Therīgāthā

Verses of the Elder Nuns

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 775 segments

පෙන්වන කොටස් 101-200 න් 775

28. සඟළ අත්පසැ තබා පාත්‍රය ද යටිහුරු කොට තබා ශෛලපර්‍වතයෙහි හිඳ මෝහස්කන්‍ධය ප්‍රදාරණ කොට ස්කන්‍ධසන්තාන සඞ්ඛ්‍යාත ආත්මය මතු නූපදනා බවට පැමිණවීමෙන් විෂ්කම්භණ කළමු.
මෙසෙයින් චිත්තා මෙහෙණ ගාථා කිවු යැ.
චිත්තා ථේරීගාථා යි.
29. මම් (රොවින් පෙළීමෙන්) උපන් දුක් ඇති වැ එයින් මැ දුබල වැ ඉක්මගිය යොවුන් බව ඇත්තී වෙමි. සැරයටිය එල්බගෙන යමි. එතෙකුදු වුව (ගිජුකුළු පව්වට නැඟී -)
30. සඟළ සිවුර අත්පසැ තබා පාත්‍රය ද යටිහුරු කොට තබා ශෛලපර්‍වතයෙහි හුන්මු තදනන්තර වැ (වීර්‍ය්‍යසමතායෙහි යොදනලද බැවින්) මාගේ සිත ආස්‍රවයන් කෙරෙන් මිදිණ. මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබනලදහු. බුදුරදුන්ගේ අනුසසුන් කරන ලද.
මෙසෙයින් මෙත්තිකා මෙහෙණ ගාථා කිවු යැ.
මෙත්තිකා ථේරීගාථා යි.
31. මම් දිව්‍යකාය ප්‍රාර්‍ත්‍ථනා කරමින් පක්‍ෂය සම්බන්‍ධ තුදුස්වක් පසළොස්වක් දිනයෙහි දු ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂ (තෙළෙස්වක, පෑළවිය, සතවක, නවවක දින) යෙහි දු අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් වූසුමු.
32. මම් අද එක් වේලේ වළඳන බතින් යුතු වැ මුඩු කළ කෙහෙ ඇති වැ සඟළ සිවුරු පෙරෙවි සිරුරු ඇති වැ හෘදයෙහි ක්ලේශදරථ හැරපියා දිව්‍යනිකාය නො පතමි.
මෙසෙයින් මෙත්තා මෙහෙණ ගාථා කිවු යැ.
මෙත්තා ථේරීගාථා යි.
33. මෑණියෙනි, පාදතලයෙන් උඩ කේශමස්තකයෙන් යට මේ අපවිත්‍ර වූ කුණුගඳ හමන කය නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කරව.
34. මෙසේ (පුතණුවන් අභය තෙරණුවන්ගේ ඔවා පරිදි, අනිත්‍යානුදර්‍ශනාදි විසින්) වාස කරන මා විසින් හැම රාගය (රහත් මඟින්) නසන ලද. හැම ක්ලේශපරිදාහ සිඳුනා ලද, (එහෙයින් මැ) සිසිල් වූමු. (සඋපාදිසේසනිබ්බාන ධාතුයෙන්) නිවියා වෙමි.
මෙසෙයින් අභයමාතා මෙහෙණ ගාථා කිවු යැ.
අභයමාතා ථේරීගාථා යි.
35. අභයාවෙනි, යම් කයෙක පුහුදුන්හු ලැගුණාහු වෙත් ද ඒ කය බිඳෙන සුලු යැ, (එකරුණ) මැනැවින් දන්නා සිහිනුවණ ඇති මම් මේ කය නිරපේක්‍ෂක වැ හැරපියමි.
36. (ජාති ජරාදි) බොහෝ වූ දුඃඛධර්‍මයෙන් පහස්නාලද (එයින් මැ) අප්‍රමාදයෙහි ඇලුණු මා විසින් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන ලබන ලද. බුදුරදුන්ගේ අනුසසුන් කරනලද.
මෙසෙයින් අභයා මෙහෙණ ගාථා කිවු යැ.
අභයා ථේරීගාථා යි.
37. යම් දවසෙක පටන් මම් (විරියසමතා නැතියෙන්) සිත්හි වශී වැ නො පවත්මින් (එහෙයින් මැ) චිත්තශාන්තිය (ආර්‍ය්‍යමාර්‍ගසමාධිය) නො ලැබ රැය සතර පස් වරක් වෙහෙරින් නික්ම ගියමු ද,
38. ඒ මා විසින් අට වැනි රාත්‍රියෙහි තෘෂ්ණාව නසන ලදු. බොහෝ වූ දුඃඛ ධර්‍මයෙන් පහස්නා ලද. (එහෙයින් මැ) අප්‍රමාදයෙහි ඇලුණු මා විසින් නිවන් ලබනලද. බුදුරදුන්ගේ අනුශාසනා කරන ලදි.
මෙසෙයින් සාමා මෙහෙණ ගාථා කිවු යැ.
සාමා ථේරීගාථා යි.
දුකනිපාතය නිමි.
3. තිකනිපාතය
39. පැවිදි වූ තැන් පටන් කොට මට පස්විසිවසක් ගෙවී ගියේ යැ. (මේ දෑතුර) කිසි කලෙක ලද චිත්තෝපශමයක් නො දනිමි.
40. භාවනා චිත්තයෙහි වශවර්තිභාවයක් නැති මම චිත්තශාන්තියක් නො ලැබ එයින් ජිනශාසනය සිහි කොට සංවේගයට පැමිණියමු.
41. (ජාතිජරාදි) බොහෝ දුඃඛධර්‍මයන් විසින් පහරන ලද අප්‍රමාදයෙහි ඇලුණු මට තෘෂ්ණාක්‍ෂය ලැබිණ, මවිසින් බුදුධශාසනය කරන ලද. තෘෂ්ණා වියළුණු තැන් පටන් කොට අද මට සත්වන දින වෙයි.
මෙසෙයින් සාමා මෙහෙණ ගාථා කිවු යැ.
සාමා ථේරීගාථා යි.
42. චිත්ත භාවනායෙහි වශවර්තී භාවයක් නැති මම චිත්ත ශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් බැස ගියෙමු.
43. මා විසින් ශ්‍රාද්ධෙය වූ (ඇදහියයුතු වූ) යම් මෙහෙණක් වූ ද මම ඒ මෙහෙණ කරා එළැඹියා වෙමි. ඒ මෙහෙණ ස්කන්‍ධ ධාතු ආයතන නිඃශ්‍රිත වූ දහමක් දෙසූ.
44. යම් පරිදි ඒ මෙහෙණ මට අනුශාසනා කළා ද ඇගේ ධර්‍මානු ශාසනය අසා සුඛසමර්පිත වැ සත් දිනක් එක් පලගෙහි හිණිමි. මෝහස්කන්‍ධය පළාපියා අටවන දින පා දිගු කළමු.
මෙසෙයින් උත්තමා මෙහෙණ ගාථා කිවු යැ.
උත්තමා ථේරීගාථා යි.
45. නිර්‍වාණප්‍රාප්තියට මාර්‍ග වූ යම් සප්තබෝධ්‍යඞ්ග කෙනෙක් ඇද්ද ඒ හැම මා විසින් බුදුරදුන් දෙසන ලද පරිදි භාවිතයහ.
46. ශූන්‍යතසමාපත්තිය ද අනිමිත්තසමාපත්තිය ද කැමති සේ ලබන, බුදුරදුන්ගේ ඖරස දුහිතෘ වූ මම් හැම කල්හි නිවන්හි ඇලුණුමු.
47. දිව්‍යමය වූත් මනුෂ්‍යමය වූත් යම් වස්තු කාම කෙනෙක් ඇද්ද ඒ හැම කාමයෝ මා විසින් සමුච්ඡේද විසින් සිඳුනා ලදහ. ජාති සංසාරය ක්‍ෂය කරන ලද, මින් මතු පුනර්‍භවයෙක් නැති.
මෙසෙයින් අන්‍ය උත්තමා නම් මෙහෙණක් ගාථා කිවු යැ.
උත්තමා ථේරීගාථා යි.
48. (මම්) ගිජුකුළු පව්වෙහි දිවාවිහාරයෙන් නික්ම සප්පිනිකා නදී තීරයෙහි දී දියෙහි බැස ගොඩ ආ ඇතක්හු දුටුමු.
49. පුරුෂයෙක් අකුස්සක් ගෙන පය දෙවයි ඉල්වයි, ඇත් පාද ප්‍රසාරණ කෙළේ යැ, පුරුෂ තෙම ඇතු පිට නැංගේ යි.
50. (පෙර) අදාන්ත වූ (ඇතරුවන්) විසින් දමනය කරනලද (එහෙයින් මැ) මිනිසුන්ගේ වසයට ගිය (ඇතු දැක) ඉක්බිති ඒ (ඇතුගේ) ක්‍රියා හේතුවින් මැ අරණට ගිය මම චිත්තසමාධාන කළමු.
මෙසෙයින් දන්තිකා මෙහෙණ ගාථා කිවු යැ.
දන්තිකා ථේරීගාථා යි.
51. උබ්බිරිය, තෝ ‘ම දියණියනි, ජීවන්තියෙනි’යි ආහ්වාන කෙරෙහි උබ්බිරිය (පළමු) තමා දනුව, තෙල සොහොන්හි සූවාසු දහසක් දෙනා දවන ලද, හැම දෙනා ජීවන්තිය සමාන නම් ඇත්තාහ. උන් කෙරෙහි කවරක සඳහා ශෝක කරව.
52. යම් හෙයකින් සොවින් මඬනා ලද මා ගේ දුහිතෘශෝකය බැහැර කළ සේක් ද, එහෙයින් දැක්ක නො හෙන හදවත් ඇසිරි කළ මාගේ ශෝකශල්‍යය උපුළසේක් මැ යි.
53. ඒ මම් අද උපුළ හුල් ඇති වැ තෘෂ්ණා රහිත වැ (එහෙයින් මැ කෙලෙස් පිරිනිවනින්) පිරිනිවියා සර්‍වඥ වූ බුදුනුදු දහමුදු සඟුනුදු සරණ කොට එළඹෙමි.
මෙසෙයින් උබ්බරී මෙහෙණ ගාථා කිවු යැ.
උබ්බරී ථේරීගාථා යි.
54. යම් කෙනෙක් බුද්ධානුශාසනය දෙසන සුක්කා මෙහෙණ කරා නො එළඹෙත් ද රජගහනුවර වැසි මේ මිනිස්හු කුමක් කළාහු මධුපානය කළවුන් සෙයින් හිඳිත් ද?
55. නුවණැති පුරුෂයෝ (ශ්‍රෝතෲන්ගේ කන් පිණවනුයෙන්) නො බැහැර කළ හෙන පියවින් මැ රසවත් වූ එයින් මැ ඔදවත් වූ ඒ දහම (කාන්තාරයෙහි දී) මාර්ගිකයන් මේඝජලය බොන්නාක් මෙන් (සවන් දෝතින්) බොති’ සිතම්.
56. සුක්කා මෙහෙණ කුශල ධර්‍මයෙන් යුක්ත වැ පැහූ රාග ඇත්තී රහත් ඵලසමවතට වැදුණී වාහිනී සහිත මාරයා පරදවා අන්තිම දේහය දරයි.
මෙසෙයින් සුක්කා මෙහෙණ ගාථා කිවු යැ.
සුක්කා ථේරීගාථා යි.
57. ලෝකයෙහි නිවනෙක් නැත, කාය විවේකයෙන් කුමක් කෙරෙහි, කාමක්‍රීඩාරති වළඳ කර, පසු වැ අනුතාප ඇති නො වා. (මාරයාගේ වචන යි.)
58. කාමයෝ විෂ පී සැත්හුල් වැනියහ. තෙල කාමයනට උපාදානස්කන්‍ධයෝ මස්ලොඹු වැනියහ. තෝ යම් කාමරතියක් කියෙහි ද ඒ දැන් මට අරතියෙකි.
59. හැම විෂයෙහි තෘෂ්ණා නසන ලද. මෝහස්කන්‍ධය පළන ලදි, මාරය මෙසේ දනුව. මාරය තෝ නටුයෙහි.
මෙසෙයින් සෙලා මෙහෙණ ගාථා කිවු යැ.
සෙලා ථේරීගාථා යි.
60. බුද්ධාදි ඍෂින් විසින් පැමිණිය යුතු (තදන්‍යයන් විසින්) දුකසේ නිපදවාලියහෙන අර්‍හත්ත්‍ව සඞ්ඛ්‍යාත යම් පරමාශ්වාස කාරණයෙක් ඇද්ද එය දෑගිලි නුවණැති ස්ත්‍රිය විසින් පැමිණෙන්නට නො හැක්ක.
61. සිත අර්‍හන්මාර්‍ග සමාධියෙන් මොනොවට සමාහිත කල්හි රහත් මාර්‍ගඥානය පවත්නා කල්හි සිව්සස් දහම් පරිඥා දි විසින් මොනොවට දක්මින් සිටිය දී ස්ත්‍රිභාවය අපට කුමක් කරන්නේ ද?
62. හැම විෂයෙහි තෘෂ්ණා නසන ලද, මෝහස්කන්‍ධය පළන ලදි, මාරය මෙසේ දනුව, මාරය තෝ නටුයෙහි.
මෙසෙයින් සෝමා මෙහෙණ ගාථා කිවු යැ.
සෝමා ථේරීගාථා යි.
තිකනිපාතය නිමි.
4. චතුක්කනිපාතය
63. සම්‍යක් සම්බුද්ධයන්ගේ අනුජාත පුත්‍ර වූ එහෙයින් මැ ඔබගේ දායාද වූ මොනොවට සමාහිත සිත් ඇති යම් කාශ්‍යප නම් ස්ථවිර කෙනෙක් පෙර විසූ කඳ පිළිවෙළ දත්තාහු ද ස්වර්‍ගය හා අපාය හා දිවැසින් දකිත් ද,
64. යළි ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණියාහු ද මේ ත්‍රිවිද්‍යාවන් හේතු කොට ගෙන ත්‍රිවිද්‍යාප්‍රාප්ත බ්‍රාහ්මණ වෙත් ද,
65. එසෙයින් මැ භද්‍රාකාපිලානී මෙහෙණ ත්‍රිවිද්‍යා ඇත්තී මරු පළවා හරින සුලුවී සෙන් සහිත මරු දිනා අන්තිම ශරීරය ධරයි.
66. අපි දෙදෙනමෝ ලොව ආදීනව දැක ඒ අපි උත්තමදමනයෙන් දැමුණමෝ ක්‍ෂීණාස්‍රව වූම්හ.
මෙසෙයින් භද්‍රාකාපිලානී මෙහෙණ ගාථා කිවු යැ.
භද්දාකාපිලානී ථේරීගාථා යි.
චතුක්ක නිපාතය නිමි.
5. පඤ්චකනිපාතය
67. යම් තැනක පටන් පැවිදි වූ මම් පස්විසිවසක් මුළුල්ලෙහි අසුරුසන් ලන පමණ ඇසිල්ලකුදු චිත්තෝපශමය නො ලත්මු.
68. කාමරාගයෙන් තෙත් වැ චිත්තශාන්තියක් නො ලැබ මම් දෙ අත් බැඳ හඬමින් විහාරයට පිවිසීමි.
69. යම් (ධම්මදින්නා) මෙහෙණක් මා විසින් හැදැහිය යුතු වූ ද මම් ඒ මෙහෙණ කරා එළඹීමි. ඒ මෙහෙණ මට ස්කන්‍ධායතනධාතූන් (පිළිබඳ) දහම් දෙසූ.
70. ඇගේ දහම් අසා එකත්පස්හි හිනිමි. මම් පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. මා විසින් දිවැස පිරිසිදු කරන ලද.
71. චේතෝපරියඤාණය ද පිරිසිදු කරන ලද. දිබ්බසොතධාතුව ද පිරිසිදු කරනලදු. මා විසින් ඍද්ධිය පසක් කරන ලදු. මා විසින් ආස්‍රවක්‍ෂය ලබනලද, ෂඩභිඥා ප්‍රත්‍යක්‍ෂ කරන ලදහු. බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් එක්තරා මෙහෙණක් ගාථා කිවු යැ.
අඤ්ඤතරා ථේරීගාථා යි.
72. මම් වර්‍ණයෙන් රූපයෙන් සෞභාග්‍යයෙන් හා යසසින් ද මත් වූමු. යෞවන මදයෙන් තදමත් ඇති වැ අන්‍ය ස්ත්‍රීන් ඉක්මවා සිතූමු.
73. මොනොවට විසිතුරු කළ (මම යැ මාගේ යැයි) බාලයනට කියවන මේ කය සරසාගෙන මලපුඬු එව මුව වැද්දකු සෙයින් වේශීගෘහද්වාරයෙහි සිටියමු.