Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 501-600 න් 2247

මෙසේ ... වච්ඡගොත්ත ස්ථවිරයන් වහන්සේ ...
වච්ඡගොත්ත ස්ථවිරගාථා යි.
1. 12. 3.
113. පහන්දිය ඇති පුළුල් ගලතල ඇති ගොනඟුලන් (වඳුරන්) හා සියුපාසතුන් ගෙන් යුත් දියසෙවෙලින් ගැවසීගත් ඒ පර්‍වතයෝ මා සිත් අලවත් යයි.
මෙසේ ... වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
වනවච්ඡ ස්ථවිරගාථා යි.
1. 12. 4.
114. දිවි ගෙවීයන කල්හි කායපෝෂණයෙහි නියැලුණු ශරීරසුඛයෙහි ගිජු වූවහුට ශ්‍රමණ භාවයෙන් ලැබිය හැකි සාධුත්‍වය කොයින් ලැබේ දැ යි.
මෙසේ ... අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ ...
අධිමුත්ත ස්ථවිරගාථා යි.
1. 12. 5.
115. (එම්බා මහානාමයෙනි, කමටහන් මෙනෙහි නොකරන) තෙල තෝ බොහෝ කෙළිඳ හා ඉඳුසල්ගස් ඇති (නො එක් රුක්ලියෙන්) හාත්පසින් වැසුණු ප්‍රසිද්ධ වූ මේ ‘නේසාද’ නම් පර්‍වතයෙන් පිරිහෙන්නෙහි යයි.
මෙසේ ... මහානාම ස්ථවිරයන් වහන්සේ ...
මහානාම ස්ථවිරගාථා යි.
1. 12. 6.
116. ආධ්‍යාත්මික ෂඩායතනය (එය පිළිබඳ කෙලෙස් නැසීම් විසින්) හැරැපියා පියූ සදොර ඇතියෙම් මොනොවට සංවර වූයෙමි. මා විසින් සසරදුකට මුල (අවිද්‍යාව හා භවතෘෂ්ණාව) වමාරාදමා ආස්‍රවක්‍ෂය (අර්‍හත්‍වය) ලබන ලද්දේ යයි.
මෙසේ ... පාරාසරිය ස්ථවිරයන් වහන්සේ ...
පාරාසරිය ස්ථවිරගාථා යි.
1. 12. 7.
117. මම මනා සුවඳින් අලෙව් දෙන ලද්දෙමි. මහ ඇඟි කසීසළු ඇන්දෙම් සියලු අබරණින් සැරැසුණෙම් ත්‍රිවිද්‍යාව ලදිමි. (මා විසින්) බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.
මෙසේ ... යස ස්ථවිරයන් වහන්සේ ...
යස ස්ථවිරගාථා යි.
1. 12. 8.
118. වයස (යෞවනය) ඇණවන ලද්දකු සෙයින් (වහා) ඇදැවැටෙයි. එසේ මැ විද්‍යාමාන වූ රූපය ද අනෙකකු මෙනි. විප්‍රවාසයෙක් නැති ඒ මාගේ මැ ආත්මය අනෙකක්හු ගේ මෙන් සිහි කෙරෙම් යයි.
මෙසේ ... කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...
කිම්බිල ස්ථවිරගාථා යි.
1. 12. 9.
119. රුක්මුල්වදුලට පිවිස නිවන ළෙහි තබාගෙන ගෞතමයෙනි ධ්‍යාන කරව, නහමක් ප්‍රමාද වව. බිලිබිලිකා (බිලිබිලිහඬ) තට කවර අර්‍ත්‍ථයක් සාධන්නේ දැ යි.
මෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
වජ්ජිපුත්ත ස්ථවිරගාථා යි.
1. 12. 10.
120. පඤ්චස්කන්‍ධයෝ (මා විසින්) පරිඥාතයහ. ඔහු මුල්සුන් වැ සිටිති. මා විසින් දුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන ලබනලද, ආස්‍රවක්‍ෂය (අර්‍හත්ත්‍වය) ලබනලදැ යි.
මෙසේ ... ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේ …
ඉසිදත්ත ස්ථවිරගාථා යි.
දොළොස් වැනි වග යි.
උද්දානය:
ජෙන්ත ස්ථවිර යැ, වච්ඡගොත්ත ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, අධිමුත්ත ස්ථවිර යැ, මහානාම ස්ථවිර යැ, පාරාසරිය ස්ථවිර යැ, යස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, වජ්ජිපුත්ත ස්ථවිර යැ, ඉසිදත්ත ස්ථවිර යැ යි දොළොස් වැනි වගැ තෙරවරු දස දෙනෙකි.
කොට නිමැවූ බඹසර කිස ඇති අනාස්‍රව වූ මහර්ෂී වූ තෙරවරු එක්සියවිසි දෙනෙක් ඒකක නිපාතයෙහි මැ ගාථා වදාළහ යි.
ඒකකනිපාතය නිමි.
2. දුක නිපාතය
ප්‍රථම වර්‍ගය
2. 1. 1.
121. නිත්‍ය වූ භවයෙක් නැත, ශාශ්වත වූ සංස්කාර කෙනෙක් ද නැත. තා ගේ ස්කන්‍ධයෝ මතුමත්තෙහි උපදනාහු ද වෙති. ච්‍යුත වන්නාහු ද වෙත්.
122. තෙල ආදීනව දැනැ භවයෙන් ප්‍රයෝජන නැතියෙකිම් වෙමි. සියලු වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් දුරු වූයෙම් වෙමි. මා විසින් ආස්‍රවක්‍ෂය ලබන ලදැ’යි.
මෙසේ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළ සේකි.
උත්තර ස්ථවිරගාථා යි.
2. 1. 2.
123. මේ ජීවිතය අන්‍යායයෙන් නො වෙයි. ආහාරය සිතට ශාන්තිය එළවන්නේ නො වෙයි. සිරුර අහර නිසා සිටුනේ වෙයි. මෙසේ දැකැ අහර සෙවීමෙහි හැසිරෙමි.
124. කුලයන්හි යම් වන්‍දනපූජාවක් ඇද්ද, එය බුද්ධාදීහු පඞ්කයෙක් මැ යයි දත්හ. උදුරාලිය නොහෙන සියුම් හුලෙකැයි දත්හ. (කුමක්හෙයින යත්:) සත්කාරය කුපුරුෂයා විසින් දුරැලිය නො හැක්කේ යයි.
මෙසේ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළ සේකි.
පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරගාථා යි.
125. සිත් නමැති වඳුරා එළැඹැසිට පස්දොරක් ඇති කුටියෙහි ඒ ඒ දොරින් වරින් වර (අරමුණු ගැනීම් විසින්) ඝටමින් ඔබිනොබ හැසිරෙයි.
126. වඳුර, සිටුව නහමක් දුවව, තා ගේ ඒ කිළිය පෙර ලෙසින් නැත. (පියූ දොර අගුළු ඇති හෙයිනි.) මාර්‍ගප්‍රඥායෙන් නිගන්නාලදුයෙහි, එහෙයින් නහමක් දුර (ප්‍රතිසන්‍ධි වශයෙන්) යන්නෙහි යයි.
මෙසේ ආයුෂ්මත් වලලිය ස්ථවිරයන් වහන්සේ ...
වලලිය ස්ථවිරගාථා යි.
2. 2. 4.
127. ගඞ්ගානදිතීරයෙහි තල්පත් තුනෙකින් මට කිළියක් කරනලද, මා ගේ පාත්‍රය මළසිරුරට කිරි ඉස්නා බඳුනක් වැන්න. සිරුර ද පාංශුකූලයෙකි.
128. අතුරුවස් දෙකක් තුළ මා විසින් එක් මැ බසක් කියනලදි, තෙවන අතුරුවසෙහි ලා මොහඳුරුකඳ පළනලදැ’යි.
මෙසේ ආයුෂ්මත් ගඞ්ගාතීරිය ස්ථවිරයන් වහන්සේ ...
ගඞ්ගාතීරිය ස්ථවිරගාථා යි.
2. 1. 5.
129. ඉදින් පුනර්‍භවයක් නැතියෙන් මරණය නවතාලූ කාමාදි ආස්‍රව නැති ත්‍රිවිද්‍යාධරයෙක් වන්නේ නමුදු අඥානයෝ ඔහු ‘අප්‍රකටයහ’යි නො දැනීමෙන් අවඥා කෙරෙත්.
130. මෙලොව යම් පුඟුලෙක් වනාහි ආහාරපාන ලබන්නේ වේ ද, හේ පාපධම් ඇත්තේ නමුදු තෙල බාලයන් විසින් සලකන ලද්දේ වන්නේ යයි.
මෙසේ ආයුෂ්මත් අජින ස්ථවිරයන් වහන්සේ ...
අජින ස්ථවිරගාථා යි.
131. මම යම් දවසෙක සිවුසස්දහම් ඇසීම් ද ඒ බණන බුදුන් පිළිබඳ වැ සැක කළ බවක් නො දනිමි. සර්‍වඥ වූ අපරාජිත වූ -
132. සාර්‍ත්‍ථවාහ වූ මහාවීර වූ සාරථීන් කෙරෙහි අත්‍යුත්තම සාරථි වූ බුදුන් කෙරෙහි ද, මාර්‍ගයෙහි හෝ ප්‍රතිපත්තියෙහි ද මා ගේ සැකයෙක් නැතැ’යි.
මෙසේ ආයුෂ්මත් මෙලජින ස්ථවිරයන් වහන්සේ ...
මෙලජින ස්ථවිරගාථා යි.
133. මොනොවට සෙවෙණි නො කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම අභාවිත වූ සිත විනිවිද යන්නේ යැ.
134. මොනොවට සෙවෙණි කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද නො යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම සුභාවිත වූ සිත විනිවිද නො යන්නේ ය යි.
මෙසේ ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ ...
රාධ ස්ථවිරගාථා යි.
2. 1. 8.
135. මාගේ ජාති සඞ්ඛ්‍යාත පුනර්‍භවය ක්‍ෂය වූයේ මැ වෙයි මඟබඹසරවස් වැස නිමවනලද, ජාල සඞ්ඛ්‍යාත වූ දෘෂ්ටි අවිද්‍යා දෙක ප්‍රහීණ යැ, භවතෘෂ්ණා නසනලදු.
136. ගිහිගෙන් නික්ම ශාසනයෙහි යමක් සඳහා පැවිදි වීම් ද, මා විසින් සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත ඒ අර්‍ත්‍ථය (නිවන) ලබනලදැ’යි.
මෙසේ ආයුෂ්මත් සුරාධ ස්ථවිරයන් වහන්සේ ...
සුරාධ ස්ථවිරගාථා යි.
2. 1. 9.
137. හැම කල්හි ඒකාන්තයෙන් රැකියැයුතු යම් ස්ත්‍රී කෙනකුන් කෙරෙහි සත්‍යය අත්‍යර්‍ත්‍ථයෙන් නො ලැබියැ හැක්කේ ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම් මුනි කෙනෙක් නො බැඳෙත් ද, ඒ මුනිහු සුවසේ වෙසෙත්.
138. කාමය, තා ගේ නැස්ම කළම්හ. ඒ අපි දැන් ණය නැතියම්හ. යම් තැනෙක ගොස් නො සොස්නේ ද, දැන් ඒ නිවන කරා යම්හ’යි.
මෙසේ ආයුෂ්මත් ගෞතම ස්ථවිරයන් වහන්සේ ...
ගෞතම ස්ථවිරගාථා යි.
2. 1. 10.
139. කුහක තෙමේ පළමු මැ තමා නසන්නේ යැ, හෙතෙම පසුවැලා මෙරමා ද නසන්නේ යැ, ලිහිණිවැදි වීතංසයෙන් (ලිහිණියන් මුළාකරන වැස්මෙන්) ලිහිණින් නසන්නාක් මෙන් තමා සුහත කොට නසන්නේ යැ.
140. බැහැර ඊර්‍ය්‍යාපථසම්පත්ති ඇත්තේ බ්‍රාහ්මණ නො වෙයි. ඇතුළත ශීලාදි සම්පත් ඇත්තේ මැ බ්‍රාහ්මණ වෙයි. ශක්‍රය, යමකු කෙරෙහි පාපකර්‍මයෝ ඇත් ද, හේ ඒකාන්තයෙන් නිහීන පුද්ගලයෙක් වන්නේ ය යි.
මෙසේ ආයුෂ්මත් වසභ ස්ථවිරයන් වහන්සේ ...
වසභ ස්ථවිරගාථා යි.
ප්‍රථම වර්‍ගය යි
උද්දානය:
උත්තර යැ, පිණ්ඩෝල යැ, වල්ලිය යැ, තිරිය යැ, අජින යැ, මෙළජින යැ, රාධ යැ, සුරාධ යැ, ගොතම යැ, වසභ යැ යන රහතුන් වහන්සේලා වදාළ ගාථා යි.
දෙවැනි වර්‍ගය
2. 2. 1.
141. අසනු කැමැත්ත බහුශ්‍රැතභාවය වඩයි. ශ්‍රැතය ප්‍රඥාව වර්ධනය කෙරෙයි. ප්‍රඥායෙන් අර්‍ත්‍ථය දැනගනී. දැනගන්නා ලද අර්‍ත්‍ථය තෙමේ සුව එළවයි.
142. වෙනෙහි ඉතා දුරුසෙනසුන් සෙවුනේ යැ. සංයෝජනයන්ගෙන් මිදීම වූ විදර්‍ශනාමාර්‍ගභාවනාව කරන්නේ යැ ඉදින් එහි රතිය නො ලබන්නේ නම් සඞ්ඝයා වෙත (කමටහන් පිරිසිඳගැන්මෙන්) රක්නාලද සිත් ඇති වැ සිහි වැ වසන්නේ යි.
මෙසේ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ...
මහාචුන්‍ද ස්ථවිරගාථා යි.