Therīgāthā

Verses of the Elder Nuns

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 775 segments

පෙන්වන කොටස් 601-700 න් 775

වීසතිනිපාතය නිමි.
30. තිංසති නිපාතය
365. රමණීය වූ කෝමාරභච්ච ජීවකයන්ගේ අඹවනයට (දිවාවිහාර සඳහා) යන සුභා භික්‍ෂුණිය ස්ත්‍රීධූර්‍තයෙක් වැළැහී, සුභා මෙහෙණ ඔහුට මෙසේ කිවු ය.
366. යම්හෙයෙකින් (තෙපි) මා අවුරා සිටියහු ද, මා විසින් තොපට කවර අපරාධයෙක් කරනලද ද? ඇවැත්නි, පැවිද්දක විසින් පුරුෂයෙක් ස්පර්‍ශ කරන්නට නො මැ කැපවෙයි.
367. මට ශාස්තෘශාසනය (පහණසතක් සෙයින්) ගුරු වෙයි, සුගතයන් විසින් (මෙහෙණන් සඳහා) යම් ශික්‍ෂාවක් දේශිත ද එයින් පරිශුද්ධ කුසලකොට්ඨාස ඇති නිකෙලෙස් වූ මා කුමක් හෙයින් අවුරාගෙන සිටියහු ද?
368. විතර්‍කයෙන් කැළැඹුණු සිත් ඇති (තෙපි) නො කැළඹුණා වූ කෙලෙස් රජස් ඇතියහු විගතරජස් වූ නිකෙලෙස් වූ සියලු තැන්හි (සමුච්ඡේදවිමුක්තියෙන්) මිදුණු සිත් ඇති මා කුමක්හෙයින් අවුරාගෙන සිටියහු ද?
369. තෙපි තරුණ ද (රුවින්) අලාමක ද වවු. පැවිද්ද තොපට කුමක් කරන්නේ ද? කහසිවුරු බැහැර පියව, එව සුපුල් වෙනෙහි අභිරමණය කරම්හ.
370. හාත්පසින් මිහිරි සුවඳ පවන් හමා, රුක්හු කුසුම්රෙදෙන් හටගත්තවුන් වැන්නාහ, පළමු වසත් මස සුවපහස් ඍතු වෙයි, එව සුපුල් වෙනෙහි අභිරමණය කරම්හ.
371. මලින් ගැවැසුණු අග්ඇති වෘක්‍ෂයෝ පවනින් කම්පා වූවාහු තුතිගයන්නවුන් මෙන් සිටිති,, ඉදින් එකලා වැ වනයට වදනහු නම් තොපට කවර නම් රතියෙක් වේ ද?
372. ව්‍යාලමෘග සමූහයා විසින් සෙවුනාලද මතැතුන් හා ඇතින්නන් විසින් අලළනලද මිනිසුන් රහිත වූ බිහිසුණු මහවනයට එකලා වැ යන්නට කැමැත්තහු යැ.
373. උපමා රහිත තැනැත්තිය, තෙපි කසීසළු මෙන් සියුම් වූ සිනිඳු මට වූ වස්ත්‍රයෙන් යුක්ත ව රනින් කළ පොතලුදූරුවක් මෙන් චිත්‍රරථ නම් වනයෙහි දෙවසරක මෙන් හොබනාව.
374. කිඳුරියක මෙන් මඳක් පුබුදු නෙත් ඇත්තිය, ඉදින් (අපි දෙදෙන) වනතුරෙහි එක්වැ වසමෝ නම්, මම තොපගේ වසයට පැමිණියෙම් වෙමි, තොපට වඩා ප්‍රියතර වූ ප්‍රාණියෙක් හෝ ප්‍රාණයක් (මට) නො ද ඇත් මැ යි.
375. ඉදින් (තෙපි) මාගේ වචනය කරන්නහු නම්, එව සුඛිත ව ගිහිගෙයි වාසය කරව, වාතය වැළහූ ප්‍රාසාදයන්හි වාසය කරන ස්ත්‍රීහු තොපට වතාවත් කරන්නාහ.
376. සියුම් කසීසළු ධරව, මල්ගඳවිලෙවුන් (සිරුරට) ආරෝපණය කරව, (එයින් සැරැසෙව’යි සේ යි) තොපට රන්මිණිමුතු වලින් යුත් බොහෝ විවිධාභරණ කරමි.
377. මොනොවට දෙවීමෙන් රජස් හළ උඩුවියන් ඇති හොබනා දික් ලොම් ඇති කළු කොඳු පලස් හා හස් ලොම් ආදිය පිරූ මෙට්ට අතුරන ලද අලුත් වූ මහැගී සඳුන්හරින් සැරසූ සුවඳැති යහනට නැඟෙව.
378. රකුසන් විසින් අරග්ගත් විලෙක දියෙන් උඩට නැඟීසිටි උපුලක් යම්සේ ද එපරිදි බඹසරවසන්නක වූ තෙපි සිය සිරුරඅවයව (කිසිවකු) පරිභෝග නොකළ කල්හි මැ ජරාවට යන්නාව.
379. කුණපයෙන් පිරුණු සොහොන්බිම වඩන බිඳෙනසුලු මේ සිරුරෙහි යම් අවයවයක් දැක සොම්නස් ව බලවු නම් (කේසාදීන් අතුරෙහි) තොප විසින් කුමක් සාර යයි ගන්නා ලද ද?
380. තොපගේ ඇස් මුවඟනකගේ ඇස් වැන්න, ගිරි අතුරෙහි හැසිරෙන කිඳුරඟනකගේ ඇස් වැන්න, තොපගේ දෙනුවන් දැක මා ගේ කාමරතිය බෙහෙවින් වැඩෙයි.
381. කසුන්රුවක බඳු වූ තොප ගේ මුහුණෙහි රතුපුල්පෙති බඳු වූ තොප ගේ දෙනුවන් දැක මාගේ කාමගුණය බෙවින් වැඩෙයි.
382. දිගු ඇසිපිය ඇත්තිය, පිරිසිදු ඇස් ඇත්තිය, කිඳුරඟනකගේ මෙන් මඳක් පුබුදු ඇස් ඇත්තිය, තෙපි දුරට ගිය නමුදු (තොපගේ ඇස් මැ) සිහිකරමි, තොපගේ දෙනතට වඩා මට ප්‍රියතරයෙක් නැති.
383. තෙපි බුද්ධපුත්‍රී වූ මා පතව, (එබඳු තෙපි) නො මඟින් යන්නට කැමැත්තාව, සඳමඬල කෙලීපන්දුවක් කරනු රිස්සව, මෙරගල් පැනයන්නට රිස්සව.
384. දැන් යම් තැනෙක මාගේ රාගයෙක් වන්නේ ද, සදේවක ලෝකයෙහි ඒ අරමුණ නැත් මැ යැ, ඒ රාගය කෙබඳු වූයෙකැයි ද නො දනිමි, මුල් සහිත රාගය ආර්‍ය්‍යමාර්‍ගයෙන් නසන ලද්දේ ය.
385. අඟුරුවළකට (වාතයෙන්) නඟාදමනලද්දක් සෙයින් වනසන ලද විසබඳුනක් සෙයින් ඒ රාගය කෙබඳු දැයි නො දක්මි, සමූල රාගය ආර්‍ය්‍යමාර්‍ගයෙන් නසන ලදි.
386. යම් ස්ත්‍රියක විසින් (පස්කඳ) නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා නො කරන ලද ද ශාස්තෲන් වහන්සේ හෝ (දහම්කය දැක්මෙන්) උපාසනය නොකරන ලද්දාහු ද, ඇවැත්නි, තෙපි එබඳු ස්ත්‍රියක පොලොබවු, ඒ තෙපි සිවුසස් පිළිවිද දන්නා මේ සුභා මෙහෙණ වෙහෙසන්නහු ය.
387. යම් හෙයෙකින් ආක්‍රෝශ වන්‍දනා දෙක්හි ද සුවදුක් දෙක්හි ද මාගේ සිහි එළඹ සිටියා ද (එහෙයින්) ත්‍රෛභූමක සංස්කාරගතය අශුභ යයි දැන සියලු භවත්‍රයෙහි මැ මාගේ සිත නො ඇලෙයි.
388. මම ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයානයෙන් යනසුලු උපුටාහළ රාගාදි හුල්ඇති අනාස්‍රව වූ සුගතයන්ගේ ශ්‍රාවිකාවක් වෙමි. ශුන්‍යාගාරයෙහි ඇලුණු මම එහි සිත් අලවා වෙසෙමි.
389. (හස්තපාදාදි ආකාරයෙන්) මොනොවට සිතුවම් කරන ලද පොතලුරූ ද දැවදඬු ආදියෙන් කළ රූකඩ ද නහරහුයින් හා (අත් ආදිය සඳහා තැබූ) දඬුයෙන් හා බඳනා ලද්දාහු විවිධාකාරයෙන් නටන්නවුන් මෙන් මා විසින් දක්නා ලද්දාහු මැ ය.
390. ඒ නූල් හා දඬුකඩ හා උපුළ කල්හි විසුළ කල්හි තැන තැන දැමූ කල්හි විසුරුවා හළ කල්හි කඩ කඩ කළ කල්හි පොතලුරුවක් නො ලැබෙන්නේ ය, එහි කවර කොටසෙක සිත පිහිටුවා ද.
391. මා පිළිබඳ ශරීරාවයවයෝ ද එබඳු උපමා ඇත්තාහු ඒ පඨවි ආදි ධර්‍මයන්ගෙන් වෙන්ව නො පවත්නාහ, දේහය ද අවයවයෙන් වෙන්ව නො පවතී, එහි පඨවිආදි කවරෙක් සිත පිහිටු වන්නේ ද,
392. යම්සේ සිත්තරකු විසින් බිතෙක සිරියලින් සිතුවම් කරන ලද ස්ත්‍රීරූපයක් දක්නේ ද, එහි තොපගේ මනුෂ්‍ය ස්ත්‍රියක යන නිරර්‍ත්‍ථක සංඥාව විපරීත දර්‍ශනයෙකි.
393. අන්‍ධබාලය, තෙපි (මායාකාරයකු විසින්) හමුයෙහි දක්වන ලද මායාවක් මෙන් සිහිනයෙහි දුටු රන්මුවා රුකක් මෙන් (ඉඳුරු දැලියකු විසින්) මහජනයා මැද දක්වනලද රිදී රුවක් මෙන් සිස් වූ කය (තෙල මාගේ යයි) අභිනිවේස කරව.
394. රුක්බිලයෙක තුබූ ලාවටක් බඳු ද ඇස්දලය මැද සිටි දිය බුබුලක් බඳු ද කඳුළු සහිත ද වෙයි, මෙහි අක්‍ෂිගූථ (කබ) ද උපදී (ශ්වේතපටලාදි) විවිධ අක්‍ෂිභාගයෝ ද පිඬුවූවාහු වෙත්.
395. ප්‍රියදර්‍ශනී වූ ඕතොමෝ (ඇසෙහි) ඇලීමට නො පැමිණියා ය, නො ඇලුණු සිත් ඇත්තී එකෙණෙහි ඇස උපුටා ඉඳ තොපගේ ඇස ගෙන යව’යි ඒය ඒ මිනිසාට දුන.
396. එකෙණෙහි ඔහුගේ ද ඒ ඇසෙහි රාගය දුරුවිය, බඹසර ඇත්තීය, තොපට සුව වන්නේ ය, යළි මෙබන්දක් නොවන්නේ ය යි ඇය ක්‍ෂමා කරවී.
397. දිලියෙන ගිනි වැළඳගෙන මෙන් ආශිර්විෂයකු (අතින්) ගෙන මෙන් මෙබඳු නික්ලේශී ජනයකු ඝටා කිමැ සුවයෙක් වන්නේ ද අපට ක්‍ෂමා කළ මැනවැ’යි.
398. ඒ ධූර්‍ත පුරුෂයා කෙරෙන් මිදුණු ඒ මෙහෙණ බුද්ධ ශ්‍රේෂ්ඨයන් කරා පැමිණියා යැ, උත්තම පුණ්‍යලක්‍ෂණ ඇති බුදුන් දැක ඇස පෙර මෙන් ප්‍රකෘති වී යයි.
මෙසේ සුභා ජීවකම්බවනිකා තෙරැණිය …
ජීවකම්බවනික සුභා ථේරීගාථා යි.
තිංසති නිපාතය නිමි.
40. චත්තාලීසතිනිපාතය
399. සකල පෘථුවි තලයට ආභරණ වූ කුසුම් පුරාභිධාන පැලලුප්හි ශාක්‍ය කුලයෙහි කුලදුහීතෘ වූ (සෑසි මුනි සසුන්හි පැවිදි වූ හෙයින් කී) ගුණවත් භික්‍ෂුණීහු දෙදෙනෙක් වූහ.
400. ඒ භික්‍ෂුණීන් දෙදෙනා කෙරෙහි එක් මෙහෙණක් ඉසිදාසීනම දෙවැන්නී සිල්සපන් බෝධිත්‍ථේරී නමු. ඔහු (ලොවී ලොවුතුරා) දැහැන් සමවැදීමෙහි ඇලුණාහු බහුශ්‍රුත වූවාහු (අගමඟින්) නැසූ කෙලෙස් ඇත්තාහු වෙති.
401. ඔහු පිඬු සිඟා හැසිර බත් කිස නිමවා දෙවූ පාත්‍ර ඇත්තාහු විවේකස්ථානයෙක සුවසේ හුන්නාහු මේ වදන් පැවසූහ.
402. ආර්‍ය්‍යාවෙනි ඉසිදාසියෙනි, තෙපි පැහැපත් වූහ. තොපගේ වයස් ද නො පිරිහුනැ, ගිහිගෙයි කවර දොසක් දැක පැවිද්දට පැමිණියහු ද?
403. මෙසේ ජනශූන්‍යස්ථානයෙහි පුළුවුස්නා ලැබූ ඒ ධර්‍මදේශනායෙහි නිපුණ වූ ඉසිදාසී මෙහෙණ “බෝධි තෙරැණියෙනි, මම් යම්සේ පැවිදි වූම් ද ඒ අසව”යි මෙ වදන් කිවුයැ.
404. (අවන්ති රට) උදේනී පුරවෙරෙහි ශීලසංවෘත වූ සිටු තෙම මාගේ පියා විය. මම ඔහුගේ ප්‍රිය මනාප වූ අනුකම්පා කටයුතු එක් මැ දුව වීමි.
405. ඉක්බිති මා වියපත් කල්හි සාකේත නගරයෙන් මා පිළිබඳ උතුම් කුලයෙහි උපන් විවා මඟුල් රුස්වන්නාහු පැමිණියාහ. බොහෝ රන් රුවන් ඇති මහ සිටෙක් වී. ම පියේ මා ඔහුට ලෙහෙලි කොට දින.
406. නැන්දණියන් හා මයිලණුවන්ගේ සමීපයට එළඹ උදය සවස පා පිණිපා කරමි. උන් විසින් අනුසස්නා ලදුම් ද එසෙයින් කරමි.
407. මා සැමියාගේ යම් භගිනීහු ඇද්ද භාතෲහු ඇද්ද පරිජනයා වේ ද එක් වල්ලභයකුදු දැක උද්විග්නව අසුන් දෙමි.
408. අහරින් වේවයි පානයෙන් වේවයි ඛාද්‍යයෙන් වේවයි යමක් ඒ පරිවේසනස්ථානයෙහි සදාතබන ලද ද එයින් යමක් යමකුට නිසි වේ ද එය ඔහුට රුස්වමි, එළවමි, දෙමි.
409. නිසි කල්හි උවටන් කොට එළිපත සිට හස්ත පාදයන් දෝනෙමි, දෙව ගෙට එළඹෙමි, බදැඳිලි ව හිමියා වෙත එළඹෙමි.
410. ඒ මම මැ (කෙස්මස් පිහිරෙන) පණාව ද විලෙවුන් ද අඳුන් නළ ද කැඩපත ද ගෙන දැස්සක සෙයින් හිමියා සරසමි.
411. ඒ මම මැ බත පිසමි, මම මැ බඳුනුදු දෝනෙම් මම එක් ම පුතුසෙයින් එකල සැමියාට මෙහෙ කරමි.
412. මෙසෙයින් සැමියා මෙහෙ කළ අනුරක්ත වූ පිළිවිස කරන සුලු නටමන් ඇති උත්‍ථාන වීර්‍ය්‍ය ඇති එහෙයින් මැ අකුසීත වූ සිල්වත් වූ මා ඒ සැමි කිපී බැණ වදී.
413. ඒ මා සැමි (පිළිවිසැ) ‘මම ගෙන් නික්මැ යෙමි’යි මෑණියන් හා පියාණන්ට මෙසේ කියයි. ‘ඉසිදාසිය සමග මම ඒක් ගෙයි සහවාසය නොකරමි’යි.
414. පුත්‍රය, නහමක් එසේ කියා, ඉසිදාසිය පණ්ඩිත වෙයි, අතිශය ව්‍යක්ක වෙයි, උත්‍ථාන වීර්‍ය්‍ය ඇති වෙයි, එයින් මැ අනලස වෙයි. දරුව කිම තොපට නුරුස්නේ ද?
415. ඕ මට කිසිදු පීඩාවක් නොකරයි, වැලිත් මම ඉසිදාසිය හා නොවසමි, මට අප්‍රිය ද වෙයි, මට කම් නැත. මම තොප නො විචාරා මැ යෙමි.
416. ඔහුගේ බස් අසා නැදිමයිල්හු ‘තොප විසින් ඔහුට කවර විරෝධයෙක් කරන ලදද, නිසැක ව තතුසේ කියව’යි මා පුළුවුත්හ.
417. මම් ඔහුට කිසි විරෝධයක් නොකෙරෙමි, නො ද වෙහෙසමි. දුර්වචනයකුදු නොබණමි. ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් හිමි මට ද්වේෂ කෙරේ ද මා විසින් (එබඳු) කුමක් කළ හැකි ද.
418. ඔහු පුතු රක්නාහු ‘රූපවත් වූ ලක්‍ෂ්මියගෙන් පැරැදුණම්හ’යි දුකින් මැඩුණාහු දොම්නස් වූවාහු මා පියාගේ ගෙට යැවූහ.
419. ඉක්බිති පියතෙමේ පළමු සිටු මා යම් සුංවතෙකින් ලැබී ද එයින් අඩක් සුංවතින් ආඪ්‍ය වූ දෙවැනි කුලීනයක්හුගේ ගෙහි ලා මා දුන්නේය.
420. ඔහුගේ ගෙහි දු මසක් විසීමි. එකල්හි හොඳ දැස්සක මෙන් උවටන් කරන ද්‍රෝහ නො කරන සිල්සපන් වූ මා ගෙන් බැහැරැ කෙළේ යැ.
421. මපියේ භික්‍ෂා පිණිස ඇවිදුනා දැමුණු ඉඳුල් කන යාචකයකුට කියයි: ‘මා දුවගේ සැමි වුව’ හන් කඩෙරදි ද භික්‍ෂාකපාලය ද බහාලවයි.
422. ඒ ඉඳුල් කන්නා ද කලක් වැස බැස ගියේ ය. (යන්නේ) පියාට මෙසේ කියයි: ‘මාගේ මහලු පිළී ද භික්‍ෂාකපාලය ද සරාවය ද දෙව. යළිත් පිඬු සිඟා ඇවිදිමි’යි.
423. එසඳ මපියා ද මවු ද හැම ඥාතිගණවර්‍ගයා ද ඔහුට (වෙන වෙන) මෙසේ කියයි: ‘මෙගෙහි තට කුමක් නම් නො සැපයේ ද? කියා තට එය වහා සැපයෙයි.’
424. මෙසේ කියන ලදුයේ (තෙල) කියයි: ‘ඉදින් මාගේ ආත්මය ශක්ත වේ නම් ඉසිදාසියගෙන් මට කම් නැත. මම එක් මැ ගෙහි ඇය හා සහවාස නො කරමි.’
425. ඒ දමකයා හැරැපියන ලදු වැ ගියේ යැ. මම ද එකලා වැ මෙසේ සිතීමි. ‘නො පිළිවිස මැ මැරෙන්නට හො යෙමි. පැවිදි වන්නෙම් හෝ වෙමි.’
426. එකලැ විනයධර වූ බහුශ්‍රුත වූ ශීලසම්පන්න වූ ආර්‍ය්‍ය ජිනදත්තා මෙහෙණ පිඬු පිණිස ඇවිදුමින් පියකුලය කරා පැමිණියා.
427. ඇය දැක නැගිට අප හුන් අස්න ඇයට පනවාලීමි. හිඳගත් ඒ මෙහෙණගේ පා වැඳ බොජුන් දින්මි.
428. ආහාරයෙනුදු පානයෙනුදු ඛාද්‍යයෙනුදු එහි එළවා තැබූ යමක් ඇත් නම් එයිනුදු සතපා මෙසේ කීමි: ‘ආර්‍ය්‍යාවෙනි, පැවිදි වන්නට කැමැත්තෙමි’යි.
429. එසඳ පියා මට මෙසේ කියයි: ‘දියණියනි, මෙගෙහි මැ තෝ බ්‍රම්සරාදි දහම හැසිරෙව. ආහාරයෙනුදු පානයෙනුදු මහණුන් හා බමුණන් සතපව’.
430. ඉක්බිති මම අඬමින් ඇඳිලි බැඳ පියාට කියමි: ‘මා විසින් පව්කමෙක් කරන ලදි. ඒ පව දිරවාලමි’යි.
431. එසඳ පියේ මට මෙසේ කියයි: ද්වීපද ශ්‍රේෂ්ඨ වූ බුදුහු යම් දහමක් පසක් කළසේක් ද ඒ බෝධිය හා අග්‍ර ධර්‍මයට පැමිණෙව. නිවන් ද ලබව’යි.
432. දෙමාපියන් හා හැම ඥාතිගණවර්‍ගයා සකසා වැඳ පැවිදි වැ සත් දිනෙකින් ත්‍රිවිද්‍යාවන් පසක් කෙළෙමි.
433. තමා පිළිබඳ ජාති සතක් දනිමි. යම් පාපකර්‍මයක්හුගේ මේ ඵලවිපාකයෙක් වේ ද එය තොපට කියමි. ඒකාග්‍රචිත්ත වැ ඒ අසව.
434. මම එරකච්ඡ නම් නුවර ප්‍රභූතධන ඇති ස්වර්‍ණකාරයෙක් වීමි. යෞවනමදයෙන් මත්ත වැ මම පරදාරසේවනය කෙළෙමි.
435. මම එයින් සැවැ දීර්‍ඝකාලයක් නිරෑහි පැසිණිමි. එහි පැසුණෙම් එයින් නැඟී වැඳිරියක කුස පිළිසිඳ ගතිමි.
436. උපන් සත්දවසැති මා කපියූථයෙහි නායක මහ වඳුරු (ඵලොද්ධරණයෙන්) පුරිස් ලකුණු නැසී යැ. පරදාරයන් කරා ගොස් යම් පරිදි කර්‍ම ඇද්ද, ඒ පරදාරසේවනයාගේ තෙල කර්‍මඵල යි.
437. මම් එයින් සැවැ කලුරිය කොට සින්‍ධචාරණ්‍යයෙහි කන වූ කුදු වූ එළියක කුස පිළිසිඳ ගත්මි.
438. (එහිදී) බීජෝද්ධරණය කරනු ලැබූ මම් දොළොස් හවුරුද්දක් මුළුල්ලෙහි (පිටැ හිඳගත්) දරුවන් උසුලා පරදාරයන් කරාගොස් යම්සේ ද එපරිදි (අභිජාතස්ථානයෙහි) පණුවන් ගැවසීමෙන් පීඩිත වූයෙම් ගිලන් වීමි.
439. මම් එයින් සැවැ ගවවෙළෙඳකුගේ දෙනක කුස උපන්නෙම් ලතුරස මෙන් තඹවන් වස්සකු වැ උපන් දොළොස්වැනි මස බීජෝද්ධරණය කරනලදුයෙමි.
440. මම නගුල උසුලා ගැල් ද ධැරීමි, පරදාරයන් කරා ගොස් යම්සේ ද එපරිදි අන්‍ධ වැ පීඩිත වූයෙම් ගිලන් වීමි.
441. මම් එයින් සැවැ නගරවීථියෙහි ගෘහදාසියක කුස උපන්නෙමි, පරදාරයන් කරා ගොස් යම්සේ ද එපරිදි නො ඉතිරි නො පිරිමි වීමි. (ජාතිනපුංසක වීමි’යි සේයි.)
442. තිස්වැනි හවුරුද්දෙහි මියැගියෙම්. දිළිඳුවූ අල්පභෝග වූ ණය හිමි පුරුෂයන්ගේ පැමිණීම බහුල කොට ඇති ගැල්කරුකුලයකැ දැරියක් වැ උපන්මි.
443. ඉක්බිති සාත්තුනායක තෙම පොලීමිල උත්සන්න වැ මහත් වැ ගියකල්හි වැලැපෙන මා (මාගේ) කුලගෙයින් පැහැරගෙන ආකර්‍ෂණ කෙරෙයි.
444. එකල්හි සොළොස්වැනි හවුරුද්දෙහි පැමිණි යොවුන් බව ඇති කන්‍යාවක වූ මා දැක නමින් ගිරිදාස නම් වූ ඒ සාර්‍ත්‍ථවාහකයාගේ පුත්‍ර තෙම (පිළිබඳසිත් ඇතිව) තමා අයත් කොට ගෙහි ලී යැ.
445. ඔහුට ද සිල්වත් වූ ගුණවත් යශස් ඇති හිමියා කෙරෙහි අනුරක්ත වූ අන් භාර්‍ය්‍යාවක් වූ යැ, මම ඔහුට (ඒ බිරිය කෙරෙහි) විද්වේෂණකර්‍මය කෙළෙමි. (හේ ඈට කිපෙනසේ පිළිපන්මි.)
446. යම් හෙයෙකින් දැස්සක මෙන් උවටන් කරන මා (ස්වාමීහු) හැරපියා යෙත්ද, ඒ අකුශලයාගේ තෙල, කර්‍මඵල යි, මා විසින් ඒ පාපකර්‍මය ද කෙළවර කරන ලද්දේ යයි.
මෙසේ ඉසිදාසි තෙරණී ...
ඉසිදාසී ථේරීගාථා යි.
චත්තාලීසතිනිපාතය නිමි.
මහා නිපාතය
447. මන්තාවතී නගරයෙහි කොඤ්ච නම් රජුගේ අගමෙහෙසිය කුස උපන් සුමේධා නම් දියැණිකෙනෙක් වූ යැ, ඕ ශාස්තෘශාසනකර වූ (ආර්‍ය්‍යයන් විසින්) සසුන්හි පහදවන ලද්දී යැ.
448. සිල්වත් වූ විසිතුරු ධර්‍මකථා ඇති බහුශ්‍රුත වූ බුදුසසුන්හි හික්මුණු සුමේධා මවුපියන් කරා එළැඹ ‘(ඔබ) දෙදෙන අසත්වා’යි මෙසේ කියා:
449. මම නිවනෙහි ඇලුම් ඇති වෙමි, දෙව්ලොවැ වූ ද භවගතය අශාශ්වත යැ, මානුසික කාම කියනු කිමැ, (ඔහු) තුච්ඡයෝ යැ අල්පාස්වාදයෝ යැ බොහෝ උවදුරු ඇත්තාහ.
450. බාලයෝ යම් කාමයෙක්හි මුසපත් වූවාහු ද ඒ කාමයෝ කටුකයෝ යැ ආශිර්විෂ සදෘශයහ, ඒ බාලයෝ නිරයෙහි පිහිටියාහු බොහෝ කලක් දුඃඛිත වැ (තුමූ මැ) පෙළෙත්.
451. පව්කම් ඇති පාපබුද්ධි ඇති ඔහු හැම කල්හි කයින් වචසින් මනසින් ද අසංවෘත වූවාහු නිරයෙහි ඉපිද ශෝක කෙරෙත්.