Theragāthā

Verses of the Elder Monks

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 2247

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-thag:92.4
266. එහෙයින් ඒ කුසීත වූ හිනවීර්‍ය්‍යය ඇත්තහු දුරලන්නේ යැ, කායවිවේකය ඇති ආර්‍ය්‍ය වූ නිවනට යැවූ සිත් ඇති ධ්‍යාන කරනසුලු වූ නිරතුරු රුකුළු වැර ඇති නුවණැතියන් හා එක් වැ වසන්නේ යි.
kn-thag:92.5
මෙසේ මේ ගාථා ආයුෂ්මත් විමල ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:92.6
විමල ස්ථවිරගාථා යි.
kn-thag:92.7
උද්දානය:
kn-thag:92.8
නිකනිපාතයෙහි ගාථා ප්‍රකාශ කළ අඞ්ගණික, භාරද්වාජය, පච්චයය, බක්කුලය, ධනියය, මාතඞ්ගපුත්ත, (බුජ්ජ) සොහිතය, වාරණය, වස්සිකය, යසෝජය, සටිමත්තියය, උපාලිය, උත්තරපාලය, අභිභූතය, ගෝතමය, හාරිතය, විමලස්ථවිරය යයි සොළොස් තෙර කෙනෙක් වෙති, ගාථා අටසාළිසෙකි.
kn-thag:92.9
නිකනිපාතය නිමි.
kn-thag:94.1
4. චතුක්ක නිපාතය
kn-thag:94.2
4. 1. 1.
kn-thag:94.3
267. අබරණින් සැදුණු (හන්) මනා වස්ත්‍ර ඇති (පළන්) මල්දම් ඇති සඳුන් අලෙව් දුන් සිරුරු ඇති නළඟනක් මාවත මැද තූර්‍ය්‍යවාදනය කරන කල්හි නටයි.
kn-thag:94.4
268. පිඬු පිණිස පිවිසි මම යන්නෙම් අබරණින් සැදුණු මනා වස්ත්‍ර ඇති ඇය බහාලූ මාරපාශයක් මෙන් දිටිමි.
kn-thag:94.5
269. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිබ්බිදාඤාණය එළැඹැ සිටියේ යැ.
kn-thag:94.6
270.එයින් මාගේ සිත (කෙලෙසුන්ගෙන් ) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල.(මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුසසුන කරනලදැයි.
kn-thag:94.7
මෙසෙයින් නාගසමාල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:94.8
නාගසමාල ස්ථවිරගාථා යි.
kn-thag:94.9
4. 1. 2.
kn-thag:94.10
271. මම මිද්ධයෙන් මඩනාලද්දෙම් විහාරයෙන් සක්මනට නික්මුණෙමි. සක්මනට නැඟෙනුයෙම් එහි මැ බිම වැටිණිමි.
kn-thag:94.11
272. ඒ මම අවයවයන් පිරිමැදගෙන යළිදු සක්මනට නැඟැ සක්මන්මළුයෙහි සක්මන් කෙළෙමි, ගෝචර සඞ්ඛ්‍යාත අධ්‍යාත්මයෙහි මොනොවට සමාහිත වූයෙම් ද වෙමි.
kn-thag:94.12
273. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහල වී, නිර්වේදඥානය එළැඹැ සිටියේ යැ.
kn-thag:94.13
274. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල, (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුසසුන කරණ ලදැ යි.
kn-thag:94.14
මෙසෙයින් භගුස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:94.15
භගු ස්ථවිරගාථා යි.
kn-thag:94.16
4. 1. 3.
kn-thag:94.17
275. ‘අපි මේ විවාදයෙහි නැසෙම්හ’ යි අන්‍ධබාල වූ අන්‍යයෝ නො දනිති. යම් පණ්ඩිත කෙනෙක් එහිලා (ආදීනව) දනිත් නම් එයින් කලහයෝ සන්හිඳෙත්.
kn-thag:94.18
276. යම් කලෙකැ ආදීනව නො දන්නාහු වෙත් ද ඔහු ජරාමරණ නැතියවුන් මෙන් වෙසෙති. යම් කෙනෙක් ධර්‍මය දනිත් නම් ඔහු (කෙලෙසුන්ගෙන්) ආතුර වූවන් කෙරෙහි අනාතුර වෙත්.
kn-thag:94.19
277. යම්කිසි ලිහිල් වූ කුශලකර්‍මයෙක් වේ ද, කිලිටි වූ යම්කිසි ව්‍රතසමාදානයෙකුත් වේ ද සැකයෙන් සිහි කළයුතු බඹසරෙකුත් වේ ද ඒ මහත්ඵල නො වේ.
kn-thag:94.20
278. යමක්හු ගේ සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද හෙතෙම පොළොවට අහස මෙන් සද්ධර්‍මයෙන් දුරු වේ යයි.
kn-thag:94.21
මෙසෙයින් ආයුෂ්මත් සභියස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:94.22
සභිය ස්ථවිරගාථා යි.
kn-thag:96.1
4. 1. 4.
kn-thag:96.2
279. අසූචියෙන් පිරුණු දුඟඳ වැහෙන මාරපාක්‍ෂික වූ රාගයෙන් තෙත් වූ තැනැත්තිය,( තිට) නින්‍දා වේවා, යම් ද්වාර කෙනෙක් හැමදා වැගිරෙත් ද තීගේ කයෙහි එබඳු නව ශ්‍රෝතස්හු වෙත්.
kn-thag:96.3
280. පැරණි කෙළිසිනා නහමක් සිතව, තථාගතශ්‍රාවකයන් නහමක් ගටව. ඔවුහු ස්වර්‍ගයෙහි දු නො ඇලෙති. මානුෂසුඛයෙහි කියනු මැ කිම?
kn-thag:96.4
281. දුෂ්ප්‍රාඥ වූ වරදවා සිතනසුලු මෝහයෙන් වැසුණු යම් බාල කෙනෙක් ඇත් ද එබඳු වූ ඔහු මරහු විසින් බහාලූ ඒ පාශයෙහි රැඳෙත්.
kn-thag:96.5
282. යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් ප්‍රහීණ කරන ලද්දාහු ද තාදී වූ සිඳිනලද තෘෂ්ණාසුත්‍ර ඇති ක්ලේශබන්‍ධන රහිත වූ ඔහු එහි නො රැඳෙත් යයි.
kn-thag:96.6
මෙසෙයින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:96.7
නන්‍දක ස්ථවිරගාථා යි.
kn-thag:96.8
4. 1. 5.
kn-thag:96.9
283. පස්පනස්වසක් මුළුල්ලෙහි රජස්දැලි දැරීමි, මසකට වරක් (දිවග තැබීමෙන්) බත් බුදිනු වීමි, කෙහෙරවුළු උදුරාලීමි.
kn-thag:96.10
284. එක් පයින් සිටියෙමි, අසුන් හැරපීමි, වියළි අසූචි ද කෑයෙමි, නිමන්ත්‍රණ ද නො පිළිගතිමි.
kn-thag:96.11
285. මෙබඳු බොහෝ වූ දුගතිගාමී පව්කම් කොට මහත් වූ කාමාදි චතුරොඝයෙන් උල්පවනු ලබනුයෙම් බුදුන් සරණ කොට ගියෙමි.
kn-thag:96.12
286. (මාගේ) සරණගමනය බල, ශාසනධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල, තිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.
kn-thag:96.13
මෙසෙයින් ආයුෂ්මත් ජම්බුක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:96.14
ජම්බුක ස්ථවිරගාථා යි.
kn-thag:96.15
4. 1. 6.
kn-thag:96.16
287. ගයාතීර්‍ත්‍ථසමීපයෙහි ගයඵල්ගු සඞ්ඛ්‍යාත උතුරුපල්නකත්හි මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී, යම් හෙයෙකින් උතුම් වූ දහම් දෙසන-
kn-thag:96.17
288. මහත් වූ ශරීරප්‍රභා හා ඥානප්‍රභා ඇති ගණාචාර්‍ය්‍ය වූ දෙවියන් සහිත ලෝකයාට අග්‍රප්‍රාප්ත වූ විනායක වූ පස්මරුන් දිනූ අසදෘශදර්‍ශන ඇති-
kn-thag:96.18
289.මහානාග වූ මහාවීර වූ මහත් ප්‍රතාප ඇති අනාස්‍රව වූ සියලු ආස්‍රවයන් ක්‍ෂය කළ කොයිනුත් බිය නැති ශාස්තෘ වූ සම්‍යක් සම්බුද්ධයන් දිටිම් ද එහෙයිනි.
kn-thag:96.19
290. ඒ භාග්‍යවත්හු ඒකාන්තයෙන් බොහෝ කලෙකසිට කිලිටි වූ දෘෂ්ටිබන්‍ධනයෙන් බැඳුණු සේනක නම් වූ මා සියලු ග්‍රන්‍ථයන්ගෙන් මුදාලූහ යි.
kn-thag:96.20
මෙසෙයින් ආයුෂ්මත් සෙකනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:96.21
සේනක ස්ථවිරගාථා යි.
kn-thag:98.1
4. 1. 7.
kn-thag:98.2
291. යමෙක් විනයකුකුයින් ලැසි වැ සිටියයුතු කල්හි ලාහෙලා (ත්‍වරිත වැ) ක්‍රියා කෙරේ ද යළි ත්‍වරිත වැ ක්‍රියා කළ යුතු කල්හි ලැසි වේ ද අනුපායසංවිධානය හේතු කොටගෙන ඒ බාල තෙම දුකට පැමිණෙයි.
kn-thag:98.3
292. ඒ බාලයාගේ දෘෂ්ටධාර්මිකාදි අර්‍ත්‍ථයෝ අවපස සඳ සෙයින් පිරිහෙති. (හේ) අපකීර්ති ඇතිබවට ද පැමිණෙයි. මිත්‍රයින් හා සමග ද විරුද්ධ වේ.
kn-thag:98.4
293. යමෙක් ලැසි වියයුතු කල්හි ලැසි වේ ද යළි ත්‍වරිත වියයුතු කල්හි ත්‍වරිත වේ ද නුවණින් උපායසංවිධානය හේතු කොටගෙන ඒ පණ්ඩිත තෙම සැපයට පැමිණෙයි.
kn-thag:98.5
294. ඔහුගේ අර්‍ත්‍ථයෝ පුරපස සඳ සෙයින් පිරෙති. හෙතෙම යශසට හා කීර්තියට ද පැමිණෙයි. මිත්‍රයින් හා සමග ද විරුද්ධ නො වේ යයි.
kn-thag:98.6
මෙසෙයින් ආයුෂ්මත් සමභූතස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:98.7
සම්භූත ස්ථවිරගාථා යි.
kn-thag:98.8
4. 1. 8.
kn-thag:98.9
295-296. යම් හෙයෙකින් (මම්) බුදුන්ගේ පුත්‍රයෙම් ද යම් හෙයෙකින් සිව්සස් දහම්හි මඟනුවණැස් ඇතියෙම් ද යම් හෙයෙකින් මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහු ද යම් හෙයෙකින් පුනර්‍භවයක් නැතියෙම් ද අර්‍හත් දක්‍ෂිණාර්‍හ වෙම් ද ත්‍රිවිද්‍යා ඇතියෙම් අමෘතාධිගම කෙළෙම් ජාතිසම්පත් ප්‍රතිපත්තිසම්පත් යන දෙකින් මැ යුක්ත වූ මා “රාහුලභද්‍ර යයි විඥයෝ දනිත්.
kn-thag:98.11
297. තෘෂ්ණාජාලයෙන් සර්‍වප්‍රකාරයෙන් වැසුණු එහෙයින් මැ තෘෂ්ණා-ඡදනයෙන් සොයනලද කාමයෙහි අන්‍ධ වූවාහු මරහු විසින් කෙමින්මුවෙහි මසුන් මෙන් බඳනා ලදහ.
kn-thag:98.12
298. මම ඒ කාමය හැරපියා මාරබන්‍ධන සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් වූයෙමි, නිවුණෙමි යි.
kn-thag:98.13
මෙසෙයින් ආයුෂ්මත් රාහුලභද්‍රස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:98.14
රාහුලභද්‍ර ස්ථවිරගාථා යි.
kn-thag:98.15
4. 1. 9.
kn-thag:98.16
299. රන්මුවා අබරණින් සැදුණු සිරුර ඇති දාසීගණයා විසින් පෙරටු කරනලද භාර්‍ය්‍යා තොමෝ ඇකයෙන් පුතු වඩාගෙන මා වෙත එළඹියා යැ.
kn-thag:98.17
300. සැරසුණු හන්පෙරෙවි මනා වස්ත්‍ර ඇති බහාලූ මාරපාශයක් වැනි එන්නා වූ සියපුතුගේ මෑණියන් වූ ඇය දැක.
kn-thag:98.18
301. එයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ වී, නිර්වේදය උදාවී.
kn-thag:98.19
302. එයින් මාගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව, ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ, බුදුන්ගේ අනුශාසනය කරනලදැ’යි.
kn-thag:98.20
මෙසෙයින් ආයුෂ්මත් චන්‍දනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:98.21
චන්‍දන ස්ථවිරගාථා යි.
kn-thag:100.1
4. 1. 10.
kn-thag:100.2
303. සුචරිතධර්‍ම තෙම එකත්නෙන් එදහම් පිළිපදිනුවනු රක්නේ යැ. මොනොවට රැස් කළ එදහම සුව එළවයි. ධර්‍මය මොනොවට රැස් කළ කල්හි තෙල අනුසස් ඇත. ධර්‍මචාරී තෙම දුගතියට නොයන්නේ යැ.
kn-thag:100.3
304. ධර්‍මය අධර්‍මය යන දෙදෙන සමවිපාක ඇත්තාහු නො වෙති. අධර්‍මය නිරය කරා පමුණුවයි. ධර්‍මය සුගතියට පමුණුවයි.
kn-thag:100.4
305. එහෙයින් ධර්‍මයෙහි සිටි බුද්ධශ්‍රාවක වූ ධීරයෝ උතුම් සරණ ගියාහු නිවනට ගෙනයනු ලැබෙති. තාදීගුණ ඇති සුගතයන් හේතු කොටගෙන මෙසේ සතුටු වනුයේ ධර්‍මයෙහි ඡන්‍දය කරන්නේ යැ.
kn-thag:100.5
306. පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ගණ්ඞයාගේ මූලය නසනලද, තෘෂ්ණාජාලය උපුටනලද. ඒ මම ගෙවනලද සසර ඇත්තෙමි. මට රාගාදි කිඤ්චනයෙක් නැත. (මහිකාදි) දෝෂ රහිත බැවින් පණුරැසි සඳ මෙනි යි.
kn-thag:100.6
මෙසෙයින් ආයුෂ්මත් ධම්මික ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:100.7
ධම්මික ස්ථවිරගාථා යි.
kn-thag:100.8
4. 1. 11.
kn-thag:100.9
307. යම් කාලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී සැඟවෙන තැන් සොයන්නී වාසස්ථානය කරා පලායන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
kn-thag:100.10
308. යම් කලෙක පිවිතුරු පඞෙරවන් වූ කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී තිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන් සොයන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
kn-thag:100.11
309. එහි මාගේ ලෙන පිටිපස ජම්බුවෘක්‍ෂයෝ දෙපස ගංඉවුරු හොබවති. ඒ වෘක්‍ෂයෝ එහි කවරක්හු නො පිනවත් ද,
kn-thag:100.12
310. සර්‍පසමූහයාගෙන් මොනොවට මිදුණු ගම්භීරනාද ඇති ඒ මඬියෝ නද දෙති. දැන් ගිරිනදින්ගෙන් වෙන් වැ විසියයුතු කාලය නො වෙයි. නිර්‍භය වූ අජකරණී නදිය භද්‍ර වූවා අතිශයින් සිත්කලු වූ යයි.
kn-thag:100.13
මෙසෙයින් ආයුෂ්මත් සප්පක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:100.14
සප්පක ස්ථවිරගාථා යි.
kn-thag:102.1
4. 1. 12.
kn-thag:102.2
311. මම ජීවිකාර්ත්‍ථී වැ පැවිදි වීම, උපසපුව ලැබ එයින් සැදැහැ ලදිමි, දැඩි වෙර ඇති වැ උත්සාහ කෙළෙමි.
kn-thag:102.3
312. එකත්නෙන් මේ කය බිඳී යේවා, මාංශපේශීහු විසිරී යෙත්වා, මාගේ දෙදණ සන්‍ධියෙන් දෙකෙණ්ඩයෝ ගිලිහෙත්වා.
kn-thag:102.4
313. තෘෂ්ණා නමැති හුල නූදුළ කල්හි නො කමි, නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, ඇලය (බිම) නො තබමි.
kn-thag:102.5
314. මෙසේ වාසය කරන්නා වූ මාගේ වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පරාක්‍රමය බලව, (මා විසින්,) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැ යි.
kn-thag:102.6
මෙසෙයින් ආයුෂ්මත් මුදිත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
kn-thag:102.7
මුදිත ස්ථවිරගාථා යි.
kn-thag:102.8
උද්දානය:
kn-thag:102.9
නාගසමාල යැ , භගු යැ, සභිය යැ, නන්‍දක යැ, ජම්බුක යැ, සොනක යැ, සම්භූත යැ, රාහුල යැ, යන බුදුසව්වෝ ද ධම්මික යැ, සප්පක යැ, මුදිත යැ යන තෙරවරු ද වෙති. ගාථා දෙපනසක් හා තෙළෙස් තෙර කෙනෙක් ද වෙත්.{*}
kn-thag:102.10
චතුක්කනිපාතය නිමි.
kn-thag:104.1
5. පඤ්චක නිපාතය
kn-thag:104.2
5. 1. 1.
kn-thag:104.3
315. භික්‍ෂුවක් වූ මම අමුසොහොනට ගොස් සොහොනෙහි හැරපියන ලද පණුවන් විසින් පැතිරැ කනලද (මළ) ස්ත්‍රියක දිටිමි.
kn-thag:104.4
316. ඇතැම් කෙනෙක් ලාමක වූ යම් මළ සිරුරක් දැක පිළිකුල් කෙරෙත් ද, මට එහිලා කාමරාගය පහළ විය. (යම් සිරුරක්) නවදොරින් අසූචි වැහේ නම් එහි අන්‍ධදයකු මෙන් වීමි.
kn-thag:104.5
317. බතක් පැසීමෙන් මෙපිට එතැනින් බැහැර ගියෙමි. මම සිහි ඇත්තෙම් නුවණ ඇත්තෙම් එක් පසෙකැ හුන්මි.
kn-thag:104.6
318. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිර්වේදය එළැඹ සිටියේ.
kn-thag:104.7
319. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැයි.