Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 1101-1200 න් 2247

380. මම යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීම් ද සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලදැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් උරුවේලකස්සප ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
උරුවේලකස්සප ස්ථවිරගාථා යි.
381. වී කොටුගුළෙහි තබනලද, හැල් කලවිටෙහි රැස් කොට තබන ලද, පිඬු නො ලබමි. මම කෙසේ සානෙම් ද? (දිවි රක්නෙම් දැ?යි පාපී මාර කියයි.)
382. පහන්සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ බුදුන් සිහි කරව, (ඵරැණලක්‍ෂණ) ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල්හි නැගීසිටි සිත් ඇති වව.
383. පහන් සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ දහම් සිහි කරව, ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල් නිරතුරු නැගිසිටි සිත් ඇති වව.
384. පහන්සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ සඟුන් සිහි කරව. ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල්හි නැඟීසිටි සිත් ඇති වව. (තෙරණුවෝ තමනට ඕවා දෙති.)
385. (තෙපි) අබවස්හි වාස කරන්නවු යැ. මේ හේමන්තික රාත්‍රීහු සීතයහ සීතයෙන් මඬනාලදු වැ නහමක් නැසෙව. තෙපි වසනලද කවුළු ඇති වෙහෙරට පිවිසෙව. (පාපීමාර කියයි.)
386. සතර අප්‍රාමාණ්‍යයන් (බ්‍රහ්මවිහාරයන්) පහස්නෙමි. (කලින් කල සමවදනෙමි.) එයින් (උපන්) සුව ඇති වැ වාස කරන්නෙමි. මම ආනෙඤ්ඡ සමාපත්ති ඇති වැ වාස කරන්නෙම් සීතයෙන් නො නස්නෙමි’යි.
මෙසෙයින් ආයුෂ්මත් තෙකිච්ඡකානි ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
තෙකිච්ඡකානි ස්ථවිරගාථා යි.
387. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් විද්‍යාමාන නො වේ ද, (හෙතෙම) දියත්තෙකැ මසකු සෙයින් සදහමින් පිරිහෙයි.
388. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද, හේ කෙතෙහි කුණුවූ බිජුවට සෙයින් සදහම්හි නො වැඩේ.
389. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද, හේ ධර්‍මරාජයන් ගේ සස්නෙහි නිවනින් දුරු වෙයි.
390. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් විද්‍යාමාන වේ ද, හේ දියඹෙහි මසකු සෙයින් සදහමින් නො පිරිහෙයි.
391. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් ඇද්ද, හේ කෙත්හි සොඳුරු බිජුවට සෙයින් සදහම්හි වැඩෙයි.
392. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් ඇද්ද, හේ ධර්‍මරාජයන්ගේ සස්නෙහි නිවන් ළඟ මැ වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් මහානාග ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
මහානාග ස්ථවිරගාථා යි.
393. කුල්ල තෙරණු වූ මම අමුසොහොනට ගොස් සොහොන්හි හැරපියනලද කෘමීන් විසින් පැතිරගෙන කනුලබන ස්ත්‍රියක දිටිමි.
394. කුල්ල තෙරණුවනි, දුකින් පෙළනලද අපවිත්‍ර වූ කුණු වූ (උඩු වණමුවින් අසුචි) ඉතිරෙන (යටි වණමුවින් අසුචි) වැගිරෙන (අඳපුහුදුන්) බාලයන් විසින් (තෘෂ්ණාමානදෘෂ්ටින්) අභිනිවේශ කොට සතුටු වනලද සිරුර බලව.
395. විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත ධර්‍මාදර්‍ශය ගෙන මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයාගේ අධිගමය පිණිස සිස්වූ ඇතුළු බැහැරි සහිත මෙකය ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි.
396. මේ කය යම්සේ ද තෙල කය එසේ යැ, තෙල කය යම්සේ ද මේ කය එසේ යැ, (නාභියෙන් යට) අධඃකාය යම්සේ ද (නාභියෙන් මතු) ඌර්ධ්වකාය එසේ යැ උඩුකය යම්සේ ද යටිකය එසේ යි.
397. මේ කය දවහල්හි (අසුචි වගුරනුයේ) යම්සේ ද රාත්‍රියෙහි එසේ යැ, රාත්‍රියෙහි යම්සේ ද දහවල්හි එසේ යැ පෙර (තරුණකාලයෙහි අසුචි වගුරනුයේ) යම්සේ ද පසු (මහලු කල්හි) එසේ යැ. පසුකල්හි යම්සේ ද පෙරකල්හි එසේ යි.
398. යම්සේ එකඟසිත් ඇති මැනැවින් ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දක්නාහට යම් බඳු ධර්‍මරතියක් වේ ද එවන් රතියක් පසඟතුරුගෝසිනුදු නො වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් කුල්ල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
කුල්ල ස්ථවිරගාථා යි.
399. ප්‍රමාදචර්‍ය්‍යා ඇති සත්ත්‍වයාගේ තෘෂ්ණාව මාලුවාලතාවක් සෙයින් වැඩෙයි. හෙතෙම වනයෙහි ඵල කැමැති වඳුරකු මෙන් භවයෙන් භවයට දිව යෙයි.
400. ලෝකයෙහි විසත්තිකා යයි කියනලද තෙල ලාමක වූ (ෂඩ්ද්වාරික) තෘෂ්ණා තොමෝ යම් පුද්ගලයකු මැඩලා ද ඔහට ශෝකයෝ වැසි වට බෙරු තණ (සැවැන්න) සෙයින් වැඩෙති.
401. ලොවැ යමෙක් ඒකාන්තයෙන් ඉක්මවාලිය නොහැකි තෙල ලාමක තෘෂ්ණාව මැඩලා ද, ඔහු කෙරෙන් ශෝකයෝ පොකුරුපතින් දියබිඳු සෙයින් ගිලිහෙති.
402. මෙහි යම් පමණ රැස්වූහු ද ඒ තොපට කියමි. තොපට යහපතෙක් මැ වේවා. (තෙපි) සුවඳහොට කැමැතියකු බෙරුතණ සෙයින් තෘෂ්ණාවගේ මුල් සිඳිවු.
403. මාර තෙම තොප නදීශ්‍රෝතස (ගංඉවුරෙහි නැඟි) හුණපඳුරක් සෙයින් පුනපුනා නහමක් නසාවා. බුද්ධවචනය කරවු. (බුද්ධෝත්පාදක්‍ෂණාදි) ක්‍ෂණය තොප නහමක් ඉක්මයා. යම් හෙයකින් ක්‍ෂණය ඉක්මවූවාහු නිරෑහි උපන්නාහු සොවිත්ද එහෙයිනි.
404. (රූපාදි අරමුණෙහි සිහිමුළාව යයි කියනලද) ප්‍රමාදය රජසෙකි. (රාගාදි) රජස් ප්‍රමාද විසින් වැටුණේ වෙයි. අප්‍රමාදයෙන් (සම්‍යක්ස්මෘතියෙන්) අර්‍හන්මාර්‍ගවිද්‍යායෙන් තමාගේ (හෘදයනිඃශ්‍රිත රාගාදි) ශල්‍යය උදුරන්නේ යි.
මෙසෙයින් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
මාලුඞ්ක්‍යපුත්‍ර ස්ථවිරගාථා යි.
405. මම යම් දවසෙක පටන් පැවිදි වීම් ද (ඒ මේ) පස්විසි වස මුළුල්ලෙහි අසුරුසනක් පමණ කාලයකුදු චිත්තසමාධානයක් නො ලත්මි.
406. කාමරාගයෙන් මඩනාලද්දෙම් සිත්හි එකඟබවක් නො ලැබ දෙඅත් (මුදුනෙහි) බැඳගෙන හඬමින් (නිවස්නා) වෙහෙරින් බැහැර නික්මියෙමි.
407. (දිවි හරනට) ශාස්ත්‍රයක් හෝ ගන්නෙමි (සැතින් පැහැරපියමි.) මාගේ ජීවිතයෙන් කවර අර්‍ත්‍ථයෙක් ද, මා වැන්නෙක් කෙසේ නම් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමින් (ගිහි වැ) කලුරිය කරන්නේ ද?
408. එදවසැ (ජීවිතයෙහි කලකිරුණු) මම් කරය ගෙන යහනෙහි හිඳගතිමි. (මා විසින්) තමාගේ ගලනහර සිඳින්නට කරය ගලයෙහි එළවාතබනලද්දේ විය.
409. ඉක්බිති මට යෝනිසෝ මනසිකාරය උපන, ආදීනව පහළ වී, නිර්වේදඥානය (සිත්හි) පිහිටියේ යැ.
410. ඉක්බිති (විදර්‍ශනාඥානයට අනතුරු වැ) මාගේ සිත් කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව (මා විසින්) ත්‍රිවිද්‍යා ලබනලද යැ. බුදුන්ගේ අනුශාසනා කරනලදැ යි.
මෙසෙයින් ආයුෂ්මත් සප්පදාස ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සප්පදාස ස්ථවිරගාථා යි.
411. කාතියානයෙහි, (සයනයෙන්) නැඟී සිටුව, (පලක් බැඳ) හිඳුව, නිද්‍රා බහුල නොවව, ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදෙව, මුළාසී ඇතියනට නෑ වූ මාර තෙම අලස වූ තොප වඤ්චනායෙන් මෙන් නො දිනාවා.
412. මහාසමුද්‍රයාගේ තරඞ්ගවේගය යම්සේ ද එසෙයින් මැ ජාතියත් ජරාවත් (කුසීදභාවයෙන් මඩනාලද) තොප මැඩගෙන යයි. ඒ තෙපි තමනට (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) මනා ප්‍රතිෂ්ඨාව කරව. යම් හෙයකින් අනෙක් පිහිටෙක් තොපට නැත්තේ මැ වේ ද එහෙයිනි.
413. යම් හෙයෙකින් ශාස්තෲන් වහන්සේ (රාගාදි) සඞ්ගයෙන් ද ජාතිජරාභයින් ද ඉක්මගිය තෙල ආර්‍ය්‍යමාර්‍ගය දිනූ සේක් ද එහෙයින් (මාර්‍ගාධිගමය පිණිස) පූර්‍වපශ්චිම යාමයෙහි අප්‍රමාද වැ අනුයෝග කරව. දැඩි වැ යෝගභාවනා කරව.
414. කාතියානයෙනි, පළමු (කාමගුණ) බන්‍ධනයන් මුදව, සඟළ සිවුරු දරනුයේ කරයෙන් මුඩු කළ හිස් ඇති වැ භික්‍ෂාහාර වළඳනුයේ ක්‍රීඩාරතියෙහිත් නිද්‍රායෙහිත් නො යෙදෙව, ධ්‍යාන කරව.
415. කාතියානයෙනි, ධ්‍යාන කරව, (කෙලෙසුන්) දිනව, නිවන්මඟෙහි (බෝධිපාක්‍ෂිකධර්‍මයෙහි) නිපුණ වව, අනුත්තර විශුද්ධියට (අර්‍හත්ත්‍වයට) පැමිණ ජලයෙන් ගිනි සෙයින් පිරිනිවෙව.
416. මඳ වූ ගිනිසිළු ඇති පහන ලතාවක් මෙන් වායුව විසින් විධ්වංසන කරනුලැබෙයි. එසෙයින් මැ තෙපි උපාදාන නො කරනුයේ ඉන්‍ද්‍රයාට බඳු ගෝත්‍ර ඇති මරහු විධ්වංසන කරව. ඒ තෙපි වේදනායෙහි පහ වූ ඡන්‍දරාග ඇති වැ මෙ අත්බැව්හි මැ නිවියේ පරිනිර්‍වාණකාලය බලව යි.
මෙසෙයින් ආයුෂ්මත් කාතියාන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
කාතියාන ස්ථවිරගාථා යි.
417. පසැස් ඇති සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් විසින් හැම සංයෝජනයන් ඉක්මගිය හැම (කර්‍ම, ක්ලේශ, විපාක) වර්‍තය නසනසුලු (ආර්‍ය්‍යමාර්‍ගය) මොනොවට දෙසනලදි.
418. නෛර්‍ය්‍යාණික වූ, (සංසාරමහොඝයෙන්) තරවන, තෘෂ්ණාවගේ මුල් වියළවන ආර්‍ය්‍යමාර්‍ගය දුකට මුල් වූ අඝාතත සඞ්ඛ්‍යාත කර්‍මක්ලේශය සිඳ නිවණට පමුණුවයි.
419. අඥානයාගේ මුල් සිඳුනා පිණිස (දෙසනලද) කර්‍ම (ආත්මභාව) යන්ත්‍රය නසාලන, (කාමභවාදියෙහි) විඥානයන්ගේ ග්‍රහණය එළඹසිටි කල්හි මාර්‍ගඥාන නමැති වජ්‍රය හෙලන-
420. වේදනාවන් (දුඃඛාදිවශයෙන් ඇති සැටි) හඟවන,(කාමාදි) උපාදානයන්ගෙන් (චිත්තසන්තානය) මුදාලන, භවය අඞ්ගාරකර්ෂුවක් (අඟුරුවළක්) සෙයින් මාර්‍ගඥානයෙන් දක්වන -
421. (ශාන්තප්‍රණීත බැවින් හෝ පරිඥාදි කෘත්‍යභාවයෙන් සාමඤ්ඤඵල සම්පත්තීන් හෝ) මහාරස ඇති ඉතා ගැඹුරු වූ, ජරාමරණ වළහන (සසර) දුක් සන්හිඳුවන ක්‍ෂේම වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගමාර්‍ග (දෙසනලදි.)
422. ප්‍රතිත්‍යසමුත්පන්නධර්‍මයන් කෙරෙහි කර්‍මය ‘කර්‍ම යැ’ යි දැනැ විපාක ද විපාක විසින් දැනැ ඇති සැටියෙන් ඥානාලෝකය දක්වන, (සත්ත්‍වයන්) මහත් වූ (නිර්‍වාණ) ක්‍ෂේමයට පමුණුවන (ක්ලේශ දරථ සන්හිඳුවන හෙයින්) ශාන්ත වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ (ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගමාර්‍ගය දෙසනලදි.)
මෙසෙයින් ආයුෂ්මත් මිගජාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මිගජාල ස්ථවිරගාථා යි.
423. මම ජාතිමදයෙනුදු භෝගසම්පත්තියෙනුදු ඓශ්චර්‍ය්‍යසම්පත්තියෙනුදු මත් වූයෙම් පැහැසටහන් රුවිනුදු තදන්‍ය මදයෙනුදු මත් වැ හැසුරුණෙමි.
424. තමා හා සම වූ හෝ වැඩිසිටි හෝ කිසිවකු නො සිතීමි. බාල වූයෙම් අතිමානයෙන් නටුයෙම් ඉතා තදමන් ඇතියෙම් නඟනලද මානධ්වජ ඇතියෙම්-
425. මව හෝ පියා හෝ ‘ගරු කටයුතු යැ’යි සම්මත වූ අන්‍ය වූ හෝ කිසිවකු තදමන් ඇතියෙම් ආදර රහිත වූයෙම් අභිවාදන නො කෙළෙමි.
426. (වෛනෙය ජනයන්) විනයන කරන අග්‍ර වූ පුරුෂදම්‍යසාරථීන් අතුරෙහි ඉතා උතුම් වූ දිලියෙන හිරු බඳු, මහණගණා විසින් පෙරටු කරනලද ශාස්තෲන් වහන්සේ දැක-
427. මානයත් මදයත් හැරපියා පහන්සිතින් යුතු වැ හැම සත්නට උතුම් වූ ශාස්තෲන් වහන්සේ සිරසින් අභිවාදන කෙළෙමි.
428. (මාගේ) සෙය්‍යමානය ද හීනමානය ද ප්‍රහීණ වූහ. මොනොවට උපුරාපියනලදහ. අස්මිමානය මොනොවට සිඳුනාලද යැ. සියලු මානකොට්ඨාසයෝ නසනලදහ’යි.
මෙසේ පුරෝහිතපුත්‍ර ආයුෂ්මත් ජෙන්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
ජෙන්ත ස්ථවිරගාථා යි.
429. යම් දවසෙකැ අලුතැ පැවිදි වූයෙම් උපතින් සත්හැවිරිදි වූයෙම් මහත් ඍද්ධි ඇති නාරජහු ඉදුහයෙන් අභිභවන කොට (මැඬලා) -
430. නුතන් දහතළායෙන් උපාධ්‍යායන් වහන්සේට දිය ගෙන එම් ද එසඳ භාග්‍යවතුන් වහන්සේ මා දැකැ තෙල කරුණ වදාළහ:
431. ශාරීපුත්‍රයෙනි, මෙ කුමරහු දියකළය ගෙන සන්හුන් සිතැති වැ එන්නා බලව.
432. ප්‍රසාද එළවන ආචාර වතින් සපන් ඉරියව් ඇති, අනුරුද්ධයන්ගේ හෙරණ තෙම ඍද්ධියෙහි ද විශාරද වෙයි.
433. පුරුෂශ්‍රේෂ්ඨ වූ (ආත්මහිත පරහිත සාධනයෙන්) සාධු වූ, කළ (සියුමඟ) කිස ඇති අනුරුද්ධයන් විසින් විනයන කරනලද හික්මවනලද (එහෙයින් මැ) පුරුෂශ්‍රේෂ්ඨ වූ යහපත් කරවනලද-
434. ඒ සුමන සාමණේර පරම ශාන්තියට පැමිණ අර්‍හත්ඵලය සාක්‍ෂාත් කොට ‘මා (ක්‍ෂීණාස්‍රව යැ’යි අනෙකෙක්) නො දනීව’යි කැමති වේ යයි (බුදුහු වදාළහ’යි.)
මෙසෙයින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
සුමන ස්ථවිරගාථා යි.
6. 1. 11.
435. මහණ, දුර්‍ලභප්‍රත්‍යය ඇති රූක්‍ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරෝගයෙන් අවසභාවයට පමුණුවනලද්දෙහි කෙසේ වාස කරන්නෙහි ද?
436. මහත් වූ ප්‍රීතිසුඛයෙන් ශරීරය පතුරුවාගෙන ප්‍රත්‍යය රූක්‍ෂය පවා මැඩලමින් වනයෙහි වාස කරන්නෙමි.
437. සප්තබෝධ්‍යඞ්ගයන් ද (ශ්‍රද්ධාදි) පඤ්චේන්‍ද්‍රියයන් ද (ශ්‍රද්ධාදි) පඤ්චබලධර්‍මයන් ද වඩමින් ධ්‍යානසූක්‍ෂමභාව සඞ්ඛ්‍යාත අරූපධ්‍යාන සම්පන්න වූයෙම් ආස්‍රව රහිත වැ වාස කරන්නෙමි.
438. කෙලෙසුන් කෙරෙන් මිදුණු නො කැලඹුණු ශුද්ධචිත්තය එක්වන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ආස්‍රව රහිත වැ වාස කරන්නෙමි.
439. මාගේ ආධ්‍යාත්ම වූත් බාහ්‍ය වූත් යම් ආස්‍රව කෙනෙක් විද්‍යාමාන වූහු ද එ හැම ශේෂ රහිත වැ සිඳුනාලද්දාහු යළි නූපදනාහ.
440. පඤ්චස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු සිඳුනාලද මුල් ඇති වැ සිටිති. දුඃඛක්‍ෂයට පැමිණියෙමි. මින් මතු පුනර්‍භවයෙක් නැතැ යි.
මෙසේ ආයුෂ්මත් නහාතකමුනි ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
නහාතකමුනි ස්ථවිරගාථා යි.
441. ක්‍රෝධ රහිත වූ (රහත් මගින් ඉඳුරන් දමනය කිරීමෙන්) දාන්ත වූ සම වූ දිවිපැවැතුම් ඇති මැනැවින් දතයුතු දහම් දැනැ (ආස්‍රවයෙන්) විමුක්ත වූ උපශාන්ත වූ (ඉටු අනිටු අරමුණෙහි නො සැලෙන) තාදී ගුණ ඇතියාහට ක්‍රෝධයෙක් කොයින් ද?
442. යමෙක් තමා කෙරෙහි කිපියහුට පෙරළා කිපේ ද එයින් ඔහට මැ ඉතා අයහපතෙක් වෙයි. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුර්‍ජය (ක්ලේශ) සඞ්ග්‍රාම දිනයි.
443. යමෙක් මෙරමා කිපියා දැනැ සිහි ඇති වැ (උපේක්‍ෂායෙන්) ඉවසා ද හෙතෙම තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට හිතයක් කරයි.
444. යම් කෙනෙක් (ආර්‍ය්‍ය ආචාර) ධර්‍මයෙහි නො නිපුණ වෙත් ද ඒ බාලජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට (ක්‍රෝධව්‍යාධි හරනට) පිළියම් කරන ඒ පුද්ගල ‘බාලයෙකැ’යි හඟිති.
445. ඉදින් (කමටහන්හි යෙදෙන තොපට) ක්‍රෝධය උපදී නම් (බුදුන් වදාළ) කකචූපම අවවාද මෙනෙහි කරව. ඉදින් රසයෙහි තෘෂ්ණා උපදී නම් පුත්‍රමාංශොපමාව සිහි කරව.
446. ඉදින් තොපගේ සිත පස්කම් ගුණයෙහි ද (කාමාදි) භවයෙහි ද දිවේ නම් (එසඳ) වහා සිහියෙන් ගොයම් කන නපුරු ගොනකු සෙයින් නිගනුව’යි.