Udāna

Inspired Utterances

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 821 segments

පෙන්වන කොටස් 101-200 න් 821

(චතුර්මාර්‍ගඥානසන්තෝෂයෙන්) සතුටු වූ, පහළ කරන ලද (නිවන්) දහම් ඇති, (නුවණැසින්) දක්නා වූ රහතුන් වහන්සේට (නිර්‍වාණ සඞ්ඛ්‍යාත උපධි) විවේකය සැප යි. නො කිපෙන බව සැප යි. ලොවැ සතුන් කෙරෙහි අවිහිංසාව සැපයි.
ලෝකයෙහි කාමයන්ගේ (යම්) ඉක්මීමක් වේ නම් ඒ විරාගතාව සැප යි. අස්මිමානයාගේ යම් දුරු කිරීමෙක් වේ නම් මේ (රහත්බව) උතුම් සැපය යි.
රාජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එ සමයෙහි පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි හුන්නාවූ, (ඒ ඒ තැනින්) රැස් වූ බොහෝ භික්‍ෂූන් අතර මේ අතුරු කථාව උපන:
“ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භෝග ඇත්තේ හෝ අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් ආනුභාව ඇත්තේ හෝ වේ ද?” යනු යි. ඒ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව වූ කලි කොට අඩාළ වූයේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක්, දම්සබාමඩුව වෙත වැඩි සේක. වැඩැ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ (එහි) වැඩැ හිඳැ, “මහණෙනි, (තෙපි) දැන් මෙහි රැස් වූවාහු කවර නම් කථාවෙකින් යුක්ත ව හුන්නහු ද? තොපගේ අඩාළ වූ අතුරු කථාව කවර දැ”යි භික්‍ෂූන් ඇමුතූ සේක.
ස්වාමීනි, මෙහි පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි ( ඒ ඒ තැනින්) රැස් වූ අප අතරැ, “ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භෝග ඇත්තේ හෝ, අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ, අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ, අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ, අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් අනුභාව ඇත්තේ හෝ වේ ද?” යි මේ අතුරු කථාව උපන. ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව අඩාළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩැ වදාළ සේකැ”යි කීහු.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “මහණෙනි, තෙපි මෙබඳු කථා කරන්නහුය යන යමෙක් ඇද්ද, එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්මැ ශාසනයට පැමිණි කුලපුත්‍ර වූ තොපට සුදුසු නො වෙයි. මහණෙනි, (යම් තැනකට) රැස්වූ තොප විසින් දෙකක් කටයුතු ය: දැහැමි කථාව හෝ ආර්‍ය්‍ය වූ තූෂ්ණීම්භාවය හෝ”යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලායෙහි මේ උදානය පහළ කළ සේක:
“ලෝකයෙහි යම් කාම සැපයෙක් වේ ද, යම් මේ දෙව්ලොව උපදනා (දෙවියන්ගේ ද මනුෂ්‍යයන්ගේ ද රූපසමාපත්ති) සැපයෙක් වේ ද, මේ (සියලු) සැප තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන් සැපයාගේ සොළොස් කලාවෙන් කලාවක් ද නො අගනේ ය”යනු යි.
දණ්ඩ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි බොහෝ කුඩා දරුවෝ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි දී නයකු දණ්ඩෙකින් පෙළත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි නාගයකු දණ්ඩෙකින් පෙළන ඒ බොහෝ කුඩා දරුවන් දුටු සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
“යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමැති සතුන් දඬුවමින් පෙළා ද, හේ පරලොවැ සුවක් නො ලබයි.
යමෙක් තමාගේ සුව සොයන්නේ සුව කැමැති සතුන් දඬුවමින් නො පෙළා ද, හෙ තෙමේ පරලොවැ සුව ලබයි”.
සත්කාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දාහු, ගුරුකාර කරන ලද්දාහු, බුහුමන් කරන ලද්දාහු, පුදන ලද්දාහු, අපචායන කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් ලබන සුලු වූවාහු වෙති. භික්‍ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායන කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු වූයේ වෙති.
අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායන නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති. යළි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට ද, භික්‍ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ, ගමෙහි ද වෙනෙහි ද භික්‍ෂූන් දැකැ අසභ්‍ය වූ කර්‍කශ වූ වචනවලින් ආක්‍රෝශ කෙරෙති. තර්‍ජනය කෙරෙති. දොස් කියති. වෙහෙසති.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නෝ ය. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, මෙපවත් සැළ කළහ:
“ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද සේක්, ගුරුකාර කරන ලද සේක්, බුහුමන් කරන ලද සේක්, පුදන ලද සේක්, අපචායනය කරන ලද සේක්, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු සේක් වෙති. භික්‍ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය කරන ලද්දේ, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු වෙයි. අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායනය නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති.
වැළි දු ස්වාමීනි, ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට ද, භික්‍ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ ගමෙහි ද, වෙනෙහි ද, භික්‍ෂූන් දැකැ අසභ්‍ය වූ කර්‍කශ වූ වචනයෙන් ආක්‍රෝශ කෙරෙති, තර්‍ජනය කෙරෙත්, දොස් කියති, වෙහෙසති” යනුයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වේලාවෙහි මේ උදානය පහළ සේක:
ගමෙහි හෝ වෙනෙහි සුව දුක් දෙකින් ස්පර්‍ශ කරන ලද්දේ (හෙවත්) සුව දුක් විඳින්නේ තමාගේ වශයෙන් හෝ මෙරමාගේ වශයෙන් හෝ නො සලකන්නේ ය. (සුව දුක් වශයෙන් වින්ද යුතු) ස්පර්‍ශයෝ (ඛන්‍ධ පඤ්චක සඞ්ඛ්‍යාත) උපධිය නිසා ස්පර්‍ශ කෙරෙති. ස්පර්‍ශයෝ උපධි රහිත තැනැත්තහු කිමෙකින් ස්පර්‍ශ කෙරෙත් ද, (නො කෙරෙත් ම ය.)
උපාසක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි ඉච්ඡානඞ්ගල නම් බමුණුගමැ වැසි එක්තරා උපාසකයෙක් කිසි යම් කටයුත්තෙකින් සැවැත්නුවරට පැමිණියේ ය. ඉක්බිති ඒ උපාසක තෙමේ සැවැත්නුවර ඒ කටයුත්ත නිමවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ උපාසකයාට භාග්‍යවතුන් වහන්සේ උපාසකයෙනි, තෙපි බොහෝ කලෙකින් මෙහි පැමිණියහු යැ”යි වදාළ සේක.
“ස්වාමීනි, මම් බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දකින්නට එනු කැමැත්තෙම් වීමි. එසේ වුවත් මම යම් කුදු මහත් කටයුතුවල යෙදී සිටියෙමි. මේ හෙයින් ම මට භාග්‍යවතුන් වහන්සේ දකින්නට එන්නට නො හැකි වී යැ”යි. උවසු කීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
“යමකුට (රාගාදි) පළිබෝධයෙක් නැත් ද, මනා කොට සිද්ධ කරන ලද (මාර්‍ග) ඇති, (එහෙයින්ම ප්‍රතිවේධ බහුශ්‍රැතත්‍වයෙන්) බහුශ්‍රුත වූ, ඒ ක්‍ෂීණාස්‍රවයාට ඒකාන්තයෙන් සුවෙකි. එහෙයින් ම පෙළෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව. ජන තෙමේ (අන්‍ය) ජනයා කෙරෙහි බැඳී ගිය ස්වභාව ඇත්තේ ය.”
ගර්භිනී සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එ සමයෙහි එක්තරා පරිව්‍රාජකයකුගේ තරුණ වූ මෙණෙවියක් (බමුණුදුවක්) භාර්‍ය්‍යා වූවා, හටලත් දරුගප් ඇත්තී (අද හෙටැයි) එළැඹැ සිටි වදන කල්ඇත්තී වෙයි.
ඉක්බිති ඒ පරිව්‍රාජිකාව පරිව්‍රාජකයාහට, “බ්‍රාහ්මණය තෝ යා. යම් ඒ තෙලක් වැදූ මට උපකාර වේ ද එබඳු තෙලක් ගෙනැ එව”යි මෙ බස් කිවු ය. මෙසේ කී කල්හි ඒ පරිව්‍රාජක තෙමේ ඒ පරිව්‍රාජිකාවට “පින්වතිය, මම කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. දෙවෙනි වරටත් ඒ පරිව්‍රාජිකාව ඒ පරිව්‍රාජකයාට, “බ්‍රාහ්මණය තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ ද, එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය. දෙවෙනි වරත් ඒ පරිව්‍රාජක තෙමේ ඒ පරිව්‍රාජිකාවට “පින්වතිය, මම් කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. තුන්වන වරත් ඒ පරිව්‍රාජිකාව පරිව්‍රාජකයාට “බ්‍රාහ්මණය, තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ නම් එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය.
එසමයෙහි පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයෙහි ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට ගිතෙල් හෝ තලතෙල් ආදි තෙල් හෝ ඇති තාක් බොන්නට දෙනු ලැබේ. බැහැරැ ගෙනැ යන්නට නො දෙනු ලැබේ.
ඉක්බිති ඒ පරිව්‍රාජකයාහට “පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාර යෙහි ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ ගිතෙල් හෝ (තලතෙල් ආදි) තෙල් හෝ ඇති තාක් බොන්නට දෙනු ලැබේ. බැහැර ගෙනැ යන්නට නො දෙනු ලැබේ. යම් හෙයකින් මම පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් යම් ඒ තෙලක් වැදූ මැයට උපකාර වන්නේ නම්, ඒ තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරා දෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් විය.
ඉක්බිති ඒ පරිව්‍රාජක තෙමේ පසේනදී කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරන්නට ද විරේක කරන්නට ද නො හැකි වෙයි. හේ දුක් වූ, තියුණු වූ, කර්‍කශ වූ, කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දේ ඔබ මොබ පෙරැළෙයි. හාත්පස පෙරැළෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පෙරව පාසිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ දුක් වූ, තියුණු වූ, කර්‍කශ වූ, කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද, ඔබ මොබ පෙරැළෙන, හාත්පස පෙරැළෙන, ඒ පරිව්‍රාජකයා දුටු සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“යම් කෙනෙක් (රාගාදි) පළිබෝධ නැත්තාහු ද (ඔහු) ඒකාන්තයෙන් සුඛිත වෙත්. (ආර්‍ය්‍ය මාර්‍ග සඞ්ඛ්‍යාත) වේදයෙන් (නිවනට) පැමිණි ඒ ක්‍ෂීණාස්‍රවයෝ තුමූ ඒකාන්තයෙන් (රාගාදි) පළිබෝධ නැතියව්හි. ජන තෙමේ (අන්‍ය) ජනයා කෙරෙහි බැඳී ගිය සිත් ඇත්තේ ය. (එහෙයින්) දුකට පැමිණෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව.”
ඒකපුත්‍ර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
එසමයෙහි එක්තරා උපාසකයකු ගේ ප්‍රිය වූ මනාප වූ එක ම පුත්‍රයා කලුරිය කෙළේ වෙයි. ඉක්බිති බොහෝ උපාසකයෝ තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මධ්‍යාහ්න වෙලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නෝ ය. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙක හුන්නා වූ ඒ උපාසකයනට “උපාසකයිනි, කවර හෙයෙකින් තෙපි මධ්‍යාහ්නවේලාවෙහි තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මෙහි පැමිණියහු දැ?”යි අසා වදාළ සේක.
මෙසේ වදාළ කල්හි ඒ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මට ප්‍රිය වූ මනාප වූ එක ම පුත්‍රයෙක් විය. ඒ පුත්‍රයා කලුරිය කෙළේ ය. ඒ හේතුවෙන් අපි තෙත් වූ වස්ත්‍ර ඇත්තමෝ, තෙත් වූ කෙස් ඇත්තමෝ මධ්‍යාහ්නවේලාවෙහි මෙහි පැමිණියම්හ යි කී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
ප්‍රිය ස්වභාවය ඇති රූපස්කන්‍ධාදීන්හි (සුඛ) වේදනාස්වාදයෙන් බැඳීගිය සිත් ඇති බොහෝ (චාතුර්මහාරාජිකාදි) දේවසමූහයෝ ද, මනුෂ්‍යයෝ ද (කායික චෛතසික දුකින්) දුඃඛිත වූවාහු (රෝගාදි විපත්තියෙන් හා යෞවනාරෝග්‍යාදි සම්පත්තියෙන් ද) පිරිහුනාහු මෘත්‍යුරාජයා ගේ වශයට යෙති.
යම් කිසි කෙනෙක් දහවල්හි දු, රාත්‍රියෙහි දු අප්‍රමත්ත ද, ඔවුහු ඒකාන්තයෙන් ප්‍රියරූපය දුරු කෙරෙති. ඔවුහු මාරයාගේ ආමිෂය වූ (මේ ශාසනයෙන් පිටත කිසිවකු විසිනුත්) ඉක්මෙන්නට නොහැකි දුකට මුල් වූ තෘෂ්ණාව ඒකාන්තයෙන් සාරා දමත්.
සුප්‍රවාසා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩියා (නම්) නගරය සමීපයෙහි කුණ්ඩධාන (නම්) වනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සුප්පවාසා නම් කෝලිය දූහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගර්‍භයක් දරයි: සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු කර්‍කශ වූ කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දී ත්‍රිවිධ විතර්‍කයන් කරණ කොට ගෙන ඉවසනු හැකි වෙයි:
“යම් කෙනෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපන්නේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන්නේ ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත්තේ ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුවය” යනු ත්‍රිවිධ විතර්‍කය යි.
ඉක්බිති සුප්පාවාසා කෝලිය දූහිතෘ තොමෝ හිමියා අමතා, “ආර්‍ය්‍යපුත්‍රය, මුබ (මෙහි) එන්නැ: භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නැ. එළැඹැ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ පා වඳින්නැ. ආබාධ නැති නියා ද රෝග නැති නියා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද, (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරන්නැ. “ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ නැති නියා ද, රෝග නැති නිසා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද (ශරීර) බලය ද පහසු විහරණය ද විචාරයි. ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ සත්අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දී ‘යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත් ද ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම යැ යන තුන් විතර්‍ක හේතු කොට ගෙන ඒ දුක් ඉවසනු හැකි වේ යැ යි සැළ කරන්නැ”යි කිවු ය.
3. ‘මැනැවැ’ යි ඒ කෝලිය පුත්‍ර තෙමේ සුප්පාවාසා කෝලිය දුහිතෘවට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නා වු ඒ කෝලියපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය:
“වහන්ස, සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ රහිත නියා ද, රෝග රහිත නියා ද, සැහැල්ලු පැවතුම් ඇති නියා ද (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරයි. මෙසේත් කියයි: ‘වහන්ස, සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භ ව ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දී “යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙ බඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙ බඳු මේ දුක නැත් ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුව යැ”යි ත්‍රිවිධ විතර්‍කයෙන් ඉවසා ය’ යනුයි.
“සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සුඛිත වේවා, නීරෝග වේවා, නීරෝග පුත්‍රයකු වදාවා”යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනය සමග ම සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සුඛිත වූවා නීරෝග වූවා නීරෝග පුත්‍රයකු වැදුවා ය.
“වහන්ස, එසේ යැ”යි ඒ කෝලියපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, නැවතත් සතුට ප්‍රකාශ කොට අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ පැදකුණු කොට ස්වකීය ගෘහය කරා ගියේ ය.
කෝලියපුත්‍ර තෙමේ නීරෝග පුත්‍රයකු වැදුවා වූ සුඛිත වූ නීරෝග වූ සුප්පාවාසා කෝලියදුහිතෘ දුටුයේ ය. දැකැ ඔහුට “යම් බඳු වූ මේ කෝලියදුහිතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනයත් සමග ම සුව පත් වූවා, නීරෝග වූවා, නීරෝග වූ පුත්‍රයකු වැදූ ද, පින්වත්නි, ඒ තථාගතයන් වහන්සේ ගේ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය. ඒකාන්තයෙන් අද්භූත යැ”යී මෙ බඳු සිතෙක් විය. හේ සතුටු සිත් ඇත්තේ අතිශයින් ප්‍රමෝදය ඇත්තේ, හටගත් බලවත් ප්‍රීතිය හා සොම්නස ඇත්තේ විය.
ඉක්බිති සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ හිමියා ඇමතුවා ය: “ආර්‍ය්‍යපුත්‍රය, මුඹ මෙහි එන්නැ. භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙන්නැ. එළැඹැ ‘වහන්ස, සුප්පවාසා කෝලියදුහිතෘ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳී’ යන මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳින්නැ. මෙසේත් කියන්න. ‘වහන්ස, සුප්පවාසා නම් කෝලිය දුහිතෘ තොමෝ සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භව සිටියා ය. ඕ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වු පුත්‍රයකු වැදුවා ය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟනට බතින් නිමතයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාත් සමග සුප්පවාසා කෝලියදූහිතෘවගේ සත් බතක් ඉවසා වදාරන සේක්වා’යි කියන්නැයි”යී කිවු ය.
6. ඒ කෝලියපුත්‍ර තෙමේ සුප්පවාසා කෝලිය දුහිතෘවට ‘මැනැවැ’යි පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ඒ කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪ ගර්‍භ වූවා ය. ඕ තොමෝ දැන් සුඛිතවූවා, නීරෝග වූවා, නීරෝගවූ පුත්‍රයකු වැදුවා ය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික් සඟනට බතින් නිමතයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග සුප්පවාසා කෝලිය දූහිතෘවගේ සත් බත ඉවසා වදාරන සේක්වා යි මෙසේත් කියා ය” යි සැළ කෙළේ ය.
7. එසමයෙහි එක්තරා උපාසකයකු විසින් බුද්ධප්‍රමුඛ භික්‍ෂුසංඞ්ඝයා හෙට දවස පිණිස බතින් නිමතන ලද්දේ වෙයි. ඒ උපාසක තෙමේ ද ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායක වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ අමතා, “මහාමෞද්ගල්‍යානයෙනි, තෙපි මෙහි එව. ඒ උපාසකයා වෙත එළැඹෙව. එළැඹ ඒ උපාසකයාට “ඇවැත්නි, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භව වූවා ය. ඕ තොමෝ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වූ පුත්‍රයකු වැදුවාය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟනට බතින් නිමතයි. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බතක් පවත්වාවා, පසු ව හේ දන් දෙනු හැකි වන්නේ යයි කියව. ඒ උපාසක තෙමේ තොපගේ උපස්ථායකයෙකැ”යි වදාළ සේක.
8. මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ “වහන්ස, එසේයැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ උපාසකයා වෙත එළැඹියහ. එළැඹැ ඒ උපාසකයාහට “ඇවැත්නි, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භව වූවා ය. ඕ තොමෝ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වු පුත්‍රයකු වැදුවාය. සත්දවසක් මුළුල්ලෙහි බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයාට බතින් නිමන්ත්‍රණ කරයි. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බතක් පවත්වා වා, පසු ව තෙපි සඞ්ඝයාට දන් දීම කරව”යි කීහ. “ඉදින් ආර්‍ය්‍ය වූ මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ මගේ වස්තු ජීවිත ශ්‍රද්ධා යන කරුණු තුන පිළිබඳ ව ඇප වන්නාහු නම් සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසුව මම දන් දෙන්නෙමැ”යි කීයේ ය. “ඇවැත්නි, තොපගේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳ ව මම ඇපකාරයෙකිම් වෙමි. ශ්‍රද්ධාව පිළිබඳව වූ කලි තොපට තෙපි ම ඇප වව යි වදාළ සේක. වහන්ස, ඉදින් ආර්‍ය්‍ය වූ මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳව ඇපවන සේක් නම්, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසුව මම දන් දීම කරන්නෙමැ”යි උපාසක තෙමේ කීයේ ය.
ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ඒ උපාසකයාහට දන්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“වහන්ස, මා විසින් ඒ උපාසකයාහට දන්වන ලද්දේ ය. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසු ව හේ කරන්නේ යැ”යි.
9. ඉක්බිති සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ ඛාද්‍යයෙන් ද, භෝජ්‍යයෙන් ද සිය අතින් සන්තර්‍පණය කළා ය. සම්ප්‍රවාරණය කළා ය. ඒ දරුවා ලවා භාග්‍යවතුන් වහන්සේ ද සියලු භික්‍ෂුසඞ්ඝයා ද වැන්දැවූ ය.
10 ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ දරුවාට. “කිම, දරුව තොපට සැහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම කිසියම් දුකෙක් නැත් දැ?”යි වදාළ සේක. “වහන්ස, ශාරිපුත්‍රයන් වහන්ස, මට සැහිය හැක්කෙක් කොයින් ද, යැපිය හැක්කෙක් කොයින් ද මා විසින් සත් හවුරුද්දක් ලේසැළියෙක වාසය කරන ලදී”යි දරු කී ය.
11. එකල්හි සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ “මා පුතා දම්සෙනෙවි සැරියුත් හිමියන් සමග කථා කෙරේ යැ”යි සතුටු සිත් ඇත්තී, ප්‍රමුදිත වූවා හටගත් ප්‍රීති සෞමනස්‍යය ඇත්තී වූ ය.
12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සතුටු සිත් ඇති ප්‍රමුදිත වූ හටගත් ප්‍රීති සෞමනස්‍යය ඇති, සුප්පවාසා කෝලියදුහිතෘ ව දැකැ, “සුප්පවාසායෙනි, තෙපි අන්‍ය වූ ද මෙ බඳු පුතකු කැමැත්තාව”යි වදාළහ. “භාග්‍යවතුන් වහන්ස, මම අන්‍ය වු ද මෙ බඳු සත් පුතුන් කැමැත්තමු”යි ඕ කිවු ය.
13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ, ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“අමධුර දෑ මධුරස්වභාවයෙනුත් අප්‍රිය දෑ ප්‍රියස්වභාවයෙනුත් දුක සුඛස්වභාවයෙනුත් ප්‍රමාදී පුද්ගලයා ඉක්මැ යේ.”
විශාඛා සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්‍වාරාමයෙහි මෘගාරිමාතාප්‍රාසාදයෙහි වැඩ වසන සේක. එසමයෙහි මෘගාරිමාතෘ නම් වූ විශාඛාවට පසේනදි කොසොල් රජ්ජුරුවන් කෙරෙහි පිළිබඳ වු (පසේනදි රජුලවා කරවා ගත යුතු) කිසියම් කටයුත්තෙක් වෙයි. එය පසේනදි කොසොල් රජ ඇයගේ අදහස පරිදි තීරණය නො කරයි.
ඉක්බිති මෘගාරිමාතා විශාඛා මධ්‍යාහ්න වෙලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹුණු. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක් හුන. එකත් පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ “විශාඛාවෙනි, තෙපි දැන් දෙවෙන් දහවලැ කොහි සිට එන්නහුදැ?”යි වදාළහ.
“වහන්ස, මට මෙහි පසේනදි කොසොල් රජ්ජුරුවන් අයත් කිසියම් කටයුත්තෙක් වෙයි. එය පසේනදි කොසොල් රජ මා අදහස පරිදි තීරණය නො කෙරේ යැ”යි සැළ කළා ය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක.
“අනුන් අයත් සියල්ල දුක් ය. සියලු ලොවී ලොවුතුරා ඉසුරු බව සුව ය. සාධාරණය ඉටු කරවා ගැනීමෙහි ලා සියල්ලෝ දුකට පැමිණෙති.(කාමාදි) යෝගයෝ ඉක්මීමෙහි දුෂ්කර වෙති.
භද්දිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනුපියනුවර අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනයට ගියාහු ද, රුක්මුලට ගියාහු ද, ශූන්‍යාගාරයට ගියාහු ද, හැම විට ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැ”යි උදන් අනන සේක. බොහෝ භික්‍ෂූහු වනයට ගියාවූ ද, රුක්මුලට ගියාහු ද ශූන්‍යාගාරයට ගියාවූ ද කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේගේ නිතර “අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ”යි පහළ කරන උදානය ඇසූහ. අසා ඔවුනට “ඇවැත්නි නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ (ශාසනයෙහි) නො ඇලුණාහු බඹසර හැසිරෙති. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හෙ තෙමේ එය සිහි කරන්නේ වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්‍යාගාරයට ගියේ ද “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැයි උදන් පහළ කෙරේ යැ”යි මෙබඳු සිතෙක් විය.
2. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද, නිතර “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැ”යි උදන් අනයි. වහන්ස, නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ ශාසනයෙහි නො ඇලුණේ බඹසර හැසිරෙයි. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හේ එය සිහි කරමින් වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්‍යාගාරයට ගියේ ද නිතරම “අහෝ සුවයෙක, අහෝ සුවයෙකැ”යි උදන් අනායි කීහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමැතූ සේක. “මහණ තෝ (මෙහි) එ. ‘ඇවැත, භද්දියය, ශාස්තෲන් වහන්සේ තා අමතති’යි මාගේ වචනයෙන් භද්දිය භික්‍ෂු කැඳව”යි වදාළ සේක.
“වහන්ස, එසේ යැ”යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ කාළිගෝධාවගේ පුත්‍ර වූ භද්දිය ස්ථවිරයන් වහන්සේට “ඇවැත භද්දිය ය, ශාස්තෘන් වහන්සේ තා කැඳවන සේකැ”යි කීය.
“ඇවැත් එසේ යැ”යි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ ඒ භික්‍ෂුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ - “සැබව, භද්දිය ය, වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද තෝ නිතර ‘අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ’යි උදන් අනයි? වදාළහ. “එසේය වහන්ස”යි හේ කී ය. “භද්දිය ය, වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද තෝ කවර ප්‍රයෝජනයක් දකිමින් නිතර ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැයි උදන් අනයි දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස, පෙර ගිහිගෙයි සිටි රජය කරන මට අන්තඃපුරයෙහි ඇතුළත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. අන්තඃපුරයෙහි පිටත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. නගරයෙහි ඇතුළත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. නගරයෙහි පිටත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙහි ඇතුළත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙහි පිටත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. වහන්ස, ඒ මම් මෙසේ රක්‍ෂිත ගෝපිත වූයෙම් ම බිය වූයෙම් බියෙන් සැලුනෙම් නැගුණු සැක ඇත්තෙම් තැති ගැනුම් ඇත්තෙම් වාසය කළෙමි. වහන්ස, දැන් වනාහි මම වනයට ගියෙම් ද, රුක්මුලට ගියෙම් ද, ශූන්‍යාගාරයට ගියෙම් ද, හුදකලා වූයෙම් ද, බිය නොවූයෙම් බියෙන් නො සැලුනෙම් නැගුණු සැක නැතියෙම් තැතිගැනුම් නැතියෙම් ලොමුදහ නැතියෙම් අනුන් විසින් දෙන ලද චීවරාදියෙන් යැපෙන්නෙම්, මුවාගේ සිත වැනි (කිසිවක් කෙරෙහි අපේක්‍ෂා නැති) සිතෙකින් (යුක්ත ව) වසමි. වහන්ස, මම මේ කාරණය බලමින් වනයට ගියෙම් ද, රුක්මුලට ගියෙම් ද, ශූන්‍යාගාරයට ගියෙම් ද, ‘අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ’යි උදන් පහළ කෙරෙමි”යි තෙරණුවෝ කීහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“යමෙකුගේ අභ්‍යන්තරයෙහි කෝපයෝ නැත් ද, යම් හෙයෙකින් සම්පත් විපත් ආදි භවාභවතාව ඉක්මැ සිටියේ ද, මෙබඳු වූ පහ ව ගිය භය ඇති, සුඛිත වූ, ශෝක නැති, ක්‍ෂීණාස්‍රවයා දකින්නට දෙවියෝ අසමර්‍ත්‍ථ වෙත්.”
දෙවෙනි මුචලින්‍ද වර්‍ගය යි.
එහි උද්දානය:
මුචලින්‍ද, රාජ, දණ්ඩ, සක්කාර, උපාසක, ගබ්භීනි, ඒකපුත්ත, සුප්පවාසා, විසාඛා, භද්දිය යී සූත්‍ර දශයෙකි.
නන්‍ද වර්‍ගය
කර්‍ම සූත්‍රය