මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැති යි දැනගනි යි.
1. 1. 7.
දුතිය අජ්ඣත්තානිච්ච සූත්‍රය
7. සැවැත්නුවර–
මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද ඇස අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් ඇසෙහිත් නිරපේක්‍ෂ වෙයි. අනාගත ඇස නො පතයි. පවත්නා ඇස පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
කන අනිස ය … නැහැය අනිස ය … ඉකුත් වු ද නො පැමිණියා වූ ද දිව අනිස ය, පවත්නා දිව පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරිසවු ඉකුත් දිවෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ දිව නො පතයි. පවත්නා දිවෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
කය අනිස ය … ඉකුත් වූ ද නො පැමිණියා වූ ද මනස අනිස ය. වර්‍තමාන මනෙසහි කිනම් කථා යැ, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත මනස නො පතයි. වර්‍තමාන මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
1. 1. 8.
දුතිය අජ්ඣත්තදුක්ඛ සූත්‍රය
8. සැවැත්නුවර–
මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද, ඇස දුක් ය. පවත්නා ඇසෙහි කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු අතීත වූ ඇසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි … අතීතානාගත මනස දුක් ය. පවත්නා මනසෙහි කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු අතීත මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.
1. 1. 9.
දුතිය අජ්ඣත්තානත්ත සූත්‍රය
9. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත වූ ඇස අනත් ය. පවත්නා ඇසෙහි කිනම් කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරිසවු අතීත වූ ඇසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. කන අනත් ය. පවත්නා කනෙහි කවර කථාවෙක් ද … අතීතානාගත වූ නැහැය අනත් ය, පවත්නා නැහැයෙහි කවර කථා යැ … අතීතානාගත වූ දිව අනත් ය. පවත්නා දිවෙහි කවර කථා යැ … පිළිපන්නේ වෙයි. අතීතානාගත වූ මනස අනත් ය. පවත්නා මනසෙහි කවර කථා යැ මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත වූ මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
1. 1. 10.
දුතිය බාහිරානිච්ච සූත්‍රය
10. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගතවූ රූප අනිසය. පවත්නා රූප පිළිබඳ ව කිනම් කාථා ද. මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල් ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. සද … ගඳ … රස … පහස් … අතීත අනාගත දහම් අනිස ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. අනාගත දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.
1. 1. 11.
දුතිය බාහිරදුක්ඛ සූත්‍රය
11. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූප දුක් ය. පවත්නා රූප පිළිබඳ ව කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. සද … ගඳ … රස … පහස් ඉකුත් නො පැමිණි දහම් දුක් ය. පවත්නා රූ පිළිබඳ ව කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
1. 1. 12.
දුතිය බාහිරානත්ත සූත්‍රය
12. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූප අනත් ය. පවත්නා රූපයෙහි කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. සද … ගඳ … රස … පහස් ... අතීත අනාගත දහම් අනත් ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
පළමුවැනි අනිච්චවර්‍ග යි.
එහි උද්දානය:
අනිච්ච යැ දුක්ඛ යැ අනත්ත යැ යි සූත්‍රයෝ තුන් දෙනෙකි. ඔහු අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිත්. ‘යදනිච්ච’ ශබ්දයෙන් වෙන් කොට කියූ සූත්‍රයෝ ද තුන්දෙනෙකි. ඔහු ද අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිති (අජ්ඣත්තබාහිර-භේදයෙන් දොළොස් දෙනෙකි.)
2. යමක වර්‍ගය
1. 2. 1.
සම්බොධ සූත්‍රය
13. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර මැ සම්බුදු නො වූ බෝසත් වූ මැ මට මෙබඳු සිතෙක් වි ය: ඇසෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, කනෙහි ආස්වාදය කිමෙක් ද, … නැහැයෙහි ආස්වාදය කිමෙක් ද, … දිවෙහි ආස්වාදය කිමෙක් ද, … කයෙහි ආස්වාදය කිමෙක් ද, … සිතෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් විය: ඇස නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ඇසේ ආස්වාද යි. යම් ඇසෙක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ ඇසේ ආදීනව යි. ඇසෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ඇසේ නිස්සරණ යි. කන නිසා යම් … නැහැය නිසා යම් … දිව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ දිවේ ආස්වාද යි. යම් දිවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ දිවේ ආදීනව යි. දිවේ යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ දිවේ නිස්සරණ යි. කය නිසා යම් … සිත නිසා යම් සුවයෙක් සොම්නසෙක් වේ නම් මේ සිතේ ආස්වාද යි. යම් සිතක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ සිතේ ආදීනව යි. සිතේ යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සිතේ නිස්සරණ යි.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි නො ම පිළින කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් නම් මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලසමාධිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් නැවත ඉපදීමෙක් නැතැ යි.
1. 2. 2.
දුතිය සම්බොධ සූත්‍රය
14. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය:
රූපයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, ශබ්දයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ගන්‍ධයන්ගේ ආස්වාදය කිමෙක් ද, ... රසයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ධර්‍මයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් විය:
රූපයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයන්ගේ ආස්වාද යි. යම් රූප කෙනෙක් අනිත්‍ය නම් දුක් නම් අනාත්ම නම් මේ රූපයන්ගේ ආදීනව යි. රූපයන්හි යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ රූපයන්ගේ නිස්සරණ යි. ශබ්දයන් නිසා යම් … ගන්‍ධයන් නිසා යම් … රසයන් නිසා යම් … ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා යම් … ධර්‍මයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ධර්‍මයන්ගේ ආස්වාද යි. යම් ධර්‍ම කෙනෙක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ ධර්‍මයන්ගේ ආදීනව යි. ධර්‍මයන්හි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ධර්‍මයන්ගේ නිස්සරණ යි.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් බාහිර ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් ... දත්තෙම් නම් මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵල සමාධිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාති යි. දැන් නැවත ඉපදීමෙක් නැති යි.
1. 2. 3.
අස්සාද පරියේසන සූත්‍රය
15. සැවැත්නුවර–
මහණෙනි, මම ඇසෙහි ආස්වාදය සෙවීම කළෙමි. ඇසේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ ආදීනවය සෙවීම කළෙමි. ඇසේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ නිස්සරණය සෙවීම කෙළෙමි. ඇසේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ඇසේ නිස්සරණය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මම කනෙහි … මහණෙනි, මම නැහැයෙහි … මහණෙනි, මම දිවෙහි ආස්වාදය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. දිවෙහි ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම දිවෙහි ආදීනවය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. දිවෙහි ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම දිවෙහි නිස්සරණය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. දිවෙහි නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, කයෙහි … මහණෙනි, මම සිතෙහි ආස්වාදය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. සිතෙහි ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම සිතෙහි ආදීනවය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. සිතෙහි ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේය. මහණෙනි, මම සිතෙහි නිස්සරණය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. සිතෙහි නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, යම් තාක් මම මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තෙම් ද … දත්තෙම් ද මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ පැසුළු භවය යි. දැන් පුනර්‍භවයෙක් නැති යි.
1. 2. 4.
දුතිය අස්සාදපරියේසන සූත්‍රය
16. සැවැත්නුවර–
මහණෙනි, මම රූපයන්ගේ ආස්වාදය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. රූපයන්ගේ ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම රූපයන්ගේ ආදීනවය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. රූපයන්ගේ ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. රූපයන්ගේ නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ශබ්දයන්ගේ … මහණෙනි, මම ගන්‍ධයන්ගේ … මහණෙනි, මම රසයන්ගේ … මහණෙනි, මම ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ … මහණෙනි, මම ධර්‍මයන්ගේ ආස්වාදය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි: ධර්‍මයන්ගේ ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ධර්‍මයන්ගේ ආදීනවය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් අදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ධර්‍මයන්ගේ ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ධර්‍මයන්ගේ නිස්සරණය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ධර්‍මයන්ගේ නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, යම් තාක් මම මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වසයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තෙම් ද, … දත්තෙම් ද, … මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාති යි. දැන් පුනර්‍භවයෙක් නැති යි.
1. 2. 5.
නො චෙ අස්සාද සූත්‍රය
17. සැවැත්නුවර–
මහණෙනි, ඉදින් ඇසෙහි ආස්වාදයෙක් නො වී නම් මේ සත්ත්‍වයෝ ඇසෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ඇසෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇසෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ඇසෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ඇසෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් ඇසෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ඇසින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ඇසින් මිදෙති.
මහණෙනි, ඉදින් කනෙහි (ආස්වාදයෙක්) නොවී නම් … මහණෙනි, ඉදින් නැහැයෙහි (ආස්වාදයක්) නොවී නම් … මහණෙනි, ඉදින් දිවෙහි (ආස්වාදයෙක්) නොවී නම් සත්ත්‍වයෝ දිවෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි ආස්වාදයයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් දිවෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ දිවෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් දිවෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ දිවෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙන් මිදෙති.
මහණෙනි, ඉදින් කයෙහි (අස්වාදයෙක්) නොවී නම් … මහණෙනි, ඉදින් සිතේ ආස්වාදයක් නො වී නම් සත්ත්‍වයෝ සිතෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතෙහි ඇලෙති. මහණෙනි, ඉදින් සිතෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ සිතෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් සිතෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ සිතින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතින් මිදෙති.
මහණෙනි, යම් තාක් සත්ත්‍වයෝ මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තාහු ද, මහණෙනි ඒ තාක් සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්මගියාහු වෙන් වූවාහු මිදුනාහු ක්ලේශ වර්‍ත සඞ්ඛ්‍යාත මර්‍ය්‍යාදා ඉක්ම වූ සිතින් යුක්තව නො ම විසූහ.
මහණෙනි, යම්කලෙක සත්ත්‍වයෝ මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ දත්තාහු ද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු ක්ලේශ වර්‍ත මර්‍ය්‍යාදා ඉක්මවූ සිතින් යුක්ත ව වෙසෙති යි.
1. 2. 6.
දුතිය නො චෙ අස්සාද සූත්‍රය
18. සැවැත්නුවර–
මහණෙනි, ඉදින් රූපයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්ගේ ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්හි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්ගෙන් මිදෙත්.
මහණෙනි, ඉදින් ශබ්දයන්ගේ … ගන්‍ධයන්ගේ … රසයන්ගේ … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ … ධර්‍මයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ධර්‍මයන්ගේ ආස්වාදයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් ධර්‍මයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම්හෙයෙකින් ධර්‍මයන්ගේ ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් ධර්‍මයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ධර්‍මයන්ගේ නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්ගෙන් මිදෙත්.
මහණෙනි, සත්ත්‍වයෝ යම් තාක් මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද හෙයින් ද, ආදීනවය ආදීනව හෙයින් ද නිස්සරණය නිස්සරණ හෙයින් ද තතුසේ නො දත්තාහු වෙත් ද මහණෙනි, සත්ත්‍වයෝ ඒතාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබුමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව නො ම විසූහ.
මහණෙනි, සත්ත්‍වයෝ යම් කලෙක මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද හෙයින් ද ආදීනවය ආදීනව හෙයින් ද නිස්සරණය නිස්සරණ හෙයින් ද තතුසේ දත්තාහු වෙත් ද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු මර්‍ය්‍යාදා රහිත කරන ලද සිතින් යුක්ත ව වෙසෙති යි.
1. 2. 7.
අභිනන්‍ද සූත්‍රය
19. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් ඇස පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් කන පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් නැහැය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුණේ ය යි කියමි. යමෙක් දිව පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් කය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් සිත පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.
මහණෙනි, යමෙක් ඇස නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් කන නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් නැහැය නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් දිව නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් කය නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් සිත නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි.
1. 2. 8.
දුතිය අභිනන්‍ද සූත්‍රය
20. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් රූප අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා කරයි. යමෙක් දුක අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් ශබ්ද … ගන්‍ධ … රස … ස්පර්‍ශ … ධර්‍ම අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා කරයි. යමෙක් දුක අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.
මහණෙනි, යමෙක් රූප අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා නො කරයි. යමෙක් දුක අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ශබ්ද … ගන්‍ධ … රස … ස්පර්‍ශ … ධර්‍ම අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා නො කරයි. යමෙක් දුක අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි යි.
1. 2. 9.
උප්පාද සූත්‍රය
21. සැවැත්නුවර–
මහණෙනි, ඇසෙහි යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. කනෙහි යම් … නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, ඇසෙහි යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්‍යපශම ය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කනෙහි යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්‍යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් … නිරෝධයෙක් ව්‍යපශමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය යි, රෝගයන්ගේ ව්‍යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
1. 2. 10.
දුතිය උප්පාද සූත්‍රය
22. සැවැත්නුවර–
මහණෙනි, රූපයන්ගේ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්දයන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්‍යපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි. ශබ්දයන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්‍යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
දෙවැනි යමක වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
සම්බෝධ නමින් දෙකෙක් කියන ලදී, අස්සාද නමින් අනෙක් දෙකෙකි. නො චෙ යන්නෙන් ද දෙකෙක් කියන ලදී. අභිනන්‍ද නමින් ද අනෙක් දෙකෙකි. උප්පාද නමින් ද දෙකෙක් කියන ලදී. එයින් වර්‍ගය යි කියනු ලැබේ.
3. සබ්බ වර්‍ගය
1. 3. 1.
සබ්බ සූත්‍රය
23. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්‍ෂුස යැ, රූපයෝ යැ ශ්‍රෝත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්‍ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්‍මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.