580. රළුදැයිනුදු සතුටු වන්නේ යැ අන්‍ය වූ බොහෝ රස නො පතන්නේ යැ. රසයෙහි ගිජු වූවහු ගේ සිත ධ්‍යානයෙහි නො ඇලේ ද එහෙයිනි.
581. මහණ තෙමේ අල්පේච්ඡ වූයේ ලද දැයින් සතුටු වැ කායවිවේක ඇති වැ අගාර - අනගාර දෙපසින් නො මුසු වැ වසන්නේ යැ.
582. පණ්ඩිත වූ මහණ තෙම සඟමැද ජඩ වූවකු ත් ගොළු වූවකු ත් සෙයින් තමා දක්වන්නේ යැ. පමණ ඉක්මවා නො බණන්නේ යැ.
583. ඒ මහණ කිසිවකුට උපක්‍රෝශ නො කරන්නේ යැ. හිංසා හරනේ යැ. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ භෝජනයෙහි මාත්‍රඥ වූයෙක් වන්නේ යැ.
584. මොනවට ගත් සමාධිනිමිත්ත ඇත්තෙක් වන්නේ යැ. (ලීනෝද්ධත) චිත්තයාගේ උත්පත්තිකාරණයෙහි නිපුණ වූයෙක් වන්නේ යැ. සුදුසු කාලයෙහි ශමථයෙහි ද විදර්‍ශනායෙහි ද යෙදෙන්නේ යැ.
585. පණ්ඩිත මහණ නිරතුරු වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ හැමකල්හි භාවනාවෙහි යෙදුණෙක් වන්නේ යැ. නිවනට නො පැමිණ විශ්වාසයට නො ද පැමිණෙන්නේ යැ.
586. මෙසේ වාසය කරන ශුද්ධිය කැමති මහණහුගේ සියලු ආස්‍රවයෝ ගෙවී යෙති, ක්ලේශපරිනිර්‍වාණයට ද පැමිණෙන්නේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
උපසේන ස්ථවිරගාථා යි.
10. 1. 7.
587. (නුවණැති පුරුෂතෙම) ස්වාර්‍ත්‍ථය විචාරා දන්නේ යැ. (සම්බුදුන් වදාළ) ප්‍රවචනය (නුවණැසින්) බලන්නේ යැ. මෙ සස්නෙහි ශ්‍රමණභාවයට එළැඹියහුට යමක් සාරූප්‍ය වේ ද එ ද බලන්නේ යි.
588. මේ සස්නෙහි කල්‍යාණමිත්‍රයා යැ අධිශීලාදි ශික්‍ෂාසමාදාන යැ (ආචාර්‍ය්‍ය උපාධ්‍යාදි) ගුරුන්ගේ අවවාද අසනු කැමැත්ත යැ යන මේ කරුණු මහණහට සාරුප්‍ය වෙයි.
589. සම්බුදුරජුන් කෙරෙහි ගරු කරන බව යැ, ආර්‍ය්‍යධර්‍මය කෙරෙහි යථාභූත කොට ආදරයෙන් පිදීම යැ, ආර්‍ය්‍යසඞ්ඝයා කෙරෙහි සම්මානන යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
590. (කායිකවාචසික අව්‍යතික්‍රම සඞ්ඛ්‍යාත) ආචාරයෙනු දු (පිණ්ඩපාතාදිය පිණිස එළඹෙනුවට යුක්තස්ථාන සඞ්ඛ්‍යාත) ගෝචරයෙනු දු යුක්ත වූයේ යැ (විඥ පුරුෂයන්ගේ) ගර්‍හාවට නො නිසි සුවිශුද්ධ ආජීව යැ (ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා සඞ්ඛ්‍යාත) චිත්තසංස්ථාපන යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
591. චාරිත්‍රශීල යැ චාරිත්‍රශීල යැ ප්‍රසාද එළවනුවට නිසි ඉරියව් ඇසිරි කළ සම්‍යග් ප්‍රඥාව යැ (ශමථවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි භාවනා යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
592. මුනිහු විසින් සේවන කටයුතු නිහඬ වූ ජනශූන්‍ය වූ වනසෙනසුන් ඇද්ද, මෙ මහණහට සාරූප්‍ය වෙයි.
593. චතුපාරිසුද්ධිසීල යැ බහුශ්‍රැතභාව යැ (රූපාරූප) ධර්‍මයන් ඇති සැටියෙන් විමසීම යැ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කිරීම යැ යන මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
594. (‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි) අනිත්‍ය සංඥා වඩනේ යැ, (‘හැම දහම් අනාත්මයහ’යි) අනාත්මසංඥා වඩනේ යැ, (‘ත්‍රෛභූමක සංස්කාර අශුභයහ’යි) අශුභසංඥා වඩනේ යැ, හැම ලොව්හි අනභිරතිසංඥා ද වඩනේ යැ, මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
595. (සප්ත) බෝධ්‍යඞ්ගයන් (සතර) ඍද්ධිපාදයන් (පඤ්ච) ඉන්‍ද්‍රියයන් (පඤ්ච) බලධර්‍මයන් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය (සතර සතිපට්ඨානයන් සතර සම්‍යක්ප්‍රධානයන්) වඩන්නේ යැ. මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
596. මුනි තෙම තෘෂ්ණාව හැරපියන්නේ යැ, මුල් සහිත ආශ්‍රවයන් උදුරාපියන්නේ යැ, (සියලු කෙලෙසුන් කෙරෙන්) විප්‍රමුක්ත වැ වාස කරන්නේ යැ. මෙ කරුණු මහණහට සාරුප්‍ය වේ”යයි.
මෙසෙයින් ආයුෂ්මත් අපර ගොතම ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළසේක.
අපරගෝතම ස්ථවිරගාථා යි.
උද්දානය:
කාළුදායී ස්ථවිර යැ, ඒකවිහාරී ස්ථවිර යැ, මහාකප්පින ස්ථවිර යැ, චූළපන්‍ථක ස්ථවිර යැ, කප්ප ස්ථවිර යැ, උපසේන ස්ථවිර යැ, ගොතම ස්ථවිර යැ යි දසක නිපාතයෙහි තෙරහු සත්දෙනෙක. මෙහි ගාථා සැත්තෑවෙකි.
දසකනිපාතය නිමි.
11. ඒකාදසකනිපාතය
11. 1. 1.
597. දරුව, වැසිකල්හි උජ්ජුහානපර්‍වතය වැනි (අසත්ප්‍රාය) වූ වනයෙහි ඔබට කවර ප්‍රයෝජනයෙක් ද? කිම ඔබට වේරම්බවාතයෝ රමණීය වෙත් ද? පවිවේකය මැ ධ්‍යායීන්ට රමණීය යි.
598. යම්සේ වැසිකල්හි වේරම්බවාතය වලාවන් බැහැර කෙරේ (ගෙනයා) ද, එසේ මැ විවේකප්‍රතිසංයුක්ත වූ සංඥාවෝ මා ගේ සිත (විවේකස්ථානයට) අදිත් (ගෙන යත්).
599. සොහොනෙහි එ මැ නිවෙස් කොට හැසිරෙන කළුපැහැ ඇති පක්‍ෂි (කවුඩු) තෙම මට සිය සිරුරෙහි විරාගනිඃශ්‍රිත වූ සිහිය එළවා මැ යි.
600. අන්‍යයෝත් යමකු නො රකිත් නම් යමෙකුත් අන්‍යයන් නො රකී නම් කාමයෙහි අපේක්‍ෂා නැති එ මහණ තෙම ඒකාන්තයෙන් සුවසේ හොවී.
601. පහන් දිය ඇති පුළුල්ගලතල යැ ගොනඟුල් (වඳුරු) සිව්පා යැ යන මොවුන්ගෙන් යුත් දියසෙවෙලින් ගැවසීගත් ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
602. අරණ්‍යෙයෙහි ද ගිරිකඳුරෙහි ද ගිරිගුහායෙහි ද වල්මුවන් විසින් සෙවුනාලද (වනයෙහි) දුරුසෙනසුන්හි ද මා විසූවිරූ යැ.
603. (ඒ මම) මේ ප්‍රාණීහු නැසෙත්වා, පෙළෙත් වා, දුකට පැමිණෙත්වා යන ද්වේෂයෙන් යුත් අනාර්‍ය්‍යසංකල්පයක් නො දනිමි.
604. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන් වහන්සේ ගේ අනුශාසනය (අවවාදය) කරනලදි, ගරු බර බහා තබනලදි, භවනෙත්තිය (තෘෂ්ණාව) මුලසුන් කරනලදු.
605. තවද යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිදි වූයෙම් නම්, සියලු සංයෝජනයන් ගේ ක්‍ෂයකිරීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුක්‍රමයෙන් ලබනලද්දේ යි.
606. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්‍ෂා කරන සේ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.
607. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, සම්‍යක් ප්‍රඥා ඇති වැ සිහි ඇති වැ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.
මෙසේ ආයුෂ්මත් සඞ්කිච්ච ස්ථවිරයන් වහන්සේ ...
සඞ්කිච්ච ස්ථවිරගාථා යි.
උද්දානය:
එකොළොස් වැනි නිපාතයෙහි කළ (පැවිදි) කිස ඇති නිරාස්‍රව වූ එක් මැ සංකිච්ච ස්ථවිරයන් වහන්සේ යැ, ගාථා ද එකොළොසෙක් මැ යි.
එකාදසකනිපාතය නිමි.
12. ද්වාදස නිපාතය.
12. 1. 1.
608. මේ සසුන්හි ශීලය මැ පුහුණු කළ මැනවැ, මෙලොව මොනවට පුහුණු කළ, සේවනය කළ ශීලය සියලු සම්පත් එළවා ද එහෙයිනි.
609. ප්‍රශංසාව ද සන්තෝෂ ලාභය ද පරලෙව්හි ස්වර්‍ගයෙහි මෝදනය ද යන ත්‍රිවිධසුඛයන් කැමති වන්නා වූ නුවණැත්තේ සිල් රැක්ක මැනැවි.
610. සිල් ඇත්තේ මැ සංවරය කරණ කොට ගෙන බොහෝ මිතුරන් ලබයි. දුශ්ශීල තෙමේ වැළිත් ලාමක ක්‍රියා කරන්නේ මිතුරන් කෙරෙන් පහ වේ.
611. දුශ්ශීල පුරුෂ තෙම ගර්‍හාවත් අපකීර්තියත් ලබයි. සිල්වත් පුරුෂ තෙම හැම කල්හි ගුණකථනයත් කීර්තියත් ප්‍රශංසාවත් ලබයි.
612. ශීලය (කුශලධර්‍මයන්ට) මූලයත් ප්‍රතිෂ්ඨාත් වෙයි. කල්‍යාණධර්‍මයන්ට ද මවකි. සියලු ධර්‍මයන්ට ප්‍රමුඛ යැ. එහෙයින් සිල් පිරිසිදු කරන්නේ යි.
613. ශීලය චිත්තයා ගේ වෙරළ (සීමාව) ත් සංවරයත් සන්තෝෂකාරණයත් සියලු බුදුවරුන්ගේ තීර්‍ත්‍ථයත් වෙයි. එහෙයින් සිල් පිරිසුදු කරන්නේ යි.
614. ශීලය අසදෘශ බලයෙකි, ශීලය උතුම් ආයුධයෙකි, ශීලය ශ්‍රේෂ්ඨ ආභරණයෙකි, ශීලය අද්භූත කවචයෙකි (සන්නාහයෙකි).
615. ශීලය මහබල ඇති හෙයකි. යමෙකින් දසනුදස හමා නම් එ ශීලය අනුත්තරගන්‍ධයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ විලේපනයෙකි.
616. යමෙකින් දසනුදසහි යේ නම් ඒ ශීලය අග්‍ර වූ බත්පළාවකි (බත්මුළෙකි) ඒ ශීලය උතුම් වූ මාර්ගෝපකරණයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ වූ යානයෙකි.
617. නපුරුසිත් ඇත්තේ මෙලෙව්හි මැ නින්‍දා ලබයි, පරලෙව්හි අපායෙහි ද නින්‍දා ලබයි, ශීලයෙහි නො පිහිටි බාල තෙමේ සියලු තැන්හි දොම්නස් ඇත්තේ වේ.
618. මනා සිත් ඇත්තේ මෙලෙව්හි මැ කීර්තිය ලබයි. පරලෙව්හි ස්වර්‍ගයෙහි ද කීර්තිය ලබයි. ශීලයෙහි මොනවට පිහිටි නුවණැත්තේ හැමතැන්හි සොම්නස් වේ.
619. මෙ සසුන්හි ශීලය මැ අග්‍ර යැ, එතෙකුදු වුවත් නුවණැත්තේ උතුමි. මිනිසුන් අතුරෙහි දු දෙවියන් අතුරෙහි දු ශීල ප්‍රඥා - දෙකින් ජය වේ.
මෙසේ ආයුෂ්මත් සීලව ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සීලව ස්ථවිරගාථා යි.
12. 1. 2.
620. මම පහත් කුලයෙහි උපන්මි, දිළින්දෙමි, අල්පභෝජන ඇත්තෙමි, පහත් රැකියාවක් මට වී යැ, පුස්සඩු වීමි.
621. මිනිසුන් විසින් පිළිකුල් කරනලදු වැ යළි අවමන් කරන ලදු වැ ගරහනලදු වැ යටත්සිත් කොටගෙන බොහෝ දෙනා වැන්දෙමි.
622. භාග්‍යයෙකි! මගධ දනව්වෙහි අගනුවරට පිවිසෙන්නා වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පෙරටුකොට ඇති මහාවීර වූ සම්බුදුන් දිටිමි.
623. (මම) කද බහා තබා වඳින්නට එළැඹියෙමි. පුරුෂෝත්තම තෙමේ මට මැ අනුකම්පා පිණිස නැවැත්තේ යි.
624. එදා ශාස්තෲන් ගේ පාසඟළ වැඳ එකත්පසෙකැ සිටියෙම් සියලු සතුනට උතුම් වූ පැවිද්ද මම අයැදියෙමි.
625. ඉක්බිති කාරුණික වූ, සියලු ලෝකයාට අනුකම්පා ඇති ශාස්තෲන් වහන්සේ ‘එව මහණැ’යි මට වදාළහ, ඒ මාගේ උපසම්පදාව වී යැ.
626. ඒ මම එකලා වැ අරණ්‍යයෙහි වසන්නෙම් නො මැලියෙම්, බුදුහු යම්සේ මට අවවාද කළෝ නම් එසේ ශාස්තෲවචනය කෙළෙමි.
627. රෑ පෙරයම්හි පූර්‍වජාතිය සිහි කෙළෙමි, රෑ මැදියම්හි දිවැස ශෝධනය කෙළෙමි. __check translation here__
628. රෑ පැසුළුයම්හි, ඒ රැය අවසන්හි හිරු උදාවන්නා හා මැ (අවිදු) අඳුරුකඳ පැළුයෙමි.
629. ‘ඉන්‍ද්‍ර’ ද ‘බ්‍රහ්ම’ ද අවුත් ‘පුරුෂශ්‍රේෂ්ඨය ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා. යම්හෙයෙකින් ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද (එහෙයින්) දක්‍ෂිණාර්‍හ වෙහි’යි ඇඳිලි බැන්දාහු මට නමස්කාර කළහ.
630. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දිව්‍යසමූහයා විසින් පුරස්කෘත (සම්භාවිත) වූ මා දැක සිනා පාළ කොට මෙකරුණ වදාළහ.
631. තපසිනු දු බඹසරිනු දු ශීලයෙනු දු ප්‍රඥායෙනු දු යන මෙකරුණින් බ්‍රාහ්මණ වෙයි, මේ උතුම් බමුණු යැ යි (කීහු) යි.
මෙසේ ආයුෂ්මත් සුනීත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සුනීත ස්ථවිරගාථා යි.
උද්දානය:
දොළොස් වැනි නිපාතයෙහි සීලව ද, සුනීත දැ යි තෙරවරු දෙදෙනෙකි. ඔහු මහත් ඍද්ධි ඇත්තාහු යැ, ගාථාවෝ සූවිස්සෙකි.
ද්වාදසනිපාතය නිමි.
13. තෙරස නිපාතය
13. 1. 1.
632. අඟුරජහුගේ පිරිවරෙහි (රටවැසි) වූ යමෙක් අඟුරටෙහි අත්‍යුත්කෘෂ්ට වූයේ නම් ඒ ‘සෝණ’ තෙමේ අද ධර්‍මයෙහි උත්කෘෂ්ට වැ දුඃඛයා ගේ පරතෙරට ගියේ යි.
633. (ඕරම්භාගිය සංයෝජන) පස සිඳින්නේ යැ, (උද්ධම්භාගියසංයෝජන) පස ප්‍රහාණය කරන්නේ යැ. මත්තෙහි (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය) පස වඩන්නේයැ, (රාග, දොස, මෝහ, මාන, දිට්ඨි යන) පඤ්චසඞ්ගයන් ඉක්ම ගිය මහණ තෙම ඕඝතිණ්ණ යැ යි කියනුලැබේ.
634. උස් වැ ගිය මාන ඇති, ප්‍රමාදයට පැමිණි, බාහිරායතනයන්හි ආශා ඇති මහණහුගේ ශීලයත් සමාධියත් ප්‍රඥාවත් පරිපූර්‍ණ බවට නො යේ.
635. උස්වගිය මානනළ ඇති ප්‍රමත්තයන් විසින් කළයුතු යමක් ඇත්නම් ඒ හැරදමනලදී. නො කළයුත්ත වැළිත් කරනුලැබේ. ඔවුන් ගේ ආස්‍රවයෝ වැඩෙත්.
636. තවද යම් කෙනකුන් විසින් නිතොර වැ කාගියාසී දැඩි වැ ගන්නාලද ද කළයුත්තෙහි සාතත්‍යකාරී වූ ඔහු නො කළයුත්ත නො කරත්, සිහි ඇතියන්ගේ, සම්‍යක්ප්‍රඥා ඇතියන්ගේ ආස්‍රවයෝ අස්තයට යෙත් (ක්‍ෂය වෙත්).
637. ශාස්තෲන් වහන්සේ වදාළ ඍජුමාර්‍ගයෙහි යවු, නො නවතිවූ. තමා තමාට චෝදනා කළ මැනවැ, (තමා) නිවනට පමුණුවන්නේ යි.
638. පමණ ඉක්ම පටන් ගත් වීර්‍ය්‍ය ඇති කල්හි ලෝකයෙහි නිරුත්තර වූ ඇස් ඇති ශාස්තෲන් වහන්සේ ‘වීණොපමා’ කොට මට දහම් දෙසූහ.
639. මම උන් වහන්සේගේ වචනය අසා සසුන්හි ඇලුණෙම් කල් යැවීමි. අර්‍හත්ත්‍වයට පැමිණෙනු පිණිස (ඉන්‍ද්‍රිය සමතාව) සම්පාදනය කෙළෙමි. (මා විසින්) ත්‍රිවිද්‍යාව ලබනලද යැ, බුදුන්ගේ අවවාදය කරනලදි.
640. නෛෂ්ක්‍රම්‍යයෙහි නිම්න (නැඹුරු) වූ චිත්තයාගේ පවිවේකයෙහි නිම්න වූ නිදුක්බැව්හි නිම්න වූ අර්‍හත්ත්‍වයෙහි නිම්නවූ -
641. නිර්‍වාණයෙහි නිම්න වූ චිත්තයාගේ අසම්මෝහයෙහි (ආර්‍ය්‍යමාර්‍ගයෙහි) නිම්න වූ තැනැත්තහුගේ සිත (චක්‍ෂුරාදි) ආයතනෝත්පාදය දැක (ආස්‍රවයන් කෙරෙන්) මොනවට මිදෙයි.
642. (කෙලෙසුන් කෙරෙන්) මොනවට මිදුණු එහෙයින් මැ සන්හුන් සිත් ඇති ඒ මහණහු විසින් කරනලද කර්‍මයාගේ උපචයෙක් නැති. (ඔහු විසින්) කළයුත්තෙක් (කෘතකෘත්‍ය බැවින්) නො පැනේ.
643. යම්සේ ඒකඝනපර්‍වතයක් සුළඟට නො සැලේ නම්, එපරිද්දෙන් රූප යැ රස යැ ශබ්ද යැ ගන්‍ධ යැ ස්පර්‍ශ යැ යන සියලු -
644. ඉෂ්ටධර්‍මයෝ ද අනිෂ්ටධර්‍මයෝ ද අකම්ප්‍ය වූ සංයොග රහිත වූ තාදිහු ගේ සිත කම්පා නො කරත්. (හෙතෙම) ඒ ආරම්මණයාගේ නිරෝධය ද දකී.
මෙසේ ආයුෂ්මත් ‘කොළිවීස සෝණ’ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
‘සෝණ’ ස්ථවිරගාථා යි.
උද්දානය:
තෙළෙස් වැනි නිපාතයෙහි එක් මැ මහත් ඍද්ධි ඇති කොළිවීස සෝණ ස්ථවිරයන් වහන්සේ යැ, මෙහි ගාථාවෝ ද තෙ ළෙසෙකි.
තෙරසනිපාතය නිමි.
14. චුද්දස නිපාතය
14. 1. 1.
645. යම් කලෙක මම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් එතැන් පටන් කොට ද්වේෂයෙන් යුක්ත වූ අනාර්‍ය්‍යසංකල්පයක් නො දනිමි.