Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

Showing entries 1-100 of 2247

සූත්‍රාන්තපිටකයෙහි
ථේරගාථා
නිදානගාථා
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
ගිරිගුහායෙහි නද දෙන, දළ ඇති සිංහයන් වැනි වැඩූ සිත් ඇති ආර්‍ය්‍යයන් තමන් පිළිබඳ වැ ගෙනහැර දැක් වූ ගාථාවන් අසවු.
(සුභූති ආදී) යම් යම් නම් ඇති (ගෞතම ආදි) යම් යම් ගෝත්‍ර ඇති යම් බඳු සමාපත්ති විහරණ ඇති, ශ්‍රද්ධා අධිමුක්ති ඇති, ත්‍රිහේතුක කර්‍මජ ප්‍රඥාවෙන් ප්‍රඥා ඇත්තෝ අනලස් වැ වාසය කළාහු ද,
ඔහු ඒ ඒ තන්හි විවසුන් වඩා නිවන්සුව ලැබ කෘතාන්ත සඞ්ඛ්‍යාත අග්‍රඵලය නුවණින් සලකා බලනුවෝ මේ (අත්තූපනායිකගාථා) අර්‍ත්‍ථය වදාළහ.
1. ඒකකනිපාතය
ප්‍රථම වර්‍ගය
1. 1. 1.
1. මා ගේ කුටිය සොයන ලද, (එහෙයින් මැ) සුව එළවයි, වාතපීඩා රහිත යැ, මේඝය, රිසිසේ වසිනු මැන. මා ගේ සිත මොනවට සමාහිත වූයේ යැ, (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණේ යි, ආරබ්ධවීර්‍ය්‍ය ඇති වැ වෙසෙමි. මේඝය, (එහෙයින්) වසිනු මැන.
නොහොත් මා ගේ ආත්මභාවය සංවෘත යැ, එහෙයින් මැ සුඛප්‍රාප්ත යැ, නිහතමාන යැ, මේඝය, රිසිසේ වසිනු මැන, මා ගේ සිත මොනවට සමාහිත වූයේ යැ, විමුක්ත යැ, (මම) ආරබ්ධවීර්‍ය්‍ය ඇති වැ වෙසෙමි, මේඝය, (එහෙයින්) වසිනු මැන.
මෙසේ ආයුෂ්මත් සුභූති ස්ථවිරයන් වහන්සේ මේ ගාථාව වදාළහ.
සුභූති ස්ථවිරගාථා යි.
1. 1. 2.
2. සන්හුන් ඉඳුරන් ඇති පවින් වැළැකුණු නුවණින් පිරික්සා බණනසුලු උඩඟු නො වූ (කොට්ඨිත මහණ) පවන රුක්පතක් මෙන් පාපධර්‍මයන් දුරු කෙරේ.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ වදාළහ.
මහාකොට්ඨිත ස්ථවිරගාථා යි.
1. 1. 3.
3. යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන් ගේ සැක දුරලත් ද, නුවණ එළිය දෙන්නාහු වෙත් ද, පැණැස දෙන්නාහු වෙත් ද, මධ්‍යමරාත්‍රියෙහි ඇවිළෙන ගින්නක් බඳු වූ ඒ තථාගතවරුන් ගේ මේ ප්‍රඥාමහිමය බලනු මැනැවි.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිරයන් වහන්සේ වදාළහ.
කඞ්ඛාරේවත ස්ථවිරගාථා යි.
1. 1. 4.
4. ප්‍රාඥ වූ යථාර්‍ත්‍ථය දක්නාසුලු වූ සත්පුරුෂයන් සමග මැ එක්වවු, අප්‍රමාද වූ විචක්‍ෂණ වූ ප්‍රාඥයෝ මහත් වූ ගැඹුරු වූ දුකසේ දැක්කයුතු වූ නිපුණ වූ සියුම් වූ අර්‍ත්‍ථය (සිව්සස්) අවබෝධ කෙරෙත්.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මන්තානිපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේ වදාළහ.
පුණ්ණ ස්ථවිරගාථා යි.
1. 1. 5.
5. දමනයට දුෂ්කර වූ යමෙක් ආර්‍ය්‍යමාර්‍ගයෙන් දෝහෝ නොහොත් පුරුෂදම්‍යසාරථීහු විසින් දමනය කරන ලද්දේ ද, භාග්‍ය වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති දිනනලද කෙලෙස් ඇති, පහ වූ බිය ඇති අචලස්වභාවයට පැමිණි ඒ ‘දබ්බ’ මහණ ක්ලේශපරිනිර්‍වාණෙයන් පිරිනිවියේ යි.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් දබ්බස්ථවිරයන් වහන්සේ ...
දබ්බ ස්ථවිරගාථා යි.
1. 1. 6.
6. යම් මහණෙක් (විවේක සුව පතා) සීතවනයට පැමිණියේ ද ධෘතිමත් වූ ඒ මහණ හුදෙකලා වූයේ සතුටු වූයේ එකඟසිතැත්තේ කාගියාසී රක්නේ දිනනලද කෙලෙසුන් ඇත්තේ පහ වූ ලොමුදහ ඇත්තේ යි.
මෙසේ ... සීතවනවැසි සම්භූත ස්ථවිරයන් වහන්සේ ...
සම්භූත ස්ථවිරගාථා යි.
1. 1. 7.
7. මහත් වූ ඕඝය ඉතා දුඹුල් වූ නළ හෙයක් මෙන් යමෙක් (කාමාදි) මරසෙන් (අග්‍රමාර්‍ගයෙන්) දුරු කෙළේ ද, කෙලෙසුන් දිනූ පහ වූ බිය ඇති දැමුණා වූ (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවි හෙතෙම අකම්ප්‍ය වූ සිත් ඇත්තේ යි.
මෙසේ ... භල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
භල්ලිය ස්ථවිරගාථා යි.
1. 1. 8.
8. දුකසේ දමනය කළයුතු යමෙක් ආර්‍ය්‍යමාර්‍ගයෙන් දෝහෝ නොහොත් පුරුෂදම්‍යසාරථිහු විසින් දමනය කරනලද්දේ ද, වීර වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති කෙලෙසුන් දිනූ පහ වූ ලොමුදහ ඇති ඒ වීර මහණ පිරිනිවියේ (එහෙයින් මැ) අචලස්වභාව ඇත්තේ යි.
මෙසේ ... ආයුෂ්මත් වීර ස්ථවිරයන් වහන්සේ ...
වීර ස්ථවිරගාථා යි.
1. 1. 9.
9. මේ මාගේ ස්වාගතයෙකි, (එහෙයින් මැ) දුරාගතයෙක් නො වෙයි, මේ මා විසින් වරදවාගත් සිතිවිල්ලෙක් ද නො වෙයි. කවර හෙයින යත: (දුඃඛාදි) ප්‍රකාරයෙන් බෙදනලද ධර්‍මයෙහි ශ්‍රේෂ්ඨ වූ යම් සිව්සස්දහමෙක් වේ නම් එය ලදිම් ද එහෙයිනි.
මෙසේ ... ආයුෂ්මත් පිළින්‍දවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
පිළින්‍දවච්ඡ ස්ථවිරගාථා යි.
1. 1. 10.
10. යමෙක් මෙ අත්බැව්හි හෝ පරඅත්බැව්හි නොහොත් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි තෘෂ්ණාව වෙසෙසින් දුරු කෙළේ ද මඟනුවණින් (නිවනට) ගිය සන්හුන් වූ (මාර්‍ගසංවරයෙන්) සංයත වූ සිතැති හෙතෙම (උපාදානස්කන්‍ධ) ලෝකයා ගේ උදය ව්‍යය ද දැන සියලු ආලම්බනධර්‍මයන්හි නො ඇලුණේ වේ.
මෙසේ ... පුණ්ණමාස ස්ථවිරයන් වහන්සේ ...
පුණ්ණමාස ස්ථවිරගාථා යි.
ප්‍රථම වර්‍ගය යි.
උද්දානය:
සුභූති ස්ථවිර ද කොට්ඨිත ස්ථවිර ද කඞ්ඛාරේවත ස්ථවිර ද මන්තානිපුත්‍ර (පුණ්ණ) ස්ථවිර ද දබ්බ ස්ථවිර ද සීතවන වැසි (සම්භූත) ස්ථවිර ද භල්ලිය ස්ථවිර ද වීර ස්ථවිර ද පිළින්‍දවච්ඡ ස්ථවිර ද අවිදු අඳුර දුරු කරන පුණ්ණමාස ස්ථවිර දැ යි (ප්‍රථමවර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.)
ද්විතීය වර්‍ගය
1. 2. 1.
11. බුදුරදුන් වදාළ (නවලොවුතුරු) දහම්හි ප්‍රමෝද බහුල වූ මහණ තෙම ශාන්තපද වූ සංස්කාරයන් ගේ ව්‍යුපශම සඞ්ඛ්‍යාත (නිවන්) සුවය විඳිනේ යි.
මෙසේ ... චූළවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
චූළවච්ඡ ස්ථවිරගාථා යි.
1. 2. 2.
12. (පාරිහාරිය විපස්සනා වශයෙන්) ප්‍රඥාබල ඇති (සිව්පිරිසිදු) සීලයෙන් හා (ධූතධම්ම සඞ්ඛ්‍යාත) ව්‍රතයෙන් සමන්‍වාගත වූ එකඟසිත් ඇති ධ්‍යානයෙහි ඇලුණු මනාසිහි ඇති (කායස්ථිති ආදී) අර්‍ත්‍ථයෙන් නො වෙන් වැ අහර වළඳන මේ සසුන්හි රහතන් වහන්සේ (අනුපාදා පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නාහු යි.
මෙසේ ... මහාවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
මහාවච්ඡ ස්ථවිරගාථා යි.
1. 2. 3.
13. නිල්වලා බඳු වූ පැහැපත් සිහිල්දිය ඇති, සුවිශුද්ධභූමිභාග ඇති, රතිඳුගොව්වන් විසින් වැසුණු ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
මෙසේ ... වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
වනවච්ඡ ස්ථවිරගාථා යි.
1. 2. 4.
14. “සීවකය, මෙයින් වනයට යම්හ” යි උපාධ්‍යායයන් වහන්සේ මට කීහ, මාගේ කය ගම්හි වෙසෙයි, (එහෙත්) මාගේ සිත අරණ්‍යයට ගියේ යි. හෝනෙම් නමුදු යෙමි. (කාමයෙහි ආදීනව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්) දන්නවුන් ගේ (කිසිවක) ඇලීමෙක් නැති.
මෙසේ ... ආයුෂ්මත් වනවච්ඡ තෙරුන්ගේ හෙරණුන් දෑ ...
වනවච්ඡත්‍ථේර සාමණෙරගාථා යි.
1. 2. 5.
15. (ඕරම්භාගිය සංයෝජන) පස සිඳින්නේ යැ, (උද්ධම්භාගිය සංයෝජන) පස දුරැලන්නේ යැ, මත්තෙහි (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්) පස ද, වඩන්නේ යැ, (රාගාදි) පඤ්ච සඞ්ගයන් ඉක්ම ගිය මහණ තෙම ඕඝතිණ්ණ (කාමාදිචතුරෝඝයන් තරණය කෙළේ) යයි කියනු ලැබේ.
මෙසේ ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ ...
කුණ්ඩධාන ස්ථවිරගාථා යි.
1. 2. 6.
16. අං ඇති සොඳුරු අජානීය වෘෂභයෙක් නඞ්ගලපථයෙහි (හීවිටෙහි) යම්සේ නිදුකින් යේ ද, එසෙයින් මට දවරෑ නිදුකින් ඉක්මෙයි. (මා විසින්) නිරාමිස (ඵලසමවත්) සුවය ලබන ලද්දේ යි.
මෙසේ ... බෙල්ලට්ඨිසීස ස්ථවිරයන් වහන්සේ ...
බෙල්ලට්ඨිසීස ස්ථවිරගාථා යි.
1. 2. 7.
17. යම් කලෙකැ මඳ නුවණැත්තේ ථීනමිද්ධයෙන් මඩනා ලදුයේ බොහෝ කොට අහර බුදින්නේත් වේ ද, නිදනසුලු වූයේ පෙරැළි පෙරැළී නිදන්නේත් වේ ද හෙතෙම හූරු බතින් පුස්නාලද මහහූරකු සෙයින් පුනපුනා ගැබට වදී. (සසර උපදී යි සේ යි)
මෙසේ ... දාසක ස්ථවිරයන් වහන්සේ ...
දාසක ස්ථවිරගාථා යි.
1. 2. 8.
18. බුදුන්ගේ (නව ලොවුතුරු දහම්) දායාද ඇති මහණෙක් භේසකලාවනයෙහි වෙයි. (හෙතෙම) මේ සියලු (ආත්මභාව සඞ්ඛ්‍යාත) පෘථිවිය ‘අට්ඨික’ සංඥායෙන් පතුළේ ය, හෙතෙම වහාමැ කාමරාගය ප්‍රහීණ කෙරේ යයි මම හඟිමි.
මෙසේ ... සිගාලපීතෘ ස්ථවිරයන් වහන්සේ ...
සිගාලපීතෘ ස්ථවිරගාථා යි.
1. 2. 9.
19. දියාළුවෝ දිය (රිසි රිසි තැනට) ගෙනයෙති, හීවඩුවෝ හීය (රිසිසේ) නමති, (ඍජු කෙරෙති යි සේ යි). දැව වඩුවෝ දැවය නමති, එසේම ශීලාදී මනා පැවතුම් ඇත්තාහු තමා (සිත) දමනය කෙරෙත්.
මෙසේ ... කුණ්ඩල ස්ථවිරයන් වහන්සේ ...
කුණ්ඩල ස්ථවිරගාථා යි.
1. 2. 10.
20. මට මරණයෙහි බියක් නැත, ජීවිතයෙහි අපේක්‍ෂාවක් නැති, සම්‍යග්ඥාන ඇත්තෙම් එළඹසිටිසිහි ඇත්තෙම් සිය සිරුර බහාතබන්නෙමි.
මෙසේ ... අජිත ස්ථවිරයන් වහන්සේ ...
අජිත ස්ථවිරගාථා යි.
ද්විතීය වර්‍ගය යි.
උද්දානය:
චුළවච්ඡ ස්ථවිර යැ, මහාවච්ඡ ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, සීවක ස්ථවිර යැ, කුණ්ඩධාන ස්ථවිර යැ, බෙල්ලට්ඨිසීස ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, ඉන් මතුයෙහි සිගාල පීතෘ ස්ථවිර යැ, කුණ්ඩල ස්ථවිර යැ, අජිත ස්ථවිර යැ යි දෙවැනි වගැ තෙරවරු දස දෙනෙකි.
තෘතීය වර්‍ගය
1. 3. 1.
21. මම භය (ජාතිජරාමරණාදි) හේතුයෙන් නො බමි, අප ගේ ශාස්තෘහු අමෘතයෙහි නිපුණයහ. යම් නිවනෙකැ බිය නො බැසැගෙන සිටී නම් භික්‍ෂූහු ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් එහි යෙත්.