sinhala BJT654. කොස්වාලිහිණි මොනර ඇටිකුකුළු සමූහයා හැසුරුණු දිව්‍යමය වූ දියකාවුන් හා හස්රජුන් විසින් සෙවුනා ලද විලිකුළු කොවුල් ඈ විහඟුන් විසින් නිතර නද දෙන ලද මේ විමන මා විසින් යම්සේ ලබන ලද ද,
Pali BJT655. නානා සන්තානක පුප්ඵරුක්ඛවිවිධා පාටලි ජම්බු අසොක රුක්ඛවන්තං යථා ච මෙ අධිගතමිදං විමානං තන්තෙ පවදිස්සාමි{7} සුණොහි භන්තෙ.
Sinhala BJT655. නන්වැදෑරුම් අතුපතරින් ගැවසීගත් මල්රුක්වලින් විසිතුරු වූ පළොල් දඹ හෝපලු රුක් ඇති මේ විමන මා විසින් යම්සේ ලබන ලද ද, වහන්ස එය ඔබවහන්සේට කියන්නෙමි, අසනු මැනවි.
Pali BJT656. මගධවරපුරත්ථිමෙන නාළකගාමො නාම අත්ථි භන්තෙ තත්ථ අහොසිං පුරෙ සුණිසා සෙසවතී{8} තත්ථ ජානිංසු මමං.
Sinhala BJT656. වහන්ස මගධරට නැගෙනහිරදිග නාළක නම් ගමෙක් ඇත. මම පෙරැ ඒ නාළක ගමෙහි (එක් ගැහැවි කුලයෙකැ) ලෙහෙළියක් වීමි. ඒ මා සේසවතී යන නමින් අන්‍යයෝ දත්හ.
Pali BJT657. සාහං අපචිතත්ථධම්මකුසලං දෙවමනුස්සපූජිතං මහන්තං උපතිස්සං නිබ්බුතං අප්පමෙය්යං මුදීතමනා කුසුමෙහි අබ්භොකිරිං{1}.
Sinhala BJT657. ඒ (සේසවතී නම් වූ) මම සතුටුසිත් ඇත්තී ධර්‍මාර්‍ත්‍ථයන්හි දක්‍ෂ වූ බුදුරජුන් විසින් බුහුමන් කරන ලද දෙව්මිනිසුන් විසින් පුදන ලද ගුණයෙන් පමණ නොකට හැකි ශීලාදී ගුණයෙන් මහත් වූ පිරිනිවියා වූ සැරියුත් තෙරණුවන් මලින් පිදුවෙමි.
Pali BJT658. පරමගතිගතඤ්ච පූජයිත්වා අන්තිමදෙහධරං ඉසිං උළාරං, පහාය මානුසකං සමුසස්යං තිදසගතා ඉධමාවසාමි ඨානන්ති.
Sinhala BJT658. (ඒ මම) නිරුපධිශේෂ නිර්‍වාණයට පැමිණි පැසුළු සිරුරු දැරූ උදාර ගුණවත් (සැරියුත්) මහතෙරුන් වහන්සේ පුදා මිනිස් සිරුර හැර තව්තිසාවට පැමිණියෙම් මෙහි වෙසෙමි.
Pali BJTසෙසවතී විමානං.
Sinhala BJTසේසවතී විමාන යි.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJT659. පීතවත්ථෙ පීතධජෙ පීතාලඞ්කාරභූසිතෙ, පීතන්තරාහි වග්ගුහි අපිළන්ධාව සොභසි.
Sinhala BJT659. රන්වන් වත් ඇත්තිය. රන්වන් ධ්වජ ඇත්තීය, රන්වන් අබරණින් බබළන්නීය, තී සිත්කලු වූ මනරම්වූ රන්වන් උතුරුසළුයෙන් නො සැරසුනී ම හොබනෙහිය.
Pali BJT660. කා කම්බුකෙයූරධරෙ{2} කඤ්චනාවෙළභූසිතෙ, හෙමජාලක පච්ඡන්නෙ{3} නානාරතනමාලිනි.
Sinhala BJT660. රන්වන් වළලු දරන්නීය, රන්මුවා මුදුන්මල්කඩින් සැරසුනිය, රන්දැලින් වැසුණු සිරුරු ඇත්තීය, නන් රුවන් මල්දම් ඇත්තිය, තී කවරක් ද?
Pali BJT661. සොවණ්ණමයා ලොහිතඞ්කමයා ච{4} මුත්තාමයා වෙළුරියමයා ච මසාරගල්ලා සහ ලොහිතඞ්කා පාරාවතක්ඛීහි{5} මණීහි චිත්තිතා.
Sinhala BJT661. (තීගේ කෙස් කලඹෙහි හා අත්හි) රනින් කළ මල්මාලා පියුම්රා මිණියෙන් කළ මල්මාලා, මැසිරිගල් මිණියෙන් කළ මල්මාලා, රත්පැහැ මිණියෙන් කළ මල්මාලා, පරෙවි ඇස් වැනි මිණියෙන් විසිතුරු වූවාහු ද වෙත්.
Pali BJT662. කොචි කොචි එත්ථ මයූරසුස්සරො හංසස්සරඤ්ඤො කරවීකසුස්සරො තෙසං සරො සූයති වග්ගුරූපො පඤ්චඞ්ගිකං තුරියමිවප්පවාදිතං.
Sinhala BJT662. මේ මල්දම්හි මොනරුන්ගේ නාදය මෙන් හස් රදුන්ගේ හඞ මෙන් කුරවි කෙවිල්ලන්ගේ කූජන මෙන් මනහර නද ඇසෙයි. ඔවුන්ගේ නාදය වැයූ පසඟතුරුනද මෙනි.
Pali BJT663. රථො ච තෙ සුභො වග්ගු නානාරතනචිත්තිතො{6} නානාවණ්ණාභි ධාතූහි සුචිභත්තො ච සොභති.
Sinhala BJT663. නන් රුවනින් විසිතුරු කරන ලද තීගේ රථය ද යහපත්ය. මනහරය. නන්වැදෑරුම් රිය අවයවයෙන් මොනවට බෙදන ලද්දේ ම හොබනේ ය.
Pali BJT664. තස්මිං රථෙ කඤ්චනබිම්බවණ්ණෙ යා ත්වං ඨිතා{7} භාසසිමං පදෙසං දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT664. රන්බිඹුවන් රියෙක් හි සිටියා වූ යම්බඳු තී මේ පෙදෙස බබළවහිද, (එම්බා) දෙව්දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැයි කියව.
Pali BJT665. සොවණ්ණජාලං මණිසොණ්ණචිත්තිතං{1} මුත්තාචිතං හෙමජාලෙන ඡන්නං{2} පරිනිබ්බුතෙ ගොතමෙ අප්පමෙය්යෙ පසන්නචිත්තා අහමාභිරොපයිං.
Sinhala BJT665. මම පහන් සිත් ඇතියා රන්රුවනින් විසිතුරු කළ ඔබ්බන ලද මුතුපෙළ ඇති රන්මුවා කැලුම් රැසින් වැසුණු රන් දැලක්, පමණ නොකට හැකි ගුණ ඇති පිරිනිව් ගොයුම් බුදුරදුන් කෙරෙහි පිදුවෙමි.
Pali BJT666. තාහං කම්මං කරිත්වාන කුසලං බුද්ධවණ්ණිතං, අපෙතසොකා සුඛිතා සම්පමොදාමනාමයා’ති.
Sinhala BJT666. මම බුදුරජුන් වර්‍ණනා කළ ඒ කුශලකර්‍මය කොට පහ වූ ශෝක ඇත්තී සැප ඇත්තී නීරෝගවූවා වෙසෙසින් සතුටු වෙමි.
Pali BJTමල්ලිකා විමානං.
Sinhala BJTමල්ලිකාවිමානය යි.
Pali BJT3. 9.
Sinhala BJT3. 9.
Pali BJT667. කා නාම ත්වං විසාලක්ඛි රම්මෙ චිත්තලතාවනෙ, සමන්තා අනුපරියාසි නාරීගණපුරක්ඛතා.{3}
Sinhala BJT667. මහත් ඇස් ඇති දෙව්දුව, තී (පෙර අත්බැව්හි) කවර නැමැත්තියක් වූවා ද? දිවසරන් සමූහයෙන් පිරිවරන ලද්දී සිත්කලු සිතුලිය වෙනෙහි හාත්පස හැසිරෙයි.
Pali BJT668. යදා දෙවා තාවතිංසා පවිසන්ති ඉමං වනං, සයොග්ගා සරථා සබ්බෙ චිත්රා හොන්තී ඉධාගතා.
Sinhala BJT668. යම් කාලෙක තව්තිසා වැසි දෙවියෝ මේ සිතුලිය වනයට පිවිසෙත් ද, (එකල) මෙහි පැමිණියා වූ යාන සහිත වූ රිය සහිත වූ සියල්ලෝ ම විසිතුරු අයුරු ඇත්තෝ වෙත්.
Pali BJT669. තුය්හඤ්ච ඉධ පත්තාය උය්යානෙ විචරන්තියා, කායෙ න දිස්සති චිත්තං කෙනරූපං තවෙදිසං දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT669. මෙහි පැමිණි මේ උයනෙහි හැසිරෙන තීගේ සිරුරෙහි (පුෂ්පාදීන්) අමුතු විසිතුරෙක් නොපෙනේ. තීගේ රූපය මෙබඳු (පැහැපත්) වූයේ කවර පිනෙකින් ද? (එම්බා) දෙව්දුව, විචාරණ ලද්දී මේ විපාකය කවර පුණ්‍යකර්‍මයක්හුගේ දැයි කියව.
Pali BJT670. යෙන කම්මෙන දෙවින්ද රූපං මය්හං ගතී ච මෙ, ඉද්ධි ච අනුභාවො ච තං සුණොහි පුරීන්දද.
Sinhala BJT670. දෙවිඳුනි, යම් පිනෙකින් මාගේ මේ රූපයත් දිව්‍යගතියත් දිව්‍යර්ධියත් දිව්‍යානුභාවයත් වී ද, සක්දෙව්ඳුනි, එය අසනු මැනවි.
Pali BJT671. අහං රාජගහෙ රම්මෙ සුනන්දානාමුපාසිකා, සද්ධා සීලෙන සම්පන්නා සංවිභාගරතා සදා.
Sinhala BJT671. මම පෙරැ මනරම් වූ රජගහනුවරැ ශ්‍රද්ධායෙන් හා ශීලයෙන් යුක්ත වූ සියලු කල්හි දන්දීමෙහි ඇලුනු සුනන්‍දා නම් උපාහිකාවක් වීමි.
Pali BJT672. අච්ඡාදනඤ්ච භත්තඤ්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT672. (එකලැ මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් ද පහන් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
Pali BJT673. චාතුද්දසිං පඤ්චදසිං යාච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරිය පක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
Sinhala BJT673-74. මම පක්‍ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් වීසිමි. සියලු කල්හි නිති සිල්හි ද පිහිටියෙමි. කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා බෙදා දෙන්නී ගෙහි විසීමි.