1254. යමෙක් මරහුගේ උන්මාර්‍ගපථය මැඩැපියා චේතෝඛිලයන් බිඳහැරැ හැසිරේ ද, සතිපට්ඨානාදි ධර්‍මයන් කොටස් විසින්, බෙදා දේශනා කෙරේ ද ක්ලේශබන්‍ධනයන් මුදන්නා වූ රාගාදි නිඃශ්‍රය රහිත වූ ඒ බුදුන් බලවු.
1255. යමෙක් චතුරොඝයාගේ නිස්තරණය පිණිස අනේකප්‍රකාර වූ මාර්‍ගය ප්‍රකාශ කෙළේ ද ඒ බුදුන් අමෘතය ප්‍රකාශ කළ කල්හි දහම් දක්නාහු (අනෙකක්හු විසින්) අසංහාරිය වැ සිටියාහු යැ.
1256. ප්‍රද්‍යොතකර වූ යමෙක් දහම් අවබෝධ කොට සියලු දෘෂ්ටිස්ථානයන් ගේ හෝ විඥානස්ථිතීන්ගේ අතික්‍රමණය වූ නිවන දුටුයේ ද අග්‍ර ධර්‍මය දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඒ සර්‍වඥ තෙම පස්වග මහණුන්ට දෙසී.
1257. මෙසෙයින් දහම් මොනොවට දේසිත කල්හි දහම් දන්නවුන්ගේ කවර ප්‍රමාදයෙක් ද, එහෙයින් ඒ භාග්‍යවතුන්ගේ ශාසනයෙහි අප්‍රමත්ත වැ හැම කල්හි නමස්කාර කෙරෙමින් ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ යැ.
1258. බුද්ධානුබුද්ධ වූ දාඨවීර්‍ය්‍ය ඇති කෞණ්ඩින්‍ය නම් යම් ස්ථවිර කෙනෙක් නිරතුරු ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති ත්‍රිවිධ විවේකයන් ලැබූහු ද.
1259. ශාස්තෲන් වහන්සේගේ අවවාදය පිළිපදනා සුලු වූ හැම ශ්‍රාවකයකු විසින් යම් උතුරුමිනිස්ගුණයෙක් ලැබිය යුතු වන්නේ නම් අප්‍රමාද වැ හික්මෙනුවහු විසින් එය අනුක්‍රමයෙන් ලබන ලදි.
1260. මහත් වූ අනුභව ඇති (ලබනලද) ත්‍රිවිද්‍යා ඇති, පරසිත් දන්නා නුවණෙහි නිපුණ වූ බුද්ධදායාද (ඖරසපුත්‍ර) වූ කෞණ්ඩින්‍ය ස්ථවිර තෙම ශාස්තෲන් වහන්සේගේ පාසඟළ වඳී.
1261. මරහු බැහැර කරනසුලු වූ ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වූ ශ්‍රාවකයෝ (ඉසිගිලි) පව්පාමුල්හි (කළුගල) මතුයෙහි වැඩහුන්නා වූ (සසර) දුකින් එතර වූ මුනිඳුන් පිරිවරා හිඳිත්.
1262. මහත් ඍද්ධිඇති මුගලන් තෙමේ කෙලෙසුන් කෙරෙන් මිදුණු උපධි රහිත වූ ඔවුන්ගේ සිත චේතෝපරියඤාණයෙන් විමසමින් පිළිවෙළින් පිරිසිඳි.
1263. මෙසේ ශ්‍රාවකයෝ (ශාස්තෲ සම්පත්තියෙන් ද ශ්‍රාවක සම්පත්තියෙන් ද යන) සියලු අඞ්ගයන්ගෙන් සමන්‍විත වූ සසර දුකින් එතෙර වූ නොයෙක් අයුරු ගුණයෙන් යුක්ත වූ ගෞතම මුනිහු පිරිවරා හිඳිත්.
1264. පහ වූ වලා ඇති අහස්හි පුන්සඳ යම්සේ බබළා ද පහ වූ උපක්ලේශ ඇති සූර්‍ය්‍යයා යම්සේ බබළා ද එසේ මැ අඞ්ගිරස මහා මුනිවරයන් වහන්ස, මුබ වහන්සේ යසසින් මුළු ලොව අභිභවා බබළන්නාහුය.
1265. පෙර කාව්‍යකරණයෙන් මත් වැ (මානිත වැ) ගමින් ගම නුවරින් නුවර ඇවිද්දම්හ. ඉක්බිති සියලු (ඥේය) ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ සම්බුදුන් දුටුම්හ.
1266. සසරදුකින් එතෙරට ගිය ඒ මුනිවරයන් වහන්සේ මට දහම් දෙසූහ, දහම් අසා ප්‍රසන්න වූම්හ, එකත්නෙන් (තුනුරුවන්) අපට (හිත පිණිස) උපන්නේ යි.
1267. මම උන් වහන්සේගේ බස් අසා ස්කන්‍ධ ආයතන ධාතූන් දැනැ ගෙන සසුන්හි පැවැදි වීමි.
1268. යම් කෙනෙක් (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය කරන්නාහු නම් ඒ බොහෝ වූ සත්‍රින්ට ද පුරුෂයන්ට ද ඒකාන්තයෙන් වැඩ පිණිස තථාගතයෝ උපදිත්.
1269. යම් කෙනෙක් “සම්මත්තනියාමය” සාක්‍ෂාත් කළාහු නම් ඒ භික්‍ෂූන්ට ද භික්‍ෂූණීන්ට ද එකත්නෙන් වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බෝධිය සාක්‍ෂාත් කළහ.
1270. පසැස් ඇති සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් විසින් සත්ත්‍වයන්ට අනුකම්පා පිණිස චතුරාර්‍ය්‍යසත්‍යයෝ දෙසන ලදහ.
1271. දුකැ, දුක් උපදනා හේතු යැ, දුක ඉක්මවීම (නිරෝධ) යැ, දුක් සන්හිඳුවනුසුලු අරී අටඟමඟ යැ යන-
1272. තෙල සත්‍යධර්‍මයෝ මෙසේ ඇතිසැටියෙන් දෙසනලද්දාහු යැ ඒ ධර්‍මයෝ දෙසනලද පරිද්දෙන් මා විසින් පසක් කරන ලදහ. මා විසින් ස්වාර්‍ත්‍ථය අනුක්‍රමයෙන් ලබනලද යැ. බුදුන්ගේ අවවාදය කරනලදි.
1273. ඒකාන්තයෙන් මනා ඊමෙක් මට විය. මාගේ බුදුන් හමුයෙහි දී විභාග කරන ලද ධර්‍මයන් අතුරෙහි යම් ධර්‍මයක් ශ්‍රේෂ්ඨ නම් මම එය සාක්‍ෂාත් කෙළෙමි.
1274. (මා විසින්) ෂඩ්භිඥාවන්ගේ පරතෙර පැමිණෙන ලද යැ ශ්‍රෝත්‍රධාතුව විශෝධනය කරන ලද යැ, (මම) ත්‍රිවිද්‍යා ඇත්තෙමි. ඍද්ධිවිධඥානය ලද්දෙමි, චේතෝපරියඤාණයෙහි නිපුණයෙමි.
1275. මහාප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේ විචාරමි, යම් මහණෙක් මේ අත් බැව්හි මැ සැක සිඳ ප්‍රකට වැ යශස් ඇති වැ සන්හුන් සිත් ඇත්තේ ද ඒ මහණ තෙම “අග්ගාළවචේතිය” නම් වූ වෙහෙරෙහි දී කලුරිය කෙළේ ය.
1276. භාග්‍යවතුන්වහන්ස, “නිග්‍රෝධකප්පඉසි” යනු බ්‍රාහ්මණ ජාතික වූ ඔහුට මුබ වහන්සේ විසින් කරන ලද නමෙකි. නිවන් දහම් දක්නාසුලු භාග්‍යවතුන් වහන්ස, ඒ මම (එකල්හි) මොක්‍ෂයෙහි අපේක්‍ෂා ඇතියෙම් රුකුළුවැර ඇතියෙම් නමස්කාර කෙරෙමින් සිටියෙමි.
1277. ශාක්‍යයන් වහන්ස, අපි සියලු දෙනා මැ ඒ (කලුරිය කළ) මහණහු දැනගන්නට කැමැත්තම්හ. සියල්ල දක්නාණෙනි, අපගේ කන් (එකරුණ) අසන්නට යොමු විය. වහන්ස, වහන්සේ අපගේ ශාස්තෘ වූ සේක. වහන්සේ අනුත්තර වූ සේක.
1278. අපගේ විචිකිච්ඡාව සින්ද මැනැවැ, තෙල කරුණු මට වදාළ මැනවැ, මහා ප්‍රාඥයාණෙනි, සියල්ල දක්නාණෙනි, පිරිනිවියහු දැනැ දෙවියන් මැද සහස්නෙත් සක්රජහු සෙයින් අප පිරිස්මැද වදාළ මැනවි.
1279. මෙලොවැ මෝහයට මාර්‍ග වූ අඥානපක්‍ෂ ඇති, විචිකිච්ඡාවට කරැණු වූ (අභිධ්‍යාදි) යම් කිසි ග්‍රන්‍ථකෙනෙක් වෙත් නම් ඔහු තථාගතයන් වහන්සේ කරා පැමිණ අභාවයට යෙත්, යම්හෙයකින් තෙල තථාගතයන් වහන්සේ මිනිසුනට පරමචක්‍ෂුස වේ ද එහෙයිනි.
1280. ඉදින් යම් හෙයකින් තථාගත තෙම වායුව වැසිවලාවක් සෙයින් කෙලෙස් නොනසා නම් ඔකත්නෙන් මුළු ලොව අඳුරින් වැසුණේ මැ වන්නේ යැ, (ශාරිපුත්‍රාදි) ද්‍යුතිමත්හු ද නො බබලන්නාහු මැ යි.
1281. පණ්ඩිත පුරුෂයෝ නැණපහන් කරන්නාහු වෙත්, එහෙයින් වීරයන් වහන්ස, මම ඔබ එසේ මැ හඟිම් (සියලු ධර්‍මයන්) වෙසෙසින් දක්නාසුලු තැනැත්තහු වෙත දන්නහු වෙත එළඹියම්හ. පිරිස් මැද අපට “නිග්‍රෝධකප්ප” හෙළි කළ මැනවි.
1282. භාග්‍යවතුන් වහන්ස, මනහර වූ වදන් නො ලස් වැ උසුරුවනු මැනැවැ, කඳට නඟා පියා සලා (තුටු පහටු වැ කූජනය කරන) හංසයකු සෙයින් මොනොවට විකල්පනය කරනලද බින්‍දුස්වරයෙන් යුතු වැ සෙමින් වදාහළ මැනැවැ, (අපි) සියලු දෙනා මැ එකඟසිත් ඇති වැ අසම්හ.
1283. නිරවශේෂ කොට ප්‍රහාණය කළ ජාතිමරණ ඇති කම්පා කරන ලද පව් ඇති බුදුන් ලවා ඇවිටිලි කොට දහම් දෙසවමි. කාමකාරයෙක් (කැමැත්තක් කරනු හැකියාවක්) පුහුදුන්හට නැත. විමසා කිරීම මැ තථාගතයන්ට ඇත්තේ යි.
1284. (භාග්‍යවතුන් වහන්ස,) ඍජු ප්‍රශ්නයට මුබ වහන්සේගේ මේ පරිපූර්‍ණ විසර්‍ජනය මා විසින් මැනැවින් උගන්නා ලද්දේ යැ, මේ පශ්චිම අඤ්ජලිය මොනොවට බඳනාලද්දේ යැ, මහාප්‍රඥායන් වහන්ස, කප්පගේ ගතිය (දන්නාසේක් එය නො දෙසීමෙන්) නහමක් මුළා කරන සේක්වා.
1285. මහාවීරයාණෙනි, පරාවර (ලෞකික ලෝකෝත්තර විසින් සුන්‍දරාසුන්‍දර) වූ සිව්සස් දහම් අවබෝධ කොට (දතයුතු) සියල්ල දන්නා සේක් නො දෙසීමෙන් මුළා නො කළ මැනවැ ඝර්‍මකාලයෙහි ග්‍රීෂමයෙන් තැවුණකු ජලය මෙන් දේෂනය කැමැත්තෙමි, (එහෙයින් මැ) ශ්‍රැතය (ශබ්දායතනය) වගුළ මැනවි (වදාළ මැනවැ යි සේ යි).
1286. පූජ්‍ය “කප්ප” තෙමේ යමක් සඳහා සත්පුරුෂයන්ගේ නොසිස් වූ බඹසර හසළේ නම් කිම, හෙතෙම අනුපාදිශේෂයෙන් පිරිනිවියේ ද? විමුක්තයකු සෙයින් වී ද? එය අසම්හ.
1287. මේ ලෝකයෙහි නාමරූප විෂයෙහි වූ තෘෂ්ණාව සිඳලූයේ යැ, දිගුකලක් මුළුල්ලෙහි අනුශය වූ තෘෂ්ණාශ්‍රොතස තරණය කළේ යැ. ජාතිමරණ දෙක නිරවශේෂ කොට තරණය කරවී ය යි (පසස් ඇති හෙයින්) පඤ්ච ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
1288. ඍෂිසප්තමයන් වහන්ස, මුඹ වහන්සේගේ තෙල වදන් අසා පහදිමි. මා විසින් විචාරනලද්ද නො සිස් යැ, බ්‍රාහ්මණ තෙමේ (භාග්‍යවතුන් වහන්සේ) මා නො රැවටී.
1289. බුද්ධශ්‍රාවක තෙමේ යථාවාදී තථාකාරී විය, මායාවී මරහුගේ (ත්‍රෛභූමක වර්‍තයෙහි) පතළා වූ දැඩි වූ (තෘෂ්ණා) ජාලය සින්දේ යැ.
1290. භාග්‍යවතුන් වහන්සේ උපාදානයා (වර්‍තයා) ගේ මූල කාරණය දුටහ. “කප්ප” තෙමේ තරණයට අති දුෂ්කර වූ ත්‍රෛභූමක වර්‍තය ඒකාන්තයෙන් ඉක්මගියේ යි.
1291. ද්විපදෝත්තමයන් වහන්ස! දෙවියනට දෙවි වූ මුඹ වහන්සේ වඳිමි. (යළි) බුද්ධනාග වූ මුඹ වහන්සේගේ අනුජාතපුත්‍ර වූ ඖරසපුත්‍ර වූ මහාවීර වූ (නිග්‍රෝධකප්ප) නම් නාගයා වඳිමි.
මෙසේ ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
වඞ්ගීස ස්ථවිරගාථා යි.
උද්දානය:
සැත්තෑ වැනි නිපාතයෙහි ප්‍රතිභානවත් එක් මැ වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ යැ, අනෙකෙක් නැති. ගාථා ද එක් සැත්තෑවකි.
මහානිපාතය නිමි.
උද්දානය:
ඒ ගාථාවෝ එක්දහස් දෙසියඑක්අනූවක් වෙති, තෙරවරු ද දෙසිය සිව්සැටක් වෙති ප්‍රකාශ කරනලදහ.
නිරාසුව වූ බුද්ධපුත්‍රයෝ සිංහනාද කොට නිවනට පැමිණ ගිනිකඳු මෙන් පිරිනිවියහ.
ථේරගාථා නිමි.