Pali BJTසන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (10)
Sinhala BJT‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අශාශ්වත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (10)
Pali BJTසන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතං අසස්සතං{3} සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (11)
Sinhala BJT‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද ශාශ්වතත් අශාශ්වතත් වේ. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (11)
Pali BJTසන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘නෙව සස්සතං නාසස්සතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (12)
Sinhala BJT‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද ශාශ්වතත් නොම වේ. අශාශ්වතත් නොම වේ යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (12)
Pali BJTසන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (13)
Sinhala BJT‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ස්වයංකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති, ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (13)
Pali BJTසන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘පරංකතං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (14)
Sinhala BJT‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද පරකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (14)
Pali BJTසන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සයංකතං පරංකතං{4} සුඛදුක්ඛං අත්තා ච ලොකො ච. ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (15)
Sinhala BJT‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ස්වයංකෘතත් පරකෘතත් වේ. මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (15)
Pali BJTසන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. (16)
Sinhala BJT‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අස්වයඞ්කාරත් අපරකාරත් වේ, යදෘච්ඡාසමුත්පන්න යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (16)
Pali BJTතෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති: ‘එදිසො ධම්මො නෙදිසො ධම්මො, නෙදිසො ධම්මො එදිසො ධම්මො’ති.
Sinhala BJTඔහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණි යාහු. ‘ධර්‍මය මෙබඳු යැ, එබඳු නො වේ. ධර්‍මය මෙබඳු නොවේ, එබඳු යැ’යි මුවඅඩයටිවලින් උනුනට අනින්නාහු වෙසෙත්.
Pali BJT2. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
Sinhala BJT2. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිරැ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක සිටියහ: එක්පසෙක සිටි ම එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
Pali BJTඉධ භන්තෙ සම්බහුලා නානාතිත්ථියා සමණබ්රාහ්මණ{1} පරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා නානාදිට්ඨිනිස්සයනිස්සිතා. සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. -පෙ- තෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති ‘එදිසො ධම්මො නෙදිසො ධම්මො, නෙදිසො ධම්මො එදිසො ධම්මො’ති.
Sinhala BJT“වහන්ස, මේ සැවැත්නුවරැ නානාදෘෂ්ටි ඇති, නානාලබ්ධි ගත්, නානා රුචි ඇති, නානාදෘෂ්ටිකාරණයෙහි ඇලුණු බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ වෙසෙත්. (ඔවුන් අතුරෙහි) ආත්මයත් ලෝකයත් ශාශ්වත ය, මෙම ම සත්‍ය ය, සෙස්ස හිස් යැ යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ... ඔහු ‘ධර්‍මය මෙබඳු ය, ධර්‍මය එබඳු නො වේ. ධර්‍මය මෙබඳු නො වේ. ධර්‍මය එබඳු යැ’යි හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ මුව අඩයටින් උනුනට අනිමින් වෙසෙත්,’ යනු යි.
Pali BJTඅඤ්ඤතිත්ථියා භික්ඛවෙ පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා තෙ අත්ථං න ජානන්ති{2} අනත්ථං න ජානන්ති ධම්මං න ජානන්ති අධම්මං න ජානන්ති. තෙ අත්ථං අජානන්තා අනත්ථං අජානන්තා ධම්මං අජානන්තා අධම්මං අජානන්තා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති: ‘එදිසො ධම්මො නෙදිසො ධම්මො, නෙදිසො ධම්මො එදිසො ධම්මො’ති.
Sinhala BJT“මහණෙනි, අන්තොටු පිරිවැජියෝ අන්‍ධයෝ ය. ඇස් නැත්තෝ ය. ඔහු වැඩ නො දනිත්. අවැඩ නො දනිත්. දහම් නො දනිත්. නොදහම් නො දනිත්. ඔහු වැඩ නො දන්නෝ, අවැඩ නො දන්නෝ, දහම් නො දන්නෝ, නො දහම් නො දන්නෝ, ‘ධර්‍මය මෙ බඳු ය, ධර්‍මය එබඳු නො වේ, ධර්‍මය මෙබඳු නො වේ. ධර්‍මය එබඳු යැ’යි හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට බටුවෝ උනුනට මුව අඩයටිවලින් අනින්නාහු වෙසෙත්,”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“අහඞ්කාරපසුතායං පජා පරඞ්කාරූපසංහිතා, එතදෙකෙ නාබ්භඤ්ඤංසු න නං සල්ලන්ති අද්දසුං.
Sinhala BJT‘මේ සත්කැල ස්වයංකාර (අහඞ්කාර) දෘෂ්ටියෙහි යෙදුණෝ ය. ඊශ්වරාදි අන් කිසිවෙක් සියල්ල කෙරේ’යැ යි පරකාර දෘෂ්ටිය හෝ ඇසුරු කළෝ වෙති. අන් කෙනෙක් මේ දෘෂ්ටි දෙක ම නො අනුදත්හ. ඔහු ද තමන් ගත් යදෘච්ඡාසමුත්පන්න වාදය දුක් උපදවන හුලෙකැ යි නො දුටහ.
Pali BJTඑතඤ්ච සල්ලං පටිච්ච{3} පස්සතො අහං කරොමී’ති න තස්ස හොති, පරො කරොතීති න තස්ස හොති,
Sinhala BJTමෙය හුලෙකැ යි මුල දී ම දක්නා ඒ ආරබ්ධ විදර්‍ශකයාට ‘මම් කෙරෙමි’යි කියා සිතෙක් නො වේ. අනෙකෙක් කෙරෙයි’ කියාත් ඔහුට සිතෙක් නො වෙයි.
Pali BJTමානුපෙතා අයං පජා මානගන්ථා මානවිනිබන්ධා, දිට්ඨීසු සාරම්භකථා සංසාරං නාතිවත්තතී”ති.
Sinhala BJTමේ සත්කැල මානයෙන් යුක්ත ය. මාන නැමැති ග්‍රන්‍ථ (ගෙතුම්) ඇත්තෝ ය. මාන බැඳුම් ඇත්තෝ ය, දෘෂ්ටිවිෂයයෙහි විරෝධකථාව සසර නො ඉක්මවයි.”
Pali BJT6. 7.
Sinhala BJT6. 7.
Pali BJTසුභූතිසුත්තං
Sinhala BJTසුභූති සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සුභූති භගවතො අවිදූරෙ නිසින්නො හොති, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අවිතක්ක සමාධිං{1} සමාපජ්ජිත්වා. අද්දසා ඛො භගවා ආයස්මන්තං සුභූතිං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අවිතක්කං සමාධිං{2} සමාපන්නං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා අවිතර්‍කසමාධියට (චතුර්‍ත්‍ථධ්‍යාන පාදක අර්‍හතත්‍වඵලසමාධියට) සමවැද හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා අවිතර්‍කසමාධියට සමවැද හුන් සුභූති තෙරුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“යස්ස විතක්කා විධූපිතා අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසා, තං සඞ්ගමතිච්ච අරූපසඤ්ඤී චතුයොගාතිගතො න ජාතුමෙතී”ති.
Sinhala BJT“යමක්හු විසින් මිථ්‍යාවිතර්‍කයෝ පලවා හරින ලද්දාහු ද, සිය සතන්හි ඉතිරි නො කොට සිඳැ පියන ලද්දාහු ද, රාගාදි සියලු සඞ්ග ඉක්මැ අරූපය (හෙවත් නිවන) අරමුණු කරන මාර්‍ගඵලසංඥා ඇති, කාමයොගාදි සතරයෝගයන් ඉක්මැ ගිය ආර්‍ය්‍ය පුද්ගල තෙමේ ඒකාන්තයෙන් පුනර්‍භවයට නො එයි.”
Pali BJT6. 8.
Sinhala BJT6. 8.
Pali BJTගණිකාසුත්තං
Sinhala BJTගණිකා සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ ද්වෙ පූගා අඤ්ඤතරිස්සා ගණිකාය සාරත්තා හොන්ති පටිබද්ධචිත්තා.{3} භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති, ලෙඩ්ඩූහිපි උපක්කමන්ති දණ්ඩෙහිපි උපක්කමන්ති, සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි රජගහ නුවරැ ගණ දෙකෙක් එක්තරා ගණිකාවක කෙරෙහි ඇලුණාහු පිළිබඳ සිතැත්තාහු වෙත්. ඔහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට බටුවාහු උනුනට අත්වලින් පහර දෙත්, ගල්කැටින් පහර දෙත්, දඬුවලින් පහර දෙත්, අවිවලින් පහර දෙත්. ඔහු එහි මරණයට ද පැමිණෙත්, මරණය පමණ වූ දුකට ද පැමිණෙත්.
Pali BJT2. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පවිසිංසු. රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ රාජගහෙ ද්වෙ පූගා අඤ්ඤතරිස්සා ගණිකාය සාරත්තා පටිබද්ධචිත්තා{4} භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති, ලෙඩ්ඩූහිපි උපක්කමන්ති, දණ්ඩෙහිපි උපක්කමන්ති, සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛන්ති.
Sinhala BJT2. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහ නුවරැ පිඬු පිණිස හැසිරැ පසුබත්කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හිඳ ගත්තාවූ ම ඒ භික්‍ෂූහු ‘වහන්ස, මේ රජගහ නුවරැ දෙ ගණ කෙනෙක් එක්තරා ගණිකාවක කෙරේ ඇලුණෝ බැඳුණු සිතැත්තෝ, හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට පැමිණියෝ, උනුනට අතින් ද පහර දෙත්, කැටින් ද පහර දෙත්, දඬුයෙන් ද පහර දෙත්, සැතින් ද පහර දෙත්. ඔහු එහි මරණයට ද , මරණය තරම් වූ දුකට ද පැමිණෙත්.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
Pali BJT“යඤ්ච පත්තං යඤ්ච පත්තබ්බං, උභයමෙතං රජානුකිණ්ණං ආතුරස්සානුසික්ඛතො.
Sinhala BJTපැමිණි යම් පස් කම් සුවයෙක් ඇද්ද මතු පැමිණිය යුතු කොට පතන යම් පස් කම්සුවයෙක් ඇද්ද, මේ දෙක ම ක්ලේශාතුරයාගේ ද දුඃඛාතුරයාගේ ද රාගරජසිනුත් ද්වේෂරජසිනුත් වැසුණේ වෙයි:
Pali BJTයෙ ච සික්ඛාසාරා, සීලබ්බතජීවිතබ්රහ්මචරියඋපට්ඨානසාරා,{1} අයමෙකො අන්තො.
Sinhala BJTමෙයින් සංසාරශුද්ධිය වෙතැ යි ගත් යම් ශීලව්‍රතාදි වූ ශික්‍ෂාසාර කෙනෙක් වෙත් ද, ශීලව්‍රත, ශාකභක්‍ෂකතාදි ජීවිකා, මෛථුනවිරති (ස්කන්‍දදේවපරිවරණාදි) උපස්ථානසාර කෙනෙක් වෙත් ද, මොහු ආත්මක්ලමථානුයෝග පක්‍ෂය ගත් එක් අන්තයෙක.
Pali BJTයෙ ච එවංවාදිනො: ‘නත්ථි කාමෙසු දොසො’ති, අයං දුතියො අන්තො. ඉච්චෙතෙ උභො අන්තා කටසිවඩ්ඪනා. කටසියො දිට්ඨිං වඩ්ඪෙන්ති. එතෙ තෙ උභො අන්තෙ අනභිඤ්ඤාය ඔලීයන්ති එකෙ අතිධාවන්ති එකෙ. යෙ ච ඛො තෙ අභිඤ්ඤාය තත්ර ච නාහෙසුං තෙන ච න මඤ්ඤිංසු, වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනායා”ති.
Sinhala BJT‘කාමයන්හි දොස් නැතැ’යි කියන යම් කෙනෙක් ඇත් ද, ඔවුන් ගත් මෙය කාමසුඛල්ලිකානුයෝගය වූ දෙවෙනි අන්තය ය. මෙසේ මෙ කී උබය අන්තයෝ කටසීන් (තෘෂ්ණා අවිද්‍යාවන්) වඩන්නෝ ය. කටසීහු (අවිද්‍යාතෘෂ්ණාවෝ) දෘෂ්ටිය වඩත්. මේ අන්ත දෙක නොදැන ඇතැම්හු කම්සුවෙහි යෙදීම් වශයෙන් හැකිළෙත්. කෙනෙක් සිය කය පෙළීම් වශයෙන් අතිධාවනය කරත්. යම් කෙනෙක් වනාහි ඔවුන් විශිෂ්ට නුවණින් දැන, ඒ අන්ත දෙක්හි පතිත නො වූහු ද, ඔහු (අන්තද්වයප්‍රහීණ කිරීමෙන් තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කළහ. ඔවුනට (මරණින් මතු ඇතැ යි) පණවන්නට (කර්‍මවර්‍ත විපාකවර්‍ත ක්ලේශවර්‍ත යන) කිසිම වර්‍තයෙක් නැත.”
Pali BJT6. 9.
Sinhala BJT6. 9.
Pali BJTඋපාතිසුත්තං
Sinhala BJTඋපාති සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අබ්භොකාසෙ නිසින්නො හොති, තෙලප්පදීපෙසු ඣායමානෙසු. තෙන ඛො පන සමයෙන සම්බහුලා අධිපාතකා තෙසු තෙලප්පදීපෙසු ආපාතපරිපාතං අනයං ආපජ්ජන්ති, ව්යසනං ආපජ්ජන්ති. අද්දසා ඛො භගවා තෙ සම්බහුලෙ අධිපාතකෙ තෙසු තෙලප්පදීපෙසු ආපාතපරිපාතං අනයං ආපජ්ජන්තෙ ව්යසනං ආපජ්ජන්තෙ.{2}
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ මහඅඳුරෙහි තෙල් පහන් දැල්වෙන කල්හි එළිපහනෙහි වැඩ හුන් සේක් වෙති. එ සමයෙහි බොහෝ පලඟැටියෝ ඒ පහන් ඉදිරියට පැන ද පහන් වටා හැවිද පැන ද දුකටත් මරණයටත් පැමිණෙත්. භාග්‍යවතුන් වහන්සේ ඒ බොහෝ පලඟැටියන් ඒ තෙල්පහන්හි ඉදිරියට පැන ද පහන් වටා හැවිද පැන ද දුකටත් මරණයටත් පැමිණෙන්නවුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“උපාතිධාවන්ති න සාරමෙන්ති නවං නවං බන්ධනං බ්රූහයන්ති, පතන්ති පජ්ජොතමිවාධිපාතකා{3} දිට්ඨෙ සුතෙ ඉතිහෙකෙ නිවිට්ඨා”ති.
Sinhala BJT“සත්හු දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙන් අතිධාවනය කරත්. (ශීලාදි) සාරයට නො පැමිණෙත්. තෘෂ්ණාදෘෂ්ටිසඞ්ඛ්‍යාත අලුත් අලුත් බැඳුම් වඩත්. මෙසේ ඇතැම්හු දුටු දැයෙහි ද ඇසු දැයෙහි ද පලඟැටියන් පහනට සෙයින් ඒ අරමුණු කෙරෙහි ශාශ්වතාදි වශයෙන් බැස ගත්තාහු එයට පනිත්.”
Pali BJT6. 10.
Sinhala BJT6. 10.
Pali BJTතථාගතුප්පාදසුත්තං.
Sinhala BJTතථාගතොත්පාද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: යාවකීවඤ්ච භන්තෙ, තථාගතා ලොකෙ නූප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, තාව අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සක්කතා හොන්ති ගරුකතා මානිතා පූජිතා අපචිතා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. යතො ච ඛො භන්තෙ, තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, අථ{1} අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. භගවා යෙව’දානි භන්තෙ, සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, භික්ඛුසඞ්ඝො චාති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ කල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳැ එක්පසෙක හුන්හ. එක්පසෙකැ හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “වහන්ස, යම් තාක් කල් ම තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ නො උපදිත් ද, ඒ තාක් ම අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර ලද්දාහු ගුරුකාර ලද්දාහු බුහුමන් ලද්දාහු පුදනු ලද්දාහු යටත් පැවතුම් ලද්දාහු සිවුරුපිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෝ වෙත්. වහන්ස, යම් කලෙක්හි ම තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු ලොව උපදිත් ද, එකල්හි අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර නො ලද්දෝ, ගුරුකාර නො ලද්දෝ, බුහුමන් නො ලද්දෝ, නො පුදනු ලද්දෝ, යටත් පැවතුම් නො ලද්දෝ, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාත් ම සත්කාර ලද්දෝත්, ගුරුකාර ලද්දෝත්, බුහුමන් ලද්දෝත්, පුදනු ලද්දෝත්, යටත් පැවතුම් ලද්දෝත්, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෝත් වෙතී.” යනු යි.
Pali BJT2. එවමෙතං ආනන්ද, යාවකීවඤ්ච ආනන්ද, තථාගතා ලොකෙ නුප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා. තාව අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සක්කතා හොන්ති ගරුකතා මානිතා පූජිතා අපචිතා, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. යතො ච ඛො ආනන්ද, තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, අථ{2} අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. තථාගතො’ව’දානි සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො. ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, භික්ඛුසඞ්ඝො චාති.3
Sinhala BJT2. “අනඳයෙනි, එය එසේ ය. අනඳයෙනි, යම්තාක් කල් ම ලොවැ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු නො උපදිත් ද, ඒ තාක් ම අන්තොටු පිරිවැජ්යෝ සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ලබන සුල්ලෝ ද වෙති. එහෙත් අනඳයෙනි, යම් කලෙක වනාහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ උපදිත් ද, එකල්හි අන්තොටු පිරිවැජියෝ අසත්කෘත ද අගුරුකෘත ද අමානිත ද අපූජිත ද අනපචිත ද, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර නොලබන සුල්ලෝ ද වෙත්. අනඳයෙනි, යම් කලෙක වනාහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ උපදිද් ද, එකල්හි අන්තොටු පිරිවැජියෝ අසත්කෘත ද අගුරුකෘත ද අමානිත ද අපූජිත ද අනපචිත ද, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුල්ලෝ ද වෙත්. දැන් තථාගත තෙමේත් භික්‍ෂූ සඞ්ඝයාත් ම සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද, චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ලබන සුලු වෙති”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“ඔභාසති තාව සො කිමි යාව න උග්ගමති{3} පභඞ්කරො, වෙරොචනම්හි{4} උග්ගතෙ හතප්පභො හොති න චාපි භාසති.
Sinhala BJT“යම් තාක් හිරු නො නඟී ද, එ තාක් කල් ඒ කදෝපැණි තෙම බබලයි. හිරු නැගි කල්හි කදෝපැණි තෙම නටුවා වූ ප්‍රභා ඇත්තේ වේ. නො ද බබලයි.
Pali BJTඑවං ඔභාසිතමෙව තක්කිකානං යාව සම්මාසම්බුද්ධා ලොකෙ නුප්පජ්ජන්ති, න තක්කිකා සුජ්ඣන්ති න චාපි සාවකා දුද්දිට්ඨී න දුක්ඛා පමුච්චරෙ”ති.
Sinhala BJTඑසේ යම් තාක් කල් සම්මාසම්බුදුහු ලොවැ නො උපදිත් ද ඒ තාක් ම තාර්කික වූ තීර්‍ත්‍ථකයන්ගේ බැබලීම වේ. (යම් කලෙක බුදුහු පහළ වෙත් ද එ කල්හි) තාර්කිකයෝ (දෘෂ්ටිගතිකයෝ) නො බබලත්. ඔහු සව්වෝ ද නො බබලත්. මිසදිටු ගත් ඔහු දුකින් නො මිදෙත්.”
Pali BJTජච්චන්ධවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන ජාත්‍යන්‍ධවර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආයු ජටිල වෙක්ඛණ තීණි තිත්ථියා සුභූති.{5} ගණිකා{6} උපාති නවමො උප්පජ්ජන්ති’ති තෙදස.
Sinhala BJTආයු ජටිල පච්චවෙක්ඛණ යන සූත්‍ර ද, තීර්‍ත්‍ථක සූත්‍ර තුන ද, සුභූති ගණිකා හා නවවන උපාතිධාවන සූත්‍රය ද , තථාගතුප්පාද සූත්‍රය දැ යි ඒ සූත්‍රදශ දෙනෙකි.
Pali BJTචුල්ලවග්ගො සත්තමො
Sinhala BJTචූල්ල වර්‍ගය
Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJTපඨමභද්දියසුත්තං
Sinhala BJTප්‍රථම භද්දිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ලකුණ්ටකභද්දියං අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. අථ ඛො ආයස්මතො ලකුණ්ටකභද්දියස්ස ආයස්මතා සාරිපුත්තෙන අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සියමානස්ස සමාදපියමානස්ස සමුත්තෙජියමානස්ස සම්පහංසියමානස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. අද්දසා ඛො භගවා ආයස්මන්තං ලකුණ්ටකභද්දියං ආයස්මතා සාරිපුත්තෙන අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සියමානං සමාදපියමානං සමුත්තෙජියමානං සම්පහංසියමානං, අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං විමුඤ්චමානං.{1}
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුනට නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍ය ලක්‍ෂණාදිය දක්වති. තිලකුණු අරමුණු කොටැති විවසුන් ගන්වති. එහි ඔවුන් සිත තියුණු කරති. එහි ඔවුන් සිත තුටුපහටු කරවති. ඉක්බිත්තෙන් සැරියුත් තෙරුන් විසින් නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් ත්‍රිලක්‍ෂණාදිය දක්වනු ලබන, විවසුන් ගන්වනු ලබන, එහි සිත තියුණු කරනු ලබන, එහි සිත තුටුපහටු කරනු ලබන ලකුණ්ටකභද්දිය තෙරුන්ගේ සිත ආස්‍රවයන් කෙරෙන් මිදුණේ ය. භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් තෙරුන් විසින් නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍යලක්‍ෂණාදිය දක්වනු ලබන, විවසුන් ගන්වනු ලබන, එහි සිත තියුණු කරනු ලබන, එහි සිත තුටු කරවනු ලබන, උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් සිත මුදාලන ලකුණ්ටකභද්දිය තෙරුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
Pali BJT“උද්ධං අධො{2} සබ්බධි විප්පමුත්තො අයමහමස්මී’ති{3} අනානුපස්සී. එවං විමුත්තො උදතාරි ඔඝං අතිණ්ණපුබ්බං අපුනබ්භවායා”ති.
Sinhala BJT“උඩ රූපාරූප ලෝකයෙහි ද, යටැ කාම ලෝකයෙහි ද සියලු සංස්කාරයෙහි හැම අයුරෙන් ම (කෙලෙසුන්ගෙන්) මිදුණු (රූපාදියෙහි) “මේ මම් වෙමි”යි නො දක්නා, මෙසේ මිදුණු රහත් තෙමේ පෙර තරණය නො කළ කාමාදි චතුර්විධ ඕඝය නැවත සසරැ නො වනු පිණිස (හෙවත් නිවන් පිණිස) තරණය කොට එ ගොඩැ සිටියේ ය.”
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
Pali BJTදුතියභද්දියසුත්තං
Sinhala BJTද්විතීය භද්දිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ලකුණ්ටකභද්දියං සෙක්ඛං මඤ්ඤමානො භිය්යොසොමත්තාය අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. අද්දසා ඛො, භගවා ආයස්මන්තං සාරිපුත්තං ආයස්මන්තං ලකුණ්ටකභද්දියං සෙඛං මඤ්ඤමානං{4} භිය්යොසොමත්තාය අනෙකපරියායෙන ධම්මියා කථාය සන්දස්සෙන්තං සමාදපෙන්තං සමුත්තෙජෙන්තං සම්පහංසෙන්තං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එසමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්‍ෂකයකු කොට හඟිනුවෝ පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍යාදිය දක්වයි, ගන්වයි, එහි තියුණු කෙරෙයි, තුටු පහටු කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්‍ෂකයකු කොට හඟිමින් පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් අනිත්‍යාදිය දක්වන, ගන්වන, එහි තියුණු කෙරෙන, තුටු පහටු කරන සැරියුත් තෙරුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි ම් උදන් ඇනූහ:
Pali BJT“අච්ඡෙච්ඡි{5} වට්ටං බ්යාගා නිරාසං විසුක්ඛා සරිතා න සන්දති, ඡින්නං වට්ටං න වත්තති එසෙවන්තො දුක්ඛස්සා’ති.
Sinhala BJT“කෙලෙස්වට මුල් සින්දේ ය. නිරාශය (නිවන) අවබෝධ කෙළේ ය. තෘෂ්ණානදිය වියැලිණ. මෙයින් පසු එය නො ගලයි. (එහෙයින්) කම්වට නො පවතී. මෙය ම දුකේ කෙළවර යි.”
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
Pali BJTසත්තසුත්තං
Sinhala BJTසක්ත සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියා මනුස්සා යෙභුය්යෙන කාමෙසු අතිවෙලං සත්තා{1} රත්තා ගිද්ධා ගථිතා{2} මුච්ඡිතා අජ්ඣොපන්නා සම්මත්තකජාතා{3} කාමෙසු විහරන්ති. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ සාවත්ථියා මනුස්සා යෙභුය්යෙන කාමෙසු අතිවෙලං සත්තා1 රත්තා ගිද්ධා ගථිතා2 මුච්ඡිතා අජ්ඣොපන්නා සම්මත්තකජාතා3 කාමෙසු විහරන්තී’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බොහෝ සෙයින් අධික වෙලාවක් (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජුවූවාහු වෙළුණාහු මුසපත් වූවාහු ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙත්. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙවැ, පාසිවුරු ගෙන, සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම ඒ භික්‍ෂූහු “වහන්ස, මෙහි සැවැත්හි මිනිස්සු බෙහෙවින් අධික වේලා (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු, ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙති”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJTකාමෙසු සත්තා කාමසඞ්ගසත්තා{4} සඤ්ඤොජනෙ වජ්ජමපස්සමානා, න හි ජාතු සඤ්ඤොජනසඞ්ගසත්තා ඔඝං තරෙය්යුං විපුලං මහන්තං”ති.
Sinhala BJT“වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු, වස්තුකාමයන්හි රාගාදි සඞ්ගවලින් ලැගුණු, සංයෝජනයෙහි (කාමරාගාදි ක්ලේශ සමූහයෙහි) දොස් නො දක්නා, සංයෝජන සඞ්ඛ්‍යාත සඞ්ගයෙන් ත්‍රෛභූමික ධර්‍මයන්හි ඇලුණු සත්ත්‍වයෝ පතළා වූ මහත් වූ කාමාදි ඕඝය කිසි කලෙකත් තරණය කට හැකි නො වන්නාහ.”
Pali BJT7. 4.
Sinhala BJT7. 4.
Pali BJTදුතියසත්තසුත්තං
Sinhala BJTදෙවෙනි සක්ත සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියා මනුස්සා යෙභුය්යෙන කාමෙසු සත්තා{5} රත්තා ගිද්ධා ගථිතා{6} මුච්ඡිතා අජ්ඣොපන්නා අන්ධීකතා සම්මත්තකජාතා{7} කාමෙසු විහරන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා සාවත්ථියා තෙ මනුස්සෙ යෙභුය්යෙන කාමෙසු සත්තෙ රත්තෙ ගිද්ධෙ ගථිතෙ2 මුච්ඡිතෙ අජ්ඣොපන්නෙ අන්ධීකතෙ සම්මත්තකජාතෙ7 කාමෙසු විහරන්තෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී; එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ කල්හි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බෙහෙවින් කාමයන්හි ඇලුණෝ රැඳුණෝ ගිජුවූවෝ ගෙතුණෝ මුස පත් වූවෝ ගැලුණෝ අන්‍ධ බවට පමුණුවන ලදුවෝ, කාමයන්හි ඉතා මත්වූවෝ වෙසෙත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැතට පිඬු පිණිස වන් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මිනිසුන් සැවැතෙහි බෙහෙවින් කාමයන්හි ඇළුණවුන් රැඳුණවුන් ගිජුවූවන් ගෙතුණවුන් මුස පත්වූවන් ගැලුණවුන් අන්‍ධබවට පමුණුවන ලැබුවන්, කාමයන්හි ඉතා මත්වූවන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“කාමන්ධා ජාලසඤ්ඡන්නා, තණ්හාඡදනඡාදිතා, පමත්තබන්ධුනා බද්ධා මච්ඡා’ව කුමිනාමුඛෙ, ජරාමරණං ගච්ඡන්ති වච්ඡො ඛීරූපකොව මාතරං”ති.
Sinhala BJT“කාමයෙන් අන්‍ධ වූ, තෘෂ්ණාදැලින් වැසුණු, තෘෂ්ණා සෙවෙණියන් වසා ගන්නා ලද, මරහු විසින් බඳනා ලද සත්හු කෙමනමුවට වන් මසුන් මෙන් කිරිබොන වස්සා මව අනුව යන්නාක් මෙන් ජරාමරණය කරා යෙත්.”
Pali BJT7. 5.
Sinhala BJT7. 5.
Pali BJTලකුණ්ටකභද්දියසුත්තං
Sinhala BJTලකුණ්ටකභද්දිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ලකුණ්ටකභද්දියො සම්බහුලානං භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං ලකුණ්ටකභද්දියං දූරතොව සම්බහුලානං භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතො ආගච්ඡන්තං දුබ්බණ්ණං දුද්දසිකං ඔකොටිමකං යෙභුය්යෙන භික්ඛූනං පරිභූතරූපං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං භික්ඛුං දූරතො’ව සම්බහුලානං භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතො ආගච්ඡන්තං දුබ්බණ්ණං දුද්දසිකං ඔකොටිමකං යෙභුය්යෙන භික්ඛූනං පරිභූතරූපංති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි ලකුණ්ටකභද්දිය තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් පසු පසින් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. බොහෝ භික්‍ෂූනට පසුපසින් දුරින් ම එන දුර්වර්‍ණ වූ අප්‍රිය දැකුම් ඇති, මිටිවූ බෙහෙවින් (ජබ්බග්ගියාදි) පුහුදුන් මහණුන් විසින් පිරිහෙළන ලද අයුරු ඇති ලකුණ්ටකභද්දිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. දැක භික්‍ෂූන් බණවා, “මහණෙනි, දුරින් ම බොහෝ භික්‍ෂූනට පසුපසින් එන නොමනා පැහැ ඇති, නොමනා දැකුම් ඇති, අඟුටු මිටි වූ, බෙහෙවින් පුහුදුන් මහණුන් විසින් පිරිහෙළන ලද අයුරු ඇති තෙල මහණහු තෙපි දක්නහු දැ?” යි වදාළ සේක.
Pali BJT2. එවං භන්තෙ’ති. එසො භික්ඛවෙ භික්ඛු මහිද්ධිකො මහානුභාවො. න ච සා සමාපත්ති සුලභරූපා යා තෙන භික්ඛුනා අසමාපන්නපුබ්බා. යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති.
Sinhala BJT2. “එසේය, වහන්සැ”යි ඒ භික්‍ෂූහු කීහ. “මහණෙනි, මේ මහණ තෙම මහත් ඍද්ධි ඇත්තේ ය, මහත් අනුභාව ඇත්තේ ය. ඒ මහණහු යමක් නො සමවන් විරූ නම් එසේ වූ සමවතෙක් සුලභ නො වේ. යමක් පිණිස කුලපුත්තු මොනොවට ගිහිගෙන් නික්මැ සසුන් වදිත් නම්, ඒ නිරුත්තර වූ, මගබඹසරෙහි කෙළවර වූ රහත්බව මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ”යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා, එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“නෙලග්ගො සෙතපච්ඡාදො එකාරො වත්තති රථො, අනීඝං පස්ස ආයන්තං ඡින්නසොතං අබන්ධනං”ති.
Sinhala BJT“සුපුරිසිදු සිල් නැමැති නිදොස් මං ඇති, අර්‍හත්ත්‍ව ඵලවිමුක්ති නැමැති සුදු වැසුම් ඇති, සිහි නැමැති එක ම අරයක් ඇති, (එ මහණහුගේ) ආත්මභාව නැමැති රථය පවතී. සැලුම් නැති පිරිපුන් වැගුරුම් ඇති, බැඳුම් නැති එන්නා වූ එ මහණ බල.”
Pali BJT7. 6.
Sinhala BJT7. 6.
Pali BJTතණ්හාඞ්ඛයසුත්තං
Sinhala BJTතණ්හාක්ඛය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අඤ්ඤාතකොණ්ඩඤ්ඤො භගවතො අවිදූරෙ නිසින්නො හොති, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය තණ්හාසඞ්ඛයවිමුත්තිං පච්චවෙක්ඛමානො. අද්දසා ඛො භගවා ආයස්මන්තං අඤ්ඤාත{1} කොණ්ඩඤ්ඤං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය තණ්හාසඞ්ඛයවිමුත්තිං පච්චවෙක්ඛමානං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා, එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“යස්ස මූලා{1} ඡමා නත්ථි පණ්ණා නත්ථි කුතො ලතා, තං ධීරං බන්ධනා මුත්තං කො තං නින්දිතුමරහති? දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතො”ති.
Sinhala BJT“යමකුහට අත්බවට මුල් වූ අවිද්‍යාවත් එයට පිහිටීමට හේතු වූ (ආස්‍රව නීවරණ අයෝනිසෝමනස්කාර සංඛ්‍යාත) භූමියත් නැද්ද, මානාතිමානාදි ප්‍රභේද ඇති කෙලෙස් ලතාවත් මදප්‍රමාද මායා ආදි කොළත් නැද්ද, එසේ වූ ඒ බන්‍ධනයෙන් මිදුණු ධීරයාට කවරෙක් නින්‍දා කරන්නට සුදුසු ද? දෙවියෝ ද ඔහු පසසති. බඹහු විසිනුත් හේ පුදනු ලද්දේ වේ.”
Pali BJT7. 7.
Sinhala BJT7. 7.
Pali BJTපපඤ්චක්ඛයසුත්තං
Sinhala BJTපපඤ්චඛය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා අත්තනො පපඤ්චසඤ්ඤාසඞ්ඛාපහාණං පච්චවෙක්ඛමානො නිසින්නො හොති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රපඤ්චයන් සහගිය සංඥාවන්ගේ කොටස්වල ප්‍රහාණය නුවණින් සලකමින් වැඩහුන් සේක් වෙති.
Pali BJT2. අථ ඛො භගවා අත්තනො පපඤ්චසඤ්ඤාසඞ්ඛාපහානං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ප්‍රපඤ්චසංඥාවන්ගේ කොටස්වලැ ප්‍රහාණය දැන (සලකා) එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“යස්ස පපඤ්චා ඨිති ච නත්ථි සන්දානං{2} පලිඝඤ්ච වීතිවත්තො, තං තං නිත්තණ්හං මුනිං චරන්තං, නාවජානාති සදෙවකො’පි ලොකො”ති.
Sinhala BJT“යමකුහට ප්‍රපඤ්චයෝත් ඔවුන් විසින් කරන ලද සසර සිටීමත් නැද්ද, සන්‍දාන සංඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටිහුත් නැද්ද, යමෙක් පළිඝ සංඛ්‍යාත අවිද්‍යාවත් ඉක්මැවී ද, සිවු ඉරියව්වෙන් කල් යවන, තෘෂ්ණාරහිත වූ ඒ මුනිහට දෙවියන් සහිත ලොව ද අවඥා නො කෙරේ.”
Pali BJT7. 8.
Sinhala BJT7. 8.
Pali BJTකච්චානසුත්තං
Sinhala BJTකච්චාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකච්චානො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය කායගතාය සතියා අජ්ඣත්තං පරිමුඛං සූපට්ඨිතාය. අද්දසා ඛො භගවා ආයස්මන්තං මහාකච්චානං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය කායගතාය සතියා අජ්ඣත්තං පරිමුඛං සූපට්ඨිතාය.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට තබා කමටහන් අරමුණට යොමු කොට මොනොවට එළැඹැවූ කායගතස්මෘතියෙන් වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ එසේ නොදුරෙහි පලක් බැඳ ... හුන් මහකසයින් තෙරුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“යස්ස සියා සබ්බදා සති සතතං කායගතා උපට්ඨිතා, නො චස්ස නො ච මෙ සියා න භවිස්සති න ච මෙ භවිස්සති, අනුපුබ්බවිහාරි තත්ථ සො කාලෙනෙව තරෙ විසත්තිකං”ති.
Sinhala BJT“යමකුට හැම විට ම කායගතාසතිය එළඹ සිටිනී වේ ද, ‘අතීත කර්‍මක්ලේශ මා හට නො වී නම්, වර්‍තමාන අත්බව මාහට නො වන්නේ ය. වර්‍තමාන කර්‍මක්ලේශ නොවී නම් අනාගතයෙහි මාහට අත්බවෙක් නො වන්නේ යයි දන්නේ ද, එහි පිළිවෙළින් උදයව්‍යයඥානාදීන් විදර්‍ශනා විහරණ ඇති හේ සුදුසු කල්හි ම තෘෂ්ණාව තරණය කරන්නේ ය.”
Pali BJT7. 9.
Sinhala BJT7. 9.
Pali BJTඋදපානසුත්තං
Sinhala BJTඋදපාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ථූණං{1} නාම මල්ලානං බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො, ථූනෙය්යකා බ්රාහ්මණගහපතිකා ‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ථූණං අනුප්පත්තො’ති. උදපානං තිණස්ස ච භුසස්ස ච යාව මුඛතො පූරෙසුං’මා තෙ මුණ්ඩකා සමණකා පානීයං අපංසූ”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරන සේක්, මල්ලයන්ගේ ථූන නම් වූ බමුණුගමට බැස වදාළ සේක. ‘සැහැපුත් වූ සැහැකුලයෙන් පැවිදි වූ මහණ ගොයුම්හු වනාහි මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරිසරනුවෝ ථූන ගමට පැමිණියහ’යි ථුන ගම් වැසි බමුණු ගැහැවියෝ ඇසූහ. ඔහු ඒ මුඬු මහණහු පැන් නො බොත්ව’යි තණකොළින් ද පිදුරෙන් ද ළිඳ මුවවිට දක්වා ම පිරැවූහ.
Pali BJT2. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙන රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, එතම්හා උදපානා පානීයං ආහරා’ති. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉදානි සො භන්තෙ, උදපානො ථූනෙය්යකෙහි බ්රාහ්මණගහපතිකෙහි තිණස්ස ච භුසස්ස ච යාව මුඛතො පූරිතො, ‘මා තෙ මුණ්ඩකා සමණකා පානීයං අපංසූ’ති. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ඉඞ්ඝ -පෙ- අපංසූති. තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද එතම්හා උදපානා පානීයං ආහරා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා පත්තං ගහෙත්වා යෙන සො උදපානො තෙනුපසඞ්කමි.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් වැ එක්තරා රුක්මුලක් කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, තෙල ළිඳෙන් මට පැන් ගෙනෙව’යි වදාළ සේක. එසේ වදාළ කල්හි, ආනන්‍ද තෙරණුවෝ ‘වහන්ස, ‘ඒ මුඬු මහණහු පැන් නො බොත් ව’යි කියා ථූන ගම් වැසි බමුණු ගැහැවියන් විසින් ඒ ළිඳ තණකොළිනුත් පිදුරෙනුත් මුවවිට තෙක් ම දැන් පුරවන ලදැ’ යි සැළ කළහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, … වදාළ සේක. දෙවැනි වර ද අනඳ තෙරණුවෝ … ‘පැන් නොබොත් ව’යි තණකොළිනුත් … පුරවන ලදැ’යි සැළ කළහ. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ‘අනඳයෙනි, තෙල ළිඳෙන් මට පැන් ගෙනෙව’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන ඒ ළිඳ කරා එළැඹියහ.
Pali BJT3. අථ ඛො සො උදපානො ආයස්මන්තෙ ආනන්දෙ උපසඞ්කමන්තෙ සබ්බං තං තිණඤ්ච භුසඤ්ච මුඛතො ඔවමිත්වා අච්ඡස්ස උදකස්ස අනාවිලස්ස විප්පසන්නස්ස යාව මුඛතො පූරිතො විස්සන්දෙන්තො මඤ්ඤෙ අට්ඨාසි. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: අච්ඡරියං වත! භො, අබ්භුතං වත! භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයං හි සො උදපානො මයි උපසඞ්කමන්තෙ සබ්බං තං තිණඤ්ච භුසඤ්ච මුඛතො ඔවමිත්වා අච්ඡස්ස උදකස්ස අනාවිලස්ස විප්පසන්නස්ස යාව මුඛතො පූරිතො විස්සන්දෙන්තො මඤ්ඤෙ අට්ඨාසී ති. පත්තෙන පානීයං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: අච්ඡරියං’ භන්තෙ, අබ්භුතං’ භන්තෙ. තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයං හි සො භන්තෙ උදපානො මයි උපසඞ්කමන්තෙ සබ්බං තං තිණඤ්ච භුසඤ්ච මුඛතො ඔවමිත්වා අච්ඡස්ස උදකස්ස අනාවිලස්ස විප්පසන්නස්ස යාව මුඛතො පූරිතො විස්සන්දෙන්තො{2} මඤ්ඤෙ අට්ඨාසි. පිවතු භගවා පානීයං, පිවතු සුගතො පානීයං”ති.
Sinhala BJT3. එ කල්හි ඒ ළිඳ අනඳ තෙරුන් එළඹෙන විටැ ඒ සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැර කොට මුවවිට දක්වා ම පිරිසිදු නොකැලඹුණු වෙසෙසින් පෑදුණු දියෙන් පිරුණේ පිටතට දිය නික්මවන්නක්හු මෙන් සිටියේ ය. එකල්හි අනඳ තෙරණුවන්හට ‘පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති නියාව මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය. අද්භූත ය! මේ ළිඳ මා එළැඹෙන කල්හි සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැරැ කොට පියා පිරිසිදු නොකැලඹුණු වෙසෙසින් පහන් වූ දියෙන් මුවවිට දක්වා, පිරුණේ පිටතට දිය නික්මවමින් මෙන් සිටියේ යැ’යි මෙ සිත විය. මෙසේ සිතා පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ ‘වහන්ස, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය ය. අද්භූත ය. මේ ළිඳ මා එළැඹෙන කල්හි සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැරැ කොට පියා පිරිසිදු නොකැලැඹුණු වෙසෙසින් පහන් වූ දියෙන් මුවවිට දක්වා පිරුණේ පිටතට දිය නික්මවමින් මෙන් සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක්වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා’යි කීහ.
Pali BJT4. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“කිං කයිරා උදපානෙන ආපා වෙ{3} සබ්බදා සියුං, තණ්හාය මූලතො ඡෙත්වා කිස්ස පරියෙසනං චරෙ”ති.{4}
Sinhala BJT“හැම කල්හි (හැමතැන ම) දිය ඇත් නම්, ඒ ළිඳෙන් කවර ප්‍රයෝජන ද? තෘෂ්ණා පිපාසාවගේ මුල සිඳ සිටි මා වැන්නෙක් කවරැ හෙයින් දිය සොයා ඇවිදුනේ ද? නො ඇවිදුනේ ම ය.”
Pali BJT7. 10.
Sinhala BJT7. 10.
Pali BJTඋදෙනසුත්තං
Sinhala BJTඋදේන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො උදෙනස්ස උය්යානගතස්ස අන්තෙපුරං දඩ්ඪං හොති, පඤ්ච ච ඉත්ථිසතානි කාලඞ්කතානි හොන්ති සාමාවතිප්පමුඛානි. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කොසම්බිං පිණ්ඩාය පවිසිංසු. කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ රඤ්ඤො උදෙනස්ස උය්යානගතස්ස අන්තෙපුරං දඩ්ඪං, පඤ්ච ච ඉත්ථිසතානි කාලඞ්කතානි සාමාවතිප්පමුඛානි. තාසං භන්තෙ, උපාසිකානං කා ගති, කො අභිසම්පරායො’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි උදයන රජහු උයන් යාදී ඇතොවුර ගින්නෙන් දැවී ගියේ වෙයි. සාමාවතී දේවිය ප්‍රමුඛ කොටැති පන්සියක් ස්ත්‍රීහු කලුරිය කළාහු වෙත්. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කොසොඹෑ පුරයට පිඬු පිණිස පිවිසියහ. කොසොඹෑ පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එක් පසෙකැ හුන්හ. එක් පසෙක හුන්නාවූ ම ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි උදේන රජු උයන් යාදී ඇතොවුර දා ගියේ ය. සාමාවති ප්‍රමුඛ පන්සියක් ස්ත්‍රීහු කලුරිය කළාහු වෙති යි සැළ කොට ‘වහන්ස, ඒ උවැසියන්ගේ මරණින් පසු ගතිය කවර යැ? පරලොව කවර යැ?’යි විචාළහ.
Pali BJT2. සන්තෙත්ථ භික්ඛවෙ, උපාසිකායො සොතාපන්නා, සන්ති සකදාගාමිනියො, සන්ති අනාගාමිනියො, සබ්බා{1} තා භික්ඛවෙ උපාසිකායො අනිප්ඵලා කාලඞ්කතා’ති.{2}
Sinhala BJT2. “මහණෙනි, ඔවුන් අතුරෙහි සෝවාන් උවැසියෝ ඇත. සෙදැගැමි උවැසියෝ ඇත. අනැගැමි උවැසියෝ ඇත. මහණෙනි, ඒ සියලු උවැසියෝ පැමිණි ශ්‍රාමණ්‍යඵල ඇත්තාහු ම එහෙයින් නිෂ්ඵල නො වැ කලුරිය කළහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
Pali BJT“මොහසම්බන්ධනො ලොකො භබ්බරූපො’ව දිස්සති, උපධිසම්බන්ධනො බාලො තමසා පරිවාරිතො, සස්සති විය ඛායති පස්සතො නත්ථි කිඤ්චනං”ති.{3}
Sinhala BJT“මෝහය හා එකට බැඳුණු සත්ත්‍වලෝකය හේතු සම්පන්නයක්හු මෙන් දක්නා ලැබේ. උපධීන් හා බැඳුණු අඥාන තෙම අවිදු අඳුරින් පිරිවැරුණේ සදාභාවී මෙන් සලකයි. සංස්කාරයන් අනිත්‍යාදීන් බලන්නහුට (රාගාදි) කිඤ්චනයෙක් නැත.”
Pali BJTචුල්ලවග්ගො සත්තමො.
Sinhala BJTසත්වන සුළුවගයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය: