Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 1501-1600 න් 2247

646. මේ ප්‍රාණීහු නැසෙත්වා පෙළෙත්වා දුකට පැමිණෙත්වා’යි සංකල්පයක් මේ දීර්‍ඝකාලය අතුරෙහි නො දනිමි.
647. අප්‍රාමාණ්‍ය වූ මොනවට වඩනලද්දා වූ අනුක්‍රමයෙන් ප්‍රගුණකරන ලද්දා වූ මෛත්‍රියත් බුදුන් විසින් දෙසනලද පරිදි ඇස්සමුකොට දනිමි.
648. හැමට මිතුරු වැ හැමට යහළු වැ සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති වැ හැමකල්හි අව්‍යාපාදයෙහි (සත්‍වයනට) හිතසුව එළවීමෙහි ඇලුණෙම් මෙත් සිතත් වඩමි.
649. ආකර්‍ෂණ රහිත වූවක් කෝප්‍ය රහිත වූවක් කොට මම සිත සතුටු කරමි. නීචජනයන් නො සෙවුනාලද බ්‍රහ්මවිහාරය වඩමි.
650. ද්විතීයධ්‍යානයට සමවන් සම්‍යක් සම්බුද්ධශ්‍රාවක තෙමේ එකෙණෙහි ආර්‍ය්‍ය වූ තුෂ්ණිම්භාවයෙන් සමන්‍වාගත වූයේ වේ.
651. ශෛලපර්‍වතය තෙම යම් සේ අචල ද මොනවට පිහිටියේ වේ ද එපරිද්දෙන් මෝහක්‍ෂය හේතුකොටගෙන පර්‍වතයක් මෙන් (අචල) වූ මහණ තෙම නො සැලේ.
652. (රාගාදි) අඞ්ගණ රහිත වූ නිරතුරු නිරවද්‍ය ධර්‍මයන් සොයන සුලු පුරුෂයාහට කෙසගක් (වලගක්) පමණ වූ පාපය වලාකුළක් පමණ මෙන් වැටහේ.
653. ඇතුළත පිටත සහිත වැ ගෝපනය (රැකවරණ) කරන ලද පසල් නුවර යම්සේ ද එසේ තමා (සිත) රකිවු, ක්‍ෂණය තෙම තොප නහමක් ඉක්ම යා.
654. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්‍ෂා කරන සේ කාලය පමණක් අපේක්‍ෂා කරමි.
655. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, සම්‍යක් ප්‍රඥා ඇති වැ සිහි ඇති වැ කාලය පමණක් අපේක්‍ෂා කරමි.
656. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන්ගේ අවවාදය කරනලද යැ. ගුරු බර බහා තබනලද්දේ යැ, භවනෙත්තිය (තෘෂ්ණාව) මුලුසුන් කරනලදි.
657. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීමැ යි කියනලද ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යැ.
658. නො පමා වැ (දානශීලාදිය) සම්පාදනය කරවු. මේ මාගේ අවවාදය යි, එකත්නෙන් මම පිරිනිවෙන්නෙමි, සියලු භවයන් කෙරෙන් මිදුණෙමි’යි.
මෙසේ ආයුෂ්මත් ඛදිරවනීය රේවත ස්ථවිරයන් වහන්සේ ...
ඛදිරවනියරේවත ස්ථවිරගාථා යි.
659. ධුරයෙහි (වියෙහි) යොදනලද රියබර උසුලනු සමත් වූ අතිහාරයෙන් මඩනාලද භද්‍ර වූ වෘෂභරාජයෙක් යම්සේ තමාගේ වියදඬ නො ඉක්ම සිටී ද,
660. එපරිද්දෙන් යම් කෙනෙක් ජලයෙන් සමුද්‍රය සෙයින් ප්‍රඥායෙන් තෘප්ත වූවහු ද ඔහු අන්‍යයන්ට අවමන් නො කරත්. (මේ) සත්ත්‍වයන්ගේ ආර්‍ය්‍යධර්‍මයෙක් මැ යි.
661.මිනිස්සු (ලාභාලාභාදි) කාලයෙහි කාලයාගේ වශයට පැමිණියාහු වෘද්ධිහානි වශයට ගියාහු දුකට පැමිණෙත්. ඒ මිනිස්සු මෙලෙව්හි ශෝක කරත්.
662. සුඛ හේතුයෙන් උන්නත වූ, යළි දුඃඛහේතුයෙන් අවනත වූ, ඇති සැටියෙන් නො දක්නාසුලු බාලයෝ දෙකරුණින් පෙළෙත්.
663. තවද යම් කෙනෙක් දුකෙහිත් සැපෙහිත් මධ්‍යස්ථයෙහිත් තෘෂ්ණාව ඉක්මගියාහු නම් ඔහු ඉන්‍ද්‍රඛීලය මෙන් නිශ්චලයහ. ඔහු උන්නතාවනත නො වෙත්.
664. ඔහු ලාභයෙහි, අලාභයෙහි, අයසෙහි, කීර්තියෙහි, නින්‍දායෙහි, ප්‍රශංසායෙහි, දුකෙහි හා සුවයෙහි නො ඇලෙත් මැ යි.
665. ඔහු පොකුරුපතැ දියබිඳු මෙන් කිසිතැනෙක නො ඇලෙත්. ප්‍රාඥයෝ හැම තැන්හි සුඛිතයහ, හැම තැන්හි අපරාජිතයහ.
666. දැහැමින් වන යම් අලාභයෙකුත් වේ නම් අන්නෑයෙන් වන යම් ලාභයෙකුත් වේ නම් (මෙදෙක අතුරින්) ඉදින් අන්නෑයෙන් වන ලාභය යමක් නම් එයට වඩා දැහැමින් වන අලාභය උතුමි.
667. නුවණ නැතියන්ගේ යම් යසසකුත් නුවණැතියන්ගේ යම් අයසකුත් වේ නම් (ඔවුනතුරෙහි) නුවණැතියන් ගේ අයස මැ උතුමි. නුවණ නැතියන්ගේ යසස උතුම් නො වේ.
668. මූඪයන් විසින් කරන යම් ප්‍රශංසාවකුත් නුවණැතියන් විසින් කරන යම් ගර්‍හාවකුත් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් බාලයන් විසින් කරන ප්‍රශංසාව යමක් නම් එයට වඩා නුවණැතියන් විසින් කරන ගර්‍හාව මැ උතුමි.
669. කාමප්‍රකෘතික සුඛයෙකුත් පවිවේකයෙන් හටගත් දුඃඛයෙකුත් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් කාමප්‍රකෘතික සුඛය යමක් නම් එයට වඩා පවිවේකයෙන් හටගත් දුඃඛය උතුමි.
670. අන්නෑයෙන් දිවිරැක්ම ද දැහැමින් මරණය ද යන යමෙක් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් අන්නෑයෙන් දිවිරක්නේ යැ යන යමෙක් ඇත් ද (එයට වඩා) දැහැමින් මරණය ශ්‍රේෂ්ඨ යි.
671. කාමකෝප ප්‍රහීණ වූ යම් කෙනෙක් කුදුමහත් භවයෙහි සන්හුන් සිත් ඇති වැ ලෝකයෙහි අනිශ්‍රිත වැ හැසිරෙත් නම් ඔවුන්ට ප්‍රියාප්‍රිය දැයෙක් නැති.
672. බෝධ්‍යඞ්ගයන් ද ඉන්‍ද්‍රියයන් ද බලධර්‍මයන් ද වඩා පරමශාන්තියට පැමිණ රහත්හු පිරිනිවෙති’යි.
මෙසේ ආයුෂ්මත් ගෝදත්ත ස්ථවිරයන් වහන්සේ ...
ගෝදත්ත ස්ථවිරගාථා යි.
උද්දානය:
තුදුස් වැනි නිපාතයෙහි ‘රේවත’ ද ‘ගෝදත්ත’ දැ යි ඒ මහත් ඍද්ධි ඇති තෙරවරු දෙදෙනෙකි. ගාථා අටවිස්සෙකි.
චුද්දසනිපාතය නිමි.
16. සොළස නිපාතය
673. ඒ මම (ඔබගේ) ඉතා රසවත් ධර්‍මය අසා බෙහෙවින් පහදිමි. සර්‍වප්‍රකාරයෙන් උපාදාන රහිත වැ විරාගධර්‍මය දෙසනලද්දේ යැ.
674. ලෝකයෙහි විසිතුරු වූ අරමුණු බොහෝ වෙත්. (ඔහු) මේ මිනිස්ලො වැ රාගයෙන් යුක්ත වූ මිථ්‍යාසංකල්පය අලළතී හඟිමි.
675. මේඝය වායුව විසින් නඟනලද ධූලි යම්සේ සන්හිඳුවා ද එසේ යම් කලෙකැ (ආර්‍ය්‍යශ්‍රාවක තෙම විසිතුරු අරමුණ) විදර්‍ශනා ප්‍රඥායෙන් දකී නම්, එකල්හි සංකල්පයෝ සන්හිඳෙත්.
676. ‘සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි යම්කලෙකැ (ආර්‍ය්‍යශ්‍රාවක තෙම) විදර්‍ශනා ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද (ඥානදර්‍ශන) විසුඬියට මේ මාර්‍ගය වේ.
677. ‘සියලු සංස්කාරයෝ දුඃඛයහ’යි යම් කලෙකැ ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද මේ විසුඬියට මාර්‍ගය යි.
678. ‘සියලු (ත්‍රෛභූමක) ධර්‍මයෝ අනාත්මයහ’යි යම් කලෙකැ ප්‍රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද මේ විසුද්ධියට මාර්‍ගය යි.
679. යමෙක් බුද්ධානුබුද්ධ වූයේ ද ස්ථිර ගුණ ඇත්තේ ද, කෞණ්ඩින්‍ය නම් වූයේ ද දෘඪවීර්‍ය්‍ය ඇත්තේ ද, ප්‍රහීණ වූ ජාතිමරණ ඇත්තේ ද පිරිපුන් මඟබඹසර ඇත්තේ ද නොහොත් මඟ - ඵල නුවණ ඇත්තේ ද,
680. ඕඝපාශ ඇති ස්ථිර වූ චේතෝඛීල ඇති පැළීමට දුෂ්කර වූ අවිද්‍යා පර්‍වතයක් ඇති හෙතෙම ඛිලයත් පාශයත් සිඳැ බිඳීමට දුෂ්කර වූ පර්‍වතය බිඳැ ඕඝතරණය කෙළේ පරතෙරට (නිවනට) ගියේ ධ්‍යාන කරන සුලු වූයේ මාරබන්‍ධනයෙන් මිදුණේ යි.
681. උඩඟු (නො සන්හුන්) වූ චපල වූ මහණ තෙම පාපමිත්‍රයන් ලැබැ ක්‍රෝධ උපායාස නැමැති රළ විසින් යට කොට ගන්නාලද්දේ (කාමාදි) මහොඝයෙහි ගැලෙයි.
682. උඩඟු නො වූ චපල නො වූ (ආත්මාර්‍ත්‍ථ පරාර්‍ත්‍ථයන්හි) නිපුණ වූ සංවරණය කරන ලද ඉඳුරන් ඇති කලණමිතුරන් ඇති නුවණැත්තේ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යි.
683. කළුවැල්පුරුක් බඳු අවයව ඇති, කෘශ වූ, ඉපිලගිය නහරවැල් ඇති ආහාරපානයෙහි පමණ දන්නා වූ, නො මැලි සිත් ඇති පුරුෂ තෙම-
684. අරණ්‍යයෙහි මහවනයෙහි මැසි මදුරුවන් විසින් විදුනාලද්දේ රණබිම්හි ඇතකු සෙයින් එහි සිහි ඇති වැ ඉවසන්නේ යි.
685. මරණය නො කැමැත්තෙමි. ජීවිතය නො කැමැත්තෙමි. මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්‍ෂා කරන සේ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.
686. මරණය නො කැමැත්තෙමි. ජීවිතය නො කැමැත්තෙමි. සම්‍යක් ප්‍රඥා ඇති වැ සිහි ඇති වැ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.
687. මා විසින් ශාස්තෲන් වහන්සේ ආශ්‍රිතයහ. බුදුරදුන්ගේ අනුශාසනය කරනලද යැ. ගුරු වූ බර බහාතබනලද යැ. තෘෂ්ණා සඞ්ඛ්‍යාත භවනෙත්තිය නසනලදු.
688. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යැ. මට සද්ධිවිහාරිකයකුගෙන් කවර අර්‍ත්‍ථයක් දැ’යි.
මෙසේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා යි.
689. මිනිසුන් අතර උපන්නා වූ (දතයුතු දැය) තමා මැ දත්තා වූ තමා මැ දැමුණා වූ සමාහිත වූ බ්‍රහ්මවිහාර මාර්‍ගයෙහි පවත්නා වූ චිත්තයාගේ ව්‍යුපශමයෙහි (නිවනෙහි) ඇලුණා වූ,
690. මිනිස්සු (ස්කන්‍ධායතනාදි) සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ යමකු නමඳිත් ද දෙවියෝ ද ඔහු නමඳිතී මා විසින් රහතුන් වෙත අසනලදි.
691. ඉක්මගිය සියලු සංයෝජනයන් ඇති, (කෙලෙස්) වනයෙන් නික්ම නිවනට පැමිණි, කාමයෙන් නික්ම නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු, සෙලින් මුත් කසුනක් (රනක්) බඳු (ඔහු දෙවියෝ ද නමඳිත්).
692. ඒ බුද්ධනාග තෙමේ ඒකාන්තයෙන් අන්‍යපර්‍වතයන් ඉක්ම සිටි හිමවත් පර්‍වතය මෙන් අත්‍යන්තයෙන් බැබළී, ‘නාග’ නාමය ඇති සියල්ලන් අතුරෙහි නිරුත්තර වූ සත්‍යනාමය ඇත්තේ යි.
693. තොපට නාග(හස්ති)යා ප්‍රකාශ කරන්නෙමි, හෙතෙම පව් නො මැ කෙරේ. ශීලයත් කරුණාවත් යන එදෙක නාගයාගේ (පූර්‍ව) පාදයෝ යි.
694. ස්මෘතියත් සම්‍යක්ප්‍රඥාවත් නාගයාගේ ඒ අන්‍ය (පසු) පාදයෝ යි. මහානාග තෙමේ ශ්‍රද්ධා නැමැති අත් ඇත්තේ යැ. උපේක්‍ෂා නැමැති සුදුදළ ඇත්තේ යි.
695. ස්මෘතිය ඔහුගේ ග්‍රීවය යැ, ප්‍රඥාව ශීර්‍ෂය යැ, ධර්‍මචින්තාව විමර්‍ශනය යැ, (සමථ - විදර්‍ශනා) ධර්‍මය කුක්‍ෂිය යැ, විවේකය වාලධිය යි.
696. ඒ නාග තෙමේ ධ්‍යාන කරන සුලු යැ, ආස්වාදයෙහි (නිවනෙහි) ඇලුණේ යැ, අධ්‍යාත්මයෙහි මොනවට සමාහිත යැ, නාග තෙම යන්නේ සමාහිත යැ, සිටියේ සමාහිත යි.
697. නාග තෙම හෝනේ සමාහිත යැ, හුන්නේ ද සමාහිත යැ, සියලු අරමුණෙහි සංවෘත යැ, මේ වනාහි නාගයාගේ සමාපත්තිය යි.
698. වස්ත්‍රාහාර ලැබ සන්නිධිකාරය (රැස්කිරීම) දුරු කරනුයේ නිරවද්‍ය දැය වළඳයි. සාවද්‍ය දැය නො වළඳයි.
699. සංයෝජන යැ කුදුමහත් සියලු කෙලෙස් බැඳුම් යැ යන මොවුන් (මාර්‍ගඥානයෙන්) සිඳැ යම් යම් මැ දිශායෙකින් යේ නම් අපේක්‍ෂා රහිත වැ මැ යේ.
700. යම්සේ දියෙහි උපන්නා වූ සුවඳැති මනරම් පඬෙර (හෙළපියුම) දියෙහි වැඩේ ද දියෙන් නො තැවරේ ද,
701. එසේ මැ ලෝකයෙහි උපන් සර්‍වඥ තෙමේ ලෝකයෙහි වෙසෙයි. දියෙන් පියුම යම්සේ නම් එසේ මැ ලෝකය විසින් නො තැවරේ.
702. ඇවිලගත් මහගින්න නිරාහාර වූයේ (දර නැත්තේ) සන්හිඳේ. අගුරු ඇති කල්හි දු නිවුණේ යැ යි කියනු ලැබේ.
703. මේ වනාහි නුවණැතියන් විසින් දෙසනලද අර්‍ත්‍ථප්‍රකාශක උපමාවකි. මහානාගයෝ (ක්‍ෂීණාශ්‍රවයෝ) නාගයා (මා) විසින් දෙසනලද නාගයා හඳුනත්.
704. පහ වූ රාගය ඇති, පහ වූ ද්වේෂය ඇති, පහ වූ මෝහය ඇති (සඋපාදිශේෂ නිර්‍වාණයෙන්) නිරාස්‍රට වූ බුද්ධනාග තෙමේ ශරීරය හරිමින් (ඛන්‍ධපරිනිබ්බානයෙන්) පිරිනිවෙන්නේ යි.
මෙසේ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ ...
උදායී ස්ථවිරගාථා යි.
උද්දානය:
සොළොස් වැනි නිපාතයෙහි කොණ්ඩඤ්ඤ ද උදායී දැයි මහත් ඍද්ධි ඇති ඒ තෙරවරු දෙදෙනෙකි. ගාථා ද දෙතිසෙකි.
සොළසනිපාතය නිමි.
20. වීසතිනිපාතය
705. පෙර අපි බිලියම් පිණිස හෝ ධනය පිණිස හෝ යම් කෙනකුන් අවස කොට නැසූවමෝ නම් ඔවුනට බිය උපන. එහෙයින් ඔහු වෙවුළූහ. වැලපුණහ.
706. ඒ තොපට බිය බවෙක් නැත. සිරුරු පැහැය බෙහෙවින් පැහැපත් යැ. මෙබඳු මහබිය ඇති කල්හි කවර හෙයින් නො වැලපෙහි ද?
707. ගාමණිය, අපේක්‍ෂා රහිතයාහට මානසික දුඃඛයෙක් නැත. ක්‍ෂය වූ සංයෝජන ඇතියහු විසින් ඒකාන්තයෙන් සියලු භය ඉක්මවනලදහ.
708. ක්‍ෂීණ වූ භවනෙත්තිය (තෘෂ්ණාව) ඇති කල්හි ඇති සැටියෙන් දක්නාලද සිව්සස්දම් ඇති කල්හි බර බහා තැබූ කල්හි යම්සේ ද එසේ මරණයෙහි බිය නූපදී.
709. මා විසින් බඹසර මොනවට හසළේ යැ. මාර්‍ගය ද මොනවට වඩනලද යැ, රෝගයන්ගේ ක්‍ෂයයෙහි මෙන් මට මරණයෙහි බියෙක් නැති.
710. මා විසින් බඹසර මොනවට හසළේ යැ, මාර්‍ගය ද මොනවට වඩනලද යැ. ආස්වාද රහිත භවයෝ දක්නාලදහ. (මේ මරණය) විෂ පානය කොට වමාළා වැන්න.
711. (සසර) පරතෙරට ගියා වූ, උපාදාන රහිත වූ, කළ කිස ඇති, නිරාස්‍රව (රහත්) තෙමේ දම්ගෙඩියෙන් මිදුණකු මෙන් ආයුඃක්‍ෂය හේතුයෙන් තුටු වේ.
712. උත්තමධර්‍මස්වභාවයට (රහත් බවට) පැමිණියේ මුළු ලොව අපේක්‍ෂා රහිත වැ ගිනිගත් ගෙයින් මිදුණකු සෙයින් මරණයෙහි ශෝක නො කෙරේ.
713. යම්කිසි ප්‍රතිත්‍යසමුත්පන්නයෙක් ඇත් ද, යම් තැනෙකැ භවයෙක් හෝ ලැබේ ද, තෙල සියල්ල අනීශ්වර යැ යි මහර්ෂීහු (බුදුන්) විසින් දෙසන ලදි.
714. බුදුන් විසින් දෙසනලද පරිදි යමෙක් ඒ භවත්‍රය දනී නම් හෙතෙම මැනැවින් තවනලද යවටක් සෙයින් කිසිභවයක් නො ගනී.
715. (පෙර) ‘වූයෙමි’ සිතෙක් මට නැත, (මතු) ‘වන්නෙමි’ සිතෙක් මට නැති, සංස්කාරයෝ පහව යෙත්, එහි කවර නම් වැලැපුමෙක් ද?
716. ගාමිණිය, හුදු ධර්‍මසමුත්පාදය හුදු සංස්කාර ප්‍රබන්‍ධය ඇති සැටියෙන් දක්නාහට බියෙක් නූපදී.
717. යමෙක් යම් කලෙකැ තෘණකාෂ්ටසම වූ (සංස්කාර) ලෝකය ප්‍රඥායෙන් දකී ද හෙතෙම මමත්‍වය නො ලබන්නේ ‘මට නැතැ’ යි නො සොවී.
718. (මම) සිරුරින් උකටලී වෙමි, භවයෙන් අර්‍ත්‍ථයක් නැතියෙමි. මේ කය බිඳෙයි. අනෙක් කයෙක් නො වන්නේ යි.
719. සිරුරින් තොපට යම් කිසෙක් ඇත් ද ඉදින් කැමැත්තහු නම් එය කරවු, ඒ හේතුයෙන් මට එහි ද්වේෂයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නො වන්නේ යි.
720. උන්වහන්සේගේ ඒ අද්භූත වූ ලොමුදහගන්වන වචනය අසා සොරු ආයුධ බහා තබා මෙය කීහු,
721. වහන්ස, ඔබ ගේ ආචාර්‍ය්‍ය තෙමේ කවරෙක් හෝ වේ ද කුමක් හෝ කොට කවරකු ගේ හෝ අවවාද ලැබැ ඒ අශෝකත්‍වය ලැබේ දැ? යි
722. සර්‍වඥ වූ සර්‍වදර්ශී වූ මහා කාරුණික වූ ශාස්තෘ වූ ජගද්වෛද්‍ය වූ ජින තෙමේ මාගේ ආචාර්‍ය්‍ය තෙමේ යි.
723. උන්වහන්සේ විසින් මේ නිර්‍වාණගාමී වූ නිරුත්තර වූ ධර්‍මය දේශිත යැ, උන් වහන්සේගේ අවවාදය ලැබැ ඒ අශෝකත්‍වය ලැබේ’යි. (කීහ.)
724. සොරු ඍෂිහුගේ සුභාෂිතය අසා ශස්ත්‍රයන් ද ආයුධයන් ද බහා තබා ඇතැම් කෙනෙක් ඒ සොරකමින් වැළකුණහ. ඇතැම් කෙනෙක් පැවිද්ද බැබැළවූහ (පැවිදි වූහ).
725. ඔහු සුගත් සසුන්හි පැවිදි වැ නුවණැති වැ බෝධ්‍යඞ්ග - බල ධර්‍මයන් වඩා ඔද වැඩිසිත් ඇති වැ සොම්නස් වැ වඩනලද ඉන්‍ද්‍රියයන් ඇති වැ අසංස්කෘත වූ නිර්‍වාණපදය පැහැසැ ගත්හ’යි.