985. (යම්කුටියක) පලගින් හුන්නහුගේ දණ සඟළ (වැසිදිය) නො තෙමා නම් (එ කුටිය) නිවනට යවනලද සිත් ඇති මහණහට ඵාසුවිහාරයට පමණි.
986. යමෙක් සුඛවේදනාව (විපරිණාම) දුඃඛ වශයෙන් දුටුයේ ද දුඃඛවේදනාව ශල්‍ය වශයෙන් දුටුයේ ද දෑතුරෙහි හෙවත් උපෙක්‍ෂායෙහි (ආත්මාත්මීයාභිනිවේශය) නො වී ද හෙතෙම කවර නම් කෙලෙසින් (බැඳී) ලෝකයෙහි (දෙවාදීන් අතුරෙහි) කිම වන්නේ ද?
987. පාපේච්ඡයෙක් හීනවීර්‍ය්‍යයෙක් අල්පශ්‍රැතයෙක් අනාදරයෙක් කිසිකලෙකැ මට හමු නො වේවා! සත්ත්‍වනිකායයෙහි (එබඳු පුද්ගලයාගේ) කවර නම් අවවාදයෙකින් කවර අර්‍ත්‍ථයෙක් වන්නේ ද?
988. (යමෙක්) බහුශ්‍රුත නම් ප්‍රඥාවත් නම් ශීලයෙහි මොනවට පිහිටියේ නම් චිත්තසමථයෙහි යෙදුණේ නම් හෙතෙම (මාගේ) මුදුනෙහි පවා සිටීවා.
989. යමෙක් ප්‍රපඤ්චයෙහි (තෘෂ්ණායෙහි) බැඳුණේ ප්‍රපඤ්චයෙහි ඇලුණේ සිවුපාවකු බඳු වූයේ වේ නම් හෙතෙම නිරුත්තර වූ යෝගයන් ගෙන් නිරුපද්‍රැත වූ නිවන වැරැදැ වී (නිවනින් දුරු වූයේ යැ යි සේ යි.)
990. යමෙකුත් ප්‍රපඤ්චය හැර ආර්‍ය්‍යමාර්‍ගයෙහි ඇලුණේ වේ නම් හෙතෙම නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සිදු කෙළේ යි (සාක්‍ෂාත් කෙළේ යි.)
991. ඉදින් ගම්හි හෝ වේව යි වනයෙහි හෝ වේව යි පහත් බිම්හි හෝ වේවයි උස්බිම්හි හෝ වේවයි යම් තැනෙක රහත්හු වෙසෙත් නම් එබිම රමණීය යි.
992. යම් වනයෙකැ ජනයා රමණය නො කෙරේ නම් ඒ වනයෝ රමණීයයෝ යි, වීතරාගීහු එහි රමණය කරන්නාහ. ඔහු කාම ගවේෂීහු නො වෙත්.
993. යමකු නිධන් කියන්නකු මෙන් දක්නේ නම්, වරද දක්නා සුලු (වරදෙහි) නිගා කොට කියනසුලු ධර්‍මොජස්ප්‍රඥා ඇති එබඳු නුවණැත්තහු භජනය කරන්නේ යැ, එබන්දහු භජනය කරන්නහුට වැඩෙක් මැ වෙයි. අවැඩෙක් නො වේ.
994. අවවාද දුන මැනැවැ, අනුශාසනා කළ මැනැවැ, අකුසල් දහමින් ද වළහනු මැනැවැ, එ බඳු පුද්ගල තෙම සත්පුරුෂයනට ප්‍රිය වෙයි. අසත්පුරුෂයනට අප්‍රිය වේ.
995. පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ අනෙකකු (බෑනණුවන්) හට දහම් දෙසූහ. දහම් දෙසන කල්හි (මම) අර්‍ත්‍ථ ඇතියෙම් සවන් (දුනිමි) යොමු කෙළෙමි. මා ගේ ඒ ශ්‍රවණය නො සිස් විය. (මම) ආස්‍රව රහිත වැ විමුක්තයෙමි.
996. (මට) පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස (ප්‍රාර්‍ත්‍ථනාවක්) නො වේ මැ යැ, දිව්‍ය චක්‍ෂුස පිණිස ද නො වේ මැ යි, චේතෝපරියඤාණය පිණිස ඍද්ධිවිධඥානය පිණිස ච්‍යුති-උප්පත්ති ඥානය පිණිස දිව්‍යශ්‍රෝතඥානය පිණිස ප්‍රාර්‍ත්‍ථනාවක් මට නැති.
997. උපතිස්ස තෙමේත් මුඬු වැ සඟළ පෙරෙවියේ ප්‍රඥායෙන් උත්තම වැ ස්ථවිර වැ, රුක්මුල ඇසිරි කොට ධ්‍යාන කෙරේ.
998. චතුර්‍ත්‍ථධ්‍යාන සමාපත්තියට සමවන් සම්‍යක් සම්බුද්ධශ්‍රාවක තෙම එකෙණෙහි ආර්‍ය්‍ය වූ තූෂ්ණිම්භාවයෙන් යුක්ත වූයේ වේ.
999. යම්සේ අචල වූ මොනොවට පිහිටි ශෛලමය පර්‍වතයෙක් නො සැලේ නම් එසේ මැ මහණ තෙම මෝහක්‍ෂය හේතුවින් අචල වැ සුප්‍රතිෂ්ඨිත වැ පර්‍වතයක් මෙන් නො සැලේ.
1000. ලාමක ඉච්ඡාවචර රහිත වූ නිරතුරු පාරිසුද්ධිය සොයනසුලු පුරුෂයාහට වලගක් පමණ වූ වරද වලාවක් පමණ මෙන් හැඟේ.
1001. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි. සම්‍යක් ප්‍රඥා ඇතියෙම් සිහි ඇතියෙම් මේ කය බහා තබන්නෙමි.
1002. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි. බැළයට මෙහෙ කරන සේවකයකු මෙන් කල් මතුවක් අපේක්‍ෂා කරමි.
1003. පසු හෝ පෙර හෝ දෙකල්හි මැ මරණය මැ යි. නො මැරිමෙක් නැත් මැ යි. පිළිවෙත් පුරවු, නහමක් වැනසෙවු, ක්‍ෂණ සම්පත්තිය එකත්නෙන් නහමක් (තොප) ඉක්මැ යා.
1004. ඇතුළත පිටත සහිත වැ ගෝපනය කරනලද පසල් නුවරක් යම්සේ ද එපරිද්දෙන් තමා රකිවු. ක්‍ෂණය තෙම එකත්නෙන් (තොප) නො ඉක්මැ යා, ක්‍ෂණ සම්පත්තිය ඉක්මගියාහු (සියකම් විසින් නිරෑහි දමනලද්දාහු) ශෝක කෙරෙත් මැ යි.
1005. උපශාන්ත වූයේ දුසිරිතින් වැළකුණේ මිතභාණී වූයේ උද්ධත නො වූයේ පවන රුක්පතක් සලන්නාක් මෙන් පාපධර්‍මයන් සල්වයි. (බැහැර කරයි).
1006. උපශාන්ත වූයේ දුසිරිතින් වැළකුණේ මිතභාණී වූයේ උද්ධත නො වූයේ පවන රුක්පතක් සලන්නාක් මෙන් පාපධර්‍මයන් නුදුරෙහි පහ කෙළේ යි.
1007. උපශාන්ත වූ ආයාස රහිත වූ වෙසෙසින් ප්‍රසන්න වූ නො කැලඹුණු කලණදහම් ඇති නුවණැත්තේ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යි.
1008. ගිහි වූ ද පැවිදි වූ ද ඇතැමුන් කෙරෙහි මෙසේ විස්වැසි නො වන්නේ යැ (ඔහු) සත්පුරුෂ වැ සිට අසත්පුරුෂ වෙති, අසත්පුරුෂ වැ සිට යළි සත්පුරුෂ වෙත්.
1009. කාමච්ඡන්‍ද යැ ව්‍යාපාද යැ ථීනමිද්ධ යැ උද්ධච්ච යැ විචිකිච්ඡා යැ යන මොහු පස් දෙන මහණහු ගේ සිත කිලිටි කරන්නෝ යි.
1010. සත්කාර කරනුලබන අප්‍රමාද විහාර ඇති යමක්හුගේ සමාධිය සත්කාරයෙන් ද අසත්කාරයෙන් ද යන දෙකින් නො සැලේ නම්,
1011. නිරතුරු ධ්‍යාන කරනසුලු වූ සූක්‍ෂමදෘෂ්ටිවිදර්‍ශක වූ උපාදානක්‍ෂයයෙහි ඇලුණා වූ ඔහු සත්පුරුෂ යැ යි කීහු.
1012. මහාසමුද්‍රය ද පෘථිවිය ද පර්‍වතය ද පවන ද (යන මොහු) ශාස්තෲන් වහන්සේගේ අග්‍රඵල විමුක්තිය පිළිබඳ උපමාවට නො යෙදෙත් (නුසුදුසු යි.)
1013. මහනුවණැති වූ සමාහිත වූ පෘථිවිය ජලය ගින්න බඳු පැවැතුම් ඇති වූ ධර්‍මචක්‍රානුවර්‍තක වූ ස්ථවිර තෙමේ (ඉටු’නිටු අරමුණුහි) නො ඇලෙයි, දූෂ්‍ය නො වේ.
1014. ප්‍රඥායෙහි පරතෙරට පැමිණියේ මහත් වූ බුද්ධි ඇති වැ මහත් වූ ස්මෘති ඇති වැ නිවියේ බුද්ධිහීන නො වූයේ මැ බුද්ධිහීනයකු බඳු වැ නිති වෙසේ.
1015. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදි. ගුරු වූ බර බහා තබනලද්දේ යැ. මෙවක් පටන් පුනර්‍භවයෙක් (මට) නැති.
1016. අප්‍රමාද වැ පිළිවෙත් පුරවු, මේ මාගේ අනුශාසනය යි, මම පිරිනිවෙන්නෙමි, සියලු භවයෙහි විමුක්තයෙමි. (වෙසෙසින් මිදුනෙමි)
මෙසේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සාරිපුත්ත ස්ථවිරගාථා යි.
30. 1. 3.
1017. පිසුනු බස් ඇතියහු හා ද කිපෙනසුල්ලහු හා ද මසුරු බැව් ඇතියහු හා ද විනාශය හෝ වෙන් වීම කැමැත්තහු හා ද නුවණැත්තේ යහළු බව නොකරන්නේ ය. පාපපුද්ගලයා හා සඞ්ගමය ලාමක යි.
1018. සැදැහැ ඇතියහු හා ද සිල්වතා හා ද නැණවතා හා ද බහුශ්‍රැතයා හා ද නුවණැත්තේ යහළු බව කරන්නේ ය, සත්පුරුෂයා හා සඞ්ගමය සුන්‍දර යි.
1019. යම් ශරීරයක්හුගේ ධ්‍රැව (නිත්‍ය) භාවයෙක් ස්ථිතිභාවයෙක් නැත් ද (ඒ) වණ වූ ඇටසැකිල්ල විසින් ඔසවනලද ගිලන් වූ (බාලයන් විසින්) නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ විසිතුරු කරනලද සිරුර බලව.
1020. මිණියෙන් ද කොඬොලින් ද විසිතුරු කරනලද, යටින් බඳනා ලද (තුන්සියයකට අධික) ඇට ඇති රූපය බලව, වස්ත්‍ර සහිත වැ හොබී.
1021. ලාරසින් රැඳු පාදයෝ සුවඳසුණු තැවැරූ මුව බාලයාගේ මුළාවට පමණි, පාරගවෙෂිහුගේ මුළාවට නො ද පමණි.
1022. කියඹුවැල් ද අඳුන් ඇඳි තෙත් ද බාලයාගේ මෝහයට පමණි, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1023. සිතියම් කළ අභිනව අඳුන්කොපුවක් මෙන් සරසන ලද කුණුකය බාලයාගේ මෝහයට පමණි, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1024. මුවවැදි මලපුඬුව දැමී යැ. මුවා පාශය නො ගැටී මුවවැද්දා හඬද්දී ගොදුරු කා යම්හ.
1025. මුවවැද්දාගේ පාශයෝ සිඳිනලදහ, මුවා පාශය නො ගැටී. මුවවැද්දා සොවිද්දී ගොදුරු කා යම්හ.
1026. බහුශ්‍රුත වූ චිත්‍රකර්‍ත්‍ථ වූ බුද්ධෝපස්ථායක වූ ගිලිහුණුබර ඇති පහ වූ සංයොග ඇති ගෞතමගෝත්‍ර ඇති ශ්‍රාවක ශයනය කෙරේ.
1027. ක්‍ෂීණාස්‍රව තෙමේ පහ වූ සංයොග ඇත්තේ ඉක්මැවූ (රාගාදි) සඞ්ග ඇත්තේ මොනවට නිවියේ ජාති - මරණ දෙක්හි පරතෙරට ගියේ අන්තිමදේහය දරයි.
1028. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුන්ගේ ධර්‍මයෝ යමකු කෙරෙහි පිහිටියාහු නම් ඒ මේ ගෞතම (ගෝත්‍ර ඇති ආනන්‍ද) තෙමේ නිවනට යන මඟැ සිටී.
1029. දෙයාසූදහසක් බුදුන් වෙතින් උගත්මි, දෙදහසක් භික්‍ෂූන් වෙතින් උගත්මි, මට යම් ධර්‍මස්කන්‍ධ කෙනෙක් ප්‍රගුණ වූවාහු නම් ඔහු සුවාසූදහසෙකි.
1030. මේ අල්පශ්‍රැත පුරුෂ තෙම ගොනකු මෙන් වැඩේ, ඔහුගේ මස්පිඬුහු වැඩෙත්, ඔහුගේ ප්‍රඥාව නො වැඩේ.
1031. යම් බහුශ්‍රැතයෙක් තම බහුශ්‍රුත කමින් අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ නම් ඔහු පහනක් ගත් අන්‍ධයකු මෙන් මට වැටහේ.
1032. බහුශ්‍රැතයා ඇසුරු කරන්නේ යැ. ඇසූ දැය ද නො නසන්නේ යැ, බ්‍රහ්මචර්‍ය්‍යාවට ඒ මුල් වෙයි, එහෙයින් ධර්‍මධරයෙක් වන්නේ යි.
1033. පූර්‍වාපරභාගයන් දන්නේ අර්‍ත්‍ථ දන්නේ නිරුක්තිපදයෙහි දක්‍ෂ වූයේ මැනවින් උගති, (අසනලද පිරිවහනලද ධර්‍මයාගේ) අර්‍ත්‍ථයත් විමසයි.
1034. (විමසූ ධර්‍මයෙහි) දෘෂ්ටිනිධ්‍යානක්‍ෂාන්තියෙන් (විදර්‍ශනාභිනිවේශයෙහි) කරනලද ඡන්‍ද ඇත්තේ වෙයි, උත්සාහ කොට ඒ නාම රූපය තුලනය කෙරේ, යොග්‍යසමයෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කරයි, අධ්‍යාත්මයෙහි සුසමාහිත වේ.
1035. ධර්‍මඥානය කැමැත්තේ එබඳු බහුශ්‍රුත වූ ධර්‍මධර වූ සප්‍රාඥ වූ ඒ බුද්ධශ්‍රාවකයා භජනය කරන්නේ යි.
1036. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ මහර්ෂීහු (බුදුන්) ගේ කොටුගේ (ධර්‍මරත්නය) රක්නා වූ සියලු ලෝකයාට ඇසක් වූ පිදියයුතු වූ-
1037. (සමථ විදර්‍ශනා) ධර්‍මයට නිවාස වූ ධර්‍මයෙහි ඇලුණා වූ ධර්‍මය මෙනෙහි කරන්නා වූ ධර්‍මය අනුස්මරණය කරන්නා වූ මහණ තෙම සද්ධර්‍මයෙන් නො පිරිහේ.
1038. කායමාත්සර්‍ය්‍යගරුකයා (ක්‍ෂණක්‍ෂණයෙහි) පිරිහෙන්නේ උත්‍ථානවීර්‍ය්‍යය නො කරන්නේ යැ. ශරීරසුඛයෙහි ගිජු වූවහුට ශ්‍රමණඵාසුතාවක් කොයින් ද?
1039. සියලු දිශාවෝ නො පැනෙත්, ධර්‍මයෝ මට නො වැටහෙත්, කලණමිතුරා (සැරියුත් තෙරුන්) පිරිනිවි කල්හි (ලොව) අඳුරක් මෙන් හැඟේ.
1040. පහ වැ ගිය කලණමිතුරන් ඇතියාහට, පළමු පිරිනිවි ශාස්තෲන් ඇතියාහට, කායගතාසතිය යම්සේ ද එබඳු මිතුරෙක් නැති.
1041. යම් පැරැණිමිතුරු කෙනෙක් වූහු නම් ඔහු ඉකුත් වූහ, නවකයන් හා මා ගේ සිත නො සැසැඳෙයි, ඒ මම අද වැසි කල්හි කැදැල්ලට වන් පක්‍ෂියකු මෙන් එකලා වැ ධ්‍යාන කෙරෙම්.
1042. දැක්මට පෙරට පැමිණි නොයෙක් රටවැසි බොහෝ දෙනා නහමක් වළහ, ධර්‍මශ්‍රාවකයෝ මා දකිත්වා, දැක්මට මේ කාලය යි.
1043. නොයෙක් රටවැසි බොහෝ දෙනා (තමන්) වහන්සේ දැක්මට පෙරට පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේ ඉඩ දෙති, පසැස් ඇත්තේ (ඔවුන්) නො වළහයි.
1044. පස්විසි වසක් මුළුල්ලෙහි ශෛක්‍ෂ වූ මට කාමසංඥාව නූපන, ධර්‍මයා ගේ සුධර්‍මත්‍වය බලව.
1045. පස්විසි වසක් මුළුල්ලෙහි ශෛක්‍ෂ වූ මට ද්වේෂසංඥාව නූපන, ධර්‍මයා ගේ සුධර්‍මත්‍වය බලව.
1046. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රිකායකර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
1047. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රීවාක්කර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
1048. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රීමනඃකර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
1049. සක්මන් කරන බුදුන් වහන්සේගේ පිටුපසින් අනුසක්මන් කෙළෙමි, දහම් දෙසනු ලබන කල්හි මට (ශෛක්‍ෂභූමිය පිළිබඳ) ඥානය පහළ වී.
1050. මම කළයුතු කිස ඇතියෙමි, ශෛක්‍ෂයෙමි. නො පත් රහත් බව ඇතියෙමි, යමෙක් මට අනුකම්පක නම් (ඒ) ශාස්තෲන් වහන්සේගේ ද පිරි නිවන එළඹියේ යි.
1051. සියලු ආකාරවරයෙන් යුක්ත වූ සම්බුදුහු පිරිනිවියහ. එකල්හි යම් හිංසනකයෙක් (සෙණහඬ ආදී බිය අරමුණක්) වී නම් එකල්හි ලොමුදහ ගැන්ම වී.
1052. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ මහර්ෂිහු (බුදුන්) ගේ ධර්‍මභාණ්ඩාගාරික වූ මුළුලොවට ඇසක් වූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පිරිනිවියහ.
1053. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ මහර්ෂිහුගේ ධර්‍මභාණ්ඩාගාරික වූ මුළුලොවට ඇසක් වූ අන්‍ධකාරයෙහි තමෝනුද (අඳුර දුරු කරන කිසිවක්) වූ.
1054. ඥානගති ඇති ස්මෘති සම්පන්න වූ ධෘතිමත් වූ යම් ඍෂිවරයෙක් වේ ද සද්ධර්‍මධාරක වූ ඒ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රත්නාකරයෙකි.
1055. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන් වහන්සේගේ අනුශාසනය කරනලද යැ, ගුරු වූ බර බහා තබන ලද්දේ යැ, මින්මතු පුනර්‍භවයෙක් නැති’යි.
මෙසේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.
ආනන්‍ද ස්ථවිරගාථා යි.
උද්දානය:
ඵුස්ස යැ උපතිස්ස යැ ආනන්‍ද යැ යි තෙරවරු තිදෙනෙක් තිස් වැනි නිපාතයෙහි ප්‍රකාශිතයහ. එහි පසුතුරු සියක් (එක්සියපසක්) ගාථාවෝ ප්‍රකාශිතයහ.
තිංසතිනිපාතය නිමි.
40. චත්තාලීසනිපාතය
40. 1. 1.
1056. ගණයා විසින් පිරිවරනලද්දක් වැ නො හැසිරෙන්නේ යැ, (ගණපිරිවර ඇත්තේ) විකෘතිසිත් ඇත්තෙක් වෙයි, සමාධි දුර්‍ලභයෙක් වෙයි, නොයෙක් දෙනාට සඞ්ග්‍රහ කිරීම දුකෙකි, මෙසේ ආදීනව දැක ගණවාසය නුරුස්නේ යි.
1057. මුනි තෙම කුලයන් කරා නො එළඹෙන්නේ යැ, (කුලුපගතෙම) විකෘති සිත් ඇත්තෙක් වෙයි, සමාධි දුර්‍ලභයෙක් වෙයි. හෙතෙම (කුලෝපගමනයෙහි) උත්සුක වැ රසයෙහි ගිජු වැ යම් අර්‍ත්‍ථයෙක් තමහට සුව එළවා නම් ඒ (ශීල විශුඬි ආදි) අර්‍ත්‍ථය වමාරයි (හැරැ දමයි.)
1058. යම් මේ කුලයන්හි වැඳීමෙක් පිදීමෙක් වේ නම් එය පඞ්කයෙකැ (මඬෙකැ) යි ද දුකසේ උපුළ යුතු සූක්‍ෂම ශල්‍යයෙකැයි ද ප්‍රකාශ කළහ. සත්කාරය අසත්පුරුෂයා විසින් හැරැ දමනු දුෂ්කර යි.
1059. සෙනස්නෙන් බැසැ පිඬු පිණිස නගරයට පිවිසියෙමි, ඒ වළඳනා කුෂ්ටී පුරුෂයා කරා ආදරයෙන් එළඹ සිටියෙමි.
1060. හෙතෙම (රොවින්) පැසීගිය අතින් ඒ අහරපිඬුව (මට) පිරිනැමී යැ, පිඬුව බහා ලන්නහුගේ ඇඟිල්ල ද මේ පාත්‍රයෙහි ගිලිහිණි.
1061. ඉක්බිති ගෙබිතක් සමීපයෙහි හිඳ ඒ බත්පිඬුව වැළඳීමී, වළඳනා කල්හි හෝ වැළැඳූ කල්හි හෝ පිළිකුලෙක් මට නො පැනේ.
1062. සිඟා ලද පිඬු අහර යැ, පූතිමූත්‍ර බෙහෙද යැ, රුක්මුල සෙනසුන යැ පසුල සිවුර යි. යමෙක් මේ සිව්පසය වළඳන්නේ නම් හෙතෙම එකත්නෙන් සිව්දිගට යෝග්‍ය පුරුෂයෙකි, (ඔහුට කොතැනත් දිවිරැක්ක හැකි යැ යි සේ යි)
1063. සමහර කෙනෙක් පර්‍වතය නැගෙන්නාහු යම් බඳු වියෙක දී ක්ලාන්ත වෙත් නම් බුදුන්ගේ දායාදයෙක් වූ කාශ්‍යප තෙම ඒ මහලුවියෙහි සම්‍යක් ප්‍රඥා ඇති වැ එළඹසිහි ඇති වැ ඍද්ධිබලයෙන් කරනලද උපත්‍ථම්භ ඇති වැ පර්‍වතයට නඟී.
1064. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ පහ වූ භයහිංසන ඇති වැ ධ්‍යාන කෙරේ.
1065. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ ධ්‍යාන කෙරේ. (රාගාදි ගින්නෙන්) දැවෙන්නන් අතුරෙහි නිවියේ යි.
1066. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ කළ (පැවිදි) කිස ඇති වැ නිරාස්‍රව වැ ධ්‍යාන කෙරේ.
1067. ලුනුවරණ රුක්පෙතින් පැතිරැගිය සිත්කලු වූ භූමිභාග ඇති ඇතුන්ගේ ගර්‍ජනායෙන් රම්‍ය වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1068. නිල්වලාවනට බඳු පැහැ ඇති වූ පැහැසර වූ සිහිල් දිය ඇති වූ පිරිසිදු වූ ඉඳුගොව්වන් විසින් ගැවසීගත්තා වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1069. නිල්වලාකුළු සුදුසු වූ කුළුගෙවලට උවම් වූ ඇතුන්ගේ ගර්‍ජනායෙන් රම්‍ය වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1070. බෙහෙවින් වට වැසි ඇති රම්‍ය වූ කලා ඇති ශිඛීන් (මොනරුන්) විසින් කරනලද මධුර වූ උන්නාද ඇති ඍෂීන් විසින් සෙවුනාලද “නග” ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1071. ධ්‍යාන කරනු කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති වූ මට මැනැව, තමහට වැඩ කැමැති නිවනෙහි එළවූ සිත් ඇති “භික්‍ෂු” වූ මට මැනැවි.
1072. උමාකුසුම් (නිල්කටරොළු) බඳු පැහැ ඇති වූ නිල්වලායෙන් වැසුණු ගුවන්තලය වැනි වු නොයෙක් පක්‍ෂිගණයා විසින් ගැවැසීගත්තාවූ ඒ පර්‍වයෝ මා රමණය කරත්.
1073. පහසු කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති “භික්‍ෂු” වූ මට මැනැවැ, යෝග කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති “තාදි” වූ මට මැනැවි.
1074. ගිහීන්ගෙන් ආකිණ්ර්‍ණ නො වූ මුව (සියුපා) සමූහයා විසින් සෙවුනාලද්දා වූ නොයෙක් පක්‍ෂිගණයාගෙන් ආකීර්‍ණ වූ ඒ පර්‍වතයෝ මා සිත් ගනිත්.