මෙසේ ... සානු ස්ථවිරයන් වහන්සේ ...
සානු ස්ථවිරගාථා යි.
1. 5. 5.
45. යම්සේ සොඳුරු වූ අජානීය වෘෂභයා පැකිලැ වහා නැඟී සිටුනේ ද, එසෙයින් දර්‍ශනසම්පන්න වූ සම්‍යක්සම්බුද්ධශ්‍රාවක වූ මා සලකව යි.
මෙසේ ... රමණීයවිහාරී ස්ථවිරයන් වහන්සේ ...
රමණීයවිහාරී ස්ථවිරගාථා යි.
1. 5. 6.
46. මම සැදැහැයෙන් ගිහිගෙන් (නික්මැ) සසුනට පැමිණියෙමි. මා ගේ ස්මෘතියත් ප්‍රඥාවත් (අර්‍හත්ත්‍වය තෙක්) වැඩුණහ. සිතත් මොනවට සමාහිත වෙයි. (මාරය) කැමති සේ විප්‍රකාර කරව, (තෝ එයින්) මා නො පෙළන්නෙහි මැ යි.
මෙසේ ... සමිද්ධි ස්ථවිරයන් වහන්සේ ...
සමිද්ධි ස්ථවිරගාථා යි.
1. 5. 7.
47. බුද්ධවීරයන් වහන්ස, මුබ වහන්සේට නමස්කාර වේවා! (මුබ වහන්සේ) සියලු සංස්කාරගතයෙහි මොනවට මිදුණහු යැ, (මම) මුබ වහන්සේගේ ප්‍රතිපත්තිචර්‍ය්‍යායෙහි වෙසෙන්නෙම් ආශ්‍රව රහිත වැ වෙසෙමි යි.
මෙසේ ... උජ්ජය ස්ථවිරයන් වහන්සේ ...
උජ්ජය ස්ථවිරගාථා යි.
1. 5. 8.
48. යම් තැනෙකැ පටන්ගෙන මම ගිහිගෙන් (නික්ම) පැවිද්දට පැමිණියෙම් ද, එතැන් සිට දෝෂයෙන් යුක්ත වූ (එහෙයින් මැ) අනාර්‍ය්‍ය වූ සංකල්පයක් (ඉපැදැවූවා) නො දනිමි.
මෙසේ ... සඤ්ජය ස්ථවිරයන් වහන්සේ ...
සඤ්ජය ස්ථවිරගාථා යි.
1. 5. 9.
49. වටුවන්ගේ හඬට (හැඬීම නිසා) ද හුනපුපුළුවන් ගේ නොහොත් දඬුලෙහෙනුන් ගේ හඬට (හඬින්) ද මාගේ ඒ සිත නො සැලෙයි. යම් හෙයකින් මා සිත නිවන් අරමුණු කොට පවතී ද එහෙයිනැ යි.
මෙසේ ... රාමණෙය්‍ය ස්ථවිරයන් වහන්සේ ...
රාමණෙය්‍ය ස්ථවිරගාථා යි.
1. 5. 10.
50. දෙරණ ද තෙමෙයි, සිහිල් සුළං හමයි, අහසැ විදුලි කොටයි, මාගේ විතර්‍කයෝ සන්හිඳෙති, (එහෙයින්) මැ සිත ද සමාහිත වී යයි.
මෙසේ ... විමල ස්ථවිරයන් වහන්සේ ...
විමල ස්ථවිරගාථා යි.
පඤ්චම වර්‍ගය යි.
උද්දානය:
සිරිවඩ්ඪ ස්ථවිර යැ, ඛදිරවනියරේවත ස්ථවිර යැ, සුමඞ්ගල ස්ථවිර යැ, සානු ස්ථවිර යැ, රමණීයවිහාරී ස්ථවිර යැ, සමිද්ධි ස්ථවිර යැ, උජ්ජය ස්ථවිර යැ, සඤ්ජය ස්ථවිර යැ, රාමණෙය්‍ය ස්ථවිර යැ, විමල ස්ථවිර යැ යි පස් වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
ෂෂ්ඨ වර්‍ගය
1. 6. 1.
51. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයන ලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත. මාගේ සිත ද (නිවන් අරමුණෙහි) මොනොවට එකඟ විය. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... ගෝධික ස්ථවිරයන් වහන්සේ ...
ගෝධික ස්ථවිරගාථා යි.
1. 6. 2.
52. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත. (මාගේ සිත ද කාගියාසී අරමුණෙහි ලා) මොනවට එකඟ විය. මේඝය දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... සුබාහු ස්ථවිරයන් වහන්සේ ...
සුබාහු ස්ථවිරගාථා යි.
1. 6. 3.
53. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිබොගසුඛ හා පියූ වාකවුළු ඇත. ඒ කිළියෙහි නො පමා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
වල්ලිය ස්ථවිරගාථා යි.
1. 6. 4.
54. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත, එහි එකලා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත්තිය ස්ථවිරගාථා යි.
1. 6. 5.
55. අඳුන්වනයට වැදැ දික්හඟලාපුටුව කුටිය කොට ගෙන (වෙසෙමින් මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.
මෙසේ ... අඤ්ජනවනිය ස්ථවිරයන් වහන්සේ ...
අඤ්ජනවනිය ස්ථවිරගාථා යි.
1. 6. 6.
56. කුටියෙහි කවරෙක් ද? කුටියෙහි වීතරාග වූ මොනවට සන්හුන් සිතැති මහණෙක්මි. ‘තා ගේ කුටිය සඵල කරන ලදැ’යි මෙසේ දනැ යි.
මෙසේ ... කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
කුටිවිහාරිය ස්ථවිරගාථා යි.
1. 6. 7.
57. මේ පැරණි කුටියක් විය, අන් නවකිළියක් පතන්නෙහි, මහණ, කිළියෙහි ආශාව හරුව, නවකුටිය දුක් එළවා යි.
මෙසේ ... දෙවැනි කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
දුතියකුටිවිහාරිය ස්ථවිරගාථා යි.
1. 6. 8.
58. සද්ධාදෙය්‍යධනයෙන් නිමවනලද මා ගේ මේ කුටිය සිත්කලු යැ. මට කුමරියන් ගෙන් කම් නැත. කුමරියෙනි, යම් කෙනකුන්ට (තොපගෙන්) වැඩෙක් වේ නම් එහි යව යි.
මෙසේ ... රමණීයකුටික ස්ථවිරයන් වහන්සේ ...
රමණීයකුටික ස්ථවිරගාථා යි.
1. 6. 9.
59. මම සැදැහැයෙන් පැවිදි වීමි, මට වෙනෙහි කුටියක් කරනලදු. අප්‍රමත්ත වූයෙම් කෙලෙසුන් තවන වැර ඇත්තෙම් සම්‍යක්ප්‍රඥා ඇත්තෙම් එළඹ සිටි සිහි ඇත්තෙම් වෙමි යි.
මෙසේ ... කෝසලවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
කෝසලවිහාරිය ස්ථවිරගාථා යි.
1. 6. 10.
60. යමක් ප්‍රයෝජන කොට ඇත්තෙම් කිළියට පිවිසියෙම් ද, මා ගේ ඒ සංකල්පයෝ සමෘද්ධ වූහ, ත්‍රිවිද්‍යා අර්‍හත්ඵලවිමුක්ති සොයන්නෙම් මානානුසයයන් හළිමි.
මෙසේ ... සීවලී ස්ථවිරයන් වහන්සේ ...
සීවලී ස්ථවිරගාථා යි.
ෂෂ්ඨ වර්‍ගය යි.
උද්දානය:
ගෝධික ස්ථවිර යැ, සුබාහු ස්ථවිර යැ, වල්ලිය ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ, අඤ්ජනවනිය ස්ථවිර යැ, කුටිවිහාරී ස්ථවිර දෙනම යැ, රමණීයකුටික ස්ථවිර යැ, කෝසල ස්ථවිර යැ, සීවලී ස්ථවිර යැ යි ස වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
සප්තම වර්‍ගය
1. 7. 1.
61. දර්‍ශනසම්පන්න වූ ආර්‍ය්‍ය තෙමේ අවිපරීත කොට දක්නා ආර්‍ය්‍යයා දකී, අවිපරීත කොට නො දක්නා පෘථජ්ජනයා ද දකී. අවිපරීතඥානයෙන් තොර වූ අන්‍ධබාලපෘථජ්ජන තෙමේ ආර්‍ය්‍යයාත් අනාර්‍ය්‍යයාත් නො දක්නේ ය යි.
මෙසේ ... වප්ප ස්ථවිරයන් වහන්සේ ...
වප්ප ස්ථවිරගාථා යි.
1. 7. 2.
62. වනයෙහි හැර දමන ලද දරකඬක් සෙයින් අපි හුදෙකලාවමෝ වෙනෙහි වසම්හ. ස්වර්‍ගාමීන් (කැමති වන) නිරිසතුන් සෙයින් බොහෝ දෙනා මට කැමති වෙත්.
මෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
වජ්ජිපුත්ත ස්ථවිරගාථා යි.
1. 7. 3.
63. මාංශපේශිය මුවින් ගිලිහුණී අනුක්‍රමයෙන් වැටෙමින් (බිමැ) පතිත වූ යැ, එතෙකුදුවත් (උකුස්සෝ) ගිජු වූවාහු වටාලා ආහ. ච්‍යුත වූවාහු නිරයාදියෙහි හෙති, හුණුවාහු ද කාමාදිභවයෙහි ගිජු වූවාහු වටාලා ආවාහු මැයි, මා විසින් (පරිඤ්ඤාදි සොළසවිධ) කෘත්‍යය කරනලදැ යැ, රමණය කළ යුත්ත (නිවන) රමණය කරන ලද යැ. (විදර්‍ශනා මාර්‍ග) සුවයෙන් (ඵල-නිර්‍වාණ) සුවය ලබන ලදැ යි.
මෙසේ ... පක්ඛ ස්ථවිරයන් වහන්සේ ...
පක්ඛ ස්ථවිරගාථා යි.
1. 7. 4.
64. හෙළ කෙහෙලි ඇතියහු (බිම්සර රජුහු) නිසා අම්බපාලිය කෙරෙහි උපන්නේ (මාන) ධ්වජය නැසුනේ ප්‍රඥා (කේතුයෙන්) මැ කෙලෙස් මරහු අභිභවනය කෙළේ යි.
මෙසේ ... විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...
විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා යි.
1. 7. 5.
65. උක්ඛේපකටවච්ඡ මහණහු විසින් හවුරුදු බොහෝ ගණනකින් සිත්හි ලා රැස් කරනලද යම් දහමෙක් වේ ද, හෙ විමුක්තායතන ශීර්‍ෂයෙහි සිටියේ උදාර වූ ප්‍රමෝදය ඇති වැ ඒ දහම ගිහියනට දේශනා කෙරේ යයි.
මෙසේ ... උක්ඛේපකටවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
උක්ඛේපකටවච්ඡ ස්ථවිරගාථා යි.
1. 7. 6.
66. සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය මහාවීර වූ සර්‍වඥයන් වහන්සේ (මට) අවවාද කළහ, මම උන් වහන්සේ ගේ දහම අසා සිහි ඇති වැ උන්වහන්සේ කෙරෙහි විසීමි. (ඒ මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.
මෙසේ ... මේඝිය ස්ථවිරයන් වහන්සේ ...
මේඝිය ස්ථවිරගාථා යි.
1. 7. 7.
67. මා විසින් ක්ලේශයෝ දවනලදහ. සියලු (කාමාදි) භවයෝ නසන ලදහ, ජාතිසංසාරය වෙසෙසින් ක්‍ෂය විය. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.