Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 1201-1300 න් 2247

මෙසෙයින් ආයුෂ්මත් බ්‍රහ්මදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
බ්‍රහ්මදත්ත ස්ථවිරගාථා යි.
6. 1. 13.
447. (ආපත්ති අනාරොවන විසින්) ප්‍රතිච්ඡන්න වූයේ අතිශයින් (ආපත්ති - ක්ලේශ) වර්‍ෂා කෙරෙයි (තෙමාලයි). විවෘත වූයේ නො වසී. එහෙයින් ප්‍රතිච්ඡන්නය විවෘත කරන්නේ යැ. මෙසේ ඒ ප්‍රතිච්ඡන්නය (ඇවැත්වැසි - කෙලෙස්වැසි) නො වසී.
448. හැම කල්හි සත්ත්‍වලෝකය මරහු විසින් පහරනලද්දේ යැ. ජරාව විසින් පිරිවරනලද්දේ යැ. තෘෂ්ණාශල්‍ය විසින් බැසගන්නා ලද්දේ යැ. (අරමුණ පතන) ඊප්සාව විසින් තවනලද්දේ යි.
449. සත්ත්‍වලෝකය මරහු පහරනලද්දේ යැ. ජරාව විසින් පිරිකෙව් ද කරනලද්දේ යැ. පැමිණි දඬුවම් ඇති සොරකු සෙයින් අසරණ වැ නිරතුරු පෙළෙයි.
450. මරණ යැ ව්‍යාධි යැ ජරා යැ යන තිදෙනා ගිනිකඳු සෙයින් එති. ප්‍රතිමල්‍ය වැ පෙරට යන්නට බලයෙක් නැත. (පිටුපෑ) පලායන්නට ජවයෙක් නැති.
451. මඳින් හෝ බෙහෙවින් හෝ (කරනලද විදර්‍ශනා මනසිකාරයෙන්) දවස නො සිස් කරන්නේ යැ. යම් යම් රාත්‍රියක් ඉක්මවා ද එයින් ඔහුගේ ජීවිතය ඌන වෙයි.
452. යන්නාහට වේවයි සිටුනාහට වේවයි හිඳුනාහට වේවයි ශයනය කරන්නාහට වේවයි පශ්චිමරාත්‍රිය එළැඹෙයි. තොපට පමාවන්නට මේ කල් නො වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සිරිමන්‍ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සිරිමන්‍ද ස්ථවිරගාථා යි.
6. 1. 14.
453. දෙපා ඇති මේ කය නොයෙක් කුණපයෙන් පිරුණේ ඒ ඒ ද්වාරයෙන් අසුචි වැගිරෙනුයේ අශුද්ධ වූයේ දුගඳ වූයේ (මල්ගඳවිලෙවුන් ආදියෙන් සකසා) පරිහරණ කරනුලැබේ.
454. (දැල් මලපුඬු ආදි) කූටොපක්‍රමයෙන් සැඟවුණු මුවකු සෙයින් බිලියෙන් මසකු සෙයින් වඳුරුමලයෙන් වඳුරකු සෙයින් (පස්කම්හු) පෘථග්ජනයා පෙළති.
455. මනරම් රූප යැ ශබ්ද යැ රස යැ ගන්‍ධ යැ ස්ප්‍රෂ්ටව්‍ය යැ යන තෙල පස්කම්ගුණයෝ ස්ත්‍රීරූපයෙහි දක්නාලැබෙත්.
456. රාගයෙන් ඇලුණු සිත් ඇති යම් පෘථග්ජන කෙනෙක් තෙල ස්ත්‍රීන් සේවන කෙරෙත් ද, ඔහු ඝෝර වූ (සංසාර සඞ්ඛ්‍යාත) සුසානය වඩති. පුනර්‍භවය රැස් කෙරෙති.
457. යමෙක් තුලුන් (ස්ත්‍රීන්) පාදයෙන් සර්‍පශීර්‍ෂයක් මෙන් දුරු කෙරේ ද හෙතෙම ලොවැ මෙ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිහි ඇති වැ ඉක්මවයි.
458. කාමයෙහි ආදීනව දැකැ නෛෂ්ක්‍රම්‍යය නිර්‍භය වශයෙන් දැකැ සියලු (ත්‍රෛභූමක) කාමයෙන් නික්මගියෙමි. මා විසින් ආස්‍රවක්‍ෂය (නිර්‍වාණය) ලබනලද්දේ යි.
මෙසෙයින් ආයුෂ්මත් සබ්බකාමී ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සබ්බකාමී ස්ථවිරගාථා යි.
උද්දානය:
උරුවේලකාශ්‍යප ස්ථවිර යැ, තෙකිච්චකාරී ස්ථවිර යැ, මහානාග ස්ථවිර යැ, කුල්ල ස්ථවිර යැ, මාලුඞ්ක්‍ය ස්ථවිර යැ, සප්පදාසක ස්ථවිර යැ, කාතියාන ස්ථවිර යැ, මිගජාල ස්ථවිර යැ, ජෙන්ත ස්ථවිර යැ, සුමන ස්ථවිර යැ, නහාතමුනි ස්ථවිර යැ, බ්‍රහ්මදත්ත ස්ථවිර යැ, සිරිමන්‍ද ස්ථවිර යැ, සබ්බකාමී ස්ථවිර යැ යි මෙහි තෙරහු තුදුස් දෙනෙකි, ගාථා සුවාසුයෙකි.
ඡක්කනිපාතය නිමි.
7. සත්තක නිපාතය
459. (හස්තාභරණ පාදාභරණයෙන්) අලඞ්කෘත වූ (හඳනාලද) සුන්‍දර වස්ත්‍ර ඇති, (පැලැඳි) මල්දම් ඇති, (මල්ගඳවිලෙවුනින්) සැරැසුණු ලාරසින් රැඳු පායුවළ ඇති වෙසඟනක් රන්මිරිවැඩි පයලා සිටියා යැ.
460. ඕ තොමෝ වහන්සඟල මුදා ඉදිරියෙහි ඇඳිලි බැඳ සිටියා මුදු මොළොක් මිහිරි තෙපුල් පෙරටු කොට තෙල වදන් කීවා යැ:
461. “පැවිදි වූ තෙපි යෞවන වවු, මාගේ වචනයෙහි සිටුව, මිනිස්කම්සුව වළඳව, තොපට මම සම්පත් දෙමි.
462. තොපට සත්‍යය පිළින කෙරෙමි. (සපථ පිණිස) මම තොපට ගිනි හෝ ගෙනෙමි. යම් දවසෙකැ අපි දෙදෙන මහලු වැ දණ්ඩපරායන වමෝ ද, (එකල්හි) දෙදෙන මැ පැවිදි වම්හ. ඒ දෙලො වැ දිනීමෙක් වෙයි” කියා යි.
463. අලඞ්කෘත වූ හඳනාලද සුන්‍දරවස්ත්‍ර ඇති දමනලද මළපුඬුවක් වැනි වූ ඇඳිලි බැඳ අයදනා ඒ වෙසඟන දැකැ -
464. එහෙයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ විය. නිර්වේදඥානය (මාගේ හෘදයෙහි) පිහිටියේ යි.
465. ඉක්බිති මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) විමුක්ත විය. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව. (මා විසින්) ත්‍රිවිද්‍යා ලබනලද යැ. බුදුසසුන් කරනලදැ යි”.
මෙසේ ආයුෂ්මත් සුන්‍දරසමුද්ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සුන්‍දරසමුද්ද ස්ථවිරගාථා යි.
466. භද්දිය තෙම ශ්‍රේෂ්ඨ වූ අම්බාටක අරම්හි වනලැහැබෙහි අවිද්‍යාව සහිත තෘෂ්ණාව උපුරා සුන්‍දර වූයේ එහි ධ්‍යාන කෙරෙයි.
467. ඇතැම් කෙනෙක් මිහිඟුබෙරයෙන් වීණායෙන් පණාබෙරයෙන් රමණය කෙරෙති. මම වූකලි බුදුසසුන්හි ඇලුණෙම් රුක්මුල්හි සිත් අලවා වෙසෙමි.
468. ඉදින් බුදුරජාණන් වහන්සේ මට වරයක් දෙනසේක් නම් ඒ වරයත් (මනදොළ සෙයින්) මා විසින් ලබනලද්දේ වී නම් මම මුළුලොවට නිති කායගතාසති භාවනාව ගනිමි.
469. යම් කෙනෙක් (ලකුණ්ටක) රූප හේතුයෙන් මට අවමන් කළාහු ද යම් කෙනෙකුත් මධුරස්වර හේතුයෙන් අනුගත වූවාහු (බුහුමන් කළාහු) ද ඡන්‍දරාග වශයට පමණි ඒ (ද්විවිධ) ජනයෝ මා නො දනිති.
470. ඇතුළතත් නො දනියි, පිටතත් නො දකියි. බාල තෙම හාත්පසින් ආවරණ ඇතියේ යැ. හේ එකත්නෙන් ඝෝෂයෙන් අදනාලැබේ.
471. යමෙක් ඇතුළත නො දනී ද එතෙකුදුවත් පිටත (ශ්‍රැතියෙන් හෝ ආකල්ප සැලැකීමෙන්) දකී ද පිටත ඵල පමණක් දක්නා හෙ ද ඝෝෂයෙන් අදනාලැබේ.
472. යමෙක් ඇතුළතත් (අශෛක්‍ෂශීලාදිගුණ) දනී ද පිටතත් (ආකල්පසම්පත්තිආදිය) දකී ද ආවරණ රහිත වැ දක්නා ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම ඝෝෂයෙන් නො අදනාලැබේ යයි.
මෙසේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
ලකුණ්ටකභද්දිය ස්ථවිරගාථා යි.
473. මම බොහෝ ව්‍රතචර්‍ය්‍යාවන්ගෙන් ද ආයාචනාවන්ගෙන් ද ලබනලද මවුහට ප්‍රිය වූ පියාහට ප්‍රිය වූ එක් මැ පුත්‍රයා වීමි.
474. ඒ මවුත් පියාත් දෙදෙනා මට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු අනුකම්පා පිණිස මා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණවූහ.
475. “ස්වාමීනි, මේ පුත්‍ර තෙම දුකසේ ලබනලද්දේ යැ, සියුමැලි යැ, සුවසේ වඩනලද්දේ යැ, මොහු අතැවැසි කොට ජින වූ නුඹ වහන්සේට දෙම්හ”යි.
476. ශාස්තෲන් වහන්සේත් මා පිළිගෙන අනඳ තෙරණුවන්ට තෙල කරුණ වදාළහ: “මොහු වහා පැවිදි කරව, මෙ දරු ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වන්නේ යැ” යි.
477. ශාස්තෲන් වහන්සේ මා පැවිදි කරවා විහාරයට වැඩ වදාළහ. හිරු අස්තයට නො යන තෙක් මැ ඒ විදර්‍ශනාරම්භයෙන් නො බෝ වෙලායෙහි මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) විමුක්ත විය.
478. එක්බිති ශාස්තෲන් වහන්සේ සමවන් ඵලසමවත් හැරපියා පිළිසලනින් නැඟීසිටි සේක් ‘ඒව භද්‍රයෙනි’යි මට වදාළහ. ඒ මාගේ උපසම්පදා වී.
479. උපතින් සත්හැවිරිදි වූ මා විසින් උපසම්පත් ලබනලද යැ, ත්‍රිවිද්‍යා ලබනලද යැ. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය යැ” යි.
මෙසෙයින් ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
භද්‍ර ස්ථවිරගාථා යි.
480. ගන්‍ධකුටිච්ඡායායෙහි සක්මන් කරන පුරුෂෝත්තමයන් වහන්සේ දැකැ එහි උන් වහන්සේ කරා එළැඹැ පුරුෂෝත්තමයන් වහන්සේ වැන්දෙමි.
481. සිවුර එකස් කොට පෙරෙවැ දෙ අත් එක් කොට (ඇඳිලිබැඳගෙන) හැම සත්නට උතුම් වූ විගතරජස් ඇති භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කෙළෙමි.
482. ඉක්බිති ප්‍රශ්නයෙහි නිපුණ වූ සර්‍වඥයන් වහන්සේ මාගෙන් කුමාරක ප්‍රශ්නයන් විචාළසේක. මම නො තැතිගත්තෙම් ද නො බිය වූයෙම් ද ශාස්තෲන් වහන්සේට ප්‍රශ්නව්‍යාකරණ (විසඳුන්) කෙළෙමි.
483. පැන විසඳූ කල්හි තථාගතයන් වහන්සේ අනුමෝදන් වූහ. භික්‍ෂුසඞ්ඝයා බලා මෙ කරුණ වදාළහ:
484. “මේ සෝපාක යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා ගිලන්පස සෙනෙසුන් වළඳා නම් ඒ අඟුමගධ දනවු වැසියනට ලාභයෙකි. දැකැ හුනස්නෙන් නැඟීසිටිනු ද සාමීචිකර්‍ම ද ඔවුනට ලාභයෙකැ’යි වදාළහ.
485. සෝපාකයෙනි, අද පටන් දක්නා පිණිස මා කරා එළඹෙව. සෝපාකයෙනි, තෙල ප්‍රශ්නව්‍යාකරණ මැ තොපගේ උපසම්පදා වේවා”යි.
486. මම උපතින් සත්හැවිරිදි වූයෙම් උපසම්පත් ලැබැගෙන අන්තිම ශරීර ධරමි. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය නියා යැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් සෝපාක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සෝපාක ස්ථවිරගාථා යි.
487. (මම) හීතණ අතින් බිඳගෙන පන්සලක් කොටගෙන වාස කෙළෙමි. එයින් මට ‘සරභඞ්ග’ යයි නමෙක් සම්මුතියෙන් විය.
488. අද මට හීතණ අතින් බිඳිනට නො කැප වෙයි. යසස්වී වූ ගොයුම්ගොතුවන් විසින් අපට සිඛපද පනවනලදි.
489. සරභඞ්ග වූ මම (ශාස්තෲන් වහන්සේගේ අවවාදලාභයට) පෙර සියලු (උපාදානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) රෝගය නිරවශේෂ කොට නුදුටිමි. දේවාතිදේව බුදුන්ගේ වචනය කරන මා විසින් ඒ රෝගය දක්නාලද්දේ යැ.
490. යම් මැ මඟෙකින් විපස්සී බුදුහු වැඩිසේක් නම් යම් මැ මඟෙකින් සිඛී බුදුහු ද වෙස්සභූ බුදුහු ද කකුසඳ බුදුහු ද කෝණාගමන බුදුහු ද කාශ්‍යප බුදුහු ද වැඩි සේක් නම් එමඟින් ගෞතම බුදුහු වැඩිසේක.
491. දුරු කළ තෘෂ්ණා ඇති උපාදාන රහිත වූ නිවනෙහි පිහිටි (විපස්සී ආදී) සත් බුදු කෙනෙකි. (නවලොවුතුරු) දහමින් උපන් තාදීගුණ ඇති උන් වහන්සේ විසින් මෙ දහම දෙසනලදි:
492. (උපාදානස්කන්‍ධපඤ්චක සඞ්ඛ්‍යාත) දුඃඛ යැ (දුකට කරුණු වූ තෘෂ්ණා සඞ්ඛ්‍යාත) සමුදය යැ දුඃඛනිරෝධයට උපාය වූ ආර්‍ය්‍යමාර්‍ග යැ (අධිගත) යම් නිරොධයෙක්හි සසරැ අනන්ත වූ දුක නවතී ද ඒ දුඃඛක්‍ෂ ය වූ නිරෝධ යැ යන සතර ආර්‍ය්‍යසත්‍යයෝ සත්ත්‍වයනට අනුකම්පා පිණිස දෙසනලදහ.
493. මේ (පඤ්චස්කන්‍ධ) කායයාගේ භේදයෙනුදු ජීවිතේන්‍ද්‍රියයාගේ ක්‍ෂය වීමෙනුදු මතු අන්‍ය පුනර්‍භවයෙක් නැත. හැම තැන්හි (කෙලෙසුන්ගෙන් ද භවයෙන් ද, මොනොවට මිදුණෙමි’යි.
මෙසෙයින් ආයුෂ්මත් සරභඞ්ග ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සරභඞ්ග ස්ථවිරගාථා යි.
උද්දානය:
සුන්‍දරසමුද්ද ස්ථවිර යැ, ලකුණ්ටකභද්දිය ස්ථවිර යැ, භද්ද ස්ථවිර යැ , සෝපාක ස්ථවිර යැ , මහර්ෂි සරභඞ්ග ස්ථවිර යැ සත්තකනිපාතයෙහි තෙරහු පස් දෙනෙකි. ගාථා පන්තිසෙකි.
සත්තක නිපාතය නිමි.
8. අට්ඨක නිපාතය
494. බොහෝ වූ නවහම් නො කරන්නේ යැ. (ගණසඞ්ගණිකායේන් වෙන් වීම් විසින්) ජනයා හරනේ යැ. (සිවුපස පිණිස) උත්සාහ නො කරන්නේ යැ. ප්‍රත්‍යයෙහි උත්සුක වූ රසයෙහි ගිජු වූ ඒ මහණ සුව එළවන යම් අර්‍ත්‍ථයෙක් වේ නම් ඒ අර්‍ත්‍ථය හරනේ යැ.
495. කුලයෙහි යම් මේ වැඳුම් පිදුම් වේ ද එය පඞ්කයෙක් මැ යයි ද, උගුළුවාලිය නොහෙන සියුම් හුලෙකැයි ද, (ආර්‍ය්‍යයෝ) දත්හ. සත්කාර කාපුරුෂයා විසින් නො හළ හැක්ක.
496. මෙරමා ලවා පව්කම් නො කරවන්නේ යැ. තෙමේ ඒ පව්කම් නො සෙවුනේ යැ. යම් හෙයෙකින් සත්ත්‍වයෝ කර්‍මය බන්‍ධු කොට ඇත්තාහු ද එහෙයිනි.
497. මෙරමා බසින් සොරකම් නො වෙයි. මෙරමා බසින් මුනිවරයෙක් ද නො වෙයි. තෙමේ යම්සේ ඔහු දනී නම් දෙවියෝ ද එසේ දනිති.
498. බාල වූ අන්‍යයෝ ‘අපි මෙලොවැ මැරෙම්හ’යි නො දනිති. එහි ලා යම් පණ්ඩිත කෙනෙක් (‘අපි මැරෙම්හ’යි) දනිත් ද, ඒ හේතුයෙන් පරහිංසාවෝ සන්හිඳෙත්.
499. සප්‍රාඥ තෙම ධනයෙන් පිරිහුණේ නමුදු ජීවත් වේ මැ යි. එතෙකුදු වත් ප්‍රඥාව නො ලැබීමෙන් ධනය ඇත්තේ නමුදු ජීවත් නො වේ.
500. කනින් සියල්ල අසයි. ඇසින් සියල්ල දකියි. ප්‍රාඥ තෙම දුටු ඇසූ සියල්ල හරනට හෝ ගන්නට නිසි නො වෙයි.
501. ඇස් ඇත්තේ නමුදු (නො බැලියයුත්තෙහි) අන්‍ධයකු මෙන් වන්නේ යැ. කන් ඇත්තේ නමුදු (නො ඇසියැ යුත්තෙහි) බිහිරකු මෙන් වන්නේ යැ, නුවණැත්තේ නමුදු (නො දතයුත්තෙහි) මූඪයකු මෙන් වන්නේ යැ. බල ඇත්තේ නමුදු (නො කටයුත්තෙහි) දුබලයකු මෙන් වන්නේ යැ, යළි නො කටයුතු දැයක් එළඹසිටි කල්හි මරඇඳ හෝනකු සෙයින් හෝනේ යැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මහාකච්චායන ස්ථවිරගාථා යි.
502. නො කිපෙන සුලු වූ වෙර නො බඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නැති එබඳු වූ යම් මහණෙක් ඇද්ද, හේ යථෝක්ත ප්‍රතිපත්තියෙන් ඒකාන්තයෙන් පරලොවැ ශෝක නො කරයි.
503. නො කිපෙනසුලු වූ වෙර නො බඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නැති පියූ (කායාදි) දොර ඇති මහණ මෙසේ හැම කල්හි පරලොවැ නො සොස්නේ යැ ...
504. නො කිපෙනසුලු වූ වෙර නො බඳනාසුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණසිල් ඇති ඒ මහණ මෙසේ පරලොවැ නො සොස්නේ යැ.
505. නො කිපෙනසුලු වූ වෙර නො බඳනාසුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණමිතුරන් ඇති ඒ මහණ මෙසේ පරලොවැ නො සොස්නේ යැ.
506. නො කිපෙනසුලු වූ වෙර නොබඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණපැන ඇති ඒ මහණ මෙසේ පරලොව නො සොස්නේ යැ.
507. යමක්හුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි අචල වැ මොනොවට පිහිටියා ද යමක්හුගේ ශීලය ද කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට ප්‍රිය වූයේ පසස්නා ලද්දේ වේ ද-
508. සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදයට යමක්හට ඇද්ද, (අචල වැ පිහිටියේ වේ ද) ඍජු වූ දර්‍ශනයත් යමක්හට ඇද්ද, (අචල වැ පිහිටියේවේ ද) ඒ පුද්ගලයා ‘නොදිළිඳු යැ’යි කීහු. ඔහුගේ ජීවිතය නො සිස් වෙයි.
509. එහෙයින් නුවණැත්තේ බුදුන්ගේ අනුසසුන් සිහි කෙරෙමින් ශ්‍රද්ධායෙහි ද ශීලයෙහි ද ප්‍රසාදයෙහි ද ධර්‍මදර්‍ශනයෙහි ද යෙදෙන්නේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සිරිමීත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සිරිමිත්ත ස්ථවිරගාථා යි.