Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 1001-1100 න් 2247

මෙසෙයින් ආයුෂ්මත් රාජදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
රාජදත්ත ස්ථවිරගාථා යි.
320. කටයුතු කැමැති වන පුරුෂ තෙම නො යෙදියයුතු අත්තකිලමථානුයෝගයෙහි තමා යොදන්නේ වේ ද, ඉදින් එහි හැසිරෙනුයේ අභිමතාර්‍ත්‍ථය නොලබන්නේ වේ ද, එය මාගේ දුර්‍භග ලක්‍ෂණය යි.
321. ඉදින් ක්ලේශවිජය නො කොට එක මැ අප්‍රමාදය හරනේ නම් දුර්‍භගයෙක් මැ වන්නේ යැ, ඉදින් සියලු වීර්‍ය්‍යාදී ධර්‍මය හරනේ නම් සමවිෂම නො දක්නා හෙයින් අන්‍ධයෙක් මැ වෙයි.
322. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. නො කරන දැය කියනුවන්ට පඬිවරු පරිභව කෙරෙති.
323. යම්සේ සිත්කලු වූ වර්‍ණවත් වූ සුවඳ නැති මලෙක් වේ ද, එපරිද්දෙන් සුභාෂිත වචනය ද නො කරනුවහුට නිෂ්ඵල වෙයි.
324. යම්සේ සිත්කලු වූ වර්‍ණවත් වූ සුවඳ සහිත මලෙක් වේ ද, එපරිද්දෙන් සුභාෂිත වචනය කරනුවහුට සඵල වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සුභූත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සුභූත ස්ථවිරගාථා යි.
325. මනා ගැයුමක් මෙන් වැසි වසී. මාගේ කිළිය සොයනලද, සුව එළවන්නී යැ, (පියූ දොරකවුළු ඇති බැවින්) වාතපීඩා රහිත යැ, එහි සන්හිඳුනෙම් වාස කෙරෙමි. මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
326. මනා ගැයුමක් මෙන් වැසි වසී. මාගේ කිළිය සොයනලද, සුව එළවන්නී යැ, වාතපීඩා රහිත යැ, එහි සන්හුන් සිත් ඇත්තෙම් වාස කෙරෙමි. මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
327. වැසි වසී ... පහවැගිය රාග ඇත්තෙම් එහි වෙසෙමි. ... මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
328. වැසි වසී ... පහවැගිය ද්වේෂ ඇත්තෙම් එහි වෙසෙමි. … මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
329. වැසි වසී ... පහවැගිය මෝහ ඇත්තෙම් එහි වෙසෙමි. ... මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
මෙසෙයින් ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
ගිරිමානන්‍ද ස්ථවිරගාථා යි.
330. උපාධ්‍යායන් වහන්සේ (ශමථවිදර්‍ශනාදි) ධර්‍මයන් කෙරෙහි යම් දහමක් පතන්නාහු අමා කැමැති මට (ඔවා දීමෙන්) අනුග්‍රහ කළ සේක් ද(එය ලබනුවට) මා විසින් කරණී කරනලද.
331. තමා විසින් (නවලොවුතුරු) දහම ලබන ලද, පසක් කරනලද, නිසැක (ඉතිකිරා රහිත) කරනලද. (මම) විශුද්ධඥාන ඇතියෙම් නිසැක වැ තොප වෙත ප්‍රකාශ කෙරෙමි.
332. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසුදු කරනලද, මා විසින් ස්වාර්‍ත්‍ථය (රහත්බව) ලබනලද, බුදුන්ගේ අනුසසුන් කරනලද.
333. අප්‍රදමාද වූ මා විසින් තොපගේ ශාසනයෙහි ශික්‍ෂාවෝ මොනොවට හික්මෙනලද. මාගේ සියලු ආශ්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.
334. ආර්‍ය්‍යව්‍රතයෙන් මට අනුශාසනා කළහ, අනුකම්පා කළහ, අනුග්‍රහ කළහ. තොපගේ අවවාදය නො සිස් විය. හික්මුණු අතැවැසියෙක් වීමි.
මෙසෙයින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සුමන ස්ථවිරගාථා යි.
335. මනා මැ යැ, මාගේ මවු තොමෝ අවවාද නැමැති කෙවිට මට දැක් වූ, යම් මවක විසින් අනුශාසිත වූයෙම් ඇයගේ බස් අසා රුකුළු වැර ඇත්තෙම්-නිවනට මෙහෙයූ සිත් ඇත්තෙම් උතුම් වු අර්‍හත්ත්‍වයට පැමිණියෙමි.
336. රහත් වූයෙම් දක්‍ෂිණාවට නිසිවීමි. ත්‍රිවිද්‍යා ඇත්තෙම් දුටු නිවන් ඇත්තෙමි. මරහුගේ (කෙලෙස්) සෙන් දිනා ආස්‍රව රහිත වැ වෙසෙමි.
337. ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද මාගේ යම් ආස්‍රව කෙනෙක් විද්‍යමාන වූහු ද, නිරවශේෂ වූ සියලු ආස්‍රවයෝ සිඳින ලද්දාහු යැ, ඔහු යලි නො ද උපදිත්.
338. විශාරද වූ බුහුනැණි මෙකරුණ කිවු (මවත් තමාත් රහත් බැවින් බුදුන් උදාරපුත් බව ගෙන කියයි.) ඒකාන්තයෙන් මා කෙරෙහි දු අභිලාශා නැත. තොපට තෘෂ්ණාවක් නැතැ.
339. දුක් කෙළවර කරනලද. මේ අන්තිමශරීරය යි. ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවයෙක් දැන් නැතැ යි.
මෙසෙයින් ආයුෂ්මත් වඩ්ඪ ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
වඩ්ඪ ස්ථවිරගාථා යි.
340. මම යම් බුදු කෙනකුන්ගේ දහම් අසා මිසදිටු හළෙම් ද, ඒකාන්තයෙන් මට වැඩ සඳහා ඒ බුදුහු නේරඤ්ජරානදිය වෙත වැඩියහ.
341. නුවණැසින් අන්‍ධ වූ පුහුදුන් වූ මම ශුද්ධි නම් මේ යයි හඟිමින් කුදුමහත් යාගයන් කෙළෙමි. අග්නිහෝම කෙළෙමි.
342. නුවණැස් නැති අපණ්ඩිත වූ දෘෂ්ටිගහනයට වැදුණු දෘෂ්ටිපරාමර්‍ශයෙන් මුළා වූ මම අශුද්ධිය ශුද්ධි යයි සැලැකීමි.
343. මාගේ මිසදිටු ප්‍රහීණ යැ. හැම භවයෝ නසනලදහ. දක්‍ෂිණීය වහ්නිය පුදමි. තථාගතයන් නමස්කාර කෙරෙමි.
344. මාගේ හැම මෝහයෝ ප්‍රහීණයහ. භවතෘෂ්ණාව නසනලදි. ජාතිසංසාරය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැතැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් නදීකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
නදීකාශ්‍යප ස්ථවිරගාථා යි.
345. මම ගයාවෙහි ‘ගයාඵල්ගු, නම් තොටැ ජලස්‍රෝතසට උදය දාවල සවසැ’ යි දවසට තුන් වරක් බටිමි.
346. ‘පෙර අන්‍යජාතියෙහි මා විසින් යම් පාපයෙක් කරනලද නම් ඒ පව් දැන් ගයාඑල්ගුයෙහි දී උල්පවා හරිමි’ යි පෙර මෙවන් දෘෂ්ටි ඇත්තෙම් වීමි.
347. ධර්‍මාර්‍ත්‍ථ සංහිත වූ පද ඇති සුභාෂිත වචන අසා තථ්‍ය වූ තත් වූ පරිදි සිටුනා දුඃඛාදි අර්‍ත්‍ථය නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි.
348. සෝදා හළ සියලු පව් ඇති නිර්‍මල වූ ප්‍රයත වූ පවිත්‍ර වූ ශුද්ධ වූ මම පරිශුද්ධ වූ බුදුන්ගේ දායාද වූ ඖරසපුත්‍රයෙමි.
349. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග නමැති ස්‍රෝතසට බැසගෙන සියලු පව් උල්පවා හළිමි, ත්‍රිවිද්‍යා ලදිමි, බුදුසසුන් කෙළෙමි.
මෙසෙයින් ආයුෂ්මත් ගයාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
ගයාකාශ්‍යප ස්ථවිරගාථා යි.
350. මහණ ගෝචර රහිත රූක්‍ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරෝගයෙන් අවසඟ බවට පමුණුවනලද්දෙහි කෙසේ වසන්නෙහි ද?
351. මහත් වූ ප්‍රීතිසුඛයෙන් ශරීරය පතුරුවමින් ප්‍රත්‍යරූක්‍ෂය පවා මැඩලමින් මහවෙනෙහි වෙසෙමි.
352. සතරසීවටන් ද පඤ්චේන්‍ද්‍රියයන් ද පඤ්චබලයන් ද වඩමින් සප්තබෝධ්‍යඞ්ගයන් ද වඩමින් වෙනෙහි වෙසෙමි.
353. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තෙම් නිවනට මෙහෙයූ සිතැත්තෙම් නිරතුරු දෘඪපරාක්‍රම ඇත්තෙම් එක් වැ වසන සමග වූ සබ්‍රම්සරුන් දැක (කල්‍යාණමිත්‍රසම්පත්තින්) වෙනෙහි වෙසෙමි.
354. අග්‍ර වූ දාන්ත වූ සමාහිත වූ සම්බුද්ධයන් සිහි කෙරෙමින් රෑදාවල් නො මැලි වූයෙම් වෙනෙහි වෙසෙමි.
මෙසෙයින් ආයුෂ්මත් වක්කලී ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
වක්කලී ස්ථවිරගාථා යි.
355. චිත්තය, තා නුවර කුරුබිලයෙහි ඇතකු සෙයින් (බැහැර නොයාදී) වළහන්නෙමි. කාමජාලයක් වූ (රූපප්‍රතිබද්ධ වෘත්ති ඇති බැවින්) ශරීරජ නම් වූ චිත්තය, තා පාපයෙහි නො යොදන්නෙමි.
356. ද්වාරවිවරය නො ලබන ඇතකු සෙයින් වළහනලද තෝ නො යෙහි. චිත්තකාලකණ්ණිය, පුනපුනා සැහැසි වැ පව්කම්හි ඇලී නො ද හැසිරෙන්නෙහි.
357. යම්සේ බලවත්වූ ඇතරුවෙක් අලුත අල්වාගන්නාලද නො දැමුණු ඇතකු නො කැමැති සේ වළහා ද, එපරිද්දෙන් තා වළහන්නෙමි.
358. යම්සේ උත්තම අශ්වයන් දමනය කිරීමෙහි නිපුණ වූ උත්තම සාරථියෙක් අජානීය අශ්වයකු දමනය කෙරේ ද, එපරිද්දෙන් පඤ්චබලයෙහි පිහිටි මම තා දමනය කරන්නෙමි.
359. චිත්තය, තා සිහි නමැති යොතින් බඳනෙමි. පවිත්‍ර වූ සිත් ඇත්තෙම් (කෙලෙස්මලයෙන් තා) පිරිසිදු කරන්නෙමි. වීර්‍ය්‍යධුරයෙන් වළහනලද්දෙහි මෙයින් දුරට නො යන්නෙහි.
මෙසෙයින් ආයුෂ්මත් විජිතසේන ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
විජිතසේන ස්ථවිරගාථා යි.
5. 1. 10.
360. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අහසට පොළොව මෙන් පිළිවෙත් සදහමින් දුරු වෙයි.
361. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අවපසැ සඳ සෙයින් නවලොව්තුරු දහමින් පිරිහෙයි.
362. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු දියත්තක මසකු සෙයින් ලොවුතුරුදහම්හි වියැළෙයි.
363. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම ජිනශාසනය අසා නමුදු කෙතෙහි වපුළ කුණු වූ බිජුවට සෙයින් නවලොවුතුරු දහම්හි නො වැඩෙයි.
364. යමෙකුත් තුටුසිතින් ජිනශාසනය අසා නම්, (හේ) සියලු (කාමාදි) ආස්‍රවයන් ගෙවා අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කොට පරමශාන්තියට පැමිණ ආශ්‍රව රහිත වූයේ පිරිනිවේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් යසදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
යසදත්ත ස්ථවිරගාථා යි.
5. 1. 11.
365. මා විසින් (දුකසේ දසවග්ගික සඞ්ඝයා රැස් කොට ලත්) උපසම්පදාව ද (වරදාන විසින් පසල් දනව්වෙහි විනධරයා පස්වනු කොට ඇති ගණඋපසම්පදාව ද) ලදු ආස්‍රව රහිත වැ කෙලෙසුන් කෙරෙන් මිදුණෙම් ද වෙමි. මා විසින් ඒ බුදුහු ද දක්නා ලදහ. විහාරයෙහිදු (බුදුන්) සමග විසීමි.
366. බුදුහු රෑ බොහෝ වේලාවක් අභ්‍යවකාශයෙහි විසූහ. සිවුවිහරණයෙහි දක්‍ෂ වූ ශාස්තෘහු එකල්හි ගඳකිළියට පිවිසියහ.
367. ගොයුම්ගොත් බුදුහු සඟළසිවුර අතුරා ප්‍රහීණ වූ භය හා භය අරමුණු ඇති වැ සිංහයකු ශෛලගුහාවකැ සෙයින් ශයනය කළහ.
368. ඉක්බිති කල්‍යාණවාක්කරණ ඇති සම්‍යක්සම්බුද්ධ ශ්‍රාවක වූ සෝණකුටිකණ්ණ තෙම බුද්ධශ්‍රේෂ්ඨයන් හමියෙහි සදහම් දෙසී.
369. පඤ්චස්කන්‍ධයන් පිරිසිඳ දැන අරිඅටඟිමඟ වඩා පරමශාන්තියට පැමිණ ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සෝණ ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සෝණ ස්ථවිරගාථා යි.
5. 1. 12.
370 යමෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වදන් දන්නේ ධීර වූයේ ඒ ගුරුන්ගේ අවවාදයෙහි වසනුයේ එහි ප්‍රේම උපදවන්නේත් වේ ද, හෙතෙම භක්ති ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. (සිව්සස්දහම්) දැන (ලොවිලොව්තුරා) දහම්හි විශිෂ්ට ද වන්නේ යැ.
371. උපන් (ශීතොෂ්ණාදි ප්‍රකට වූත් රාගාදී ප්‍රතිච්ඡන්න වූත්) ආපදාවෝ බලවත් වූවාහු නුමුදු පටිසංඛානබලයෙහි සිටි යම් පුද්ගලයකු නො සලත් ද ඒ පුද්ගල තෙම පරාක්‍රම ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. (සිසුසස්දහම්) දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
372. යමෙක් ඒකාන්තයෙන් සමුද්‍රය මෙන් අකම්පිත වූයේ ස්ථිර වැ සිටියේ ද ගැඹුරු නුවණැත්තේ සියුම් අරුත් දන්නාසුලු වේ ද හෙතෙම (කෙලෙසුන් විසින්) පැහැරගත නො හැක්කේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. සිවුසස් දහම් දැන දහම් හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
373. යමෙක් බහුශ්‍රුත වූයේ ධර්‍මධර වූයේත් වේ ද, නවලොව්තුරුදහමට අනුධර්‍ම වූ පූර්‍වභාගප්‍රතිපදායෙහි හැසිරෙන්නේත් වේ ද හෙතෙම ගුරුන් හා සදෘශ වූයේ නුමුදු පණ්ඩිත වූයේ නුමුදු වෙයි. සියුසස්දහම් දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
374. යමෙක් (සම්බුද්ධ) භාෂිතයාගේ අර්‍ත්‍ථයත් දනී ද අර්‍ත්‍ථය දැන ඒ දහම්හි වූ පරිදි පළිපදනේත් වේ ද, හෙතෙම අර්‍ත්‍ථාන්තර ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. සිසුසස් දහම් දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යි.
මෙසෙයින් ආයුෂ්මත් කෝසිය ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
කෝසිය ස්ථවිරගාථා යි.
උද්දානය:
රාජදත්ත යැ, සුභූත යැ, ගිරිමානන්‍ද යැ, සුමන යැ, වඩ්ඪ යැ, නදීකස්සප යැ, ගයාකස්සප යැ, වක්කලී යැ, විජිතසේන යැ, යසදත්ත යැ, සෝණ යැ යන තෙරවරු දොළොස් දෙනෙක් ද ගාථා සැටක් ද පඤ්චකනිපාතයෙහි වෙත්.
පඤ්චකනිපාතය නිමි.
6. ඡක්කනිපාතය
375. පතල කීර්තිශබ්ද ඇති ගොයුම්ගොත් බුදුරදුන්ගේ (තුන්දහස්පන්සියක්) පෙළහර දැක ඊර්‍ෂ්‍යායෙන් හා මානයෙන් නුළුයෙම් (කස්ඛ තෝ නො රහත්හි රහත්මගට හෝ නො පිළිපන්හි’ තා කෙරෙහි එවන් ප්‍රතිපදා හෝ නැතැ’යි යම්තාක් තර්‍ජන නො කළ සේක් ද) එතෙක් මම ප්‍රණිපාත නො කෙළෙමි.
376. පුරුෂදම්‍යසාරථී වූ බුදුහු මාගේ සංකල්පය දැන (මට) නිග්‍රහ කළහ, එහෙයින් මට අද්භූත වූ ලොමුදහ ගන්වන සංවේගයෙක් වී.
377. පෙර ජටිල වූ මට අල්ප වූ ලාභාසත්කාරමය වූ යම් ඉදුහයෙක් වී ද එය මම එදා නිග්‍රහ කළ කල්හි හැරපියා බුදුසස්නෙහි පැවිදි වීමි.
378. පෙර කාමලෝකය පෙරටු කොට සිටියෙම් යාගයෙන් සතුටු වූයෙම් පසුවැ (සුගත්සස්නෙහි සිට) රාගයත් ද්වේෂයත් මෝහයත් (නිරවශේෂ කොට) නසාලීමි.
379. (දැන්) පෙරවිසූ කඳපිළිවෙළ දනිමි (මා විසින්) දිවැස් පිරිසිදු කරන ලද. (මම) ඉදුහ ඇතියෙම් පරසිත් දන්නෙම් දිව්‍යශ්‍රෝත්‍රඥානය ද ලත්මි.