Pali BJT730. චෙතොවිමුත්තිසම්පන්නා අථො පඤ්ඤාවිමුත්තියා, භබ්බා තෙ අන්තකිරියාය න තෙ ජාතිජරූපගාති.
Sinhala BJT730. (අර්‍හත්‍වඵලසමාධි) චිත්තවිමුක්තියෙන් සමන්‍වාගත වූ ද, වැලි (අර්‍හත්‍වඵල) ප්‍රඥාවිමුක්තියෙන් සමන්‍වාගත වූ ද ඔහු වර්‍තදුඃඛය කෙළවර කරණු සඳහා භව්‍ය වෙති, ඔහු ඒකාන්තයෙන් ජාතිජරාවට නො යන්නාහු වෙතැ’යි.
Pali BJTසියා අඤ්ඤෙන’පි පරියායෙන සම්මා ද්වයතානුපසස්නාති ඉති චෙ භික්ඛවෙ, පුච්ඡිතාරො අස්සු, සියාතිසසු වචනීයා, කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති. සබ්බං උපධිපච්චයාති, අයමෙකානුපස්සනා. උපාධිනං ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඉදින් මහණෙනි, “අන්‍ය පර්‍ය්‍යායෙකිනුදු සම්‍යග්ද්වයතානුදර්‍ශනායෙක් වන්නේ දැ”යි මෙසෙයින් පුළුවුස්නාහු වෙත් නම්, ‘වන්නේ’යි කියැයුතු වෙත්, කිසෙයින් වේය යත්: යම් කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක (සාස්‍රවකර්‍මසඞ්ඛ්‍යාත) උපධිප්‍රත්‍යයෙන් වේ යන මෙ එක් අනුදර්‍ශනායෙක, එ උපධීන්ගේ ම අශේෂවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැතැ’යි යන මේ ද්විතීයානුදර්‍ශනා වෙයි, මෙසෙයින් සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ යයි. වැලි ශාස්තෘන් වහන්සේ අන්‍ය වූ ද තෙල ගාථා වදාළහ:
Pali BJT731. උපධිනිදානා පභවන්ති දුක්ඛා යෙකෙචි ලොකස්මිං අනෙකරූපා, යො වෙ අවිද්වා උපධිං කරොති. පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො, තස්මා පජානං උපධිං න කයිරා දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’ති.
Sinhala BJT731. ලොවැ අනේකස්වරූප වූ යම් දුඃඛයෝ වෙත් නම්, ඔහු සාස්‍රවකර්‍ම සඞ්ඛ්‍යාත උපධිනිදානයෙන් උපදනාහ. යම් අවිද්‍යාගතයෙක් එකැතින් සාස්‍රවකර්‍ම කෙරේ නම්, එ මන්‍දප්‍රාඥ පුනපුනා සසරදුකට මැ එයි. එහෙයින් සම්‍යක්ප්‍රඥායෙන් දන්නේ වර්‍තදුඃඛය ජාතිප්‍රභව යයි දක්නේ සාස්‍රවකර්‍ම නො කරන්නේ ය යි.
Pali BJTසියා අඤ්ඤෙනපි පරියායෙන සම්මා ද්වයතානුපසස්නාති ඉති චෙ භික්ඛවෙ, පුච්ඡිතාරො අස්සු සියාතිසසු වචනීයා. කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති. සබ්බං අවිජ්ජාපච්චයාති, අයමෙකානුපස්සනා, අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථා පරං එතදවොච සත්ථා:
Sinhala BJTඉදින් මහණෙනි, “අන්‍යවූත් පර්‍ය්‍යායෙකින් සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු වෙත් නම්, ‘වන්නේය’යි කියැ යුතු වෙත්. කෙසෙයින් වන්නේයැ යත්: යම් මැ කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම (භවගාමී කර්‍මසම්භාරය පිළිබැඳි) අවිද්‍යාප්‍රත්‍යයෙනැයි යන මෙ එක් අනුපස්සනායෙක. අවිද්‍යාවගේ මැ අශෙවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මේ ද්විතීය වූ අනුපස්සනා යි. මෙසේ සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ .... වැලි ශාස්තෘහු අනෙකුදු තෙලගාථා වදාළහ:
Pali BJT732. ජාතිමරණසංසාරං යෙ වජන්ති පුනප්පුනං, ඉත්ථභාවඤ්ඤථාභාවං අවිජ්ජායෙව සා ගති.
Sinhala BJT732. යම් කෙනෙක් (ස්කන්‍ධනිර්‍වෘති නම් වූ) ජාතියට ද ස්කන්‍ධභේද නම් වූ මරණයට ද ස්කන්‍ධපරිපාටි නම් වූ සංසාරයට ද පුනපුනා යෙත් නම්, මෙ මනුෂ්‍යභාවයට හා අවශේෂ නිකායභාවයට ද යෙත් නම්, ඒ අවිද්‍යාවගේ ම ප්‍රත්‍යයභාවය යි.
Pali BJT733. අවිජ්ජා හයං මහාමොහො යෙනිදං සංසිතං චිරං, විජ්ජාගතාව යෙ සත්තා නාගච්ඡන්ති{1} පුනබ්භවන්ති.
Sinhala BJT733. යම් මෝහයක් කරණකොටගෙණ මෙ වර්‍තදුඃඛය බොහෝ කලක් වළඳනා ලද, මෙ මෝහය මැ අවිද්‍යා යි. අර්‍හත්‍වමාර්‍ගවිද්‍යායෙන් යම් සත්ත්‍ව කෙනෙක් කෙලෙස් විනිවිද ගියාහු නම්, ඔහු පුනර්‍භවයට නො එත්.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං සඞ්ඛාරපච්චයාති අයමෙකානුපස්සනා. සඞ්ඛාරනංත්වෙව අසෙස විරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅන්‍ය වූ ද පර්‍ය්‍යායෙකින් .... වන්නේ දැ?යි ... කෙසේ වන්නේ ය යත්: යම් කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් ත්‍රිවිධාභිසංස්කාරප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුදර්‍ශනායෙක. සංස්කාරයන්ගේ ම අශේෂවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... වැලි අන්‍ය වූත් තෙල ගාථා ශාස්තෘහු වදාළහ.
Pali BJT734. යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං සඞ්ඛාරපච්චයා, සඞ්ඛාරානං නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවොති.
Sinhala BJT734. යම් කිසි සසර දුකෙක් උපදනේ නම්, එ හැම දුක් සංස්කාරප්‍රත්‍යයෙන් වේ. සංස්කාරයන්ගේ නිරෝධහේතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ යි.
Pali BJT735. එතමාදීනවං ඤත්වා දුක්ඛං සඞ්ඛාරපච්චයා, සබ්බසඞ්ඛාරසමථා සඤ්ඤාය උපරොධනා, එවං දුක්ඛක්ඛයො හොති එතං ඤත්වා යථාතථං.
Sinhala BJT735. සංස්කාරප්‍රත්‍යයෙන් වර්‍තදුඃඛ වෙයි යන තෙල ආදීනව දැන මාර්‍ගඥානයෙන් සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙන් ද මාර්‍ගඥානයෙන් ම කාමසඥාදීන්ගේ උපරෝධනයෙන් ද මෙසේ දුඃඛක්‍ෂය වේ යයි තෙල දුඃඛක්‍ෂය අවිපරීත කොට දැන,
Pali BJT736. සම්මද්දසා වෙදගුනො සම්මදඤ්ඤාය පණ්ඩිතා, අභිභුය්ය මාරසංයොගං නාගච්ඡන්ති පුනබ්භවන්ති.
Sinhala BJT736. සම්‍යග්දර්‍ශන ඇති අර්‍හත්‍වමාර්‍ගඥානවේදයට පත් පණ්ඩිතයෝ මනාකොට දැන (ත්‍රෛභූමකවර්ත්ත සඞ්ඛ්‍යාත) මාරසංයෝගය මැඩැ පුනර්‍භවයට නො එත්.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති. සබ්බං විඤ්ඤාණපච්චයාති, අයමෙකානුපස්සනා, විඤ්ඤාණස්ස ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅන්‍යපර්‍ය්‍යායෙකිනුදු වේ දැ?යි ... කිසෙයින් වේය යත්: යම් කිසි දුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් (කර්‍මසහජාතාභිසංස්කාර) විඥානප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. විඥානයාගේ මැ අශේෂවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැතැයි මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... වැලි ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.
Pali BJT737. යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං විඤ්ඤාණපච්චයා, විඤ්ඤාණස්ස නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො.
Sinhala BJT737. යම් කිසි සසර දුකෙක් උපදනේ නම් එ හැම දුක් අභිසංස්කාරවිඥානප්‍රත්‍යයෙනි. අභිසංස්කාරවිඥානයාගේ නිරෝධහේතුයෙන් ම වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැත.
Pali BJT738. එතමාදීනවං ඤත්වා දුක්ඛං විඤ්ඤාණපච්චයා, විඤ්ඤාණුපසමා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතො’ති.
Sinhala BJT738. සසර දුක විඥානප්‍රත්‍යයෙන් වෙයි යන තෙල කරුණ ආදීනව යි දැන අභිසංස්කාරවිඥානයාගේ ව්‍යපශමයෙන් තෘෂ්ණා රහිත මහණ ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියේ යි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ඵස්සපච්චයාති. අයමෙකානුපස්සනා, ඵස්සස්ස ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅන්‍ය පර්‍ය්‍යායෙකිනුදු වේදැ?යි ... කෙසේ වන්නේදැ’යි යම් කිසි දුකෙක් උපදනේ නම් එහැම දුක් අභිසංස්කාරවිඥානසම්ප්‍රයුක්තස්පර්‍ශප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. ස්පර්‍ශයාගේ මැ අශේෂවිරාගනිරෝධහේතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ශාස්තෘහු වැලි අනෙකුදු තෙල ගාථා වදාළහ:
Pali BJT739. තෙසං ඵස්සපරෙතානං භවසොතානුසාරිනං, කුම්මග්ගපටිපන්නානං ආරා සංයොජනක්ඛයො.
Sinhala BJT739. ස්පර්‍ශයෙන් මැඩීගිය, තෘෂ්ණසඞ්ඛ්‍යාත භවස්‍රෝතස (තෘෂ්ණාව) අනුව යන සුලු කුමගට පිළිපන් ඔවුනට සංයෝජනයක්‍ෂය දුරෙහි වේ.
Pali BJT740. යෙ ච ඵස්සං පරිඤ්ඤාය අඤ්ඤාය උපසමෙ රතා{1}, තෙ චෙ ඵස්සාභිසමයා නිච්ඡාතා පරිනිබ්බුතා’ති.
Sinhala BJT740. යම් කෙනෙකුන්ගේ ස්පර්‍ශය ත්‍රිවිධපරිඥා විසින් පිරිසිඳ දැන අර්‍හත්මාර්‍ගඥානයෙන් පිළිවිද දැන ඵලසමාපත්ති විසින් නිර්‍වාණව්‍යපශමයෙහි ඇලුනාහු නම් ස්පර්‍ශාභිසමයහේතුයෙන් ඔහු එකැතියෙන් තෘෂ්ණා රහිත වූවාහු කෙලෙස් පිරිනිවන් පිරිනිවුනාහු යයි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං වෙදනාපච්චයාති, අයමෙකානුපස්සනා, වෙදනානං ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅන්‍යපර්‍ය්‍යායෙකිනුදු වන්නේය ... කෙසේ වන්නේ ය යත්: යම් මැ කිසි පඤ්චස්කන්‍ධදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් කර්‍මසම්ප්‍රයුක්ත වේදනාප්‍රත්‍යයෙන් වන්නේ ය යන මෙ එක් අනුපස්සනායෙක. කර්‍මසම්ප්‍රයුක්ත වේදනාවන්ගේ ම අශේෂවිරාගනිරෝධහේතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මැනැවින් .... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.
Pali BJT741. සුඛං වා යදි වා දුක්ඛං අදුක්ඛමසුඛං සහ අජ්ඣත්තඤ්ච බහිද්ධා ච යං කිඤ්චි අත්ථි වෙදිතං.
Sinhala BJT741. සුඛ වූ හෝ වැලිත් දුඃඛ වූ හෝ අදුඃඛාසුඛ වූ හෝ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි යම් මැ කිසි වේදයිතයෙක් ඇත් නම්,
Pali BJT742. එවං දුක්ඛන්ති ඤත්වාන මොසධම්මං පලොකිතං{2} ඵුස්ස ඵුස්ස වයං පස්සං එවං තත්ථි විජානාති{3} වෙදනානං ඛයා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතො’ති.
Sinhala BJT742. නස්නා සැහැවි ඇති, ජාතිමරණයෙන් බිඳෙනසුලු මෙ හැමවේදයිතයෙක් ම දුඃඛකාරණ යයි දැන, උදව්‍යයඥානයෙන් ස්පර්‍ශ කෙරෙමින්, අන්තයෙහි භඞ්ගානුදර්‍ශනයෙන් ව්‍යය දක්මින් මෙසේ එ වේදයිතය දුකැයි දන්නේ ද, එ මහණ මාර්‍ගඥානයෙන් කර්‍මසම්ප්‍රයුක්ත වේදනාවන්ගේ ක්‍ෂයයෙන් තෘෂ්ණා නැත්තේ පිරිනිවුනේ වේ යයි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං තණ්හාපච්චයාති, අයමෙකානුපස්සනා, තණ්හාය ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTතවත් පර්‍ය්‍යායෙකින් ... කෙසේ වන්නේ ය යත්: යම් මැ කිසි දුකෙක් සම්භූත වේ නම්, එ හැම දුක කර්‍මසම්භාරතෘෂ්ණාප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. එ තෘෂ්ණාවගේ මැ අශේෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ”යි යන මෙ දෙවන අනුපස්සනා යි. .... ඉක්බිති ශාස්තෘහු අන්‍ය වූත් තෙල ගාථා වදාළහ:
Pali BJT743. තණ්හා දුතියො පුරිසො දීඝමද්ධානං සංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති.
Sinhala BJT743. තෘෂ්ණා දෙවැනි කොට ඇති පුරුෂ දිගුකල් ච්‍යුති-උත්පත්ති විසින් සැරිසරන්නේ ඉහාත්මභාව දෙකින් යුත් (ස්කන්‍ධපරිපාටි සඞ්ඛ්‍යාත) සංසාරය ඉක්මැ නො යෙයි.
Pali BJT744. එතමාදීනවං ඤත්වා තණ්හාදුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ’ති.
Sinhala BJT744. තෘෂ්ණාව වර්‍තදුඃඛයාගේ සම්භවයට කාරණ යයි තෙල තෘෂ්ණාවගේ ආදීනව දැන විගත වූ තෘෂ්ණා ඇතියේ ආදාන නැතියේ ස්මෘතිමත් මහණ නික්ම යන්නේ යයි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං උපාදානපච්චයාති, අයමෙකානුපස්සනා. උපාදානානං ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTතවත් පර්‍ය්‍යායෙකින් වන්නේ යයි ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි වර්‍තදුඃඛයෙක් සම්භූත වේ නම්, එහැම කර්‍මසම්භාරඋපාදානප්‍රත්‍යයයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, උපාදානයන්ගේ මැ නිරවශේෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ”යි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මැනවින් ... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.
Pali BJT745. උපාදානං පච්චයා භවො භූතො දුක්ඛං නිගච්ඡති, ජාතස්ස මරණං හොති ඵසො දුක්ඛස්ස සම්භවො.
Sinhala BJT745. උපාදානප්‍රත්‍යයයෙන් විපාකභව වෙයි, සම්භූත වූයේ වර්‍තදුඃඛයට පැමිණෙයි, ජාතයාහට මරණ වෙයි, තෙල භවය දුඃඛයාගේ සම්භවකාරණ වේ.
Pali BJT746. තස්මා උපාදානක්ඛයා සම්මදඤ්ඤාය පණ්ඩිතා, ජාතික්ඛයං අභිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භවන්ති{1},
Sinhala BJT746. එහෙයින් උපාදානයන්ගේ ක්‍ෂයයෙන් අනිත්‍යාදි විසින් මනා කොට දැන (නිර්‍වාණසඞ්ඛ්‍යාත) ජාතික්‍ෂය විශිෂ්ටඥානයෙන් දැන, පුනර්‍භවයට නො එත් යි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ආරම්භපච්චයාති, අයමෙකානුපස්සනා, ආරම්භානං ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅන්‍යවූත් පර්‍ය්‍යායෙකින් වන්නේ ය. ... කිසෙයින් වේය යත්: යම් මැ කිසි දුකෙක් උපදනේ නම්, ඒ හැම කර්‍මසම්ප්‍රයුක්තවීර්‍ය්‍යප්‍රත්‍යයයෙන් වේ යන මෙ එක් අනුපස්සනායෙක, ආරම්භසඞ්ඛ්‍යාත වීර්‍ය්‍යයාගේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මොනොවට ... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:
Pali BJT747. යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ආරම්භපච්චයා, ආරම්භානං නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො.
Sinhala BJT747. යම් මැ කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් ආරම්භප්‍රත්‍යයෙන් වෙයි, ආරම්භප්‍රත්‍යයන්ගේ ම නිරෝධයෙන් එ වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැති.
Pali BJT748. එතමාදීනවං ඤත්වා දුක්ඛං ආරම්භපච්චයා, සබ්බාරම්භං පටිනිස්සජ්ජ අනාරම්භවිමුත්තිනො.{2}
Sinhala BJT748. ආරම්භප්‍රත්‍යයයෙන් උපදනා තෙල දුක ආදීනව යි දැන හැම ආරම්භයන් හැරපියා (නිර්‍වාණසඞ්ඛ්‍යාත) අනාරම්භයෙහි මුක්තවූ,
Pali BJT749. උච්ඡින්නභවතණ්හස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, විතිණ්ණො ජාතිසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති.
Sinhala BJT749. මගනැණින් උසුන් කළ භවතෘෂ්ණා ඇති කෙලෙස් සන්හිඳුමෙන් සන්හුන් සිත් ඇති ඒ මහණහට පුනර්‍භව නැත. ජාතිසඞ්ඛ්‍යාත සංසාරය කෙළේ යි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා. යංකිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ආහාරපච්චයාති අයමෙකානුපස්සනා, ආහාරානං ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅන්‍ය පර්‍ය්‍යයෙකිනුදු වන්නේය ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි දුකෙක් උපදනේ නම්, එ හැම කර්‍මසම්ප්‍රයුක්ත ආහාරප්‍රත්‍යයයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, ආහාරයන්ගේ ම අශේෂ විරාග නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... එක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:
Pali BJT750. යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ආහාරපච්චයා, ආහාරානං නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො.
Sinhala BJT750. යම් මැ කිසි දුඃඛයෙක් සම්භූත වේ නම්, එ හැම ආහාරප්‍රත්‍යයයෙන් වෙයි, ආහාරයන්ගේ නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත.
Pali BJT751. එතමාදීනවං ඤත්වා දුක්ඛං ආහාරපච්චයා, සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාරමනිස්සිතො.
Sinhala BJT751. ආහාරප්‍රත්‍යයයෙන් දුඃඛය වේ යන තෙල කරුණ ආදීනව යි දැන හැම ආහාරය පිරිසිඳ දැන සර්‍වහාර තෘෂ්ණා විසින් ඇසිරි නො කෙළේ වෙයි.
Pali BJT752. ආරොග්යං සම්මදඤ්ඤාය ආසවානං පරික්ඛයා, සඞ්ඛාය සෙවි ධම්මට්ඨො සඞ්ඛං නොපෙති වෙදගූති.
Sinhala BJT752. (නිර්‍වාණසඞ්ඛ්‍යාත) ආරෝග්‍යය මනාකාට දැන ආස්‍රවයන්ගේ පරික්‍ෂයයෙන් සිවුපස ප්‍රත්‍යවේක්‍ෂා කොට සෙවුනේ සිවුසස්දහම්හි පිහිටියේ සිවුමගනැණට පැමිණියේ දේව මනුෂ්‍යාදි සඞ්ඛ්‍යාවට නො යේ යයි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: යං කිඤ්චි දුක්ඛං සම්භොති. සබ්බං ඉඤ්ජිතපච්චයාති අයමෙකානුපස්සනා, ඉඤ්ජිතානං ත්වෙව අසෙසවිරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅනෙකුදු පර්‍ය්‍යායෙකින් වන්නේ ය ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි දුකෙක් සම්භූත වේ නම්, එ හැම දුක (තණ්හා මාන දිට්ඨි කම්ම කිලේස) ඉඤ්ජිතයන්ගේ ප්‍රත්‍යයයෙන් වේය යන මෙ එක් අනුපස්සනායෙක. ඉඤ්ජිතයන්ගේ මැ අශේෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... එක්බිති ශාස්තෘහු අනෙකුදු තෙල ගාථා වදාළහ:
Pali BJT753. යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ඉඤ්ජිතපච්චයා, ඉඤ්ජිතානං නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො.
Sinhala BJT753. යම් මැ කිසි දුකෙක් පාළ වේ නම්, එ හැම දුක ඉඤ්ජිතප්‍රත්‍යයෙන් වෙයි. ඉඤ්ජිතයන්ගේ මැ නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැති.
Pali BJT754. එතමාදීනවං ඤත්වා දුක්ඛං ඉඤ්ජිතපච්චයා, තස්මා හි එජං වොස්සජ්ජ සඞ්ඛාරෙ උපරුන්ධිය, අනෙජො අනුපාදානො සතො භික්ඛු පරිබ්බජෙති.
Sinhala BJT754. වර්‍තදුඃඛය ඉඤ්ජිතප්‍රත්‍යයයෙන් වේ යන තෙල කරුණ ආදීනව යි දැන එහෙයින් මැ තෘෂ්ණාසඞ්ඛ්‍යාත එජාව හැරපියා කර්‍ම, කර්‍මසම්ප්‍රයුක්ත සංස්කාරයනුදු නිරුද්ධ කොට එජා රහිත වූයේ උපාදාන නැතියේ මහණ ස්මෘතිමත් ව නික්මැයේ යයි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: නිස්සිතස්ස චලිතං හොතීති අය මෙකානුපස්සනා, අනිස්සිතො න චලතීති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅනෙකුදු පර්‍ය්‍යායෙකින් වන්නේය ... කෙසේ වන්නේ ය යත්: තෘෂ්ණාමානදෂ්ටි විසින් ස්කන්‍ධයන් ඇසිරි කළහුට භයචලන වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, එහෙයින් ස්කන්‍ධයන් ඇසිරි නො කෙළේ නො සැලේ යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ඉක්බිති ශාස්තෘහු අනෙකුදු තෙල ගාථා වදාළහ:
Pali BJT755. අනිස්සිතො න චලති නිස්සිතො ච උපාදියං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති.
Sinhala BJT755. අනිශ්‍රිතවූයේ නො සැලේ. නිශ්‍රිත ම උපාදාන විසින් ස්කන්‍ධයන් ගන්නේ ඉහාත්මභාව, අන්‍යථාභාව සඞ්ඛ්‍යාත සංසාරය ඉක්මැ නො වැටෙයි.
Pali BJT756. එතමාදීනවං ඤත්වා නිස්සයෙසු මහබ්භයං, අනිස්සිතො අනුපාදානො සතො භික්ඛු පරිබ්බජෙති.
Sinhala BJT756. නිඃශ්‍රයන්හි මහත් භය වේ යන තෙල ආදීනවය දැන අනිශ්‍රිත වූයේ උපාදාන නැතියේ මහණ සිහි ඇතියේ නික්මැ යේ යි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: රූපෙහි භික්ඛවෙ ආරුප්පා{1} සන්තතරාති අයමෙකානුපස්සනා, ආරුප්පෙහි{2} නිරොධො සන්තතරොති අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅන්පර්‍ය්‍යායෙකිනුදු වන්නේ ය ... කෙසේ වන්නේ ය යත්: මහණෙනි, රූපභව කෙරෙන් නොහොත් රූපසමාපත්ති කෙරෙන් අරූපභවයෝ නොහොත් අරූසමාපත්තිහු ශාන්තතර වෙති යන මෙ එක් අනුපස්සනායෙක, අරූපසමාපත්ති කෙරෙන් නිරෝධය (නිර්‍වාණය) ශාන්තතර වේ ය යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:
Pali BJT757. යෙ ච රූපූපගා සත්තා යෙ ව ආරුප්පවාසිනො{3} නිරොධං අප්පජානන්තා ආගන්තාරො පුනබ්භවං
Sinhala BJT757. යම් මැ රූපෝපග සත්ත්‍වයෝත් යම් මැ අරූපභවවාසී සත්ත්‍වයෝත් වෙත් නම් නිර්‍වාණසඞ්ඛ්‍යාත නිරෝධය නොදන්නාහු පුනර්‍භවයට එනසුලු වෙත්.
Pali BJT758. යෙ ච රූපෙ පරිඤ්ඤාය අරූපෙසු සුසණ්ඨිතා, නිරොධෙ යෙ විමුච්චන්ති තො ජන මච්චු හායිනොති.
Sinhala BJT758. යම් කෙනෙක් රූපභවයන් පිරිසිඳ දැන අරූපසමාපත්තීන්හි මොනොවට පිහිටියාහු ද, යම් කෙනෙක් නිරෝධයෙහිදු මුක්තවෙත් ද, එ ජනයෝ ත්‍රිවිධමාරයන් හැරයන්නාහු වෙති. යි.
Pali BJTසියා අඤ්ඤෙනපි -පෙ- කථඤ්ච සියා: යං භික්ඛවෙ සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙව මනුස්සාය ඉදං සච්චන්ති උපනිජ්ඣායිතං තද’මරියානං එතං මුසාති යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං අයමෙකානුපස්සනා, යං භික්ඛවෙ සදෙවකස්ස -පෙ- සදෙවමනුස්සාය ඉදං මුසාති උපනිජ්ඣායිතං තදමරියානං එතං සච්චන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං, අයං දුතියානුපස්සනා. එවං සම්මා -පෙ- අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඅන්‍යපර්‍ය්‍යායෙකිනුදු ... කෙසේ වන්නේය යත්: මහණෙනි, යම් නාම රූපයෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් බඹුන් සහිත ප්‍රජාව විසින් (ධ්‍රැව ශුභ සුඛ ආත්ම වශයෙන්) “මෙ සත්‍යය”යි දක්නාලද නම්, එ නාමරූපය බුද්ධාදී ආර්‍ය්‍යයන් විසින් ‘තෙල මෘෂායෙකැ’යි සම්‍යක් ප්‍රඥාවෙන් යථාභූත කොට දක්නා ලද ය යන මෙ එක් අනුපස්සනායෙක. මහණෙනි, යම් නිර්‍වාණයක් සදේවක .. දෙවිමිනිසුන් ඇතුළු ප්‍රජාව විසින් “තෙල මෘෂායෙකැ” යි දක්නාලද නම්, එ නිවණ ආර්‍ය්‍යයන් විසින් “තෙල නිවණ සත්‍යය“යි යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද ය යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... ඉක්බිති ශාස්තෘහු තෙල අනෙක් ගාථා ද වදාළහ:
Pali BJT759. අනත්තනි අත්තමානිං පස්ස ලොකං සදෙවකං, නිවිට්ඨං නාමරූපස්මිං ඉදං සච්චන්ති මඤ්ඤති.
Sinhala BJT759. අනාත්ම වූ නාමරූපයෙහි තෘෂ්ණාදි විසින් බැසගත් සදේවක ලෝකයා ආත්ම යන මාන ඇති (එහි) බලව ධ්‍රැව ශුභාදි විසින් දක්මින් මෙ සත්‍යය යි හඟනේ ය.
Pali BJT760. යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා. තං හි තස්ස මුසා හොති මොසධම්මං හි ඉත්තරං.
Sinhala BJT760. (රූප වේදනායෙහි) යම් යම් මැ අයුරෙකින් පෘථග්ජනයෝ තෘෂ්ණාදි විසින් හඟනාහු ද, ඒ නාමරූපය ඒ හැඟි අයුරෙන් අන්පරිදි වෙයි, ඔහුගේ ඒ මඤ්ඤිතය මෘෂා මැ වෙයි. ඉත්‍වර වූ ඒ නාමරූපය නස්නා සැහැවි ඇති හෙයිනි.
Pali BJT761. අමොසධම්මං නිබ්බානං තදරියා සච්චතො විදුං තෙ වෙ සච්චාභිසමයා නිච්ඡාතා පරිනිබ්බුතාති.
Sinhala BJT761. ආර්‍ය්‍යයෝ නො නස්නා සැහැවි ඇති ඒ නිවණ සත්‍යවිසින් දත්හ, සත්‍යාවබෝධයෙන් ඒ අරීහු ඒකාන්තයෙන් තෘෂ්ණා රහිත වූවාහු පිරිනිවියාහු වෙති යි.
Pali BJTසියා අඤ්ඤෙනපි පරියායෙන සම්මා ද්වයතානුපසස්නාති, ඉති චෙ භික්ඛවෙ පුච්ඡිතාරො අස්සු, සියාතිස්සු වචනීයා. කථඤ්ච සියා: යං භික්ඛවෙ සදෙවකස්ස -පෙ- සදෙවමනුස්සාය ඉදං දුක්ඛන්ති උපනිජ්ඣායිතං තදමරියානං එතං දුක්ඛන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං අයමෙකානුපස්සනා, යං භික්ඛවෙ සදෙවකස්ස -පෙ- සදෙවමනුස්සාය ඉදං දුක්ඛන්ති උපනිජ්ඣායිතං තදමරියානං එතං සුඛන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං, අයං දුතියානුපස්සනා.
Sinhala BJTමහණෙනි, අන් පර්‍ය්‍යායෙකිනුදු මනාකොට ද්වයතනානුපස්සනාව වන්නේ දැ යි මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, වන්නේ ය යි ඔහුට කිවයුතු වේ. කෙසේ වන්නේ ය යත්: මහණෙනි, යම් මැ සවැදෑරුම් ඉෂ්ටාලම්බනයක් සදේවක ... දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් මෙ සුඛයෙකැයි දක්නාලද නම්, එ ආර්‍ය්‍යයන් විසින් තෙල දුකැයි තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද ය යන මෙ එක් අනුපස්සනායෙක. මහණෙනි, යම් මැ නිර්‍වාණයක් සදේවක වූ .... දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් මෙ දුකැයි දක්නාලද ය යන මෙ දෙවන අනුපස්සානා යි.
Pali BJTඑවං සම්මා ද්වයතානුපස්සිනො ඛො භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, මෙසෙයින් මොනොවට ද්වයතානුදර්ශී වැ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ, ප්‍රහිතාත්ම වැ වසන මහණහට ඉහාත්මභාවයෙහි මැ අර්‍හත්‍වය හෝ උපාදිශේෂය ඇතිවත් මැ අනාගාමිත්‍වය හෝ යි උබයශ්‍රාමණ්‍ය ඵලයන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැතිවිය යුතු, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක සුගත වු ශාස්තෘන් වහන්සේ මෙය වදාරා ඉක්බිති තෙල ගාථා වදාළහ:
Pali BJT762. රූපා සද්දා රසා ගන්ධා ඵස්සා ධම්මා ච කෙවලා, ඉට්ඨා කන්තා මනාපා ච යාවතත්ථිති වුච්චති.
Sinhala BJT762. ඉෂ්ටවූත් ප්‍රියවූත් මනවඩන්නාවූත් රූපයෝ ය ශබ්දයෝ ය රසයෝ ය ගන්‍ධයෝ ය ස්ප්‍රෂ්ටව්‍යයෝ ය ධර්‍මාලම්බනයෝ ය යන යම්තාක් අනවශේෂ අරමුණු ඇතැයි කියනු ලැබේ ද,
Pali BJT763. සදෙවකස්ස ලොකස්ස එතෙ වො සුඛසම්මතා, යත්ථ චෙ තෙ නිරුජ්ඣන්ති තං තෙසං දුක්ඛසම්මතං.
Sinhala BJT763. සදේවක ලෝකයා විසින් තෙල ආලම්බනයෝ සුඛහ යි සම්මත වෙත්. යම් මැ නිර්‍වාණයෙක්හි තෙල ආලම්බනයෝ නිරුද්ධ වෙත් නම්, එ නිර්‍වාණය ඔවුන් විසින් දුකැයි සම්මත වේ.
Pali BJT764. සුඛන්ති දිට්ඨමරියෙහි සක්කායස්සුපරොධනං, පච්චනීකමිදං හොති සබ්බලොකෙන පස්සතං
Sinhala BJT764. සත්කාය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයා ගේ නිරෝධය (නිර්‍වාණය) සුබ ය යි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලදී, නුවණින් දක්නවුන්ගේ මේ දර්‍ශනය සියලු ලෝකයා හා ප්‍රත්‍යනීක (පිළිලොම්) වෙයි.
Pali BJT765. යං පරෙ සුඛතො ආහු තදරියා ආහු දුක්ඛතො, යං පරෙ දුක්ඛතො ආහු තදරියා සුඛතො විදුං.
Sinhala BJT765. අනාර්‍ය්‍ය පෘථග්ජනයෝ යම් වස්තුකාමයක් සුඛවශයෙන් කීහු නම්, එ වස්තුකාමය ආර්‍ය්‍යයෝ දුක් විසින් දෙසූහ. යම් නිර්‍වාණයක් අන්‍යපෘතග්ජනයෝ දුක් විසින් කීහු නම්, ආර්‍ය්‍යයෝ එ නිවන සුඛ විසින් දත්හ.
Pali BJT766. පස්ස ධම්මං දුරාජානං සම්පමූළ්හෙත්ථ අවිද්දසු, නිවුතානං තමො හොති අන්ධකාරො අපස්සතං.
Sinhala BJT766. ශ්‍රාවකයෙනි, දුර්විඥේය වූ නිර්‍වාණධර්‍මය නැනැසින් දකිවු. එ නිවන්හි අඥයෝ සම්ප්‍රමූඪ වෙත්. කුමක් හෙයිනැ යත්: අවිද්‍යායෙන් වැලැඳුනු ඇතිසැටිය නොදන්නවුන්ට අන්‍ධකාර වූ තෙමස වෙයි.
Pali BJT767. සතඤ්ච විවටං හොති ආලොකො පස්සතාමිව, සන්තිකෙ න විජානන්ති මගා ධම්මස්ස’කොවිදා,
Sinhala BJT767. ප්‍රඥාදර්‍ශනයෙන් දක්නාවූ සත්පුරුෂයනට ආලෝක සෙයින් නිර්‍වාණය විවෘත වෙයි. (තචපඤ්චකය හෝ ස්කන්‍ධයන් හෝ පිරිසිඳ දත යුතුවන හෙයින්) තමා හමුයෙහි වූ ද නිර්‍වාණය මාර්‍ගාමාර්‍ගධර්‍මයෙහි අකෝවිද වූ මෘගභූත ජනයෝ නො දන්නාහ.
Pali BJT768. භවරාගපරෙතෙහි භවසොතානුසාරිභි, මාරධෙය්යානුපත්තෙහි නායං ධම්මො සුසම්බුධො.
Sinhala BJT768. භවරාගයෙන් මඬනා ලද, භවස්‍රෝතස අනුව යන්නවුන් විසින් මෙ නිර්‍වාණධර්‍මය සුවසේ අවබෝධ කටහැකි නො වේ.
Pali BJT769. කො නු අඤ්ඤත්ර මරියෙහි පදං සම්බුද්ධුමරහති, යං පදං සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවාති.
Sinhala BJT769. යම් නිර්‍වාණපදයක් මාර්‍ගඥානයෙන් දැන අනාස්‍රව වූවාහු පිරිනිවෙත් නම් එ නිවන් පිය දැනගන්නට ත්‍රෛභූමික වර්‍තයට නොපැමිණි ආර්‍ය්‍යයන්මුත් අන් කවරෙක් සමත් වේ ද යි.
Pali BJTඉදමවොච භගවා, අත්තමනා තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්දුන්ති - ඉමස්මිං ඛො පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ ද්වයතානුපස්සනා සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති එ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ: වැලි මෙ වෙය්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ සිත් උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදුනාහ යි.
Pali BJTද්වයතානුපස්සනා සුත්තං නිට්ඨිතං.
Sinhala BJTද්වයතානුපස්සනා සූත්‍රය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසච්චං උපධි අවිජ්ජා ච සඞ්ඛාර විඤ්ඤාණ පඤ්චමං, ඵස්සවෙදනියා තණ්හා උපාදානරම්හා ආහාරා; ඉඤ්ජිතං චලිතං රූපං සච්චං දුක්ඛෙන සොළසාති.
Sinhala BJTචතුස්සත්‍යය, උපධිය, අව්ජ්ජාය, සඞ්ඛාරය, පස්වැනි විඤ්ඤාණය, ඵස්සය, වේදනියය, තණ්හාය, උපාදානය, ආරම්භය, ආහාරාය, ඉඤ්ජිතය, චලිතය, රූපය, සච්චය, දුක්ඛය යි මෙ සූත්‍රයෙහි විෂය සොළොසෙකි.
Pali BJTමහාවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි මහාවර්‍ග යි.
Pali BJTතස්සවග්ගස්සුද්දානං:
Sinhala BJTඑ වර්‍ගයාගේ උද්දානය:
Pali BJTපබ්බජ්ජා ච පධානඤ්ච සුභාසිතඤ්ච පූරළාසං. මාඝසුත්තඤ්ච සභියො ච සෙලො සල්ලං ච වුච්චති, වාසෙට්ඨොචාපි කොකාලි නාලකො ද්වයතානුපස්සනා, ද්වාදසෙතානි සුත්තානි මහාවග්ගොති වුච්චතීති.
Sinhala BJTපබ්බජ්ජාසූත්‍රය, පධානසූත්‍රය, සුභාසිතසූත්‍රය, සුන්‍දරිකභාරද්වාජ හට දෙසූ පූරළාසසූත්‍රය, මාඝසූත්‍රය, සභියසූත්‍රය, සෙලසූත්‍රය, සල්ලසූත්‍රය, වාසෙට්ඨසූත්‍රය, කෝකාලිකසූත්‍රය, නාලකසූත්‍රය, ද්වයතානුපස්සනාසූත්‍රය දැයි මෙ මහාවර්‍ගය දොළොස් සූත්‍රයෙකින් උපලක්‍ෂිතය.
Pali BJT4. අට්ඨකවග්ගො
Sinhala BJT4. අට්ඨක වර්‍ගය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJTකාමසුත්තං
Sinhala BJTකාම සූත්‍රය
Pali BJT770. කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති.
Sinhala BJT770. (ත්‍රෛභූමකධර්‍ම නම් වූ) වස්තුකාමය කැමැති වන එ පුද්ගලහට ඉදින් තෙල කාමය සමෘද්ධ වේ නම් එකල්හි ඒ සත්ත්‍ව තෙම යමක් කැමැති වේ නම් එ වස්තුව ලැබ ඒකාන්තයෙන් තුටු සිත් ඇතියේ වෙයි.
Pali BJT771. තස්ස චෙ කාමයානස්ස{1} ඡන්දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පති.
Sinhala BJT771. කාමවස්තු කැමැති වන, උපන් තෘෂ්ණා ඇති එ පුද්ගලයාගේ එ කාමයෝ ඉදින්, පිරිහෙත් නම් (එ කල්හි) හෙතෙම විෂපීත ශල්‍යයෙකින් විදුනා ලද්දකු සෙයින් පෙළෙයි.
Pali BJT772. යො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො, සො’මං{2} විසත්තිකං ලොකෙ සතො සමතිවත්තති.
Sinhala BJT772. යමෙක් වස්තුකාම ක්ලේශකාමයන් එහි ඡන්‍දරාගය විෂ්කම්භණ වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ තමාගේ පයින් සර්‍පයෙකුගේ හිස මෙන් දුරු කෙරේ නම් ඒ මහණ ලොව් හි විසත්තිකා නම් මේ තෘෂ්ණාව ස්මෘතිමත් ව ඉක්මවයි.
Pali BJT773. ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා ගවාස්සං{3} දාසපොරිසං, ථියො බන්ධූ පුථුකාමෙ යො නරො අනුගිජ්ඣති.
Sinhala BJT773. යම් මිනිසෙක් හැල් කෙත් ආදිය ගෙවතු ආදිය හෝ අමුරන් හෝ ගෙරින් හා අසුන් හෝ දස් කම්කරු පුරුෂයන් හෝ මාගමුන් හෝ නෑ සබඳුන් හෝ අන් බොහෝ කාමයන් පුන පුනා පතා නම්,
Pali BJT774. අබලා නං බලීයන්ති මද්දන්තෙ නං පරිස්සයා, තතො නං දුක්ඛමන්වෙති නාවං භින්නමිවොදකං.
Sinhala BJT774. අබල නම් වූ ක්ලේශයෝ එ පුඟුල්හු මැඩලති. යළි ප්‍රකට වූ හා අප්‍රකට වූ උපද්‍රවයෝ එ කාමගිද්ධයා මඩනාහ. එ හේතුයෙන්, බුන් නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුඃඛය ඔහු නුහුබදනේ ය.
Pali BJT775. තස්මා ජන්තු සදා සතො කාමානි පරිවජ්ජයෙ, තෙ පහාය තරෙ ඔඝං නාවං සිත්වාව{4} පාරගූති.
Sinhala BJT775. එහෙයින් මිනිසා හැම සඳ (කායගතාසති ආදි භාවනායෙන්) ස්මෘතිමත් වූයේ වස්තුකාම ක්ලේශකාමයන් දුරු කරන්නේ ය. එ කාමයන් හැරපියා බුන් නැව දිය ඉසපියා පරතෙර යනුවකු සෙයින් චතුරෝඝ තරණය කරන්නේයි.
Pali BJTකාමසුත්තං නිට්ඨිතං
Sinhala BJTකාම සූත්‍රය නිමි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJTගුහට්ඨකසුත්තං
Sinhala BJTගුහට්ඨක සූත්‍රය
Pali BJT776. සත්තො ගුහායං බහුනාභිඡන්නො තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො, දූරෙ විවෙකා හි තථාවිධො සො කාමා හි ලොකෙ න හි සුප්පහායා.
Sinhala BJT776. මනුෂ්‍යයෙක් ගුහා සංඛ්‍යාත ශරීරෙයහි රාගාදි විසින් ඇලුනේ බොහෝ වූ රාගාදි ක්ලේශ ජාතයෙන් වැසුනේ රාගාදි වශයෙන් සිටුනේ මෝහන සංඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩි වැ බැසගත්තේ වේ ද, එබඳු වූ හේ ත්‍රිවිධ විවේකයෙන් දුර මැ වේ. යම්හෙයකින් සත් ලොව්හි කාමයෝ සුවයෙන් හළ නො හැකියාහු ද එහෙයිනි.
Pali BJT777. ඉච්ඡානිදානා භවසාතබද්ධා තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා, පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා ඉමෙ ව කාමෙ පුරිමෙ ව ජප්පං.
Sinhala BJT777. කාම තෘණ්හාව නිදාන කොට ඇති, (සුඛවේදනාදි) භවසුඛයෙහි බැඳුනු, අතීත වූ හෝ අනාගත වූ කාමයන් අපේක්‍ෂා කරණ වර්‍තමාන කාමයන් හෝ පෙර කී අතීතානාගත කාමයන් පතන, එ සත්ත්‍වයෝ දුකසේ මිදිය යුත්‍තාහු වෙති, ඔහු සෙස්සනුදු මුදා ලිය නො හෙත්.
Pali BJT778. කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා අවදානියා තෙ විසමෙ නිවිට්ඨා, දුක්ඛූපනීතා පරිදෙවයන්ති කිං සු භවිස්සාම ඉතො චුතාසෙ.
Sinhala BJT778. ඔහු ක්ලේශ කාමයන් වස්තු කාමයෙහි ගිජු වූවාහු කාම වස්තු පර්‍ය්‍යෙෂණාදියෙහි නියැලියාහු සම්මෝහයට පැමිණියාහු (අවංගමනතායෙන් හෝ මසුරු බැවින් හෝ බුද්ධාදීන්ගේ වචන නොගන්නා හෙයින් හෝ) අවදානිය වූවා හු, විෂමකාය කර්‍මාදියෙහි බැස ගත්තාහු එ සත්ත්‍වයෝ මරණ දුකට පැමිණියාහු, මෙ අත්බැවින් සැව ගියමෝ කුමක් වනුමෝ හෝ’යි පරිදේවනා කෙරෙත්.
Pali BJT779. තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙ, න තස්ස හෙතු විසමං චරෙය්ය අප්පං හිදං ජීවිතං ආහු ධීරා.
Sinhala BJT779. එහෙයින් මැ සත්ත්‍වතෙමේ ලෙව්හි යම්කිසි කාය දුශ්චරිතාදීයක් විෂම යැයි දන්නේ නම් ඒ විෂම කායකර්‍මාදියට හේතු වූ විෂමයෙහි නො හැසිරෙන්නේ ය. යම් හෙයකින් (බුද්ධාදි) ධීරයෝ මේ ජීවිතය අල්ප යයි දෙසූහු ද, එහෙයින් මැ මෙ බුදු සස්නෙහි ම ත්‍රිවිධ ශික්‍ෂාහි හික්මෙන්නේ ය.
Pali BJT780. පස්සාමි ලොකෙ පරිඵන්දමානං පජං ඉමං තණ්හාගතං භවෙසු, හීනා නරා මච්චුමුඛෙ ලපන්ති අවීතතණ්හා සෙ භවාභවෙසු.
Sinhala BJT780. කාමභවාදියෙහි නොහොත් පුනපුනා භවයෙහි අවිගත තෘෂ්ණා ඇති, හීන වූ කායකර්‍මාදිය ඇති සත්ත්‍වයෝ මරුමුවෙහි හෙවැ වැලැපෙත්. ලොව් හි කාමාදිභවයන්හි තෘෂ්ණායෙන් මඩනා ලද තෘෂ්ණාදි ස්පන්‍දනයෙන් පොපියන මෙ සත්ත්‍වසමූහයා මසැස් ඈ පසැසින් දක්මි.
Pali BJT781. මමායිතෙ පස්සථ ඵන්දමානෙ මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ, එතම්පි දිස්වා අමමො චරෙය්ය භවෙසු ආසත්තිමකුබ්බමානො.
Sinhala BJT781. සිඳී ගිය දියත්තෙක්හි පොපියන මසුන් මෙන් මාගේ යැයි ගන්නාලද කාමවස්තුයෙහි, පොපියන සත්ත්‍වයන් බලවු. (මමායිත වස්තුයෙහි) තෙල ආදීනව දැක, මමායන නැතියේ කාමාදිභවයන්හි ඇලුම් නො කෙරෙමින් හැසිරෙන්නේ ය.
Pali BJT782. උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො, යදත්තගරහී තදකුබ්බමානො න ලිප්පතී{1} දිට්ඨසුතෙසු ධීරො.
Sinhala BJT782. ඵස්ස-ඵස්ස සමුදයාදි දෙ දෙ අන්තයන්හි ඡන්‍දරාගය දුරු කොට චක්ඛු සම්ඵස්සාදි ස්පර්‍ශය ත්‍රිවිධපරිඥායෙන් දැන, රූපශබ්දාදියෙහි නො ගිජු වූයේ කළ නොකළ හෙයින් තම හට ගරහ උපදවන කායදුශ්චරිතාදිය නොකරන ප්‍රාඥයා (රූප ශබ්දාදී) දෘෂ්ට ශ්‍රැතාලම්බනයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ඇලෙයි.
Pali BJT783. සඤ්ඤං පරිඤ්ඤාවිතරෙය්ය ඔඝං පරිග්ගහෙසු මුනි නොපලිත්තො, අබ්බූළ්හසල්ලො චරං අප්පමත්තො නාසිංසතී ලොකමිමං පරඤ්චාති.
Sinhala BJT783. කාම සංඥාදි සංඥාව නොහොත් සංඥානුසාරයෙන් නාමරූපය ත්‍රිවිධපරිඥායෙන් දැන, චතුරෝඝ තරණය කරන්නේ ය. තෘෂ්ණා දෘෂ්ටි පරිග්‍රයන්හි නො ඇළුනු ක්‍ෂීණාස්‍රව මුනි උපුටා ලූ රාගාදි ශල්‍ය ඇතියේ අප්‍රමත්ත ව හැසිරෙන්නේ ( ස්වාත්මභාව සංඛ්‍යාත) මෙ ලොවත්, (පරාත්මභාව සංඛ්‍යාත) පරලොවත් නොපතන්නේ යි.
Pali BJTගුහට්ඨකසුත්තං නිට්ඨිතං
Sinhala BJTගුහට්ඨක සූත්‍රය නිමි.
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJTදුට්ඨට්ඨක සුත්තං
Sinhala BJTදුට්ඨට්ඨක සූත්‍රය
Pali BJT784. වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ අථොපි වෙ සච්චමනා වදන්ති, වාදඤ්ච ජාතං මුනිනො උපෙති තස්මා මුනි නත්ථි ඛිලො කුහිඤ්චි.
Sinhala BJT784. ඇතැම් (අන්‍ය තීර්‍ත්‍ථක) කෙනෙක් ඒකාන්තයෙන් දුෂ්ට චිත්ත ඇත්තාහු (බුදුපාමොක් සඟනට) උපවාද බෙණෙත්. වැලි (අන්‍යතීර්‍ත්‍ථක කථා ඇසූ) තව කෙනෙක් ‘ඒකාන්තයෙන් සත්‍යයෙක’ යන සිත් ඇත්තාහු උපවාද බෙණෙත්. තථාගත මුනි අභූතයෙන් උපන් (එ ආක්‍රෝශවාදයට) නො පැමිණේ. එහෙයින් බුද්ධමුනි කිසිදු කරුණෙක්හි රාගාදි කීල නැත්තේ යි.
Pali BJT785. සකං හි දිට්ඨිං කථමච්චයෙය්ය ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො, සයංසමත්තානි පකුබ්බමානො යථා හි ජානෙය්ය තථා වදෙය්ය.
Sinhala BJT785. දෘෂ්ටිච්ඡන්‍දයෙන් මෙහෙයන ලදුයේ දෘෂ්ටි රුචියෙහි බැසගත් තීර්‍ත්‍ථක ජනයා කිසෙයින් ස්වකීය දෘෂ්ටිය හරනේ ද තමා විසින් පුරණලද ඒ දෘෂ්ටිගතයන් මැ කරනුයේ යම් පරිද්දෙකින් දන්නේ නම් එ පරිද්දෙන් බණන්නේ යි.
Pali BJT786. යො අත්තනො සීලවතානි ජන්තු අනානුපුට්ඨො ච පරෙස{2} පාවා,{3} අනරීයධම්මං කුසලා තමාහු යො ආතුමානං සයමෙව පාවා{3}
Sinhala BJT786. යම් පුද්ගලයෙක් නො පුළුවුස්නා ලදුයේ මැ තමාගේ ප්‍රාතිමෝක්‍ෂාදි ශීලයන් හා ධුතඞ්ගාදි ව්‍රතයන් හා මෙරමාහට කියාපා නම්, යමෙක් තෙමේත් තමා (සිල්වතැයි) කියාපා නම් ආර්‍ය්‍යධර්‍ම කුශලයෝ ඔහුගේ එ කථනය අනාර්‍ය්‍ය ධර්‍මයෙකැයි කීහු.
Pali BJT787. සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො ඉති’හන්ති සීලෙසු අකත්ථමානො, තමරියධම්මං කුසලා වදන්ති යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ
Sinhala BJT787. යම් රහත් මහණෙක් රාගාදි ක්ලේශ ව්‍යපශමයෙන් ශාන්ත වූයේ රාගාදි ගිනි නිවීමෙන්, නිවුනු සිත් ඇත්තේ ත්, ‘මෙසෙයින් මම සිල් සපන්මි’යි ශීලයන්හි තමා එළවා නො කියන්නේ ද, යම් ක්‍ෂීණාස්‍රවයකු හට ස්කන්‍ධාදි ආර්‍ය්‍යධර්‍මයෙහි නිපුණයෝ ඒ සිය ගුණ පාළ නො කිරීම අරීදහමැ යි කියත්.
Pali BJT788. පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා පුරක්ඛතා සන්ති අවීවදාතා, යදත්තනී පස්සති ආනිසංසං තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං.
Sinhala BJT788. යම් දෘෂ්ටිගතිකයක්හුගේ තෘෂ්ණා දෘෂ්ටි විසින් පරිකල්පිත වූ ප්‍රත්‍යයෙන් සකසන ලද, තෘෂ්ණාදෘෂ්ටියෙන් පෙරටු කරනලද, අශුඬ වූ දෘෂ්ටිධර්‍ම කෙනෙක් වෙත් ද, හෙතෙම යම් හෙයෙකින් තමා කෙරෙහි එ දෘෂ්ටීන් ගේ (දෘෂ්ට ධාර්මික සාම්පරායික) ආනිසංසයක් දක්නේ ද, එහෙයින් මැ විපාකජනක ද පරිවර්‍තනශීලී ද වන හෙයින් කෝප්‍ය වූත් ප්‍රතීත්‍යසමුත්පන්න වූත් සංවෘතිශාන්ති නම් වූ දෘෂ්ටිය ඇසිරිකොට පවත්නේ ය.
Pali BJT789. දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා නරො තෙසු නිවෙසනෙසු නිරස්සතී ආදිසතිච්ච{1} ධම්මං.
Sinhala BJT789. ඉදං සච්චාභිනිවේස යි කියූ දෘෂ්ටිනිවෙශනයෝ සුව සේ ඉක්මැවිය නොහෙත්, දෙසැට මිසදිටු දම් අතුරෙහි මොනොවට බැස ගත් එ එ ධර්‍මය නිශ්චය කොට පවත්නේ ය. එහෙයින් සත්ත්‍ව තෙමේ එ දෘෂ්ටිනිවේශනයන් හි අජශීල ගොශීලාදි ධර්‍මය හරනේත් ගන්නේත් වෙයි.
Pali BJT790. ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසු, මායඤ්ච මානඤ්ච පහාය ධොනො සකෙන ගච්ඡෙය්ය අනූපයො සො.
Sinhala BJT790. යම් හෙයකින් පැහූ හැම පව් ඇති රහත්හට කිසිදු ලොවෙක එ එ භවයන් නිමිත්ත කොට ප්‍රකල්පිත දෘෂ්ටියක් නැත් ද, එ හෙයින් ධූතපාප එ ක්‍ෂීණාස්‍රව මායා හා මාන හා පහා තෘෂ්ණා දෘෂ්ටි යන උපය නැති යේ මැ (මේ අත්බැව්හි හා පරලොව්හි හෝ නිරයාදි ගති විශේෂයන්හි) කවර හෙයෙකින් නෙරයිකාදි සංඛ්‍යාවට යේ ද? (නොයේ මැයි)
Pali BJT791. උපයො හි ධම්මෙසු උපෙති වාදං අනූපයං{2} කෙන කථං වදෙය්ය, අත්තං නිරත්තං න හි තස්ස අත්ථි අධොසි සො දිට්ඨිමිධෙව සබ්බන්ති.
Sinhala BJT791. තෘෂ්ණාදි උපය (නිඃශ්‍රය) ඇතියේ ම එ එ ධර්‍මයන්හි (රාගරක්ත ය, ද්වේෂ දුෂ්ටය යන) වාදයට නො එළඹෙයි, තණ්හා, දිට්ඨි, උපය නැතියහු රාග, දෝෂ යන කවර කරුණෙකින් (රක්තයෙක, දුෂ්ටයෙකැයි) කිසෙයින් කියන්නේ ද, ඔහුට (ආත්මදෘෂ්ටි සංඛ්‍යාත) ආත්මවාදය වේවයි (උච්ඡේදදෘෂ්ටි සංඛ්‍යාත) නිරාත්මවාදය හෝ නැත් මැයි. ඒ ක්‍ෂීණාස්‍රව මහණ ඉහාත්මභාවයෙහි මැ සර්‍වදෘෂ්ටිගතය ප්‍රහීණ කෙළේ යි.
Pali BJTදුට්ඨට්ඨකසුත්තං නිට්ඨිතං.
Sinhala BJTදුට්ඨට්ඨක සූත්‍රය නිමි.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJTසුද්ධටඨකසුත්තං
Sinhala BJTසුද්ධට්ඨක සූත්‍රය
Pali BJT792. පස්සාමි සුද්ධං පරමං අරොගං දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති, එතාභිජානං{3} පරමන්ති ඤත්වා සුද්ධානුපස්සීති පච්චෙති ඤාණං
Sinhala BJT792. දෘෂ්ටිගතික අඥපුද්ගල කෙලෙස් කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරෝග වූ පුඟුලකු දැක “පරම ශුද්ධියට පත් අරෝග පුද්ගලයකු දක්මි“යි ද දෘෂ්ටි සංඛ්‍යාත දර්‍ශනයෙන් මිනිසාගේ මන ශුද්ධිය වේය“යි ද මෙසේ වෙසෙසින් දන්නේ එ දර්‍ශනය පරම යයි දැන එ දර්‍ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ, ඒ දර්‍ශනය “මාර්‍ගඥානය“යි හදහයි. (එතෙකුදු වත් එ මාර්‍ග ඥානය නො වේ.)
Pali BJT793. දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති ඤාණෙන වා සො පජහාති දුක්ඛං, අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො දිට්ඨි හි නං පාව තථාවදානං.
Sinhala BJT793. රූපදර්‍ශන සංඛ්‍යාත එ දර්‍ශනයෙන් ඉදින් සත්ත්‍වයාගේ ශුද්ධිය වේ නම් නොහොත් චක්‍ෂුර්විඥාන නම් වූ එ ඥානයෙන් හෙතෙම ජාත්‍යාදි දුඃඛය දුරු කෙරේ නම්, එසේ වත්ම ආර්‍ය්‍යමාර්‍ගයෙන් අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙ ශුද්ධ වේ යැ යි කියයුතු බවට පැමිණෙයි, දෘෂ්ටිය මැ එසේ කියන ඔහු මෙ මිසදිටුවෙකැ’ යි පවසන හෙයිනි.
Pali BJT794. න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො.
Sinhala BJT794. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අන්‍යවූ අභිමංගල සම්මිත රූප සංඛ්‍යාත රූපායතනයෙහි දු එබඳු මැ වූ ශබ්දායතයනයෙහි දු අව්‍යතික්‍රම සංඛ්‍යාත ශීලයෙහි හා (හස්ති ව්‍රතාදී) ව්‍රතයෙහි දු මුතයයි කියන ලද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යායතනයෙහි දු උපන් මිථ්‍යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම්හෙයකින් හේ ත්‍රෛධාතුකපුණ්‍යයෙහිත්, සියලු පාපයෙහිත් නො ඇලුනේ වේ ද, එ හෙයින් ම ආත්මදෘෂ්ටිය ප්‍රහීණ කෙළේ මේ ත්‍රෛභූමක ලෝකයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය නො කරන්නේ වේ.