උත්තර යැ, භද්දජි යැ, සෝභිත යැ, වල්ලිය යැ, විතසෝක යැ, පුණ්ණමාස යැ, නන්‍දක යැ, භාරද්වාජ යැ, කණ්හදින්න යැ, යන තෙරවරුන් වදාළ ගාථා යි.
සතරවැනි වර්‍ගය
2. 4. 1.
181. යම් කලෙකැ මම සම්මාසම්බුදුසසුන්හි පැවිදි වූයෙම් ද, (එතැන් පටන්) සංක්ලේශයන්ගෙන් මිදෙමින් නැගීසිටියෙමි. (නැගීසිටුනෙම් මැ අනගැමි මගින්) කාමධාතුව ඉක්මැ ගියෙමි.
182. ඉක්බිති සම්බුදුරදුන් බලාසිටිය දී මා ගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ යැ, සියලු සංයෝජනයන් ක්‍ෂය වීමෙන් මා ගේ විමුක්තිය අකෝප්‍ය වී යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මිගසිර ස්ථවිරයන් වහන්සේ ...
මිගසිර ස්ථවිරගාථා යි.
2. 4. 2.
183. ඒ ඒ භවයෙහි පුනපුනා උපදනා (ආත්මභාව) ගෘහයෝ අනිත්‍යයෝ යැ, ගෘහකාරකයා (තෘෂ්ණාව) සොයන්නෙම් (මෙතෙක් හැසුරුණෙමි) පුනපුනා ඉපැත්ම දුකෙකි.
184. එම්බා ගෘහකාරකය, (මා විසින් තෝ) දක්නාලද්දෙහි. යළි ගෙය නො කරන්නෙහි. තා ගේ සියලු ගොනැස්හු බිඳුනාලදහ. කැණිමඬල ද පළනලද යැ, (මා ගේ) සිත විගතාන්ත කරණලද්දේ මේ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සීවක ස්ථවිරයන් වහන්සේ ...
සීවක ස්ථවිරගාථා යි.
2. 4. 3.
185. ලෝකයෙහි අර්‍හත් වූ සුගත් මුනිහු වාතහේතුයෙන් හටගත් ආබාධ ඇතියාහු යැ, බ්‍රාහ්මණයෙනි, ඉදින් උණුදිය ඇත් නම් මුනිරදුට දෙනු මැනැවි.
186. (ඒ බුදුරජහු) පුජ්‍යයන් විසින් පුදනලදහ, සත්කාර කටයුත්තන් විසින් සත්කෘතයහ, වැන්ද යුත්තන් විසින් වදනා ලදහ.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උපවාන ස්ථවිරයන් වහන්සේ ...
උපවාන ස්ථවිරගාථා යි.
2. 4. 4.
187. ‘කාමයෝ අනිතයහ’යි කියන්නා වූ ධර්‍මධර උපාසකයෝ මා විසින් දක්නාලදහ. ඔහු මිණිකොඬොල් කෙරෙහි බහලරාගයෙන් ඇලුණාහු දරුවන් කෙරෙහි දු අඹුවන් කෙරෙහි දු අපේක්‍ෂා ඇත්තාහු ය.
188. ඔහු එකත්නෙන් දහම් ඇති සැටියෙන් නො දනිති. එතෙකුදුවූවත් කාමයෝ අනිත්‍යහ’යි කීහු. ඔවුනට රාගය සිඳිනට (ඥාන) බලයෙක් නැත. එහෙයින් අඹුදරුවන් ද ධනය ද ඇසුරු කළාහු යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ඉසිදින්න ස්ථවිරයන් වහන්සේ ...
ඉසිදින්න ස්ථවිරගාථා යි.
2. 4. 5.
189. වැසි දු වසී. යළි දු වැස්ස ‘ගළගළ’ හඬින් ගලායෙයි. මම ද, එකලා වැ භයජනක ගුහායෙහි වෙසෙමි. මා එකලා වැ භයජනක ගුහායෙහි වසන්නහුට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ නැති.
190. එකලා වැ භයජනක ගුහායෙහි වසන්නා වූ යම් බඳු මට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ නැත් ද තෙල මා ගේ ධර්‍මස්වභාව යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සම්බුලකච්චායන ස්ථවිරයන් වහන්සේ ...
සම්බුලකච්චායන ස්ථවිරගාථා යි.
2. 4. 6.
191. කවරක්හු ගේ සිත පර්‍වතයක් මෙන් සිටියේ (ලෝදහමින්) නො සැලේ ද, ඇලුම් කටයුතු වස්තූන්හි නො ඇලේ ද, කිපියයුතු (ආඝාත) වස්තුයෙහි නො කිපේ ද, යම් (ආර්‍ය්‍ය) පුද්ගලයකුගේ සිත මෙසෙයින් වඩනාලද වී නම්, ඔහුකරා කොයින් දුක පැමිණෙන්නේ ද?
192. මා ගේ සිත පර්‍වතයක් සෙයින් සිටියේ (ලෝදහමින්) නො සැලෙයි, ඇලුම් කටයුතු වස්තූන්හි නො ඇලෙයි, කිපියයුත්තෙහි නො කිපෙයි, මාගේ සිත මෙසෙයින් වඩනා ලද යැ, කොයින් මා කරා දුක එන්නේ දැ? යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ඛිතක ස්ථවිරයන් වහන්සේ ...
ඛිතක ස්ථවිරගාථා යි.
2. 4. 7.
193. තරුවැළ ඇති රාත්‍රිය තව (සුදුසු කල් ලද යෝගීහු රහත් වන තෙක්) නින්දට කල් නො වෙයි. මේ රාත්‍රිය නුවණැත්තහු විසින් පිළිවෙත් රක්නට මැ (කැමැති වන ලද්දී) වේ.
194. ඉදින් (එදා) සඞ්ග්‍රාමයෙහි ඇත්කඳින් යටිකුරු වැ හුණු මා ඇත් තෙමේ ඇක්මි නම් (ඒ) මා ගේ මරණය උතුමි. යම්හෙයකින් (දැන් කෙලෙස් මරුන් විසින්) පරැදුණෙම් ජීවත් වන්නෙම් ද, එහෙයිනි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සෙලිස්සරිය ස්ථවිරයන් වහන්සේ ...
සෙලිස්සරිය ස්ථවිරගාථා යි.
2. 4. 8.
195. ප්‍රිය ස්වභාව ඇති මනරම් වූ පස්කම්ගුණ හැරපියා සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යැ.
196. මරණය නො පතමි, ජීවිතය නො කැමැත්තෙමි. මහනුවණැති වැ සිහි ඇති වැ හුදෙක් (පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කෙරෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නිසභ ස්ථවිරයන් වහන්සේ ...
නිසභ ස්ථවිරගාථා යි.
2. 4. 9.
197. (මම සිහිනෙන්) අඹදලු බඳු පැහැ ඇති සිවුරක් දසරුයෙහි ලාගෙන ඇත්කඳෙහි හුන්නෙම් ගමට පිඬු පිණිස පිවිසියෙමි.
198. (මහාජන දර්‍ශනයෙන් ලජ්ජිත වැ) ඇත්කඳින් බැසැ (පිබිදියෙම්) එකල්හි සංවේගපත් වීමි. මම එකල්හි ජාතිම්දාදියෙන් දැපුණෙමි. දැන් මා විසින් අර්‍හත්ඵලය ලබනලදී.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උසභ ස්ථවිරයන් වහන්සේ ...
උසභ ස්ථවිරගාථා යි.
2. 4. 10.
199. ‘කප්පටකුර’ නම් මහණ තෙමේ ‘මේ මාගේ ජීර්‍ණවස්ත්‍රය’ යි (උපන් මිථ්‍යාවිතර්‍ක ඇත්තේ) පවිත්‍ර වූ පරිපූර්‍ණ වූ අමෘතඝටය ඇති කල්හි කෘතමාත්‍ර පැවිදි ඇත්තේ යැ, (මාගේ ශාසනය) ධ්‍යානයන් රැස් කරන්නට කරනලද (භාවනා) මාර්‍ග ඇත්තේ යි.
200. එම්බා කප්පටය, තෝ නො නිදව, (දේශනාහස්තයෙන්) තට කන්මුලැ පහර නො දෙන්නෙමි. කප්පටය, සඟමැද නිඳන තෝ පමණ නො දත්තෙහි යයි.
මෙසේ මේ ගාථා කප්පටකුර ස්ථවිරයන් වහන්සේ ...
කප්පටකුර ස්ථවිරගාථා යි.
සතරවැනි වර්‍ගය යි.
උද්දානය:
මිගසිර යැ, සීවක යැ, පණ්ඩිත වූ උපවාන යැ, ඉසිදින්න යැ, සම්බුලකච්චාන යැ, ඛිතක යැ, සෙලිස්සර යැ, නිසභ යැ, උසභ යැ, කප්පටකුර යැ යන දසතෙරුන්ගේ ගාථා යි.
පස්වැනි වර්‍ගය
2. 5. 1.
201. යම් ශාස්තෘ කෙනකුන් වෙත මේ බඳු ශ්‍රාවක තෙම ලොව්තුරුදහමක් සාක්‍ෂාත් කරන්නේ ද, ඒ බුදුහු අසිරිමත්හ, දහම්හු අසිරිමත්හ, අපගේ ශාස්තෲන් වහන්සේගේ (දශබලාදි) සම්පත්හු ආශ්චර්‍ය්‍යයෝ යි.
202. ගණන් නැති මහාකල්පයන්හි පඤ්චෝපාදානස්කන්‍ධයෝ මා විසින් ලබනලද්දාහු ය. ඔවුනතුරෙහි මේ පශ්චිම වූ පඤ්චස්කන්‍ධය යි. මේ අන්තිමශරීරය යි. ජාතිමරණ සහිත සංසාර සඞ්ඛ්‍යාත වූ පුනර්‍භවයෙක් දැන් නැතැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ...
කුමාරකාශ්‍යප ස්ථවිරගාථා යි.
2. 5. 2.
203. එකත්නෙන් යම් තරුණමහණෙක් බුදුසසුන්හි (අප්‍රමාද වැ) වෑයම් කෙරේ ද, (අවිද්‍යානිද්‍රායෙන්) නිදන්නන් අතුරෙහි (ශ්‍රද්ධාදීන් නිදි වරන්නේ වේ ද, ඔහු ගේ ජීවිතය නො සිස් වෙයි.
204. එහෙයින් නුවණැති මහණ තෙම බුදුන්ගේ අවවාදය සිහි කරන්නේ ශ්‍රද්ධා යැ ශීල යැ තුනුරුවන්හි ප්‍රසාද යැ සියුසස්දහම් දැකුම් යැ යන මෙහි ව්‍යායාම කරන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ධම්මපාල ස්ථවිරයන් වහන්සේ ...
ධම්මපාල ස්ථවිරගාථා යි.
2. 5. 3.
205. කවරක්හු ගේ ඉන්‍ද්‍රියයෝ අස්දම්සැරිහු විසින් මොනොවට දමනය කරනලද අසුන් මෙන් සන්හුන් බවට ගියාහු ද, ප්‍රහීණ වූ මානය ඇති අනාස්‍රව වූ තාදී (අකම්ප්‍ය) වූ කවරක්හට දෙවියෝ පවා කැමැති වෙත් ද,
206. මා ගේ ඉන්‍ද්‍රියයෝ අස්දම්සැරිහු විසින් මොනොවට දමනය කරනලද අසුන් මෙන් සන්හුන් බවට ගියාහු යැ, ප්‍රහීණ වූ මානය ඇති අනාස්‍රව වූ තාදී වූ මට දෙවියෝ පවා කැමැති වෙත් යයි.
මෙසේ මේ ගාථා බ්‍රහ්මාලි ස්ථවිරයන් වහන්සේ ...
බ්‍රහ්මාලි ස්ථවිරගාථා යි.
2. 5. 4.
207. (රොවින් නට බැවින්) නපුරුසිවි ඇති භද්‍ර වූ සිත ඇති එම්බා මෝඝරාජය, තෙපි එක්වන් සමාහිත සිත් ඇත්තාව, තෙපි පැවිදි වූවාහු (අනුන් සෙනසුන් නො දෙන කල්හි සඟසතු සෙනසුනට ද නො පිවිසැ) හිමපාතසමයෙහි සිත වූ රෑ මුළුල්ල කිසෙයින් දිවි පැවැත් වූහු ද?
208. සියලු මගධ රට පැසුණු ගොයම් ඇත්තේ යයි මා විසින් අසනලද පිදුරින් සොයනලද සිරුරු ඇත්තෙම් සුඛජීවී සෙස්සන් සෙයින් ශයනය කෙළෙම් යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මෝඝරාජ ස්ථවිරයන් වහන්සේ ...
මෝඝරාජ ස්ථවිරගාථා යි.
2. 5. 5.
209. තමා නොද හුවාදක්නේ යැ, මෙරමා නොද හෙළාදක්නේ යැ, පහත් කොට නො බලවත්වන්නේ යැ, රහතුන් වහන්සේ නො ගටන්නේ යැ, තමාගුණ පිරිස් මැද නො කියන්නේ යැ, සන්හුන්නෙක්, පමණ දැන බණන්නෙක්, මනා පැවතුම් ඇත්තෙක් වන්නේ යි.
210. ඉතා සියුම් තියුණු (සත්‍යප්‍රතිත්‍යසමුත්පාදාදි) අර්‍ත්‍ථ දක්නාසුලු වූ ප්‍රඥායෙහි දක්‍ෂ වූ යටත් පැවැතුම් ඇත්තා වූ වෘද්ධයන් සෙවුනාසුලු වූ ඒ මහණහු විසින් යම් හෙයකින් නිර්‍වාණය දුර්‍ලභ්‍ය නො වේ ද, එහෙයිනි යි.
මෙසේ මේ ගාථා විසාඛපඤ්චාලිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
විසාඛපඤ්චාලිපුත්ත ස්ථවිරගාථා යි.
2. 5. 6.
211. මනා සිළු ඇති මනා පිල්කලබ ඇති මනා නිල්ගෙල ඇති මනා මුවතුඬු ඇති මනහර නාද ඇති මොනරු නද දෙති. මේ මහපොළොව ද මනා නිල්තණ ඇත්තී යැ, මොනොවට පැතිරගිය දිය ඇත්තී යැ, අහස සොඳුරු වලාකුළු ඇත්තේ යි.
212. මනාසිත් ඇත්තහුට (ඍතුසත්ප්‍රායාදීන්) අතිශයින් මනෝඥස්වභාව ඇත්තේ යැ, එහෙයින් ධ්‍යාන කරව, සම්‍යක්සම්බුද්ධශාසනයෙහි මනා වීර්‍ය්‍යය ඇති වැ ඒ උතුම් අතිශයින් දැකීමට දුෂ්කර වූ තියුණු වූ සුදෝසුදු අච්‍යුතපදය (නිවන) ස්පර්‍ශ කරව යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් චූළක ස්ථවිරයන් වහන්සේ ...
චූළක ස්ථවිරගාථා යි.
2. 5. 7.
213. (ඒ ඒ භවයෙහි තෘෂ්ණා විසින්) සතුටු වෙමින් ආ සිත භව සඞ්ඛ්‍යාත සූලයට (දිවස්හුලට) නගනුයේ භව සඞ්ඛ්‍යාත සූලය, කාමගුණ සඞ්ඛ්‍යාත දම්ගෙඩිය යම් යම් තැනෙකැ ද ඒ ඒ තැන්හි මැ යෙහි.
214. එහෙයින් එම්බා චිත්තය, මම තා කාලකණ්ණිය යි කියමි. තා චිත්තද්‍රෝහී යයි කියමි. තා විසින් දුර්‍ලභ වූ ශාස්තෲන් වහන්සේ ලබනලදහ. මා අවැඩෙහි නහමක් යොදව යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් අනුපම ස්ථවිරයන් වහන්සේ ...
අනුපම ස්ථවිරගාථා යි.
2. 5. 8.
215. පෘථග්ජන වූ (අවිද්‍යායෙන්) අන්‍ධ වූ මම ආර්‍ය්‍යසත්‍යයන් නො දක්නෙම් දිගුකලක් මුළුල්ලෙහි (භවයෙහි) සැරිසරමින් සුගතිදුර්‍ගතින්හි පෙරැළුණෙමි.
216. අප්‍රමාද වූ ඒ මා විසින් සංසාර සඞ්ඛ්‍යාත කර්‍මක්ලේශයෝ මුලුසුන් කරනලදහ. සියලු ගති මැනැවින් නසනලදහ. මින් මතු පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් වජ්ජිත ස්ථවිරයන් වහන්සේ ...
වජ්ජිත ස්ථවිරගාථා යි.
2. 5. 9.
217. පලාවන් පැහැ ඇති මොනොවට වැඩුණු ඇසතු බෝරුක පිහිටි තැන්හි (සිඛී සම්බුදුනට පැනනැගුණු ඇටඹබොරුක්මුල දී) එළැඹැසිටි සිහි ඇත්තෙම් එක් බුද්ධානුස්මෘති සංඥාවක් ලදිමි.
218. මෙයින් එක්තිස් වන කපෙහි එදා මා විසින් යම් බුද්ධානුස්මෘති සංඥාවක් ලැබුයෙම් ද, ඒ සංඥාව උපනිශ්‍රය කොට ගෙන මා විසින් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිරෝධය ලබනලදැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සන්‍ධිත ස්ථවිරයන් වහන්සේ ...