Therīgāthā

Verses of the Elder Nuns

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 775 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 401-500 න් 775

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-thig:48.10
203. හැම තැන තෘෂ්ණා නසන ලදු, මෝහස්කන්‍ධය බිඳිනලදි. පවිටු මාරය මෙසේ දනු, අන්තකය තෝ නටුයෙහි.
kn-thig:48.11
මෙසෙයින් සිසූපචාලා මෙහෙණ ගාථා කිවු යැ.
kn-thig:48.12
සිසූපචාලා ථේරීගාථා යි.
kn-thig:48.13
අට්ඨකනිපාතය නිමි.
kn-thig:50.1
9. නවකනිපාතය
kn-thig:50.2
9. 1.
kn-thig:50.3
204. දරුව වඩ්ඪය, සත්ත්‍වලෝකයෙහි හා සංස්කාර ලෝකයෙහි ද ක්ලේශතෘෂ්ණායෙක් තට කිසි කලෙක නහමක් වේවා, පුනපුනා ජාති ආදි දුකට නහමක් හිමි වේවා.
kn-thig:50.4
205. වඩ්ඪය, තෘෂ්ණා රහිත වූ ප්‍රහීණ වූ විචිකිත්සා ඇති ක්ලේශාභාවයෙන් සිහිල් වූ ඉන්‍ද්‍රියදමනයට පැමිණි ක්‍ෂීණාස්‍රව වූ මුනීහු සුවසේ වෙසෙත්.
kn-thig:50.5
206. වඩ්ඪය, තෝ ඒ ක්‍ෂීණාස්‍රව ඍෂීන් විසින් පිළිපදනා ලද ශමථ විදර්‍ශනා මාර්‍ගය ඥාන දර්‍ශනයාගේ අධිගමය පිණිස සියලු වෘත්තදුඃඛය කෙළවර කරනු පිණිස වඩව.
kn-thig:50.6
207. මෑණියෙනි, තෙපි විශාරද ව මෙන් තෙල ඔවා මට කියන්නහු යැ, මාගේ මෑණියෙනි, එකත්නෙන් තොපට ගෘහශ්‍රිත ප්‍රේම මාත්‍ර වනථයෙකුදු නැතැ’යි හගිමි.
kn-thig:50.7
208. වඩ්ඪය, හීන උත්කෘෂ්ට මධ්‍යම වූ යම් කිසි සංස්කෘත ධර්‍ම කෙනෙක් ඇද්ද ඔවුනතුරෙහි අණු වූ ද අණුමාත්‍ර වූ ද වනථයෙක් මට නැත.
kn-thig:50.8
209. අප්‍රමාද වැ ධ්‍යාන කරන මට හැම ආස්‍රවයෝ ක්‍ෂය වූහ, මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ, බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
kn-thig:50.9
210. මාගේ මව අනුකම්පා ඇතියක සෙයින් (‘මා සු තෙ වඩ්ඪ ලෝකම්හි’ ආදී) පරමාර්‍ත්‍ථ සංහිත වූ මහත් වූ අවවාද පතොදයක් පැවැත් වූ යැ.
kn-thig:50.10
211. මම ඒ මවගේ අනුශාසනා වචන අසා යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත නිවනට පැමිණෙනු පිණිස ධර්‍මසංවේගයට පැමිණියෙමි.
kn-thig:50.11
212. ඒ මම දවරැය නො මැලි වැ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් නිවනට මෙහෙයූ සිත් ඇතියෙම් මව විසින් චෝදනා කරන ලද්දෙම් අනුත්තර ශාන්ති සඞ්ඛ්‍යාත නිවන පසක් කෙළෙමි.
kn-thig:50.12
මෙසෙයින් වඩ්ඪමාතා මෙහෙණ ගාථා කියූ.
kn-thig:50.13
වඩ්ඪ මාතා ථේරීගාථා යි.
kn-thig:50.14
නවකනිපාතය නිමි
kn-thig:52.1
11. ඒකාදශනිපාතය
kn-thig:52.2
11. 1.
kn-thig:52.3
213. ශාස්තෲන් වහන්සේ විසින් සත්ත්‍වලෝකය උදෙසා කල්‍යාණමිත්‍ර භාවය පසස්නා ලදි. කල්‍යාණමිත්‍රයන් සෙවුනා (පළමු) මූඪ වූයේ පවා (පසු වැ) පණ්ඩිත වන්නේ යැ.
kn-thig:52.4
214. (බුද්ධාදි) සත්පුරුෂයෝ භජන කළ යුත්තාහ. එසේ භජන කරනුවන් ගේ ප්‍රඥා වැඩෙයි. සත්පුරුෂයන් භජනය කරන්නේ හැම (ජාත්‍යාදි) දුකින් මිදෙන්නේ යැ.
kn-thig:52.5
215. (සත්පුරුෂයන්) සෙවුනේ, දුඃඛයත් දැනගන්නේ යැ. දුඃඛයාගේ සමුදයත් නිරෝධයත් (නිරෝධොපාය වූ) අෂ්ටාඞ්ගිකමාර්‍ගයත් (යන) සතර ආර්‍ය්‍යසත්‍යය දැනගන්නේ යැ.
kn-thig:52.6
216. පුරුෂදම්‍යසාරථි වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රීභාවය දුකැ’යි වදාරන ලද. සපත්නින් ඇති බව ද දුකෙකි. ඇතැම්හු වරක් වැදුවාහු - (විජායන දුක් නො සහමින්)
kn-thig:52.7
217. සිය ගෙල ද සිඳුති, සියුමැලියෝ විස කති, කුක්‍ෂිගතමූඪගර්‍භ ඇත්තාහු (ගර්‍භ - ගර්‍භනී) දෙදෙන මැ මරණාන්තික ව්‍යසනයනට පැමිණෙති.
kn-thig:52.8
218. ළං වැ සිට වදන කල් ඇති වැ ගෙට යන මම සිය ගෙට නො පැමිණ මැ මඟ දරුවන් වදා (පිහිට පිණිස ගිය) හිමියා මළහු දුටුමු.{*}
kn-thig:52.9
219. දුගී වූ මාගේ පුත්‍රයෝ දෙදෙන කලුරිය කළහ. හිමියා ද මඟ මළේ යැ, එක් මැ දරසෑයෙහි මවු පිය සොහොවුරු දැවෙති, (ඒ ද දුටුමු.){*}
kn-thig:52.10
220. ක්‍ෂය වැ ගිය කුලගොත් ඇත්තීය, දිළිඳු තැනැත්තිය, තී විසින් අප්‍රමාණ දුක් වළඳනා ලදි. බොහෝ දහස්ගණන් ජාතියෙහි තීගේ කඳුළු ද පැවැතිණ.{*}
kn-thig:52.11
221. සොහොන් මැද වුසූමු, යළිදු පුත්‍ර මාංශ කන ලදි, නටකුල ඇති වූමු. සර්‍වජනයා විසින් ගර්හිත වූමු, මළ හිමියා ඇතියක වූමු, (එතෙකුදු වුව) නිවන් අවබෝධ කළා.{*}
kn-thig:52.12
222. මා විසින් අමෘතගාමී වූ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගය භාවිත විය. නිවන් පසක් කරනලදි, මෙසේ මම ධර්‍මමය ආදර්‍ශය දිටීමු.
kn-thig:52.13
223. මම සිඳලූ රාගාදි හුල් ඇති ව බහා තැබූ කෙලෙස් බර ඇති වූමු. (පරිඥාතාදි සොළොස්) කරණී කරන ලදි. මිදුණුසිත් ඇති කිසාගෝතමී මෙහෙණ මෙ කරුණ කිවු යැ.
kn-thig:52.14
මෙසෙයින් කිසාගෝතමී මෙහෙණ ගාථා කිවු යැ.
kn-thig:52.15
කිසාගෝතමී ථේරීගාථා යි.
kn-thig:52.16
ඒකාදශකනිපාතය නිමි.
kn-thig:54.1
12. ද්වාදශනිපාතය
kn-thig:54.2
12. 1.
kn-thig:54.3
224. මවත් දුවත් යන අපි දෙදෙන සපත්නි වූම්හ, ඒ මට අද්භූත වූ ලොමුදහ ගන්වන සංවේගයෙක් වී.
kn-thig:54.4
225. නින්‍දා වේවා, කාමයෝ අපවිත්‍රයහ, දුර්‍ගන්‍ධයහ, බොහෝ කෙලෙස් කටු ඇතියහ. වැළඳිය යුතු යම් කාමයෙක් හි මවත් දුවත් යන අපි සපත්නී වූමෝ ද (ඒ කාමය යි.)
kn-thig:54.5
226. කාමයෙහි ආදීනව දැක නෛෂ්ක්‍රම්‍යය නිර්‍භය විසින් දැක ඕ තොමෝ රජගහනුවර දී ගිහිගෙන් නික්ම සසුන් ගත වූ යැ, (ගඞ්ගාතීරියථේරමාතු මෙහෙණ කී ගාථා ගෙන කාමාදීනව දක්වන පිණිස කිවු යැ.)
kn-thig:54.6
227. (මම) පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. (මා විසින්) දිවැස විශුද්ධ කරනලදි, චේතෝපරියඤාණය (පරසිත් දන්නානුවණ) ත් දිබ්බසෝත ධාතුවත් විශුද්ධ කරන ලදහ.
kn-thig:54.7
228. මා විසින් ඉදුහයෝ ද පසක් කරනලදහ. මා විසින් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන ලබනලද, ෂට් අභිඥාවෝ සාක්‍ෂාත්කෘතයහ, බුදුන්ගේ අනුසසුන් කරනලදි. (තමා අධිගත විෂය ගෙන කියූ.)
kn-thig:54.8
229. මම (යමාමහපෙළහර දා) ඉදුහයෙන් අසුන් සතරදෙනෙකුන් යෙදූ රථයක් මවා ලෝකනාථ වූ තාදිගුණ ඇති බුදුන් ගේ පාසඟළ වැඳ සිටියමු.
kn-thig:54.9
230. තෙපි අග පටන් මල්ගෙන සිටි සල්රුකක් කරා එළැඹ ඒ සල්රුක් මුල්හි එකලාව සිටුව, තොපට කිසි දෙවැන්නෙක් නො ද ඇති, බාලාවෙනි, තෙපි ධූර්‍තයනට නො බියව.
kn-thig:54.10
231. තුලුන් බඳු ධූර්‍තයන් සියයකුදු දහසකුදු ඉදින් එළඹියාහු වෙත් නමුදු (මාගේ) රෝමයකුදු නො සැලෙන්නේ ය, නො ද කම්පා වන්නේ යැ, මාරය, තෙපි එකලා වැ මට කුමක් කරවු ද?
kn-thig:54.11
232. (මාරය) තෙල මම් (තා ඉදිරියෙහි) අතුරුදහන් වෙමි, (නො දැනෙන සේ) තාගේ කුසට හෝ පිවිසෙමි. දෙබැම අතර හෝ සිටිමි, එසේ සිටින මා නො දක්නෙහි.
kn-thig:54.12
233. මම් වසඟ කළ සිත් ඇති වෙමි, මා විසින් ඍද්ධිපාදයෝ මොනොවට වඩන ලදහ. ෂඩභිඥා පසක්කරන ලදහ, බුදුන්ගේ සසුන් කරන ලද.
kn-thig:54.13
234. කාමයෝ (මුවහත් කළ විෂ පෙවූ) සැත්හුල් බඳු වූවාහු යැ. උපාදානස්කන්‍ධයෝ ඔවුන්ගේ සිඳීමට ආධාර වූවාහු යැ (මාරය) තෝ යම් කාමරතියක් සෙවිය යුතු යයි කියෙහි ද, ඒ කාමරතිය දැන් මට අරතියකි.
kn-thig:54.14
235. සියලු තැන්හි නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණාව නසන ලදු. තම ස්කන්‍ධ ප්‍රදාලන කරනලද, පවිට, මෙසේ දනුව, අන්තකය, තෝ මා විසින් පෙළනලදුයෙහි.
kn-thig:54.15
මෙසේ උප්පලවණ්ණා තෙරැණිය ...
kn-thig:54.16
උත්පලවණ්ණා ථේරීගාථා යි.
kn-thig:54.17
ද්වාදශනිපාතය නිමි.
kn-thig:56.1
16. ෂෝඩශනිපාතය
kn-thig:56.2
16. 1.
kn-thig:56.3
236. ස්වාමි දරුවන්ගේ දඬුවම් බියෙන් බිය ව, වාග්දණ්ඩභීතියෙන් හා (ස්වකීය) දෝෂභීතියෙන් ද පීඩිතව, (මම්) හැම කල්හි සීතයෙහිදු දිය අළිමි. දියට බටිමි.
kn-thig:56.4
237. බමුණාණෙනි, තෙපි කවරක් හට බියපත් වූවහු හැම කල (උදය-සවස) දියට බටහු ද, සැලෙන ගාත්‍රයෙන් යුතු ව අධික වූ සිහිල් දුක් විඳිහු ද.
kn-thig:56.5
238. භවතිය පුණ්ණාවෙනි, කළ පව්කම් වළහන (දියෙහි ගැලීමෙන්) කුසලය රැස්කරන මා දන්නී මැ විචාරව.
kn-thig:56.6
239. මහල්ලෙක් වේවයි තරුණයෙක් වේවයි යම් කිසිවෙක් පව්කම් බෙහෙවින් කෙරේ ද හෙතෙමේත් ජලස්නාන හේතුයෙන් පව්කමින් අතිශයින් මිදේ.
kn-thig:56.7
240. (කර්‍මවිපාක) නො දත් තොපට ජලස්නානයෙන් පව් කමින් මිදෙයි’ යන මෙ කරුණ (කර්‍මවිපාක) නො දත් කවරෙක් පැවැසී ද.
kn-thig:56.8
241. හැම මඬු - කැසබුවෝ ද කිඹුල්ලු ද සුංසුමාරයෝ ද අන්‍ය වූත් යම් ජලචර කෙනෙක් වෙත් නම් ඔහු දු ඒකාන්තයෙන් ස්වර්‍ගයට යන්නාහ යි සිතම්.
kn-thig:56.9
242. එළුවන් මරන්නෝ ද හූරුවැද්දෝ ද කෙවුළෝ ද මුවවැද්දෝ ද සොරු ද වධ්‍යඝාතකයෝ (අළුගොසුවෝ) ද අන්‍ය වූත් පව්කම් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔහුදු ජලස්නානයෙන් පව්කමින් මිදෙන්නාහ.
kn-thig:56.10
243. ඉදින් මේ (අචිරවතී ආදී) නදීහු තොප විසින් පෙර කළ පව් බැහැර කරන්නාහු නම්, මේ නදීහු (තොප කළ) පින ද බැහැර කරන්නාහු ය, (එකල) තෙපි ඒ පිනෙනුදු බැහැර වූවාහු ය.
kn-thig:56.11
244. බමුණාණෙනි, තෙපි යම් පාපයෙකින් බියපත් වූවාහු හැම කලැ උදකාවගාහන කරහු ද, බමුණාණෙනි, ඒ පාපය මැ නහමක් කළ මැනවි. (මෙබඳු) සීතය තොපගේ සිරුරෙහි සිවිය නහමක් පෙළාවා.
kn-thig:56.12
245. පින්වතිය, නොමඟට පිළිපන් මා දියෙහි ගැලීමෙන් බැහැර කොට ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණවී. (එහෙයින්) මේ සළුව තුටුපඬුරු කොට තොපට දෙමි.
kn-thig:58.1
246. සළුව තොපට මැ වේවා, මම් සළුව නො රිසි වෙමි, ඉදින් තෙපි දුකට බියවවු නම්, ඉදින් තොපට දුක අප්‍රිය වී නම්-
kn-thig:58.2
247. ප්‍රකටභාවයෙන් නො පිළිසන් ව හෝ නොහොත් රහසි ව පිළිසන් කොට පව්කම් නහමක් කරව. ඉදින් පව්කම් මතු කරන්නෙහි හෝ දැන් කෙරෙහි හෝ නම්-
kn-thig:58.3
248. දැනගෙන පලායන්නා වූද තොපට දුකින් මිදීමෙක් නැති. ඉදින් තෙපි දුකට බිය වවු නම් ඉදින් තොපට දුක අප්‍රිය වී නම්-
kn-thig:58.4
249. තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යවු, සිල් සමාදන් වවු, ඒ සරණගමනය හා සීලසමාදානය තොපට වැඩ පිණිස වන්නේ යි.
kn-thig:58.5
250. මම් තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යමි, සිල් සමාදන් වෙමි, ඒ මට වැඩ පිණිස වන්නේ ය.
kn-thig:58.6
251. මම් පෙර (බමුණු කුලෙහි උපන් පමණින්) බ්‍රහ්මබන්‍ධු නම් වීමි, දැන් (බාහිතපාප බැවින්) පරමාර්‍ත්‍ථබ්‍රාහ්මණ වෙමි, අධිගම කළ ත්‍රිවිද්‍යා ඇතියෙමි, මාර්‍ගඥානවේදයෙන් සමන්‍විතයෙමි, සොත්තිය ද නහාතක ද වෙමි’යි.
kn-thig:58.7
මෙසේ පුණ්ණා තෙරණි ...
kn-thig:58.8
පුණ්ණා ථේරීගාථා යි.
kn-thig:58.9
ෂෝඩශනිපාතය නිමි.
kn-thig:60.1
20. වීංශතිනිපාතය
kn-thig:60.2
20. 1.
kn-thig:60.3
252. (පෙර) මාගේ කේශයෝ කළුපැහැ වූවාහු බඹරුන් බඳු පැහැ ඇති ව අක්බමරු වූහ. දැන් ඔහු ජරාහේතුයෙන් සණවැහැරි බඳු වූහ. සත්‍යවාදී වූ සම්බුදුන්ගේ වචනය අන් පරිදි නො වේ.
kn-thig:60.4
253. මලින් ගවසන ලද මාගේ කෙස්කලබ පෙර සුවඳකැවූ පහයින් පේළාවක් බඳු විය. දැන් ජරාහේතුයෙන් සාලොම්ගඳ හමනු වෙයි. සත්‍යවාදී වචන අනන්‍යථා වේ.
kn-thig:60.5
254. මොනොවට රෝපණය කළ හැසුණු ගෙවුයනක් බඳු වූ පණාවෙන් හා රන්හිඳින් හා අවුල් හැර සකස් කළ අග් ඇති ව හොබවන ලද ඒ කෙස්කලබ දැන් ජරාහේතුයෙන් තන්හි තන්හි විරල ව වැටුණු කෙස් ඇති වෙයි, සත්‍යවාදී බුදුන්ගේ වචනය අනන්‍යථා වේ.
kn-thig:60.6
255. රන්විදුරු ආදියෙන් සරසන ලද කළු කෙස්වැටිය පෙර මොනොවට ගෙතීමෙන් හොබනේ විය, දැන් එය ජරාහේතුයෙන් ඛල්ලාට ශීර්‍ෂ වෙයි, සත්‍යවාදීන්ගේ වචනය අනන්‍යථා වේ.
kn-thig:60.7
256. පෙර මාගේ හොබනා දෙබැම සිත්තරකු විසින් (නිල්පැහැයෙන්) මොනොවට අඳනාලද රේඛාවක් මෙන් ශෝභමාන විය, දැන් ජරා හේතුයෙන් ඒ දෙබැම නළලත්හි රැලියෙන් එල්බෙමින් සිටියා වෙයි, සත්‍යවාදීවචනය අනන්‍යථා වේ.
kn-thig:60.8
257. අභිනීල ව දික් වූ මාගේ නේත්‍රයෝ පෙර නිල්මිණි මෙන් ප්‍රභාස්වර වූවාහු ඉතා සිත්කලු වූහ, දැන් ඔහු ජරායෙන් මඩනාලද්දාහු නො හොබිත්, සත්‍යවාදී වූ බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:60.9
258. සොඳුරු නවයොවුනෙහි මාගේ නැහැය සිලුටු ව උස් ව (සෙසු මුඛාවයවයනට) අනුරූප ව හොබනී විය, ඕ දැන් ජරා හේතුයෙන් හැකුළුණාක් මෙනි, සත්‍යවාදීවචනය අනන්‍යථා වේ.
kn-thig:60.10
259. පිරියම් කළ මොනවට නිමවන ලද රන්වළල්ලක් මෙන් මාගේ කන් පෙති පෙර සෝභමාන වී දැන් ඔහු ජරාහේතුයෙන් හටගත් රැලි ඇති ව එලෙන්නාහු වෙති, සත්‍යවාදී බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:60.11
260. පෙර මාගේ මනා දන්තයෝ කඳලමුහුලු බඳු පැහැසටහන් ඇතිව සෝභමාන වූහ. දැන් ඔහු ජරාහේතුයෙන් කැඩුණාහු ද කසාවන් වූවාහු ද වෙති, සත්‍යවාදීන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:60.12
261. වෙනෙහි වනළැහැප්හි හැසිරෙන කෙවිලියක මෙන් පෙර මම මිහිරි කොට බිණීමි, දැන් ඒ ආලාපය ජරාහේතුයෙන් තන්හි තන්හි පැකිලෙනු වෙයි, සත්‍යවාදී බුදුවදන් අනන්‍යථා වේ.
kn-thig:62.1
262. පෙර මාගේ මනා ගෙල මොනොවට පිරිසිදු කළ සිලිටි රන්සකක් සෙයින් සෝභමාන විය. දැන් එය ජරාහේතුයෙන් භග්න ව නැමුණේ වෙයි, සත්‍යවාදීන්ගේ වචනය අනන්‍යථා වේ.
kn-thig:62.2
263. පෙර මාගේ දෙබාහුව වට වූ කනයමක් බඳු ව සෝභමාන විය, දැන් ඒ දෙබාහුව ජරාහේතුයෙන් පැළුණු පළොල් පත්තක් බඳු වී, සත්‍යවාදීන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:62.3
264. පෙර මාගේ සොඳුරු අත් යුවළ රන්මුවා සිලුටු මුදුවලින් විභූෂිත ව සෝභමාන වී, දැන් ජරාහේතුයෙන් ඒ අත් මුලාලකඬ බඳු වී, සත්‍යවාදීන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:62.4
265. පෙර මාගේ සොඳුරු පියොයුරු යුවළ හැසී වට ව (උනුන්) එක් ව උඩුමුව ව සෝභමාන වී, දැන් දියගිලිහුණු පෙරහන්කඩ සෙයින් එල්බෙයි, සත්‍යවාදී වූ බුදුරදුන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:62.5
266. පෙර මාගේ සොඳුරු වූ කය (දැහිගුල් තවරා) මොනොවට පිරිමදනාලද රන්පුවරුවක් සෙයින් හොබනේ විය, දැන් ඒ කය සියුම් රැලියෙන් (තැන තැන) පැතුරුණේ විය, සත්‍යවාදී බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:62.6
267. පෙර මාගේ සොඳුරු දෙකලවේ ඇත්සොඬ බඳු ව සෝභමාන වී, දැන් ඒ දෙකලවේ ජරාහේතුයෙන් හුණදඬු බඳු වෙයි, සත්‍යවාදී බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:62.7
268. පෙර මාගේ සොඳුරු වූ දෙදඟ රන්මුවා සිලුටු නුරුවළායෙන් විභූෂිත ව සෝභමාන වී, දැන් ජරාහේතුයෙන් ඒ දෙදඟ තලදඬු මෙන් වෙයි, සත්‍යවාදී වූ බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:62.8
269. පෙර මාගේ සොඳුරු දෙපාදයෝ හිඹුල්පුළුන් පුරවන ලද්දවුන් මෙන් සෝභමාන වූහ, දැන් ඒ පාදයෝ ජරාහේතුයෙන් පැළුණාහු හටගත් රැළි ඇත්තාහු වෙති, සත්‍යවාදී බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
kn-thig:62.9
270. මාගේ මේ සිරුර මෙබඳු (යථෝක්තප්‍රකාර) විය, දැදුරු වූයේ (ජරාදිහේතුක වූ) බොහෝ දුකට වාසස්ථාන විය, ඒ කය ආලේප රහිත වැ වැටීමට ළංවූ දිරූ ගෙයක් බඳු වෙයි, නොහොත් ජරාවට ගෘහ වෙයි, අවිතථවාදී වූ සම්මාසම්බුදුන්ගේ වචනය අන් පරිද්දෙකින් නො වේ.
kn-thig:62.10
මෙසේ අම්බපාලී තෙරැණී ...
kn-thig:62.11
අම්බපාලී ථේරීගාථා යි.
kn-thig:64.1
20. 2.
kn-thig:64.2
271. භවතිය, නුඹ ‘සමණා’ (ශ්‍රමණයහ) යි කියමින් නිදව, ‘සමණා’යි කියමින් පිබිදෙව, (හැම කල) මහණුන් මැ නොහොත් මහණුන්ගේ ගුණ මැ පසසව, (සිතින්) මෙහෙණක් මැ යයි සිතම්.
kn-thig:64.3
272. බොහෝ ආහාර පාන ද මහණුනට දෙව, දරුව රෝහිණිය, දැන් තී පුළුවුස්මි, කුමක් හෙයින් නුඹට ශ්‍රමණයෝ ප්‍රිය වෙත් ද?
kn-thig:64.4
273. (ඔහු තමහට ද පරහට ද වැඩදා) කිසිවක් නො කරනු රිසියහ, කුසීතයෝ යැ, පරා දුන් දැයින් මැ දිවිවටන සුල්ලහ, (එහෙයින් ම බත් වත් ආදිය) පතා සිටුනාහ, මිහිරි දැය මැ රිසියහ, කුමක් හෙයින් නුඹට ශ්‍රමණයෝ ප්‍රිය වෙත් ද?
kn-thig:64.5
274. පියාණෙනි, බොහෝ කලෙකින් මහණුන්ගේ ගුණ මා පුළුවුස්නහු යැ, තොපට ඒ මහණුන්ගේ ප්‍රඥාව ශීලය හා වීර්‍ය්‍යය පවසමි.