Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 1801-1900 න් 2247

898. යමෙකුන් මහත් වූ ආශා ඇත්තේත් සන්තෝෂ රහිත වූයේත් ආකීර්‍ණවිහාර ඇත්තේත් විසිරුණුසිත් ඇත්තේත් වේ ද, ඔහුට මේ ධර්‍මයෝ ලාමක වූ සාංක්ලේශිකයෝ වෙත්.
899. (යමෙකුත්) සිහි ඇත්තේත් අල්පෙච්ඡ වූයේත් සන්තුෂ්ට වූයේත් සමාහිත වූයේත් පවිවේකයෙහි ඇලුණේත් නිරතුරු ආරම්භවීර්‍ය්‍යය ඇත්තේත් වේ ද,
900. ඔහුට මේ ධර්‍මයෝ බෝධිපාක්‍ෂික කුශලයෝ වෙත්, හෙතෙම අනාස්‍රවත් වේ යැ යි මහර්ෂීහු විසින් වදාරනලදී.
901. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෲන් වහන්සේ මා ගේ සංකල්පයන් දැන මනෝමය කයින් යුතු වැ ඍධියෙන් එළඹියහ.
902. යම් කලෙක මට සංකල්පයෙක් වී ද (ශාස්තෲන් වහන්සේ) ඉන් මතුයෙහි දෙසූහ. ලෝකෝත්තරධර්‍මයෙහි ඇලුණු බුදුන් වහන්සේ ලෝකෝත්තරධර්‍මය දෙසූහ.
903. මම උන් වහන්සේගේ ධර්‍මය දැනගෙන ශාසනයෙහි ඇලුණෙම් විසීමි, මා විසින් ත්‍රිවිද්‍යාව ලබනලද යැ, බුදුන්ගේ අවවාදය කරන ලදි.
904. යම් කලෙක පටන් මම නෙසජ්ජික වීම් ද, ඒ මට පස්පනස්වසෙකි. යම් කලෙක පටන් මා විසින් නිදි වරනලද ද ඒ මට පස්විසිවසෙකි.
905. (චතුර්‍ත්‍ථධ්‍යානයෙහි) නැවැති සිත් ඇති තාදීහු (බුදුන්) ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නො වූහ, අනෙජ (තෘෂ්ණා රහිත බැවින් හෝ සමාධි විසින් අකම්ප්‍ය බැවින්) වූ පසැස් ඇත්තේ නිර්‍වාණය අරමුණු කොට පිරිනිවියේ යි.
906. නො හැකුළුණු සිතින් (මාරණාන්තික) වේදනාව ඉවසී, ප්‍රදීපයාගේ නිවීම සෙයින් චිත්තයාගේ විමෝක්‍ෂය වී.
907. දැන් මොහු මුනිහු ගේ පශ්චිමක වූ ස්පර්‍ශපඤ්මකධර්‍මයෝ යි. සම්බුදුන් පිරිනිවි කල්හි (පරිනිර්‍වාණචිත්ත චෛත්තයෙන්) අන්‍යධර්‍මයෝ නො වෙති.
908. ජාලිනිය! මෙතැන් පටන් දේවකායයෙහි යළි මා ගේ වාසයෙක් නැත, ජාතිසංසාරය ක්‍ෂය වූයේ ය, මින් මතු පුනර්‍භවයෙක් නැති.
909. යම් ක්‍ෂීණාස්‍රව මහණක්හු විසින් බඹලොව සහිත සහස්‍රප්‍රකාරලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ ද ඍද්ධිගුණයෙහි ද චුතූපපාතඥානයෙහි ද වශීප්‍රාප්ත වූ ඒ මහණ තෙම එළඹි කල් ඇති කල්හි දෙවියන් දකී.
910. පෙර දිළිඳු වූයෙම් (බැළයට) ඉඳුල් අහර ගෙන යන්නෙම් ‘අන්නහාර’ (නම්) වීමි. සමිතපාපී (සමණ) වූ කීර්තිමත් වූ ‘උපරිට්ඨ’ නම් පසේ බුදුනට (දන්) පිළිගැන්වීමි.
911. ඒ මම ශාක්‍යකුලයෙහි උපන්මි, ‘අනුරුද්ධ’ යැ යි මා දත්හ. නෘත්‍යගීතයෙන් පිරිවරන ලද්දෙම් කුළුතාළමින් පිබිදෙනසුලු වූයෙමි.
912. ඉක්බිති නිර්‍භය වූ ශාස්තෘ වූ සම්බුදුන් දිටිමි, උන් වහන්සේ කෙරෙහි සිත පහදවා පැවිද්දට පැමිණියෙමි.
913. පෙර මා විසින් යම් තැනෙක වසනලද ද (ඒ) පූර්වේනිවාසය දනිමි. තව්තිසා දෙවියන් අතුරෙහි සියක්දැහි සිටියෙමි.
914. මම සත් ඉඩක් නරේන්‍ද්‍ර වූයෙම් රාජ්‍යය කෙළෙමි, සාගරපර්‍ය්‍යන්ත පෘථිවියට ඊශ්වර වූයෙම් දික්විජය ඇතියෙම් දඹදිවට ඉසුරු වූයෙම් දඬු නැති වැ අවි නැති වැ දැහැමින් අනුශාසනා කෙළෙමි.
915. මෙ මිනිස්ලොවින් සැවැ දෙව්ලො වැ සත්වරෙකැ, එ දෙව්ලොවින් සැවැ මිනිස්ලොවැ සත්වරෙකැ යි භවාන්තර තුදුසෙකැ එදා දෙව්ලොව සිටියෙම් පූර්වේනිවාසය දතිමි.
916. ශාන්ත වූ එකඟ බවට ගියා වූ චතුර්‍ත්‍ථධ්‍යාන සමාධිය ඇති කල්හි (කෙලෙසුන්) සන්හිඳීම ඇති කල්හි මාගේ දිව්‍යචක්‍ෂුස විශුද්ධ වී.
917. පඤ්චාඞ්ගික (චතුර්‍ත්‍ථ) ධ්‍යානයෙහි සිටියෙම් සත්ත්‍වයන්ගේ ච්‍යුති උත්පත්ති, ගතාගති, ඉත්‍ථම්භාවාන්‍යථාභාව දනිමි.
918. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ ශාසනය කරනලද යැ, ගුරුබර බහා තබනලද්දේ ය, තෘෂ්ණාව මුලුසුන් කරනලදු.
919. මම ආයුක්‍ෂය හෙයින් වැදෑරට ‘වේළුව’ නම් ගම්හි හුණළැහැබ යට නිරාස්‍රව වැ පිරිනිවෙන්නෙමි’යි.
මෙසේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.
අනුරුද්ධ ස්ථවිරගාථා යි.
920. මහ (සල්) වනය පිපීසිටි කල්හි (එහි) හුන් එකඟ වූ සිත් ඇති ප්‍රකර්‍ෂවිවේක ඇති ධ්‍යාන කරනසුලු වූ (පාරාසරිය) මහණහට චින්තාවක (සිතිවිල්ලෙක්) වූ ය.
921. පුරුෂෝත්තම වූ ලෝහිමියන් සිටුනා කල්හි භික්‍ෂූන්ගේ පැවැත්ම අන් අයුරු (වෙනස්) වී යැ. දැන් අන් අයුරින් දක්නාලැබේ.
922. ඉතරීතර ප්‍රත්‍යයෙහි සන්තුෂ්ට වූවාහු ශීතවාතයෙන් රැක්ම හිරිකෝප්‍යස්ථාන වැස්ම පමණක් ප්‍රයෝජන කොට සිවුරු වැළඳූහ.
923. ඉදින් පිණී වූ හෝ රළු වූ හෝ මඳ වූ හෝ බොහෝ වූ හෝ බොදුන් ගිජු නො වූවාහු නො බැඳුණාහු යාපනය පිණිස වැළදූහ.
924. ඔහු දිවිපැවැත්මට කරුණු වූ බෙහෙත් පසයෙහි ආස්‍රවක්‍ෂයෙහි තරම් දැඩි උසා ඇතියෝ නො වූහ.
925. අරණ්‍යයෙහි රුක්මුල්හි කඳුරුවල හා ගුහාවල විවේකය වඩන්නාහු විවේකයෙහි නම්න වැ විසූහ.
926. යටත් පැවැතුම් ඇත්තාහු සසුන්හි වැදැගත්තාහු සුහර වූවාහු මොළොක් වූවාහු නො දැඩිසිත් ඇත්තාහු කෙලෙස් වැගිරීම් නැත්තාහු මුඛර නො වූවාහු අර්‍ත්‍ථචින්තාවශයට ගියාහු යි.
927. එහෙයින් ගමන, බොදුන, ඇසුර ප්‍රසාදික වී යැ ඉරියව්ව තෙල්දහරක් මෙන් සිනිඳු වී.
928. සියලු ආස්‍රවයන් ක්‍ෂය කළා වූ මහත් - ධ්‍යායී වූ මහත් හිතයන් වූ ඒ තෙරවරු දැන් පිරිනිවියහ, එබන්දෝ දැන් අල්පයහ.
929. කුශලධර්‍මයන් හා ප්‍රඥාව ගේ අභාව හෙයින් (ආදිකාල්‍යාණතාදි) සියලු ආකාරයෙන් යුක්ත වූ ජිනශාසනය වැනැසේ.
930. පාපධර්‍මයන්ට ද ක්ලේශයන්ට ද මේ කාලය යි. යම් කෙනෙක් විවේකයට එළඹියාහු නම් ඔහු ද සද්ධර්‍මශේෂක වෙත්. (ප්‍රතිපත්තිය මිස ලොවුතුරු දහම් පල ගන්වන්නට නො සමත් බව කී සේ යි.)
931. ඒ ක්ලේශයෝ වැඩෙමින් බොහෝ දෙනාට අවුසිත් (ආවිෂ්ට වෙත්). උමතුවන් සමඟ රකුසන් මෙන් බාලයන් සමඟ කෙළිතී සිතම්.
932. සඞ්ග්‍රාමභූමියෙහි (සෙන්පතිහු විසින්) අණ කළ කල්හි සෙයින් කෙලෙසුන් විසින් අභිභවනය කරනලද ඒ මිනිස්සු ක්ලේශවස්තූන්හි ඒ ඒ අරමුණු විසින් දුවවනලද්දාහු -
933. සද්ධර්‍මය හැරදමා ඔවුනොවුන් සමඟ කලහ කෙරෙත්, මිථ්‍යාදෘෂ්ටීන් අනුගමනය කරන්නාහු මේ මැ ශ්‍රේෂ්ඨ යැ යි සිතත්.
934. ධනයත් අඹුදරුවනුත් හැරැදමා ගිහිගෙන් නික්මුණාහු ළුවක් අහර හේතුවිනුදු නො කටයුතු කෙරෙත්.
935. කුස පුරා වළඳා උඩුකුරු වැ හොවිත්. පිබිදුණාහු යම් කථාවක් ශාස්තෲන් විසින් ගරහනලද නම් ඒ කථා පෝෂණය කෙරෙත්.
936. නො සන්හුන් සිත් ඇත්තාහු සියලු කාර්මිකශිල්පයන් ආදරය කොට උන්නේ, ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය වෙන් වැ පවතී.
937. මතුයෙහි බොහෝ (ලාභ) කැමැත්තාහු මැටි, තෙල්, නහනසුණු, දිය, අසුන් හා බොජුන් ද ගිහීනට පිරිනමත්.
938. දැහැටි ද දිවුල්පල ද මල් ද කැවිලි ආදිය ද සූපයෙන් යුත් පිඬුවා ද අඹපල ද ඇඹුළුපල ද (ගිහීනට පිරිනමත්).
939. (ගිහීනට) බෙහෙත් කිරීමෙහි වෙදකු වැන්න, කුදුමහකටයුත්තෙහි ගිහියකු වැන්න. සිරුරු සැරැසීමෙහි ගණිකාවක වැන්න, ඓශ්චර්‍ය්‍යයෙහි ක්‍ෂත්‍රියයකු වැන්න.
940. ශඨ බැව්හි නියුක්ත වූවාහු කපට ක්‍රියායෙහි නියුක්ත වූවාහු බොරු සාක්‍ෂ්‍ය කියනසුලු වූවාහු අසංයම පැවැතුම් ඇත්තාහු බොහෝ වූ මිථ්‍යාජීවයන්ගෙන් ආමිස වළඳත්.
941. කප්පියප්‍රතිරූපක වූ පර්‍ය්‍යායයෝග ඇති කැපයෙහි දිවගිය ජීවිකාර්‍ත්‍ථ ඇත්තෝ (ප්‍රත්‍යය උපදවන) උපායයෙන් බොහෝ ධනය ඇදගනිත්.
942. පිරිස ලවා උවැටන් කරවත්, (එ ද) කර්‍ම හෙයිනි, වැළිත් ධර්‍ම හෙයින් නො වේ, අනුනට දහම් දෙසත්, (එද) ලාභ නිමිත්තෙනි, වැළිත් අර්‍ත්‍ථ නිමිත්තෙන් නො වේ.
943. සඞ්ඝයා කෙරෙන් බැහැරැ වූවාහු සඞ්ඝලාභයට කලහ කෙරෙති. අනුන් ගේ ලාභයෙන් රැකෙන්නා වූ (ඒ) අහිරිකයෝ ලජ්ජා නො වෙත්.
944. එසේ මැ ශ්‍රමණධර්‍මයෙහි නො යෙදුණු මුඬු වූ සඟළ පෙරෙවි ඇතැම් කෙනෙක් ලාභසත්කාරයෙහි මුසපත් වූවාහු සම්භාවනය මැ කැමැති වෙත්.
945. මෙසේ විවිධත්‍වයට ගිය කල්හි මෙකල ස්පර්‍ශ නො කළ (ධ්‍යානාදි) දහම් ස්පර්‍ශ කරන්නට හෝ ස්පර්‍ශ කළ දහම් රක්නට හෝ සුකර නො වේ.
946. යම්සේ වහන් නැතියෙක් කටුපියසෙහි හැසිරෙන්නේ නම් එපරිද්දෙන් මුනි තෙම සිහි එළවා ගෙන ගමෙහි හැසිරෙන්නේ යි.
947. පූර්‍වයෙහිදිවූ යෝගීන් සිහි කොට ඔවුන්ගේ වත් අනුගමනය කරන්නේ ඉදින් පශ්චිමවයස් ඇත්තේ නමුදු නිවනට පැමිණෙන්නේ යී.
948. වඩනාලද ඉඳුරන් ඇති (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ ඍෂි වූ ක්‍ෂය කළ පුනර්‍භවය ඇති (පාරාසරිය) මහණ තෙම සල්වෙනෙහි දී මෙය වදාරා පිරිනිවියේ යි.
මෙසේ ආයුෂ්මත් පාරාසරිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
පාරාසරිය ස්ථවිරගාථා යි.
උද්දානය:
අධිමුත්ත යැ, පාරාසරිය යැ, තේලකානි යැ, රට්ඨපාල යැ, මාලුඞ්ක්‍යපුත්ත යැ, සේල යැ, භද්දිය යැ, අඞ්ගුලිමාල යැ, අනුරුද්ධ යැ, පාරාසරිය යැ යි මේ දශ දෙනා විසි වැනි නිපාතයෙහි ප්‍රසිද්ධ යැ, ගාථාවෝ පන්සාලිස් තුරා දෙසියයක් වෙති.
වීසතිනිපාතය නිමි.
30. තිංසතිනිපාතය
949. ප්‍රාසාදික වූ වඩනාලද සිත් ඇති සන්හුන් ඉඳුරන් ඇති බොහෝ දෙනා (භික්‍ෂූන්) දැකැ ‘පණ්ඩරගොත්ත’ නම් තවුස් තෙම ‘ඵුස්ස’ නමැති තෙරුන් විචාළේ යි.
950. අනාගතකාලයෙහි (භික්‍ෂූහු) කෙබඳු ඡන්‍ද ඇතියාහු කෙබඳු අදහස් ඇතියාහු කෙබඳු ආකල්ප ඇතියාහු වෙත් ද? විචාරනලද මට එය කියනු මැනැවි.
951. පණ්ඩරාභිධාන රුසිය, මා ගේ වචනය අසනු මැනැවැ, සකසා සලකනු මැනැවැ, අනාගතය ප්‍රකාශ කරන්නෙමි.
952. කිපෙනසුල්ලෝ ද බද්ධවෛර ඇත්තෝ ද ගුණමකුවෝ ද අතිමානයෝ ද නැතිගුණ පාළ කරන්නෝ ද ඊර්‍ෂ්‍යා ඇත්තෝ ද වෙන් වෙන් දෘෂ්ටි ඇත්තෝ ද අනාගතයෙහි වන්නාහ.
953. ගැඹුරු දහම්හි දතිමී මාන ඇත්තාහු වෙරළ මැ ඇසුරු කළාහු චපල වූවාහු සද්ධර්‍මයෙහි ගෞරව නැත්තාහු අන්‍යෝන්‍ය ගෞරව නැත්තාහු (අනාගතයෙහි වන්නාහ).
954. අනාගත ලෝකයෙහි බොහෝ ආදීනවයෝ උපදින්නාහ, මොනවට දෙසනලද මේ ආගමසද්ධර්‍මය දුර්‍මතීහු කෙලෙසන්නාහ.
955. අශ්‍රැතවත් ගුණහීනයෝ ද සඟමැදැ කථා කරන්නාහු බුහුටි වූවාහු රළුබස් ඇත්තාහු බලවත් වන්නාහ.
956. ගුණවත්තු ද සඟමැදැ අර්‍ත්‍ථානුරූප වැ කථා කරන්නාහු ලජ්ජාසිත් ඇත්තාහු පලක් නැත්තාහු දුර්‍වල වන්නාහ.
957. දුෂ්ප්‍රාඥයෝ අනාගතයෙහි රන්-රිදී ද කෙත් වතු ද එළු තිරෙළුවන් ද දැසිදසුන් ද ඉවසන්නාහ.
958. අයුණු කියන සිත් ඇති, සිව්පිරිසිදු සිල්හි සමාහිත නො වූ, උස් වූ හිස්මන් ඇති, කලහයෙහි ඇලුණු බාලයෝ මෘගයන් මෙන් හැසිරෙන්නාහ.
959. නිල්සිවුරු පෙරෙවියාහු උඩඟු ද වන්නාහ, කුහු වැ දැඩි සිත් ඇති වැ ප්‍රත්‍යොත්පාදක කථා ඇති වැ ශෘඞ්ගාරචරිත ඇති වැ ආර්‍ය්‍යයන් මෙන් හැසිරෙන්නාහු ද වෙත්.
960. දළ පැහැ සිවුරු පෙරෙවියාහු තෙලින් මට කළ කෙසින් යුතැ වැ චපල වැ අඳුන් ඇඳි නුවන් ඇති වැ මහමඟැ යන්නාහ.
961. සුදුවත්හි මොනොවට මුසපත් (ගිජු) වූවාහු ආර්‍ය්‍යයන් විසින් මොනොවට රඳනාලද (එහෙයින් මැ) පිළිකුල් නො කටයුතු අර්‍හත් ධ්වජය වූ කහවත පිළිකුල් කරන්නාහ.
962. කුසීතයෝ, හීනවීර්‍ය්‍යයෝ, ලාභකැමැතියෝ වන්නාහ. වානප්‍රස්ථසේනාසනයන්හි ක්ලාන්ත වන්නාහු ග්‍රාමාන්ත සෙනාසනයන්හි වසන්නාහ.
963. යම් යම් කෙනෙක් මිථ්‍යාජීවයෙහි ඇලුණාහු හැම කල්හි ලාභ ලබත් ද, ඔවුන් ඔවුන් අනු වැ හික්මෙන්නාහු අසංයත වැ හැසිරෙන්නාහ.
964. යම් යම් කෙනෙක් ලාභ නො ලබනසුලුහු නම් ඔහු පූජ්‍ය නො වන්නාහ, එකල ඔවුන් සුපේශලයන් වුව ද ප්‍රාඥවන් වුව ද ඔහු සේවනය නො කරන්නාහ.
965. කිසි කෙනෙක් කළුනුග කසටින් රඳනාලද ස්වකීය ධ්වජය වූ කහවත ගරහන්නාහු තීර්‍ත්‍ථකයන්ගේ ධ්වජය වූ සුදුවත් දරන්නාහ.
966. එකල්හි කහවත කෙරෙහි ඔවුන්ගේ අගෞරවය ද වන්නේ යැ. කහවත්හි භික්‍ෂූන්ගේ ප්‍රත්‍යවේක්‍ෂා ද නො වන්නේ යි.
967. විෂ සහිත හීයෙන් විදුනාලද (එහෙයින්) මැ දුකින් මඩනාලද ශරීරවිකාරයට පැමිණෙන්නා වූ (සදත්) ඇත්රජහට ද අචින්ත්‍ය වූ අතිශයින් ගුරු (බර) වූ ප්‍රත්‍යවේක්‍ෂාව වූ.
968. ඒ එසේ මැ යි. එදා සදත්ඇත්රජ මොනොවට රඳනාලද අර්‍හත් ධ්වජය දැක එකෙණෙහි අර්‍ත්‍ථනිශ්ශ්‍රීත වූ ගාථා කී.
969. නො පහ වූ (රාගාදි) කසට ඇති යමෙක් කහවත් පරිභෝග කෙරේ නම් ඉන්‍ද්‍රියදමය හා සත්‍යයෙන් තොර වූ හෙතෙම කහවතට නො හොබී.
970. තවද යමෙක් පහ කළ කෙලෙස් කසට ඇත්තේ වේ නම් ශීලයෙහි පිහිටියේ නම් ඉන්‍ද්‍රියදමය හා වාක්සත්‍යයෙන් යුක්ත නම් හෙතෙම එකත්නෙන් කහවතට හොබී.
971. යමෙක් ශීලවිපන්න නම් දුෂ්ප්‍රාඥ නම් ‘දුශ්ශීල ය’යි ප්‍රකට නම් යථේපසිතයක් (මරහුට කැමැති සෙයක්) කරනුයේ නම් වික්‍ෂිප්ත වූ සිත් ඇත්තේ නම් කුශලධර්‍ම රහිත නම් හෙතෙම කහවතට නො හොබී.
972. යමෙකුන් ශීලසම්පන්න නම් වීතරාග නම් සමාහිත නම් සුවිශුද්ධමනෝවිතර්‍ක ඇත්තේ නම් හෙතෙම එකත්නෙන් කහවතට හොබී.
973. යමෙක් උද්ධිත නම් උස් වූ හිස්මන් ඇත්තේ නම් අව්‍යක්ත නම් යමක්හුගේ ශීලය නො පැනේ නම් හෙතෙම සුදුවතට සුදුසු යැ, කහවත් කුමක් කරන්නේ ද?
974. අනාගතයෙහි මහණහු ද මෙහෙණහු ද ද්විෂ්ට වූ සිත් ඇති වැ අනාදර වැ මෙත් සිත් ඇති තාදිගුණැතියන් නිගන්නාහ.
975. දුෂ්ප්‍රාඥ වූ ‘දුශ්ශීල යැ’යි ප්‍රකට වූ හිතුවක් කරන්නා වූ බාලයෝ තෙරුන් විසින් සිවුරු ධැරීමෙහි හික්මවනු ලබන්නාහු ද නො අසන්නාහ.
976. එසේ හික්මවනලද ඒ බාලයෝ උනුනට ගෞරව නැතියාහු රියසැරිහු නො තකන කුළුඅසකු මෙන් උපාධ්‍යායන් කෙරෙහි ආදරය නො කරන්නාහ.
977. මහණුන්ගේ ද මෙහෙණන්ගේ ද පශ්චිම කාලය පැමිණි කල්හි අනාගත කාලයෙහි මෙබඳු පිළිවෙත් වන්නේ යි.
978. තෙල අනාගත මහබිය එන්නට පෙර (තෙපි) සුවච වැ මෘදුසිත් ඇති වැ උනුනට ගෞරව සහිත වවු.
979. (තෙපි) මෙත්සිත් ඇතියහු කරුණා ඇතියහු ශීලයෙහි සංවෘත වූවහු ආරබ්ධවීර්‍ය්‍ය ඇතියහු නිවනෙහි යවනලද සිත් ඇතියහු නිරතුරු දැඩි පරාක්‍රම ඇතියහු වවු.
980. ප්‍රමාදය භය වශයෙන් ද අප්‍රමාදය ක්‍ෂේම වශයෙන් ද දැකැ අමෘතපදය ස්පර්‍ශ කෙරෙමින් අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩවු.
මෙසේ ආයුෂ්මත් ‘ඵුස්ස’ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.
ඵුස්ස ස්ථවිරගාථා යි.
981. (යමෙක්) ශීලසම්පන්න ද ආර්‍ය්‍යයන් හා එක්බඳු ද ස්මෘතිමත් ද සංයත සංකල්ප ඇති වැ ධ්‍යාන කරනසුලු ද ප්‍රමාද රහිත ද කමටහන් වැඩීමෙහි ඇලුණේ ද එකඟසිත් ඇත්තේ ද එකලා වූයේ ද සන්තුෂ්ට ද ඔහු භික්‍ෂු යැ යි කීහු.
982. තෙත්දැය හෝ වියලි දැය හෝ වළඳන්නේ පමණ ඉක්ම සුහිත නො වන්නේ යැ, මහණ තෙම ඌනෝදර වැ පමණට ගන්නා ආහාර ඇති වැ සිහි ඇති වැ වසන්නේ යි.
983. (කුසපමණින්) සතරපස්පිඬක් නො වළඳා දිය බොන්නේ යැ, නිවනට යවනලද සිත්ඇති මහණහට ඵාසුවිහාරයට පමණි.
984. ඉදින් වැසියයුතු තැන් වසා නම් මේ සඳහා වූ කැප වූ සිවුර නිවනට යවන ලද සිත් ඇති මහණහට ඵාසුවිහරණය පිණිස පමණි.