Pali BJT982. අල්ලං සුක්ඛං වා{3} භුඤ්ජන්තො න බාළ්හං සුහිතො සියා, ඌනොදරො{4} මිතාහාරො සතො භික්ඛු පරිබ්බජෙ.
Sinhala BJT982. තෙත්දැය හෝ වියලි දැය හෝ වළඳන්නේ පමණ ඉක්ම සුහිත නො වන්නේ යැ, මහණ තෙම ඌනෝදර වැ පමණට ගන්නා ආහාර ඇති වැ සිහි ඇති වැ වසන්නේ යි.
Pali BJT983. චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්වා උදකං පිවෙ, අලං ඵාසුවිහාරාය පහිතත්තස්ස භික්ඛුනො.
Sinhala BJT983. (කුසපමණින්) සතරපස්පිඬක් නො වළඳා දිය බොන්නේ යැ, නිවනට යවනලද සිත්ඇති මහණහට ඵාසුවිහාරයට පමණි.
Pali BJT984. කප්පියං තං චෙ ඡාදෙති{5} තීවරං ඉදමත්ථිතං, අලං ඵාසුවිහාරාය පහිතත්තස්ස භික්ඛුනො.
Sinhala BJT984. ඉදින් වැසියයුතු තැන් වසා නම් මේ සඳහා වූ කැප වූ සිවුර නිවනට යවන ලද සිත් ඇති මහණහට ඵාසුවිහරණය පිණිස පමණි.
Pali BJT985. පල්ලඞ්කෙන නිසින්නස්ස ජණ්ණුකෙ නාභිවස්සති, අලං ඵාසුවිහාරාය පහිතත්තස්ස භික්ඛුනො.
Sinhala BJT985. (යම්කුටියක) පලගින් හුන්නහුගේ දණ සඟළ (වැසිදිය) නො තෙමා නම් (එ කුටිය) නිවනට යවනලද සිත් ඇති මහණහට ඵාසුවිහාරයට පමණි.
Pali BJT986. යො සුඛං දුක්ඛතො අද්ද දුක්ඛමද්දක්ඛි සල්ලතො, උභයන්තරෙන{6} නාහොසි කෙන ලොකස්මිං{7} කිං සියා.
Sinhala BJT986. යමෙක් සුඛවේදනාව (විපරිණාම) දුඃඛ වශයෙන් දුටුයේ ද දුඃඛවේදනාව ශල්‍ය වශයෙන් දුටුයේ ද දෑතුරෙහි හෙවත් උපෙක්‍ෂායෙහි (ආත්මාත්මීයාභිනිවේශය) නො වී ද හෙතෙම කවර නම් කෙලෙසින් (බැඳී) ලෝකයෙහි (දෙවාදීන් අතුරෙහි) කිම වන්නේ ද?
Pali BJT987. මා මෙ කදාචි පාපිච්ඡො කුසීතො හීනවිරියො, අප්පස්සුතො අනාදරො කෙන ලොකස්මිං{7} කිං සියා.
Sinhala BJT987. පාපේච්ඡයෙක් හීනවීර්‍ය්‍යයෙක් අල්පශ්‍රැතයෙක් අනාදරයෙක් කිසිකලෙකැ මට හමු නො වේවා! සත්ත්‍වනිකායයෙහි (එබඳු පුද්ගලයාගේ) කවර නම් අවවාදයෙකින් කවර අර්‍ත්‍ථයෙක් වන්නේ ද?
Pali BJT988. බහුස්සුතො ච මෙධාවී සීලෙසු සුසමාහිතො, චෙතොසමථමනුයුත්තො අපි මුද්ධනි තිට්ඨතු.
Sinhala BJT988. (යමෙක්) බහුශ්‍රුත නම් ප්‍රඥාවත් නම් ශීලයෙහි මොනවට පිහිටියේ නම් චිත්තසමථයෙහි යෙදුණේ නම් හෙතෙම (මාගේ) මුදුනෙහි පවා සිටීවා.
Pali BJT989. යො පපඤ්චමනුයුත්තො පපඤ්චාභිරතො මගො, විරාධයී සො නිබ්බානං යෙගක්ඛෙමං අනුත්තරං.
Sinhala BJT989. යමෙක් ප්‍රපඤ්චයෙහි (තෘෂ්ණායෙහි) බැඳුණේ ප්‍රපඤ්චයෙහි ඇලුණේ සිවුපාවකු බඳු වූයේ වේ නම් හෙතෙම නිරුත්තර වූ යෝගයන් ගෙන් නිරුපද්‍රැත වූ නිවන වැරැදැ වී (නිවනින් දුරු වූයේ යැ යි සේ යි.)
Pali BJT990. යො ච පපඤ්චං හිත්වාන නිප්පපඤ්චපථෙ රතො, ආරාධයී සො නිබ්බානං යොගක්ඛෙමං අනුත්තරං.
Sinhala BJT990. යමෙකුත් ප්‍රපඤ්චය හැර ආර්‍ය්‍යමාර්‍ගයෙහි ඇලුණේ වේ නම් හෙතෙම නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සිදු කෙළේ යි (සාක්‍ෂාත් කෙළේ යි.)
Pali BJT991. ගාමෙ වා යදි වා රඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ, යත්ථ අරහන්තො විහරන්ති තං භූමිං රාමණෙය්යකං.
Sinhala BJT991. ඉදින් ගම්හි හෝ වේව යි වනයෙහි හෝ වේව යි පහත් බිම්හි හෝ වේවයි උස්බිම්හි හෝ වේවයි යම් තැනෙක රහත්හු වෙසෙත් නම් එබිම රමණීය යි.
Pali BJT992. රමණීයා{1} අරඤ්ඤානි යත්ථ න රමතී මනො, වීතරාගා රමිස්සන්ති{2} න තෙ කාමගවෙසිනො.
Sinhala BJT992. යම් වනයෙකැ ජනයා රමණය නො කෙරේ නම් ඒ වනයෝ රමණීයයෝ යි, වීතරාගීහු එහි රමණය කරන්නාහ. ඔහු කාම ගවේෂීහු නො වෙත්.
Pali BJT993. නිධීනං’ව පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං, නිග්ගය්හවාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ, තාදිසං භජමානස්ස සෙය්යො හොති න පාපියො.
Sinhala BJT993. යමකු නිධන් කියන්නකු මෙන් දක්නේ නම්, වරද දක්නා සුලු (වරදෙහි) නිගා කොට කියනසුලු ධර්‍මොජස්ප්‍රඥා ඇති එබඳු නුවණැත්තහු භජනය කරන්නේ යැ, එබන්දහු භජනය කරන්නහුට වැඩෙක් මැ වෙයි. අවැඩෙක් නො වේ.
Pali BJT994. ඔවදෙය්යානුසාසෙය්ය අසබ්භා ච නිවාරයෙ, සතං හි සො පියො හොති අසතං හොති අප්පියො.
Sinhala BJT994. අවවාද දුන මැනැවැ, අනුශාසනා කළ මැනැවැ, අකුසල් දහමින් ද වළහනු මැනැවැ, එ බඳු පුද්ගල තෙම සත්පුරුෂයනට ප්‍රිය වෙයි. අසත්පුරුෂයනට අප්‍රිය වේ.
Pali BJT995. අඤ්ඤස්ස භගවා බුද්ධො ධම්මං දෙසෙසි චක්ඛුමා, ධම්මෙ දෙසීයමානම්හි සොතමොධෙසිමත්ථිකො, තං මෙ අමොඝං සවනං විමුත්තොම්හි අනාසවො.
Sinhala BJT995. පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ අනෙකකු (බෑනණුවන්) හට දහම් දෙසූහ. දහම් දෙසන කල්හි (මම) අර්‍ත්‍ථ ඇතියෙම් සවන් (දුනිමි) යොමු කෙළෙමි. මා ගේ ඒ ශ්‍රවණය නො සිස් විය. (මම) ආස්‍රව රහිත වැ විමුක්තයෙමි.
Pali BJT996. නෙව පුබ්බෙනිවාසාය න’පි දිබ්බස්ස චක්ඛුනො, චෙතොපරියාය ඉදිධියා චුතියා උපපත්තියා, සොතධාතුවිසුද්ධියා පණිය මෙ න විජ්ජති.
Sinhala BJT996. (මට) පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස (ප්‍රාර්‍ත්‍ථනාවක්) නො වේ මැ යැ, දිව්‍ය චක්‍ෂුස පිණිස ද නො වේ මැ යි, චේතෝපරියඤාණය පිණිස ඍද්ධිවිධඥානය පිණිස ච්‍යුති-උප්පත්ති ඥානය පිණිස දිව්‍යශ්‍රෝතඥානය පිණිස ප්‍රාර්‍ත්‍ථනාවක් මට නැති.
Pali BJT997. රුක්ඛමූලං’ව නිස්සාය මුණ්ඩො සඞ්ඝාටිපාරුතො, පඤ්ඤාය උත්තමො ථෙරො උපතිස්සො ච{3} ඣායති.
Sinhala BJT997. උපතිස්ස තෙමේත් මුඬු වැ සඟළ පෙරෙවියේ ප්‍රඥායෙන් උත්තම වැ ස්ථවිර වැ, රුක්මුල ඇසිරි කොට ධ්‍යාන කෙරේ.
Pali BJT998. අවිතක්කං සමාපන්නො සම්මාසම්බුද්ධසාවකො, අරියෙන තුණ්හීභාවෙන{4} උපෙතො හොති තාවදෙ.
Sinhala BJT998. චතුර්‍ත්‍ථධ්‍යාන සමාපත්තියට සමවන් සම්‍යක් සම්බුද්ධශ්‍රාවක තෙම එකෙණෙහි ආර්‍ය්‍ය වූ තූෂ්ණිම්භාවයෙන් යුක්ත වූයේ වේ.
Pali BJT999. යථා’පි පබ්බතො සෙලො අචලො සුප්පතිට්ඨිතො,{5} එවං මොහක්ඛයා භික්ඛු පබ්බතො’ව න වෙධති.
Sinhala BJT999. යම්සේ අචල වූ මොනොවට පිහිටි ශෛලමය පර්‍වතයෙක් නො සැලේ නම් එසේ මැ මහණ තෙම මෝහක්‍ෂය හේතුවින් අචල වැ සුප්‍රතිෂ්ඨිත වැ පර්‍වතයක් මෙන් නො සැලේ.
Pali BJT1000. අනඞ්ගණස්ස පොසස්ස නිච්චං සුචිගවෙසිනො, වාලග්ගමත්තං පාපස්ස අබ්භමත්තං’ව ඛායති.
Sinhala BJT1000. ලාමක ඉච්ඡාවචර රහිත වූ නිරතුරු පාරිසුද්ධිය සොයනසුලු පුරුෂයාහට වලගක් පමණ වූ වරද වලාවක් පමණ මෙන් හැඟේ.
Pali BJT1001. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, නික්ඛිපිස්සං ඉමං කායං සම්පජානො පතිස්සතො.
Sinhala BJT1001. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි. සම්‍යක් ප්‍රඥා ඇතියෙම් සිහි ඇතියෙම් මේ කය බහා තබන්නෙමි.
Pali BJT1002. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, කාලං ච පටිකඞ්ඛාමි නිබ්බිසං භතකො යථා.
Sinhala BJT1002. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි. බැළයට මෙහෙ කරන සේවකයකු මෙන් කල් මතුවක් අපේක්‍ෂා කරමි.
Pali BJT1003. උභයෙනමිදං මරණමෙව නාමරණං පච්ඡා වා පුරෙ වා, පටිපජ්ජථ මා විනස්සථ ඛණො වො{1} මා උපච්චගා.
Sinhala BJT1003. පසු හෝ පෙර හෝ දෙකල්හි මැ මරණය මැ යි. නො මැරිමෙක් නැත් මැ යි. පිළිවෙත් පුරවු, නහමක් වැනසෙවු, ක්‍ෂණ සම්පත්තිය එකත්නෙන් නහමක් (තොප) ඉක්මැ යා.
Pali BJT1004. නගරං යථා පච්චන්තං ගුත්තං සන්තරබාහිරං, එවං ගොපෙථ අත්තානං ඛණො වො මා උපච්චගා, ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
Sinhala BJT1004. ඇතුළත පිටත සහිත වැ ගෝපනය කරනලද පසල් නුවරක් යම්සේ ද එපරිද්දෙන් තමා රකිවු. ක්‍ෂණය තෙම එකත්නෙන් (තොප) නො ඉක්මැ යා, ක්‍ෂණ සම්පත්තිය ඉක්මගියාහු (සියකම් විසින් නිරෑහි දමනලද්දාහු) ශෝක කෙරෙත් මැ යි.
Pali BJT1005. උපසන්තො උපරතො මන්තභාණී{2} අනුද්ධතො, ධුනාති පාපකෙ ධම්මෙ දුමපත්තං ව මාලුතො.
Sinhala BJT1005. උපශාන්ත වූයේ දුසිරිතින් වැළකුණේ මිතභාණී වූයේ උද්ධත නො වූයේ පවන රුක්පතක් සලන්නාක් මෙන් පාපධර්‍මයන් සල්වයි. (බැහැර කරයි).
Pali BJT1006. උපසන්තො උපරතො මන්තභාණී{2} අනුද්ධතො, අප්පාසි{3} පාපකෙ ධම්මෙ දුමපත්තං ව මාලුතො.
Sinhala BJT1006. උපශාන්ත වූයේ දුසිරිතින් වැළකුණේ මිතභාණී වූයේ උද්ධත නො වූයේ පවන රුක්පතක් සලන්නාක් මෙන් පාපධර්‍මයන් නුදුරෙහි පහ කෙළේ යි.
Pali BJT1007. උපසන්තො අනායාසො විප්පසන්නො අනාවිලො,{4} කල්යාණසීලො මෙධාවී දුක්ඛස්සන්තකරො සියා.
Sinhala BJT1007. උපශාන්ත වූ ආයාස රහිත වූ වෙසෙසින් ප්‍රසන්න වූ නො කැලඹුණු කලණදහම් ඇති නුවණැත්තේ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යි.
Pali BJT1008. න විස්සසෙ එකතියෙසු එවං අගාරිසු පබ්බජිතෙසු චා’පි, සාධූ’පි{5} හුත්වාන අසාධු හොන්ති අසාධු හුත්වා පුන සාධු හොන්ති.
Sinhala BJT1008. ගිහි වූ ද පැවිදි වූ ද ඇතැමුන් කෙරෙහි මෙසේ විස්වැසි නො වන්නේ යැ (ඔහු) සත්පුරුෂ වැ සිට අසත්පුරුෂ වෙති, අසත්පුරුෂ වැ සිට යළි සත්පුරුෂ වෙත්.
Pali BJT1009. කාමච්ඡන්දො ච ව්යාපාදො ථීනමිද්ධං ච භික්ඛුනො, උද්ධච්චං විචිකිච්ඡා ච පඤ්චෙතෙ චිත්තකෙලිසා.
Sinhala BJT1009. කාමච්ඡන්‍ද යැ ව්‍යාපාද යැ ථීනමිද්ධ යැ උද්ධච්ච යැ විචිකිච්ඡා යැ යන මොහු පස් දෙන මහණහු ගේ සිත කිලිටි කරන්නෝ යි.
Pali BJT1010. යස්ස සක්කරියමානස්ස අසක්කාරෙන චූභයං, සමාධි න විකම්පති අප්පමාදවිහාරිනො.
Sinhala BJT1010. සත්කාර කරනුලබන අප්‍රමාද විහාර ඇති යමක්හුගේ සමාධිය සත්කාරයෙන් ද අසත්කාරයෙන් ද යන දෙකින් නො සැලේ නම්,
Pali BJT1011. තං ඣායිනං සාතතිකං සුඛුමදිට්ඨිවිපස්සකං, උපාදානක්ඛයාරාමං ආහු සප්පුරිසො ඉති.
Sinhala BJT1011. නිරතුරු ධ්‍යාන කරනසුලු වූ සූක්‍ෂමදෘෂ්ටිවිදර්‍ශක වූ උපාදානක්‍ෂයයෙහි ඇලුණා වූ ඔහු සත්පුරුෂ යැ යි කීහු.
Pali BJT1012. මහාසමුද්දො පඨවී{6} පබ්බතො අනිලො’පි ච, උපරාය න යුජ්ජන්ති සත්ථු වරවිමුත්තියා.
Sinhala BJT1012. මහාසමුද්‍රය ද පෘථිවිය ද පර්‍වතය ද පවන ද (යන මොහු) ශාස්තෲන් වහන්සේගේ අග්‍රඵල විමුක්තිය පිළිබඳ උපමාවට නො යෙදෙත් (නුසුදුසු යි.)
Pali BJT1013. චක්කානුවත්තකො ථෙරො මහාඤාණී සමාහිතො, පඨවාපග්ගිසමානො{7} න රජ්ජති න දුස්සති.
Sinhala BJT1013. මහනුවණැති වූ සමාහිත වූ පෘථිවිය ජලය ගින්න බඳු පැවැතුම් ඇති වූ ධර්‍මචක්‍රානුවර්‍තක වූ ස්ථවිර තෙමේ (ඉටු’නිටු අරමුණුහි) නො ඇලෙයි, දූෂ්‍ය නො වේ.
Pali BJT1014. පඤ්ඤාපාරමිතං පත්තො මහාබුද්ධි මහාමති,{8} අජළො ජළසමානො සදා චරති නිබ්බුතො.
Sinhala BJT1014. ප්‍රඥායෙහි පරතෙරට පැමිණියේ මහත් වූ බුද්ධි ඇති වැ මහත් වූ ස්මෘති ඇති වැ නිවියේ බුද්ධිහීන නො වූයේ මැ බුද්ධිහීනයකු බඳු වැ නිති වෙසේ.
Pali BJT1015. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා’ති.
Sinhala BJT1015. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදි. ගුරු වූ බර බහා තබනලද්දේ යැ. මෙවක් පටන් පුනර්‍භවයෙක් (මට) නැති.
Pali BJT1016. සම්පාදෙථප්පමාදෙන එසා මෙ අනුසාසනී, හන්දාහං පරිනිබ්බිස්සං විප්පමුත්තොම්හි සබ්බධී’ති.
Sinhala BJT1016. අප්‍රමාද වැ පිළිවෙත් පුරවු, මේ මාගේ අනුශාසනය යි, මම පිරිනිවෙන්නෙමි, සියලු භවයෙහි විමුක්තයෙමි. (වෙසෙසින් මිදුනෙමි)
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාරිපුත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසාරිපුත්තත්ථෙරගාථා.
Sinhala BJTසාරිපුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT30. 1. 3.
Sinhala BJT30. 1. 3.
Pali BJT1017. පිසුනෙන ච කොධනෙන ච මච්ඡරිනා ච විභූතනන්දිනා, සඛිතං න කරෙය්ය පණ්ඩිතො පාපො කාපුරිසෙන සඞ්ගමො.
Sinhala BJT1017. පිසුනු බස් ඇතියහු හා ද කිපෙනසුල්ලහු හා ද මසුරු බැව් ඇතියහු හා ද විනාශය හෝ වෙන් වීම කැමැත්තහු හා ද නුවණැත්තේ යහළු බව නොකරන්නේ ය. පාපපුද්ගලයා හා සඞ්ගමය ලාමක යි.
Pali BJT1018. සද්ධෙන ච පෙසලෙන ච පඤ්ඤවතා බහුස්සුතෙන ච, සඛිතං හි{1} කරෙය්ය පණ්ඩිතො භද්දො සප්පුරිසෙන සඞ්ගමො.
Sinhala BJT1018. සැදැහැ ඇතියහු හා ද සිල්වතා හා ද නැණවතා හා ද බහුශ්‍රැතයා හා ද නුවණැත්තේ යහළු බව කරන්නේ ය, සත්පුරුෂයා හා සඞ්ගමය සුන්‍දර යි.
Pali BJT1019. පස්ස චිත්තකතං{2} බිම්බං අරුකායං සමුස්සිතං, ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්ථි ධුවං ඨිති.
Sinhala BJT1019. යම් ශරීරයක්හුගේ ධ්‍රැව (නිත්‍ය) භාවයෙක් ස්ථිතිභාවයෙක් නැත් ද (ඒ) වණ වූ ඇටසැකිල්ල විසින් ඔසවනලද ගිලන් වූ (බාලයන් විසින්) නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ විසිතුරු කරනලද සිරුර බලව.
Pali BJT1020. පස්ස චිත්තකතං{2} රූපං මණිනා කුණ්ඩලෙන ච, අට්ඨිං තචෙන ඔනද්ධං සහ වත්ථෙන සොභති.
Sinhala BJT1020. මිණියෙන් ද කොඬොලින් ද විසිතුරු කරනලද, යටින් බඳනා ලද (තුන්සියයකට අධික) ඇට ඇති රූපය බලව, වස්ත්‍ර සහිත වැ හොබී.
Pali BJT1021. අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT1021. ලාරසින් රැඳු පාදයෝ සුවඳසුණු තැවැරූ මුව බාලයාගේ මුළාවට පමණි, පාරගවෙෂිහුගේ මුළාවට නො ද පමණි.
Pali BJT1022. අට්ඨපාදකතා කෙසා නෙත්තා අඤ්ජනමක්ඛිතා, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT1022. කියඹුවැල් ද අඳුන් ඇඳි තෙත් ද බාලයාගේ මෝහයට පමණි, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
Pali BJT1023. අඤ්ජනීව නවා චිත්තා පූතිකායො අලඞ්කතො, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT1023. සිතියම් කළ අභිනව අඳුන්කොපුවක් මෙන් සරසන ලද කුණුකය බාලයාගේ මෝහයට පමණි, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
Pali BJT1024. ඔදහි මිගවො පාසං නාසදා වාගුරං මිගො, භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තෙ මිගබන්ධකෙ.
Sinhala BJT1024. මුවවැදි මලපුඬුව දැමී යැ. මුවා පාශය නො ගැටී මුවවැද්දා හඬද්දී ගොදුරු කා යම්හ.
Pali BJT1025. ඡින්නා පාසා මිගවස්ස නාසදා වාගුරං මිගො, භුත්වා නිවාපං ගච්ඡාම සොචන්තෙ මිගලුද්දකෙ.
Sinhala BJT1025. මුවවැද්දාගේ පාශයෝ සිඳිනලදහ, මුවා පාශය නො ගැටී. මුවවැද්දා සොවිද්දී ගොදුරු කා යම්හ.
Pali BJT1026. බහුස්සුතො චිත්තකථී බුද්ධස්ස පරිචාරකො, පන්නභාරො විසඤ්ඤුත්තො සෙය්යං කප්පෙති ගොතමො.
Sinhala BJT1026. බහුශ්‍රුත වූ චිත්‍රකර්‍ත්‍ථ වූ බුද්ධෝපස්ථායක වූ ගිලිහුණුබර ඇති පහ වූ සංයොග ඇති ගෞතමගෝත්‍ර ඇති ශ්‍රාවක ශයනය කෙරේ.
Pali BJT1027. ඛීණාසවො විසඤ්ඤුත්තො සඞ්ගාතීතො සුනිබ්බුතො, ධාරෙති අන්තිමං දෙහං ජාතිමරණපාරගූ.{1}
Sinhala BJT1027. ක්‍ෂීණාස්‍රව තෙමේ පහ වූ සංයොග ඇත්තේ ඉක්මැවූ (රාගාදි) සඞ්ග ඇත්තේ මොනවට නිවියේ ජාති - මරණ දෙක්හි පරතෙරට ගියේ අන්තිමදේහය දරයි.
Pali BJT1028. යස්මිං පතිට්ඨිතා ධම්මා බුද්ධස්සාදිච්චබන්ධුනො, නිබ්බානගමනෙ මග්ගෙ සො’යං තිට්ඨති ගොතමො.
Sinhala BJT1028. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුන්ගේ ධර්‍මයෝ යමකු කෙරෙහි පිහිටියාහු නම් ඒ මේ ගෞතම (ගෝත්‍ර ඇති ආනන්‍ද) තෙමේ නිවනට යන මඟැ සිටී.
Pali BJT1029. ද්වාසීතිං බුද්ධතො ගණ්හිං{2} ද්වෙ සහස්සානි භික්ඛුතො, චතුරාසීතිසහස්සානි යෙ මෙ ධම්මා පවත්තිනො.
Sinhala BJT1029. දෙයාසූදහසක් බුදුන් වෙතින් උගත්මි, දෙදහසක් භික්‍ෂූන් වෙතින් උගත්මි, මට යම් ධර්‍මස්කන්‍ධ කෙනෙක් ප්‍රගුණ වූවාහු නම් ඔහු සුවාසූදහසෙකි.
Pali BJT1030. අප්පස්සුතා’යං{3} පුරිසො බලිවද්දො’ව ජීරති, මංසානි තස්ස වඩ්ඪති පඤ්ඤා තස්ස න වඩ්ඪති.
Sinhala BJT1030. මේ අල්පශ්‍රැත පුරුෂ තෙම ගොනකු මෙන් වැඩේ, ඔහුගේ මස්පිඬුහු වැඩෙත්, ඔහුගේ ප්‍රඥාව නො වැඩේ.
Pali BJT1031. බහුස්සුතො අප්පස්සුතං යො සුතෙනාතිමඤ්ඤති, අන්ධො පදීපධාරො’ව තථෙව පටිභාති මං.
Sinhala BJT1031. යම් බහුශ්‍රැතයෙක් තම බහුශ්‍රුත කමින් අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ නම් ඔහු පහනක් ගත් අන්‍ධයකු මෙන් මට වැටහේ.
Pali BJT1032. බහුස්සුතං උපාසෙය්ය සුතං ච න විනාසයෙ, තං මූලං බ්රහ්මචරියස්ස තස්මා ධම්මධරො සියා.
Sinhala BJT1032. බහුශ්‍රැතයා ඇසුරු කරන්නේ යැ. ඇසූ දැය ද නො නසන්නේ යැ, බ්‍රහ්මචර්‍ය්‍යාවට ඒ මුල් වෙයි, එහෙයින් ධර්‍මධරයෙක් වන්නේ යි.
Pali BJT1033. පුබ්බාපරඤ්ඤූ අත්ථඤ්ඤූ නිරුත්තිපදකොවිදො, සුග්ගහීතං ච ගණ්හාති අත්ථං චොපපරික්ඛති.
Sinhala BJT1033. පූර්‍වාපරභාගයන් දන්නේ අර්‍ත්‍ථ දන්නේ නිරුක්තිපදයෙහි දක්‍ෂ වූයේ මැනවින් උගති, (අසනලද පිරිවහනලද ධර්‍මයාගේ) අර්‍ත්‍ථයත් විමසයි.
Pali BJT1034. ඛන්ත්යා ඡන්දීකතො{4} හොති උස්සහිත්වා තුලෙති තං, සමයෙ සො පදහති අජ්ඣත්තං සුසමාහිතො.
Sinhala BJT1034. (විමසූ ධර්‍මයෙහි) දෘෂ්ටිනිධ්‍යානක්‍ෂාන්තියෙන් (විදර්‍ශනාභිනිවේශයෙහි) කරනලද ඡන්‍ද ඇත්තේ වෙයි, උත්සාහ කොට ඒ නාම රූපය තුලනය කෙරේ, යොග්‍යසමයෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කරයි, අධ්‍යාත්මයෙහි සුසමාහිත වේ.
Pali BJT1035. බහුස්සුතං ධම්මධරං සප්පඤ්ඤං බුද්ධසාවකං, ධම්මවිඤ්ඤාණමාකඞ්ඛං තං භජෙථ තථාවිධං.
Sinhala BJT1035. ධර්‍මඥානය කැමැත්තේ එබඳු බහුශ්‍රුත වූ ධර්‍මධර වූ සප්‍රාඥ වූ ඒ බුද්ධශ්‍රාවකයා භජනය කරන්නේ යි.
Pali BJT1036. බහුස්සුතො ධම්මධරො කොසාරක්ඛො මහෙසිනො, චක්ඛු සබ්බස්ස ලොකස්ස පූජනීයො බහුස්සුතො.
Sinhala BJT1036. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ මහර්ෂීහු (බුදුන්) ගේ කොටුගේ (ධර්‍මරත්නය) රක්නා වූ සියලු ලෝකයාට ඇසක් වූ පිදියයුතු වූ-
Pali BJT1037. ධම්මාරාමො ධම්මරතො ධම්මං අනුවිචින්තයං, ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා න පරිහායති.
Sinhala BJT1037. (සමථ විදර්‍ශනා) ධර්‍මයට නිවාස වූ ධර්‍මයෙහි ඇලුණා වූ ධර්‍මය මෙනෙහි කරන්නා වූ ධර්‍මය අනුස්මරණය කරන්නා වූ මහණ තෙම සද්ධර්‍මයෙන් නො පිරිහේ.
Pali BJT1038. කායමච්ඡෙරගරුනො{5} හිය්යමානෙ{6} අනුට්ඨහෙ, සරීරසුඛගිද්ධස්ස කුතො සමණඵාසුතා.
Sinhala BJT1038. කායමාත්සර්‍ය්‍යගරුකයා (ක්‍ෂණක්‍ෂණයෙහි) පිරිහෙන්නේ උත්‍ථානවීර්‍ය්‍යය නො කරන්නේ යැ. ශරීරසුඛයෙහි ගිජු වූවහුට ශ්‍රමණඵාසුතාවක් කොයින් ද?
Pali BJT1039. න පක්ඛන්ති දිසා සබ්බා ධම්මා නප්පටිභන්ති මං, ගතෙ කල්යාණමිත්තම්හි අන්ධකාරංව ඛායති.
Sinhala BJT1039. සියලු දිශාවෝ නො පැනෙත්, ධර්‍මයෝ මට නො වැටහෙත්, කලණමිතුරා (සැරියුත් තෙරුන්) පිරිනිවි කල්හි (ලොව) අඳුරක් මෙන් හැඟේ.
Pali BJT1040. අබ්භතීතසහායස්ස අතීතගතසත්ථුනො, නත්ථි එතාදිසං මිත්තං යථා කායගතා සති.
Sinhala BJT1040. පහ වැ ගිය කලණමිතුරන් ඇතියාහට, පළමු පිරිනිවි ශාස්තෲන් ඇතියාහට, කායගතාසතිය යම්සේ ද එබඳු මිතුරෙක් නැති.
Pali BJT1041. යෙ පුරාණා අතීතා තෙ නවෙහි න සමෙති මෙ, ස්වජ්ජ එකො’ව ඣායාමි වස්සුපෙතො’ව{1} පක්ඛිමා.
Sinhala BJT1041. යම් පැරැණිමිතුරු කෙනෙක් වූහු නම් ඔහු ඉකුත් වූහ, නවකයන් හා මා ගේ සිත නො සැසැඳෙයි, ඒ මම අද වැසි කල්හි කැදැල්ලට වන් පක්‍ෂියකු මෙන් එකලා වැ ධ්‍යාන කෙරෙම්.
Pali BJT1042. දස්සනාය අභික්කන්තෙ{2} නානා වෙරජ්ජකෙ බහූ, මා වාරයිත්ථ සොතාරො පස්සන්තු සමයො මමං.
Sinhala BJT1042. දැක්මට පෙරට පැමිණි නොයෙක් රටවැසි බොහෝ දෙනා නහමක් වළහ, ධර්‍මශ්‍රාවකයෝ මා දකිත්වා, දැක්මට මේ කාලය යි.
Pali BJT1043. දස්සනාය අභික්කන්තෙ{2} නානා වෙරජ්ජකෙ පුථු, කරොති සත්ථා ඔකාසං න නිවාරෙති චක්ඛුමා.
Sinhala BJT1043. නොයෙක් රටවැසි බොහෝ දෙනා (තමන්) වහන්සේ දැක්මට පෙරට පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේ ඉඩ දෙති, පසැස් ඇත්තේ (ඔවුන්) නො වළහයි.
Pali BJT1044. පණ්ණවීසති වස්සානි සෙඛභූතස්ස මෙ සතො, න කාමසඤ්ඤා උප්පජ්ජි පස්ස ධම්මසුධම්මතං.
Sinhala BJT1044. පස්විසි වසක් මුළුල්ලෙහි ශෛක්‍ෂ වූ මට කාමසංඥාව නූපන, ධර්‍මයා ගේ සුධර්‍මත්‍වය බලව.
Pali BJT1045. පණ්ණවීසති වස්සානි සෙඛභූතස්ස මෙ සතො, න දෙසසඤ්ඤා උප්පජ්ජි පස්ස ධම්මසුධම්මතං.
Sinhala BJT1045. පස්විසි වසක් මුළුල්ලෙහි ශෛක්‍ෂ වූ මට ද්වේෂසංඥාව නූපන, ධර්‍මයා ගේ සුධර්‍මත්‍වය බලව.
Pali BJT1046. පණ්ණවීසති වස්සානි භගවන්තං උපට්ඨහිං, මෙත්තෙන කායකම්මෙන ඡායා’ව අනපායිනී.
Sinhala BJT1046. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රිකායකර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
Pali BJT1047. පණ්ණවීසති වස්සානි භගවන්තං උපට්ඨහිං, මෙත්තෙන වචීකම්මෙන ඡායා’ව අනපායිනී.
Sinhala BJT1047. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රීවාක්කර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
Pali BJT1048. පණ්ණවීසති වස්සානි භගවන්තං උපට්ඨහිං, මෙත්තෙන මනොකම්මෙන ඡායා’ව අනපායිනී.
Sinhala BJT1048. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රීමනඃකර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.
Pali BJT1049. බුද්ධස්ස චඞ්කමන්තස්ස පිට්ඨිතො අනුචඞ්කමිං, ධම්මෙ දෙසීයමානම්හි ඤාණං මෙ උදපජ්ජථ.
Sinhala BJT1049. සක්මන් කරන බුදුන් වහන්සේගේ පිටුපසින් අනුසක්මන් කෙළෙමි, දහම් දෙසනු ලබන කල්හි මට (ශෛක්‍ෂභූමිය පිළිබඳ) ඥානය පහළ වී.
Pali BJT1050. අහං සකරණීයොම්හි සෙඛො{3} අප්පත්තමානසො, සත්ථු ච පරිනිබ්බානං යො අම්හං අනුකම්පකො.
Sinhala BJT1050. මම කළයුතු කිස ඇතියෙමි, ශෛක්‍ෂයෙමි. නො පත් රහත් බව ඇතියෙමි, යමෙක් මට අනුකම්පක නම් (ඒ) ශාස්තෲන් වහන්සේගේ ද පිරි නිවන එළඹියේ යි.
Pali BJT1051. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, සබ්බාකාරවරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.
Sinhala BJT1051. සියලු ආකාරවරයෙන් යුක්ත වූ සම්බුදුහු පිරිනිවියහ. එකල්හි යම් හිංසනකයෙක් (සෙණහඬ ආදී බිය අරමුණක්) වී නම් එකල්හි ලොමුදහ ගැන්ම වී.
Pali BJT1052. බහුස්සුතො ධම්මධරො කොසාරක්ඛො මහෙසිනො, චක්ඛු සබ්බස්ස ලොකස්ස ආනන්දො පරිනිබ්බුතො.
Sinhala BJT1052. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ මහර්ෂිහු (බුදුන්) ගේ ධර්‍මභාණ්ඩාගාරික වූ මුළුලොවට ඇසක් වූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පිරිනිවියහ.
Pali BJT1053. බහුස්සුතො ධම්මධරො කොසාරක්ඛො මහෙසිනො, චක්ඛු සබ්බස්ස ලොකස්ස අන්ධකාරෙ තමොනුදො.
Sinhala BJT1053. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ මහර්ෂිහුගේ ධර්‍මභාණ්ඩාගාරික වූ මුළුලොවට ඇසක් වූ අන්‍ධකාරයෙහි තමෝනුද (අඳුර දුරු කරන කිසිවක්) වූ.
Pali BJT1054. ගතිමන්තො සතිමන්තො ධිතිමන්තො ච යො ඉසි, සද්ධම්මධාරකො ථෙරො ආනන්දො රතනාකරො.
Sinhala BJT1054. ඥානගති ඇති ස්මෘති සම්පන්න වූ ධෘතිමත් වූ යම් ඍෂිවරයෙක් වේ ද සද්ධර්‍මධාරක වූ ඒ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රත්නාකරයෙකි.
Pali BJT1055. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT1055. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන් වහන්සේගේ අනුශාසනය කරනලද යැ, ගුරු වූ බර බහා තබන ලද්දේ යැ, මින්මතු පුනර්‍භවයෙක් නැති’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආනන්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.
Pali BJTආනන්දත්ථෙරගාථා.
Sinhala BJTආනන්‍ද ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඵුස්සොපතිස්සො ආනන්දො තයො’තිංසෙපකිත්තිතා{1} ගාථායො තත්ථ සඞ්ඛාතා සතං පඤ්ච ච උත්තරී’ති.
Sinhala BJTඵුස්ස යැ උපතිස්ස යැ ආනන්‍ද යැ යි තෙරවරු තිදෙනෙක් තිස් වැනි නිපාතයෙහි ප්‍රකාශිතයහ. එහි පසුතුරු සියක් (එක්සියපසක්) ගාථාවෝ ප්‍රකාශිතයහ.
Pali BJTතිංසතිනිපාතො නිට්ඨිතො.
Sinhala BJTතිංසතිනිපාතය නිමි.
Pali BJT40. චත්තාලීසනිපාතො.
Sinhala BJT40. චත්තාලීසනිපාතය
Pali BJT40. 1. 1.
Sinhala BJT40. 1. 1.
Pali BJT1056. න ගණෙන පුරක්ඛතො චරෙ විමනො හොති සමාධි දුල්ලභො, නානා ජනසඞ්ගහො දුඛො{1} ඉති දිස්වාන ගණං න රොචයෙ.
Sinhala BJT1056. ගණයා විසින් පිරිවරනලද්දක් වැ නො හැසිරෙන්නේ යැ, (ගණපිරිවර ඇත්තේ) විකෘතිසිත් ඇත්තෙක් වෙයි, සමාධි දුර්‍ලභයෙක් වෙයි, නොයෙක් දෙනාට සඞ්ග්‍රහ කිරීම දුකෙකි, මෙසේ ආදීනව දැක ගණවාසය නුරුස්නේ යි.
Pali BJT1057. න කුලානි උපබ්බජෙ මුනි විමනො හොති සමාධි දුල්ලභො, සො උස්සුක්කො රසානුගිද්ධො අත්ථං රිඤ්චති යො සුඛාවහො.{2}
Sinhala BJT1057. මුනි තෙම කුලයන් කරා නො එළඹෙන්නේ යැ, (කුලුපගතෙම) විකෘති සිත් ඇත්තෙක් වෙයි, සමාධි දුර්‍ලභයෙක් වෙයි. හෙතෙම (කුලෝපගමනයෙහි) උත්සුක වැ රසයෙහි ගිජු වැ යම් අර්‍ත්‍ථයෙක් තමහට සුව එළවා නම් ඒ (ශීල විශුඬි ආදි) අර්‍ත්‍ථය වමාරයි (හැරැ දමයි.)
Pali BJT1058. පඞ්කොති හි නං පවෙදයුං{3} යායං වන්දනපූජනා කුලෙසු, සුඛුමං සල්ලං දුරුබ්බහං{4} සක්කාරො කාපුරිසෙන දුජ්ජහො.
Sinhala BJT1058. යම් මේ කුලයන්හි වැඳීමෙක් පිදීමෙක් වේ නම් එය පඞ්කයෙකැ (මඬෙකැ) යි ද දුකසේ උපුළ යුතු සූක්‍ෂම ශල්‍යයෙකැයි ද ප්‍රකාශ කළහ. සත්කාරය අසත්පුරුෂයා විසින් හැරැ දමනු දුෂ්කර යි.
Pali BJT1059. සෙනාසනම්හා ඔරුය්හ නගරං පිණ්ඩාය පාවිසිං, භුඤ්ජන්තං පුරිසං කුට්ඨිං සක්කච්චං තං උපට්ඨහිං.
Sinhala BJT1059. සෙනස්නෙන් බැසැ පිඬු පිණිස නගරයට පිවිසියෙමි, ඒ වළඳනා කුෂ්ටී පුරුෂයා කරා ආදරයෙන් එළඹ සිටියෙමි.
Pali BJT1060. සො මෙ පක්කෙන හත්ථෙන ආලොපං උපනාමයි, ආලොපං පක්ඛිපන්තස්ස අඞ්ගුලීපෙත්ථ ඡිජ්ජථ.
Sinhala BJT1060. හෙතෙම (රොවින්) පැසීගිය අතින් ඒ අහරපිඬුව (මට) පිරිනැමී යැ, පිඬුව බහා ලන්නහුගේ ඇඟිල්ල ද මේ පාත්‍රයෙහි ගිලිහිණි.
Pali BJT1061. කුඩ්ඩමූලං ච නිස්සාය ආලොපං තං අභුඤ්ජිසං, භුඤ්ජමානෙ ව{5} භුත්තෙ වා ජෙගුච්ඡං මෙ න විජ්ජති.
Sinhala BJT1061. ඉක්බිති ගෙබිතක් සමීපයෙහි හිඳ ඒ බත්පිඬුව වැළඳීමී, වළඳනා කල්හි හෝ වැළැඳූ කල්හි හෝ පිළිකුලෙක් මට නො පැනේ.
Pali BJT1062. උත්තිට්ඨපිණ්ඩො ආහාරො පූතිමුත්තං ච ඔසධං, සෙනාසනං රුක්ඛමූලං පංසුකූලං ච චීවරං, යස්සෙතෙ අභිසම්භූත්වා ස වෙ චාතුද්දිසො නරො.
Sinhala BJT1062. සිඟා ලද පිඬු අහර යැ, පූතිමූත්‍ර බෙහෙද යැ, රුක්මුල සෙනසුන යැ පසුල සිවුර යි. යමෙක් මේ සිව්පසය වළඳන්නේ නම් හෙතෙම එකත්නෙන් සිව්දිගට යෝග්‍ය පුරුෂයෙකි, (ඔහුට කොතැනත් දිවිරැක්ක හැකි යැ යි සේ යි)
Pali BJT1063. යත්ථ එකෙ විහඤ්ඤන්ති ආරුහන්තා සිලුච්චයං, තත්ථ{6} බුද්ධස්ස දායාදො සම්පජානො පතිස්සතො, ඉද්ධිබලෙනුපත්ථද්ධො කස්සපො අභිරූහති.
Sinhala BJT1063. සමහර කෙනෙක් පර්‍වතය නැගෙන්නාහු යම් බඳු වියෙක දී ක්ලාන්ත වෙත් නම් බුදුන්ගේ දායාදයෙක් වූ කාශ්‍යප තෙම ඒ මහලුවියෙහි සම්‍යක් ප්‍රඥා ඇති වැ එළඹසිහි ඇති වැ ඍද්ධිබලයෙන් කරනලද උපත්‍ථම්භ ඇති වැ පර්‍වතයට නඟී.
Pali BJT1064. පිණ්ඩපාතපටික්කන්තො සෙලමාරුය්හ කස්සපො, ඣායති අනුපාදානො පහීනභයභෙරවො.
Sinhala BJT1064. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ පහ වූ භයහිංසන ඇති වැ ධ්‍යාන කෙරේ.
Pali BJT1065. පිණ්ඩපාතපටික්කන්තො සෙලමාරුය්හ කස්සපො, ඣායති අනුපාදානො ඩය්හමානෙසු නිබ්බුතො.
Sinhala BJT1065. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ ධ්‍යාන කෙරේ. (රාගාදි ගින්නෙන්) දැවෙන්නන් අතුරෙහි නිවියේ යි.
Pali BJT1066. පිණ්ඩපාතපටික්කන්තො සෙලමාරුය්හ කස්සපො, ඣායති අනුපාදානො කතකිච්චො අනාසවො.
Sinhala BJT1066. පිණ්ඩපාතයෙන් පෙරළා ආ කාශ්‍යප තෙම පර්‍වතයට නැඟැ උපාදාන රහිත වැ කළ (පැවිදි) කිස ඇති වැ නිරාස්‍රව වැ ධ්‍යාන කෙරේ.
Pali BJT1067. කරෙරිමාලාවිතතා භූමිභාගා මනොරමා, කුඤ්ජරාභිරුදා රම්මා තෙ සෙලා රමයන්ති මං.
Sinhala BJT1067. ලුනුවරණ රුක්පෙතින් පැතිරැගිය සිත්කලු වූ භූමිභාග ඇති ඇතුන්ගේ ගර්‍ජනායෙන් රම්‍ය වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
Pali BJT1068. නීලබ්භවණ්ණා රුචිරා වාරිසීතා සුවින්ධරා, ඉන්දගොපකසඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති මං.
Sinhala BJT1068. නිල්වලාවනට බඳු පැහැ ඇති වූ පැහැසර වූ සිහිල් දිය ඇති වූ පිරිසිදු වූ ඉඳුගොව්වන් විසින් ගැවසීගත්තා වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
Pali BJT1069. නීලබ්භකූටසදිසා කූටාගාරවරූපමා, වාරණාභිරුදා රම්මා තෙ සෙලා රමයන්ති මං.
Sinhala BJT1069. නිල්වලාකුළු සුදුසු වූ කුළුගෙවලට උවම් වූ ඇතුන්ගේ ගර්‍ජනායෙන් රම්‍ය වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
Pali BJT1070. අභිවුට්ඨා රම්මතලා නගා ඉසීහි සෙවිතා, අබ්භුන්නදිතා සිඛීහි තෙ සෙලා රමයන්ති මං.
Sinhala BJT1070. බෙහෙවින් වට වැසි ඇති රම්‍ය වූ කලා ඇති ශිඛීන් (මොනරුන්) විසින් කරනලද මධුර වූ උන්නාද ඇති ඍෂීන් විසින් සෙවුනාලද “නග” ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
Pali BJT1071. අලං ඣායිතුකාමස්ස පහිතත්තස්ස මෙ සතො, අලං මෙ අත්ථකාමස්ස පහිතත්තස්ස භික්ඛුනො.
Sinhala BJT1071. ධ්‍යාන කරනු කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති වූ මට මැනැව, තමහට වැඩ කැමැති නිවනෙහි එළවූ සිත් ඇති “භික්‍ෂු” වූ මට මැනැවි.