Udāna

Inspired Utterances

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 821 segments

පෙන්වන කොටස් 301-400 න් 821

උපධිප්‍රත්‍යයයෙන් මේ දුක් හටගනී. සියලු උපාදානයන්ගේ ක්‍ෂයයෙන් දුක් හටගැන්ම නො වේ. මේ බොහෝ වූ ලොව බලව. අවිද්‍යායෙන් මඩනා ලද, කර්‍මක්ලේශයන්ගෙන් උපන්, අන් සතුන් කෙරෙහි තෘෂ්ණායෙන් ඇලුණු සත්ත්‍වයෝ භවයෙන් නොමිදුණෝ ය.
කාමභවාදි යම් භව කෙනෙක් වෙත් ද, ඒ හැම තන්හි (ස්වර්‍ගපාය මනුෂ්‍යාදි) සර්‍වභාවයෙන් ඒ සියලු භවයෝ (රූපවේදනාදි ධර්‍මයෝ) අනිත්‍යයහ, දුක්හ, පෙරැළෙන සුලුහ.
මෙසේ මෙය ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ භවතෘෂ්ණාව පහ වෙයි. (උච්ඡේද දෘෂ්ටිය දුරැ ලූ බැවින්) විච්ඡෙදය නො පතයි. සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂයයෙන් නො ඉතිරි ව ආර්‍ය්‍යමාර්‍ගයෙන් නැවැත නොඋපදනා පරිදි නිරුද්ධ වීමෙක් වේ ද ඒ (සෝපාදිශේෂ) නිර්‍වාණ යි.
ඒ කෙලෙස් නිවීමෙන් නිවුණු මහණහට උපාදාන නැති බැවින් පුනර්‍භවයෙක් නො වේ. මරු මඩනා ලද්දේ ය. මෙසේ දිනූ මරයුද ඇති රහත් තෙම සියලු භවයන් ඉක්මියේ ය.”
තෙවෙනි නන්‍දවර්‍ගය යි.
එහි උද්දානය:
කම්ම නන්‍ද යසොජ සාරිපුත්ත කෝලිත පිලින්‍දිවච්ඡ කස්සප පිණ්ඩපාත සිපප ලෝක යන මෙයින් ඒ සූත්‍ර දශයෙකි.
මේඝිය වර්‍ගය
මේඝිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවරට නොදුරෙහි වූ චාලික පර්‍වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ උපස්ථායක වෙති. එ කල්හි මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ මේඝිය තෙරණුවෝ ‘වහන්ස, මම් ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසෙන්නට කැමැත්තෙමි’යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. ‘මේඝියෙනි, තෙපි යම් ගමනකට කාලය යැ යි සිතවු නම් එය කරව’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
2. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියහ. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිරැ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු කිමිකාලා නදියගේ තීරය කරා එළැඹියහ. එළැඹ කිමිකාලා නදිය තෙරැ ජඞ්ඝාවිහාරය පිණිස සක්මන් කරනුවෝ හැවිදිනුවෝ සිත් පහදවන සිත්කලු අඹවනයක් දුටහ. දැකීමෙන්, “මේ අඹවනය ඒකාන්තයෙන් සිත පහදවන සුලු ය, සිත්කලු ය. මෙය ප්‍රධන්වීර්‍ය්‍ය වඩනු කැමැති කුලපුතක්හට ප්‍රධන් වඩනු පිණිස සුදුසු ම ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අනුදක්නා සේක් නම්, බවුන් වඩනු පිණිස මේ අඹවනයට එන්නෙමි”යි මේ සිත විය.
3. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් මේඝිය තෙරණුවෝ “වහන්ස, මෙහි මම් පෙරවරු යෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිරැ බතින් පසු පිණ්ඩපාතයෙන් නැවතුණෙම්, කිමිකාලානදිය තෙරට එළැඹියෙමි. එළැඹ, කිමිකාලා නදිය තෙරැ ජඞ්ගාවිහාරයෙහි යෙදී සක්මන් කරනුයෙම්, හැවිදිනුයෙම්, ප්‍රසාද එළවන, සිත්කලු අඹවනයක් දිටිමි. දැකීමෙන් මට ‘මේ අඹවනය මහණදම් කරනු කැමැති කුලපුතක්හට ප්‍රධන් වඩනුවට ඒකාන්තයෙන් සුදුසුයැ’යි මේ සිත විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම්, මම් ප්‍රධන් වඩනු පිණිස මේ අඹවනයට එන්නෙමි’යි මේ සිත විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ අනුදක්නා සේක් නම්, මම් ප්‍රධන් වඩනු පිණිස මේ අඹවනයට යන්නෙමි”යී කීහ.
4. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මේඝිය තෙරුනට, ‘මේඝියයෙනි, මම් හුදෙකලා වෙමි. අන් මහණකු එන තෙක් කුඩා තමක් බලව’යි වදාළ සේක. දෙවෙනි වර ද මේඝිය තෙරණුවෝ කියනුවෝ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මත්තෙහි කටයුතු දැයෙක් නැත. කළ දැයෙහි යලි රැස් කැරුමෙක් නැත. වහන්ස, මට වනාහි මත්තෙහි කටයුතු දෑ ඇත. කළ දැයෙහි යලි රැස් කැරුම් ඇත. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අනුදන්නා සේක් නම්, ඒ අඹවනයට ප්‍රධන් වඩනු පිණිස යන්නෙම්වා’යි කීහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ “මේඝිය තෙරුනට, ‘මේඝියයෙනි, මම් හුදකලා වෙමි. අන් කිසි මහණකු එන තුරු කුඩා තමක් බලව”යි වදාළ සේක. තෙවෙනි වර ද මේඝිය තෙරණුවෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මත්තෙහි කටයුතු දැයෙක් නැත. කළ දැයෙක හෝ යලි වැඩීමෙක් නැත. මට වනාහි වහන්ස, මත්තෙහි කටයුතු ඇත. කළ දැයෙහි වැඩුම් ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම්, ඒ අඹවනයට ප්‍රධන් වඩනු පිණිස මම් යන්නෙමි”යි කීහ.
5. “මේඝියයෙනි, මහණදම් කරමි යි කියන තොපට අපි අන් කුමක් කිය හැක්කමො ද? යමකට දැන් තෙපි කල් යැ යි සිතවු නම් එය කිරීම තොප අයත් වැඩෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ හුනස්සෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදැකුණු කොට, ඒ අඹවනය කරා එළැඹියහ. එළැඹ ඒ අඹවනයට බැස ගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහාරය පිණිස හිඳගත්හ. ඉක්බිත්තෙන් (මෙසේ) ඒ අඹවෙනෙහි වසන මේඝිය තෙරුනට කාමවිතර්‍ක ව්‍යාපාදවිතර්‍ක විහිංසාවිතර්‍ක යන තුන් ලාමක අකුශල කල්පනාවෝ බෙහෙවින් පහළ වෙත්. එකල්හි මේඝිය තෙරුනට, “ආශ්චර්‍ය්‍යයෙක පින්වත්නි! නොවූවිරියෙක පින්වත්නි! මම් සැදැහැයෙන් ම ගිහිගෙන් නික්ම සසුන් වනිමි. එහෙත් කාමවිතර්‍ක ව්‍යාපාදවිතර්‍ක විහිංසාවිතර්‍ක යන මේ තුන් ලාමක අකුශල විතර්‍කවලින් ලැගුණමෝ වම්හ”යි මේ සිත විය.
6. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටියෝ, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, මෙහි ඒ අඹවෙනෙහි වසන මට කාමවිතර්‍ක ව්‍යාපාදවිතර්‍ක විහිංසාවිතර්‍ක යන තුන් ලාමක අකුශල විතර්‍කයෝ බෙහෙවින් පහළ වෙත්. වහන්ස, ඒ මට “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයක. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතය. ඒකාන්තයෙන් මම් සැදැහැයෙන් ම ගිහිගෙන් නික්ම සසුන් වනිමි. එහෙත් මේ කාමවිතර්‍ක ව්‍යාපාදවිතර්‍ක විහිංසාවිතර්‍ක යන මේ තුන් විතර්‍කවලින් ලැගුණමෝ වම්හ”යි මේ පවත් සැළ කළහ.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
7. “මේඝියයෙනි, නොමුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස ධර්‍මයෝ පස් දෙනෙක් පවතිත්. කවර පස් දෙනෙක යත්: මේඝියයෙනි, මෙහි මහණ තෙම කලණමිතුරන් ඇත්තේ කලණ යහළුවන් ඇත්තේ, කලණ පුඟුලනට නැමුණේ වෙයි ද, මේ පළමු දහම නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
තව ද මේඝියයෙනි, මහණ තෙමේ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසේ ද, ආචාරගෝචර දෙකින් සම්පූර්‍ණ වේ ද, ස්වල්පමාත්‍රවූ ද වරදෙහි බිය දක්නා සුලු වේ ද, සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මේ ද, මේ දෙවෙනි දහම නොමුහු කළ චේතෝවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
තව ද මේඝියයෙනි, අල්පේච්ඡකථා සන්තුෂ්ටිකථා ප්‍රවිවෙකකථා අසංසර්‍ගකථා වීර්‍ය්‍යාරම්භකථා ශීලකථා සමාධිකථා ප්‍රඥාකථා විමුක්තිකථා විමුක්තිඥානදර්‍ශනකථා යන කෙලෙස් තුනී කරන, සිතේ ආවරණ දුරැලීමට (හෙවත් සමථවිපස්සනා වැඩීමට) සැප වූ යම් කථාවෙක් ඒකාන්තයෙන් සසර දුකෙහි කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සියලු කෙලෙස් සංහිඳීම පිණිස, දතයුතු දෑ දැනීම පිණිස, සම්බෝධය පිණිස, නිවන පිණිස පවතී ද, මෙබඳු කථාවෙහි නිකාමලාභී (මෙබඳු කථා කැමැති පරිදි අසන්නට ලබන සුලු) වේ ද, සුව සේ ලබන සුලු වේ ද, මහත් සේ ලබන සුලු වේ ද, මේඝියයෙනි, මේ තෙවෙනි ධර්‍මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහුකිරීම පිණිස පවතී.
තවද මේඝියයෙනි, මහණ තෙම අකුලස් දහම් දුරැ ලනු පිණිස, කුසල් දහම් සිය සතන්හි උපදවනු පිණිස සම්පූර්‍ණ කළ වීර්‍ය්‍ය ඇත්තේ වේ ද, කුසල් දහම්හි උත්සාහවත් වේ ද, දැඩි වීර්‍ය්‍ය ඇති වේ ද, නො බහාලූ වැර ඇත්තේ වේ ද, මේඝියයෙනි, මේ සතරවන ධර්‍මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
මේඝියයෙනි, තව ද මහණ තෙම නිදොස් වූ නිර්වේධභාගික වූ, දුඃඛක්‍ෂයය (ආර්‍ය්‍යමාර්‍ගය) කරා මොනොවට යන, ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දෙක පිළිවිදුනා ප්‍රඥායෙන් සමන්‍විත වේ ද, මේඝියයෙනි,මේ පස්වන ධර්‍මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
මේඝියයෙනි, නො මුහුකළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස මේ දහම් පස් දෙන පවතිත්.”
8. “මේඝියයෙනි, ‘සිල්වත් වන්නේ ය, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව, අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා වු ද සුලු ව වසන්නේ ය, සමාදන් කොට ගෙන ශික්‍ෂාපදයන්හි හික්මෙන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති කලණ පුගුලනට නැමුණු මහණහු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතු. මේඝියයෙනි, අල්පේච්ඡකථා ය, සන්තුෂ්ටිකථා ය, ප්‍රවිවෙකකථා ය, අසංසර්‍ගකථා ය, වීර්‍ය්‍යාරම්භකථා ය, ශීලකථා ය, සමාධිකථා ය, ප්‍රඥාකථා ය, විමුක්තිකථා ය, විමුක්තිඥානදර්‍ශනකථා ය යන කෙලෙස් තුනී කරන, සිතැ ආවරණ දුරැලීමට (සමථවිපස්සනාවනට) සැප වූ යම් කථාවෙක් ඒකාන්තයෙන් සසර කලකිරෙනු පිණිස, දතයුතු දෑ දැන ගැන්ම පිණිස, සතරමග නුවණින් සිවුසස් අවබෝධ කරනු පිණිස, නිවන් පිණිස පවතී ද, මෙබඳු කථා කැමැති පරිදි අසන්නට ලබන සුලු වේ, සුව සේ ලබන සුලු වේ, මහත් සේ ලබන සුලු වේ යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු මහණහු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතු.
මේඝියයෙනි, අකුසල් දහම් පහ කරනු පිණිස කුසල් දහම් වඩනු පිණිස ශක්තිමත් ය, දැඩි වැර ඇත්තේ ය, කුසල් දහම්හි නොබහාලූ වීර්‍ය්‍ය ඇත්තේ ය යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු මහණහු විසින් කැමැති විය යුතු.
මේඝියයෙනි, උදයව්‍යය පිළිවිදුනා නිදොස් වූ නිර්වේධභාගික වූ මොනොවට (දුක් නසන) ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණෙන ප්‍රඥායෙන් ප්‍රඥාවත් වන්නේ ය යන යමක් ඇද්ද, මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු භික්‍ෂූහු විසින් අපේක්‍ෂා කටයුතු ය.
මේඝියයෙනි, ඒ මහණහු විසින් මේ දහම් පසෙහි පිහිටා, මත්තෙහි සතර දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. රාගය පහ කරනු පිණිස අශුභභාවනාව වැඩිය යුතු. ව්‍යාපාදය පහ කරණු පිණිස මෛත්‍රිය වැඩිය යුතු. විතර්‍ක නසනු පිණිස ආනාපාන ස්මෘතිය වැඩිය යුතු. අස්මිමානය නසනු පිණිස අනිත්‍යසංඥාව වැඩිය යුතු. මේඝියයෙනි, අනිත්‍යසංඥාව ඇත්තහුට අනාත්මසංඥාව දැඩිව පිහිටයි. අනාත්මසංඥාව ඇත්තේ අස්මීමාන විනාශයට, මෙ අත්බව්හි ම අප්‍රත්‍යය පරිනිර්‍වාණයට පැමිණෙයි.”
9. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
“(කාමවිතර්‍කාදි) කුඩා විතර්‍ක ද (ඥාතිවිතර්‍කාදි) සියුම් විතර්‍ක දැ යි සිතින් අනුවර්‍තති වූ චිත්තයාගේ උත්පලාවන කෙනෙක් (සිතේ මතුවීම්) වෙත් ද, මේ මනෝවිතර්‍කයන් නොදැන, අවිද්‍යාතෘෂ්ණාවන්ගේ වශයෙන් භ්‍රාන්තවූ සිතැත්තේ (මෙලෝ පරලෝ වශයෙන්) අනෙක් අනෙක් භවයට දිවෙයි.
සිහි ඇති වීර්‍ය්‍යවත් තැනැත්තේ සිතේ මේ විතර්‍කයන් දැන ඥානසංවරයෙන් වසා ලයි. සිවුසස් අවබෝධ කළ ආර්‍ය්‍යශ්‍රාවක තෙම තව ම නොපහළ වූ (එහෙත් පහළ වන්නට සුදුසු වැ සිටි) සිතේ මේ සියලු උත්පලාවයන් මුල්සුන් කෙළේ ය. (නැවැත නොපහළවන්නවුන් ම කළේ ය).”
උද්ධත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර සමීපයේ මල්ලරජුන්ගේ උපවර්‍තන නම් සල්වෙනෙහි වැඩ වසන සේක. එ සමයෙහි බොහෝ භික්‍ෂූහු නොසංහුන් වූවෝ, ඔසොවා ගත් මාන නළ ඇත්තෝ, පාසිවුරු සැරැසීම් ආදි වූ චපල බැවින් යුත් වූවෝ, පරොස් බස් ඇත්තෝ, (තිරිසන් කථා බහුල බැවින්) ව්‍යාකූල කථා ඇත්තෝ, මුළා සිහි ඇත්තෝ, සම්පජඤ්ඤ රහිතයෝ, අසමාහිතයෝ, විභ්‍රාන්ත සිතැත්තෝ, අසංයත ඉන්‍ද්‍රිය ඇත්තෝ, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි අරණ්‍යකුටිකායෙක වෙසෙත්.
2. භාග්‍යවතුන් වහන්සේ නොසංහුන් සිතැති, ඔසොවා ගත් මාන නළ ඇති, චපල බැවින් යුත්, පරොස් බසැති, ව්‍යාකූල කථා ඇති, මුළා සිහි ඇති, සම්පජඤ්ඤ රහිත, අසමාහිත විභ්‍රාන්ත සිතැති, අසංයත ඉන්‍ද්‍රිය ඇති නො දුරෙහි අරන්කිළියෙහි වසන ඒ බොහෝ මහණුන් දුටු සේක.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මිථ්‍යාදෘෂ්ටිය වැද ගත්, තැනමිදුයෙන් මඬනා ලද, නොරක්නා ලද ෂඩ්විඥාන සංඛ්‍යාත කය හේතු කොට ගෙන සත්ත්‍ව තෙමේ මරහු වශයට යෙයි.
එහෙයින් සම්‍යක්සඞ්කල්පනා ගොදුරු කොටැත්තේ, රක්නාලද සිතැත්තේ වන්නේ ය. සම්‍යග්දෘෂ්ටිය පෙරදැරි කොටැත්තේ (ස්කන්‍ධයන්ගේ) උදයව්‍යය දැන, තැනමිදු දෙක මැඩැලන මහණ තෙමේ සියලු දුර්‍ගතීන් දුරැ ලන්නේ ය.”
ගෝපාල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා කොසොල් රටැ සැරි සරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් ඉවත් වැ එක්තරා රුක්මුලක් කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. එකල්හි එක්තරා ගොපල්ලෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ ගොපල්ලාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් (කුශලාදී ධර්‍මයන්) මොනොවට දැක්වූ සේක. (ශීලාදි ධර්‍ම) මොනොවට ගැන්වූ සේක. එහි මොනොවට උත්සාහවත් කළ සේක. එහි සතුටු කැරැවූ සේක.
2. ඉක්බිත්තෙන් ඒ ගොපලු තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලද, (ශීලාදිය) මොනොවට ගන්වන ලද, එහි උත්සාහවත් කරන ලද, එහි තුටු පහටු කරවන ලද ඒ ගොපලු තෙම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ බත බික්සඟන සමග සෙට දවසට ඉවසන සේක්වා’යි මෙ බස් කී ය. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවැසූ සේක. එකල්හි ගොපලු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුන්ස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, පැදකුණු කොට නික්මැ ගියේ ය. ඉක්බිති ඒ ගොපලු තෙම ඒ රෑ ඇවෑමෙන් සිය ගෙහි බොහෝ දිය නොමුසු කිරිබත් ද අලුත් ගිතෙල් ද පිළියෙල කරවා, ‘වහන්ස, කල් වෙයි. බත් (පිළියෙල කොට) නිමියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙනැ, බික්සඟන සමග ඒ ගොපල්ලාගේ ගෙට එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඉක්බිත්තෙන් ඒ ගොපලු තෙම බුදුපාමෙක් සඟන දිය නොමුසු කිරිබතින් (හුදුකිරිබතින්) ද අලුත් ගිතෙලින් ද සැතැපවී ය, පැවැරවී ය. එ කල්හි ඒ ගොපලු තෙම දන් වැළැඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එකත්පසැ එක්තරා මිටි අස්නක් ගෙනැ හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ ගොපලුහට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දක්වා, සිල් ඈ ගන්වා, එහි උත්සාහවත් කොට, සතුටු කොට හුනස්නෙන් නැගී සිට නික්මැ ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්මැ වැඩි නොබෝ කල්හි ගම් මායිම් අතරෙහි දී එක්තරා මිනිසෙක් ඒ ගොපල්ලා දිවියෙන් තොර කෙළේ ය.
4. එ කල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන්නා වූ ඒ මහණහු ‘වහන්ස, අද යම් ගොපල්ලකු විසින් බුදුපාමොක් සඟන දිය නොමුසු කිරිබතිනුත් අලුත් ගිතෙලිනුත් සියතින් සතපන ලද ද, පවරන ලද ද, වහන්ස, ඒ ගොපලු තෙම එක් මිනිසකු විසින් ගම්මායිම් අතරැදී දිවියෙන් තොර කරන ලදැ’යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“සතුරෙක් සතුරකුට හෝ වෛරියෙක් වෛරියකුට යම් අනය ව්‍යසනයක් කරන්නේ නම්, වරදවා පිහිටුවන ලද සිත ඔහු එයටත් වඩා පාපතරයකු කරන්නේ ය.”
යක්ඛපහාර සූත්‍රය (ජුන්හ සූත්‍රය)
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සැරියුත් තෙරණුවෝ ද මහමුගලන් තෙරණුවෝ ද කොබෝකඳුරෙහි වෙසෙති. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පුරපසැ රැයෙක අලුත බෑ හිසකෙසින් යුතු වැ, එක්තරා සමවතකට සමවැදැ එළිමහන්හි හුන්නාහු වෙති. එ කල්හි යහළු වූ යක්කු දෙදෙනෙක් කිසි කටයුත්තෙකින් උතුරු දෙසින් දකුණු දෙසට යෙති. ඒ යක්කු පුරපසැ රැයෙහි අලුත බෑ හිසකෙසින් යුතු වැ එළිමහනැ හුන් සැරියුත් තෙරුන් දුටහ. දැක එක් යකෙක් දෙවෙනි යකු බණවා, ‘යහළු, මේ මහණහු හිසෙහි පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. මෙසේ කි කලැ ඒ යක්තෙම අනෙකාට ‘යහළු, කම් නැත, මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට යහළු, මේ මහණහු හිසැ පහර දෙන්නට මට සිතේ’යැ යි කීය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, ‘යහළු’, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකා බණවා, ‘යහළු’, මේ මහණහු හිසැ පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, යහළු, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක, මහත් තෙද බලැත්තෙකැ’යි කී ය.
2. ඉක්බිති ඒ යක් තෙමේ අනෙකාගේ බස නො තකා, සැරියුත් තෙරුන්ගේ හිසැ පහරක් දුන්නේ ය. එ පහරින් සත්රියන් හෝ සත්රියන් වියත් පමණ වු ඇතකු හෝ බිමැ ගැළහිය හෙන්නේ නම්, මහගිරිකුළක් හෝ පළා දැමියැ හෙන්නේ නම් ඒසා මහපහරෙක් විය. එතෙකුදු වුවත් ඒ යක් තෙම ‘දැවෙමි, දැවෙමි’යි කියමින් එහි ම (පොළොවෙහි ගැළ) මැරී මහා නිරයට වැටුණේ ය. (අවීචි නිරයෙහි උපන්නේ ය.)
3. මහමුගලන් තෙරණුවෝ මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ සිටි පිරිසුදු වූ දිවැසින් ඒ යකු විසින් සැරියුත් තෙරුන්ගේ හිසැ දුන් පහර දුටහ. දැක සැරියුත් තෙරුන් කරා එළැඹියහ. එළැඹ සැරියුත් තෙරුන් අමතා, ‘ඇවැත්නි, කිම? මුබට සැහිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම කිසි දුකෙක් නැද්ද?’යි අසා වදාළහ. ‘ඇවැත්නි, මුගලන් තෙරණුවනි, මට සැහිය හැක්ක: මට යැපිය හැක්ක. එහෙත් මා හිස මඳ රිදුමෙක් වේ’යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
4. “ඇවැත් සැරියුත්නි, සැරියුත් තෙරණුවෝ කොතරම් මහර්ද්ධිමත් ද, කොතරම් මහානුභාව ඇත්තෝ ද! යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. ඇවැත් සැරියුත්නි, එක්තරා යකෙක් මෙහි මුබ හිසැ පහරක් දුන්නේ ය. ඒ පහරින් සත්රියන් හෝ සත්රියන් හමාරක් පමණ වූ ඇතකු නමුදු බිමැ ගැළහිය හෙන්නේ නම් මහත් වූ පව්කුළක් නමුදු පළා ලියැ හෙන්නේ නම් ඒසා මහපහරෙක් විය. එතෙකුදු වුවත් සැරියුත් තෙරණුවෝ “ඇවැත් මොගල්ලානයෙනි, මට සැහිය හැක්ක. ඇවැත් මොගල්ලානය, මට යැපියැ හැක්ක, එහෙත් මා හිසැ මඳ රිදුමෙක් වේ යැයි මෙසේ කියති”යි මහමුගලන් තෙරණුවෝ වදාළහ. එවිට සැරියුත් තෙරණුවෝ, “අපි නම් දැන් මෙහි පාංශුපිහාචයකුදු නො දකුම්හ. එසේ වූ මෙ තන්හි යකකුදු දක්නා තරම් මහමුගලන් තෙරණුවෝ මහර්ද්ධිමත්ය මහානුභාව ඇත්තෝ ය. ආශ්චර්‍ය්‍ය ය, ඇවැත් මහමුගලන් තෙරුනි, අද්භූත ය, මහමුගලන් තෙරුනි”යි වදාළහ. භාග්‍යවතුන් වහන්සේ මිනිස්විසය ඉක්මැ පැවැති පිරිසිදු දිවකන්නුවණින් ඒ අගසවු දෙ නමගේ මේ මෙ බඳු කථාසංලාපය අසා වදාළ සේක.
5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනු සේක:
“යමකුගේ සිත ගල්පව්වක් මෙන් සිටියේ අටලෝදහමින් නො සැලේ ද, රාගය ඉපැත්මට හේතු වූ සියලු ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලේ ද, කෝපය ඉපැත්මට හේතු වූ සියලු ආඝාතවස්තුයෙහි නො කිපේ ද, යමක්හුගේ සිත මෙසේ වඩනා ලද ද, ඔහු කරා දුකෙක් කොයින් එන්නේ ද? නො එන්නේ ම ය.”
නාග සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවර සමීපයේ වූ ඝෝෂිතාරාමයේ වැඩවසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ගෙන් භික්‍ෂූණීන්ගෙන් උපාසකයන්ගෙන් උපාසිකාවන්ගෙන් රජුන්ගෙන් රාජමහාමාත්‍රයන්ගෙන් තීර්‍ත්‍ථකයන්ගෙන් තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් ආකීර්‍ණ වැ (සම්බාධයට පැමිණි සේක් වැ) දුක සේ වසන සේක. පහසුවෙන් නො වසන සේක.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේට ‘මම් වූ කලි දැන් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවක යන මොවුන්ගෙන් ආකීර්‍ණ වැ දුක සේ වසමි. සුව සේ නො වසමි. මම් ගණයාගෙන් වෙන් වැ හුදෙකලා වැ වසන්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කොසොඹෑනුවරට පිඬු පිණිස පිවිසි සේක. කොසොඹෑ නුවරෙහි පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්, තමන් වහන්සේ ම සෙනසුන් සඟවා තබා, පා සිවුරු ගෙන, උපස්ථායකයන් ද නො අමතා, බික් සඟනට ද නොදන්වා, හුදෙකලා වැ, දෙවැන්නකු නැති වැ, පාරිලෙය්‍යක ගම බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, පාරිලෙය්‍යක ගමට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාරිලෙය්‍යක ගම සමීපයෙහි රක්‍ෂිත (ඇත්හු විසින් රක්නා ලද) වනලැහැබෙහි භද්‍රශාල වෘක්‍ෂමූලයෙහි (සොඳුරු සල්රුක් මුල්හි) වැඩ වසන සේක.
4. එක්තරා ඇත් රජෙක් ද ඇතුන් ඇතිනින් ඇත්නහඹුන් ඇත්පොව්වන් විසින් සම්බාධයට පැමිණියේ වෙසෙයි. සුන් අග ඇති තණ ද බුදී. ඒ ඇත් රජු විසින් බිඳ බිඳ හෙළන ලද අතු කැබැලි සෙස්සෝ කත්. කැලත් දිය ද හේ බොයි. ඇතින්නෝ දියෙන් ගොඩ නැංගා වූ ඔහුගේ ඇඟ ඝටමින් යෙත්. හේ මෙසේ සම්බාධයට පැමිණියේ සැප නැති ව දුක සේ වෙසෙයි. ඉක්බිත්තෙන් ඒ ඇත්රජුට “මම් වනාහි දැන් ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් ආකීර්‍ණ වැ වෙසෙමි. සුන් අග ඇති තණ ද කමි. මා බිඳ හෙළු හෙළූ අතුකැබැලි මොහු කත්. මොවුන් නිසා බොර වූ දිය ද බොමි. පැන්තොටින් ගොඩ නැඟුණු මා ඇඟ ගහමින් ඇතින්නෝ යෙත්. මොවුන්ගෙන් සම්බාධයට පැමිණියෙම් දුකින් නො පහසුයෙන් වෙසෙමි. මම් ගණයාගෙන් වෙන් වැ හුදකලා වැ වෙසෙම් නම් යෙහෙකැ”යි මේ සිත විය.
5. ඉක්බිත්තෙන් ඒ ඇත්රජ රැළෙන් වෙන් වැ, පාරිලෙය්‍යක ගම යම් තැනෙක ද රක්‍ෂිත වනළැහැබ යම් තැනෙක ද, භද්‍රශාලාවෘක්‍ෂමූලය යම් තැනෙක ද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එහි එළැඹියේ ය. එහි ඒ ඇත් රජ, යම් පෙදෙසෙක භාග්‍යවතුන් වහන්සේ වසන සේක් ද, ඒ පෙදෙස තණපැලෑටි නැතියක් කෙරෙයි. (තණ පැළෑටි උදුරා අතු කැබැල්ලෙකින් හමදී.) සොඬින් භාග්‍යවතුන් වහන්සේට බොන පැන් ද සෙසු පරිභෝගයට දිය ද එළවයි.
6. ඉක්බිත්තෙන් එකලා වැ චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට “මම් වනාහි පූර්‍වයෙහි සම්බාධයට පැමිණ විසීමි. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවක යන මොවුන්ගෙන් ආකීර්‍ණ වැ පහසු නැති වැ දුක සේ විසීමි. ඒ මම් දැන් සම්බාධ නැති වැ වෙසෙමි. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් අනාකීර්‍ණ වැ පහසුයෙන් සුව සේ වෙසෙමි”යි මේ චිත්තසංකල්පනාව පහළ විය.
7. ඒ ඇත්රජුට ද “මම් වනාහි පෙරැ ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් සම්බාධ ඇති වැ විසීමි. අගසුන් තණ කෑයෙමි. මා විසින් බිඳ හෙළු හෙළූ අතුකැබලි අන්‍යයෝ කෑහ. අනුන් නිසා බොර වූ පැන් ද පීමි. ඇතින්නෝ පැන් තොටින් ගොඩ නැංගා වූ මා ඇඟ ගහමින් ගියහ. සම්බාධ ඇති ව පහසු නැති වැ දුක සේ විසීමි. ඒ මම් දැන් ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් සම්බාධ නැති වැ වෙසෙමි. අග නොසුන් තණ ද කමි. මා විසින් බිඳ හෙළු හෙළූ අතු කැබලි අන් කෙනෙක් නො කත්. නො කැලඹුණු දිය ද බොමි. පැන්තොටින් ගොඩ නැගුනු මාගේ කය ඝටමින් ඇතින්නෝ නො යෙත්. එබැවින් සම්බාධ නැති වැ පහසු සේ වෙසෙමි”යි මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය.
8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කායවිවේකය ද සලකා, ඒ ඇත්රජුගේ ද චිත්තසංකල්පය තමන් සිතින් දැන ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යම් හෙයකින් මේ ඇත් තෙම හුදෙකලා වැ වනයෙහි ඇලේ ද, එ කරුණින් රියඉස් වැනි දත් ඇති ඇත්රජුහුගේ මේ සිත බුද්ධනාගයාගේ සිත හා එක්බඳු වේ.”
පිණ්ඩෝල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආරණ්‍යක වූවෝ, පිණ්ඩපාතික වූවෝ, පාංශුකූලික වූවෝ, ත්‍රෛචීවරික වූවෝ, අල්පේච්ඡ වූවෝ, සන්තුෂ්ට වූවෝ, ප්‍රවිවික්ත වූවෝ, ගිහියන් හා අසංසෘෂ්ට වූවෝ, සම්පූර්‍ණ කළ වීර්‍ය්‍ය ඇත්තෝ, ධූතවාද වූවෝ, රහත්පලසමවතෙහි යෙදුණෝ භාග්‍යවතුන් වහන්සේ නොදුරු තන්හි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා වැඩ හුන්නාහු වෙති.
2. භාග්‍යවතුන් වහන්සේ තමනට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා හුන් ආරණ්‍යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ, ත්‍රෛචීවරික වූ, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, ප්‍රවිවික්ත වූ, අසංසෘෂ්ට වූ, සම්පූර්‍ණ කළ වීර්‍ය්‍ය ඇති, ධූතවාද වූ, රහත්පල සමවත්හි යෙදුනු පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් දුටු සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“වචනයෙන් කිසිවකුට උපවාද නො කිරීම ද, කයින් කිසිවකුට පීඩා නො කිරීම ද, ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවරය කිරීම ද, බොජුන්හි පමණ දැනීම ද, භාවනාකූල ජනවිවිත්ත සෙනසුන ද, රහත්පලසිත උපදවනු සඳහා ශමථවිදර්‍ශනා වශයෙන් උත්සාහය ද යන මේ බුදුවරුන්ගේ අවවාදානුශාසන”යි.
ශාරීපුත්‍ර සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරම්හි වැඩවසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ අල්පේච්ඡ වූවෝ, සන්තුෂ්ට වූවෝ, ප්‍රවිවික්ත වූවෝ, අසංසෘෂ්ට වූවෝ, ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තෝ, රහත්පල සමවතැ යෙදුණෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරු තන්හි හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ප්‍රවිවික්ත වූ අසංසෘෂ්ට වූ ආරබ්ධවීර්‍ය්‍ය ඇති රහත්පල සමවත්හි යෙදුණු පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා නොදුරෙහි හුන් සැරියුත් තෙරුන් දුටු සේක් ම ය.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“අධිචිත්තයෙන් යුක්ත, පමා නොවන, මෞනපථයන්හි හික්මෙන, උපශාන්ත වූ, හැම කල්හි සිහි ඇති, අටලෝ දහමින් නොසැලෙන, මුනිහට ශෝකයෝ නො වෙත්.”
සුන්‍දරී සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර, ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සා විසින් සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද යටත්පැවතුම් දක්වන ලද සේක් වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සේක් වෙති. අන්තොටු පිරිවැජ්ජෝ වනාහි සත්කාර නොලදුවෝ, ගුරුකාර නො ලදුවෝ, බුහුමන් නොලදුවෝ, පූජා නො ලදුවෝ, යටත්පැවතුම් නො ලදුවෝ වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙති.
2. ඉක්බිත්තෙන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂුසඞ්ඝයාට ද ලැබෙන සත්කාර නො ඉවසන්නෝ, සුන්‍දරී පිරිවැජිය කරා එළැඹුණහ. එළැඹ, “බිහිනිය, නෑයනට වැඩක් කරන්නට හැක්කහු දැ”යි කීහ. “ආර්‍ය්‍යයෙනි, කුමක් කෙරෙම් ද? මා විසින් කට නොහැකි කිමෙක් ද? නෑයන්ගේ යහපත පිණිස දිවි පවා මා විසින් පරිත්‍යක්ත යැ”ඕ කිවු ය.
3. “එසේ නම් බිහිනිය, එක්වන් දෙව්රමට යව”යි ඔහු කීහ. “එසේ ය, ආර්‍ය්‍යයෙනි”යි කියා ම සුන්‍දරී පිරිවැජිය ඒ අන්තොටු පිරිවැජ්ජනට පිළිවදන් දී එක්වන් දෙව්රමට ගියා ය. ‘බොහෝ දෙනා විසින් දක්නා ලදු ව සුන්‍දරී පිරිවැජිය එක්වන් දෙව්රම් යේ’ යැ යි යම් විටෙක ඒ අන්තොටු පිරිවැජ්ජෝ දැන ගත්තාහු ද, එකල්හි ඇය දිවියෙන් තොර කොට, එහි ම ජේතවනයේ දිය අගලෙහි වළැ ලා පසේනදී කොසොල්රජු වෙත එළැඹියහ. එළැඹ, “මහරජ, යම් සුන්‍දරී නම් පිරිවැජියක් වූ ද, ඕ අප විසින් නො දක්නා ලබායැ”යි සැළ කළහ. “තෙපි කොහි සැක කරවු දැ?”යි රජ පිළිවිත. “මහරජ, ජේතවනයෙහි යැ”යි ඔහු කීහ. “එසේ නම් ජේතවනය සොයා බලව”යි රජ කීය.
4. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ ජේතවනය පුරා සොයා හැවිද, තමන් වළැ ලූ පරිදි ම දිය අගලැ වළෙන් ගොඩට ගෙන ඇඳෙක නංවා, සැවැත්නුවරට පිවිස්වා (ඇතුළු කොට) වීථියෙන් වීථියට, තුන්මංහන්දියෙන් තුන්මංහන්දියට එළැඹ, මිනිසුන්හට මෙසේ කීහ:
“ආර්‍ය්‍යයෙනි, ශාක්‍යපුත්‍රීය මහණුන්ගේ කමක් බලව. මේ ශාක්‍යපුත්‍රීය මහණහු අලජ්ජීහු ය. දුශ්ශීලය හ. නිහීන පැවැතුම් ඇතියම්හ. මුසවා කියන්නෝය. බඹසර නැත්තෝ ය. මොවුහු වූ කලී ‘කුසල්දහම් සරනුවම්හ. සම හැසුරුම් ඇතියම්හ, බඹසැරියම්හ, සබවස් ඇතියම්හ, සිල්වතුම්හ, කලණසැහැවි ඇතියම්හ’යි පිළින දුන්හුය. මුන්ගේ මහණදමෙක් නැත. මුන්ගේ පව් බැහැරැ කළ බවෙක් නැත. මොවුන්ගේ මහණබව් නටුයේ ය. මොවුන්ගේ පව් බැහැරැ ලූ බව් නටුයේ ය. මොවුනට මහණබවෙක් කොයින් ද? මොවුන්ගේ පව් බැහැරැ ලූ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් පහ වූහ. මොහු පව් බැහැරැ ලූ බව කෙරෙන් පහ වූහ. කෙසේ නම් පිරිමියෙක් මෙවුන්දම් සෙවැ ස්ත්‍රියක් දිවි ගළවා ද?” යනු යි.
5. එ කලැ සැවැත්හි මිනිස්සු භික්‍ෂූන් දැක, “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, පාපස්වභාව ඇැත්තෝ ය, මුසාවාදීහු ය. අබ්‍රහ්මචාරීහු ය. අපි ධර්‍මචාරීම්හ, සමචාරීම්හ, බ්‍රහ්මචාරීම්හ, සත්‍යවාදීම්හ, සිල්වතුම්හ, කලණදහම් ඇතියම්හ”යි මොහුදු පිළින දුන්හු. මොවුන්ගේ මහණකමෙක් නැත, මොවුන්ගේ බ්‍රාහහ්මණ බවෙක් නැත. මොවුන්ගේ මහණ බව නටුයේය, මොවුන්ගේ බ්‍රාහ්මණ බව නටුයේ ය. මොවුනට මහණ බවෙක් කොයින් ද? මොවුනට බ්‍රාහ්මණ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් බැහැරැ වූවෝ ය. බ්‍රාහ්මණ බැවින් බැහැරැ වූවෝ ය. කෙසේ නම් පිරිමියෙක් මෙවුන්දම් සෙවැ ස්ත්‍රිය දිවියෙන් තොර කෙරේ දැ?”යි නොසැබි පරොස් බසින් අක්‍රොශ කෙරෙත්, පරිභව කෙරෙත්, රොස් උපදවත්, වෙහෙසත්.
6. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන, සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැතෙහි පිඬු පිණිස හැසිරැ පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හිඳ ගත්හ. එකත්පසෙක හුන්නා වූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, දැන් සැවැත්නුවර මිනිස්සු භික්‍ෂූන් දැක,” මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, පාපස්වභාව ඇත්තෝ ය, මුසාවාදීහු ය, අබ්‍රහ්මචාරීහු ය, මොහු නම්, ‘තුමූ ධර්‍මචාරීම්හ යි, සමචාරිම්හ යි, බ්‍රහ්මචාරීම්හ යි, සත්‍යවාදීම්හ යි, සිල්වතුම්හි යි, කලණදහම් ඇත්තම්හ යි පිළින දුන්හ. මොවුනට මහණබවෙක් නැත. මොවුනට බ්‍රාහ්මණබවෙක් නැත. මොවුන්ගේ මහණ බව නටුයේ ය, මොවුන්ගේ බ්‍රාහ්මණ බව නටුයේ ය. මොවුනට මහණබවෙක් කොයින් ද? මොවුනට බ්‍රාහ්මණ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් පහ වූවෝ ය. මොහු බ්‍රාහ්මණ බැවින් පහ වූවෝ ය. කෙසේ නම් පිරිමියෙක් පුරිස්කිස (මෙවුන්දම) කොට ස්ත්‍රිය දිවියෙන් තොර කෙරේදැ?”යි අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙත්, පරිභව කෙරෙත්, රොස් දනවත්, වෙහෙසත්”යනු යි.
7. “මහණෙනි, මේ ශබ්දය බොහෝ කල් නො පවත්නේය. සතියක් ම මෙය පවත්නේ ය. සතිය ඇවෑමෙන් අතුරුදන් වන්නේ ය. මහණෙනි, එබැවින්, යම් මිනිස් කෙනෙක් භික්‍ෂූන් දැක, අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙත් නම්, පරිභව කෙරෙත් නම්, රොස් නංවත් නම්, වෙහෙසත් නම් ඔවුනට තෙපි මේ ගාථායෙන් පෙරළා චෝදනා කරව:
“බොරු කියන තැනැත්තේ නිරයට පැමිණේ. යමෙක් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට පැමිණේ. පහත් කර්‍ම ඇති ඒ මිනිස්සු දෙදෙන ම පරලොව ගොස් පරලොව්හි දී (විපාක දුක් විසින්) සම වෙත්”
8. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා ඉගෙන, යම් මිනිස් කෙනෙක් භික්‍ෂූන් දැක නොසැබි පරොස් බසින් ආක්‍රෝශ කෙරෙත් නම්, පරිභව කෙරෙත් නම්, රොස් දනවත් නම්, වෙහෙසත් නම්, ඒ මිනිසුන්හට මේ ගාථායෙන් පෙරළා චෝදනා කෙරෙත්:
“බොරු කියන තැනැත්තේ නිරයට පැමිණේ. යමෙක් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට පැමිණේ. පහත් කර්‍ම ඇති ඒ මිනිස්සු දෙදෙනා ම පරලොව ගොස් පරලොව්හි දී (විපාක දුක් විසින්) සම වෙත්.”
9. (භික්‍ෂූන්ගේ වචන ඇසූ) මිනිසුන්හට “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මේ අපරාධය නො කොළෝ ය. මොවුන් විසින් මෙය නො කරන ලදී. මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ශාප දෙත්”යැ යි. මේ සිත විය. ඒ ශබ්දය බොහෝ කල් නො පැවැත්තේ ය. සතියක් ම එය පැවැත්තේ ය. සතිය ඇවෑමෙන් අතුරුදහන් විය. ඉක්බිත්තෙන් බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආශ්චර්‍ය්‍ය යි! වහන්ස, අද්භූත යි! වහන්ස, “මේ ශබ්දය බොහෝ කල් නො පවත්නේ ය. සතියක් ම මෙය පවත්නේ ය. සතිය ඇවෑමෙන් අතුරුදන් වන්නේ යැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිතය. වහන්ස, ඒ ශබ්දය අතුරුදන් වියැ”යි මෙය සැළ කළහ.
10. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යුදවන් ඇතුට, සතුරු යෝධයෝ ශරයෙන් මෙන්, සංවර නැති (නොහික්මුණු) බාලජනයෝ වචනයෙන් විදිත්. මහණ තෙම අනුන් විසින් කියන ලද පරොස් බස් අසා නොකිපි සිතැත්තේ ඉවසන්නේ ය.”
උපසේන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි එකලා වූ, චිත්තවිවේකයෙන් යුක්ත වූ වඞ්ගාන්තපුත්‍ර උපසේන තෙරුනට “අහෝ! මේ මනුෂ්‍යත්‍වාදීහු ඒකාන්තයෙන් මා ලත් ලාභයෝ ය. මා ලත් සහනැ, පැවිදි උපසපු ආදිය අහෝ! ඒකාන්තයෙන් මොනොවට ම ලද්දේ ය! භාග්‍යවත් වූ මාගේ ශාස්තෘ ද ඒකාන්තයෙන් සම්‍යක්සම්බුද්ධ ය. මොනොවට වදාරන ලද දහම් විනය ඇති කල්හි ගිහිගෙන් නික්ම සසුන් වනිමි. මාගේ සබ්රම්සරුහු ද සිල්වත්හ, කලණ දහම් ඇත්තෝ ය. මම් ද ශීලයන්හි පරිපූරකාරී වෙමි. එකඟ වූ සිතැතියෙම් සමාහිත ද වෙමි. ආස්‍රව ක්‍ෂීණ කළ රහතෙකිම් ද වෙමි. මහත් ඍද්ධි ඇතියෙම්, මහත් අනුභාව ඇතියෙම් ද වෙමි. මාගේ ජීවත් වීම ද මැනැවි. මාගේ මරණය (ස්කන්‍ධපරිනිර්‍වාණය) ද මැනැවි”යී මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිය සිතින් වඞ්ගාන්තපුත්‍ර වූ උපසේන තෙරුන්ගේ චිත්තපරිවිතර්‍කය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“ජීවිතය තෙම (හෙවත් නැවැත ස්කන්‍ධයන්ගේ පැවැත්ම) යම් පුඟුලකු නො පෙළා ද, මරණ සඞ්ඛ්‍යාත අවසානයෙහි හෝ නො සොවී ද, දක්නා දුඃඛාදි සත්‍යපද ඇති ධීර තෙම ශෝකහෙතූන් මැද නො සොවී.
මුල් සුන් කළ භවතෘෂ්ණා ඇති, සංහුන් සිතැති මහණහුගේ ජාත්‍යාදි වූ සංසාරය වෙසෙසින් ක්‍ෂීණ වූයේ වේ. ඔහුට පුනර්‍භවයෙක් නැත.“
ශාරීපුත්‍ර සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පලක් බැඳ, කය ඍජු කොට පිහිටුවා තමන්ගේ ක්ලේශව්‍යුපශමය නුවණින් සලකා බලනුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ ක්ලේශව්‍යුපශමය නුවණින් සලකා බලමින් වැඩ හුන් සැරියුත් තෙරුන් දුටු සේක් ම ය.