Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 1570

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT358. එස සුත්වා පසීදාමි වචො තෙ ඉසිසත්තම, අමොඝං කිර මෙ පුට්ඨං න මං වඤ්චෙසි බ්රාහ්මණො.
Sinhala BJT358. උත්තම වූ මහ මහර්ෂීන් වහන්ස, තොපගේ බස අසා තෙල මම ප්‍රසන්නයෙමි. මාවිසින් පුළුවුස්නාලද්ද නො සිස්ම විය. (බාහිතපාප වූ) බ්‍රාහ්මණයෝ මා නො රැවටූහූ.
Pali BJT359. යථාවාදී තථාකාරී අහු බුද්ධස්ස සාවකො, අච්ඡිදා මච්චුනො ජාලං තතං මායාවිනො දළ්හං.
Sinhala BJT359. බුදුරජුහුගේ සවු (නිග්‍රෝධකප්ප) යථාවාදී තථාකාරී විය. මායාවී වූ මාරයාගේ දැඩිව පතළා වූ (තෘෂ්ණා) ජාලය සිඳලීය.
Pali BJT360. අද්දස භගවා ආදිං උපාදානස්ස කප්පියො, අච්චගා වත කප්පායනො මච්චුධෙය්යං සුදුත්තරන්තී.
Sinhala BJT360. භාග්‍යවතුන් වහන්ස, කප්ප තෙරණුවෝ (ත්‍රිවිධ) වෘත්තයා ගේ (අවිද්‍යා තෘෂ්ණා භේද ඇති) ප්‍රධානකාරණය දුටුහ. ඒකාන්තයෙන් කප්පායනයෝ දුකසේ තරණය කළ යුතු (ත්‍රෛභූමික වෘත්ත සඞ්ඛ්‍යාත) මාරභූමිය ඉක්මැ ගියහ යි.
Pali BJTනිග්රොධකප්පසුත්තං නිට්ඨිතං.
Sinhala BJTනිග්‍රෝධකප්ප (වංගීස) සූත්‍රය නිමි.
Pali BJT2. 13.
Sinhala BJT2. 13.
Pali BJTසම්මාපරිබ්බාජනීය සුත්තං
Sinhala BJTසම්මාපරිබ්බාජනීය සූත්‍රය
Pali BJT361. පුච්ඡාමි මුනිං පහූතපඤ්ඤං තිණ්ණං පාරගතං පරිනිබ්බුතං ඨිතත්තං, නික්ඛම්ම ඝරා පනුජ්ජ කාමෙ කථං භික්ඛු සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT361. මහාප්‍රාඥ වූ, චතුරෝඝ තරණය කළාවූ, නිවන් පරතෙර ගියාවූ, කෙලෙස් පිරිනිවියා වූ, (අටලෝ දහමින් නොසැලෙන හෙයින්) අකම්ප්‍යවූ සිත් ඇති, මුනිහු පුළුවුසුම්හ: ගිහිගෙන් නික්ම වස්තුකාමයෙන් දුරලා ලොවෙහි නොඇලී ඒ ප්‍රකටමහණ කෙසේ මොනොවට වෙසෙන්නේද හෙවත් ලොවින් නික්ම යේ ද?
Pali BJT362. යස්ස මඞ්ගලා සමූහතා (ඉති භගවා) උප්පාතසුපිනා ච ලක්ඛණා ච, සො මඞ්ගලදොසවිප්පහීනො භික්ඛු සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT362. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) යමක්හු විසින් (දිට්ටම්ඞ්ගලාදී) මඞ්ගලයෝද උල්කාපතාදී උත්පාතාභිනිවේශයෝ ද ස්වප්නාභිනිවෙශයෝ ද ලක්‍ෂණාභිනිවේශයෝ ද මොනොවට සිඳිනලද්දහූ ද, හේ මඞ්ගලදෝෂයන් ප්‍රහීණ කෙළේ වේ. හෙ (රහත් මහණ) ලොව්හි නොඇලී මනා සේ වෙසෙයි. (ලොව ඉක්මවා යන්නේය යි සේයි.)
Pali BJT363. රාගං විනයෙථ මානුසෙසු දිබ්බෙසු කාමෙසු වාපි භික්ඛු, අතික්කම්ම භවං සමෙච්ච ධම්මං සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT363. මහණ මානුෂික වූ ද, දිව්‍ය වූ ද කාමවිෂයන්හි රාගය (අනගැමි මගින්) දුරුකරන්නේ ය. (චතුස්සත්‍යභේද වූ) ධර්‍මය (අර්‍හන්) මාර්‍ගයෙන් (පරිඥාභිසමයාදී වශයෙන්) දැන (ත්‍රිවිධ) භවය ඉක්මවා හෙ ලොව්හි සියල්ල මනා සේ හැරපියා යෙයි.
Pali BJT364. විපිට්ඨි කත්වාන පෙසුනානි කොධං කදරියං ජහෙය්ය භික්ඛු, අනුරොධවිරොධවිප්පහීනො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT364. මහණ, පෙහෙසුන් ද ක්‍රෝධය ද මසුරුබව ද දුරු කොට හැරපියන්නේ ය: (සියලු වස්තූන්හි) ප්‍රහීණ වූ රාග ද්වේෂ ඇතියේ හෙ මොනවට ලොව්හි සියල්ල හැරපියා යෙයි.
Pali BJT365. හිත්වාන පියඤ්ච අප්පියඤ්ච අනුපාදාය අනිස්සිතො කුහිඤ්චි, සංයොජනියෙහි විප්පමුත්තො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT365. (සත්ත්‍ව සංස්කාර වශයෙන් ද්විවිධ වූ) ප්‍රිය වූ ද අප්‍රිය වූද රාග ද්වේෂයෙන් හැරපියා (සිවු උපාදානයන්ගේ වශයෙන්) කිසිදු ධර්‍මයක් (නිත්‍යාදි විසින්)නො ගෙණ, (රූපාදි ධර්‍මයන්හි හෝ භවයන්හි) කිසිදු තැනෙක් හී තණාදිට්ඨි (නිස්සය වශයෙන්) ඇසුරු නොකළේ (දශවිධ සංයෝජනයට විෂය වූ) ත්‍රෛභුමකධර්‍මයන් ගෙන් වෙසෙසින් මිදුනේ හෙ මොනොවට ලොව්හි සියල්ල හැරපියා යෙයි.
Pali BJT366. න සො උපධීසු සාරමෙති ආදානෙසු විනෙය්ය ඡන්දරාගං, සො අනිස්සිතො අනඤ්ඤනෙය්යො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT366. හේ සියලු උපධීන් සාර විසින් නොමැ දකියි. ස්කන්‍ධාදි ආදානයන් කෙරෙහි පවත්නා ඡන්‍දරාගය හැරපියා තෘෂ්ණාදෘෂ්ටි දෙක අසුරු නොකෙළේ, හෙ කිසිවකු විසිනුදු නොපැමිණැවිය හෙයි. ලොව්හි සියල්ල මොනොවට හැරපියා යෙයි.
Pali BJT367. වචසා මනසා ච කම්මනා ච අවිරුද්ධො සම්මා විදිත්වා ධම්මං, නිබ්බානපදාභිපත්ථයානො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.{1}
Sinhala BJT367. වචසින් මනසින් හා කර්‍මයෙන් (සුචරිතයෙන් හා) විරුද්ධ නොවූයේ (මාර්‍ගඥානයෙන්) සිවුසස් දහම් මොනවට දැන (අනුපාදිසේස වූ) ස්කන්‍ධනිර්‍වාණපදය පතන්නේ හේ ලොව්හි සියල්ල සම්‍යක් හේතුයෙන් හැරපියා යෙයි.
Pali BJT368. යො වන්දති මං{1} න උණ්ණමෙය්ය අක්කූට්ඨොපි න සන්ධියෙථ භික්ඛු, ලද්ධා පරභොජනං න මජ්ජෙ, සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT368. යම් මහණෙක් මෙ මා වඳනේ යයි අභිමාන නොකරන්නේද (දශවිධාක්‍රෝශයෙන් ) අක්‍රොශ කරන ලදුයේ නමුදු බද්ධවෛර නො කරන්නේද, මෙරමා විසින් දුන් බොජුන් ලබා මදයට නො පැමිණෙන්නේද, හේ ලොව්හි සියල්ල සම්‍යක් හේතුයෙන් හැරපියා යෙයි.
Pali BJT369. ලොභඤ්ච භවඤ්ච විප්පහාය විරතො ඡෙදනබන්ධනාතො භික්ඛූ, සො තිණ්ණකථංකථො විසල්ලො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT369. ඒ (රහත්) මහණ විෂයලොභය ද (කාමභවාදී) භවයද වෙසෙසින් ප්‍රහීණ කොට (මෙරමා ) සිඳුම්බැඳුම් වලින් වෙන් වූයේ තරණය කළ කථංකථීභාව (සැක) ඇත්තේ, එහෙයින් ම විගත ශල්‍ය ඇත්තේ වෙයි. හෙ ලොව්හි සියල්ල සම්‍යක් හේතුයෙන් හැර පියා යෙයි.
Pali BJT370. සාරුප්පමත්තනො විදිත්වා න ච භික්ඛු හිංසෙය්ය කඤ්චි ලොකෙ, යථා තථියං විදිත්වා ධම්මං සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT370. තමාගේ සරුප් පිළිවෙත දැන මහණ ලොව්හි කිසිවකු නො ද පෙළන්නේය. යථාභූතය වන (ස්කන්‍ධාදී භේද ඇති) සිව්සස් දහම් දැන ඒ භික්‍ෂු ලොව්හි සියල්ල මැනවින් හැරපියා යෙයි.
Pali BJT371. යස්සානුසයා න සන්ති කෙචි මූලා අකුසලා සමූහතා සෙ, සො නිරාසයො අනාසයානො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT371. යම් මහණෙකු හට කිසිදු අනුශය කෙනෙක් නැත් ද, අකුශල මූලයෝ ද සමූහනනය කරන ලද්දාහු ද, හෙ තෘෂ්ණා රහිත වූයේ (කිසිවක්) නොපතන්නේ වෙයි. හෙ ලොව්හි සියල්ල මොනොවට හැර පියා යෙයි.
Pali BJT372. ආසවඛීණො පහීනමානො සබ්බං රාගපථං උපාතිවත්තො, දන්තො පරිනිබ්බුතො ඨිතත්තො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT372. ක්‍ෂීණාස්‍රව වූයේ ප්‍රහීණ කළ (නවවිධ) මාන ඇතියේ රාගයට විෂය වූ (තෛභූමක) ධර්‍ම සමූහය (පරිඥාප්‍රහාණ වශයෙන්) ඉක්ම වූයේ (ආර්‍ය දමථයෙන්) දැමුනේ (කෙලෙස් ගිනි) පිරිනිවීමෙන් පිරිනිවියේ (අටලෝදමින් නොසැලෙන හෙයින්) ස්ථිතාත්ම වූ ඒ මහණ ලොව්හි සියල්ල හැරපියා යෙයි.
Pali BJT373. සද්ධො සුතවා නියාමදස්සී වග්ගගතෙසු න වග්ගසාරි ධීරො, ලොභං දොසං විනෙය්ය පටිඝං සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT373.(බුද්ධාදී ගුණයන්හි) අවෙත්‍යප්‍රසාදයෙන් ශ්‍රද්ධා ඇත්තේ, පාරමාර්ත්‍ථික ශ්‍රැත ඇත්තේ, නියාම සඞ්ඛ්‍යාත මාර්‍ගය දක්නා සුලු වූයේ, (දෙසට මිසදිටු නැමැති වර්‍ගයනට ගියවුන් අතර) වර්‍ගසාරී නො වූ ඒ ධීර තෙමේ ලෝභ ද්වේෂ ප්‍රතිඝයන් නසා ලොව්හි සියල්ල මැනවින් හැරපියා යෙයි.
Pali BJT374. සංසුද්ධජිනො විවත්තච්ඡද්දො ධම්මෙසු වසී පාරගූ අනෙජො, සඞ්ඛාරනිරොධඤාණකුසලො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT374. පිරිසිදු රහත් මගින් දිනූ කෙලෙස් ඇති, විවෘත කළ (රාග ද්වේෂ මෝහ සඞ්ඛ්‍යාත ) සෙවෙණි ඇති, සිවුසස් දහම්හි වශීප්‍රාප්ත වූ, නිවන් පරතෙර ගියාවූ, පහකළ තෘෂ්ණා චලනයන් ඇති, (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) සංස්කාර නිරෝධය විෂය කොට ඇති, (ආර්‍ය්‍යමාර්‍ග) ඥානයෙහි කුශල වූ ඒ (රහත්) මහණ ලොව්හි සියල්ල මොනොවට හැරපියා යෙයි.
Pali BJT375. අතීතෙසු අනාගතෙසු චාපි කප්පාතීතො අතිච්ච සුද්ධිපඤ්ඤො, සබ්බායතනෙහි විප්පමුත්තො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT375. අතීත පඤ්චස්කන්‍ධයන්හි ද අනාගත පඤ්චස්කන්‍ධයන්හි ද (මම, මාගේ යන) කල්පනයන ඉක්ම වූයේ, (අතීත වර්‍තමාන අනාගත අධ්වත්‍රයය පිළිබඳ සැක) ඉක්මවා අතිශයින් පිරිසිදු වූ ප්‍රඥා ඇත්තේ, ද්වාදශායතනයන්ගෙන් මිදුනු හේ ලොව්හි සියල්ල මනාසේ හැරපියා යෙයි.
Pali BJT376. අඤ්ඤාය පදං සමෙච්ච ධම්මං විවටං දිස්වාන පහානමාසවානං, සබ්බූපධිනං පරික්ඛයානො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT376. (චතුස්සත්‍ය ) ධර්‍මපදය පූර්‍වභාග ප්‍රඥාවෙන් දැන (එම) සිවුසස් දහම් (අරිමඟනැණින්) ප්‍රත්‍යක්‍ෂ කොට දැන, ආස්‍රවයන්ගේ ප්‍රහාණය (නිර්‍වාණය) ප්‍රකට කොට දැක, සියලු ම උපධීන්ගේ පරික්‍ෂයයෙන් ඒ මහණ ලොව්හි සියල්ල මොනොවට හැරපියා යෙයි.
Pali BJT377. අද්ධා හි භගවා තථෙව එතං යො සො එවං විහාරි දන්තො භික්ඛූ, සබ්බසංයොජනියෙ{1} ච විතිචත්තො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්යා’ති.
Sinhala BJT377. (නිර්මිත බුද්ධ) භාග්‍යවතුන් වහන්ස, තෙල නිශ්චයෙන එසේමැයි. යම් ඒ මහණෙක් දැමුනේ මෙබඳු විහාර ඇත්තේ වේ ද, සියලුම සංයෝජනීය ධර්‍මයන් ඉක්මවූයේ වේ ද, හේ ලොව්හි සියල්ල මොනොවට හැරපියා යේ යැ යි.
Pali BJTසම්මාපරිබ්බාජනියසුත්තං නිට්ඨිතං.
Sinhala BJTසම්මාපරිබ්බාජනීය සූත්‍රය නිමි.
Pali BJT2. 14.
Sinhala BJT2. 14.
Pali BJTධම්මික සුත්තං
Sinhala BJTධම්මික සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ධම්මිකො උපාසකො පඤ්චහි උපාසකෙසතෙහි සද්ධිං යෙන භගවා තෙසුපසඞ්කමි, උපසඞ්ගමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ධම්මිකො උපාසකො භගවන්තං ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මික නම් උවසු පන්සියයක් උවසුවන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හින. එකත්පස් වැ හුන් ධම්මික උපාසක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් දැන්වී ය.
Pali BJT378. පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ කථංකරො සාවකො සාධු හොති, යො වා අගාරා අනගාරමෙති අගාරිනො වා පනුපාසකාසෙ.
Sinhala BJT378. මහාප්‍රාඥ වූ ගෞතමයන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි: යමෙක් ගෙන් නික්මැ සසුන් වදනේ හෝ වේ නම්, ගිහිගෙවැසි උවසුවෝ මැ හෝ වෙත් නම්, (මොවුනතුරෙහි) කිසෙයින් කරනුයේ (පිළිපදනේ) අනවද්‍ය ශ්‍රාවක් වේ ද?
Pali BJT379. තුවං හි ලොකස්ස සදෙවකස්ස ගතිං පජානාසි පරායනඤ්ච, න චත්ථි තුල්යො නිපුණත්ථදස්සී තුවං හි බුද්ධං පවරං වදන්ති.
Sinhala BJT379. මුඹ වහන්සේ ම සදේවක ලෝකයාගේ අධ්‍යාශය ගති (නොහොත් නිරයාදි පඤ්චගති) හා, නිෂ්පත්ති (නොහොත් පරිනිර්‍වාණය) හා දන්නාසේක. නිපුණාර්‍ත්‍ථදර්ශීවූ (මුඹ වහන්සේ හා) සදෘසයෙක් නො ද ඇත. මුඹ වහන්සේ මැ ප්‍රවර බුද්ධයහ’යි කියත්.
Pali BJT380. සබ්බං තුවං ඤාණමවෙච්ච ධම්මං පකාසෙසි සත්තෙ අනුකම්පමානො, විවත්තච්ඡද්දොසි සමන්තචක්ඛු විරොචසී විමලො සබ්බලොකෙ.
Sinhala BJT380. සව්සත්නට අනුකම්පා කෙරෙමින් මුඹ වහන්සේ ම හැම ඥේයධර්‍ම පිළිවිද දැන හැම නැණ හා සිවුසස්දම් වදහළසේක. සමතැස් මුනිඳුනි, පෙරැළු කෙලෙස් සෙවෙණි ඇතියාව, සව්ලොව්හි (රාගාදි මලාභාවයෙන්) විමල වූවහු බබළන්නහු යැ.
Pali BJT381. ආගඤ්ඡි තෙ සන්තිකෙ නාගරාජා එරාවණො නාම ජිනොති සුත්වා, සො පි තයා මන්තයිත්වා අජ්ඣගමා සාධූති සුත්වාන පතීතරූපො.
Sinhala BJT381. (මුඹ) කෙලෙස් දිනූහ’යි අසා එරාවණ නම් ඇත්දෙව් රජ ද මුඹ වහන්සේ වෙත ආයේ යැ. හෙ ද මුඹ වහන්සේ හා මන්ත්‍රණ කොට ප්‍රශ්නව්‍යාකරණ අසා මැනැව වහන්සැ’යි සතුටු ඇති වැ ගියේ යැ.
Pali BJT382. රාජාපි තං වෙස්සවණො කුවෙරො උජෙති ධම්මං පරිපුච්ඡමානො, තස්සාපි ත්වං පුච්ඡිතො බ්රූසි ධීර සො චාපි සුත්වාන පතීතරූපො.
Sinhala BJT382. කුවේර නම් වෙසවුණු මහරජ දහම් පුළුවුස්මින් මුඹ වහන්සේ කරා එළඹෙයි. ධීරයන් වහන්ස, ඔහු විසිනුදු පැන පුළුවුස්නාලදුව මුඹ වහන්සේ දහම් දෙසන්නාහු යැ. හෙ ද ධර්‍මව්‍යාකරණ අසා තුටුසැහැවී ඇති විය.
Pali BJT383. යෙ කෙචි මෙ තිත්ථියා වාදසීලා ආජීවකා වා යදි වා නිගණ්ඨා, පඤ්ඤාය තං නාතිතරන්ති සබ්බෙ ඨිතො වජන්තං විය සීඝගාමිං.
Sinhala BJT383. ආජීවකයෝ වෙත්වයි, වැලිත් නිර්ග්‍රන්‍ථයෝ වෙත්වයි වාද කරණසුලු යම් මැ තීර්‍ත්‍ථකයෝ වෙත් නම්, එ හැම ගතිවිකලත්‍වයෙන් සිටිවනසිටි පුද්ගලයෙක් ශීඝ්‍රගාමී වැ යන්නකු (ඉක්මැනොයේ ද) එමෙන් ප්‍රඥාගතියෙන් නුඹ වහන්සේ ඉක්මැ නො යෙත්.
Pali BJT384. යෙ කෙචි මෙ බ්රාහ්මණා වාදසීලා වුද්ධා චාපි බ්රාහ්මණා සන්ති කෙචි, සබ්බෙ තයි අත්ථබද්ධා භවන්ති යෙ චාපි චඤ්ඤෙ වාදිනො මඤ්ඤමානා.
Sinhala BJT384. වාද කරණසුලු (චඞ්කී ආදී) කිසි බ්‍රාහ්මණයෝ වෙත්වයි (ආශ්වලායනාදි) යම්කිසි වෘද්ධ බ්‍රාහ්මණයෝ වෙත්වයි, (අපි) වාදියම්හ යි හඟනා වූත් අන්‍ය වූත් යම් කෙනෙක් වෙත් නම් උහු හැම මුඹ වහන්සේ කෙරෙහි මැ අර්‍ත්‍ථ විසින් බැඳුනාහි වෙත්.
Pali BJT385. අයං හි ධම්මො නිපුණො සුඛො ච යොයං තයා භගවා සුප්පවුත්තො, තමෙව සබ්බෙ{1} සුස්සූසමානා තං නො වද පුච්ඡිතො බුද්ධසෙට්ඨ.
Sinhala BJT385. භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විසින් යම් බඳු මෙ සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෙක් සුදේශිත වේ නම්, සියුම් වූ මේ දහම ලොවි ලොවුතුරු සුව එළවනුයේත් වෙයි. අපි හැම දෙනමෝ එදහම් මැ අසනු කැමැත්තම්හ. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, (අප විසින්) පුළුවුස්නාලදසේක් එ දහම අපට වදාරණසේක්වා.
Pali BJT386. සබ්බෙපි මෙ භික්ඛවො සන්නිසින්නා උපාසකා චාපි තථෙව සොතුං, සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං සුභාසිතං වාසවස්සෙව දෙවා.
Sinhala BJT386. වැඩැහුන් මෙ හැම භික්‍ෂූහු ද එසෙයින් මැ ධර්‍මශ්‍රවණයට හුන් උපාසකයෝද සක්දෙව්රජහුගේ සුභාෂිතය දෙවියන් (අසනු) සෙයින් විමලයන් වහන්සේ විසින් අනුබුද්ධ වූ ධර්‍මය අසත්වා.
Pali BJT387. සුණාථ මෙ භික්ඛවො සාචයාමි වො ධම්මං ධුතං තඤ්ච ධරාථ සබ්බෙ, ඉරියාපථං පබ්බජිතානුලොමිකං සෙවෙථ නං අත්ථදස්සී මුතීමා.
Sinhala BJT387. මහණෙනි, ක්ලේශධුනනය කරන්නා වූ මාගේ ප්‍රතිපත්තිධර්‍මය තොපට අස්වමි. හැමදෙන එය ධරව. හිතානුදර්ශී ප්‍රාඥ තෙමේ පැවිද්දනට අනුලොම් වූ ඒ චතුර්විධ ඊර්‍ය්‍යාපථය සෙවුනේ ය.
Pali BJT388. න වෙ විකාලෙ විචරෙය්ය භික්ඛු ගාමඤ්ච{1} පිණ්ඩාය චරෙය්ය කාලෙ, අකාලචාරිං හි සජන්ති සඞ්ගා තස්මා විකාලෙ න චරන්ති බුද්ධා.
Sinhala BJT388. මහණ නොකල්හි ගම් නොවදනේ ය. සුදුසුකල්හි ම පිඬු සිඟායන්නේ ය. රාගාදි නොයෙක් සඞ්ගයෝ අකාලාචාරී මහණ වැළැඳගන්නාහ. එහෙයින් චතුස්සත්‍යබුද්ධ වූ ආර්‍ය්‍යපුද්ගලයෝ නොකල්හි ගම් නො වදනාහ.
Pali BJT389. රූපා ච සද්දා ච රසා ච ගන්ධා ඵස්සා ච යෙ සම්මදයන්ති සත්තෙ, එතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දං කාලෙන සො පවිසෙ පාතරාසං.
Sinhala BJT389. රූප හා ශබ්ද හා රස හා ගන්‍ධ හා ස්පර්‍ශ යන යම් බාහිරායතන කෙනෙක් සත්ත්‍වයන් මදයට පමුණුවත් නම්, තෙල ධර්‍මයන්හි ඡන්‍දරාගය දුරු කොට හේ ප්‍රාතරාසස්ථානයට සුදුසු කල්හි වදනේය.
Pali BJT390. පිණ්ඩඤ්ච භික්ඛු සමයෙන ලද්ධා එකො පටික්කම්ම රහො නිසීදෙ, අජ්ඣත්තචින්තී න මනො බහිද්ධා නිච්ඡාරයෙ සඞ්ගහිතත්තභාවො.
Sinhala BJT390. මහණ පෙරවරුයෙහි පිඬු ලබා හුදෙකලා වූයේ පෙර ලා අවුත් ස්කන්‍ධසන්තානය (ත්‍රිලක්‍ෂණයට නංවා) සිතනසුලුයේ රහෝගත ව හිඳිනේ ය. (රූපාදි) බැහැරි අරමුණෙහි සිත් නොයොදනේ ය. භාවනාරම්මණය කෙරෙහි මොනොවට ගිය සිත් ඇතිවන්නේ ය.
Pali BJT391. සචෙ පි සො සල්ලපෙ සාවකෙන අඤ්ඤෙන වා කෙනචි භික්ඛුනා වා, ධම්මං පණීතං තමුදාහරෙය්ය න පෙසුනං නොපි පරූපවාදං.
Sinhala BJT391. ඉදින් ඒ යෝගාවචර අන්තොටු සව්වකු හා වේවයි මෙ සස්නෙහි කිසියම් මහණකු හා සමග වේවයි සංලාප කෙරේ නම්, ඒ ප්‍රණීත වූ ධර්‍මය ම කියන්නේ ය. පෙහෙසුන් නො කියන්නේ ය. පරෝපවාද නො කියන්නේ ය.
Pali BJT392. වාදං හි එකෙ පටිසෙනියන්ති න තෙ පසංසාම පරිත්තපඤ්ඤෙ, තතො තතො නෙ පසජන්ති සඞ්ගා චිත්තං හි තෙ තත්ථ ගමෙන්ති දූරෙ.
Sinhala BJT392. ඇතැම් කෙනෙක් පරෝපවාද සඞ්ඛ්‍යාත විග්‍රාහික කථාවාදය විරුද්ධ කොට ගණිත්. අල්පප්‍රාඥ ඔවුන් නො පසසම්හ (කවර හෙයින් යත්:) එ එ වාදමාර්‍ගහේතුයෙන් වාදසඞ්ඝයෝ එ වාදීන් වැළැඳගනිත් ද එහෙයිනි, (කමටහනින්) චිත්තය දුරෙහි වේ ද එපරිදි ඔහුසිත පරෝපවාදයෙහි ලා මෙහෙයත්.
Pali BJT393. පිණ්ඩං විහාරං සයනාසනඤ්ච ආපඤ්ච සඞ්ඝාටිරජූපවාහනං, සුත්වාන ධම්මං සුගතෙන දෙසිතං සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො.
Sinhala BJT393. උත්තමප්‍රඥා ඇති ශ්‍රාවක නොහොත් වරප්‍රාඥවූ බුදුන්ගේ ශ්‍රාවක තෙම සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය අසා පිණ්ඩාපාත යැ, වෙහෙර යැ, හැඳපුටු යැ සඟලසිවුරෙහි රජස් දුරු කරණ ජලය යැ යන මේ දෑ ප්‍රත්‍යවේක්‍ෂා කොට සෙවුනේ ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTගිහිවත:
Pali BJT394. තස්වා හි පිණ්ඩෙ සයනාසනෙ ච ආපෙ ච සංඝාටිරජූපවාහනෙ, එතෙසු ධම්මෙසු අනූපලිත්තො භික්ඛූ යථා පොක්ඛරෙ වාරිබින්දූ.
Sinhala BJT394. එහෙයින් මැ පිඬුවායෙහි ද සෙනසුන්හි ද සඟළ සිවුරෙහි රජස් දෝනා දියෙහි ද යන තෙල චතුස්ප්‍රත්‍යයධර්‍මයන්හි පොකුරු පත්හි දියබිඳු සෙයින් මහණ නො ඇලුනේ වේ.
Pali BJT395. ගහට්ඨවත්තං පන වො වදාමි යථාකරො සාවකො සාධු හොති, නහෙස{1} ලබ්භා සපරිග්ගහෙන ඵස්සෙතුං සො කෙවලො භික්ඛු ධම්මො.
Sinhala BJT395. යථාකාරී ගෘහස්ථශ්‍රාවක සත්පුරුෂ වේ නම්, එ ගිහිවත තොපට කියමි. තෙල පිරිපුන් මහණදම් (කෙත්වත් ඈ) පරිග්‍රහයෙන් යුත් ගිහියා විසින් ලබන්නට නොහැකි වෙයි.
Pali BJT396. පාණං න හානෙ න ච ඝාතයෙය්ය න වානුජඤ්ඤා හනතං පරෙසං, සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යෙ ථාවරා යෙ ව තසා සන්ති{2}ලොකෙ.
Sinhala BJT396. ලොව්හි ස්ථාවර වූ යම් සත්ත්‍ව කෙනෙක් වෙත් නම්, යම් බඳු ජඞ්ගම සත්ත්‍ව කෙනෙක් වෙත් නම්, ඒ හැම සත්ත්‍වයන් කෙරෙහි දඬු බහාතබා පරපණ නො නසන්නේ ය, නො ද නස්වන්නේ ය, පරපණ නසන මෙරමාහට ද නො අනුදන්නේ ය.
Pali BJT397. තතො අදින්නං පරිවජ්ජයෙය්ය කිඤ්චි ක්වචි සාවකො බුජ්ඣමානො, න හාරයෙ හරතං නානුජඤ්ඤා සබ්බං අදින්නං පරිවජ්ජයෙය්ය.
Sinhala BJT397. ඉක්බිති ‘මේ පරාසතු දැයෙකැ’යි දන්නා ගිහි සවු (ගම්හි වේවයි වලැ වේවයි) කිසිදු තැනෙක්හි වූ ස්වල්ප හෝ බොහෝ වූ හෝ නුදුන් කිසිවක් නොගෙණ හරණේ ය. නො ද හැර ගන්වන්නේ ය. පැහැරගණුවනට නො ද අනුදන්නේ ය. එබඳු හැම අයිනාදන් හැරලන්නේ ය.
Pali BJT398. අබ්රහ්මචරියං පරිවජ්ජයෙය්ය අඞ්ගාරකාසුං ජලිතං ව විඤ්ඤූ, අසම්භුණන්තො පන බ්රහ්මචරියං පරස්ස දාරං නාතික්කමෙය්ය.
Sinhala BJT398. විඥශ්‍රාවක දිලියෙන අඟුරුවළක්සෙයින් අබ්‍රහ්මචර්‍ය්‍යාව දුරු කරන්නේ ය. (උඩත් පිරිසෙයින්) බ්‍රම්සර රැකිය නොහෙනුයේ පරදාරයන් කරා නො යන්නේය.
Pali BJT399. සභග්ගතො වා පරිසග්ගතො වා එකස්ස චෙකො න මුසා භණෙය්ය, න භාණයෙ භණතං නානුජඤ්ඤා සබ්බං අභූතං පරිවජ්ජයෙය්ය.
Sinhala BJT399. සභාවකට ගියේ වේවයි පිරිස්මැදට ගියේ හෝ වේවයි එකලා වූයේ ම එකකුහට මුසවා නො කියන්නේ ය. නො ද බණවන්නේ ය. බණනවුනට ද නො ද අනුදන්නේ ය. හැම අභූතය දුරලන්නේ ය.
Pali BJT400. මජ්ජඤ්ච පානං න සමාචරෙය්ය ධම්මං ඉමං රොචයෙ යො ගහට්ඨො, න පායයෙ පිබතං නානුජඤ්ඤා උම්මාදනන්තං ඉති නං විදිත්වා.
Sinhala BJT400. ගෘහස්ථ තෙම මත්පැන් ද නො සෙවුනේ ය. යම් ගෘහස්ථයෙක් මේ මද්‍යපානවිරති ධර්‍මය රුස්නේ නම් මෙය උන්මාදනය ඇති කරවන්නෙකැයි දැන (අනුන් ලවා) නො ද පානය කරවන්නේ ය. බොනවුන්හට නො ද අනුදන්නේ ය.
Pali BJT401. මදා හි පාපානි කරොන්තී බාලා කරොන්ති චඤ්ඤෙපි ජනෙ පමත්තෙ, එතං අපුඤ්ඤායතනං විවජ්ජයෙ උම්මාදනං මොහනං බාලකන්තං.
Sinhala BJT401. මද හේතුයෙන් අඥයෝ පව් කෙරෙත්. අන් දනන් ද ප්‍රමත්ත කෙරෙත්. පරලොව්හි උමතු බව ඇති කරණ මෙලොව්හි මුළාව දනවන බාලයනට කාන්ත වූ තෙල අපුණ්‍යායතනය හැරලන්නේ ය.
Pali BJT402. පාණං න හානෙ න චදින්නමාදියෙ මුසා න භාසෙ න ච මජ්ජපො සියා, අබ්රහ්මචරියා විරමෙය්ය මෙථුනා රත්තිං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
Sinhala BJT402. ප්‍රාණඝාත නොකරන්නේ ය, අයිනාදන් නොගන්නේ ය, මුසවා නො බණන්නේ ය, මද්‍යප ද නො වන්නේ ය, මෙථූනසඞ්ඛ්‍යාත අබ්‍රම්සරින් වෙන් වන්නේ ය, විකාලභොජන සඞ්ඛ්‍යාත රාත්‍රිභෝජන නො වළඳනේ ය.
Pali BJT403. මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ මඤ්චෙ ඡමායං ව සයෙථ සන්ථතෙ, එතං හි අට්ඨඞ්ගිකමාහු පොසථං බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
Sinhala BJT403. මල්දම් නො දරන්නේ ය. සුවඳවිලෙවුන් ගැල්වීම් නො ද කරන්නේ ය, කැපසරුප් පරිදි අතුළ කැප හැඳෙහි හෝ බිම්හි හෝ හෝනේ ය, වර්ත්තදුඃඛයාගේ අන්තයට ගිය බුදුරදුන් විසින් ප්‍රකාශිත වූ තෙල අෂ්ටාඞ්ගික වූ උපෝසථ යයි කියත්.
Pali BJT404. තතො ච පක්ඛස්සුපවස්සුපොසථං චාතුද්දසිං පඤ්චදසිඤ්ච අට්ඨමිං, පාටිහාරියපක්ඛඤ්ච පසන්නමානසො අට්ඨඞ්ගුපෙතං සුසමත්තරූපං.
Sinhala BJT404. ඉක්බිති පහන් සිතැතියේ පක්‍ෂය පිළිබඳ චාතුද්දසී උපෝසථය ද පණ්ණරසී උපෝසථය ද අටඨමි උපෝසථය ද පාටිහාරිය පක්ඛ උපෝසථය ද සුපිරිපුන් කොට අටඟින් යුත් පෙහෙවස් වසවු.
Pali BJT405. තතො ච පාතො උපවුත්ථුපොසථො අන්නෙන පානෙන ච භික්ඛූ සඞ්ඝං, පසන්න චිත්තො අනුමොදමානො යථාරහං සංවිභජෙථ විඤ්ඤූ.
Sinhala BJT405. ඉක්බිති විඥ ගිහිසවු විසූ පෙහෙවස් ඇතියේ පසුදින පූර්‍වභාගයෙහි පහන් සිතැත්තේ නරතුරු මෝදමාන වූයේ සුදුසුපරිද්දෙන් අහර පැනින් බික්සඟුන් වළඳවන්නේ ය.
Pali BJT406. ධම්මෙන මාතා පිතරො භරෙය්ය පයොජයෙ ධම්මිකං සො වණිජ්ජං, එතං ගිහී වත්තයං අප්පමත්තො{1} සයං පභෙ නාම උපෙති දෙවෙති.
Sinhala BJT406. ධර්‍මයෙන් ලත් භෝගයෙන් මාපියන් පුස්නේය. හෙ දැහැමි වණික්කර්‍ම කරන්නේ ය. අප්‍රමත්ත වූ ගිහිගේ වැසි තෙම තෙල වත පවත්නේ ස්වයම්ප්‍රභ නම් වූ (කාමාවචර සදෙව්ලෝ වැසි) දෙවියන් කරා (උපත් විසින්) එළඹෙන්නේ යයි.
Pali BJTධම්මික සුත්තං නිට්ඨිතං.
Sinhala BJTතුදුස්වැනි ධම්මික සූත්‍රය නිමි.
Pali BJTචුල්ලවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි චුල්ල වර්‍ගයයි.
Pali BJTතස්සඋද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTරතනං ආමගන්ධඤ්ච හිරිං මඞ්ගලමුත්තමං, සූචිලොමො කපිලංච පුන බ්රාහ්මණධම්මිකං. ධම්මසුත්තං කිංසීලං උට්ඨානං අථ රාහුලො, කප්පො ච පරිබ්බාජඤ්ච ධම්මිකො ච පුනාපරං, චුද්දසෙතානි සුත්තානි චුල්ලවග්ගොති වුච්චති.
Sinhala BJTරතන සූත්‍ර යැ, ආමගන්‍ධ සූත්‍ර යැ, හිරි සූත්‍ර යැ, සුචිලෝම සූත්‍ර යැ, කපිල සූත්‍ර යැ, යළි බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර යැ, ධම්ම (නාවා) සූත්‍ර යැ, කිංසීල සූත්‍ර යැ, උට්ඨාන සූත්‍ර යැ, යළි රාහුල සූත්‍ර යැ, නිග්‍රෝධකප්ප (වඞ්ගීස) සූත්‍ර යැ, සම්මාපරිබ්බාජනීය සූත්‍ර යැ, යළි අන්‍ය වූ ධම්මික සූත්‍ර යැ තෙල තුදුස් සූත්‍රයෝ ‘චුල්ලවග්ග’ යි කියනු ලැබේ.
Pali BJT3. මහාවග්ගො
Sinhala BJT3. මහා වර්‍ගය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJTපබ්බජ්ජා සුත්තං
Sinhala BJTපබ්බජ්ජා සූත්‍රය
Pali BJT407. පබ්බජ්ජං කිත්තයිස්සාමි යථා පබ්බජි චක්ඛුමා, යථා වීමංසමානො සො පබ්බජ්ජං සමරොචයි.
Sinhala BJT407. ඒ පසැස් ඇති සම්බුදුරජානන් වහන්සේ ගෘහවාසයෙහි ආදීනව හා ප්‍රව්‍රජ්‍යායෙහි අනුසස් විමසන සේක් යම්පරිදි පැවිද්දක් කැමති වූ සේක් නම් යම් පරිද්දෙකින් පැවිදිවූසේක් නම් ඒ ප්‍රව්‍රජ්‍යාව කීර්‍තනය කරන්නෙමි.
Pali BJT408. සම්බාධො’ යං ඝරාවාසො රජස්සායතනං ඉති, අබ්භොකාසො ව පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජි.
Sinhala BJT408. ‘මෙ ගෘහවාසය (කුශල ක්‍රියාවට) සම්බාධ යැ. රාගාදි ක්ලේශයනට උත්පත්ති දේශයෙකැ’ යි ද ප්‍රව්‍රජ්‍යාවේඅබවසය’යි ද මෙසෙයින් දැන පැවිදි වූහ.
Pali BJT409. පබ්බජිත්වාන කායෙන පාපං කම්මං විවජ්ජයි, වචීදුච්චරිතං හිත්වා ආජීවං පරිසොධයි.
Sinhala BJT409. පැවිද්ද ගෙණ කයින් ත්‍රිවිධ දුශ්චරිත දුරැලූහ. චතුර්විධ වාග්දුශ්චරිතය හැරැපියා ආජීවපාරිශුද්ධිය පැවැත් වූහ.
Pali BJT410. අගමා රාජගහං බුද්ධො මගධානං ගිරිබ්බජං, පිණ්ඩාය අභිහාරෙසි ආකිණ්ණවරලක්ඛණො.
Sinhala BJT410. බුදුහු මගධයන්ගේ ගිරිව්‍රජ නම්වූ රාජගෘහ නගරයට වැඩියහ. ආකීර්‍ණ වූ උත්තම මහාපුරුෂ ලක්‍ෂණයෙන් සමන්‍වාගත වූසේක් පිඬුවා සඳහා සැරිසැරූහ.
Pali BJT411. තමද්දසා බිම්බිසාරො පාසාදස්මිං පතිට්ඨිතො, දිස්වා ලක්ඛණසම්පන්නං ඉමමත්ථං අභාසථ.
Sinhala BJT411. බිම්බිසාර රජ පහයෙහි සිටියේ උන්වහන්සේ දිටී. මහපුරිස් ලකුණින් සමන්‍වාගත ඔවුන් දැක මෙ අරුත් බිණිය.
Pali BJT412. ඉමං භොන්තො නිසාමෙථ අභිරූපො බ්රහා සුචි, චරණෙන චෙව සම්පන්නො යුගමන්නං ච පෙක්ඛති.
Sinhala BJT412. භවත්නි, මෙ පුඟුල් බලවු (හෙ දැකුම් කලු අඟ පසඟ ඇති හෙයින්) අභිරූප වූයේ ආරෝහපරිණාහ සම්පන්න වූයේ පිවිතුරු සිවිපැහැ ඇතියේ යැ. චරණයෙනුදු යුතු වූයේ යුගමාත්‍රයක් මැ බලනු වෙයි.
Pali BJT413. ඔක්ඛිත්තචක්ඛූ සතිමා නායං නීචා කුලාමිව, රාජදූතා විධාවන්තු කුහිං භික්ඛු ගමිස්සති.
Sinhala BJT413. යටැ හෙලූ ඇස් ඇතියේ ස්මෘතිමත් මෙතෙම නීචකුලෙන් නික්මැ පැවිද්දකු බඳු නොවේ. රාජදූතයෝ වෙළෙවිවැ යෙත්වා, මහණ කොහි යේ ද?
Pali BJT414. තෙ පෙසිතා රාජදූතා පිට්ඨිතො අනුබන්ධිසුං, කුහිං ගමිස්සතී භික්ඛු කත්ථ වාසො භවිස්සති.
Sinhala BJT414. අණවනලද එ රාජදුතයෝ ‘මහණ කොහියේද? කොහි උහුගේ වාසය වන්නේදැ’යි පිටුපසින් ලුහුබැඳියහ.
Pali BJT415. සපදානං චරමානො ගුත්තද්වාරො සුසංවුතො, ඛිප්පං පත්තං අපූරෙසි සම්පජානො පතිස්සතො.
Sinhala BJT415. පියූ දොර ඇතියේ (ඉන්‍ද්‍රියසංවරයෙන් මොනොවට සංවෘත වූයේ) ගෙපිළිවෙළ නොකඩ කොටැ සැරිසරමින් මනා නුවණැතියේ එළඹ සිටි සිහි ඇතියේ වහා පාත්‍රය පිරැවියැ.
Pali BJT416. පිණ්ඩචාරං චරිත්වාන{1} නික්ඛම්ම නගරා මුනි, පණ්ඩවං අභිහාරෙසි එත්ථ වාසො භවිස්සති.
Sinhala BJT416. ඒ මුනි පිණ්ඩවාරය කොට නුවරින් නික්මැ ‘මෙහි වාසය වන්නේ’ යි පාණ්ඩව පර්‍වතය කරා ගියේයැ.
Pali BJT417. දිස්වාන වාසූපගතං තතො{2} දූතා උපාවිසුං, එකොව දූතො{3} ආගන්ත්වා රාජිනො පටිවෙදයි.
Sinhala BJT417.එක්බිති වාසෝපගත වූවහු දැකැ රාජදූතයෝ වෙතැ පැමිණියහ. එක්දූතයෙක් පැමිණ රජුට දැන්වීයැ.
Pali BJT418. එස භික්ඛු මාහාරාජ පණ්ඩවස්ස පුරක්ඛතො, නිසින්නො ව්යග්ඝුසභොව සීහොව ගිරිගබ්භරෙ.
Sinhala BJT418. මහරජාණෙනි, තෙල මහණ පාණ්ඩව පර්‍වතයාගේ පැදුන්දික්හි ගිරිගුහායෙහි ව්‍යාඝ්‍රයෙකු හා වෘෂභරාජයෙකු හා සිංහරාජයෙකු හා බදු ව හින.
Pali BJT419. සුත්වාන දූතවචනං භද්දයානෙන ඛත්තියො, තරමානරූපො නිය්යාසී යෙන පණ්ඩවපබ්බතො.
Sinhala BJT419. රාජදූතයන් ගේ බස් අසා රජතෙමේ භද්‍රයානයෙන් අනලස් සැහැවි ඇතියේ පාණ්ඩව පර්‍වතය කරා නික්මැ ගියේ යැ.
Pali BJT420. ස යානභූමිං යායිත්වා යානා ඔරුය්හ ඛත්තියො, පත්තිකො උපසඞ්කම්ම ආසජ්ජ තං උපාවිසි.
Sinhala BJT420. ඒ රජතෙමේ යානභූමිය තාක් ගොස් යානයෙන් බැසැ පියගමන් ඇතියේ එළැඹැ ඒ තවුසන් වෙතැ එළැඹැ හින.
Pali BJT421. නිසජ්ජ රාජා සම්මොදි කථං සාරාණීයං තතො, කථං සො වීතිසාරෙත්වා ඉමමත්ථං අභාසථ.
Sinhala BJT421. එක්බිති රජ (උන් හා) සතුටු වියැ. හේ සිහි කළමනා කථාකොට නිමවා මේ පවත් කීයැ.
Pali BJT422. යුවා ච දහරො චාසි පඨමුප්පතිතො සුසු, වණ්ණාරොහෙන සම්පන්නො ජාතිමා විය ඛත්තියො.
Sinhala BJT422. නවයොවුනෙහි උපතින් තුරුණුයෙහි පළමු උපතින් ලදරුයෙහි වර්‍ණයෙන් හා ආරෝහසම්පත්තියෙන් සපන්හී ක්‍ෂත්‍රිය ජාතිඇතියකු බන්දෙහි.
Pali BJT423. සොහයන්තො අණීකග්ගං නාගසංඝපුරක්ඛතො, දදාමි භොගෙ භුඤ්ජස්සු ජාතිං වක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT423. කැමති තාක් භොග දෙමි. බලකාය හොබවමින් ඇත්සෙනඟින් පිරිවරණලදුයේ භෝගසුඛ වළඳව. (මාවිසින්) විචාරණ ලදුයෙහි ජාතිය ද කියව”යි.
Pali BJT424. උජුං ජානපදො රාජා හිමවන්තස්ස පස්සතො, ධනවිරියෙන සම්පන්නො කොසලෙසු{4} නිකෙතිනො.
Sinhala BJT424. මහරජ, ඉදිරි හිමවත් පස්හි ධනයෙන් හා වීර්‍ය්‍යයෙන් සපන්වූ කෝසල ජනපදයෙහි ආදිකාලයෙහි සිටැ අන්‍වයාගත මහරජහුගේ ජනපදයෙක් වෙයි.
Pali BJT425. ආදිච්චා නාම ගොත්තෙන සාකියා නාම ජාතියා, තම්හා කුලා පබ්බජිතොම්හි රාජ න කාමෙ අභිපත්ථයං.
Sinhala BJT425. ඔහු ගෝත්‍ර විසින් ආදිත්‍ය නම් ද ජාතියෙන් ශාක්‍ය නම් ද වෙති. මහරජ, මම ඒ කුලෙන් පැවිදි වූයෙම් කාමයන් පතනුයෙම් නොවෙමි.
Pali BJT426. කාමෙස්වාදීනවං දිස්වා නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, පධානායගමිස්සාමි එත්ථ මෙ රජ්ජතී{5} මනොති.
Sinhala BJT426. වස්තුකාමක්ලේශකාමයන්හි ආදීනව දැකැ පැවිද්ද (හෝ නිවණ) ක්‍ෂේම විසින් දැකැ ප්‍රධන් වීර්‍ය්‍යය සඳහා යන්නෙමි. මෙ ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මාගේ සිත රැඳුනේ යි.
Pali BJTපබ්බජ්ජාසුත්තං නිට්ඨිතං.
Sinhala BJTපබ්බජ්ජා සූත්‍රය නිමි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJTපධාන සුත්තං
Sinhala BJTපධාන සූත්‍රය
Pali BJT427. තං මං පධානපහිතත්තං නදිං නෙරඤ්ජරං පති, විපරක්කම්ම ඣායන්තං යොගක්ඛෙමස්ස පත්තියා.
Sinhala BJT427. නිල්දලා හෝ තෙරැ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) යෝගක්‍ෂේමාධිගමය සඳහා විශේෂපරාක්‍රම කොට අප්‍රාණකධ්‍යානයෙහි යෙදුනු (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ප්‍රධානයෙහි මෙහෙයූ සිත් හෙවත් පරිත්‍යක්ත ආත්මභාවය ඇති මා කරා
Pali BJT428. නමුචී කරුණං වාචං භාසමානො උපාගමී, කිසො ත්වමසි දුබ්බණ්ණො සන්තිකෙ මරණං තව.
Sinhala BJT428. වසවත්මරදෙව්පිත් කුළුණුබර තෙපුල් කියමින් එළැඹියේ යැ: තෙපි වැහැරි වවු, දුරුවර්‍ණ වවු, දැන් මරණය තොප හමුයෙහි වේ.
Pali BJT429. සහස්සභාගො මරණස්ස එකංසො තව ජීවිතං, ජීව හො{1} ජීවිතං සෙය්යො ජීවං පුඤ්ඤානි කාහසි.
Sinhala BJT429. තොප ගේ මරණයට සහස්‍රභාගයෙන් යුත් ප්‍රත්‍යය වෙයි. තොපගේ ජීවිතය ඒකාංශ ඇතියෙකි. භවත්නි, ජීවත් වවු. ජීවිතය උතුමි. ජීවත්වනුවෝ පින් කරන්නාහු.
Pali BJT430. චරතො ව තෙ බ්රහ්මචරියං අග්ගිහුත්තඤ්ච ජුහනො, පහූතං චීයතෙ පුඤ්ඤං කිම්පධානෙන කාහසි.
Sinhala BJT430. (මෙථුන විරති සඞ්ඛ්‍යාත) බ්‍රහ්මචර්‍ය්‍යය රක්නා අග්නි හෝම හා කරණ තොපට බොහෝ පින් රැස් වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් කම් කරනු වහු?
Pali BJT431. දුග්ගො මග්ගො පධානාය දුක්කරො දුරභිසම්භවො, ඉමා ගාථා භණං මාරො අට්ඨා බුද්ධස්ස සන්තිකෙ.
Sinhala BJT431. ප්‍රධාන (නිර්‍වාණ) ය සඳහා වූ මාර්‍ගය දුර්‍ගම යැ, දුෂ්කර යැ, නො ලැබිය හෙයි. මෙ ගාථා කියමින් මරදෙව්පිත්, බුදුරදුන් හමුයෙහි සිටියේ යැ.
Pali BJT432. තං තථාවාදීනං මාරං භගවා එතදබ්රවී, පමත්තබන්ධු පාපිම යෙනත්ථෙන ඉධාගතො.
Sinhala BJT432. එසෙයින් කියන ඒ මරහට භාග්‍යවත්හු තෙල වදන් කීහු. ප්‍රමත්තයන්‍ ගේ යහළු වූ පාපිෂ්ඨය, යම් අර්‍ත්‍ථයෙකින් මෙහි ආයෙහි ද (එය මම දනිමි.)
Pali BJT433. අණුමත්තෙනපි පුඤ්ඤෙන අත්ථො මය්හං න විජ්ජති, යෙසං ච අත්ථො පුඤ්ඤානං තෙ මාරො වත්තුමරහති.
Sinhala BJT433. අණුමාත්‍ර වූ ද, (වර්‍තගාමි) පුණ්‍යයකින් මට අර්‍ත්‍ථයෙක් නැත. යමකුන් හට පුණ්‍යයන් පිළිබඳ අර්‍ත්‍ථයෙක් වේ නම් මරදෙව් ඔවුනට කියනට නිස්සේ යැ.
Pali BJT434. අත්ථි සද්ධා තථා විරියං පඤ්ඤා ච මම විජ්ජති, එවං මං පහිතත්තම්පි කිං ජීව මම පුච්ඡසි.
Sinhala BJT434. මට (ශාන්තිවරපදය කෙරෙහි ඔකප්පන) ශ්‍රද්ධා ඇත, එසෙයින් ම (පරාක්‍රම සඞ්ඛ්‍යාත) වැර ද ඇත. මට වජ්‍රෝපම ප්‍රඥා ද ඇත. මෙසෙයින් නිවන් කරා යොමු කළ සිත් ඇති මා කවර හෙයින් “දිවි රකුවයි” අනුපෘච්ඡා කෙරෙහි ද?
Pali BJT435. නදීනමපි සොතානි අයං වාතො විසොසයෙ, කිඤ්ච මෙ පහිතත්තස්ස ලොහිතං නූපසුස්සයෙ.
Sinhala BJT435. (අප්‍රාණකධ්‍යානයෙන් සමුත්‍ථිත වූ) මාගේ, මෙ ශරීරවාතය නදීස්‍රෝතස් නමුදු වියළන්නේ යැ, ප්‍රහිතාත්ම වූ මාගේ ලෙහෙ කිම නො වියළන්නේ ද?
Pali BJT436. ලොහිතෙ සුස්සමානම්හි පිත්තං සෙම්හඤ්ච සුස්සති, මංසෙසු ඛීයමානෙසු භිය්යො චිත්තං පසීදති, භිය්යො සති ච පඤ්ඤා ච සමාධි මම තිට්ඨති.
Sinhala BJT436. ලෙහෙ වියැළෙත් මැ පිත් හා සෙමුදු වියැළෙයි. මාංසය ක්‍ෂීණ වත් මැ බෙහෙවින් සිත් පහන් වන්නේ යැ. බෙහෙවින් මාගේ ස්මෘති හා ප්‍රඥා හා සමාධි හා සිටුනේ යි.
Pali BJT437. තස්ස මෙවං විහරතො පත්තස්සුත්තමවෙදනං, කාමෙ නාපෙක්ඛතෙ චිත්තං පස්ස සත්තස්ස සුද්ධතං,
Sinhala BJT437. මෙ නයින් වෙසෙන උත්තම වේදනාවට පත් ඒ මාගේ චිත්තය උභය කාමයන් අපේක්‍ෂා නො කෙරෙයි. සත්ත්‍වයකුගේ පාරිශුද්ධත්‍වය බලව.
Pali BJT438. කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති, තතියා ඛුප්පිපාසා තෙ චතුත්ථි තණ්හා පවුච්චති.
Sinhala BJT438. ක්ලේශකාමයෝ තාගේ ප්‍රථමසේනා යැ (අධිකුශලධර්‍මයන්හි) අරතිය ද්විතීයසෙනා යි කියනු ලැබේ. ක්‍ෂුත්පිපාසා දෙක තාගේ තෘතීය සේනා යැ, පර්‍ය්‍යෙෂණ තෘෂ්ණාව තාගේ සතරවන යයි කියනු ලැබේ.
Pali BJT439. පඤ්චමී ථීනමිද්ධං තෙ ඡට්ඨා භීරු පවුච්චති, සත්තමී විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො තෙ අට්ඨමී.{1}
Sinhala BJT439. තාගේ පස්වන සෙනඟ ථිනමිද්ධය වෙයි. සවන සෙනඟ (උත්‍රාසසඞ්ඛ්‍යාත) බියයි කියනු ලැබේ. තාගේ සප්තම සේනාව විචිකිත්සා නමු, තාගේ අටවැනි සෙනඟ මකුබව හා තදබව යි.