Pali BJT795. පුරිමං පහාය අපරං සිතාසෙ එජානුගා තෙ න තරන්ති සඞ්ගං, තෙ උග්ගහායන්ති නිරස්සජන්ති කපීව සාඛං පමුඛං ගහාය.{1}
Sinhala BJT795. ඔහු පූර්‍ව ශාස්තෘ ආදීන් හැර පියා අපර ශාස්තෘ ආදීන් ඇසිරි කරන්නාහු එජා සංඛ්‍යාත තෘෂ්ණාව අනුව ගියාහු රාගාදි සඞ්ගය තරණය නො කෙරෙති. යළි ඔහු පූර්‍වශාඛාව හැරපියා අපරශාඛාව ගන්නා වඳුරකු සෙයින් එ එ ධර්‍මයන් හැරපියන්නාහු ද ගන්නාහු ද වෙත්.
Pali BJT796. සයං සමාදාය වතානි ජන්තු උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො, විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො.
Sinhala BJT796. කාමාදි සංඥායෙහි ලැගුනු සත්ත්‍ව (හස්තිව්‍රතාදී) ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකෙකින් එකකට යෙයි, පරමාර්‍ත්‍ථයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සිවුමග නැණින් සිවුසස්දම් පිළිවිද උච්චාවච බවට නො පැමිණේ.
Pali BJT797. ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා, තමෙව දස්සිං විවටං චරන්තං කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය.
Sinhala BJT797. ඒ භූරිප්‍රාඥ වූ ක්‍ෂීණාස්‍රව මහණ, යම්කිසි රූපාලම්බනයක් වේවයි, ශබ්දාලම්බනයක් වේවයි, ගන්‍ධ - රස - ඵොට්ඨබ්බාලම්භනයක් වේවයි, එ සියලු ධර්‍මයන්හි අකුසලාභිසංස්කාර නම් වූ මාර සේනාව විධමා සිටි බැවින් විසේනි වූයේ වෙයි. මෙසේ විශුද්ධි දර්‍ශන ඇති තෘෂ්ණාච්ඡදනාදි විගමන විවෘතව හැසිරෙන එ රහත්හු තෘෂ්ණාදි කවර කල්පනයෙකින් විකල්පනය කෙරේ ද?
Pali BJT798. න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති අච්චන්තසුද්ධීති න තෙ වදන්ති, අදානගන්ථං ගථිතං විසජ්ජ ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලොකෙ.
Sinhala BJT798. ඒ ක්‍ෂීණාස්‍රවයෝ තෘෂ්ණාදි කල්පනයන් ද නො කෙරෙති. තෘෂ්ණාදෘෂ්ටි පුරස්කාරයනුදු පෙරටු නො කෙරෙති. (පරමාර්‍ත්‍ථ අත්‍යන්තශුද්ධිය අධිගත වන හෙයින්) අක්‍රිය-ශාස්වත දෘෂ්ටි දෙක අත්‍යන්ත ශුද්ධි යි ද නො කියති. ස්වකීය චිත්තසන්තානයෙහි ගෙතුනු ආදානග්‍රන්‍ථ යි කියන ලද අභිධ්‍යාකායග්‍රන්‍ථාදි චතුර්විධකාය ග්‍රන්‍ථ සිඳපියා කිසිදු ලොවෙක්හි තෘෂ්ණා නො කෙරෙත්.
Pali BJT799. සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි ඤත්වා ච දිස්වා ව සමුග්ගහීතං, න රාගරාගී න විරාගරත්තො තස්සීධ නත්ථි පරමුග්ගහීතන්ති.
Sinhala BJT799. එ භූරිප්‍රාඥ රහත් තෙමේ චතුර්විධ ක්ලේශසීමා ඉක්ම වූ යේ ය. බාහිතපාපී හෙයින් බ්‍රාහ්මණ වෙයි. ඔහට පරචිත්ත විජානනපුබ්බේනිවාස යන උභය ඥානයෙන් දැන හෝ මසැස් - දිවැස් දෙකින් දැක හෝ මොනොවට බැසගන්නා ලද්දෙක් නැත. හෙ කාමරාගයෙන් රාගවත් නො වෙයි. රූපාරූපරාග සංඛ්‍යාත විරාගයෙන් රක්ත වූයේ ද නො වෙයි. ඔහට මෙ ලොව්හි උතුමැ යි දැඩි වැ ගන්නා ලද කිසිවක් නැත්තේ යි.
Pali BJTසුද්ධට්ඨකසුත්තං නිට්ඨිතං.
Sinhala BJTසුද්ධට්ඨක සූත්‍රය නිමි
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJTපරමට්ඨක සුත්තං
Sinhala BJTපරමට්ඨක සූත්‍රය
Pali BJT800. පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො යදුත්තරිං කුරුතෙ ජන්තු ලොකෙ, හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ තස්මා විවාදානි අවීතිවත්තො.
Sinhala BJT800. ලොව්හි යම් සත්ත්‍වයෙක් දෙසැටමිදිටු අතුරෙන් ‘මෙ උතුමැ’යි එක්තරා දෘෂ්ටියක් ගෙණ ඒ තමන් ගත් දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයෙකින් තමාගේ ශාස්තෘ ආදිය ‘උතුමැ’යි කියා ද, එයින් අන්‍ය වූ හැම ‘හීනය’යි කියාද, එහෙයින් හෙ දෘෂ්ටිවාදයන් නො ඉක්මැවූයේ වේ.
Pali BJT801. යදත්තනි පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ{1} මුතෙ වා, තදෙව සො තත්ථ සමුග්ගහාය නිහීනතො පස්සති සබ්බමඤ්ඤං.
Sinhala BJT801. මෙසේ දෘෂ්ටිකලහයන් නො ඉක්මැ වූයේ රූපාලම්බනසඞ්ඛ්‍යාත දෘෂ්ටායතනයෙහි දු, ශබ්දාලම්බනසඞ්ඛ්‍යාත ශ්‍රැතායතනයෙහි දු, ශීලව්‍රතයන්හි දු, ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනසඞ්ඛ්‍යාත මුතායතනයෙහි දු, උපන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත ආත්මෙයහි යම් අනුසසක් දක්නේ නම්, හෙ ස්වකීයදෘෂ්ටියෙහි එ අනුසස මැ ශ්‍රේෂ්ඨයයි දැඩිවැ ගෙණ පරශාස්තෘ ආදි අන් හැම නිහීන හෙයින් දක්නේ යි.
Pali BJT802. තං වාපි ගන්ථං කුසලා වදන්ති යං නිස්සිතො පස්සති හීනමඤ්ඤං, තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්ය.
Sinhala BJT802. මෙසේ දක්නේ තමාගේ ශාස්තෘ ආදියක් ඇසිරි කරණ ලදුයේ නම් එයින් අන්‍යවූ පරශාස්තෘආදිය හීන කොට දක්නේය. ස්කන්‍ධාදිය දැනීමෙහි නිපුණයෝ ඔහුගේ ඒ දර්‍ශනය බන්‍ධනයෙකැයි කියති. එහෙයින් මැ මහණ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ශීලව්‍රතසඞ්ඛ්‍යාතධර්‍මාලම්බන වේවයි තෘෂ්ණාදෘෂ්ටි විසින් ඇසිරි නො කරන්නේ යි.
Pali BJT803. දිට්ඨිම්පි ලොකස්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපි, සමොති අත්තානමනූපනෙය්ය හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි.
Sinhala BJT803. ඒ මහණ හුදෙක් දෘෂ්ට ශ්‍රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලෝකයෙහි නූපන්දෘෂ්ටිය ද සමාපත්‍යාදිඥානයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නූපදවන්නේ ය. තවද ජාත්‍යාදිවස්තුකරණකොට ‘මම සදෘශයෙමි’යි තමා (මානවශයෙන්) නො හඟනේය, ‘හීනයෙමි’යි ද නො හඟනේ ය, ‘විශේෂ යෙමි’යි ද නො හඟනේ යි.
Pali BJT804. අත්තං පහාය අනුපාදියානො ඤාණෙපි සො නිස්සයං නො කරොති, ස චෙ වියත්තෙසු න වග්ගසාරී දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි.
Sinhala BJT804. හේ පළමු ගත් ආත්මදෘෂ්ටිය හැරපියා චතුර්උපාදානයෙන් කිසිවක් නො ගන්නේ ඥානයෙහි දු තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නො කෙරෙයි. හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටි විසින් භින්න සත්ත්‍වයන් කෙරෙහි ඡන්‍දාදි විසින් අගතියට නො යන සැහැවි ඇතියේ වෙයි. හෙ කිසි දෘෂ්ටියකට නො එන්නේ වේ.
Pali BJT805. යස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධවා හුරං වා, නිවෙසනා තස්ස න සන්ති කෙචි ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.
Sinhala BJT805. යම් රහත්මහණක්හට ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහිත් පුනපුනාභවය පිණිසත් ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි හෝ තෘෂ්ණා ප්‍රණිධි නැත් ද, එ රහත්හට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති. දෙසැටමිසදිටුදම්හි නිශ්චය කොට දැඩි වැ ගන්නාලද්දෙක් ද නැත්තේ යි.
Pali BJT806. තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්ථි අණූපි සඤ්ඤා, තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය.
Sinhala BJT806. එ රහත් මහණහට රූපයතනසඞ්ඛ්‍යාත දෘෂ්ටශුද්ධියෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ මුතශුද්ධියෙහි හෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත වූ අණුමාත්‍ර වූත් සංඥාසමුත්‍ථාපිකදෘෂ්ටියෙක් නැත. මෙ සත්ත්‍වලෝකයෙහි දෙසැටමිසදිටු නො ගන්නා එ බාහිතපාපී බ්‍රාහ්මණයා රාගාදි වූ කවරහේතුයෙකින් විකල්පනය කරන්නේ ද?
Pali BJT807. න කප්පයන්තී න පුරෙක්ඛරොන්ති ධම්මාපි තෙසං න පටිච්ඡිතාසෙ න බ්රාහ්මණො සීලවතෙන නෙය්යො පාරංගතො න පච්චෙති තාදීති.
Sinhala BJT807. එ රහත්මහණහු තෘෂ්ණාදෘෂ්ටිකල්පයන් නො කෙරෙති. ඔවුන් පෙරටු කොට නො හැසිරෙති. දෙසැටමිසදිටු දහම්හු ද ඔවුන් විසින් නො පිළිගන්නාලදහ. ක්‍ෂීණස්‍රවබ්‍රාහ්මණ ශීලව්‍රතයෙන් යළි කෙලෙසුන්කරා පැමිණවිය නො හැකි වෙයි. තාදීවූ රහත්තෙම නිර්‍වාණපාරයට ගියේ මඟනැණින් නැසූ කෙලෙසුනට යළි නො එන්නේ යි.
Pali BJTපරමට්ඨකසුත්තං නිට්ඨිතං
Sinhala BJTපරමට්ඨක සූත්‍රය නිමි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJTජරා සුත්තං
Sinhala BJTජරා සූත්‍රය
Pali BJT808. අප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයති, යො චෙපි අතිච්ච ජීවති අථ ඛො සො ජරසාපි මීයති.
Sinhala BJT808. මෙ මනුෂ්‍ය ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. හවුරුදු සියයෙකින් මෙපිට (කලලාදි අවස්ථායෙහි) දූ මියෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මැ ජීවත් වේ නම්, එකල හේ ජරායෙනුදු මියයන්නේ යි.
Pali BJT809. සොචන්ති ජනා මමායිතෙ න හි සන්තා නිච්චා පරිග්ගහා, විනාභාවං{1} සන්තමෙවිදං ඉති දිස්වා නාගාරමාවසෙ.
Sinhala BJT809. සත්ත්‍වයෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් මමත්‍වයෙන් ගත් වස්තුයෙහි ශෝක කෙරෙති. එතෙකුදු වුව නිත්‍ය වූ පරිග්‍රහයෝ නො මැ වෙති. මෙ විනාභාවය විද්‍යාමාන මැ වේ යයි මෙසේ නුවණින් දැකැ විඥපුරුෂ ගිහිගෙහි නො වසන්නේ යි.
Pali BJT810. මරණෙනපි තං පහීයති යං පුරිසො මමිදන්ති{2} මඤ්ඤති, එතං දිස්වාන{3} පණ්ඩිතො, න මමත්තාය නමෙථ මාමකො.
Sinhala BJT810. පුරුෂ යම් රූපාදියක් ‘මේ මාගේ’යයි මඤ්ඤනා වශයෙන් හඟනේ නම්, එය මරණනිදු දුරුකරණු ලැබෙයි. බුද්ධාදීන් කෙරෙහි මාමක වූ පණ්ඩිත තෙමේ රූපාදියෙහි තෙල ආදීනවය දැකැ මමත්‍වයට නො නැමෙන්නේ යි.
Pali BJT811. සුපිනෙන යථාපි සඞ්ගතං පටිබුද්ධො පුරිසො න පස්සති, එවම්පි පියායිතං ජනං පෙතං කාලකතං න පස්සති.
Sinhala BJT811. පුරුෂ සිහිනෙන් දක්නා ලද චන්‍ද්‍රාදි කිසිවක් පිබිදියේ යම්සේ නො දක්නේ ද, එසෙයින් පරලොව ගිය, කලුරිය කළාවූ ප්‍රිය සත්‍වයා නො දක්නේ යි.
Pali BJT812. දිට්ඨාපි සුතාපි තෙ ජනා යෙසං නාමමිදං පවුච්චති, නාම මෙවාවසිස්සති අක්ඛෙය්යං පෙතස්ස ජන්තුනො.
Sinhala BJT812. ක්‍ෂත්‍රියාදි යම් කෙනෙකුන් ගේ මේ නාමප්‍රඥප්තියයැ යි කියනු ලැබේ නම්, එ සත්ත්‍වයෝ වනාහි චක්ඛු විඤ්ඤාණාභිසම්භූත වූ චතුසමුට්ඨානිකරූපයෝත් සෝතවිඤ්ඤාණාභිසම්භූත වූ ද්විසමුට්ඨානික ශබ්දයොත් වෙති. මියැ පරලොව ගිය සත්ත්‍වයාගේ නාමමාත්‍රය මැ කියන්නට ඉතිරි වේ.
Pali BJT813. සොකපරිදෙව මච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ, තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො.
Sinhala BJT813. මමායන කළ වස්තුයෙහි ගිජු වූවාහු ශෝකපරිදේවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මැ මුනිහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂේමසඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්මින් වාස කළහ.
Pali BJT814. පතිලීනචරස්ස භික්ඛුනො භජමානස්ස විවිත්තමාසනං, සාමග්ගියමාහු තස්ස තං යො අත්තානං භවනෙ න දස්සයෙ.
Sinhala BJT814. ඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති, විවේක සෙනසුන් සෙව්නා වූ කලණ පුහුදුන් වූ හෝ ශෛක්‍ෂ වූ හෝ මහණහට ද, නිරායාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නො දක්වන එ රහත්මහණහට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා (නිරයාදි භවනෙහි තමා නො දැක්වීම) අනුරූප යයි කියත්.
Pali BJT815. සබ්බත්ථ මුනී අනිස්සිතො න පියං කුබ්බති නොපි අප්පියං, තස්මිං පරිදෙව මච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පති.
Sinhala BJT815. ද්වාදශායතන නම් වූ හැම තන්හි තෘෂ්ණා - දෘෂ්ටි නිඃශ්‍රය රහිත වූ මුනිතෙම (සත්ත්‍ව සංස්කාර කෙරෙහි) ප්‍රිය නො කෙරෙයි, අප්‍රිය ද නො කෙරෙයි. එ රහත්මුනිහු කෙරෙහි පරිදේව හා මාත්සර්‍ය්‍යය පියුම්පත්හි දිය සෙයින් නො ඇලේ.
Pali BJT816. උදබින්දු යථාපි පොක්ඛරෙ පදුමෙ වාරි යථා න ලිප්පති, එවං මුනි නො පලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වා
Sinhala BJT816. පොකුරුපත්හි යම්සේ දිය බිඳු නො ඇලේ ද, පියුම්පෙතෙහි යම්සේ දිය නො රැඳේ ද, එසෙයින් ක්‍ෂීණාස්‍රව මහණ දිට්ඨ සුතයෙහි හෝ මුතයෙහි හෝ නො ඇලේ.
Pali BJT817. ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා, නාඤ්ඤෙන විසුද්ධිමිච්ඡති න හි සො රජ්ජති නො විරජ්ජතීති.
Sinhala BJT817. ධුතපාප වූ ක්‍ෂීණාස්‍රව තෙම යම්බඳු මෙ දිට්ඨ - සුත - මුත යන ආලම්බන වේ නම් එ වස්තුයෙන් මඤ්ඤනා විසින් නො සිතයි, හෙ අනෙක් අශුද්ධමාර්‍ගයකිනුදු ශුද්ධිය නො පතයි. හේ එහි (බාල පෘථුජ්ජනයන් මෙන්) නො ඇලෙයි, කල්‍යාණ පෘථජ්ජනයන් හා ක්ශෛෂයන් මෙන් විරාග ද නො වේ.
Pali BJTජරාසුත්තං නිට්ඨිතං.
Sinhala BJTජරා සූත්‍රය නිමි.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJTතිස්සමෙත්තෙය්ය සුත්තං
Sinhala BJTතිස්සමෙත්තෙය්‍ය සූත්‍රය
Pali BJT818. මෙථුනමනුයුත්තස්ස (ඉච්චායස්මා - තිස්සොමෙත්තෙය්යො) විඝාතං බ්රූහි මාරිස, සුත්වාන තව සාසනං විවෙකෙ සික්ඛිස්සාම සෙ.
Sinhala BJT818. නිදුකානන්වහන්ස, මෙවුන්දම් හි අනුයුක්තහට වන උවදුරු මෙයයි වදාළ මැනැවැ, මුඹවහන්සේ ගේ අනුශාසනය අසා ත්‍රිවිධ විවේකයෙහි හික්මෙනුවම්හ (ආයුෂ්මත් තිෂ්‍ය මෛත්‍රෙය මෙසේ විචාළේයි.)
Pali BJT819. මෙථුනමනුයුත්තස්ස (මෙත්තෙය්යාති භගවා) මුස්සතෙවාපි සාසනං, මිච්ඡා ච පටිපජ්ජති එතං තස්මිං අනාරියං
Sinhala BJT819. (මෙසේ බුදුරජානන්වහන්සේ වදාළසේක,) මෙත්තෙය්‍යයෙනි, මෙවුන්දම්හි නියුක්තයාහට පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්තිශාසනය පිරිහේ මැයි, හෙ වරදවා සසුන් පිළිපදනේ ද වෙයි. ඔහුකෙරෙහි තෙල මිත්‍යාප්‍රතිපද් අනාර්‍ය්‍ය ධර්‍මයෙකි.
Pali BJT820. එකො පුබ්බෙ චරිත්වාන මෙථුනං යො නිසෙවති, යානං හන්තං ව තං ලොකෙ හීනමාහු පුථුජ්ජනං.
Sinhala BJT820. යමෙක් පෙර (පැවිද්දෙන්) එකලා වැ ලොවැ හැසිර පසු කල්හි මෙවුන්දම් සෙවුනේ නම් අදාන්ත (හස්ත්‍යශ්වාදි) යානයක් සෙයින් එ (සිවුරලු) පුහුදුනා හීන යයි කියත්.
Pali BJT821. යසො කිත්තිඤ්ච යා පුබ්බෙ හායතෙ වා පි තස්ස සා, එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ.
Sinhala BJT821. පෙර මහණ බැව්හිදී ඔහුගේ යම් යශසෙක් ද කීර්තියෙක් ද වී නම්, එ යශස හා කීර්තිය පිරිහේ මැයි. මෙ යශස් කීර්ති හානිය දැක මෙවුන්දම් දුරලනු සඳහා ත්‍රිවිධශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.
Pali BJT822. සංකප්පෙහි පරෙතො සො කපණො විය ඣායති, සුත්වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො.
Sinhala BJT822. කාමාදිසංකල්පයෙන් මැඩුනු එ සිවුරුලු දිළින්දකු සෙයින් සිත යි. එබඳු පුඟුල් උපාධ්‍යාදි අන්‍යයන්ගේ වදන් අසා මකු වන්නේ යි.
Pali BJT823. අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො, එසඛ්වස්ස මහාගෙධො මොසවජ්ජං පගාහති.
Sinhala BJT823. ඉක්බිති පරවාදයෙන් චෝදිත වූ හේ දුශ්චරිත නැමැති ශස්ත්‍රන් කෙරෙයි, මෘෂවාදයට බැස ගණියි, එ වූකලී ඔහට මහා බන්‍ධනයෙකි.
Pali BJT824. පණ්ඩිතොති සමඤ්ඤාතො එකචරියං අධිට්ඨිතො, අථාපි මෙථුනෙ යුත්තො මන්දො ව පරිකිස්සති.
Sinhala BJT824. පළමු ‘පණ්ඩිතයෙකැ’යි ප්‍රසිද්ධ වූ එකලා වාසයෙහි පිහිටි හෙ (පස්කල්හි) මෙවුන්දම්හි නියැලියේ මූඪයකු සෙයින් කෙලෙසෙන්නේ යි.
Pali BJT825. එතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ, එකචරියං දළ්හං කයිරා න නිසෙවෙථ මෙථුනං
Sinhala BJT825. මෙ සස්නෙහි මුනිතෙම පෙර මහණදම්හි සැපත් හා පසු (ගිහිකල) විපත් හා යන තෙල ආදීනව දැක එකලා වාසය දැඩි කරන්නේ ය, මෙවුන්දම් නො සෙවුනේ යි.
Pali BJT826. විවෙකං යෙව සික්ඛෙථ එතදරියානමුත්තමං, න තෙන සෙට්ඨො මඤ්ඤෙථ ස වෙ නිබ්බානසන්තිකෙ.
Sinhala BJT826. බුද්ධාදි ආර්‍ය්‍යයන්ගේ උත්තම වූ තෙල ත්‍රිවිධවිවේකයෙහි මැ හික්මෙන්නේ ය. ඒ විවේකය හේතුකොට ගෙණ ‘මම ශ්‍රේෂ්ඨ යෙමි’යි ද නො හඟනේ ය. හේ ඒකාන්තයෙන් ම නිවන සමීපයෙහි වන්නේ යි.
Pali BJT827. රිත්තස්ස මුනිනො චරතො කාමෙසු අනපෙක්ඛිනො ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා{1} පජාති.
Sinhala BJT827. කායදුශ්චරිතාදියට නිමිත්ත වූ කෙලෙසුන් කෙරෙන් සිස් වූ හුදෙකලාව හැසිරෙන, කාමයන්හි අපේක්‍ෂා නැති, චතුරෝඝතරණය කළ රහත් මුනිහට කාමයන්හි ගිජුවූ සත්ත්‍වයෝ කැමැති වෙත්.
Pali BJTතිස්සමෙතෙය්යසුත්තං නිට්ඨිතං
Sinhala BJTතිස්සමෙත්ත්‍යෙය සූත්‍රය නිමි.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJTපසූර සුත්තං
Sinhala BJTපසූර සූත්‍රය
Pali BJT828. ඉධෙව සුද්ධි ඉති වාදියන්ති{2} නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු, යං නිස්සිතා තත්ථ සුභං වදානා පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා.
Sinhala BJT828. යම් ශාස්තෘ - ශාසනාදියක් ඇසුරුකළා වූ (තමන් විසින් පිළිගත්) ඒ දෘෂ්ටියෙහි ම ශුභවාද ඇති, ප්‍රත්‍යෙකදෘෂ්ටි සත්‍යයන්හි බැසගත් බොහෝ මහණබමුණෝ වෙත් නම්, ඔහු “මෙහි මැ ශුද්ධිය වේ ය” යි වාද කෙරෙති. “අන්‍ය ධර්‍මයන්හි විශුද්ධිය නැතැ”යි කියත්.
Pali BJT829. තෙ වාදකාමා පරිසං විගය්හ බාලං දහන්තී මිථු අඤ්ඤමඤ්ඤං, වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං පසංසකාමා කුසලා වදානා.
Sinhala BJT829. වාද කැමැති ඔහු පිරිස් මැදට වැද උනුන් බාල යයි දක්නාහ. අන්‍ය ශාස්තෘ ආදීන් ඇසුරු කළ ඔහු ප්‍රශංසා කැමැත්තාහු “අපි පණ්ඩිතවාද ඇතියම්හ”යි විවාද කථා බෙණෙත්.
Pali BJT830. යුත්තො කථායං පරිසාය මජ්ඣෙ පසංසමිච්ඡං විනිඝාති හොති, අපාහතස්මිං පන මඞ්කු හොති නින්දාය සො කුප්පති රන්ධමෙසී.
Sinhala BJT830. පිරිස් මැද වාදකථායෙහි නියුතුයේ තමහට පැසැසුම් කැමැතියේ කෙසේ පිළිමල්හු නිගන්නෙම් දැයි සැක ඇතියේ වෙයි. වීමංසකයන් විසින් ඔහුගේ වාදය බැහැර කරත් මැ මකු වෙයි. පිළිමල්හු ගේ සිදුරු සොයන හෙ නින්‍දායෙන් කෝපයට පැමිණේ.
Pali BJT831. යමස්ස වාදං පරිහීනමාහු අපාසදං පඤ්හවීමංසකා සෙ, පරිදෙවති සොචති හීනවාදො උපච්චගා මන්ති අනුත්ථුනාති.
Sinhala BJT831. ප්‍රශ්න වීමංසකයෝ යම්හෙයකින් ඔහුගේ වාදය හීනවූයේ බැහැර කරණලදැයි කියත් නම්, පිරිහුනු වාද ඇති හෙතෙම මා වාදයෙන් ඉක්ම ගියේ ය”යි වැලැපෙයි, ශෝක කෙරෙයි, තතනයි.
Pali BJT832. එතෙ විවාදා සමණෙසු ජාතා එතෙසු උග්ඝාති නිඝාති හොති, එවම්පි දිස්වා විරමෙ කථොජ්ජං න හඤ්ඤදත්ථත්ථි පසංසලාභා.
Sinhala BJT832. තෙල විවාදයෝ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් කෙරෙහි උපන්නාහු වෙති. තෙල වාදයන්හිදී අනුග්‍රහ නිග්‍රහ ද වෙයි. තෙල ආදීනව දැකැ කලහය හැරපියන්නේ ය. යම්හෙයකින් මෙ විවාදයෙහි ප්‍රශංසාලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් නැත් ද, එ හෙයිනි.
Pali BJT833. පසංසිතො වා පන තත්ථ හොති අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ, සො තං හසතී උන්නමතිච්ච{1} තෙන පප්පුය්ය තමත්ථං{2} යථාමනො අහු
Sinhala BJT833. යමෙක් තමා විසින් ගන්නාලද එ දෘෂ්ටියෙහි පසස්නාලදුයේ හෝ වේ නම්, පිරිස් මැද ඒ දෘෂ්ටිවාදය පවසා ඒ ජයාර්‍ත්‍ථය ලැබ සිත් සේ හේ ඒ ජයහේතුයෙන් සිනා සෙයි. යළි උඩඟු ද වේ.
Pali BJT834. යා උන්නතී සාස්ස විඝාතභූමි මානාතිමානං වදතෙ පනෙසො, එතම්පි දිස්වා න විවාදයෙථ න හි තෙන සුද්ධිං කුසලා වදන්ති.
Sinhala BJT834. යම් චිත්තෝන්නතියෙක් (උඩඟු බවෙක්) වේ නම් එය ඔහට උපද්‍ර භූමි වෙයි. තෙල පුඟුල් මානය හා අතිමානය කියයි, තෙල දෝෂය දැකැ, නො මැ විවාද කරන්නේ ය, ස්කන්‍ධායතනාදියෙහි කුශලයෝ එ දෘෂ්ටිවාදයෙන් ශුද්ධිය (වේ යයි) නො මැ කියත්.
Pali BJT835. සූරො යථා රාජඛාදාය පුට්ඨො අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං, යෙනෙව සො තෙන පලෙහි සූර පුබ්බෙව නත්ථි යදිදං යුධාය.
Sinhala BJT835. යම් පරිදි රාජභෝජනයෙන් පුස්නාලද ශූරයෙක් පිළිමල්හු පතමින් අභිගර්‍ජනය කරමින් එළඹෙයි ද, ශූරය, තාගේ එ පිළිමල් තෙමේ යම් තැනෙක්හි වේ නම්, තෝ එහි පලායා. කලහ සඳහා (මාතුළ) යම් කෙලෙස් කෙනෙක් වෙත්නම් ඔහු පළමු මැ (බෝ මුල්හිදී නැසූ හෙයින් මට) නැති.
Pali BJT836. යෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්ති{1} ඉදමෙව සච්චන්ති ච වාදයන්ති,{2} තෙ ත්වං වදස්සු න භි තෙධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා.
Sinhala BJT836. යම් කෙනෙක් මිසදිටු දැඩිවැ, ගෙණ විවාද කෙරෙත් ද, යළි මෙය මැ සත්‍යයයි කියත් නම්, තෝ ඔවුනට කියව. වාදයක් උපන්කල්හි පිළිලොම් කරණ ඔහු මෙ සස්නෙහි නැති හෙයිනි.
Pali BJT837. විසෙනිකත්වා පන යෙ චරන්ති දිට්ඨීහි දිට්ඨිං අවිරුජ්ඣමානා, තෙසු ත්වං කිං ලභෙථො පසූර යෙසීධ නත්ථි පරමුග්ගහීතං.
Sinhala BJT837. යම් කෙනෙක් කෙලෙස් මරසෙන් වනසා දෘෂ්ටියෙන් දෘෂ්ටියකට විරුද්ධ නොවෙමින් වෙසෙත් නම්, මෙ සස්නෙහි යම් කෙනකුන්ට මෙ උත්තම යයි දැඩි වැ ගන්නාලද්දක් නැත් ද, පසූරය, එබඳු රහතුන් කෙරෙහි තෝ කවරකු ප්‍රතිමල්ල කොට ලබනෙහි ද?
Pali BJT838. අථ ත්වං පවිතක්කමාගමා මනසා දිට්ඨිගතානි චින්තයන්තො, ධොනෙන යුගං සමාගමා න හි ත්වං සක්ඛසි සම්පයාතවෙති.
Sinhala BJT838. වැලිත් තෝ සිතින් දෘෂ්ටිගතයන් සිතමින් (මට මින් ජයවේදෝහෝ යි) විතර්‍ක කරමින් ආයෙහි, ධුතක්ලේශ වූ බුදුන් සමග යුගග්‍රාහයට ආයෙහි, එහෙත් තෝ (බුදුන් කරා වාදයෙන්) එළඹෙන්නට නො මැ හැකියෙහි.
Pali BJTපසූරසුත්තං නිට්ඨිතං.
Sinhala BJTපසූර සූත්‍රය නිමි.
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJTමාගන්දිය සුත්තං
Sinhala BJTමාගන්‍දිය සූත්‍රය
Pali BJT839. දිස්වාන තණ්හං අරතිං රගඤ්චා{3} නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං, කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ.
Sinhala BJT839. තෘෂ්ණා යැ, අරති යැ, රගා යැ (යන තුන්මරදූන්) දැක මෙවුන් දම්හි ඡන්‍දයෙකුදු නො වී ය. මලමූයෙන් පුන් මෙ සිරුර දැක කවර හෙයින් ඡන්‍දයෙක් විය හේ ද? ( නො හේ මැයි) ඒ සිරුර පයිනුදු පහස්නට නො කැමතියෙමි.
Pali BJT840. එතාදිසං වෙ රතනං න ඉච්ඡසි නාරිං නරින්දෙහි බහූහි පත්ථිතං, දිට්ඨිග්ගතං{4} සීලවතානුජීවිතං{5} භවූපපත්තිඤ්ච වදෙසි කීදිසං.
Sinhala BJT840. බොහෝ නිරිඳුන් විසිනුදු පතන ලද මෙබඳු ස්ත්‍රී රත්නයක් නො කැමැත්තහු නම්, තොපගේ දෘෂ්ටි ගතයත් ශීලව්‍රතයත් ජීවිතයත් භාවොත්පත්තියත් කෙබඳු දැයි කියව.
Pali BJT841. ඉදං වදාමීති න තස්ස හොති (මාගන්දියාති භගවා) ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය අජ්ඣත්තසන්තිං පචිනං අදස්සං.
Sinhala BJT841. මාගන්‍දියෙනි, “දෙසැට මිසදිටු දම්හි නිශ්චය කොට ‘මෙ මැ සැබැවයි කියමි’යි දැඩි කොට ගන්නාලද්දෙක් කෙලෙසුන් දිනූ එ මට නො වෙයි. වැළිදු දෙසැට දිටු දහම්හි ආදීනව දක්නෙම් කිසිදු දෘෂ්ටියක් සත්‍ය සේ නො ගෙණ සිවුසස්දම් සොයනුයෙම් ආධ්‍යාත්මශාන්තිය වන නිවන දිටිමි”යි බුදුහු මෙසේ වදාළහ.
Pali BJT842. විනිච්ඡයා යානි පකප්පිතානි (ඉති මාගන්දියො) තෙ වෙ මුනි බ්රූසි අනුග්ගහාය, අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං. කථං නු ධීරෙහි පවෙදිතං තං.
Sinhala BJT842. විනිශ්චය කොට ගත් යම් ප්‍රකල්පිත දෙසැට දෘෂ්ටීහු වෙත් ද, එ දෘෂ්ටි ධර්‍මයන් සර්‍වඥමුනි වූ තෙපි ඒකාන්තයෙන් නො ගෙණ, තෙල අධ්‍යාත්මශාන්තිය යි යමක් වදාළහු නම් ධීරයන් විසින් එ පරමාර්‍ත්‍ථය කෙසේ ප්‍රකාශ කරන ලදදැ යි (මාගන්‍දිය බ්‍රාහ්මණ මෙසේ ඇසීය.)
Pali BJT843. න දිට්ඨියා න සුතියා න ඤාණෙන (මාගන්දියාති භගවා) සීලබ්බතෙනාපි න සුද්ධිමාහ, අදිට්ඨියා අස්සුතියා අඤාණා{1} අසීලතා අබ්බතා නොපි තෙන එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය සන්තො අනිස්සාය භවං න ජප්පෙ.
Sinhala BJT843. මම දෘෂ්ටියෙනුදු ශුද්ධිය නො කියමි. ශ්‍රැති යෙනුදු, සමාපත්ති ඥානයෙනුදු, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය නොකියමි. දශවස්තුක සම්‍යග්දෘෂ්ටියෙන් තොර වැ නවාඞ්ගශ්‍රෘතියෙන් තොර වැ කර්‍මස්වකතා සත්‍යානුලෝමිකඥානයෙන් තොර වැ ප්‍රාතිමෝක්‍ෂ සංවරශීලයෙන් තොර වැ ධූතාඞ්ගව්‍රතයෙන් තොර වැ ශුද්ධිය නො කියමි. තෙල සම්‍යග්දෘෂ්ටි ආදිමාත්‍රයෙකිනුදු නො කියමි. තෙල දෘෂ්ටි ආදි ධර්‍මයන් හැරපියා අදෘෂ්ටි ආදි ධර්‍මයන් ග්‍රහණ කොට ශාන්ත පුද්ගල චක්‍ෂුරාදිය නිඃශ්‍රය නො කොට කාමාදි භවය නො පතන්නට සමර්‍ත්‍ථ වන්නේය යි බුදුහු වදාළ සේක.
Pali BJT844. නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන (ඉති මාගන්දියො) සීලබ්බතෙනාපි විසුදධිමාහ අදිට්ඨියා අස්සුතියා අඤාණා, අසීලතා අබ්බතා නොපි තෙන මඤ්ඤාමහං මොමුහමෙව ධම්මං දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං.
Sinhala BJT844. ඉදින් දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියවු නම්, ශ්‍රැතියෙන් සමාපත්ති ඥානයෙන් ශීලව්‍රතයෙන් ද නො කියවු නම් යළි දෘෂ්ටියෙන් වෙන් වැ ශ්‍රැතියෙන් වෙන් වැ ඥානයෙන් වෙන් වැ ශීලයෙන් හා ව්‍රතයෙන් ද වෙන් වැ ශුද්ධිය නො කියවු නම්, එ දෘෂ්ට්‍යාදි මාත්‍රයෙනුදු නො කියවු නම්, මම තොපගේ මෙ දහම අතිශයින් මූඪ වූවක් මැ කොට හඟනෙම්. ඇතැම් කෙනෙක් දෘෂ්ට්‍යාදිමාත්‍රයෙන් ශුද්ධිය කැමැති වෙත් යයි (මාගන්‍දිය කී යැ.)
Pali BJT845. දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො (මාගන්දියාති භගවා) සමුග්ගහීතෙසු පමොහමාග ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං, තස්මා තුවං මොහුහතො දහාසි.
Sinhala BJT845. “මාගන්‍දියෙනි, දෘෂ්ටිය ම ඇසුරු කොට පුන පුනා විචාරන්නෙහි දැඩි වැ ගන්නාලද දෘෂ්ටීන් කෙරෙහි ප්‍රකර්‍ෂ මෝහයට පැමිණියෙහි, යම්හෙයෙකින් මෙ දහමින් මදවූ සංඥාවකුදු නුදුටු යෙහි ද, එහෙයින් තෝ අති මූඪ සෙයින් දක්නෙහි යයි (භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
Pali BJT846. සමො විහෙසි උද චා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන, තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති.
Sinhala BJT846. “මම සම වෙමි, විශිෂ්ට වෙමි, නොහොත් හීන වෙමි”යි යමෙක් මාන කෙරේ නම්, හෙතෙම එ මානයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පුද්ගලයා සමග හෝ විවාද කෙරෙයි. යමෙක් එ ත්‍රිවිධමානයෙහි නො සැලේ නම් ‘සම වෙමි, විශිෂ්ට වෙමි,’ යන මානය ඔහට නො වේ.”
Pali BJT847. සච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්ය මුසාති වා සො විවදෙථ කෙන, යස්මිං සමං විසමං වාපි නත්ථි ස කෙන වාදං පටිසංයුජෙය්ය
Sinhala BJT847. එ රහත් බමුණු ‘මෙ මැ සැබැවයි’ කවර නම් වස්තුවක් හෝ කරුණක් නිසා කියන්නේ ද? තා කියන්නේ මුසවා යයි හෝ හෙතෙම කවරකු හා විවාද කරන්නේ ද? යම් පුඟුලකු කෙරෙහි සමමානය හෝ විෂමමානය හෝ නැද්ද, හෙතෙම කවර මානයෙකින් වාදයෙහි යෙදේ ද?
Pali BJT848. ඔකම්පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ්බං මුනි සන්ථවානි, කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො කථං න විග්ගය්හ ජනෙන කයිරා.
Sinhala BJT848. (රූපනිමිත්තාදි නිකෙතයෙහි නො හැසිරෙන හෙයින්) අනි කෙත සාරි වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම රූපවස්ත්‍වාදි විඥාන ගෝචරය වූ ඕකය හැරපියා ගම්හි ගිහී සන්ත්‍වයන් නො කරමින් කාමයන් කෙරෙන් විරක්ත වූයේ තෘෂ්ණා වශයෙක් වට්ටය පෙරටු නො කරන්නේ ජනයා හා සමග විග්‍රාහික කථාව නො කරන්නේ යි.
Pali BJT849. යෙහි විවිත්තො විචරෙය්ය ලොකෙ න තානි උග්ගය්හ වදෙය්ය නාගො, ඵලමබුජං{1} කණ්ටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං, එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත්තො.
Sinhala BJT849. ක්‍ෂීණාස්‍රව නාග තෙම යම් දෘෂ්ටිගතාදියෙකින් වෙන් වූයේ ලෝකයෙහි හැසිරේ නම්, (හෙ) එ දෘෂ්ටිගතයන් දැඩි වැ ගෙන නො කියන්නේ ය. ඵල සඞ්ඛ්‍යාත ජලයෙහි උපන් කටු සහිත දඬු ඇති පියුමාදියෙන් හා කලලින් යම් පරිදි නො තැවරේ ද, එ සෙයින් මුනි තෙම ශාන්ති වාද ඇතියේ තෘෂ්ණා රහිත වූයේ කාමයෙහි ද ලෝකයෙහි ද නො ඇලුනේයි.
Pali BJT850. න වෙදගූ දිට්ඨියා න මුතියා ස මානමෙති න හි තම්මයො සො, න කම්මුනා නොපි සුතෙන නෙය්යො අනූපනීතො ස{2} නිවෙසනෙසු.
Sinhala BJT850. ( මා වැනි ) සිවුමග නුවණට පැමිණියෙක් දෘෂ්ටියට නො යන්නේ ය. හෙ (මුත රූපාදි භේද ඇති) මුතියෙනුදු මානයට නො එයි. හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නො මැ තම්මය ය වෙයි. නො ද කර්‍මයෙන් නො ද ශ්‍රැතයෙන් පැමිණැ විය යුත්තේ වෙයි, හේ හැම තෘෂ්ණාදෘෂ්ටිනිවේශනයන්හි අනුපතීත වේ.
Pali BJT851. සඤ්ඤා විරත්තස්ස න සන්ති ගත්ථා පඤ්ඤා විමුත්තස්ස න සත්ති මොහා, සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං, තෙ ඝට්ටයන්තා{3} විචරන්ති ලොකෙති.
Sinhala BJT851. ප්‍රහීණ කළ කාමාදි සංඥා ඇත්තහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ නො වෙති. විදර්‍ශනා ප්‍රඥාවෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනහුට මෝහයෝ නො වෙති. යම් කෙනෙක් කාමාදි සංඥාවත් දෙසැට මිසදිටුත් දැඩි කොට ගත්හු නම් ඔහු උනුන් ගටමින් ලොවැ හැසිරෙත් යයි.
Pali BJTමාගන්දියසුත්තං නිට්ඨිතං.
Sinhala BJTමාගන්‍දිය සූත්‍රය නිමි.
Pali BJT4. 10.
Sinhala BJT4. 10.
Pali BJTපුරිභෙද සුත්තං
Sinhala BJTපුරාභේද සූත්‍රය
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නිර්මිත බුද්ධ:)
Pali BJT852. කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති, තං මෙ ගොතම පබ්රූහි පුච්ඡිතො උත්තමං නරං.
Sinhala BJT852. කෙබඳු දර්‍ශන ඇතියේ කෙබඳු සිල් ඇතියේ උපශාන්ත ය යි’ කියනු ලැබේ ද? ගොයුම් ගොතුව, මා විසින් පුළුවුස්නාලදුවහු එ උත්තම පුරුෂයා වදාළ මැනැ ව.
Pali BJT853. වීතතණ්හො පුරා භෙදා (ඉති භගවා) පුබ්බමන්තමනිස්සිතො, වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්යො තස්ස නත්ථි පුරෙක්ඛතං.
Sinhala BJT853. (බුදුහු මෙසේ වදාරති:) ශරීර භේදයෙන් පෙර මැ යමෙක් ප්‍රහීණ වූ තෘෂ්ණා ඇත්තේ පූර්‍වාන්තය (පෙර අත්බව) තෘෂ්ණා දෘෂ්ටි විසින් ඇසිරි නො කෙළේ ඉහාත්මභාව සඞ්ඛ්‍යාත ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධයෙහි (රාගරක්තයෙකයනාදින්) නො ගිණියයුතු වූයේ ද එ රහත්මහණ හට අනාගතාත්මභාවයෙහි (තෘෂ්ණාදි වශයෙන්) පෙරටු කරණලදුයෙක් නැති.
Pali BJT854. අක්කොධනො අසන්තාසී අවිකත්ථි අකුක්කුචො, මන්තභාණී{1} අනුද්ධතො ස වෙ වාචායතො මුනි.
Sinhala BJT854. නො කිපෙන පියවි ඇති (එ එ අලාභයෙන්) නො සැලෙන සුලු වූ, (ශීලාදියෙන්) තමා හුවා නො දක්වන සුලු, අත්පා කුකුස් නැති නුවණින් විමසා බණන සුලු වූ, උඩඟු නො වූ එ රහත් මහණ ඒකාන්තයෙන් වාග්ද්වාරයෙන් සංයත වේ.
Pali BJT855. නිරාසත්ති අනාගතෙ අතීතං නානුසොචති, විවෙකදස්සී ඵස්සෙසු දිට්ඨීසු ච න නීයති.{2}
Sinhala BJT855. අනාගත භවයෙහි තෘෂ්ණා රහිත වූයේ වේ ද අතීතපඤ්චස්කන්‍ධයට ශෝක නො කෙරේ ද, ප්‍රත්‍යුපන්න චක්‍ෂූස්පර්‍ශාදියෙහි ආත්මභාවාදි විවේකය දක්නා සුලු වේ ද, දෙසැට මිසදිටුහි නො වැටේ ද,
Pali BJT856. පතිලීනො අකුහකො අපිහාලු අමච්ඡරී, අප්පගබ්භො අජෙගුච්ඡො පෙසුනෙය්යෙ ච නො යුතො.
Sinhala BJT856. රාගාදි අකුශලයන් ප්‍රහීණ කෙළේ කුහක නො වූයේ තෘෂ්ණා රහිත වූයේ, මසුරු නො වූයේ කායාදා ප්‍රගල්භතා නැතියේ සිල්සපන් හෙයින් ජුගුප්සා නො කටයුතු වූයේ පිසිනුබස් කීමෙහි නොයෙදුනේ ද,
Pali BJT857. සාතියෙසු අනස්සාවී අතිමානෙ ච නො යුතො, සණ්හො ච පටිභානවා න සද්ධො න විරජ්ජති.
Sinhala BJT857. කාමගුණ සඞ්ඛ්‍යාත සාතවස්තූන්හි තෘෂ්ණා රහිත වූයේ අතිමානයෙහි යුක්ත නො වූයේ සිනිඳු කායාදි කර්‍මයෙන් සපන් වූයේ ප්‍රතිභාන ඇතියේ (තමා විසින් මැ අධිගතවන බැවින්) ධර්‍මය පරප්‍රත්‍යයෙන් නො හදහන්නේ වීතරාග වන හෙයින් දැන් විරාග නො කෙරේ ද, (ඔහු ‘උපශාන්ත’ යයි කියමි,)
Pali BJT858. ලාභකම්යා න සික්ඛති අලාභෙ න ච කුප්පති, අවිරුද්ධො ච තණ්හාය රසෙසු නානුගිජ්ඣති.
Sinhala BJT858. ලාභප්‍රාර්‍ත්‍ථනායෙන් සූත්‍රාන්තාදිය නො හදාරා ද, අලාභයෙහි දු නො කිපේ ද විරෝධයෙන් යුක්ත නො වූයේ ද තෘෂ්ණායෙන් රසයෙහිත් ගිජු නො වේ ද (ඔහු ‘උපශාන්ත’ යයි කියමි.)
Pali BJT859. උපෙක්ඛකො සදා සතො න ලොකෙ මඤ්ඤතෙ සමං, න විසෙසී න නීචෙය්යො තස්ස නො සන්ති උස්සදා.
Sinhala BJT859. ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් යුක්ත වූයේ හැම කල්හි ස්මෘතිමත් වූයේ ලොව්හි කිසිවකු හාත් තමා සම කොට නො සිතා ද, ‘මම විශිෂ්ට වෙම්’ යන මාන නැතියේ, හීන වෙමි යන මානත් නැතියේ ද, ඔහට උත්සදයෝ නැත. (ඔහු ‘උපශාන්ත’ යයි කියමි.)
Pali BJT860. යස්ස නිස්සයතා නත්ථි ඤත්වා ධම්මං අනිස්සිතො, භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති.
Sinhala BJT860. යම් රහත් මහණකුට තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රයභාවය නැත් ද, යමකුහට භවදෘෂ්ටියෙහි දු විභවදෘෂ්ටියෙහි දු තෘෂ්ණා විද්‍යාමාන නො වේ ද, හෙ අනිත්‍යාදි විසින් ධර්‍මය දැන අනිඃශ්‍රිත වේ.
Pali BJT861. තං බ්රූමි උපසන්තොති කාමෙසු අනපෙක්ඛිනං, ගන්ථා තස්ස න විජ්ජන්ති අතාරි සො විසත්තිකං.
Sinhala BJT861. වස්තුකාම ක්ලේශකාමයන්හි අපේක්‍ෂා නැති ඒ රහත් මහණ උපශාන්ත යයි කියමි. ඔහට අභිධ්‍යාකායාදි ග්‍රන්‍ථයෝ නැත. හේ තෘෂ්ණ නම් වූ විසත්තිකා තරණය කෙළේ යි.
Pali BJT862. න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්ථුං ච විජ්ජති{3} අත්තා වාපි නිරත්තා වා{4} න තස්මිං උපලබ්භති.
Sinhala BJT862. ඒ ක්‍ෂීණාස්‍රව මහණහට පුත්‍රයෝත් නැත. පශුවර්‍ගයෝ ද නැත කෙත්වත් ද නැති. ඒ මහණ කෙරෙහි ශාශ්වතදෘෂ්ටි හෝ උච්ඡේද දෘෂ්ටි හෝ නො ලැබේ.
Pali BJT863. යෙන නං වජ්ජු පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා, තං තස්ස අපුරෙක්ඛතා තස්මා වාදෙසු නෙ’ජති.
Sinhala BJT863. යම් රාගාදි දෝෂයකින් දේවමනුෂ්‍යාදි පෘථග්ජනයෝ ද බාහිර ශාසනික මහණ බමුණෝ ද (රහත්මහණ රාග රක්තය යන ආදීන්) කියත් නම්, ඒ දෝෂය ඔහු විසින් පෙරටු නො කරණ ලද වෙයි, එහෙයින් හේ නින්‍දා වචනයන්හි කම්පිත නොවේ.
Pali BJT864. වීතගෙධො අමච්ඡරී න උස්සෙසු වදතෙ මුනි, න සමෙසු න ඔමෙසු කප්පං නෙති අකප්පියො.
Sinhala BJT864. පහ වූ තෘෂ්ණා ඇති මසුරු නො වූ රහත් මුනි තෙම විශිෂ්ටයන් කෙරෙහි (තමා ඇතුළත් කොට අතිමානයෙන්) නො කියයි. තමා සම පුද්ගලයන් කෙරෙහි දූ ලා නො කියයි. හීනයන් කෙරෙහි දු ලා නො කියයි. තෘෂ්ණාදෘෂ්ටි කල්ප නැත්තේ කල්පයනට නො එයි.
Pali BJT865. යස්ස ලොකෙ සකං නත්ථි අසතා ච න සොචති, ධම්මෙසු ච න ගච්ඡති ස වෙ සන්තොති වුච්චතීති.
Sinhala BJT865. ලොව්හි යම් ක්‍ෂීණාස්‍රවයක්හට මාගේ යයි ගන්නා ලද්දෙක් නැති ද යළි අවිද්‍යමාන වන හෙයින් ම ශෝක නො කෙරේ ද, හැම ධර්‍මයන්හි ඡන්‍දාදි වශයෙන් අගතියට නො යේ ද, එ ක්‍ෂීණාස්‍රව තෙම ඒකාන්තයෙන් උපශාන්තයෙකැයි කියනු ලැබේ.
Pali BJTපුරාභෙදසුත්තං නිට්ඨිතං.
Sinhala BJTපුරාභේද සූත්‍රය නිමි.
Pali BJT4. 11.
Sinhala BJT4. 11.
Pali BJTකලහවිවාද සුත්තං
Sinhala BJTකලහවිවාද සූත්‍රය
Pali BJT866. කුතො පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡරා ච, මානාතිමානා සහපෙසුනා ච කුතො පහූතා තෙ තදිඞ්ඝ බ්රූහි.
Sinhala BJT866. කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්හු ද? පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මානඅභිමානයෝත් පිසිනුබසුත් යන මොහු අටදෙන කොතැනින් ප්‍රභූත වූහු ද? එඅරුත වදාළ මැනව.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපෘච්ඡා:
Pali BJT867. පියා පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡරා ච, මානාතිමානා සහපෙසුනා ච මච්ඡරියයුත්තා කලහා විවාදා විවාදජාතෙසු ච පෙසුනානි.
Sinhala BJT867. කලහයෝත් විවාදයෝත් පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මාන-අතිමානයෝත් පෛශූන්‍යයෝත් (යන මොහු අටදෙනා) ප්‍රියවස්තූහු කෙරෙන් උපන්හ. කලහවිවාදයෝ ද (පරිදේව-ශෝක-මාන අතිමාන පෛශුන්‍ය යෝ ද) මාත්සර්‍ය්‍යය හා යෙදුනාහු වෙත්, විවාද උපදුත් ම පිසුන් බස් උපදනේ ය.
Pali BJT868. පියාසු ලොකස්මිං කුතොනිදානා යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ, ආසා ච නිට්ඨා ච කුතොනිදානා යෙ සම්පරායාය නරස්ස හොන්ති.
Sinhala BJT868. ලෝකයෙහි ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද? නොහොත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? ලොව්හි ක්‍ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභයෙන් හැසිරෙත් නම් එ ලෝභය කුමක් නිදාන කොට ඇත් ද? ආශාවත් එහි සමෘද්ධියත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? මනුෂ්‍යයාට යම් ධර්‍ම කෙනෙක් පරලොව්හි පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්‍මයෝ කොයින් උපන්හු ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTවිසර්‍ජන:
Pali BJT869. ඡන්දනිදානානි පියානි ලොකෙ යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ, ආසා ච නිට්ඨා ච ඉතොනිදානා යෙ සම්පරායාය නරස්ස හොන්ති.
Sinhala BJT869. ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්‍දය නිදාන කොට ඇත. යම් ක්‍ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසමෘද්‍ධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්‍ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති.
Pali BJT870. ඡන්දො නු ලොකස්මිං කුතොනිදානො විනිච්ඡයා වාපි කුතොපහූතා, කොධො මොසවජ්ජඤ්ච කථංකථා ච යෙ වාපි ධම්මා සමණෙන වුත්තා.
Sinhala BJT870. ලෝකයෙහි කාමච්ඡන්‍දය කුමක් නිදාන කොට ඇතියේ ද? තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චයයෝ හෝ කොතැනින් උපන්නාහු ද? ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් දෙසන ලද යම් අකුශල ධර්‍මයෝ හෝ වෙත් නම් ඔහු කොතැනින් උපන්නාහු ද?