Theragāthā

Verses of the Elder Monks

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1601-1700 න් 2247

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-thag-11:188.9
මෙසේ ආයුෂ්මත් අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ ...
kn-thag-11:188.10
අධිමුත්ත ස්ථවිරගාථා යි.
kn-thag-11:188.11
20. 1. 2.
kn-thag-11:188.12
726. එකලා වැ හුන්නා වූ පවිවේකය ඇති ධ්‍යාන කරනසුලු වූ ශ්‍රමණ වූ පාරාපරිය නම් වූ භික්‍ෂූහට සිතිවිල්ලෙක් උපනි.
kn-thag-11:188.13
727. මිනිසා කවර පිළිවෙතක් කවර ශීලයක් ඇසුරු කරන්නේ තමා ගේ කටයුතු කරනසුලු වන්නේ ද කිසිවකු නො පෙළන්නේත් වේ දැ?යි.
kn-thag-11:188.14
728. ඉන්‍ද්‍රියයෝ මිනිසුන්ට හිත පිණිස ද අහිත පිණිස ද පවතිත්, නොරක්නාලදහු අහිත පිණිසත් රක්නාලදහු හිත පිණිසත් පවතිත්.
kn-thag-11:188.15
729. ඉන්‍ද්‍රියයන් මැ මැනැවින් රක්නේත් ඉන්‍ද්‍රියයන් මැ ගෝපනය කරන්නේත් තමාගේ කටයුතු කරනසුලු වෙයි, හෙතෙම කිසිවකු නො පෙළන්නේත් වේ.
kn-thag-11:188.16
730. ඉදින් (යමෙක්) රූ අරමුණු කරා යන්නා වූ චක්‍ෂුරින්‍ද්‍රියය නො වළකන්නේ ආදීනව නො දක්නාසුලු වේ නම් හෙතෙම දුකින් නො මැ මිදේ.
kn-thag-11:190.1
731. ඉදින් සද අරමුණු කෙරෙහි යන්නා වූ ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය නො වළකන්නේ ආදීනව නො දක්නාසුලු වේ නම් හෙතෙම දුකින් නො මැ මිදේ.
kn-thag-11:190.2
732. ඉදින් නිස්සරණය නො දක්නාසුලු වැ ගන්‍ධාරම්මණය සෙවුනේ නම් ගන්‍ධාරම්මණයෙහි මුසපත් වූ හෙතෙම දුකින් නො මිදේ.
kn-thag-11:190.3
733. ඇඹුල යැ මිහිර යැ තිත්ත යැ යන රසයන් සිහි කෙරෙමින් රසතෘෂ්ණායෙහි ගිජු වූයේ (පැවිද්දෙහි උපන්) සිත අවබෝධ නො කෙරේ.
kn-thag-11:190.4
734. අනුකූල වූ ශුභස්පර්‍ශයන් සිහි කෙරෙමින් (එහි) ඇලුණේ රාග හේතු වූ නොයෙක් දුක් විඳී.
kn-thag-11:190.5
735. ඉදින් යමෙක් මේ (රූපාදි) අරමුණු කෙරෙන් සිත රක්නට නො සමත් වේ නම් එහෙයින් මේ සියලු පඤ්චාරම්මණයන් කරණ කොට ගෙන දුක ඔහු ලුහුබඳී.
kn-thag-11:190.6
736. සමර්‍ත්‍ථශිල්පියකු විසින් සාදනලද, විසිතුරු කරනලද, පූයා හා ලෙහෙයෙන් පිරුණු බොහෝ කුණපයෙන් ද පිරුණු මනරම් සුමුගක් (බඳුනක්) වැනි වූ,
kn-thag-11:190.7
737. කටුක වූ (එහෙත්) මධුරාස්වාද ඇත්තා වූ, දුක් වූ (එහෙත්) ප්‍රිය ස්වරූප ඇත්තා වූ මිහියෙන් තවරනලද කරයක් ලොවිනා එකකු සෙයින් (සිරුර පහසනුයේ දුක) අවබෝධ නො කෙරේ.
kn-thag-11:190.8
738. මාගම්රූහි ද මාගම්සදෙහි ද මාගමගේ පහසෙහි ද මාගම් ගඳෙහි ද ඇලුණේ නොයෙක් දුක් විඳී.
kn-thag-11:190.9
739. මාගමගේ (රූපාරම්මණාදි) පස්වැදෑරුම් වූ සියලු ශ්‍රෝතස්හු (නදීහු) (පුරුෂයාගේ) පඤ්චද්වාරයෙහි ගලා යත්, ඔවුන් අවුරන්නට වීර්‍ය්‍ය ඇති යමෙක් සමර්‍ත්‍ථ වේ නම්,
kn-thag-11:190.10
740. හෙතෙම අර්‍ත්‍ථවත් යැ, හෙතෙම ධර්‍මස්ථ යැ, හෙතෙම දක්‍ෂ යැ, හෙතෙම විචක්‍ෂණ යැ, හෙතෙම (ගෘහරතියෙන්) රමණය කරන්නේ නමුදු ධර්‍මාර්‍ත්‍ථයෙන් යුත් කෘත්‍යයක් මැ කරන්නේ යි.
kn-thag-11:190.11
741. වැළිත් (ඓහිකාර්‍ත්‍ථයෙන්) යුක්ත වූ (පාරත්‍රිකාර්‍ත්‍ථ රහිත බැවින්) නිරර්‍ත්‍ථක වූ කෘත්‍යය නො කරයි, අප්‍රමාද (ස්මෘතිමත්) වූ නුවණැත්තේ ‘එය නො කටයුතු යැ යි දැනැ හරනේ යි.
kn-thag-11:190.12
742. අර්‍ත්‍ථසංහිත වූ යම් කෘත්‍යයෙකුත් වේ ද අධිකුශලධර්‍මගත වූ යම් රතියකුත් වේ ද එය සමාදන් වැ (මැනැවින් ගෙන) පවත්නේ යැ, එකත්නෙන් ඒ උතුම් රතිය යි.
kn-thag-11:190.13
743. යමෙක් කුදුමහත් උපායයන් ගෙන් අන්සතු දැය දිනනු කැමැති වේ ද හෙතෙම (අනුන්) නසා, පෙළා නොහොත් ශෝක කරවා සැහැසි කමින් අන්සතු දැය වොලොගනි (පැහැරැගනී).
kn-thag-11:190.14
744. යම්සේ (කයින් නුවණින්) සවි ඇති වඩුවෙක් ඇණයෙන් කොටමින් (දැවයෙහි සිටි) ඇණය බැහැර කෙරේ නම් එපරිද්දෙන් සමත් මහණ තෙම ඉඳුරන් කරණ කොට ගෙන මැ ඉඳුරන් බැහැර කෙරේ.
kn-thag-11:192.1
745. ශ්‍රද්ධාවත් වීර්‍ය්‍යයත් සමාධියත් ස්මෘතියත් ප්‍රඥාවත් වඩන්නා වූ (බාහිත පාපී) බ්‍රාහ්මණ තෙම පසිඳුරන්ගෙන් පසිඳුරන් නසා නිදුක් වැ (නිවනට) යේ.
kn-thag-11:192.2
746. හෙතෙම තමහට වැඩ ඇත්තේ යැ, හෙතෙම බුදුන්ගේ අවවාද වාක්‍යය සියල්ලෙන් සියල්ල කොට (පිළිපැද) ධර්‍මයෙහි සිටියේ යැ, එ (උතුම්) පුරුෂ තෙම (නිවන් සුව) වඩා’ යි.
kn-thag-11:192.3
මෙසේ ආයුෂ්මත් ‘පාරාසරිය’ ස්ථවිරයන් වහන්සේ ...
kn-thag-11:192.4
පාරාසරිය ස්ථවිරගාථා යි.
kn-thag-11:192.5
20. 1. 3.
kn-thag-11:192.6
747. දිගුකලක් මුළුල්ලෙහි වීර්‍ය්‍ය ඇත්තෙම් විමෝක්‍ෂධර්‍මය සොයන්නෙම්, මහණ බමුණන් විචාරන්නෙම් චිත්තයාගේ ව්‍යුපශමය වූ ආර්‍ය්‍යධර්‍මය නො ලදිමි.
kn-thag-11:192.7
748. යමෙක් ලොවැ පරතෙරට ගියේ නම් හේ කවරේ ද? කවරෙක් නිර්‍වාණ නැමැති ප්‍රතිෂ්ඨාවට පැමිණියේ ද? කවරක්හුගේ පරමාර්‍ත්‍ථාවබෝධන ධර්‍මය පිළිගනිම් ද?
kn-thag-11:192.8
749. බිලිය ගිලි මසකු මෙන් ඇතුළත (හෘදයයෙහි) වඞ්කගතයෙක් වීමි. මහේන්‍ද්‍ර (ශක්‍ර) පාශයෙන් ‘වේපචිත්ති’ අසුරයා මෙන් (මම) ක්ලෙෂපාශයෙන් බැඳුණෙමි.
kn-thag-11:192.9
750. (මම) එය (ක්ලේශපාශය) අදිමි. (එතෙකුදුවත්) මේ ශෝකපරිදේවයෙන් නො මිදෙමි. ලෝකයෙහි කවරෙක් බන්‍ධනය මුදමින් මට විමොක්‍ෂමාර්‍ගය ප්‍රකාශ කරන්නේ ද?
kn-thag-11:192.10
751. කෙලෙසුන් නසන්නා වූ දහම් දෙසන කවර මහණකු හෝ බමුණකු හෝ පිණිස්සෙම් (ගිවිස්නෙම්) ද, ජරාමරණ උල්පවා හරනා වූ කවරකුගේ දහම් පිණිස්නෙම් ද?
kn-thag-11:192.11
752. විචිකිච්ඡායෙන් හා සැකයෙන් ගෙතුණු (කරණොත්තරීය කරණ ලක්‍ෂණ) සාරම්භබලයෙන් මොනවට බඳනාලද ක්‍රෝධයට පැමිණි සිත් විසින් දැඩි වූ ප්‍රාර්‍ත්‍ථනා නැමැති විදාරණය ඇති,
kn-thag-11:192.12
753. තෘෂ්ණා නැමැති දුන්නෙන් නැඟෙන්නා වූ, (විංශද්වස්තුක සත්කායදෘෂ්ටි දශවස්තුක මිථ්‍යාදෘෂ්ටි විසින්) තිසක් පමණ වූ දෘෂ්ටිශල්‍යය ළය දැඩි වැ පළාගෙන ළයෙහි මැ සිටී. (එය) බලව.
kn-thag-11:192.13
754. සෙසු දෘෂ්ටීන්ගේ අප්‍රහාණ කාරණය වූ මිථ්‍යා විතර්‍ක විසින් අන්‍යයන් උත්සාහවත් කරනලද්දා වූ (යම් සත්කායදෘෂ්ටිශල්‍යයෙක් ඇද්ද) එයින් විදුනාලද්දෙම් පවනින් සොලවනලද පත්‍රයක් මෙන් අතිශයින් වෙවුළමි.
kn-thag-11:192.14
755. සවැදෑරුම් ස්පර්‍ශායතනය මාගේ ආත්මභාවයෙහි නැඟී මා සතු ආත්මභාවය යුහු වැ දවයි, හේ යම් තැනෙක උපන්නේ නම් එහි හැම කල්හි හැසිරේ (පවතී).
kn-thag-11:192.15
756. යමෙක් ඒෂණිසලාකායෙන් හෝ සැතින් හෝ අන්‍ය මන්ත්‍රාගදයකින් හෝ පිළියම් නො කළහැකි මාගේ ඒ ශල්‍යය උදුරා නම් ඒ සැත් වෙදහු නො දක්මි.
kn-thag-11:194.1
757. කවරෙක් සැත් නැති වැ වණ රහිත වැ කිසි අවයවයක් නො පෙළමින් මාගේ හෘදය ඇසිරි කොට ඇති (දෘෂ්ටි-ක්ලේශ) ශල්‍යය උදුරන්නේ ද?
kn-thag-11:194.2
758. (යමෙක්) ගැඹුරෙහි වැටුණු මට නිර්‍වාණ ස්ථලයත් මාර්‍ග හස්තයත් ඇරැපව් නම් ධර්‍මහේතුවින් විෂදෝෂයන් සිඳුනා වූ හෙතෙම ශ්‍රේෂ්ඨ යි.
kn-thag-11:194.3
759. මම ඉවත් කළ නො හැකි වූ රාගාදි රජස් මැටි ඇති මායා උසූයා, සාරම්භ, ථීනමිද්ධ යන මොවුන් පැතිර ඇති ජලාශයෙකැ ගිලුණෙම් වෙමි.
kn-thag-11:194.4
760. ඖද්ධත්‍ය නැමැති මේඝගර්‍ජනා ඇති සංයෝජන නැමැති වලාහක ඇති රාගනිශ්ශ්‍රිත සංකල්ප නැමැති ප්‍රවාහයෝ මිසදිටු මා අපාය නැමැති සමුද්‍රයට ගෙනයත්.
kn-thag-11:194.5
761. තෘෂ්ණාදි ශ්‍රෝතස්හු රූපාරම්මණාදි සියලු තැන්හි ගලා යෙත්. තෘෂ්ණා ලතාව හැප්සැ සිටී, ඒ ශ්‍රෝතසුන් කවරෙක් වළහන්නේ ද? ඒ ලතාව කවරෙක් සිඳලන්නේ ද?
kn-thag-11:194.6
762. වහන්ස, ශ්‍රෝතසුන් අවුරන හෙයක් (වේල්ලක්) කරවු, තොපගේ මනෝමය ශ්‍රෝතය රුකක් මෙන් (තොප) ලාහෙළා නො සිඳීවා (නො හෙළාවා:)
kn-thag-11:194.7
763. මෙසේ හටගත් බිය ඇත්තා වූ මෙතෙරින් (සසරින්) එතෙර (නිවන) සොයන්නා වූ මට ආරක්‍ෂක වූ ඍෂිසමූහයා විසින් සෙවුනා ලද, ප්‍රඥා නැමැති ආයුධ ඇති ශාස්තෲන් වහන්සේ,
kn-thag-11:194.8
764. මොනවට කරනලද ශුද්ධ වූ ධර්‍මසාරමය වූ දෘඪ වූ සෝපාණයක් දුන්හ, (දියෙහි) පාවී යන්නා වූ මට ‘නහමක් බව’යි ද වදාළහ.
kn-thag-11:194.9
765. සීවටන් පහයට නැඟැ ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි. සත්කායයෙහි ඇලුණු යම් ඒ ප්‍රජාවක් පෙර (අඥාන බැවින් සාරත්වයෙන්) සිතුයෙම් නම්,
kn-thag-11:194.10
766. (ඒ මම) වැළිදු යම් කලෙකැ නැවට නැඟෙන මඟ දුටුයෙම් නම්, එකල්හි ආත්මයෙහි නො සිට උත්කෘෂ්ට වූ තීර්‍ත්‍ථය දිටිමි.
kn-thag-11:194.11
767. ක්ලේශ ශල්‍යය සන්තානයෙහි නැඟුණේ යැ, භවතෘෂ්ණාව විසින් පහළ කරනලද්දේ යැ, මොවුන්ගේ නො පැවැත්ම පිණිස උතුම් මඟ (ශාස්තෲන් වහන්සේ) දෙසූහ.
kn-thag-11:194.12
768. ක්ලේශවිෂදෝෂයන් සිඳුනා සර්‍වඥ තෙම දිගුකලක් අනුශය වැ පැවැති, බොහෝ කලක් සන්තානාරූඪ වැ සිටි, මාගේ (අභිධ්‍යාකායග්‍රන්‍ථාදි) ග්‍රන්‍ථය පහ කෙළේ යි.
kn-thag-11:194.13
මෙසේ ආයුෂ්මත් තේලකානි ස්ථවිරයන් වහන්සේ ...
kn-thag-11:194.14
තේලකානි ස්ථවිරගාථා යි.
kn-thag-11:196.1
20. 1. 4.
kn-thag-11:196.2
769. යම් ශරීරයක්හුගේ ධ්‍රැව (නිත්‍ය) ස්ථිතිභාවයක් නැද් ද, වණ වූ ඇටසැකිල්ල විසින් හුවනලද්දා වූ, ගිලන් වූ, බාල ජනයන් විසින් නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ, විසිතුරු කරනලද්දා වූ ඒ සිරුර බලව.
kn-thag-11:196.3
770. සමින් වෙළනලද (තුන්සියක්) ඇට ඇති, මිණියෙනුදු කෙඬොලිනු ද විසිතුරු කරනලද රූපය බලව, වස්ත්‍ර සහිත වැ මැ හොබී.
kn-thag-11:196.4
771. ලාරසින් රඳනා ලද පාදයෝ, සුවඳ සුන්නෙන් තවරනලද මුව, බාලයා ගේ සම්මෝහයට පමණැ, පාරගවෙෂිහු ගේ මෝහයට නො ද පමණි.
kn-thag-11:196.5
772. කියඹුවැල් ද අඳුන් ඇඳි නෙත් ද බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහු ගේ මෝහයට නො ද පමණි.
kn-thag-11:196.6
773. සිතියම් කළ අළුත් අඳුන් කොපුවක් මෙන් සරසනලද කුණුකය බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
kn-thag-11:196.7
774. මුවවැදි තෙම මලපුඩුව දමාලී යැ, මුවා පාශය නො පැහැසී (නො ගැටී) යැ, මුවවැද්දා හඬද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
kn-thag-11:196.8
775. මුවවැද්දාගේ මලපුඬුව සිඳුණේ යැ, මුවා පාශය නො පැහැසී යැ, මුවවැද්දා සොවිද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
kn-thag-11:196.9
776. ලෝකයෙහි ධනවත් මිනිසුන් දක්මි, ඔහු ධනය ලැබැ මෝහ හේතුවින් නො දෙත්, ලුබ්ධයෝ ධනය රැස් කෙරෙත්, මතුයෙහි බෙහෙවින් මැ කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
kn-thag-11:196.10
777. රජ තෙම බලාත්කාරයෙන් පෘථිවිය දිනාගෙන සයුරු හිම කොට ඇති පොළොවැ රජය කරන්නේ මුහුදින් මෙතෙරට නො තිත් සැහැවි ඇතියා වැ මුහුදින් එතෙර ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ යි.
kn-thag-11:196.11
778. රජ තෙමේ ද අනිත් බොහෝ මිනිස්සු ද නො පහ වූ තෘෂ්ණා ඇති වැ මරණයට පැමිණෙත්, නුපුන් මනදොළ මැ ඇති වැ සිරුර හැරැදමත්, ලෝකයෙහි කාම හේතුවින් තෘප්තියක් නැත් මැ යි.
kn-thag-11:196.12
779. ඥාතීහු කෙහෙවලු විසුරුවාගෙන ඔහු ගැන හඬත්, ‘අහෝ එකත්නෙන් අප නෑයෝ අමර වෙත්ව’යි ද කියත්, ඉක්බිති කඩින් පොරෝනාලද ඔහු ගෙන ගොස් සෑය නගා දවත්.
kn-thag-11:196.13
780. හෙතෙම භෝගයන් හැරැ එක්වතින් යුතු වැ හුලින් පෙළනු ලැබෙමින් දැවෙයි, මැරෙන්නහුට ඥාතීහූ ද මිත්‍රයෝ ද නොහොත් සහායකයෝ ද ආරක්‍ෂක නො වෙත්.
kn-thag-11:196.14
781. දායාදයෝ ඔහුගේ ධනය ගෙන යෙත්. සත්ත්‍ව තෙම කර්‍මානුරූපවැ යේ, අඹුදරුවෝ යැ ධනය යැ රට යැ යන කිසිවක් මැරෙන්නහු අනු වැ නො ඒ.
kn-thag-11:198.1
782. ධන හේතුවින් දීර්‍ඝායුෂ නො ලැබෙයි. භෝග හේතුවින් ජරාව නො නැසෙයි, ‘ජීවිතය අල්ප යැ, අශාශ්වත යැ, විපරිණාම ස්වභාව ඇත්තේ යැ’යි ප්‍රාඥයෝ කීහු මැ යි.
kn-thag-11:198.2
783. ධනවත්තු ද දිළින්දෝ ද පහස පහසිත් (ස්පර්‍ශය ලැබෙත්,) නුවණ මඳ වූයේ ද නුවණැත්තේ ද එසේ මැ පැහැසුණේ (ස්පර්‍ශ ලද්දේ) වෙයි, බාල තෙම බාල බැවින් පෙළුණේ මැ හො වී. පහසින් පැහැසුණු නුවණැත්තේ මැ නො සැලේ.
kn-thag-11:198.3
784. එහෙයින් මැ යමෙකින් මෙලොවැ කෙළවරට යේ නම් ඒ ප්‍රඥාව මැ ධනයට වඩා ශ්‍රේෂ්ඨ යැ, නිෂ්ඨාවට නො පැමිණියේ කුදුමහ භවයන්හි මෝහ හේතුවින් පව්කම් කෙරේ.
kn-thag-11:198.4
785. පුනපුනා සසරට පැමිණ ගැබටත් පරලොවටත් එළැඹෙයි, ඔහුගේ පාපක්‍රියා හදහන මඳනුවණැත්තේ ද ගැබටත් පරලොවටත් එළැඹේ.
kn-thag-11:198.5
786. ලාමකගති ඇති සොර තෙම සන්‍ධිමුඛයෙහි (උමංබිඳුමෙහි) දී බැඳැ ගන්නාලද්දේ සියකැමින් යම්සේ පෙළනුලැබේ ද එසේ මැ පාපධර්‍ම ඇති ප්‍රජාව පරලොවට පැමිණ ස්වකීය කර්‍මය විසින් පෙළනුලබ.
kn-thag-11:198.6
787. නරපතිය, යම්හෙයෙකින් කාමයෝ විසිතුරු ද මිහිරි ද මනරම් ද විවිධරූප ස්වභාවයෙන් සිත් අලළත් ද, එහෙයින් මැ මම කාමගුණයෙහි ආදීනව දැකැ පැවිදි වූයෙමි.
kn-thag-11:198.7
788. තරුණ වූ ද මහලු වූ ද මිනිස්සු ශරීරභේද හෙයින් ද්‍රැමඵලයන් (ගස්ගෙඩි) මෙන් ඇද වැටෙත්, මහරජ තෙල කරුණ ද දැකැ පැවිදි වීමි, නිවැරැදි ශ්‍රමණභාවය මැ උත්තරීතර යි.
kn-thag-11:198.8
789. මම සැදැහැයෙන් පැවිදි වීමි, ශාස්තෘශාසනයෙහි පිළිවෙතට එළැඹියෙමි, මා ගේ පැවිද්ද නො වඳ යැ, ණය නැත්තෙම් අහර වළඳමි.
kn-thag-11:198.9
790. කාමයන් ඇවිළගත්තවුන් ලෙසින්, ස්වර්‍ණවිකෘතීන් ආයුධයන් ලෙසින් දැකැ ගර්‍භාචක්‍රාන්තියෙහි පටන් දුක් යැ, නිරයෙහි මහත් භය යැ යන,
kn-thag-11:198.10
791. තෙල ආදීනව දැනැ එදා සංවේගය ලදිමි, මම එදා (ගිහිකල්හි රාගාදිශල්‍යයෙන්) විදුනාලද්දෙම් මැ ආස්‍රවක්‍ෂයට පැමිණියෙමි.
kn-thag-11:198.11
792. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ අවවාදය කරනලදි, ගුරුබර බහා තබනලද්දේ යැ, තෘෂ්ණාව උදුරනලදු.
kn-thag-11:198.12
793. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යි.
kn-thag-11:198.13
මෙසේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහයි.
kn-thag-11:198.14
රට්ඨපාල ස්ථවිරගාථා යි.
kn-thag-11:200.1
20. 1. 5.
kn-thag-11:200.2
794. රූපය දැකැ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ (එය) විඳී, යළි එහි වැදැගෙන සිටී.
kn-thag-11:200.3
795. ඔහු ගේ නොයෙක් වේදනාවෝ රූපයෙන් හටගත්තාහු වැඩෙත්. අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනු ලැබේ.
kn-thag-11:200.4
796. ශබ්දය අසා ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
kn-thag-11:200.5
797. ඔහුගේ නොයෙක් වේදනාවෝ ශබ්දාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනුලැබේ.
kn-thag-11:200.6
798. ගන්‍ධාඝ්‍රාණය කොට ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
kn-thag-11:200.7
799. ඔහුගේ නොයෙක් වේදනාවෝ ගන්‍ධාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
kn-thag-11:200.8
800. රසය අනුභව කොට ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
kn-thag-11:200.9
801. ඔහු ගේ නොයෙක් වේදනාවෝ රසාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ. මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
kn-thag-11:200.10
802. ස්පර්‍ශය විඳ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
kn-thag-11:200.11
803. ඔහුගේ නොයෙක් වේදනාවෝ ස්පර්‍ශාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
kn-thag-11:200.12
804. ධර්‍මාරම්මණය දැනැ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
kn-thag-11:200.13
805. ඔහුගේ නොයෙක් වේදනාවෝ ධර්‍මාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනුලැබේ.
kn-thag-11:200.14
806. යමෙක් රූ අරමුණ දැකැ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම රූපයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
kn-thag-11:200.15
807. යම්සේ රූපය දක්නා වූ ද (එය අරමුණු කොට උපන්) වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ ද රැස් නො වේ ද හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
kn-thag-11:202.1
808. යමෙක් ශබ්දය අසා එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ශබ්දයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
kn-thag-11:202.2
809. යම්සේ ශබ්දය ශ්‍රවණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
kn-thag-11:202.3
810. යමෙක් ගන්‍ධාඝ්‍රාණය කොට එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ගන්‍ධාරම්මණයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
kn-thag-11:202.4
811. යම්සේ ගන්‍ධාඝ්‍රාණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ. මෙසේ දුක් පහ කරන්නහු ගේ නිවන ළඟ යැ යි කියනුලැබේ.
kn-thag-11:202.5
812. යමෙක් රසානුභවය කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම රසයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
kn-thag-11:202.6
813. යම්සේ රසාස්වාදය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.