Therīgāthā

Verses of the Elder Nuns

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 775 segments

පෙන්වන කොටස් 301-400 න් 775

136. පියවි සිත් ලැබ වැඳ ඔබ කරා එළැඹුමු, ඒ ගොයුම්ගොත් බුදුහු මට අනුකම්පායෙන් දහම් දෙසූසේක.
137. ඔබගේ දහම් අසා සසුන්හි පැවිදි වූමු. බුද්ධ වචනයෙහි (භාවනානුයෝග වශයෙන්) යෙදෙමින් නිර්‍වාණ පදය පසක් කළමු.
138. තෙල නිවන කෙළවර කොට ඇති සියලු ශෝකයෝ මුලුසුන්හ. ප්‍රහීණයහ. යම් වස්තුයෙක ශෝකසම්භවය වේ ද, මා විසින් ඒ වස්තූහු ත්‍රිවිධ පරිඥායෙන් දන්නා ලදහ.
මෙසෙයින් වාසෙට්ඨි මෙහෙණ ගාථා කිවු ය.
වාසෙට්ඨි ථේරීගාථා යි.
139. ඛේමාවෙනි, තෝ යොවුන් විය පත් රූපවත්හු. මම ද යොවුන් පත් තරුණයෙමි. එව පසඟතුරුයෙන් රමණය කරම්හ.
140. ආතුර වූ බිඳෙන සුලු මේ කුණුකයින් පිළිකුල් කරමි. විළි ඇති කරමි, කාම තෘෂ්ණාවෝ මුලුසුන් කරන ලදහ.
141. කාමයෝ සැත්හුල් වැනියහ, ස්කන්‍ධයෝ ඔවුනට මස්ලොඹු වැනියහ, තෝ යම් කාම රතියක් කියෙහි ද, එය දැන් මට අරතියෙකි.
142. හැම තන්හි තෘෂ්ණා නසන ලදු, මොහඳුරු කඳ පළන ලදි, මාරය, මෙසේ දනුව, මාරය තෝ නටුයෙහි.
143. බාලයෝ නකත් වඳනාහු වනයෙහි ගිනිදෙවි පුදනුවෝ යථාභූතාර්‍ත්‍ථය නො දන්නාහු ශුද්ධිය සිතූහු.
144. මමත් පුරුෂෝත්තම සම්‍යක් සම්බුද්ධයන් වඳිමින් බුදුන්ගේ අනුසසුන්කරු වී හැම දුකින් මිදුණුමු.
මෙසෙයින් ඛේමාථේරී ගාථා කිවු ය.
ඛේමා ථේරීගාථා යි.
145. අලඞ්කෘත ව මනා අච්ඡාදන ඇති ව මල්දම් ධර ව චන්‍දනකල්කයෙන් අනුලිප්ත ව සර්‍වාභරණයෙන් ගැවසූ සිරුරු ඇති ව දැසි ගණයා විසින් පුරස්කෘත ව-
146. ආහාර හා පානවර්‍ග ද අනල්ප ඛාද්‍ය භෝජ්‍ය ද ගෙන ගෙයින් නික්මැ උයනට එළැවීමි.
147. ඒ උයන්හි රමණය කොට කෙළැ සියගෙට එන මම සාකේත නුවර සමීපයෙහි වූ අඤ්ජනවන විහාරය දක්නට පිවිසීමි.
148. ලොවට පහන් වැනි බුදුන් දැක වැඳැ ඔබ කරා එළැඹීමි, ඒ පසැස් වූ බුදුහු අනුකම්පායෙන් මට දහම් දෙසූහු.
149. මහර්ෂි බුදුන්ගේ බස් අසා මම සත්‍යප්‍රතිවේධ කළමු, ඒ අසුන්හි මැ විරාග ධර්‍ම සඞ්ඛ්‍යාත අමෘතපදය පසක් කළමු.
150. ඉක්බිති දත් දහම් ඇති ව සසුන්හි පැවිදි වීමි. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුසසුන් නො සිස් වෙයි.
මෙසෙයින් සුජාතාථේරී ගාථා කිවු ය.
සුජාතා ථේරීගාථා යි.
151. මම බොහෝ තුෂ්ටිජනක ද්‍රව්‍ය ඇති මහද්ධන ඇති උදාර වූ වෛශ්‍යකුලයෙහි උපන්මු. වර්‍ණයෙන් හා රූපයෙන් සම්පන්න වැ මේඝ නම් සිටු හට උරදා දුවක් වූමු.
152. රජ දරුවන් විසින් පතන ලදුමු, සිටු දරුවන් විසින් කැමති වන ලදුමු, “මට අනෝපමා දුව දෙව”යි මාපිය හට දූතයකු එවී.
153. තොපගේ දූ වූ තෙල අනෝපමාව යම්තාක් ධන වටතී තුලනා කරන ලදු ද, එයට වඩා අටගුණයක් හිරණ්‍ය හා රත්න දෙමි, කියා යි.
154. ඒ මට ලෝකජ්‍යේෂ්ඨ වූ අනුත්තර වූ සම්බුදුන් දැක ඔබගේ පා වැඳ එකත්පස් වැ හුනුමු.
155. ඒ ගොයුම්ගොත් බුදුහු අනුකම්පායෙන් මට දහම් දෙසූහු, ඒ අසුන්හි හුන් මම අනගැමිඵල පසක් කළමු.
156. ඉක්බිති කෙස් බහා සසුන්හි පැවිදි වූමු, යම් දිනෙක තෘෂ්ණා නස්නා ලදු ද, එතැන් සිට මට අද සත්වන දිනය යි.
මෙසෙයින් අනෝපමාථේරී ගාථා කිවු ය.
අනෝපමා ථේරීගාථා යි.
157. යමෙක් සසරදුකින් මා හා අන්‍ය බොහෝ ජනයාත් මුදාලී ද සර්‍ව සත්‍වෝත්තම වූ බුද්ධවීරයන් වහන්ස, ඒ තොප වහන්සේට නමස්කාර වේවා!
158. මා විසින් හැම දුක් සර්‍වාකාරයෙන් දන්නා ලද, හේතු තෘෂ්ණාව නස්නා ලදු, අරිඅටඟිමඟ ද නිරෝධය ද ඥානස්පර්‍ශයෙන් පහස්නා ලදි.
159. මම (ප්‍රවෘත්ති හේතු ආදි) යථාභූතාර්‍ත්‍ථය නො දන්මින් සසරමුහුදෙහි පිහිටක් නො ලබමින් අපරාපරොත්පත්ති විසින් සැරිසැරීමි. අතීතයෙහි වරෙක මවු වූමු, වරෙක පුත් වූමු, වරෙක පිය වූමු වරෙක සොහොයුරු වූමු, වරෙක මුත්නු වූමු.
160. මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ නුවණැසින් දක්නා ලදහ. මේ අන්තිම දේහය වෙයි. ජාති සංසාරය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැත.
161. රුකුළු වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇති සතතයෙන් දෘඪ පරාක්‍රම ඇති ශීලාදීන් සමග ව සිටි සව්වන් දකුමු. තෙල වන්‍දනා ඒ බුදුනට වෙයි.
162. මහාමායා තොමෝ බොහෝ දෙනාට වැඩ පිණිස මැ ගොයුම්ගොත් බුදුන් ප්‍රසව කළා (එසේ මැ යැ) ව්‍යාධි මරණ දෙකින් පෙළෙනුවන්ගේ දුඃඛරාශිය බැහැර කළේ යි.
මෙසෙයින් මහාප්‍රජාපතී ගෝතමී මෙහෙණ ගාථා කිවු ය.
මහාප්‍රජාපතී ගෝතමී ථේරීගාථා යි.
163. ගුත්තාවෙනි, ප්‍රිය වූ පුතු ද වස්තුව ද හැරපියා යම් ක්ලේශපරිනිර්‍වාණ ස්කන්‍ධ පරිනිර්‍වාණයක් සඳහා බ්‍රම්සරවස් කැමතිවන ලද ද එය මැ පුනපුනා වඩව, චිත්තවශයට නහමක් යා.
164. චිත්තයා විසින් නුළු කරනලද අවිද්වත් සත්ත්‍වයෝ මාරයාගේ විෂයෙහි ඇලුණාහු නොයෙක් ජාතිසංසාරයෙහි දිවෙති.
165. කාමච්ඡන්‍දය ව්‍යාපාදය සත්කායදෘෂ්ටිය ශීලව්‍රතපරාමර්‍ශය පස්වැනි විචිකිත්සා යි.
166. කාමධාතුවට පමුණුවන්නට නිසි තෙල සංයෝජනයන් අනගැමි මඟින් හැරපියා මෙහෙණ නැවත මේ භවයට නො ඒ.
167. රූපාරූපරාග ද මානය ද අවිද්‍යා ද ඖද්ධත්‍යය ද හැර පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයනුදු සිඳ දුක් කෙළවර කරව.
168. ජාතිසංසාරය ක්‍ෂය කොට පුනර්‍භවය පිරිසිඳ ගෙන ඉහාත්මයෙහි ම නිස්තෘෂ්ණ වැ උපශාන්ත වැ ඉරියව් පවත්ව.
මෙසෙයින් ගුත්තා මෙහෙණ ගාථා කිවු යැ.
ගුත්තා ථේරීගාථා යි.
169. චිත්තයෙහි අවශවර්තී වැ චිත්තශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් නික්ම ගියමු.
170-171. ඛේමා මෙහෙණ කරා එළඹ මම සකසා පරිපෘච්ඡා කළමු. මට නිර්‍වාණප්‍රාප්තිය සඳහා ධාතු ආයතනයෝ යැ චතුරාර්‍ය්‍ය සත්‍යයෝ යැ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ යැ ශ්‍රද්ධාදි බලයෝ යැ බෝධ්‍යඞ්ග හා අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන දහම් දෙසූ.
172. මම ඇයගේ බස් අසා අනුසසුන් කරමින් රැය පළමු යමැ පූර්‍වනිවාසානුගත ඥානය සිහි කළමු.
173. රැය මැදුම් යමැ දිවැස් ශුද්ධ කළමු. රැය පැසිම් යමැ මෝහස්කන්‍ධය බිඳ ලූමු.
174. එකලැ ප්‍රීතිසුඛයෙන් නාම කය ස්පර්‍ශ කොට ගෙන වාස කළමු. සත්වන දින මෝහස්කන්‍ධය බිඳපියා පාදප්‍රසාරණ ද කළමු.
මෙසෙයින් විජයා මෙහෙණ ගාථා කිවු යැ.
විජයා ථේරීගාථා යි.
ඡක්කනිපාතය නිමි.
7. සත්තක නිපාතය.
175. මනුෂ්‍යයෝ මොහොල් ගෙන ධාන්‍ය කොටති. මනුෂ්‍යයෝ අඹුදරුවන් පුස්නාහු ධනය ලබත්.
176. යම් අනුශාසනාවක් කොට පසුව නො තැවේ ද ඒ බුද්ධානුශාසනාවෙහි ව්‍යායාම කරව. වහා දෙපා දොවා එකත්පසෙක හිඳගනුව.
177. සිත එකඟ කොට සුසමාහිත කොට එළවාගෙන සංස්කාරයන් අනාත්ම වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරව, ආත්ම වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා නො කරව.
178. මම ඇයගේ මේ පටාචාරානුශාසනා වචනය අසා දෙපා දෙව එකත්පසෙක හිඳගතුමු.
179. රැය පෙර යමැ පූර්‍වනිවාසය සිහි කළමු. රැය මැදුම් යමැ දිවැස ශුද්ධ කළමු.
180. රැය පැසුළුයමැ මෝහස්කන්‍ධය බිඳ ලූමු. ඉක්බිති ත්‍රිවිද්‍යාප්‍රාප්ත වැ නැඟී සිටියමු. තොපගේ අනුසසුන් කළමු.
181. ත්‍රිදශදෙවියන් සඞ්ග්‍රාමයෙහි ලා දිනූ ශක්‍රයා වට කොට සිටුනාක් සෙයින් පෙරටු කොට ගෙන වාස කරමි. ආස්‍රව රහිත වැ ත්‍රිවිද්‍යාප්‍රාප්ත වැ වාස කරමි.
මෙසෙයින් උත්තරා මෙහෙණ ගාථා කිවු යැ.
උත්තරා ථේරීගාථා යි.
182. කායාදියෙහි සිහි එළවා (ආර්‍ය්‍යමාර්‍ගභාවනායෙන්) භාවිත ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ සර්‍වසංස්කාරයනට උපශම හේතු වූ අත්‍යන්තසුඛ නිර්‍වාණ පදය ප්‍රතිවේධ කළා, (චාලා මෙහෙණ මරුට මෙසේ කිවු යැ)
183. (තෙපි) කවරක්හු උදෙසා මුඬු කළහු, මෙහෙණක සෙයින් දක්නහු. පාෂණ්ඩන් නො රුස්නහු, සම්මූඪ වැ කුමට ඇවිදිනහු ද? (මාරයාගේ බසි.)
184. ශාශ්වතාදි දෘෂ්ටින් ඇසුරු කළ පාෂණ්ඩයෝ මෙසස්නෙන් බැහැර වෙති, ඔහු ධර්‍මය නො දනිති, ඔහු ධර්‍මකෝවිද නො වෙති.
185. ශාක්‍යකුලයෙහි ජාත වූ අප්‍රතිපුද්ගල වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත, උන් වහන්සේ මට දෘෂ්ටි සමතික්‍රමණොපාය වූ දහමක් දෙසූහ.
186. දුඃඛසත්‍ය යැ දුඃඛසමුදයසත්‍ය යැ දුඃඛනිරෝධසත්‍ය යැ දුක්ඛොපශමය කරා පමුණුවන ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග සත්‍ය යැ යන මේ යැ.
187. මම උන් වහන්සේගේ බස් අසා සස්නෙහි ඇලුම් ඇති වැ වාස කළමු, ත්‍රිවිධ විද්‍යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
188. හැම තැන්හි තෘෂ්ණා නසන ලදු, මෝහස්කන්‍ධය බිඳිනලදී. පවිටු මාරය මෙසේ දනු, අන්තකය තෝ නටුයෙහි.
මෙසෙයින් චාලා මෙහෙණ ගාථා කිවු යැ.
චාලා ථේරීගාථා යි.
189. ස්මෘතිමත් වූ ප්‍රඥාචක්‍ෂුසින් චක්‍ෂුර්මත් වූ වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් සෙවුනා ලද ශාන්තපද සඞ්ඛ්‍යාත නිවන ප්‍රතිවේධ කළා, (උපචාලා මෙහෙණ මෙසේ උදන් ඇනූ.)
190. යම්හෙයකින් ජාතිය නො රුස්නහු නම්, එයට කරුණු කිම. උපන්නේ රූපාදි කාමයන් වළඳ කෙරේ. කාමරති වළඳව. පසු වැ නො තැවෙනු වව. (මාරයා කී.)
191. උපන්නාහට මරණ වෙයි. (උපන් හෙයින්) අත්පා සිඳුම් වෙයි. ජීවිතහානි මුෂ්ටිප්‍රහාරාදි වධ පරික්ලේශ හා (කාරාගෘහවාසාදි) බන්‍ධ පරික්ලේශ වෙයි, මෙසෙයින් උපන්නේ දුකට පැමිණෙයි.
192. ශාක්‍යකුලයෙහි උපන් අපරාජිත වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත. උන් වහන්සේ මට ජාති සමතික්‍රමණොපාය වූ දහමක් දෙසූසේක.
193. දුඃඛසත්‍ය යැ දුඃඛසමුදයසත්‍ය යැ දුඃඛනිරෝධසත්‍ය යැ දුඃඛොපශමය කරා පමුණුවන ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගසත්‍ය යි.
194. මම උන් වහන්සේගේ වචන අසා සස්නෙහි ඇලුම් ඇති වැ වාස කළමු. (මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරන ලදි.
195. හැම තන්හි නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණා නසන ලදු. මෝහස්කන්‍ධය පළන ලද්දේ යැ. පවිටු මාරය මෙසේ දනුව. අන්තකය තෝ නටුයෙහි.
මෙසෙයින් උපචාලා මෙහෙණ ගාථා කිවු යැ.
උපචාලා ථේරීගාථා යි.
සත්තකනිපාතය නිමි.
8. අට්ඨකනිපාතය
196. පරිශුද්ධශීලයෙන් යුක්ත වූ ඉන්‍ද්‍රියයෙහි මොනොවට සංවෘත වූ මෙහෙණ අව්‍යාසේක වූ ස්වභාවමධුර වූ ශාන්තපද සඞ්ඛ්‍යාත නිර්‍වාණය ලබන්නී යැ. (සිසූපචාලා මෙහෙණ කිවු යැ.)
197. යම් දෙවි කෙනකුන් කෙරෙහි පෙර තී විසින් වාස කරන ලද ද යම් තව්තිසාවැසි දෙවි කෙනෙක් ඇද්ද, යාම දෙවි කෙනෙක් ඇද්ද, තුෂිත දෙවිකෙනෙක් ඇද්ද, නිම්මාණරති දෙවි කෙනෙක් ඇද්ද, වශවර්ති දෙවි කෙනෙක් ඇද්ද ඔවුන් කෙරෙහි සිත් පිහිටුවාලව, (මාරයා කී.)
198. තව්තිසාවැසි වූත් යාමවැසි වූත් තුෂිතවැසි වූත්, යම් දෙවි කෙනෙක් ඇද්ද, නිම්මාණරති වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද, යම් වශවර්ති දෙවි කෙනෙක් ඇද්ද, (ඔහු හැම)
199. ඒ ඒ කල භවයෙන් භවයෙහි ස්කන්‍ධපඤ්චකයෙහි පුරස්කෘත්‍යකාරීව පිහිටියාහු වෙති. ස්කන්‍ධපඤ්චකය ඉක්ම නොගියාහු ජාතිමරණ අනුව යන්නාහු වෙති.
200. හැම ලොව රාගාදීන් ඇවිළැගත්තේ වෙයි, හැම ලොව එයින් මැ ප්‍රදීප්ත වෙයි, හැම ලොව වෙසෙසින් ජ්වලිත වෙයි. හැම ලොව මෙසේ ප්‍රකම්පිත වෙයි.
201. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කම්පා නො කළ හෙන තුලනා නො කළ හෙන ආර්‍ය්‍යයන් විසින් සෙවුනා ලද නවලොව්තුරා දහම් දෙසූසේක, එහිලා මාගේ සිත නිරත වෙයි.
202. මම ඔබගේ බස් අසා ශාසනයෙහි නිරතවැ වාස කළමු. ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුද්ධශාසනය කරන ලදි.