මෙසේ ... ඒක ධම්මසවනීය ස්ථවිරයන් වහන්සේ ...
ඒකධම්මසවනීය ස්ථවිරගාථා යි.
1. 7. 8.
68. අධිචිත්ත සඞ්ඛ්‍යාත රහත්ඵල සිතැති (අනවද්‍යධර්‍මයෙහි සාතත්‍යක්‍රියා විසින්) අප්‍රමාදවිහරණ ඇති මෝනපථ (සත්තිස්බෝධිපාක්‍ෂිකධර්‍ම) යෙහි හික්මෙන තාදීගුණ ඇති උපශාන්ත වූ හැම කල්හි ස්මෘතිමත් වූ මුනිවරයාහට ශෝකයෝ නොවෙත් යයි.
මෙසේ ... ඒකූදානිය ස්ථවිරයන් වහන්සේ ...
ඒකූදානිය ස්ථවිරගාථා යි.
1. 7. 9.
69. උතුම් වූ සර්‍වඥතාඥානයෙන් දෙසන ලද උදාර වූ (විමුක්ති) රස ඇති (සිව්සස්) දහම භාග්‍යවතුන් කෙරෙන් අසා නිර්‍වාණාධිගමය පිණිස මඟට පිළිපන්මි. ඒ භාග්‍යවතුන් වහන්සේ යෝගක්‍ෂේම (නිර්‍වාණ) මාර්‍ගයෙහි නිපුණහ යි.
මෙසේ ... ඡන්න ස්ථවිරයන් වහන්සේ ...
ඡන්න ස්ථවිරගාථා යි.
1. 7. 10.
70. මෙහි ශීලය මැ අග්‍ර යැ. එතෙකුදුවත් නුවණැත්තේ මැ උතුම් මිනිසුන් කෙරෙහි දු දෙවියන් කෙරෙහි දු ශීල ප්‍රඥා හෙයින් ජය (කෙලෙසුන් දිනීම) වේ යයි.
මෙසේ ... පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ...
පුණ්ණ ස්ථවිරගාථා යි.
සප්තම වර්‍ගය යි.
උද්දානය:
වප්ප ස්ථවිර යැ, වජ්ජිපුත්‍ර ස්ථවිර යැ, පක්ඛ ස්ථවිර යැ, විමල ස්ථවිර යැ, කොණ්ඩඤ්ඤ ස්ථවිර යැ, උක්ඛේපකටවච්ඡ ස්ථවිර යැ, මේඝිය ස්ථවිර යැ, ඒකධම්මසවණිය ස්ථවිර යැ, ඒකූදානිය ස්ථවිර යැ, ඡන්න ස්ථවිර යැ, පුණ්ණ ස්ථවිර යැ යි සත් වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
අෂ්ටම වර්‍ගය
1. 8. 1.
71. ඉතා සියුම් වූ(සත්‍යප්‍රතීත්‍යසමුත්පාදාදි) නිපුණ වූ අර්‍ත්‍ථයන් දක්නා සුලු ප්‍රඥායෙන් දක්‍ෂ වූ යටත් පැවැතුම් ඇති මොනවට සෙවුනාලද වෘද්ධශීලීන් ඇති ඔහු විසින් නිර්‍වාණය දුර්‍ලභ්‍ය නො වේ මැ යි.
මෙසේ ... වච්ඡපාල ස්ථවිරයන් වහන්සේ ...
වච්ඡපාල ස්ථවිරගාථා යි.
1. 8. 2.
72. යම්සේ හුණකිළිලක් වැඩුණු සාඛා ඇත්තේ හටගත් ප්‍රසාඛා ඇත්තේ (පඳුරින්) බැහැර කළ නො හැකි වේ ද, එසෙයින් මම ගෙන එනලද බිරිඳගෙන් බැහැර නො කළ හැක්කෙම් වෙමි, මම දැන් පැවිදි වූයෙමි, මෑණියෙනි, එය අනුදත මැනවැ යි.
මෙසේ ... ආතුම ස්ථවිරයන් වහන්සේ ...
ආතුම ස්ථවිරගාථා යි.
1. 8. 3.
73. ජරපත් වූවකු ද දැක දුක්පත් වූ ගිලනකු ද ගිලිහුණු ආයු ඇති මළ එකකු ද දැක එහෙයින් මම සිත්කලු වූ පස්කම්සුව හැරපියා ගිහිගෙන් නික්ම පැවිදි වීමි.
මෙසේ ... මාණව ස්ථවිරයන් වහන්සේ ...
මාණව ස්ථවිරගාථා යි.
1. 8. 4.
74. බාහිතපාපී මහණහුට කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද ථීනමිද්ධය ද උද්ධච්චකුක්කුච්චය ද විචිකිච්ඡාව ද සර්‍වප්‍රකාරයෙන් මැ නැත්තේ ය යි.
මෙසේ ... සුයාම ස්ථවිරයන් වහන්සේ ...
සුයාම ස්ථවිරගාථා යි.
1. 8. 5.
75. (ශීලාදී ගුණයෙන්) මොනවට පිහිටුවනලද සිත් ඇතියන් ගේ දර්‍ශනය මැනවි. යම් හෙයකින් සැක සිඳේ ද නුවණ වැඩේ ද බාලයකු පවා පණ්ඩිතයකු කෙරේ ද එහෙයින් සත්පුරුෂයන් ගේ සමාගමය උතුම් වේ යයි.
මෙසේ ... සුසාරද ස්ථවිරයන් වහන්සේ ...
සුසාරද ස්ථවිරගාථා යි.
1. 8. 6.
76. (සත්ත්‍වයන් මානාදීන්) නැඟී සිටුනා කල්හි (තෙමේ) බැසැ සිටුනේ යැ, (සත්ත්‍වයන් ගුණයෙන් හෝ සමථවිදර්‍ශනාධර්‍මයෙන්) බැසැ සිටුනා කල්හි තෙමේ නැඟී සිටුනේ යැ, නොහොත් (කෙලෙසුන්) නැඟී සිටුනා කල්හි (අනුරූප ප්‍රත්‍යවේක්‍ෂණයෙකින්) විෂ්කම්භණය කරන්නේ යැ, (සමථවිදර්‍ශනාධර්‍මයන්) බැසැ සිටුනා කල්හි නඟාලන්නේ යැ, (සත්ත්‍වයන්) බඹසරැ නො වස්නා කල්හි (තෙමේ) වස්නේ යැ, (සත්ත්‍වයන්) පස්කම්ගුණයෙහි ඇලෙන කල්හි (තෙමේ) නො ඇලෙන්නේ ය යි.
මෙසේ ... පියඤ්ජහ ස්ථවිරයන් වහන්සේ ...
පියඤ්ජහ ස්ථවිරගාථා යි.
1. 8. 7.
77. පෙර මා ගේ මේ සිත රිසිසෙයින් රිසි තැනෙකැ සුවසේ හැසුරුණේ යැ, අද මම් ඒ සිත අකුසු ගත්තකු මතැතක්හු සෙයින් නුවණින් නිගන්නෙමි යි.
මෙසේ ... හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරගාථා යි.
1. 8. 8.
78. (සසරවට) නවත්නා නුවණ නො ලබන්නෙම් නොයෙක් දෑ සියදහස් ගණන් කල් ඇවිද්දෙමි, හටගත් දුක් ඇති ඒ මා ගේ දුක්රැස (රහත්මගින්) නටුයේ වේ ය යි.
මෙසේ ... මෙණ්ඩසිර ස්ථවිරයන් වහන්සේ ...
මෙණ්ඩසිර ස්ථවිරගාථා යි.
1. 8. 9.
79. මා ගේ සියලු රාගය ප්‍රහීණ යැ සියලු ද්වේෂය නටුයේ යැ. මා ගේ සියලු මෝහය පහ වැ ගියේ යැ, නිවුණෙම් සිහිල් බවට පැමිණියෙම් වෙමි.
මෙසේ ... රක්ඛිත ස්ථවිරයන් වහන්සේ ...
රක්ඛිත ස්ථවිරගාථා යි.
1. 8. 10.
80. මා විසින් මඳ වූ හෝ බොහෝ වූ හෝ යම් කර්‍මයක් කරනලද නම් තෙල සියල්ල ක්‍ෂය වූයේ යැ, දැන් යළි පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ ... උග්ග ස්ථවිරයන් වහන්සේ ...
උග්ග ස්ථවිරගාථා යි.
අෂ්ටම වර්‍ගය යි.
උද්දානය:
වච්ඡපාල ස්ථවිර යැ, ආතුම ස්ථවිර යැ, මාණව ස්ථවිර යැ, සුයාම ස්ථවිර යැ, සුසාරද ස්ථවිර යැ, පියඤ්ජහ ස්ථවිර යැ, ආරෝහපුත්ත ස්ථවිර යැ, මෙණ්ඩසිර ස්ථවිර යැ, රක්ඛිත ස්ථවිර යැ, උග්ග ස්ථවිර යැ යි අට වැනි වගැ තෙරවරු දස දෙනෙකි.
නවම වර්‍ගය
1. 9. 1.
81. පෙර අන් ජාතිවල මා විසින් යම් පව්කමෙක් කරනලද නම් ඒ කර්‍මවිපාකය මේ අත්බැව්හි මැ වින්දයුතු වෙයි, අන් කඳපබඳෙක් නැති (එහෙයිනි) යි.
මෙසේ ... සමිතිගුත්ත ස්ථවිරයන් වහන්සේ ...
සමිතිගුත්ත ස්ථවිරගාථා යි.
1. 9. 2.
82. යම් යම් දිශාභාගයෙක්හි රට සුභික්‍ෂ ද ක්‍ෂේම ද නිර්‍භය ද පුතණුවෙනි, එතැන්හි යව, (අන් තැන්හි ගොස්) නහමක් සොවින් පෙළෙව යි.
මෙසේ … කස්සප ස්ථවිරයන් වහන්සේ ...
කස්සප ස්ථවිරගාථා යි.
1. 9. 3.
83. එම්බා සීහය, අප්‍රමත්ත (සතිසම්පජඤ්ඤ ඇති) වැ වාස කරා දවරැය නො කුසීත වැ කුසල්දහම් වඩව, ආත්මභාවය වහා දුරුකරව යි.
මෙසේ ... සීහ ස්ථවිරයන් වහන්සේ ...
සීහ ස්ථවිරගාථා යි.
1. 9. 4.
84. මුළු රෑ නිදාසිට දහවල් ගණසඞ්ගණිකායේහි ඇලුණු දුෂ්ප්‍රාඥ කවරදා නම් සසරදුක් කෙළවර කරන්නේ දැයි.
මෙසේ ... නීත ස්ථවිරයන් වහන්සේ ...
නීත ස්ථවිරගාථා යි.
1. 9. 5.
85. භාවනා චිත්තයාගේ නිමිත්තග්‍රහණයෙහි දක්‍ෂ වූ ප්‍රවිවේකරසය වෙසෙසින් දැන ධ්‍යාන කරන පාරිහාරික නුවණ ඇති එළඹැ සිටි සිහි ඇති මහණ නිරාමිසසුඛය ලබන්නේ ය යි.
මෙසේ ... සුනාග ස්ථවිරයන් වහන්සේ ...
සුනාග ස්ථවිරගාථා යි.
1. 9. 6.
86. මේ නිර්‍වාණගාමී මාර්‍ගය යම්සේ වේ ද එබඳු මාර්‍ගයෙක් මෙයින් බැහැර වෙන් වෙන් රහත් බැව් කියන සුල්ලන් (නානාතීර්‍ත්‍ථකයන්) ට නැතැ යි භාග්‍යවත් ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේ අත්ලෙහි තුබූවක් සෙයින් දක්වමින් භික්‍ෂුසඞ්ඝයාට අනුශාසනා කරන සේකැ යි.
මෙසේ ... නාගිත ස්ථවිරයන් වහන්සේ ...
නාගිත ස්ථවිරගාථා යි.
1. 9. 7.
87. පඤ්චස්කන්‍ධයෝ තත්වූ පරිද්දෙන් දක්නාලදහ, සියලු භවයෝ (මාර්‍ගඥානයෙන්) පළනලදහ, ජාති සඞ්ඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරනලද යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ ... පවිට්ඨ ස්ථවිරයන් වහන්සේ ...
පවිට්ඨ ස්ථවිරගාථා යි.
1. 9. 8.
88. මහවතුරෙහි ඉල්පීයනුවකු සෙයින් තමා සසර නැමැති දියපහරින් නිවන් නමැති ගොඩබිමැ නඟාසිටුවන්නට ඒකාන්තයෙන් පොහොසත් වීමි. (කුමක් හෙයින යත්) මම සියුසස් පිළිවිදැ දනිම් ද (එහෙයිනි) යි.
මෙසේ ... අජ්ජුන ස්ථවිරයන් වහන්සේ ...
අජ්ජුන ස්ථවිරගාථා යි.
1. 9. 9.
89. පඞ්ක (මඩ) පලිප (මහමඩ) සඞ්ඛ්‍යාත කාමරාගඡන්‍දරාගයෝ තරණය කරනලදහ, පාතාල සඞ්ඛ්‍යාත මිථ්‍යාදෘෂ්ටීහු දුරු කරන ලදහ, (කාමාදි) ඕඝයෙන් ද (අභිධ්‍යාදි) කායග්‍රන්‍ථයෙන් ද මිදුණෙම් වෙමි, සියලු මානයෝ මුලුසුන් කරනලදහ යි.
මෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
දේවසභ ස්ථවිරගාථා යි.
1. 9. 10.
90. (මා විසින්) පඤ්චස්කන්‍ධයෝ පිරිසිඳැ දන්නාලද්දාහු මුල්සුන් වැ සිටිති, ජාති සඞ්ඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරනලද, දැන් පුනර්‍භවයෙක් නැතැ යි.