Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 401-500 න් 2247

මෙසේ ... සාමිදත්ත ස්ථවිරයන් වහන්සේ ...
සාමිදත්ත ස්ථවිරගාථා යි.
නවම වර්‍ගය යි.
උද්දානය:
සමිතිගුත්ත ස්ථවිර යැ, කස්සප ස්ථවිර යැ, සීහ ස්ථවිර යැ, නීත ස්ථවිර යැ, සුනාග ස්ථවිර යැ, නාගිත ස්ථවිර ය, පවිට්ඨ ස්ථවිර යැ, අජ්ජුන ස්ථවිර යැ, දේවසභ ස්ථවිර යැ, මහබලැති සාමිදත්තස්ථවිර යැ යි නව වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
දස වැනි වග
1. 10. 1.
91. මා විසින් දැන් යම් අමෘතයෙක් වළඳනා ලද ද, එසෙයින් සතරස මනුෂ්‍යභෝජන ද සුධා දිව්‍යභෝජනය ද අභිමත නො වෙයි, අපරිමිත වූ ඥේය දක්නාසුලු ගොයුම්ගොත් බුදුන් විසින් නිර්‍වාණධර්‍මය දෙසන ලදැ යි.
මෙසේ ... පරිපුණ්ණක ස්ථවිරයන් වහන්සේ ...
පරිපුණ්ණක ස්ථවිරගාථා යි.
1. 10. 2.
92. යමක් හට (කාමාදි) ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද, යමෙකුත් ආහාරයෙහි (තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය විසින්) නො බැඳුණේ ද, යමක්හට ශුන්‍යත, අනිමිත්ත [අප්‍රණිහිත] (යන ත්‍රිවිධ) විමෝක්‍ෂය ගෝචර වේ ද ඒ රහත්හුගේ පියසටහන අහසැ සියොතුන් මඟ මෙන් නො දතහෙන්නේ යයි.
මෙසේ ... විජයස්ථවිරයන් වහන්සේ ...
විජය ස්ථවිරගාථා යි.
1. 10. 3.
93. ඒරකයෙනි, කාමයෝ දුඃඛයහ, එරකයෙනි, කාමයෝ සුඛයෝ නොවෙති, එරකයෙනි, යමෙක් කාමයන් කැමති වේ නම් හෙතෙම දුක් කැමති වෙයි, එරකයෙනි, යමෙක් කාමයන් නො කැමති වේ නම් හෙතෙම දුක් නො කැමති වේ යයි.
මෙසේ ... ඒරක ස්ථවිරයන් වහන්සේ ...
එරක ස්ථවිරගාථා යි.
1. 10. 4.
94. ශ්‍රීමත් වූ ශාක්‍යපුත්‍ර වූ ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා, (සියලු ගුණයෙන්) අගතැන් පැමිණි උන් වහන්සේ විසින් මේ උතුම් වූ (නව ලොවුතුරු) දහම අවිපරීත කොට දෙසනලද්දේ වේ යයි.
මෙසේ ... මෙත්තජි ස්ථවිරයන් වහන්සේ ...
මෙත්තජි ස්ථවිරගාථා යි.
1. 10. 5.
95. මම නටනෙත් ඇත්තෙම් අන්‍ධ වෙමි. කතරඅදන් මඟට පැමිණියෙම් වෙමි, හෝනෙම් නමුදු පාපමිත්‍රයකු සමඟ නො යමි.
මෙසේ ... චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ ...
චක්ඛුපාල ස්ථවිරගාථා යි.
1. 10. 6.
96. එක් (සමන්) මලක් පුදා අසූ කෙළක් හවුරුදු සගසුව විඳැ ඒ පුණ්‍යකර්‍මයාගේ ශේෂයෙන් පිරිනිවියෙම් වෙමි.
මෙසේ ... ඛණ්ඩසුමන ස්ථවිරයන් වහන්සේ ...
ඛණ්ඩසුමන ස්ථවිරගාථා යි.
1. 10. 7.
97. සියක් පලමක් අගනා නොයෙක් රූපලේඛා ඇති රන්මුවා තලිය හැරැදමා මැටිමුවා පයක් ගතිමි, මේ මා ගේ දෙ වැනි අභිෂේකය යි.
මෙසේ ... තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
තිස්ස ස්ථවිරගාථා යි.
1. 10. 8.
98. ප්‍රියනිමිත්ත මෙනෙහි කරනුවක්හට රූ අරමුණ දැක සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ රූපාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට භවයට මුල් වූ භවගාමී වූ ආස්‍රවයෝ වැඩෙත් යයි.
මෙසේ ... අභය ස්ථවිරයන් වහන්සේ ...
අභය ස්ථවිරගාථා යි.
1. 10. 9.
99. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනුවක්හට ශබ්දාලම්බනයක් අසා සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ ශබ්දාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට සසරට පමුණුවන ආස්‍රවයෝ වැඩෙත් ය යි.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත්තිය ස්ථවිරගාථා යි.
1. 10. 10.
100. සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ සීවටන් අරමුණු කොටැ ඇති විමුක්ති නැමැති මලින් සැදුණු මහණ ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නේ යි.
මෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
දේවසභ ස්ථවිරගාථා යි.
දස වැනි වග යි.
උද්දානය:
පරිපුණ්ණක ස්ථවිර යැ විජය ස්ථවිර යැ එරක ස්ථවිර යැ මෙත්තජි ස්ථවිර යැ චක්ඛුපාල ස්ථවිර යැ ඛණ්ඩසුමන ස්ථවිර යැ තිස්ස ස්ථවිර යැ අභය ස්ථවිර යැ මහාප්‍රාඥ වූ උත්තිය ස්ථවිර යැ දේවසභ ස්ථවිර යැ යි දස වැනි වගෙහි තෙරවරු දස දෙනෙකි.
එකොළොස් වැනි වග
1. 11. 1.
101. ගිහි බව හැරැපියා වැසැ නිම කළ ආර්‍ය්‍යවාස නැති (ආත්ම ඛණනයෙහි) මුව මැ නඟුල කොට ඇති උදරපූරණයෙහි නියැලුණු කුසීත වූ අඥාන තෙමේ (කුඩු ආදී) හූරුබකින් පුස්නාලද මහහූරකු මෙන් පුනපුනා ගර්‍භවාසයට පැමිණේ යයි.
මෙසේ ... බෙලට්ඨානික ස්ථවිරයන් වහන්සේ ...
බෙලට්ඨානික ස්ථවිරගාථා යි.
1. 11. 2.
102. (නවවිධ) මානයෙන් නුළුවාහු සඞ්ඛතධර්‍මයන් විෂයෙහි (තෘෂ්ණාදි) විසින් කෙලෙසෙන්නාහු ලාභාලාභ හෙයින් මඩනාලද්දාහු චිත්තසමාධිය නො ලබත් යයි.
මෙසේ ... සේතුච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
සේතුච්ඡ ස්ථවිරගාථා යි.
1. 11. 3.
103. මම තෙල ආමිසරසයෙන් ප්‍රයෝජන ඇත්තෙම් නො වෙමි, ධර්‍මරසයෙන් සුඛිතයෙමි, සුහිතයෙමි, උතුම් වූ අග්‍ර (දහම්) රසය පානය කොට (පස්කම්සුව) විෂය සමඟ සන්‍ථවය නො කරන්නෙමි.
මෙසේ ... බන්‍ධුර ස්ථවිරයන් වහන්සේ ...
බන්‍ධුර ස්ථවිරගාථා යි.
1. 11. 4.
104. මා ගේ සිරුර එකත්නෙන් ලුහු වූයේ වෙයි, මහත් වූ ප්‍රීති සුඛයෙන් පහස්නාලද්දේත් වෙයි, මා ගේ සිරුර සුළඟින් නඟන ලද පුලුන්රොදක් සෙයින් (අහස්හි) පාවේ යයි.
මෙසේ … ඛිතක ස්ථවිරයන් වහන්සේ ...
ඛිතක ස්ථවිරගාථා යි.
1. 11. 5.
105. මම උකටලියෙම් නමුදු වෙසෙමි, බැහැර නො යෙමි, ඇලෙනුයෙම් නමුදු පියායෙමි, නො වෙසෙමි, නුවණැති මහණ අනර්‍ත්‍ථ එළවන වාසය නො කරන්නේ මැ යි.
මෙසේ ... මලිතවම්භ ස්ථවිරයන් වහන්සේ ...
මලිතවම්භ ස්ථවිරගාථා යි.
1. 11. 6.
106. නො එක් ලිඞ්ග ඇති නො එක් ලක්‍ෂණ ධරන අර්‍ත්‍ථයා ගේ එක් අඞ්ගයක් දක්නාසුලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නො එක් අඞ්ග(සියල්ල) දක්නාසුලු වූයේ මැ ප්‍රාඥ වේ යයි.
මෙසේ ... සුහේමන්ත ස්ථවිරයන් වහන්සේ ...
සුහේමන්ත ස්ථවිරගාථා යි.
1. 11. 7.
107. (කාමයෙහි ආදීනව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්) තුලනය කොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීමි, (ඒ මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරන ලදැ යි.
මෙසේ ... ධම්මසව ස්ථවිරයන් වහන්සේ ...
ධම්මසව ස්ථවිරගාථා යි.
1. 11. 8.
108. ඒ මම(ජාතියෙන්) එක්සියවිසිවස් ඇත්තෙම් සස්නෙහි පැවිදි වීමි. (මා විසින්) ත්‍රිද්‍යා ලබනලදු. බුදුසසුන් කරනලදැ යි.
මෙසේ ... ධම්මසවපිතු ස්ථවිරයන් වහන්සේ ...
ධම්මසවපිතු ස්ථවිරගාථා යි.
1. 11. 9.
109. මේ මහණ රහසිගත වැ (කායවිවේකයුක්ත වැ) පරමහිතානුකම්පී භාග්‍යවත්හු ගේ පිළිවෙත් සසුන් නො තකා යි හැඟිමි. ඒ එසේ මැ යි. මේ තෙමේ වනයෙහි තරුණ ස්වභාව ඇති මුවඟනක සේ පියවි ඉඳුරන් ඇති වැ වෙසේ යයි.
මෙසේ ... සඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ ...
සඞ්ඝරක්ඛිත ස්ථවිරගාථා යි.
1. 11. 10.
110. කඳුමුදුන්හි මොනොවට වැඩුණු, වැසිකල්හි මහත් වූ අභිනව මේඝය විසින් තෙමනලද වෘක්‍ෂයෝ අරණ්‍යයෙහි ගිය සංඥා ඇති විවේකය කැමති උසභහට මතුමත්තෙහි (භාවනාවට) සුදුසුබව උපදවත් යයි.
මෙසේ ... උසභ ස්ථවිරයන් වහන්සේ ...
උසභ ස්ථවිරගාථා යි.
එකොළොස් වැනි වග යි.
උද්දානය:
බෙලට්ඨානික ස්ථවිර යැ, සේතුච්ඡ ස්ථවිර යැ, බන්‍ධුර ස්ථවිර යැ, ඛිතක ස්ථවිර යැ, මලිතවම්භ ස්ථවිර යැ, සුහේමන්ත ස්ථවිර යැ, ධම්මසව ස්ථවිර යැ, ධම්මසවපිතු ස්ථවිර යැ, සඞ්ඝරක්ඛිත ස්ථවිර යැ, උසභ ස්ථවිර යැ යි එකොළොස් වැනි වගෙහි තෙරවරු දස දෙනෙකි.
දොළොස් වැනි වග
1. 12. 1.
111. ඒකාන්තයෙන් පැවිද්ද දුෂ්කර යැ, ගෘහයෝ දුෂ්කරවාස ඇත්තාහු යැ, දහම් ගැඹුරු වෙයි, භෝගයෝ දුකසේ ලැබියයුත්තාහ. යථාලාභ ප්‍රත්‍යයෙන් මැ අප ගේ දිවිවැටුම දුක් වෙයි, එහෙයින් නිතර අනිත්‍යය මෙනෙහි කිරීම යුතුය යි.
මෙසේ ... ජෙන්ත ස්ථවිරයන් වහන්සේ ...
ජෙන්ත ස්ථවිරගාථා යි.
1. 12. 2.
112. මම ත්‍රිවිද්‍යා ඇත්තෙම් මහත් ධ්‍යාන ඇත්තෙම් චිත්තශමථයෙහි දක්‍ෂ වූයෙම් වෙමි, මා විසින් ස්වාර්‍ත්‍ථය (අර්‍හත්ත්‍වය) ලබනලද්දේ ය, බුදුන් ගේ අවවාදය කරනලදැ යි.