1161. (මා ගේ) ඒ සිත ආකාශය වැන්නැ, අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත යැ, එම්බා ළමු (නිහීන) සිත් ඇත්තීය, ගිනිකඳක් (ගටනා) පළඟකු සෙයින් (මා) නහමක් ගටව (නොගට).
1162. යමක්හුගේ ධ්‍රැවභාවයක් හෝ ස්ථීතිභාවයක් හෝ නැත් ද, වණ වූ ඇටසැකිල්ල විසින් ඔසවනලද්දා වූ ගිලන් වූ නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ විසිතුරු කරනලද්දා වූ ඒ සිරුර බලව.
1163. සමින් වෙළනලද (තුන්සියක්) ඇට ඇති, මිණියෙනුදු කොඬොලිනුදු විසිතුරු කරනලද රූපය බලව (ඒ) වස්ත්‍ර සහිත වි මැ හොබනේ යි.
1164. ලහරසින් රඳනාලද පාදයෝ, සුවඳසුනු අලෙවිදුන් මුව, බාලයාගේ සම්මෝහයට නිස්සැ පාරගවෙෂිහුගේ මෝහයට නිසි නො වෙයි.
1165. අෂ්ටපාදකෘතකේශයෝ (කියඹුවැල්) ද අඳුන් ඇඳි නේත්‍රයෝ ද බාලජනයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1166. සිතියම් කළ අළුත් අඳුන් කොපුවක් සෙයින් සරසනලද කුණුකය බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1167. මුවවැදි තෙම මලපුඬුව දමාලී යැ, මුවා වරදැල නො පැහැසී (නො ගැටී) යැ, මුවවැද්දා හඬද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
1168. මුවවැද්දාගේ මලපුඬුව සිඳුණේ යැ, මුවා වරදැල නො පැහැසී යැ, මුවවැදි සොවිද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
1169. (ශීලාදි) නොයෙක් ආකාරවරයෙන් පරිපූර්‍ණ වූ සැරියුත් තෙරුන් පිරිනිවි කල්හි යම් (සෙනහඬ ආදි) බිහිසුණු අරමුණෙක් වී නම් එකල්හි ලොමුදහගැන්ම වී,
1170. අහෝ! සංස්කාරයෝ අනිත්‍යයෝ යැ. ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට ඇත්තෝ යැ, ඉපැද නිරුද්ධ වෙති, ඔවුන්ගේ සන්හිඳීම සුව යි.
1171. යම් කෙනෙක් පඤ්චස්කන්‍ධය අනාත්ම විසින් දකිත් නම් ඔහු (අඳුරෙහි විදුලිය එළියෙන්) සරයෙන් වලග විදුනා සේ සියුම් අරුත් පිළිවිදිත් (විනිවිද දකිත්). ආත්ම විසින් දක්නාහු නො ද පිළිවිදිත්.
1172. තවද යම් කෙනෙක් සංස්කාරයන් අනාත්ම විසින් දකිත් නම් ඔහු සරයෙන් වලග සේ නිපුණ වැ සියුම් අරුත් පිළිවිදියහ. ආත්ම විසින් දක්නාහු නො ද පිළිවිදියහ.
1173. මහණ තෙම සැතින් විදුනාලද්දකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇති වැ වෙසෙන්නේ යි.
1174. මහණ තෙම සැතින් විදුනාලද්දකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් භවරාග ප්‍රහාණය පිණිස සිහි ඇති වැ වෙසෙන්නේ යි.
1175. වඩනාලද සිත් ඇති පැසිම් සිරුරු (අන්තිම දේහය) දරන්නහු (ශාස්තෲන් වහන්සේ) විසින් චූදිතයෙම් පයැ මහපටැඟිල්ලෙන් මුවරමාපාය සැලීමි.
1176. සියලු ග්‍රන්‍ථයන් වෙසෙසින් මුදනසුලු වූ මේ නිවන වූකලී ලිහිල් වැ වැර කොට සාක්‍ෂාත් කටයුත්තේ නො වෙයි, මඳ වැරෙනුදු සාක්‍ෂාත් කටයුත්තේ නො වේ.
1177. මේ උත්තම පුරුෂ වූ මේ ( “වේද” නම් වූ) තරුණ මහණ තෙමේත් සෙන් සහිත මරහු දිනා අන්තිමදේහය දරයි.
1178. “වෙභාර” පර්‍වතයටත් “පාණ්ඩව” පර්‍වතයටත් අතරැ වූ විවරය ලක්‍ෂ්‍ය කොට විදුලිය වැටෙයි, අප්‍රතිම (අසම) වූ තාදීහුගේ පුත්‍ර තෙම පර්‍වත විවරගත වැ ධ්‍යාන කෙරේ.
1179. උපශාන්ත වූ පව්කමින් වෙන් වූ ප්‍රාන්තසේනාසන ඇති මුනි වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඖරසසූත්‍ර තෙම බඹහු විසින් අභිවාදනය කරනලද්දේ යි.
1180. බමුණ, තෝ උපශාන්ත වූ උපරත වූ ප්‍රාන්තසේනාසන ඇති මුනි වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඖරසපුත්‍ර වූ කසුප් තෙරුන් වඳු.
1181. යමෙකුත් මිනිසුන් අතුරෙහි පුනපුනා ජාති සියයක් සියලු බ්‍රාහ්මණජාතීන්ට (උපප්‍රාප්ති වශයෙන්) එළඹෙන්නේ නම් සොත්‍ථිය ජාති (එනම් බමුණුජාති) ඇත්තේ නම් “වේද” සම්පන්න වේ නම් -
1182. ඉදින් වේදධ්‍යයනය කරන්නේත් වේ නම්, ත්‍රිවේදයෙහි පරතෙරට ගියේත් වේ නම් එබන්දහුට වැඳීම මේ කසුප් තෙරුනට වැඳීමෙන් සොළසින් කලාවටත් නො අගී.
1183. යම් මහණෙක් අෂ්ටවිමෝක්‍ෂයන් පෙරබත් වේලෙහි අනුලොම් පිළිලොම් විසින් සමවන්නේ නම් ඉක්බිති පිඬු සිඟා යේ නම් -
1184. බමුණ, තෝ එබඳු මහණහු නහමක් ගට (නොගට), තමා මුලුසුන් නො කර, අර්‍හත් වූ තාදීහු කෙරෙහි සිත් පහද, වහා ඇඳිලි බැඳැ වඳු, තාගේ හිස නහමක් පළනු (නා පළාගන්).
1185. තෙල (පොඨිල නම්) මහණ තෙම (අවිද්‍යාදි) සසර බැඳුම් විසින් පුරස්කෘත වූයේ (නව ලොවුතුරු) සදහම් නො දකී. අධෝගාමී වූ (මායාසාඨෙය්‍යාදි) වඞ්කමාර්‍ග ඇත්තා වූ (මිථ්‍යාජීව සඞ්ඛ්‍යාත) නො මඟෙහි දිවැ යේ.
1186. අමේධ්‍යයෙන් හාත්පසින් තැවැරුණු පණුවකු සෙයින් සංස්කාරයෙහි බැඳුණු (ගැලුණු) ලාභයෙහි ද සත්කාරයෙහි ද වෙසෙසින් කිඳුණු පොඨිල මහණ තෙම හිස් වැ යේ.
1187. තෙල එන්නා වූ ශාරිපුත්‍රයන් එනම් - මනා දැකුම් ඇතියා වූ උභතොභාගවිමුක්ත වූ අධ්‍යාත්මයෙහි මොනවට සමාහිත වූ -
1188. පහ වූ (රාගාදි) ශල්‍ය ඇතියා වූ ක්‍ෂය වූ සංයෝජන ඇති ත්‍රිවිද්‍යා ඇති මරහු මැඩලනසුලු වූ දක්‍ෂිණාර්‍හ වූ මිනිසුනට නිරුත්තර පින්කෙතක් වූ ශාරීපුත්‍රයන් බලව.
1189. තෙල බොහෝ වූ දෙවිවරු එනම් - ඍධි ඇත්තාහු, යශස් ඇත්තාහු, බ්‍රහ්මපුරෝහිත නම් බඹලෝවැසි වූ, දසදහසක් පමණ වූ සියලු දෙවිවරු ඇඳිලි බැඳැ මුගලන් තෙරුනට නමස්කාර කරමින් සිටිත්.
1190. පුරුෂාජානීයය, ඔබට නමස්කාර වේවා පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා! භවත, ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු යැ, භවත් දක්‍ෂිණාර්‍හ වෙයි.
1191. (මුගලන් තෙර) නරදේවයන් (මිනිසුන් හා දෙවියන් හෝ සම්බුදුන්) විසින් පුදනලද්දේ (මරණයෙන් මඩනාලද ලොවැ) උපන්නේ මරණය මැඩලූයේ ජලය විසින් පඬෙර (හෙළපියුම්) සෙයින් සංස්කාරයන් විසින් නො තැවැරුණේ යි.
1192. යමකු විසින් ඇසිල්ලෙකින් සහස්‍රීලෝකධාතුව සාක්‍ෂාත් කරන ලද නම් ඒ මුගලන් තෙර බ්‍රාහ්මයා සදෘශ යා, ඍද්ධිවිධඥානයෙහි ද චුතූපපාතඥානයෙහි ද වශීප්‍රාප්ත වූ ඒ මහණ සුදුසු කල්හි (දිවැසින්) දෙවියන් බලයි.
1193. ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් (කෙලෙසුන් සන්සිඳීමෙන්) ද යම් මහණෙත් පරතෙරට (පරමොතකෘෂ්ටභාවයට) ගියේ නම් හේ ශාරිපුත්‍ර බඳු යැ එතත්පරම මැ වන්නේ යි.
1194. කෝටිලක්‍ෂයක් ආත්මභාවයන් ඇසිල්ලෙකින් මවන්නෙමි, මම ඍද්ධිවිකුර්‍වණයෙහි සමත්මි, ඍද්ධියෙහි වශී වූයෙමි.
1195. සමාධීන්හි දු විද්‍යාවන්හි (ත්‍රිවිද්‍යායෙහි) දු පරතෙරට ගියා වූ තෘෂ්ණාදි නිශ්ශ්‍රය රහිත වූවහු (ශාස්තෲන් වහන්සේ) ගේ සසුන්හි ධෛර්‍ය්‍ය ඇතියා වූ වසනලද ඉඳුරන් ඇතියා වූ මොග්ගල්ලාන ගෝත්‍ර ඇත්තේ රසකිඳ වැලක් සිඳුනා ඇතකු සෙයින් ක්ලේශබන්‍ධනය (සුවසේ) මැනැවින් සින්දේ යි.
1196. මා විසින් ශාස්තෲන් වහන්සේ පරිවිතයහ. සම්බුදුන්ගේ අවවාදය කරනලදී. ගුරු වූ බර බහා තබනලද්දේ යැ, තෘෂ්ණාව මුලසුන් කරන ලදු.
1197. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ පැවිද්දට ගියෙම් නම්, සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම නම් වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යි.
1198. එම්බා මාරය, (කකුසඳ බුදුන්ගේ අග්‍ර) ශ්‍රාවක වූ “විධුර” නම් තෙරුන් ද කකුසඳ නම් සම්බුදුන් ද පෙළා “දුස්සී” නම් මාර තෙම යම් නිරයෙකැ පැසුණේ නම් ඒ නිරය කෙබඳු වී ද,
1199. “විධුර” නම් ශ්‍රාවකයන් ද කකුසඳ සම්මා සම්බුදුන් ද පෙළා “දුස්සී” නම් මාර තෙම යම් නිරයෙකැ පැසිණි නම් ඒ නිරය මෙබඳු වී යැ: එහි යහුල් සියයෙක් විය, සියල්ලෝ වෙන් වෙන් වේදනා ඇත්තෝ යි.
1200. (මහා අභිඥාලාභි) යමෙක් තෙල කර්‍මඵලය වෙසෙසින් දනී නම් ඒ මහණ තෙම බුද්ධශ්‍රාවකයෙකි. පවිට (මාරය), තො එබඳු මහණක්හු පෙළා දුකට පැමිණෙන්නෙහි.
1201. සමුද්‍රමධ්‍යයෙහි කල්පස්ථායී වූ වෙරළුමිණි බඳු පැහැ ඇති මනෝඥ වූ ද්‍යුතිමත් වූ ප්‍රභාස්වර වූ විමානයෝ ඇත එහි නොයෙක් පැහැ ඇති බොහෝ දේවසරනු නටත්.
1202. යමෙක් තෙල කර්‍මඵලය ... පවිට, තෝ දුක් විඳුනෙහි.
1203. යමෙක් සම්බුදුන් විසින් චෝදනා කරන ලද නම් ඒ මම භික්‍ෂු සඞ්ඝයා බලා සිටිය දී මුවරමාපාය පයැ මහපටැඟිල්ලෙන් සැලීමි.
1204. යමෙක් කෙල කරුණ ... පවිට, තෝ දුකට පැමිණෙන්නෙහි
1205. යමෙක් ඍද්ධිබලයෙන් රුකුල් ලදුයේ (දහසක් යොදුන්) විජයොත්පාය පයැ මහපටැඟිල්ලෙන් සැලී නම් සක්දෙව්රජ ද සංවේගයට පත් කෙළේ නම් (හේ මම යි)
1206. යමෙක් මෙ කරුණ ... පවිට තෝ දුකට පැමිණෙන්නෙහි,
1207. යමෙක් “ඇවැත්නි, තෘෂ්ණා විමුක්තිය දනී දැ?යි විජයොත්පායෙහි සක් දෙව්රජ විචාරා ද (හේ යැ මේ) සක්දෙව්රජ තෙමේ ප්‍රශ්න විචාරන ලද්දේ තත් පරිද්දෙන් ඔහුට ප්‍රකාශ කෙළේ යි
1208. යමෙක් මෙකරුණ ... පවිට, තෝ දුකට පැමිණෙන්නෙහි
1209. යමෙක් (බඹලොවැ) “සුධර්‍මා” නම් සභායෙහි සිටියේ “ඇවැත්නි, පෙර තාගේ යම් (බඹලොවට පැමිණිය හැකි කිසි මහණ බමුණු කෙනෙක් නැතැ යි) දාෂ්ටියක් වූ නම් අදත් ඒ දෘෂ්ටිය ඇද්ද? බඹලොවැ සැරිසරන (ශ්‍රාවකසඞ්ඝයා පිරුවැර භාග්‍යවතුන් වහන්සේගේ) ඕභාසය බලව’යි මහබඹහු විචාරා නම්, (හේ මුගලනි.)
1210. මහබඹ තෙම ප්‍රශ්න විචාරන ලදු වැ ඔහුට ඇවැත්නි, පෙර මට (බඹලොවට පැමිණිය - හැකි මහණ බමුණු කෙනෙක් නැති යි) යම් දෘෂ්ටියක් වූ නම් ඒ දෘෂ්ටිය දැන් මට නැති.
1211. බඹලොවැ සැරිසරන (ශ්‍රාවක සඞ්ඝයා සම්බුදුන් ගේ) ඕභාසය දක්මි, ඒ මම අද “මම නිත්‍යයෙමි”, “මම ශාශ්වතයෙමි” කෙසේ කියම් දැ’යි ප්‍රකාශ කෙළේ යි.
1212. යමෙක් මෙ කරුණ ... පවිට. තෝ දුකට පැමිණෙන්නෙහි.
1213. යමෙක් ධ්‍යානවිමෝක්‍ෂ (නිශ්ශ්‍රිත අභිඥාඥාන) යෙන් මහමෙර ගල් මුදුන ස්පර්‍ශ කෙළේ යැ, ජම්බුද්වීපය ද පූර්‍වවිදේහය ද යම් ද්වීප කෙනෙක් බිමැ හෝනා මිනිසුන් ඇත්තාහු නම් ඒ (අපරගොයාන උතුරුකුරු) දිවයින් ද ස්පර්‍ශ කෙළේ යි.
1214. යමෙක් තෙල කරුණ වෙසෙසින් දනී නම් (හේ) බුද්ධශ්‍රාවක වූ මහණ තෙමේ යි. පවිට, තෝ එබඳු මහණහු ගටා (පෙළා) දුකට පැමිණෙන්නෙහි.
1215. මම බාලයකු දවමැ යි ගින්න නො සිතා මැ යි, බාල තෙමේ මැ දැල්වෙන ගින්න ගටා දැවේ.
1216. මාරය, එපරිද්දෙන් මැ තෝ තථාගතයන් වහන්සේ ගටා ගිනි පැහැසැගන්නා බාලයකු මෙන් තෙමේ තමා දවන්නෙහි.
1217. දුස්සීමාර තෙම තථාගතයන් වහන්සේ පෙළා අකුසල් රැස් කෙළේ ය. එම්බා පාපිම (මාරය), කිම “මට පව් නො පැසේ යැ” යි තෝ සිතයි ද,
1218. එම්බා අන්තකය, කරන්නාවූ තට බොහෝ කලක් (අනර්‍ත්‍ථ) පිණිස පව් රැස් වෙයි. මාරය, තෝ විසින් සිව්සස් බුදුන් (බුද්ධශ්‍රාවක) කෙරෙන් කළකිරෙව මහණුන් කෙරෙහි විරුද්ධ වෙමි ආශා නො කරව.
1219. මෙසේ මහණ (මුගලන්) තෙම “භේසකලා” වනයෙහි දී මරහුට තර්‍ජනය කෙළේ යැ, ඉක්බිති ඒ මාර තෙම දොම්නස් වැ එහි මැ අතුරුදහන් වී.
මෙසේ ආයුෂ්මත් “මහමොග්ගල්ලාන” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මහමොග්ගල්ලාන ස්ථවිරගාථා යි
උද්දානය:
සැට වැනි නිපාතයෙහි මහත් ඍද්ධි ඇති එක් මැ “මහමුගලන් ස්ථවිරයන් වහන්සේ” යැ. ගාථාවෝ ද අටසැටකි.
සට්ඨිනිපාතය නිමි.
70. මහානිපාතය
70. 1. 1.
1220. මා ගිහිගෙන් “අනගාරිය” සසුනට නික්මෙත් මැ මේ සැහැසි (තිලීජ්ජ) වූ (කාමාදිපාප) විතර්‍කයෝ ලාමක බැවින් ලුහුබඳිත්.
1221. සහස්‍රස්ථාමධනු ඇති, ධනුශ්ශිල්පය උගත්, මහධනුර්වේදී වූ උග්‍රපුත්‍රයෝ දහස් දෙනෙක් හාත්පසින් සර වගුරුවන්නාහු නමුදු ඔහු නො ‘පළා යනසුලු මා නො පෙළන්නාහ. (පෙළනු නො සමත්හ’යි සේ යි).
1222. ඉදින් මෙයටත් වැඩි මාගම්හු එන්නාහු නමුදු ඔහු ස්වකීය ධර්‍මයෙහි පිහිටි මා නො පෙළත් මැ යි (පෙළනු නො සමත්හ’යි සේ යි)
1223. මා විසින් පසක් කොට (හමුවෙහි) සූර්‍ය්‍යබන්‍ධු (හිරුගොත්) වූ සම්බුදුන් ගේ තෙල නිවන් ගමන් මඟ අසන ලදි. ඒ (විදසුන්) මඟැ මා සිත නිරත වේ.
1224. එම්බා කෙලෙස් මරුව, තෝ මෙසේ (අශුභ භාවනායෙහි ද විදර්‍ශනාභාවනායෙහි ද නිරත වැ) වෙසෙන මා වෙත එළඹියෙහි, යම්සේ මා ගේ (ආගිය) මඟ පවා (තෝ) නො දක්නෙහි නම් එසේ මරණය කරන්නෙමි.
1225. යමෙක් (අධිකුශල ධර්‍මයන්හි) උකටලි බවත් (පස්කම් ගුණයෙහි) ඇල්මත් ගෙහසිත (මිථ්‍යා) විතර්‍කයත් සර්‍වප්‍රකාරයෙන් හැරැදමා කිසි තැනෙක්හිදු තෘෂ්ණාව නො කරන්නේ නම් තෘෂ්ණායෙන් නික්මුණු (එහෙයින් මැ) තෘෂ්ණා රහිත වූ හෙතෙම ශ්‍රමණ වේ.
1226. මේ ලෝකයෙහි භූමිනිශ්ශ්‍රිත වූ ද ආකාශස්ථ (දෙව්ලෝ ඇසිරිකළ වූ ද ජගත් පර්‍ය්‍යාපන්න (ලෞකික) වූ යම්කිසි රූපජාතයෙක් වේ නම් (ඒ) සියල්ල වෙසෙසින් දිරයි, අනිත්‍ය යැයි මෙසේ ප්‍රතිවේධ කොට රහත්හු වෙසෙත්.
1227. දනෝ (ස්කන්‍ධාදි) උපධීන්හි බැඳුණාහු යැ, රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ද ගන්‍ධ-රසාලම්බනයන්හි ද යන මෙහි තෘෂ්ණා රහිත වූයේ කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ. යමෙක් මෙහි (තෘෂ්ණාලේපයෙන්) නො තැවරේ නම් ඔහු මුනි යැ යි (නුවණැතියෝ) කියත්.
1228. තවද (‘අධිච්චසමුප්පන්න’ වාදය හැර) සැටක් පමණ වූ මිසදිටුව ඇසුරු කළ අධර්‍ම (මිථ්‍යා) විතර්‍කයෝ පෘථග්ජන සමූහයා තුළ ප්‍රවිෂ්ට වූහ. යමෙක් කිසි තැනෙකැ (ශාශ්වතාදි) මිථ්‍යාදෘෂ්ටි) වර්‍ගගතයෙක් (තල්ලබ්ධිකයෙක්) නො වන්නේ නම් යළි දුර්‍භාෂිතයන් ගන්නා සුල්ලෙක් නො වන්නේ නම් හෙතෙම භික්‍ෂු නම් වේ. නොහොත් ෂෂ්ඨාලම්බනය (ධර්‍මාලම්බන) ඇසුරු කළ බොහෝ වූ අධර්‍ම විතර්‍කයෝ ජනතාව තුළ පිවිසියහ. යමෙක් කිසි තැනෙකැ ක්ලේශවර්‍ගගතයෙක් නො වන්නේ නම් දුර්‍භාෂිත ගන්නාසුල්ලෙක් නො වන්නේ නම් යළි හෙතෙම භික්‍ෂු නම් වේ.
1229. නුවණැත්තේ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත වැ කොහොන් බව රහිත වැ නිපුණ වැ තෘෂ්ණා රහිත වැ නිවනට පැමිණියේ මුනිවැ සෝපාදිශේෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවියේ (අනුපාදිශෙෂනිර්‍වාණයට) කල් බලයි.
1230. ගෞතම ශ්‍රාවකය, (තෝ) මානය දුරුකර, (ජාති ආදි) සියලු මානපථය ද දුරුකර, මානපථයෙහි මුසපත් වූයේ දිගුකලක් විපිළිසර වී
1231. මකු බව විසින් ප්‍රජාව (ගුණ මැකීමෙන්) පිස්නාලද යැ. මානය විසින් නට ගුණ ඇත්තෝ නිරයට වැටෙත්. මානය විසින් නට ගුණ ඇති, නිරයට පැමිණි ජනයෝ දිගුකලක් මුළුල්ලෙහි සොවිත්.
1232. මාර්‍ගයෙන් දිනූ කෙලෙස් ඇති මොනොවට පිළිපන් මහණ තෙම කිසිකලෙක නො සොවී මැ යි හෙතෙම කීර්තියත් සුඛයත් විඳී තථභාවයට ගිය ඔහු ධර්‍මය දක්නෙකැ යි නුවණැතියෝ කීහු.
1233. එහෙයින් (තෝ) චේතෝඛිල රහිත වැ ප්‍රධන්වීර්‍ය්‍ය ඇති වැ නීවරණයන් ප්‍රහීණ කොට පිරිසිදු සිත් අති වැ සියලු මානය ද දුරු කොට සන්හුන් කෙලෙස් ඇති වැ ත්‍රිවිද්‍යායෙන් (දුක්) කෙළවරට පැමිණියෙක් වව.
1234. කාමරාගයෙන් දැවෙමි, මාගේ සිත හාත්පසින් දැවෙයි. ගෞතම (ගෝත්‍ර ඇති) යෙනි. අනුකම්පා කොට (රාගය) නිවන උපාය වදාළ මැනැවි.
1235. (අශුභයෙහි ශුභ යැයි) සංඥාවිපර්‍ය්‍යාසයෙන් තොපගේ සිත හාත්පසින් දැවෙයි. රාගය ඇසුරු කළ ශුභනිමිත්ත දුරු කරව.
1236. සංස්කාරයන් අනාත්ම වශයෙන් බලව, දුක් වශයෙන් බලව, ආත්මවශයෙන් නො බලව, මහාරාගය නිවව, පුනපුනා නො දැවෙව.
1237. සිත අවික්‍ෂිප්ත කොට (අරමුණෙහි) මොනවට පිහිටුවා අශුභානු දර්‍ශනායෙන් වඩව. තොප ගේ සිහිය කය අනුවගියා වේවා, නිර්වේද බහුලයෙක් වෙව.
1238. අනිමිත්තභාවනාව ද වඩව, මානානුසය ද දුරුකරව. මානාභිසමයෙන් උපශාන්ත වැ වෙසෙහි.
1239. යම් වචනයකින් තමා නො තවන්නේ නම් මෙරමාත් නො පෙළන්නේ නම් එ මැ වචනය කියන්නේ යැ, එකත්නෙන් ඒ වචනය සුභාෂිත වේ.
1240. යම් වචනයක් මෙරමා විසින් පිළිගන්නා ලද නම් යම් වචනයක් කියන්නේ මෙරමා ගේ අනිටු වචනයන් නො ගෙන ප්‍රිය වචනයක් මැ කියා නම් එ මැ ප්‍රිය වචනය කියන්නේ යි.
1241. සත්‍යය ඒකාන්තයෙන් අමෘතවචනයෙකි, තෙල සත්‍ය වචනය පුරාණධර්‍මයෙකි, සත්පුරුෂයෝ සත්‍ය වූ අර්‍ත්‍ථයෙහිත් ධර්‍මයෙහිත් පිහිටියාහු යැ යි (නුවණැතියෝ) කීහු.
1242. නිවනට පැමිණෙනු පිණිස දුක් කෙළවර කරනු පිණිස සර්‍වඥයන් වහන්සේ යම් ක්‍ෂේම වූ වචනයක් වදාරත් නම් ඒ වචනය ඒකාන්තයෙන් වචනයෙන් අතුරින් උතුමි.
1243. ගම්භීර ප්‍රඥා ඇති, ධම්මෝජප්‍රඥා ඇති, මාර්‍ගාමාර්‍ගයෙහි නිපුණ වූ මහාප්‍රාඥ වූ ශාරීපුත්‍ර තෙමේ භික්‍ෂූන්ට දහම් දෙසයි.
1244. සැකෙවිනුදු දෙසයි, විතරිනුදු කියයි, සැළලිහිණියකට බඳු මියුරු හඬ ඇත්තේයැ, (කියනු කැමැති කල්හි මුහුදෙහි රළ පෙළ මෙන්) ප්‍රතිභානය (වැටහීම) නැඟ එයි.
1245. කාන්ත වූ ශ්‍රවණීය වූ මනෝහර වූ ස්වරයෙන් දෙසන්නා වූ ඒ දහම් සෙනෙවිහුගේ ඒ මිහිරි වදන් භික්‍ෂූහු උන්මුඛ වූ සිත් ඇති වැ මුදිත වැ අසත්, කන්යොමු කරත්.
1246. අද පණුරැසිපොහෝයෙහි විශුද්ධිපචාරණය සඳහා සංයෝජන සංඛ්‍යාත බන්‍ධනයන් සිඳැ ලූ නිදුක් වූ ක්‍ෂය කළ පුනර්‍භවය ඇති ඍෂි වූ පන්සියක් භික්‍ෂූහු රැස්වූහු.
1247. යම්සේ ඇමැතියන් පිරිවැරූ සක්විතිරජ තෙම සයුරු කෙළවර කොට ඇති මෙපොළොව හාත්පස්හි (සියලු තැන්හි) සැරිසරා ද,
1248. එසේ මැ මාරයා බැහැර කරනසුලු වූ ත්‍රිවිද්‍යා ප්‍රපාප්ත වූ ශ්‍රාවකයෝ දිනනලද ක්ලේශසඞ්ග්‍රාම ඇති නිරුත්තර වූ සාර්‍ත්‍ථවාහ වූ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනය කෙරෙත්.
1249. සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු යැ. මෙහි අසාරයෙක් නො පැනේ, තෘෂ්ණාශල්‍යය උපුරන්නා වූ සූර්‍ය්‍යබන්‍ධූහු වඳිමි.
1250. භික්‍ෂූන් අයිරා දහසක් (දහසකට වැඩි භික්‍ෂුහු) පහ වූ රාගාදි රජස් ඇති කොයිනුත් බිය නැති නිවන් දහම් දෙසන සුගතයන් වහන්සේ පර්‍ය්‍යුපාසන කෙරෙයි.
1251. සම්මාසම්බුදුන් විසින් දෙසනලද නිර්‍මල ධර්‍මය ශ්‍රවණය කෙරෙති භික්‍ෂුසඞ්ඝයා විසින් පෙරටු කරගන්නා ලද සම්බුදුහු හොබනාහුමැ යි.
1252. ඍෂින් අතුරෙහි සප්තමර්ෂී වූ භාග්‍යවතුන් වහන්සේ නාග නම් වූහ. මහාමේඝයක් බඳු වැ ශ්‍රාවකයන් කෙරෙහි දහම් වැසි වසිත්.
1253. මහාවීරයන් වහන්ස, තොප වහන්සේගේ ශ්‍රාවක වූ “වඞ්ගීස” මහණ ශාස්තෲන් වහන්සේ දක්නා කැමැත්තෙන් දිවාවිහාරයෙන් නික්මපාසඟළු වඳී.