2. 2. 2.
143. යම් කෙනෙක් (වරපට ආදියෙන්) හිස වෙළීමෙන් ද නන්වැදෑරුම් වූ කර්‍මයන් ද මිනිසුන් පෙළත් නම් දරුණු වූ ප්‍රයෝග ඇති ඒ ජනයෝ ද ඒ කම්කටොලුවල තුමූ මැ හෙළනු ලැබෙත්. යම් හෙයකින් කර්‍මය තෙමේ (විපාක නො දී) නො නැසේ ද එහෙයිනි.
144. සත්ත්‍ව තෙම කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් කර්‍මයක් කෙරේ ද යම් යම් කර්‍මයක් රැස් කෙරේ ද, ඒ ඒ කර්‍මය දායාද කොට ඇත්තේ වේ යයි.
මෙසේ ආයුෂ්මත් ජෝතිදාස ස්ථවිරයන් වහන්සේ ...
ජෝතිදාස ස්ථවිරගාථා යි.
2. 2. 3.
145. රෑදාවල්හු ඉක්මයෙති. ජීවිතින්‍ද්‍රිය (කෙණෙහි කෙණෙහි) නිරුද්ධ වෙයි. සත්ත්‍වයන් ගේ ආයුෂ කුඩා නදීන් ගේ දිය මෙන් ක්‍ෂය වේ.
146. එතෙකුදුවත් පව්කම් කරන්නා වූ බාල තෙම (එය) නො දනියි. පසු වැ ඔහුට කටුක දුක් වෙයි. යම් හෙයකින් ඒ පාපකර්‍මයාගේ විපාකය ලාමක වේ ද එහෙයිනි.
මෙසේ ආයුෂ්මත් හෙරඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...
හෙරඤ්ඤකානි ස්ථවිරගාථා යි.
2. 2. 4.
147. කුඩා දරකඬෙකැ නැඟැ යම්සේ මහසයුරෙහි ගැලේ ද, එසේ මැ අලසයා නිසා මනා දිවිපැවතුම් ඇත්තේද සසරෙහි ගැලේ.
148. එහෙයින් වීර්‍ය්‍ය රහිත වූ ඒ අලසයා දුරැලන්නේ යැ. කායවිවේක ඇති කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිවනට යැවූ සිත් ඇති ධ්‍යාන කරනසුලු වූ නිතොර පටන්ගත් වීර්‍ය්‍ය ඇති පණ්ඩිතයන් සමග වසන්නේ යි.
මෙසේ ආයුෂ්මත් සෝමමිත්ත ස්ථවිරයන් වහන්සේ ...
සෝමමිත්ත ස්ථවිරගාථා යි.
2. 2. 5.
149-150. (අන්‍ධබාල) ජන තෙම (අන්‍ය) ජනයා කෙරෙහි (තෘෂ්ණායෙන්) බැඳුණේ වෙයි. ජන තෙම ජනයා මැ ඇසුරු කොට සිටියේ යැ. ජන තෙම ජනයා විසින් පෙළනුලැබෙයි. යළි ජන තෙම ජනයා පෙළයි, ඒ ජනක වූ ද ජනිත වූ ද ජනයාගෙන් ඔහුට කවර අර්‍ත්‍ථයෙක් ද (මම) ජනයා ද බොහෝදෙනා පෙළාසිටුනා ඒ (තෘෂ්ණා ද්වේෂ දෙක) ද සර්‍වප්‍රකාරයෙන් හැරැ යන්නෙමැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සබ්බමිත්ත ස්ථවිරයන් වහන්සේ ...
සබ්බමිත්ත ස්ථවිරගාථා යි.
2. 2. 6.
151. කවුඩකුට බඳු පැහැ ඇති මහත් වූ සිරුරක් ඇති තෙල ‘කාලී’ නම් වූ ස්ත්‍රී තොමෝ (මළ සිරුරෙහි) දෙ කළවය ද දෙ අත් ද බිඳ දීතලියක් මෙන් හිස ද බිඳ (ඒ අවයව) සුදුසු සේ ගළපා තබා හුන්නී යැ.
152. මූඨ වූ යමෙක් ක්ලේශෝපධිය උපදවා ද, ඒ මූඨ තෙම ඒකාන්තයෙන් පුනපුනා දුකට පැමිණෙයි. එහෙයින් නුවණැත්තේ ක්ලේශෝපධිය නූපදවන්නේ යැ. කුමක් හෙයින යත්: මම යළි බිඳුණුහිස් ඇති වැ නහමක් ශයනය කෙරෙම්වා යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මහාකාල ස්ථවිරයන් වහන්සේ ...
මහාකාල ස්ථවිරගාථා යි.
2. 2. 7.
153. මුඩු වූ සඟළ සිවුර පෙරෙවියා වූ මහණ තෙම ආහාර ද පාන ද වස්ත්‍ර ද ශයන ද ලබනසුලු වූයේ බොහෝ සතුරන් ලබයි.
154. මහණ තෙම සත්කාර විෂයෙහි මහත් බිය ද තෙල ආදීනවය ද දැන මඳ වූ ලාභ ඇත්තේ තෘෂ්ණා වැගිරීම් නැත්තේ සිහි ඇති වැ හැසිරෙන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
තිස්ස ස්ථවිරගාථා යි.
2. 2. 8.
155. පාචීනවංස නම් වූ වනයෙහි, යහළු වූ ශාක්‍යපුත්‍රයෝ අනල්ප වූ සම්පත් හැරදමා පිඬුසිඟීමෙන් පාත්‍රයට ලැබුණු දැයෙහි ඇලුණාහු.
156. ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තාහු නිවන කරා යැවූ සිත් ඇත්තාහු සතතයෙන් දෘඪවීර්‍ය්‍ය ඇත්තාහු ලෞකික ආලම්බනයෙහි ඇල්ම හැරැ ධර්‍මරතියෙහි සිත් අලවත් යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...
කිම්බිල ස්ථවිරගාථා යි.
2. 2. 9.
157. අයෝනිසෝ මනසිකාරයෙන් ශරීරමණ්ඩනයෙහි යෙදුණෙමි. කාමරාගය විසින් පෙළුණෙම් නො සන්හුන් සිත් ඇත්තෙම් චපල ද වීමි.
158. උපායෙහි දක්‍ෂ වූ සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් කරණකොටගෙන නුවණින් පිළිපැද සසරෙහි ගිලුණු සිත නඟාලීමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්‍ද ස්ථවිරයන් වහන්සේ ...
නන්‍ද ස්ථවිරගාථා යි.
2. 2. 10.
159. ඉදින් තෙමේ සමාධි රහිත වේ නම් එතෙකුදුවත් අන්‍යයෝ ඔහු පසසත් නම්, ඔහු සිස් කොට පසසත්. (තමා සමාහිත නො වන හෙයිනි.)
160. ඉදින් තෙමේ සමාහිත සිත් ඇත්තේ නම්, එතෙකුදුවත් අන්‍යයෝ ඔහු ගරහත් නම්, ඔහු සිස් කොට ගරහත්. (තමා සමාහිත හෙයිනි.)
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සිරිමන්ත ස්ථවිරයන් වහන්සේ ...
සිරිමන්ත ස්ථවිරගාථා යි.
දෙවැනි වර්‍ගය යි.
උද්දානය:
චුන්‍ද ස්ථවිර යැ, ජෝතිදාස ස්ථවිර යැ, හෙරඤ්ඤකානි ස්ථවිර යැ, සොමමිත්ත ස්ථවිර යැ, සබ්බමිත්ත ස්ථවිර යැ, කාල ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, නන්‍ද ස්ථවිර යැ, සිරිමන්ත ස්ථවිර යැ යි දෙවැනි වර්‍ගයෙහි මහත් ඍද්ධි ඇති තෙරවරු දස දෙනෙකි.
තෙවන වර්‍ගය
2. 3. 1.
161. පඤ්චස්කන්‍ධයෝ මා විසින් පිරිසිඳ දන්නා ලදහ. තෘෂ්ණාව මා විසින් මොනොවට උපුරනලද යැ. බෝධ්‍යඞ්ගයෝ මා විසින් වඩන ලදහ. නිර්‍වාණය මා විසින් ලබනලදී.
162. ඒ මම ස්කන්‍ධයන් පිරිසිඳ දැන තෘෂ්ණාව උපුටා දමා බෝධ්‍යඞ්ගයන් වඩා ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නෙමී.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ...
උත්තර ස්ථවිරගාථා යි.
2. 3. 2.
163. (යටගිය දවසැ) ‘පානාද’ වූ නම් ප්‍රසිද්ධ රජෙක් වී යැ. යම් රජක්හුගේ ප්‍රසාදය රන්මුවා වූයේ සරස සරපතන සොළසක් ඇත්තේ උස සරපතන දහසක් ඇත්තේ වී ද,
164. සහස්බුමු වූයේ (නඟාලූ) ධ්වජබහුල වූ චාමීකරස්වර්‍ණමය සිය ගණන් නිර්ව්‍යුහ ඇත්තේ ද, එහි සත් තැනෙකැ සදහසක් නළුවෝ නැටූහු ද, ඒ රජ තෙමේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් වහන්සේ ...
භද්දජි ස්ථවිරගාථා යි.
2. 3. 3.
165. සිහි ඇති (අභිඥා) නුවණ ඇති පටන්ගන්නාලද බල හා වීර්‍ය්‍ය ඇති මහණකු වූ මම පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.
166. සතර සීවටන් ද සප්තබෝධ්‍යඞ්ගයන් ද අෂ්ටමාර්‍ගාඞ්ගයන් ද වඩනුයෙම් පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ ...
සෝභිත ස්ථවිරගාථා යි.
2. 3. 4.
167. දෘඪවීර්‍ය්‍ය ඇතියහු විසින් යමක් කටයුතු නම් සියුසස් දැනගනු රිසියහු විසින් යමක් කටයුතු නම්, (එය) කරන්නෙම්, නො වළහන්නෙමි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සම්‍යග්ව්‍යායාමය බලව.
168. නුඹවහන්සේ වැළිත් මට නිර්‍වාණය පිහිට කොට ඇති ඍජු වූ (ආර්‍ය්‍ය) මාර්‍ගය වදහළ මැනැවැ, මම (නො වළහා) සයුර කරා යන ගඞ්ගාශ්‍රෝතසක් සෙයින් ආර්‍ය්‍යමාර්‍ගයෙන් (නිර්‍වාණය) ප්‍රතිවේධ කරන්නෙමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
වල්ලිය ස්ථවිරගාථා යි.
2. 3. 5.
169. නැහැවි ‘මා ගේ කෙස් කපමි’යි මා කරා එළැඹියේ යැ. ඉක්බිති මම කැටපත ගෙන (මාගේ) සිරුර බැලීමි.
170. මට සිරුර තුව්ජ වැ පැණින අවිද්‍යා නැමැති අන්‍ධකාරය පහ විය, සියලු කෙලෙස් නැමැති කඩමාලු නොහොත් සොරු නසනලදහ. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් වීතසෝක ස්ථවිරයන් වහන්සේ ...
වීතසෝක ස්ථවිරගාථා යි.
2. 3. 6.
171. පඤ්චනීවරණයන් හැරපියා නිවනට පැමිණෙනු පිණිස තමා ගේ ඥානදර්‍ශනය වූ විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත ධර්‍මාදර්‍ශය (දහම් කැටපත) ගෙන,
172. ඇතුළත පිටත (ආද්ධ්‍යාත්මික බාහිරායතන) සහිත වූ මේ සියලු ශරීරය නුවණැසින් බැලීමි. ස්වසන්තානයෙහි ද පරසන්තානයෙහි ද තුච්ඡ වූ කය (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ආත්මභාවය) දක්නාලද්දේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පුණ්ණමාස ස්ථවිරයන් වහන්සේ ...
පුණ්ණමාස ස්ථවිරගාථා යි.
2. 3. 7.
173. යම්සේ භද්‍ර වූ අජානීයවෘෂභ තෙම පැකිළැ යළි නැඟීසිටී ද, බෙහෙවින් සංවේගය ලැබැ අදීන වැ ධුරය උසුලා ද,
174. එසෙයින් දර්‍ශනසම්පන්න වූ සම්‍යක්සම්බුද්ධශ්‍රාවක වූ බුදුරදුන්ගේ ඖරසපුත්‍ර වූ මා පුරුෂාජානීයයකු කොට සලකනසේක්වා යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ ...
නන්‍දක ස්ථවිරගාථා යි.
2. 3. 8.
175. එව නන්‍දකයෙනි, උපාධ්‍යායයන් වහන්සේ (සම්බුදුරදුන්) වෙත යම්හ, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ හමුයෙහි සිංහනාද පවත්වම්හ.
176. යම් අර්‍ත්‍ථයක් සඳහා අපට අනුකම්පායෙන් භාග්‍යවතුන් වහන්සේ අප පැවිදි කළසේක් නම් සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම වූ ඒ අර්‍ත්‍ථය (අර්‍හත්ඵලය) අප විසින් ලබනලදැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භරත ස්ථවිරයන් වහන්සේ ...
භරත ස්ථවිරගාථා යි.
2. 3. 9.
177. මෙසේ සෙන් සහිත මරු දිනා දිනනලද සඞ්ග්‍රාම ඇති, අග්‍රමාර්‍ග ප්‍රඥා සහිත වූ වීරයෝ (ශ්‍රාවකයෝ) ගිරිගුහායෙහි සිංහයන් සෙයින් නද දෙත් (අභීතනාද කෙරෙත්.)
178. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. ධර්‍මය ද සඞ්ඝයා ද පුදනලද යැ, ක්‍ෂිණාස්‍ර වූ පුතණුවන් දැක (නිරාමිස ප්‍රීතියෙන්) තුටු වූයෙම් සොම්නස් වීමි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...
භාරද්වාජ ස්ථවිරගාථා යි.
2. 3. 10.
179. (මා විසින් ශාරීපුත්‍රාදි) සත්පුරුෂයෝ සෙවුනාලදහ. එක්වන් (නිතර) දහම් අසනලද යැ, අසා නිර්‍වාණය පිහිට කොට ඇති මඟට පිළිපන්මි.
180. නැසූ භාවරාගය ඇති මට ඒ භාවරාගය යළි නො පැනේ. (අග්‍රමාර්‍ගාධිගමයෙහි පටන්) නො වී යැ, (මත්තෙහි) මට නො ද වන්නේ යැ, දැනුදු මට නැති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කණ්හදින්න ස්ථවිරයන් වහන්සේ ...
කණ්හදින්න ස්ථවිරගාථා යි.
තෙවන වර්‍ගය යි.
උද්දානය: