Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 901-1000 න් 2247

266. එහෙයින් ඒ කුසීත වූ හිනවීර්‍ය්‍යය ඇත්තහු දුරලන්නේ යැ, කායවිවේකය ඇති ආර්‍ය්‍ය වූ නිවනට යැවූ සිත් ඇති ධ්‍යාන කරනසුලු වූ නිරතුරු රුකුළු වැර ඇති නුවණැතියන් හා එක් වැ වසන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් විමල ස්ථවිරයන් වහන්සේ ...
විමල ස්ථවිරගාථා යි.
උද්දානය:
නිකනිපාතයෙහි ගාථා ප්‍රකාශ කළ අඞ්ගණික, භාරද්වාජය, පච්චයය, බක්කුලය, ධනියය, මාතඞ්ගපුත්ත, (බුජ්ජ) සොහිතය, වාරණය, වස්සිකය, යසෝජය, සටිමත්තියය, උපාලිය, උත්තරපාලය, අභිභූතය, ගෝතමය, හාරිතය, විමලස්ථවිරය යයි සොළොස් තෙර කෙනෙක් වෙති, ගාථා අටසාළිසෙකි.
නිකනිපාතය නිමි.
4. චතුක්ක නිපාතය
4. 1. 1.
267. අබරණින් සැදුණු (හන්) මනා වස්ත්‍ර ඇති (පළන්) මල්දම් ඇති සඳුන් අලෙව් දුන් සිරුරු ඇති නළඟනක් මාවත මැද තූර්‍ය්‍යවාදනය කරන කල්හි නටයි.
268. පිඬු පිණිස පිවිසි මම යන්නෙම් අබරණින් සැදුණු මනා වස්ත්‍ර ඇති ඇය බහාලූ මාරපාශයක් මෙන් දිටිමි.
269. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිබ්බිදාඤාණය එළැඹැ සිටියේ යැ.
270.එයින් මාගේ සිත (කෙලෙසුන්ගෙන් ) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල.(මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුසසුන කරනලදැයි.
මෙසෙයින් නාගසමාල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
නාගසමාල ස්ථවිරගාථා යි.
4. 1. 2.
271. මම මිද්ධයෙන් මඩනාලද්දෙම් විහාරයෙන් සක්මනට නික්මුණෙමි. සක්මනට නැඟෙනුයෙම් එහි මැ බිම වැටිණිමි.
272. ඒ මම අවයවයන් පිරිමැදගෙන යළිදු සක්මනට නැඟැ සක්මන්මළුයෙහි සක්මන් කෙළෙමි, ගෝචර සඞ්ඛ්‍යාත අධ්‍යාත්මයෙහි මොනොවට සමාහිත වූයෙම් ද වෙමි.
273. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහල වී, නිර්වේදඥානය එළැඹැ සිටියේ යැ.
274. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල, (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුසසුන කරණ ලදැ යි.
මෙසෙයින් භගුස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
භගු ස්ථවිරගාථා යි.
275. ‘අපි මේ විවාදයෙහි නැසෙම්හ’ යි අන්‍ධබාල වූ අන්‍යයෝ නො දනිති. යම් පණ්ඩිත කෙනෙක් එහිලා (ආදීනව) දනිත් නම් එයින් කලහයෝ සන්හිඳෙත්.
276. යම් කලෙකැ ආදීනව නො දන්නාහු වෙත් ද ඔහු ජරාමරණ නැතියවුන් මෙන් වෙසෙති. යම් කෙනෙක් ධර්‍මය දනිත් නම් ඔහු (කෙලෙසුන්ගෙන්) ආතුර වූවන් කෙරෙහි අනාතුර වෙත්.
277. යම්කිසි ලිහිල් වූ කුශලකර්‍මයෙක් වේ ද, කිලිටි වූ යම්කිසි ව්‍රතසමාදානයෙකුත් වේ ද සැකයෙන් සිහි කළයුතු බඹසරෙකුත් වේ ද ඒ මහත්ඵල නො වේ.
278. යමක්හු ගේ සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද හෙතෙම පොළොවට අහස මෙන් සද්ධර්‍මයෙන් දුරු වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සභියස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සභිය ස්ථවිරගාථා යි.
4. 1. 4.
279. අසූචියෙන් පිරුණු දුඟඳ වැහෙන මාරපාක්‍ෂික වූ රාගයෙන් තෙත් වූ තැනැත්තිය,( තිට) නින්‍දා වේවා, යම් ද්වාර කෙනෙක් හැමදා වැගිරෙත් ද තීගේ කයෙහි එබඳු නව ශ්‍රෝතස්හු වෙත්.
280. පැරණි කෙළිසිනා නහමක් සිතව, තථාගතශ්‍රාවකයන් නහමක් ගටව. ඔවුහු ස්වර්‍ගයෙහි දු නො ඇලෙති. මානුෂසුඛයෙහි කියනු මැ කිම?
281. දුෂ්ප්‍රාඥ වූ වරදවා සිතනසුලු මෝහයෙන් වැසුණු යම් බාල කෙනෙක් ඇත් ද එබඳු වූ ඔහු මරහු විසින් බහාලූ ඒ පාශයෙහි රැඳෙත්.
282. යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් ප්‍රහීණ කරන ලද්දාහු ද තාදී වූ සිඳිනලද තෘෂ්ණාසුත්‍ර ඇති ක්ලේශබන්‍ධන රහිත වූ ඔහු එහි නො රැඳෙත් යයි.
මෙසෙයින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
නන්‍දක ස්ථවිරගාථා යි.
4. 1. 5.
283. පස්පනස්වසක් මුළුල්ලෙහි රජස්දැලි දැරීමි, මසකට වරක් (දිවග තැබීමෙන්) බත් බුදිනු වීමි, කෙහෙරවුළු උදුරාලීමි.
284. එක් පයින් සිටියෙමි, අසුන් හැරපීමි, වියළි අසූචි ද කෑයෙමි, නිමන්ත්‍රණ ද නො පිළිගතිමි.
285. මෙබඳු බොහෝ වූ දුගතිගාමී පව්කම් කොට මහත් වූ කාමාදි චතුරොඝයෙන් උල්පවනු ලබනුයෙම් බුදුන් සරණ කොට ගියෙමි.
286. (මාගේ) සරණගමනය බල, ශාසනධර්‍මයාගේ සුධර්‍මත්‍වය බල, තිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.
මෙසෙයින් ආයුෂ්මත් ජම්බුක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
ජම්බුක ස්ථවිරගාථා යි.
287. ගයාතීර්‍ත්‍ථසමීපයෙහි ගයඵල්ගු සඞ්ඛ්‍යාත උතුරුපල්නකත්හි මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී, යම් හෙයෙකින් උතුම් වූ දහම් දෙසන-
288. මහත් වූ ශරීරප්‍රභා හා ඥානප්‍රභා ඇති ගණාචාර්‍ය්‍ය වූ දෙවියන් සහිත ලෝකයාට අග්‍රප්‍රාප්ත වූ විනායක වූ පස්මරුන් දිනූ අසදෘශදර්‍ශන ඇති-
289.මහානාග වූ මහාවීර වූ මහත් ප්‍රතාප ඇති අනාස්‍රව වූ සියලු ආස්‍රවයන් ක්‍ෂය කළ කොයිනුත් බිය නැති ශාස්තෘ වූ සම්‍යක් සම්බුද්ධයන් දිටිම් ද එහෙයිනි.
290. ඒ භාග්‍යවත්හු ඒකාන්තයෙන් බොහෝ කලෙකසිට කිලිටි වූ දෘෂ්ටිබන්‍ධනයෙන් බැඳුණු සේනක නම් වූ මා සියලු ග්‍රන්‍ථයන්ගෙන් මුදාලූහ යි.
මෙසෙයින් ආයුෂ්මත් සෙකනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සේනක ස්ථවිරගාථා යි.
4. 1. 7.
291. යමෙක් විනයකුකුයින් ලැසි වැ සිටියයුතු කල්හි ලාහෙලා (ත්‍වරිත වැ) ක්‍රියා කෙරේ ද යළි ත්‍වරිත වැ ක්‍රියා කළ යුතු කල්හි ලැසි වේ ද අනුපායසංවිධානය හේතු කොටගෙන ඒ බාල තෙම දුකට පැමිණෙයි.
292. ඒ බාලයාගේ දෘෂ්ටධාර්මිකාදි අර්‍ත්‍ථයෝ අවපස සඳ සෙයින් පිරිහෙති. (හේ) අපකීර්ති ඇතිබවට ද පැමිණෙයි. මිත්‍රයින් හා සමග ද විරුද්ධ වේ.
293. යමෙක් ලැසි වියයුතු කල්හි ලැසි වේ ද යළි ත්‍වරිත වියයුතු කල්හි ත්‍වරිත වේ ද නුවණින් උපායසංවිධානය හේතු කොටගෙන ඒ පණ්ඩිත තෙම සැපයට පැමිණෙයි.
294. ඔහුගේ අර්‍ත්‍ථයෝ පුරපස සඳ සෙයින් පිරෙති. හෙතෙම යශසට හා කීර්තියට ද පැමිණෙයි. මිත්‍රයින් හා සමග ද විරුද්ධ නො වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සමභූතස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සම්භූත ස්ථවිරගාථා යි.
4. 1. 8.
295-296. යම් හෙයෙකින් (මම්) බුදුන්ගේ පුත්‍රයෙම් ද යම් හෙයෙකින් සිව්සස් දහම්හි මඟනුවණැස් ඇතියෙම් ද යම් හෙයෙකින් මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහු ද යම් හෙයෙකින් පුනර්‍භවයක් නැතියෙම් ද අර්‍හත් දක්‍ෂිණාර්‍හ වෙම් ද ත්‍රිවිද්‍යා ඇතියෙම් අමෘතාධිගම කෙළෙම් ජාතිසම්පත් ප්‍රතිපත්තිසම්පත් යන දෙකින් මැ යුක්ත වූ මා “රාහුලභද්‍ර යයි විඥයෝ දනිත්.
297. තෘෂ්ණාජාලයෙන් සර්‍වප්‍රකාරයෙන් වැසුණු එහෙයින් මැ තෘෂ්ණා-ඡදනයෙන් සොයනලද කාමයෙහි අන්‍ධ වූවාහු මරහු විසින් කෙමින්මුවෙහි මසුන් මෙන් බඳනා ලදහ.
298. මම ඒ කාමය හැරපියා මාරබන්‍ධන සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් වූයෙමි, නිවුණෙමි යි.
මෙසෙයින් ආයුෂ්මත් රාහුලභද්‍රස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
රාහුලභද්‍ර ස්ථවිරගාථා යි.
299. රන්මුවා අබරණින් සැදුණු සිරුර ඇති දාසීගණයා විසින් පෙරටු කරනලද භාර්‍ය්‍යා තොමෝ ඇකයෙන් පුතු වඩාගෙන මා වෙත එළඹියා යැ.
300. සැරසුණු හන්පෙරෙවි මනා වස්ත්‍ර ඇති බහාලූ මාරපාශයක් වැනි එන්නා වූ සියපුතුගේ මෑණියන් වූ ඇය දැක.
301. එයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ වී, නිර්වේදය උදාවී.
302. එයින් මාගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව, ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ, බුදුන්ගේ අනුශාසනය කරනලදැ’යි.
මෙසෙයින් ආයුෂ්මත් චන්‍දනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
චන්‍දන ස්ථවිරගාථා යි.
4. 1. 10.
303. සුචරිතධර්‍ම තෙම එකත්නෙන් එදහම් පිළිපදිනුවනු රක්නේ යැ. මොනොවට රැස් කළ එදහම සුව එළවයි. ධර්‍මය මොනොවට රැස් කළ කල්හි තෙල අනුසස් ඇත. ධර්‍මචාරී තෙම දුගතියට නොයන්නේ යැ.
304. ධර්‍මය අධර්‍මය යන දෙදෙන සමවිපාක ඇත්තාහු නො වෙති. අධර්‍මය නිරය කරා පමුණුවයි. ධර්‍මය සුගතියට පමුණුවයි.
305. එහෙයින් ධර්‍මයෙහි සිටි බුද්ධශ්‍රාවක වූ ධීරයෝ උතුම් සරණ ගියාහු නිවනට ගෙනයනු ලැබෙති. තාදීගුණ ඇති සුගතයන් හේතු කොටගෙන මෙසේ සතුටු වනුයේ ධර්‍මයෙහි ඡන්‍දය කරන්නේ යැ.
306. පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ගණ්ඞයාගේ මූලය නසනලද, තෘෂ්ණාජාලය උපුටනලද. ඒ මම ගෙවනලද සසර ඇත්තෙමි. මට රාගාදි කිඤ්චනයෙක් නැත. (මහිකාදි) දෝෂ රහිත බැවින් පණුරැසි සඳ මෙනි යි.
මෙසෙයින් ආයුෂ්මත් ධම්මික ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
ධම්මික ස්ථවිරගාථා යි.
4. 1. 11.
307. යම් කාලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී සැඟවෙන තැන් සොයන්නී වාසස්ථානය කරා පලායන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
308. යම් කලෙක පිවිතුරු පඞෙරවන් වූ කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී තිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන් සොයන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
309. එහි මාගේ ලෙන පිටිපස ජම්බුවෘක්‍ෂයෝ දෙපස ගංඉවුරු හොබවති. ඒ වෘක්‍ෂයෝ එහි කවරක්හු නො පිනවත් ද,
310. සර්‍පසමූහයාගෙන් මොනොවට මිදුණු ගම්භීරනාද ඇති ඒ මඬියෝ නද දෙති. දැන් ගිරිනදින්ගෙන් වෙන් වැ විසියයුතු කාලය නො වෙයි. නිර්‍භය වූ අජකරණී නදිය භද්‍ර වූවා අතිශයින් සිත්කලු වූ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සප්පක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සප්පක ස්ථවිරගාථා යි.
4. 1. 12.
311. මම ජීවිකාර්ත්‍ථී වැ පැවිදි වීම, උපසපුව ලැබ එයින් සැදැහැ ලදිමි, දැඩි වෙර ඇති වැ උත්සාහ කෙළෙමි.
312. එකත්නෙන් මේ කය බිඳී යේවා, මාංශපේශීහු විසිරී යෙත්වා, මාගේ දෙදණ සන්‍ධියෙන් දෙකෙණ්ඩයෝ ගිලිහෙත්වා.
313. තෘෂ්ණා නමැති හුල නූදුළ කල්හි නො කමි, නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, ඇලය (බිම) නො තබමි.
314. මෙසේ වාසය කරන්නා වූ මාගේ වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පරාක්‍රමය බලව, (මා විසින්,) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැ යි.
මෙසෙයින් ආයුෂ්මත් මුදිත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
මුදිත ස්ථවිරගාථා යි.
උද්දානය:
නාගසමාල යැ , භගු යැ, සභිය යැ, නන්‍දක යැ, ජම්බුක යැ, සොනක යැ, සම්භූත යැ, රාහුල යැ, යන බුදුසව්වෝ ද ධම්මික යැ, සප්පක යැ, මුදිත යැ යන තෙරවරු ද වෙති. ගාථා දෙපනසක් හා තෙළෙස් තෙර කෙනෙක් ද වෙත්.{*}
චතුක්කනිපාතය නිමි.
5. පඤ්චක නිපාතය
315. භික්‍ෂුවක් වූ මම අමුසොහොනට ගොස් සොහොනෙහි හැරපියන ලද පණුවන් විසින් පැතිරැ කනලද (මළ) ස්ත්‍රියක දිටිමි.
316. ඇතැම් කෙනෙක් ලාමක වූ යම් මළ සිරුරක් දැක පිළිකුල් කෙරෙත් ද, මට එහිලා කාමරාගය පහළ විය. (යම් සිරුරක්) නවදොරින් අසූචි වැහේ නම් එහි අන්‍ධදයකු මෙන් වීමි.
317. බතක් පැසීමෙන් මෙපිට එතැනින් බැහැර ගියෙමි. මම සිහි ඇත්තෙම් නුවණ ඇත්තෙම් එක් පසෙකැ හුන්මි.
318. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිර්වේදය එළැඹ සිටියේ.
319. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැයි.