Udāna

Inspired Utterances

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 821 segments

පෙන්වන කොටස් 801-821 න් 821

“ලොවැ යම් නන්වැදෑරුම් ශෝක ද හැඬුම් ද වැලැපුම් ද දුක් ද ඇත් නම්, ඔහු ප්‍රියවස්තු හේතු කොට ගෙන පහළ වෙත්. ප්‍රිය වස්තුවක් නැති කල්හි ඔහු පහළ නො වෙති.
එහෙයින් යම් කෙනෙකුන්හට ලොවැ කිසි ද තැනෙක ප්‍රියයෙක් නැත් ද, ඔහු සුවැත්තෝ ය. පහ වූ ශෝක ඇත්තෝ ය. එ බැවින් ශෝක නැති බව කෙලෙස් ධූලි නැති බව (හෙවත් රහත් බව) කැමැත්තේ ලොවැ කිසිවකුත් කෙරෙහි ප්‍රිය බවක් නො කරන්නේ ය.”
පළමු දබ්බ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එකල්හි මල්ල්රාජපුත්‍ර වූ දබ්බ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ආදරයෙන් වැඳ පසෙක හුන්හ. පසෙක හුන් මල්ලපුත්‍ර දබ්බ තෙරණුවෝ ‘වහන්ස, මට දැන් පිරිනිවෙන්නට කාලය වේ යැ’යි සැළ කළහ. ‘දබ්බයිනි, යමකට කලැ යි තෙපි සිතවු නම් එය කරනු තොප අයත් කාර්‍ය්‍යයෙකැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
2. එකල්හි මල්ලපුත්‍ර දබ්බ තෙරණුවෝ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, අහස් නැඟ, අහසැ පලඟින් හිඳ තෙජොකසිණ චතුර්‍ත්‍ථධ්‍යාන සමාපත්තියට සමවැද, ඉන් නැගී පිරිනිවියහ. ඉක්බිති මෙසේ අහස් නැග අහසැ පලඟින් හිඳ, තොජොධාතුසමාපත්තියට සමවැද, එයින් නැගී පිරිනිවි, ගිනිගෙන දැවෙන මල්ලපුත්‍ර දබ්බ තෙරුන්ගේ සිරුරැ අළු හෝ දැලි නො වී ය. ගිනි ඇවිළ දැවෙන ගිතෙලෙහි හෝ තලතෙලෙහි අළු හෝ දැලි යම්සේ නො පැණේ ද, එ පරිද්දෙන් ම අහස් නැඟ අහසැ පලඟින් හිඳ තෙදකිසුණු සමවතට සමවැද, එයින් නැඟි පිරිනිවි මල්ලපුත්‍ර දබ්බ තෙරුන්ගේ ගිනි ඇවිළ දැවෙන සිරුරේ අළු හෝ දැලි නො වී ය.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“රූපය බිඳිණි. (රූපසංඥාදි) සියලු සංඥාව නිරුද්ධ විය. සියලු වේදනාවෝ සිසිල් වූහ. (නිවී ගියහ) සියලු (ස්පර්‍ශාදි) අවශේෂ සංස්කාරයෝ සංසිඳුණහ. සියලු විඥානය අස්තඞ්ගත වීය.”
දෙවන දබ්බ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූනට අඬ ගා වදාළ සේක. ‘වහන්සැ’යි ඒ භික‍්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, අහස් නැඟ, අහසැ පලඟින් හිඳ, තෙදකිසුණු සමවත සමවැද, එයින් නැඟී පිරිනිවි මල්ලපුත්‍ර දබ්බයන්ගේ ගිනි ගෙන දැවෙන සිරුරේ අළු නො ම පැනිණ. දැලි හෝ නො ම පැනිණ. මහණෙනි, ගිනි ඇවිළැ දැවෙන ගිතෙලෙහි හෝ තලතෙලෙහි අළු හෝ දැලි යම්සේ නොම පැනේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම අහස් නැඟ, අහසෙහි පලඟින් හිඳ තෙදකිසුණු සමවත සමවැද එයින් නැඟී පිරිනිවි මල්ලපුත්‍ර දබ්බයන්ගේ ගිනි ඇවිළ ගෙන දැවෙන සිරුරැ අළු නො ම පැනිණ, දැලි හෝ නො ද පැනිණ” යනුයි.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යකුළෙන් පහළ කලැ නැඟි දිලියෙන පිළිවෙළින් නිවුණු ගින්න ගිය තැනෙක් යම්සේ නො පැනේ ද,
එසේම කාමප්‍රබන්‍ධය ද (හෙවත් කාමෝඝය ද) සෙසු ඕඝ ද තරණය කළ, නොසැලෙන නිවන් සුව පැමිණි රහතුන්ගේ (දෙව්මිනිස් ඈ ගති අතුරෙන් මෙ නම් ගතියකට පැමිණේ යැ යි) පනවන්නට ගතියෙක් නැත”
අටවන පාටලිගාමිය වර්‍ගයයි.
එහි උද්දානය:
නිර්‍වාණ සූත්‍ර සතරෙක් ද චුන්‍ද පාටලිගාමිය ද්විධාපථ විශාඛා යන සූත්‍ර ද දබ්බ සූත්‍ර දෙක ද සහ සියලු ඒ දශ සූත්‍ර කෙනෙක් කියන ලදහ.
මේ පළමු වන වර්‍ගය උතුම් වූ බෝධිවර්‍ගය ය. දෙවැන්න මුචලින්‍ද වර්‍ගය ය. තෙවැන්න වනාහි උතුම් නන්‍දක වර්‍ගය ය. සතරවැන්න උතුම් මේඝිය වර්‍ගය ය.
මෙහි පස්වන උතුම් සෝණ වර්‍ගය ය. සවන උතුම් ජච්චන්‍ධ වර්‍ගය ය. සත්වැන්න උතුම් චුල්ල වර්‍ගය ය. අටවැන්න උතුම් පාටලිගාමිය වර්‍ගය ය. (මෙසේ වර්‍ග අටෙක.)
නො අඩු වූ අසූවක් උතුම් සූත්‍ර ඇති උතුම් වර්‍ග අටෙක් මෙහි මොනොවට බෙදන ලද්දේ ය. ඒකාන්තයෙන් ඒ මෙය උදාන නමැ යි කීහු.
උදානපාළිය නිමි.