Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 1301-1400 න් 2247

510. යම් දවසෙකැ කොයිනුත් බිය නැති ශාස්තෲන් වහන්සේ පළමු කොට දිටිම් ද, ඉක්බිති ඒ පුරුෂෝත්තමයා දැක මට සංවේග උපන.
511. යමෙක් ගෙට ආ සිරිකත අතින් පයින් (පැහැරැ) පලවන්නේ ද, හෙතෙම මෙබඳු ශාස්තෲන් ආරාධනය කොට (උන් වහන්සේගේ අවවාද නො කිරීමෙන් නවම ක්‍ෂණය) වරදනේ යැ.
512. එකල්හි මම අඹුදරුවන් ද ධනධාන්‍ය ද හළිමි. කෙහෙරවුළු බහා සසුන්හි පැවිදි වීමි.
513. අධිශීලශික්‍ෂායෙන් හා ප්‍රඥප්ත ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත සාජීවයෙන් යුක්ත වූයෙම් ඉන්‍ද්‍රියයන්හි මනා සංවර ඇතියෙම් අපරාජිත වූයෙම් සම්බුදුන් වඳිමින් විසීමි.
514. ඉක්බිති මට සිතින් පතනලද ප්‍රණිධියෙක් විය: ‘තෘෂ්ණා නමැති හුල නො උපුළ කල්හි මොහොතකුදු නො හිඳිනෙමී’ කියා යි.
515. මෙසේ වසන ඒ මාගේ වීර්‍ය්‍යපරාක්‍රමය බලව. (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
516. පෙරවිසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරනලදි කෙලෙසුන් කෙරෙන් මිදුණු, උපධි රහිත වූ, දක්‍ෂිණාර්‍හ වූ රහතෙක් වෙමි.
517. ඉක්බිති රැයිම්මෙ හිරු උදාවත් මැ සියලු තෘෂ්ණාව වියළාපියා පලක් බැඳ හුන්නෙමි’යි.
මෙසෙයින් ආයුෂ්මත් මහාපන්‍ථක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මහාපන්‍ථක ස්ථවිරගාථා යි.
උද්දානය:
මහකසයින් තෙරණුවෝ යැ, සිරමිත්ත තෙරණුවෝ යැ, මහාපන්‍ථක තෙරණුවෝ යැ, යන තෙරවරු අට්ඨකනිපාතයෙහි වෙති, ගාථා සූවිස්සෙකි.
අට්ඨකනිපාතය නිමි.
9. නවක නිපාතය
518. ‘ජරාමරණ දුකැ’යි (යථාභූත කොට) නො දන්නා පෘථග්ජනයෝ යම් පඤ්චුපාදානස්කන්‍ධයෙකැ බැඳුණාහු ද, ඒ දුක නුවණැති මහණ යම් කලෙකැ (මාර්‍ගඥානයෙන්) පිරිසිඳැ දැන සිහි ඇති වැ මැ (ලක්‍ෂණොපනිධ්‍යාන විසින්) ධ්‍යාන කෙරේ ද, ඒ (විදර්‍ශනා මාර්‍ග - ඵල) රතියට වඩා පරමතර රතියක් නො ලබයි.
519. යම් කලෙකැ (නුවණැති මහණ) දුක් එළවන විසත්තිකා නම් වූ (රාගාදි) ප්‍රපඤ්ච හා (ප්‍රවෘත්ති දුඃඛ) ඝටනාව හා දුක් දනවන තෘෂ්ණාව ප්‍රහාණ කොට සිහි අති වැ ධ්‍යාන කෙරේ ද, (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
520. යම් කලෙකැ (නුවණැති මහණ) ක්‍ෂේම වූ මාර්‍ගයන් අතුරෙහි උත්තම වූ හැම කෙලෙස් සෝදාහරින ආර්‍ය්‍යඅෂ්ටාඞ්ග මාර්‍ගය නුවණින් දැක සිහි ඇති වැ මැ ධ්‍යාන කෙරේ ද (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
521. යම් කලෙකැ (නුවණැති මහණ) ශෝක රහිත වූ පහවූ (රාගාදි) රජස් ඇති (ප්‍රත්‍යයන් විසින් නො කරනලද හෙයින්) අසංස්කෘත වූ හැම කෙලෙස් සෝදාහරින කාරණ වූ සංයෝජන සඞ්ඛ්‍යාත බන්‍ධන සිඳුනා ශාන්ත වූ (නිර්‍වාණ) පදය වඩා ද, (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
522. යම් කලෙකැ අහස්හි දිවබෙර ගුගුරා ද (මේඝගර්‍ජනා කෙරේ ද) නුඹකුසැ හාත්පසින් වැසි දහර ගැවසුණේ ද මහණ තෙමේත් පබ්භාරගත වැ මැ ධ්‍යාන කෙරේ ද එකල්හි එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
523. යම් කලෙකැ (නුවැණැති මහණ) විසිතුරු වනකුසුම්කැන් ඇති ගිලිහුණු කුසුමින් ගැවැසිගත් නදීන්ගේ තීරයෙහි හුන්නේ (උතුරුමිනිස්දමින්) සුන්‍දරසිත් ඇතිවැ මැ ධ්‍යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විදි යි.
524. යම් කලෙකැ රැය ජනශූන්‍ය වනයෙහි වැසිදහර ගලනා කල්හි ව්‍යාලමෘගයෝ නද දෙත් ද මහණ තෙමේත් ගල්බෙයද වාසගත වැ මැ ධ්‍යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳියි.
525. යම් කලෙකැ තමාගේ (සන්තානයෙහි කාමාදි) විතර්‍කයන් වළකා පර්‍වත අතුරෙහි ගල්ගුහා ඇසුරු කෙළේ පහවූ (ක්ලේශ) දරථ ඇති වැ ප්‍රහීණ වූ චේතෝඛිල ඇති වැ ධ්‍යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳියි.
526. යම් කලෙකැ නුවණැති මහණ (ධ්‍යානසුඛයෙන්) සුඛිත වැ (රාගාදි) මල හා චේතෝඛිල හා ශෝක නසන (අවිද්‍යා සඞ්ඛ්‍යාත) අගුළු රහිත වැ තෘෂ්ණා රහිත වැ පහවූ (රාගාදි) හුල් ඇති වැ සියලු ආස්‍රවයන් විගතාන්ත කෙළේ මැ ධ්‍යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳී යයි.
මෙසෙයින් ආයුෂ්මත් භූත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
භූත ස්ථවිරගාථා යි.
උද්දානය:
නවක නිපාතයෙහි ඛග්ගවිෂාණවන් වූ සත්‍යය දක්නා භූත නම් වූ එක් තෙර කෙනෙකි, ගාථා ද මේ නවයයි.
නවක නිපාතය නිමි.
10. දසක නිපාතය
10. 1. 1.
527. වහන්ස, දැන් වෘක්‍ෂයෝ ගිලිහුණු පරණලා ඇත්තාහු ගිනිඅඟුරු වැනි මල්පලු ඇත්තාහු ඵලගැනීමට ළං වූවාහුය. ඒ වෘක්‍ෂයෝ පහන්සිළු මෙන් බබළති. මහාවීරයන් වහන්ස, ශාක්‍යයන්ට උපකාර පිණිස මේ කල් වෙයි.
528. සිත්කලු වූ වෘක්‍ෂයෝ පිපුණු මල් ඇත්තාහු හාත්පස සියලු දිශාවන්හි සුවඳ හමත්, පරණලා හැර ඵල ගැනීමට ළංවූවාහු ය, වීරයන් වහන්ස, මෙයින් නික්මැයෑමට කල් වෙයි.
529. වහන්ස, ඉතා සිහිලස නො මැ වෙයි. ඉතා උණුසුම ද නො වෙයි, අදන් මහට සුදුසු වූ ඍතුව සැප වෙයි. ශාක්‍යයෝ ද කෝලියයෝ ද පැසුළුදිගට මුහුණ ලා රෝහිණීනදිය තරණය කරන නුඹ වහන්සේ දකිත්වා.
530. (ගොවියා) ඵලාශාවෙන් කෙත සායි, ආශාවෙන් බිජුවට වපුර යි. ධනය සපයන වෙළෙන්දෝ ආශාවෙන් සයුරට වදිත්, මම් යම් ආශාවකින් සිටිම් නම් මා ගේ ඒ ආශාව සමෘද්ධ වේවා.
531. ගොවියෝ පුනපුනා බිජුවට වපුරති, පුනපුනා වැසි වසී, ගොවියෝ පුනපුනා කෙත සාති, රටට පුනපුනා ධාන්‍යය ලැබෙයි.
532. යදියෝ පුනපුනා කුලයන් කරා එළැඹෙති, දානපතීහු පුනපුනා දෙති, දානපතීහු පුනපුනා දන් දී පුනපුනා සුගතියට පැමිණෙත්.
533. යම් කුලයෙක්හි මහා ප්‍රඥා ඇති වීරයෙක් උපදනේ නම් හෙතෙම ඒකාන්තයෙන් සත්පරපුරක් පවිත්‍ර කෙරෙයි. දෙවියනට දෙවි වූ භාග්‍යවත් තෙම (ඉන් වැඩියක් පවිත්‍ර කරන්නට) හැකිවේ යයි මම් සිතමි, නුඹ වහන්සේ හේතු කොට ගෙන (ආර්‍ය්‍යජාතියෙහි උපන්) මුනි තෙම සත්‍ය වූ නම් ඇත්තේ විය.
534. මහර්ෂිහුගේ පිය තෙම සුද්ධෝදන නම් වෙයි. යළි යම් දේවි කෙනෙක් බෝසතුන් කුසින් උසුලා කාබුන් මරණින් මතු දෙව්ලොව සතුටු වෙත් ද, මායා නම් වූ ඕ තොමෝ බුදුන් ගේ මවු වෙ යි.
535. කලුරිය කළ ඒ ගෞතමී තොමෝ මෙයින් සැව දිව්‍යකාමයන්ගෙන් යුක්ත වූවා ය. ඕ තොමෝ ඒ දේවගණයා විසින් පිරිවරන ලද්දී පස් කම් ගුණයෙන් සතුටු වෙයි.
536. (ශුද්ධෝදන) ශාක්‍යය, මම් අසහ්‍යසාහී වූ අඞ්ගීරස වූ අප්‍රතිම වූ තාදී ගුණ ඇති බුදුන්ගේ පුත්‍ර වෙමි, තෙපි මාගේ පියාගේ පිය වූවහු ය. ගෞතමය, ස්වභාවධර්‍මයෙන් මාගේ මුත්තණු වූවහු ය.
මෙසෙයින් ආයුෂ්මත් කාළුදායී ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
කාළුදායී ස්ථවිරගාථා යි.
10. 1. 2.
537. ඉදින් ඉදිරියෙහි හෝ පිටුපස අනෙකක්හු නැත් නම්, එකල්හි එකලා ව වෙනෙහි වසන්නහුට ඉතා මැ පහසු වෙයි.
538. ඒකාන්තයෙන් එකලා වූයෙම් බුදුන් විසින් වනනලද වනසෙනසුනට යන්නෙමි, එකලා වැ හැසිරෙන නිවනට මෙහෙයූ සිත් ඇති මහණහට එය පහසුවෙකි.
539. යෝගීන්ට ප්‍රීතිකර වූ රම්‍ය වූ මතැතුන් විසින් සෙවුනාලද වනයට එකලා වූයෙම් ශ්‍රමණධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙහි වසඟයට ගියෙම් වහා පිවිසෙමි.
540. සුපිපි සිහිල් වෙනෙහි සිහිල් වූ ‘ගිරිකඳුරෙහි සිරුරු සෝදා එකලා වැ සක්මන් කරමි.
541. මම් එකලා වූයෙම් දෙවැන්නකු නැත්තෙම් කෘතකෘත්‍ය වූයෙම් ආශ්‍රව රහිත වූයෙම් සිත්කලු වූ මහවෙනෙහි කවර කලෙක වෙසෙම් ද?
542. මෙසේ කරනු කැමති වූ මාගේ අදහස සමෘඬ වේවා. මම මැ මහණදම් සිදු කරගන්නෙමි. අනෙකක්හට අන්‍ය වූ කාරකයෙක් නැත.
543. තෙල මම් වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සන්නාහය බඳිමි, වනයට පිවිසෙනෙමි, ආස්‍රවක්‍ෂයට නො පැමිණියෙම් එයින් නො නික්මෙමි.
544. සිහිල් වූ මිහිරි සුවඳ ඇති සිහිල් පවන් හමන කල්හි කඳුමුදුන්හි හුන්නෙම් අවිද්‍යාව පළමි.
545. මලින් ගැවසුණු එකැතින් සිහිල් වූ බෑවුම් ඇති කඳුවළලු ඇති වෙනෙහි විමුක්ති සුඛයෙන් සුඛිත වූයෙම් සිත් අලවා වෙසෙමි.
546. ඒ මම් පරිපූර්‍ණ වූ සංකල්ප ඇත්තෙම් පණුරැසි සඳු සෙයින් සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙම් වෙමි, දැන් පුනර්‍භවයෙක් නැත.
මෙසෙයින් ආයුෂ්මත් ඒකවිහාරිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
ඒකවිහාරිය ස්ථවිරගාථා යි.
547. යමෙක් නො ලත් හිතාර්‍ත්‍ථය හා අහිතාර්‍ත්‍ථය ද යන ඒ දෙක කැල මැ දක්නේ ද, ඔහුගේ මිතුරෝ හෝ සතුරෝ සොයන්නාහු නමුදු සිදුරු නො දකිත්.
548. යමකු විසින් බුදුන් විසින් දෙසූ පරිදි ආනාපානසතිය සම්පූර්‍ණ කොට වඩනාලද ද, පිළිවෙළින් පුරුදු කරනලද ද, හෙතෙම වලායෙන් මුත් සඳු මෙන් මෙලොව බබුළුවයි.
549. ඒකාන්තයෙන් මාගේ සිත විශුද්ධ විය. අප්‍රමාණ සඞ්ඛ්‍යාත නිවන මොනොවට ප්‍රත්‍යක්‍ෂ කරනලද්දේ ය. සිවුසස් පිළිවිදුනාලද, සියලු කෙලෙස් නිගන්නාලද, එහෙයින් සියලු පූර්‍වාන්තාදි දිසා බබළයි.
550. නුවණැත්තේ ධනක්‍ෂයට ගියේ නමුදු ජීවත්වන්නේ මැ වෙයි, තවද ධනවත් වූයේ නමුදු ප්‍රඥාව නැතියෙන් ජීවත් නො වේ.
551. ප්‍රඥා තොමෝ ශ්‍රැතය විනිශ්චය කරන්නීය. ප්‍රඥා තොමෝ කීර්ත්ති ප්‍රශංසා වඩන්නී ය. මෙලොවැ ප්‍රඥා සහිත වූ පුරුෂ තෙමේ දුක් ඇති කල්හි දු සුව විඳී.
552. මේ ස්වභාවධර්‍මය තෙමේ අද වූයෙක් නො වෙයි, ආශ්චර්‍ය්‍ය වූයේ නො වෙයි, අද්භූත වූයේ නො ද වෙයි, යම් තැනෙක උපදනේ නම්, මැරේ නම්, එහි කිනම් අද්භූතයෙක් ද-
553. උපන්නහු ගේ උපතට අනතුරු වැ මැ ජීවිතයට වඩා මරණය ඒකාන්ත වෙයි, මෙලොවැ උපනුපන්නාහු මැරෙති, සත්‍වයෝ මෙබඳු ස්වභාව ඇත්තාහු මැ යැ.
554. (මළහු ගේ) ජීවිතය සඳහා අන්‍ය පුරුෂයන්ගේ යම් හැඬීමෙක් වේ ද, එය මළහු ගේ ඒ ජීවිතය පිණිස නො වේ. මළහු නිමිති කොට හැඬීම යශස්එළවන්නේත් විශුද්ධිය එළවන්නේත් නො වෙයි, මහණ බමුණන් විසිනුදු නො පහස්නා ලදි.
555. හැඬීම ඇස ද සිරැර ද පෙළ යි. වර්‍ණය බලය නුවණ ද යන මේ පිරිහෙයි. ඔහුගේ සතුරෝ තුටු වෙති. ඔහුගේ හිතවත්හු සුඛිත නො වෙත්.
556. යම්හෙයකින් පිරුණු නදියක් නැවකින් මෙන් යම් කෙනකුන්ගේ ප්‍රඥාසම්පත්තියෙන් කටයුතු තරණය කෙරෙත් ද, එහෙයින් මැ කුලයෙහි වසනුයේ එබඳු නුවැණැතියන් ද බහුශ්‍රැතයන් ද කැමති වන්නේ ය යි.
මෙසෙයින් ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මහාකප්පින ස්ථවිරගාථා යි.
557. මා ගේ ඥානගතිය දන්‍ධ වූවා යැ, පෙර මම හෙළාදක්නාලදුයෙම් වීමි, සොහොයුරු ද “තෝ දැන් ගෙට යා”යි මා නෙරී යැ.
558. ඒ මම් සොහොවුරු විසින් නෙරනාලදුයෙම් ඒ සඟරමැ දොරකොටුව වෙත ශාසනයෙහි අපේක්‍ෂා ඇති වැ නො සතුටුසිත් ඇති වැ සිටියෙමි.
559. බුදුහු එහි වැඩියහ. මා හිස පිරිමැදි සේක. මා අත ගෙන සඟරමට ඇතුළු කළ සේක.
560. බුදුහු මට අනුකම්පායෙන් පාපිස්නකඩක් දුන්හ, එක් පසෙක සිට තෙල සුදු කඩ මොනවට අධිෂ්ඨාන කොට ඉටාගනුව’යි වදාළ සේක.
561. මම් ඒ බුදුන් ගේ බස් අසා සසුන්හි ඇලුණෙම් විසීමි උත්තමාර්‍ත්‍ථයට පැමිණීම සඳහා සමාධිය ඉපැදවීමි.
562. පෙරවිසූ කඳ පිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරනලද, ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන් ගේ අනුසසුත් කරනලද.
563. පන්‍ථක තෙම කල් දන්වනතුරු රම්‍ය වූ අඹ වෙනෙහි තමා දහස්වර අත්බැව් මවාගෙන හුන්නේ යැ.
564. ඉක්බිති බුදුහු කල්දන්වන දූතයකු මා වෙත එවූහ. කල් දැන්වූ කල්හි අහසින් එහි එළැඹියෙමි.
565. මම් බුදුන් පා වැඳ එකත්පසෙක හිනිමි. ඉක්බිති බුදුහු මා දැන (දැකිණිදිය) පිළිගත්හ.
566. සියලු ලෝකයා විසින් ඇරැපිදියයුතු වූ දක්‍ෂිණාවන් පිළිගන්නා වූ මිනිසුන්ට පින්කෙත් වූ බුදුහු දක්‍ෂිණාව පිළිගත් සේකැ යි.
මෙසෙයින් ආයුෂ්මත් චූළපන්‍ථක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
චූළපන්‍ථක ස්ථවිරගාථා යි.
10. 1. 5.
567. නන්වැදෑරුම් මලයෙන් පිරුණු වැසිකිළියක් සේ පිළිකුල් මවුකුසැ උපන් පැරණි ගවරවළක් බඳු වූ මහගඬක් මහාව්‍රණයක් බඳු වු -
568. ලේපූයාවෙන් පිරුණු වර්චසින් බර වූ වැගිරෙන අප්ධාතු ඇති මෙ කය හැමකල්හි කුණුව වැහෙයි.
569. සැටක් මහනහරින් බැඳුණු මාංසසඞ්ඛ්‍යාත ලේපයෙන් අනුලිප්ත වූ චර්‍මසඞ්ඛ්‍යාත කඤ්චුකයෙන් සන්නඬ වූ මේ කුණුකය නිෂ්ප්‍රයෝජන වේ.
570. ඇටසැකිල්ලෙන් ගටනලද නහර නමැති හූ බැඳුම් ඇති මෙ කය නො යෙක් චතුර්මහාභූතාදීන් ගේ සම්බන්‍ධයෙන් ඉරියවු පවත්වයි.
571. මරණය කරා නිරතුරු පැමිණෙන එයින් මැ මරහු ළඟ සිටි මෙ කය මෙහි මැ ලාපියා මිනිසා කැමති සේ යන්නේ යැ.
572. කය අවිද්‍යානීවරණයෙන් වැසිණ, සතර කායග්‍රන්‍ථයෙන් ගෙතිණ, මේ කය චතුරෝඝයෙහි ගැලෙන්නේ වෙයි, අනුසය නමැති දැලින් මඩනාලද.
573. පඤ්චනීවරණයෙන් යුක්ත වූ විතර්‍කයෙන් සමර්පිත වූ තෘෂ්ණාසඞ්ඛ්‍යාත භවමූලයෙන් අනුගත වූ මෝහසඞ්ඛ්‍යාත ඡදනයෙන් සොයන ලද-
574. මෙසේ මෙ කය පවත්නේ ය, කර්‍මසඞ්ඛ්‍යාත යන්ත්‍රයෙන් සංඝටිතය, සම්පත්තිය ද විපත්තිය කෙළවර කොට ඇත, විනාභාවය ද වෙනස් ලෙස පැමිණෙයි.
575. අන්‍ධබාල වූ යම් පෘථග්ජන කෙනෙක් මේ කය මමායනා කෙරෙත් ද ඔහු ඝෝර වූ සසර වඩති, පුනර්‍භවය පුනපුනා ගනිත්.
576. යම් (ශ්‍රැතවත්) කෙනෙක් අසුචි වැකුණු සර්‍පයකු සෙයින් මේ කය හැරපියත් ද, ඔහු භවමූල වූ තෘෂ්ණාව නඟාපියා ආස්‍රව නැත්තාහු පිරිනිවෙන්නාහ යි.
මෙසෙයින් ආයුෂ්මත් කප්ප ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
කප්ප ස්ථවිරගාථා යි.
10. 1. 6.
577. මහණ තෙම ජනශූන්‍ය වූ නිශ්ශබ්ද වූ චණ්ඩමෘගයන් විසින් සෙවුනාලද වනසෙනසුන පටිසල්ලාන හේතුයෙන් සෙවුනේ යැ.
578. කසළගොඩින් ද සොහොනින් ද වීථියෙන් ද අසුලා ගෙනවුත් ඒ කඩින් රළු වූ සඟළ සිවුරු කොටගෙන ධරන්නේ යැ.
579. ගෝපනය කළ (චක්‍ෂුරාදි) දොර ඇති (අත්කුකුස් ආදි නැතියෙන්) සුසංවෘත වූ එ මහණ මානය යට කොටගෙන පිඬු පිණිස කුලයෙන් කුලයට ගෙපිළිවෙළින් හැසිරෙන්නේ යැ.