Udāna

Inspired Utterances

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 821 segments

පෙන්වන කොටස් 401-500 න් 821

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“උපශාන්ත වූ සංහුන් සිතැති, සුන් කරන ලද භවතෘෂ්ණා ඇති, මහණහුගේ ජාත්‍යාදි සංසාරය වෙසෙසින් ක්‍ෂීණ ය. හේ මරු බැම්මෙන් මිදුණේ ය.
සිවුවන මෙඝියවර්‍ගය යි.
එහි උද්දානය:
මේඝිය, උද්ධත, ගෝපාල, ජුණ්හ, නාග සූත්‍රයන් පස්වැන්න ද, පිණ්ඩෝල, සාරිපුත්ත, අටවන සුන්‍දරී, උපසේනවංගන්තපුත්ත, සාරිපුත්ත දැ යි ඒ සූත්‍ර දශයෙකි.
සෝණ වර්‍ගය
රාජ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසේනදී කෝසල රජ මල්ලිකාදේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියේ වේ. එ කල්හි පසේනදී කෝසල රජ තෙම මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද් දැ?යි”යි ඇසී ය.
“මහරජාණනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත් ම ය.
මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කිසිවෙක් ඇත් දැ?යි” මල්ලිකා දේවී ඇසුවා ය.
“මටත් මල්ලිකාවෙනි, තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ”යි පසේනදී කොසොල් රජ කීය.
2. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙකැ හිඳ ගත. එකත්පසෙක හුන්නාවූ ම පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
“වහන්ස, මෙහි මම් මල්ලිකා දේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියෙම්, මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද්දැ?යි”යි ඇසීමි. එසේ ඇසූ කල්හි මල්ලිකා දේවි මට “මහරජාණනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත් ම යැ”යි සැළ කළා. “මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කිසි කෙනෙක් ඇත් දැ?”යි ඔ ද පුළුවුත්. වහන්ස, එසේ පුළුවුත් කල්හි “මල්ලිකාවෙනි, මටත් තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ’යි මම් කීමි” යනු යි.
3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය සලකා, ඒ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
“සියලු දශ දිසාවන් සෙවීම් වශයෙන් සිතින් අනුව ගොස්, තමහට වඩා ප්‍රියයකු සොයන්නේ කිසි තැනෙකත් නො දක්නේය. මෙසේ ඒ අන් සත්ත්‍වයනට වෙන වෙන ම තම තමා වඩා ම ප්‍රිය වේ. එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ මෙරමා නො පෙළන්නේ ය.”
අප්පායුක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එකල්හි අනඳ තෙරණුවෝ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ ඔබ සකසා වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම අනඳ තෙරණුවෝ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ මෑණියෝ අතිශයයෙන් අල්පායුෂ්ක වූ හු ය” යන්න ආශ්චර්‍ය්‍ය යි. වහන්ස, අද්භූතයි! භාග්‍යවතුන් වහන්සේගේ මෑණියෝ මුබ උපන් සත්දවසෙහි කලුරිය කළහ. තුෂිත දේවනිකායට (උත්පත්ති වශයෙන්) පැමිණියහ”යි භාග්‍යවතුන් වහන්සේට කීහ. “ආනන්‍දයෙනි, එය එසේ ය. ආනන්‍දයෙනි, බෝසත් මවුවරු අල්පායුෂ්ක වෙත්. බෝසතුන් උපන් සත් දවස වූ කල්හි බෝසත් මවුහු කලුරිය කරත්. තුෂිත දේවනිකායට පැමිණෙත්.”
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් කිසි සත්හු කෙනෙක් පෙරැ වූවාහු ද, මතු ද වෙද් ද, යම් හැම කෙනෙක් මේ කය හැර දෙව්ලොවට යන්නාහු ද, ඒ සියලු පිරිහීම නුවණැත්තේ දැන කෙලෙස් තවන වැර ඇත්තේ බඹසර කරන්නේ ය.”
සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි රජගහ නුවරෙහි මිනිසුන්ගේ ඉතා දිළිඳු වූ, මිනිසුන් අතරෙහි ඉතා ම දුගී වූ මිනිසුන් අතරෙහි ඉතා ම දීන වූ සුප්‍රබුද්ධ නම් කුෂ්ඨරෝගියෙක් විය.
2. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් හුන්සේක් වෙති. සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම රැස්ව සිටි ඒ මහජන මුළුව දුරැ දී ම දිටී. දැක ඔහුට “නිසැකයෙන් ම මෙහි කිසි කෑයුතු බිදියැ යුතු දැයෙක් බෙදෙයි. ඒ මහජන මුළුව කරා ගියෙම් නම් මනා මැ නු! මෙහි දී කිසි කෑයුතු බිදියැ යුතු දැයක් ලැබ ගත හැකි වීම් නම් මැනවැ”යි මේ සිත විය.
3. ඉක්බිත්තෙන් සුප්‍රබුද්ධකුෂ්ඨි තෙම ඒ මහජන මුළුව වෙත එළැඹියේ ය. එහි මහපිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැක ඔහුට “මෙහි කිසි කෑයුතු හෝ බිදිය යුතු හෝ දැයෙක් නො බෙදෙයි. මෙ මහණ ගොයුම්හු පිරිසෙහි දම් දෙසති. මමත් දහම් අසම් නම් මැනැවැ”යි මේ සිත විය. මෙ තෙම ‘මමත් බණ අසන්නෙමි’යි එහි ම එක් පසෙක හිඳ ගත්තේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එකකුදු නො හැර මුළු පිරිස ම ඔවුන් සිත් සිය සිතින් පිරිසිඳ ‘මෙහි කවරෙක් නම් දහම් දැන ගන්නට (මාර්‍ගඵලාවබෝධයට) භව්‍ය දැ?”යි (උපනිඃශ්‍රය සම්පන්න දැයි) බැලූ සේක.
4. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි හුන් සුප්‍රබුද්ධ කුෂ්ඨියා දුටු සේක. දැක උන් වහන්සේට ‘මේ තෙමේ ඒකාන්තයෙන් මෙහි ධර්‍මය අවබෝධ කරන්නට තරම් උපනිඃශ්‍රය සම්පත් ඇත්තෙකැ’යි මේ සිත විය. ඉක්බිති සුප්‍රබුද්ධ කුෂ්ඨියා ඇරැබ, දානකථා ද ශීලකථා ද ස්වර්‍ගකථා ද කාමයන්ගේ දෝෂ ද ලාමකබව ද කෙලෙසීම ද නෙක්ඛම්මයෙහි අනුහස් ද පැවැසූ සේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සුප්‍රබුද්ධ කුෂ්ඨීහු කර්‍මක්‍ෂම සිත් ඇතියහු කෙලෙස් පහ ව මොළොක් සිත් ඇතියහු නීවරණ පහ වූ සිතැත්තහු., (මනා පිළිවෙත්හි) ඔදවැඩි සිතැත්තහු සැදැහැයෙන් පහන් සිතැත්තහු දුටු සේක් ද, ඒ විටැ දුක් යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ගය යැ යන බුදුවරුන්ගේ යම් සාමුතකර්‍ෂකී දේශනාවෙක් වේ නම් එය පැවසූ සේක. පහ වූ කළුබව් ඇති ශුද්ධ වස්ත්‍රය යම්සේ රඳන් පිළිගන්නේ ද, ඒ පරිද්දෙන් ම සුප්‍රබුද්ධ කුෂ්ඨියාහට ඒ ආසනයෙහි ම, ‘යමක් හටගන්නා ස්වභාවය ඇත් නම් ඒ සියල්ල නැසෙන ස්වභාවය ඇත්තේ යැ’යි පහ වූ කෙලෙස් රජස් ඇති, පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළ විය.
5. එ කල්හි සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම දක්නා ලද සිවුසස් දහම් ඇත්තේ නුවණින් පැමිණි සිවුසස් දහම් ඇත්තේ, ප්‍රකට වූ සිවුසස් දහම් ඇත්තේ, නුවණින් බැසගත් සිවුසස් දහම් ඇත්තේ, ඉක්මි සැක ඇත්තේ, පහවූ විමති ඇත්තේ, ශීලාදිගුණයන්හි විශාරද බවට පැමිණියේ, බුද්ධශාසනයෙහි පරප්‍රත්‍යය නැත්තේ, හුනස්නෙන් නැගී සිටැ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හිඳ ගත්තා වූ ම සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය: “වහන්ස, දේශනාව අභිකාන්ත ය. වහන්ස, දේශනාව අභිකාන්ත ය. වහන්ස, යම්සේ මුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ ද, “ඇස් ඇත්තෝ රූප දකින්නාහ’හි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද්දේ ය. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක් වා” යනු යි.
6. එකල්හි සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් දක්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, සතුටු කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ වචන පිළිගෙන, සතුටු ව, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
ඉක්බිත්තෙන් නික්මැ ගිය නොබෝ වේලා ඇති සුප්‍රබුද්ධ කුෂ්ඨියා පැටවස්සකු ඇති දෙනක් ඇන බිම හෙළා දිවියෙන් තොර කළා ය.
7. එ කල්හි බොහෝ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ම ඒ භික්‍ෂූහු “වහන්ස, යම් සුප්‍රබුද්ධ නම් කුෂ්ඨියෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු ලා දක්වන ලද්දේ ද, සමාදන් කරවන ලද්දේ ද, උත්සාහවත් කරන ලද්දේ ද, සතුටු කරවන ලද්දේ ද, හේ කලුරිය කළේය. ඔහුගේ ගතිය කවර යැ, පරලොවැ පැවැත්ම කවර යැ?” යි ඇසූහ.
8. “මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ඨි තෙම පණ්ඩිත ය. ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වී ය. ධර්‍මාවබෝධ කාරණයෙන් මා නො වෙහෙසී ය. මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ඨි තෙම තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් සෝවාන් වූයේ, අපායට නොවැටෙන ස්වභාව ඇත්තේ, සම්‍යක‍්ත්‍වනියමයෙන් නියත වූයේ, ඉදිරි මාර්‍ගත්‍රය (සම්බෝධිය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ වි යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
9. මෙසේ කී කල්හි එක්තරා මහණෙක් “වහන්ස, යමෙකින් සුප්‍රබුද්ධ තෙම කුෂ්ඨ ඇත්තේ වී ද, මිනිසුන් අතුරෙහි ඉතා දිළින්දෙක්, මිනිසුන් අතරෙහි ඉතා දුගියෙක්, මිනිසුන් අතරෙහි ඉතා ම දීනයෙක් වී ද, එයට හේතුව කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”? යි ඇසීය.
10. “මහණෙනි, පෙර වූවක් කියම්. සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම මේ රජගහ පුරයෙහි ම සිටුපුතෙක් විය. හේ උයන්බිමට යන්නේ නුවරට පිඬු පිණිස පිවිසෙන තගරසිඛී පසේබුදු දිටී. දැක ඔබට “සිවුරෙන් ඇඟ වසා හැවිදුනා මේ කුෂ්ඨියා කවරෙක් දැ?”යි මේ සිත විය. මෙසේ සිතා කෙළ එව අපසව්‍ය (නිගරු) කොට නික්ම ගියේ ය. හේ ඒ කර්‍මයේ විපාකයෙන් බොහෝ හවුරුදු, බොහෝ සිය ගණන් හවුරුදු, බොහෝ දහස්ගණන් හවුරුදු, බොහෝ සියදහස්ගණන් හවුරුදු නිරයේ පැසුණේය. ඒ කර්‍මයේ ම ඉතිරි විපාකයෙන් මේ රජගහ පුරයෙහි ම මිනිස්දිළින්දෙක් වූ මිනිස්දුගියෙක් වූ මිනිස්දීනයෙක් වූ කුෂ්ඨියෙක් විය. හේ තථාගතයන් දෙසූ ධර්‍මවිනය නිසා සැදැහැ සමාදන් කොට ගත්තේ ය. සිල් සමාදන් කොට ගත්තේ ය. බහුශ්‍රුත බව සමාදන් කොට ගත්තේ ය. ත්‍යාගය සමාදන් කොට ගත්තේ ය. ප්‍රඥාව සමාදන් කොට ගත්තේ ය. හේ තථාගතප්‍රවේදිත ධර්‍මවිනය නිසා ශ්‍රද්ධාව සමාදන් කොට ගෙන, ශීලය සමාදන් කොට ගෙන, ශ්‍රැතය සමාදන් කොට ගෙන, ත්‍යාගය සමාදන් කොට ගෙන, ප්‍රඥාව සමාදන් කොට ගෙන, කාබුන් මරණින් මතු සුගති සගලොව පැමිණියේ, තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියේ ය. හේ එහි පැහැයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක් මැ බබළා”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
11. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
“නුවණැස් ඇති පණ්ඩිත තෙමේ කායික වීර්‍ය්‍ය පවත්නා කල්හි විෂම ඇත් අස් ආදීන් මෙන් මේ සත්ලොවෙහි පාපයන් දුරැ ලන්නේ ය.”
කුමාරක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි බොහෝ දරුවෝ සැවැතටත් දෙව්රමටත් අතරැ මසුන් පෙළත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ සැවැතටත් දෙව්රමටත් අතරැ මසුන් පෙළන ඒ දරුවන් දුටු සේක. දැක ඒ දරුවන් කරා එළැඹියහ. එළැඹ “දරුවෙනි, තෙපි දුකට බිය ඇත්තවු ද? දුක තොපට අප්‍රිය දැ?”යි අසා වදාළ සේක. “එසේය වහන්ස, අපි දුකට බමු. අපට දුක අප්‍රිය යැ”යි ඔහු කීහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“ඉදින් දුකට බවු නම්, ඉදින් දුක තොපට අප්‍රිය නම්, එළියේ හෝ රහසේ හෝ පව්කම් නො කරවු.
ඉදින් පව්කම් කරවු නම් හෝ කරන්නහු නම් හෝ එය දැන පලා යන්නා වූ ද තොපට දුකින් මිදීමෙක් නැත.”
උපෝසථ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ සමීපයෙහි වූ මෘගාරිමාතෘප්‍රාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පොහොලත් එදින බික්සඟන විසින් පිරිවරුණාහු වැඩහුන් සේක් වෙති. එකල්හි අනඳ තෙරණුවෝ රෑ බොහෝ වේලා ඉක්මැ ගිය කල්හි, පළමු යම ගෙවුණු කල්හි හුනස්නෙන් නැඟි සිට සිවුර එකස් කොට භාග්‍යවතුන් දසට ඇඳිලි නමා “වහන්ස, රෑ බොහෝ ඉක්මියේ ය. පෙර යම ගෙවිණ. බික්සඟ හිඳගත් බොහෝ වේලා ඇත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට පාමොක් දෙසන සේක්වා”යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වු සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ රැය බොහෝ ඉක්මුණු කල්හි, මැදුම්යම ගෙවුණු කල්හි හුනස්නෙන් නැගිට, සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි නමා, “වහන්ස, රෑ බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම ගෙවිණ … පාමොක් උදෙසන සේක්වා”යි කීහ. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වු සේක. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මි කල්හි, පැසිම් යම ගෙවුණු කල්හි අරුණු නැඟි කල්හි රෑ පාන වන වේලෙහි හුනස්නෙන් නැගී සිට සිවුර එකස් කොට, භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි නමා “වහන්ස, රෑ බොහෝ ඉක්ම ගියේ ය. පැසිම් යම ගෙවුණේ ය. අරුණු නැංගේ ය. රෑ පාන් වීමට ළං වැ ඇත. බික්සඟහු හිඳගත් බොහෝ වේලා ඇත්තාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පාමොක් උදෙසන සේක්වා”යි කීහ. ‘අනඳයෙනි, පිරිස අපිරිසිදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
2. එකල්හි ‘අනඳයෙනි, පිරිස අපිරිසිදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ කවර පුගුලකු සඳහා මෙසේ වදාළ සේක් දැ?’යි මහමුගලන් තෙරණුවන්ට මේ සිත විය. ඉක්බිති මහමුගලන් තෙරණුවෝ එක් කෙනෙකුනුදු නොහැර සියලු ම භික්‍ෂුසඞ්ඝයා සිය සිතින් ඔවුන් සිත පිරිසිඳැ බැලූ සේක. පාපස්වභාවය ඇති, සැකයෙන් සිහි කටයුතු පැවතුම් ඇති, වැසුණු කර්‍ම ඇති, අශ්‍රමණ වූ, ශ්‍රමණයෙමි යි ප්‍රතිඥා ඇති, බඹසර නැති, බඹසැරිමි යි පිළින ඇති, ඇතුළත කුණු වූ, රාගාදි කෙලෙස් වැස්සෙන් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති, බික්සඟන මැද හුන් ඒ දුසිල් පුඟුලා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ දුටහ. දැක හුනස්නෙන් නැගිට ඒ පුගුලා වෙත වැඩියහ. වැඩ ඇවැත, නැඟීසිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා සහවාසයෙක් නැතැ යි වදාළහ. එකලැ එ පුගුල් නිහඬ වැ හුන්නේ ය. දෙවෙනි වර ද මහමුගලන් තෙරණුවෝ එ පුගුලාට ‘ඇවැත, නැඟීසිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් නැතැ’යි වදාළහ. දෙවෙනි වර ද එ පුගුලා නිහඬ වැ හුන්නේ ය. තෙවෙනි වරද, මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත, නැඟීසිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් නැතැ”යි වදාළහ. තෙවෙනි වරද, එ පුගුලා නිහඬ වැ හුන්නේ ය.
3. එකල්හි මහමුගලන් තෙරණුවෝ ඒ පුගුලා අතැ ගෙන දොරොටුවෙන් පිටතට නික්මවා අගුල්හිද්ද ද මත්තෙහි ඝටිකාව ද ලා (මොනොවට දොර වසා) භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, ඒ පුගුලා මා විසින් නික්මවන ලද්දේ ය. පිරිස පිරිසිදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට පාමොක් උදෙසන සේක් වා”යි සැළ කළහ. “ආශ්චර්‍ය්‍යය, මුගලනෙනි, අද්භූත ය, මුගලනෙනි, අතින් ගන්නා තුරු ම ඒ හිස් පුරිස් තෙම ලැසි වූයේ යැ!”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, දැන් මෙයින් මතු පොහෝ නො කරන්නෙමි. පාමොක් නො උදෙසන්නෙමි. මහණෙනි, දැන් මෙයින් මතු තෙපි ම පොහෝ කරවු. පාමොක් උදෙසවු. මහණෙනි, ‘තථාගත තෙම අපිරිසිදු පිරිසෙහි පොහේ කරන්නේ ය, පාමොක් උදෙසන්නේ ය’ යන යමෙක් ඇද් ද. මෙය නොකරුණෙකි, නොවිය හැක්කෙකි.
5. මහණෙනි, යම් දෑ දැක දැක අසුරයෝ මහමුදෙහි ඇලෙත් නම් මහමුදෙහි වූ මේ අසිරිමත් පුදුම අටෙකි. කවර අටෙක් ද? යත්:
(1) මහණෙනි, මහමුහුද පිළිවෙළින් නිම්න ය. පිළිවෙළින් නැඹුරු ය. පිළිවෙළින් නිම්නයට බර වූයේ ය. එක එල්ලේ ම බෑවුම නො වේ. මහණෙනි, මහමුහුද පිළිවෙළින් නිම්න ය, පිළිවෙළින් නැඹුරු ය. පිළිවෙළින් නිම්නයට බර වූයේ ය. එක එල්ලේ ම බෑවුම නො වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වේ.
(2) තව ද මහණෙනි, මහමුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙරළ ඉක්ම නො යෙයි. මහණෙනි, මහමුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙරළ ඉක්ම නොයේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මේ තෙම යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
(3) තව ද මහණෙනි, මහමුහුද මළකුණු හා එක් වැ නො වසයි. මහමුහුදෙහි යම් මළකුණෙක් වේ නම්, එය වහා ම මුහුදුතෙරට පමුණුවයි, ගොඩට නගයි. මහණෙනි, මහමුහුද මළකුණු හා එක් වැ නො වසයි, මළකුණු ගොඩට නගයි යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද අසුරයෝ යමක් දැක දැක මහමුහුදෙහි ඇලෙත් නම්, මහමුහුදෙහි ඒ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(4) තව ද මහණෙනි, ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන යම් මහා නදී කෙනෙක් වෙත් ද, ඔහු මහමුහුදට පැමිණියෝ පළමු නම් ගොත් හරිති. මහමුහුදැ යි ම ව්‍යවහාරයට යෙත්. මහණෙනි, ගඞ්ගා යමුනා ... යම් නදී කෙනෙක් වෙත් ද, ඔහු මහ මුහුදැ යි ම ව්‍යවහාරයට යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(5) තව ද මහණෙනි, ලොවැ යම් ගං හෝ කෙනෙක් මහමුහුදට ගලා බසිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැණෙයි. මහණෙනි, යම් ගං හෝ කෙනෙක් ගලා බසිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් හෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැණේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ මහමුහුදෙහි වූ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(6) තව ද මහණෙනි, මහමුහුද එක් රස ම ඇත්තේ ලුණුරස ඇත්තේ වේ. මහණෙනි, මහමුහුද එක් රස ම ඇත්තේ ලුණුරස ඇත්තේ වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මෙය ද මහමුහුදෙහි වූ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(7) තව ද මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය. නොයෙක් රුවන් ඇත්තේ ය. එහි මුතු මිණි මිණි වෙරළු සක් සිලා පබළු රිදී රන් රත්මිණි මැසිරිගල් යන මේ රුවන්හු වෙත්. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය ... මේ රුවන්හු වෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(8) තවද මහණෙනි, මහමුහුද මහත් සත්ත්‍වයනට වාසස‍්ථානය වේ. එහි තිමි තිමිඞ්ගල තිමිරපිඞ්ගල අසුර නාග ගන්‍ධර්‍ව යන මේ සත්ත්‍වයෝ වෙති. මහමුහුදෙහි යොදුන් සියක් පමණ වු අත්බව් ඇත්තෝ ද, යොදුන් දෙසියක් පමණ අත්බව් ඇත්තෝ ද, යොදුන් තුන්සියක් පමණ වු අත්බව් ඇත්තෝ ද, යොදුන් සාරසියක් පමණ අත්බව් ඇත්තෝ ද, යොදුන් පන්සියක් පමණ අත්බව් ඇත්තෝ ද වෙත්. මහණෙනි, මහමුහුද මහත් සතුන්ගේ වාසස්ථානය වෙයි ... එහි … යොදුන් පන්සියක් පමණ අත්බව් ඇත්තෝ ද වෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, මෙය ද මහමුහුදෙහි වූ ඒ අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මොහු ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට ය.
6. මහණෙනි, එපරිද්දෙන් ම යම් දෑ දැක දැක මහණහු මේ සස්නෙහි ඇලෙත් ද, එසේ වූ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙනෙක් මෙ සස්නෙහි ඇත. කවර අට දෙනෙක් ද? යත්:
(1) මහණෙනි, මහමුහුද යම් සේ පිළිවෙළින් නිම්න වූයේ පිළිවෙළින් ගැඹුරු වූයේ, පිළිවෙළින් නිම්නයට බර වූයේ, එක එල්ලේ ම බෑවුම් නැත්තේ වේ ද, එසේ ම මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍ව ප්‍රතිපදා වේ. පිළිවෙළ ඉක්මැ (ශිලසමාධිප්‍රඥා නො පුරා) එක්වන ම රහත්බව් පැමිණීම නො වේ. මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍වශික්‍ෂා … වේ .. එක් වන ම රහත්බව් පැමිණීම නො වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මේ තෙම, යමක් දැක දැක මහණහු මෙ සස්නෙහි ඇලෙත් නම්, ඒ මේ සස්නෙහි ඇති පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(2) මහණෙනි, යම් සේ මහාසමුද්‍රය ස්ථිතභාවය ඇත්තේ වෙරළ ඉක් මැ නො යේ ද, එසේ ම මහණෙනි, මා විසින් සව්වනට යම් සිකපදයෙක් පණවන ලද නම්. එය මා සව්වෝ (සෝවාන් ආදි ආර්‍ය්‍යශ්‍රාවකයෝ) ජීවිත හේතුයෙනුදු ඉක්මැ නො යෙත්. මහණෙනි, මා විසින් සව්වනට යම් සිකපදයෙක් පණවන ලද නම් එය මා සව්වෝ ජීවිතහේතුයෙනුදු ඉක්මැ නොයෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙයද, යමක් දැක දැක මහණහු මෙ සස්නෙහි ඇලෙත් නම්, මෙ සස්නෙහි වූ ඒ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(3) මහණෙනි, යම් සේ මහමුහුද මළකුණු හා එක් වැ නො වෙසේ ද, මහමුහුදෙහි යම් මළ කුණෙක් වී නම් එය වහා ම මුහුදු තෙරට පමුණුවා ද, ගොඩට නඟා ද, එසේ ම මහණෙනි, දුශ්ශීල වූ පාපස්වභාව ඇති, අශුද්ධ වූ, සැකයෙන් සිහි කටයුතු පැවැතුම් ඇති, වැසුණු කර්‍ම ඇති, අශ්‍රමණ වැ ශ්‍රමණයෙමි යි පිළින කරන, අබ්‍රහ්මචාරී වැ බ්‍රහ්මචාරීමි යි පිළින කරන, ඇතුළත කුණු වූ, රාගාදියෙන් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති යම් පුඟුලෙක් වේ ද, සඞ්ඝයා ඔහු හා එක්වැ නො වෙසේ. වැලි බික්සඟන වහාම රැස් වැ ඔහු නෙරපයි.
හේ බික්සඟන මැද හුන්නේ වී නමුදු වැලි හේ සඞ්ඝයා කෙරෙන් ද සඞ්ඝයා ඔහු කෙරෙන් ද ඈත් ම යැ. මහණෙනි, දුශ්ශීල වූ පාපස්වභාව ඇති, අශුද්ධ වූ .... හටගත් කෙලෙස් කසළ ඇති යම් පුඟුලෙක් වේ ද ... සඞ්ඝයා ඔහු කෙරෙන් ඈත් ම යැ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(4) මහණෙනි, ගඞ්ගා ... මහී යන යම මහා නදී කෙනෙක් වෙත් ද, යම් සේ ඔහු මහමුහුදට පැමිණ පළමු නම්ගොත් හරිත් ද, මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත් ද, එසේ ම මහණෙනි, කැත් බමුණු වෙළෙඳ සුදුරු යන මේ සතර කුලයෝ වෙත් ද, ඔහු ගිහිගෙන් නික් මැ තථාගත ප්‍රවිදිත ශාසනයෙහි පැවිදිවැ පළමු නම්ගොත් හරිත්, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ම යැ යි ව්‍යවහාරයට යෙත්. මහණෙනි, කැත් .... යන සතර කුලයෝ වෙත් ද, ඔහු .... පළමු නම් ගොත් හරිත් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ යී ම ව්‍යවහාරයට යෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි මෙයද, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම්, මෙ සස්නෙහි වූ ඒ සතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(5) මහණෙනි, ලොවැ යම් ගං හෝ කෙනෙක් මහමුහුදට ගලා බසිත් ද, අහසින් යම් වැසි දහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් නො පැණේ ද, එසේ ම මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නුමුදු එයින් නිර්‍වාණධාතුවෙහි අඩුබවෙක් හෝ පිරුණු බවෙක් නො පැණේ. මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නුමුදු එයින් නිර්‍වාණධාතුවෙහි අඩුබවෙක් හෝ පිරුණු බවෙක් යම් සේ නො පැණේ ද, මෙය ද මහණෙනි, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම්, ඒ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(6) මහණෙනි, මහමුහුද යම් සේ එක ම රස ඇත්තේ, ලුණුරස ඇත්තේ වේ ද, එසේ ම මහණෙනි, මේ සස්න එක ම රස ඇත්තේ විමුක්තිරස ඇත්තේ වේ. මහණෙනි, මෙ සස්න එක ම රස ඇත්තේ විමුක්තිරස ඇත්තේ වේ යන යමෙක් ඇද් ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(7) මහණෙනි, මහමුහුද යම් සේ බොහෝ රුවන් ඇත්තේ ද, නොයෙක් රුවන් ඇත්තේ ද, එහි මුතු මිණි ..... මැසිරිගල් යන මේ රුවන්හු වෙත් ද, එසේ ම මහණෙනි, මෙ සස්න බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් රුවන් ඇත්තේ ය, එහි සතර සීවටන්හු ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඉදුපා ය, පස් ඉඳුරෝ ය, පස් බල ය, සත් බොඳඟහු ය, අරීඅටඟි මඟ ය, යන මේ රුවන්හු වෙත්. මහණෙනි, මෙ සස්න බොහෝ රුවන් ඇත්තේ ය. … එහි සතර සීවටන්හු ය … අරීඅටඟි මඟ ය යන මේ රුවන්හු වෙත් යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ මෙ සස්නැ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
(8) මහණෙනි, මහමුහුද යම් සේ මහත් සත්ත්‍වයනට වාසස්ථාන වේ ද, යම් සේ එහි තිමි තිමිඞ්ගල ..... ගන්‍ධර්‍ව යන මේ සත්ත්‍වයෝ වෙත් ද, යම් සේ මහමුහුදෙහි සියක්යොදුන් අත්බව් ඇති සත්හු ද … පන්සියක් යොදුන් අත්බව් ඇති සත්හු ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ සස්න මහත් සත්ත්‍වයන්ගේ වාසස්ථානය වේ. එහි සෝවාන් ය, සෝවාන්පල පසක් කිරීමට පිළිපන්නේ ය, සෙදැගැමි ය, සෙදැගැමිපල පසක් කිරීමට පිළිපන්නේ ය, අනැඟැමි ය, අනැඟැමි පල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්පල පසක් කිරීමට පිළිපන්නේ ය යන මේ මහත් සත්හු වෙති. මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නැ ඇලෙත් නම් ඒ මෙ සස්නෙහි ඇති අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
මහණෙනි, යම් දෑ දැක දැක භික්‍ෂූහු මෙ සස්නැ ඇලෙත් ද, මහණෙනි, මේ වනාහි මෙ සස්නෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙන වෙති යනු යි.
7. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“වැසුණ වරද ඉතා වසී. විවෘත වූයේ ඉතා නො වසී. එ හෙයින් වැසුණ වරද හෙළි කරන්නේ ය. මෙසේ එය ඉතා නො වසී.”
සෝණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහකසයින් තෙරණුවෝ අවන්තිරට කුරරඝර නුවර සමීපයෙහි පවත්ත නම් පව්වෙහි වැඩ වසන සේක. එ කල්හි සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන්ගේ උපස්ථායක වෙයි. එකලැ වනාහි එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ සෝණකුටිකණ්ණ උපාසකයාට, “ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ යම් යම් සේ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකා බලන මට ගිහි ගෙයි වසන මා විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ශංඛලිඛිතයක් සේ කොට මේ බඹසර රක්නට නො හැකි වේ, මම් කෙහෙරවුළු බා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය.
2. ඉක්බිත්තෙන් සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ මහකසයින් තෙරුන් ආදරයෙන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් සෝණකුටිකණණ උපාසක තෙම මහකසයින් තෙරුන්ට “වහන්ස, මෙහි හුදෙකලා ව චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය: “යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට ‘මේ සසුන බඹසර ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් වීම් නම් යෙහෙකැ’යි මේ සිත විය. වහන්ස, ආර්‍ය්‍ය වූ කසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යි මෙ බස් කී ය.
3. මෙසේ කී කල්හි මහකසයින් තෙරණුවෝ සෝණකුටිකණ්ණ උපාසකයාට, “සෝණයෙනි, දිවි ඇතිතාක් එක්බත, එකලා ශයනය, බඹසර යන මෙය දුෂ්කර ය. එ බැවින් සෝණයෙනි, තෙපි එහි ගිහිව ම චාතුද්දසී පඤ්චදසී ආදි සුදුසු කාලය හා යෙදුණු එක්බත එකලා ශයනය බඹසර යන බුදුවරුන්ගේ ශාසනයෙහි යෙදෙවු”යි වදාළහ. එකල්හි සෝණ කුටිකණ්ණ උපාසකයාට, පැවිද්දට යම් උත්සාහයෙක් වී නම් එය සංසිඳිණ.
4. දෙවෙනි වරැ ද, හුදකලා වූ චිත්තවිවේකයෙහි යෙදුණු සෝණ කුටිකණ්ණ උපාසකයාට, “යම් යම් සේ ම ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, ඒ ඒ අයුරින් නුවණින් සලකා බලන මට “ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට මේ බඹසර පුරන්නට පහසු නො වේ, මම් කෙස්රවුළු බා කසාවත් හැඳ ගිහිගෙන් නික්මැ සසුන් වන්නෙම් වීම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය. දෙවෙනි වරැ ද, සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබට, “වහන්ස, යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට මේ සසුන් බඹසර ගිහි ගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා දමා කසාවත් හැඳ පෙරෙව ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ’යි මෙහි හුදෙකලා ව චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය. ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යී කී ය.
5. දෙවෙනි වර ද මහකසයින් තෙරණුවෝ සෝණකුටිකණ්ණ උපාසකයාට, “සෝණයෙනි, දිවි ඇතිතාක් එක්බත, එකලා ශයනය, බඹසර යන මේ දෑ දුෂ්කර ය. එබැවින් සෝණයෙනි, තෙපි එහි ගිහි ව ම සුදුසු කල් හා යෙදුණු එක්බත, එකලා ශයනය, බඹසර යන බුද්ධශාසනයෙහි යෙදෙවු”යි වදාළහ. දෙවෙනි වරැ ද සෝණ කුටිකණ්ණ උපාසකයාට, යම් පැවිද්දෙහි උත්සාහයෙක් වී නම්, එය සංසිඳුණේ ය.
6. තෙවෙනි වර ද එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ සෝණ උපාසකයාට, “යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකා බලන මට ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට ශඞ්ඛලිඛිතය සේ කොට බඹසර පුරන්නට පහසු නො වේ, මම් කෙහෙරවුළු බා කසා වත් හැඳ ගිහිගෙන් නික්මැ සසුන් වදනෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය.
තෙවෙනි වර ද, සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් හෙතෙම ඒ තෙරුනට “වහන්ස, යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට මේ සසුන් බඹසර ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලීඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ’යි මෙහි හුදකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය. ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යි මෙ බස් කී ය.
7. ඉක්බිත්තෙන් මහකසයින් තෙරණුවෝ සෝණ කුටිකණ්ණ උවසහු පැවිදි කළහ. එ සමයෙහි වනාහි අවන්ති දක්‍ෂිණාපථය කිහිප නමක් පමණක් භික්‍ෂූන් ඇත්තේ වේ. එ කල්හි මහකසයින් තෙරණුවෝ තුන් වසක් ඇවෑමෙන් දුකින් ආයාසයෙන් ඒ ඒ තැනින් දස නමක් වූ බික්සඟ මුළුවක් රැස් කොට ආයුෂ්මත් සෝණයන් උපසපන් කළහ.
8. ඉක්බිත්තෙන් වස් වැස නිමැ වූ, හුදකලා වූ චිත්තවිවේකයෙන් හුන්නා වූ ආයුෂ්මත් සොණයනට “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඇස් හමුයෙහි නො දක්නා ලද සේක් ම ය. එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ද මෙබඳු ද වන සේකැ යි ඇසූ පමණ ම ය. ඉදින් උපාධ්‍යායයන් වහන්සේ මට අනුදක්නා සේක් නම්, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට මම් යන්නෙම් වා”යි චිත්ත සංකල්පනාවෙක් පහළ විය.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණයෝ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටියාහු මහකසයින් තෙරුන් කරා එළඹියහ. එළැඹ මහකසයින් තෙරුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ආයුෂ්මත් සෝණයෝ මහකසයින් තෙරුනට “වහන්ස, මෙහි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය: “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඇස්හමුවෙහි නො දක්නා ලද සේක. එතෙකුදු වුවත් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු මෙබඳු වන සේකැ යි ඇසූ පමණ ම ය. ඉදින් උපාධ්‍යායයන් වහන්සේ මට අනුදක්නා සේක් නම් ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට මම් යන්නෙම් වා”යි මෙය සැළ කළහ. “සෝණයෙනි, මැනැවි මැනැවි සෝණයෙනි, ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට තෙපි යවු.
9. සෝණයෙනි, තෙපි ප්‍රසාද එළවන්නාවූ, පැහැදීමට නිමිති වූ සංහුන් ඉඳුරන් ඇති, සංහුන් සිත් ඇති, උතුම් ශමථයට ද දමථයට ද පැමිණ සිටි, දාන්ත කායසමාචාර ඇති, රැකුණු වාක්සමාචාර ඇති, සංයත මනඉන්‍ද්‍රිය ඇති, නාග (ශ්‍රේෂ්ඨ) වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නහු ය. දැක මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ සිරිපා හිස නමා වඳින්න. ආබාධරහිත බව රෝග රහිත බව, ලහුට්ඨාන කායබලය සැප විහරණය ද විචාරන්න. වහන්ස, මාගේ උපාධ්‍යාය වු මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස නමා වඳිති. ආබාධරහිත බව රෝග රහිත බව ... කායබලය සැප විහරණය ද විචාරති”යි කියන්නැ යි මහකසයින් තෙරණුවෝ වදාළහ. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ආයුෂ්මත් සෝණයෝ මහකසයින් තෙරුන්ගේ වචනය පිළිගෙන, සතුටු වැ හුනස්නෙන් නැගී සිට, මහකසයින් තෙරුන් ආදරයෙන් වැඳ පැදකුණු කොට, සෙනසුන් සුරැකි කොට තබා, පාසිවුරු ගෙන සැවැත්නුවර බලා සැරිසරා වැඩියහ. පිළිවෙළින් සැරි සරනුවෝ, සැවැත්නුවරැ දෙව්රම් නම් අනේපිඬු අරමට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ආයුෂ්මත් සෝණයෝ, “වහන්ස, මාගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් මහකසයින්හු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස නමා වඳිති. ආබාධ නැති නියා, රෝග නැති නියා ද කායබලයද සුඛවිහරණය ද විචාරති”යි කීහ. “මහණ, සැහිය හැකි ද? යැපිය හැකි ද? මෙතෙක් දුර ආයාසයෙක් නැතිව ආයෙහි ද? අහරින් ක්ලාන්ත නො වූයෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්සේ, ඉවැසියැ හැකි යි. භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි යි. වහන්ස, ක්ලාන්ත රහිත ව ද දික් මඟ ආමි. අහරින් ක්ලාන්ත නො වීමි’යි සෝණයෝ කීහ.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “ආනන්‍දයෙනි, මේ ආගන්තුක භික්‍ෂු නමට සෙනසුන් පණවන්නැ’යි වදාළ සේක. එකල්හි අනඳතෙරුනට “ආනන්‍දයෙනි, මේ ආගන්තුක භික්‍ෂුනමට සෙනසුන් පණවන්නැ’යි භාග්‍යවතුන් වහන්සේ යමකු සඳහා මට අණවන සේක් ද, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂු නම සමග එක් වෙහෙරෙහි ම වසන්නට කැමැති සේකැ”යි මේ සිත විය. ඉන් පසු අනඳ තෙරණුවෝ යම් වෙහෙරක භාග්‍යවතුන් වහන්සේ වසන සේක් ද, එ වෙහෙරෙහි ආයුෂ්මත් සොණයනට සෙනසුන් පැණැවූහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලා එළපහනෙහි හිඳීමෙන් කල් යවා, පා දෙව වෙහෙරට පිවිසි සේක. ආයුෂ්මත් සෝණයෝ ද රෑ බොහෝ වේලා එළිමහනැ හිඳීමෙන් කල් යවා, පා දොවා වෙහෙරට පිවිසියහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගී සිට ආයුෂ්මත් සෝණනයට ‘මහණ, දහමක් කියන්නට තොපට වැටහේවා (දහමක් දෙසවු’) යි වදාළ සේක. “එසේ ය වහන්සැ’යි ම ආයුෂ්මත් සෝණයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී (සූත්‍රනිපාතයෙහි) අෂ්ටකවර්‍ගයට අයත් සියලු ම සොළොස් සූත්‍ර ස්වරභණ්‍යයෙන් කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණයන්ගේ ස්වරභණ්‍යවසානයෙහි මැනැව, මැනැව, මහණ අෂ්ටකවර්‍ගයට අයත් සොළොස් සූත්‍ර මොනොවට උගන්නා ලදී. මොනොවට මෙනෙහි කරන ලදි, අරුත් විසින් මොනොවට සලකා බලන ලදි. විමුක්ත වූ නිදොස් වූ අදහස් කළ අරුත් හඟවනු සමත් වූ කලණ වචනයෙන් සමන්‍විතයෙහි ය. මහණ, තෙපි, වස් කීයක් ඇත්තාව?”යි වදාළ සේක. වහන්ස, මම් එක්වස් ඇතියෙමි’යි සෝණයෝ කීහ. “මහණ, තෝ කවර හෙයින් මෙසේ පැවිදි වන්නට බොහෝ කල් යැවීහි දැ”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “වහන්ස, මා විසින් කාමයන්හි ආදීනව දක්නා ලද බොහෝ කල් විය. එහෙත් ගිහිගෙයි විසීම සම්බාධ ය, කෘත්‍යබහුල ය, කරණී බෙහෙව (එහෙයින් එයින් නික්මෙන්නට කල්ගත වී යැ”) යි සෝණයෝ කීහ.
11. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ.
“ආර්‍ය්‍ය තෙමේ සියලු සංස්කාර ලෝකයෙහි දොස් දැක, උපධිරහිත නිර්‍වාණධර්‍මය දැන, ස්වල්ප වු ද ලාමක දැයෙහි නො ඇලේ. පිරිසිදු පුගුල් තෙමේ කිලිටි දැයෙහි නො ඇලේ.”
රේවත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි කඞ්ඛාරේවත තෙරණුවෝ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ කාඞ්ක්‍ෂාවිතරණවිශුද්ධිය නුවණින් බලනුවෝ භාග්‍යවතුන්ට නොදුරෙහි හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ කාඞ්ක්‍ෂාවිතරණවිශුද්ධිය නුවණින් බලමින් නොදුරෙහි හුන් කඞ්ඛාරේවත තෙරුන් දුටු සේක.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මේ අත්බව්හි හෝ අතීතානාගත අත්බව්හි, සිය අත්බව් අරමුණු කොට පවත්නා හෝ මෙරමා අත්බව් අරමුණු කොට පවත්නා හෝ යම් සැකයෙක් වේ ද, ඒ සියල්ල කෙලෙස් තවන වැර ඇති, බඹසර සරන්නා වූ ධ්‍යානයෙහි ඇලුණාහු දුරැ ලති.”
නන්‍ද සූත්‍රය (සඞ්ඝභේද)
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි අනඳ තෙරණුවෝ පොහොලත් එදින පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. දෙව්දත් තෙර රජගහ නුවරැ පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දිටී. දැක, අනඳ තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ අනඳ තෙරුනට ‘ඇවැත් අනඳය, අදින් ඉදිරියට මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්‍ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම පොහෝ ද සඞ්ඝකර්‍ම ද කරන්නෙමි’යි කී ය. එකල්හි අනඳ තෙරණුවෝ රජගහ නුවරැ පිඬු පිණිස හැසිරැ බතින් පසු, පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නෝ ය. එක් පසෙක හුන්නා වූ ම අනඳ තෙරණුවෝ ‘වහන්ස, මම් පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන මෙහි රජගහ නුවරට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන මා දෙව්දත් තෙර දිටී ය. දැක මා වෙත ආයේ ය. අවුත් මට “ඇවැත් අනඳ ය, අදින් ඉදිරියට මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්‍ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම, පොහෝ කරන්නෙමි, සඞ්ඝකර්‍ම ද කරන්නෙමි’යි මට මෙය කී ය. වහන්ස, අද දෙව්දත් තෙම සඞ්ඝයා දෙකඩකට බිඳින්නේ ය, වෙන් ව ම පොහෝ ද සඞ්ඝකර්‍ම ද කරන්නේ යැ”යි සැළ කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එ වේලෙහි මේ උදන් ඇනූහ:
“සත්පුරුෂයා විසින් හොඳ දැය සුව සේ කට හැකි ය. පවිටහු විසින් හොඳ දැය කරනු නො හැක්ක. පවිටා විසින් පව සුව සේ කට හැකි ය. ආර්‍ය්‍යයන් විසින් පව කරනු නො හැක්ක.”
සද්ධායමාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසමූහයක් හා කොසොල් රටැ සැරි සරන සේක. එ සමයෙහි වනාහි බොහෝ (බමුණු) තරුණයෝ මෙරමාට හෙලා තළා බස් දොඩන්නාහු භාග්‍යවතුන් වහන්සේට නොදුරු තැන්හි ඉක්මැ යෙත්. භාග්‍යවතුන් වහන්සේ එසේ අනුනට හෙලා තළා බස් දොඩමින් යන ඒ බමුණු තරුණයන් දුටු සේක.