භාග්‍යවතුන් වහන්ස, මාර්‍ගය විෂම ය, ගමන දුෂ්කර ය.
[භගවත්හු:]
කාමදය, ආර්‍ය්‍යයෝ දුගීම වූත් විෂම වූත් මාර්‍ගයෙහි යෙත්. අනාර්‍ය්‍යයෝ විෂම මාර්‍ගයෙහි යටිකුරු වූ (නුවණ) හිස් ඇත්තාහු වැටෙත්. ආර්‍ය්‍යයන්ට මාර්‍ගය සම ය. ආර්‍ය්‍යයෝ විෂම සත්‍වසමූහයා අතරෙහි සම වෙත් ම ය.
2. 1. 7.
පඤ්චාලචණ්ඩ සූත්‍රය
88. සැවැත් නුවර –
එකත්පසෙක සිටි පඤ්චාලචණ්ඩ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
මානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨ වූ යම් මුනිවරයෙක් ධ්‍යාන අවබෝධ කළේ ද, මහත් ප්‍රඥා ඇති ඒ බුදුරජ තෙමේ (නීවරණ) සම්බාධයෙහි ඒකාන්තයෙන් (ධ්‍යාන සඞ්ඛ්‍යාත) අවකාශය ලැබී ය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පඤ්චාලචණ්ඩය,) යම් කෙනෙක් නිවණට පැමිණීම පිණිස සිහිය ලැබුවාහු ද, ඔහු සම්බාධ ඇති කල්හි දු ධ්‍යාන ලබත්. ඔහු මනා කොට සමාහිත වූවෝ ය.
2. 1. 8.
තායන සූත්‍රය
89. සැවැත්නුවර–
එකල්හි පැරණි තීර්‍ත්‍ථකරයකු වූ මනා ඡවිවර්‍ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි තායන දේවපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
බමුණ, වීර්‍ය්‍යය කොට (තෘෂ්ණා) ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් පුහුන් නො කොට ධ්‍යානයට නො පැමිණේ.
ඉදින් කරන්නේ නම් මේ (වීර්‍ය්‍යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.
දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළාහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.
යම්සේ කුසතණ පත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින්ම) වරදවා ගන්න ලද මහණකම නිරයට අදියි.
යම්සේ ලිහිල් කර්‍මයක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.
තායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූයේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය අවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය පැරණි තීර්‍ත්‍ථකරයකු වූ මනා ඡවිවර්‍ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි තායන දෙව්පුත් තෙමේ මා සමියයෙහි මේ ගාථා කී ය:
බමුණ, වීර්‍ය්‍යය කොට (තෘෂ්ණා) ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් ප්‍රහීණ නො කොට ධ්‍යානයට නො පැමිණේ.
ඉදින් කරන්නේ නම් මේ (වීර්‍ය්‍යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.
දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.
යම්සේ කුසතණපත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින් ම) වරදවා ගන්නා ලද මහණකම නිරයට අදියි.
යම්සේ කිසි ලිහිල් කර්‍මයක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.
තායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වීය.
මහණෙනි, තායන ගාථා උගණිවු, මහණෙනි, තායන ගාථා පිරිවහවු. මහණෙනි, තායන ගාථා දරවු. මහණෙනි, තායන ගාථා අර්‍ත්‍ථසහිතයහ. මගබඹසරට මුල්වූවෝ ය.
2. 1. 9.
චන්‍දිම සූත්‍රය
90. සැවැත්නුවර–
එකල්හි සඳ දෙව්පුත් තෙමේ රාහු ඇසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි සඳ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
“බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනේ වෙහි (මම) පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳුහට ගාථායෙන් වදාළ සේක.
“සඳ දෙව්පුත් තෙමේ අර්‍හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. එම්බා රාහු අසුරය, සඳ මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.”
ඉක්බිති රාහුඅසුරිඳු තෙමේ සඳදෙව්පුත් මුදා වෙළෙවිසැහැවි ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහ ගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහු අසුරිඳු හට වේපචිත්ති අසුරිඳු තෙමේ මේ ගාථායෙන් කී ය.
එම්බා රාහුඅසුරය, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියෙකු මෙන් සඳ මිදුවෙ හි ද? සංවේගස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බියවූවකු මෙන් සිටිහි ද?
බුද්ධගාථායෙන් අභිගීතයෙමි. ඉදින් සඳ නොමිදුයෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සැප නො ලබන්නෙමි.
2. 1. 10.
සුරිය සූත්‍රය
91. සැවැත්නුවර–
එකල්හි හිරුදෙව්පුත් තෙමේ රාහුඅසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි හිරුදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.
බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනෙහි. මම පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ හිරු දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳු හට ගාථාවලින් වදාළ සේක.
එම්බා රාහුඅසුරය, හිරුදෙව්පුත් තෙමේ අර්‍හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. හිරු දෙව්පුතු මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.
එම්බා රාහුඅසුරය, යමෙක් ගනඳුරෙහි එළිය කරන්නේ ද, බබලන්නේ ද, මඬුලු සටහන් ඇත්තේ ද, උග්‍රතේජස් ඇත්තේ ද, අහසෙහි හැසිරෙණ එබඳු හිරු නො ගිලුව. එම්බා රාහුඅසුරය, මා දහම්පුත් හිරු මුදව.
ඉක්බිති රාහු අසුරිඳු තෙමේ හිරු දෙව්පුත් මුදා වෙළෙවිසැහැවී ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහුඅසුරිඳු හට වේපචිත්ති අසුරිඳු තෙමේ ගාථායෙන් කී ය.
එම්බා රාහු, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියකු මෙන් හිරු මිදුවෙහි ද? සංවේග ස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බිය වූවකු මෙන් සිටිහි ද?
බුද්ධගාථායෙන් අභිගීත (සංධායභාෂිත වශයෙන් වෙසෙසින් ගයන ලදුයෙම්) වෙමි. ඉදින් හිරු නො මිදුවෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සුව නො ලබන්නෙමි.
සුරිය වර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
කස්සපසුත්‍ර දෙකය, මාඝ, මාගධ, දාමලි, කාමද, පඤ්චාලචණ්ඩ, තායන, චන්‍දිම, සුරිය යි සූත්‍ර දශයෙකි.
2. අනාථපිණ්ඩික වර්‍ගය
2. 2. 1.
චන්‍දිමස සූත්‍රය
92. සැවැත්නුවර–
එකල්හි චන්‍දිමස දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්‍ණ ඇත්තේ, මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චන්‍දිමස දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
ධ්‍යානයන්ට පැමිණීමෙන් එකඟසිත් ඇති වූ තීරණප්‍රඥා ඇති සිහි ඇති ඔහු මදුරුවන් නැති කැසෙක මුවන් මෙන් සෙතට පැමිණෙන්නාහු ම ය.
[භගවත්හු:]
ධ්‍යානයන් ලැබ නො පමාවන කෙලෙස් දුරලන ඔහු දැල සිඳ යන මස්කැල මෙන් පරතෙරට (නිවණට) පැමිණෙන්නාහු ම ය.
2. 2. 2.
වෙණ්හු සූත්‍රය
93. සැවැත්නුවර:-
එකත්පසෙක සිටි වෙණ්හු දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
(යම්) මිනිස් කෙනෙක් බුදුරජානන් වහන්සේ පර්‍ය්‍යුපාසාන කොට ගොයුම්සස්නෙහි යෙදෙන්නාහු නො පමාව හික්මෙත් ද, ඔහු ඒකාන්තයෙන් සුවපත් වූවෝ ය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: එම්බා වෙණ්හු දේවපුත්‍රය, ධ්‍යාන කරණ යම් කෙනෙක් මා විසින් ප්‍රකාශ කරණ ලද අනුශාසනපදයෙහි සුදුසු කල්හි නොපමාවෙමින් හික්මෙද් ද, ඔහු මරුවසඟ වූවෝ නොවන්නාහ යි.
2. 2. 3.
දීඝලට්ඨි සූත්‍රය
94. සැවැත්නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.
දීඝලට්ඨි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනාඡවිවර්‍ණ ඇත්තේ, මුළු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
මහණ තෙමේ ඉදින් හෘදයානුප්‍රාප්තිය (අභීත්ත්‍වය) කැමති වන්නේ නම් ලොව පිළිබඳ උදයව්‍යය දැන ධ්‍යාන වඩන්නෙක්, මිදුනු සිතැත්තෙක්, (එසෙයින් ම) මනාසිතැත්තෙක්, (තෘෂ්ණාදෘෂ්ටීන්) අනිඃශ්‍රිතයෙක්, ඒ අභීත්ත්‍වය අනුසස් කොට ඇත්තෙක් වන්නේ ය.
2. 2. 4.
නන්‍දන සූත්‍රය
95. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්‍දන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
පතුළ නුවණැති ගෞතමයන් වහන්ස, මුබවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්සේගේ ඥානදර්‍ශනය ආවරණරහිත ය. කෙබන්දහු ‘සිල්වතැ’ යි කියද්ද? කෙබන්දහු නුවණැති යැ යි කියද්ද? කෙබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණය කෙරේ ද? කෙබන්දහු දෙවියෝ පුදද්ද?
[භගවත්හු:]
යමෙක් සිල්වත් ද, නුවණැත්තේ ද, වඩන ලද සිත් ඇත්තේ ද, සමාහිත වේ ද, ධ්‍යානයෙහි ඇලුනේ ද, සිහි ඇත්තේ ද, ඔහුගේ සියලු ශෝකයෝ පහ වූවාහු ද, ප්‍රහීණ වූවාහු ද, ක්‍ෂීණ වූ කෙලෙස් ඇත්තේ ද, අන්තිම සිරුර දරණ සුලු වේ ද,
එබන්දහු සිල්වතැ යි කියත්. එබන්දහු නුවණැතියැ යි කියත්. එබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණ කෙරේ. එබන්දහු දෙවියෝ පුදති.
2. 2. 5.
චන්‍දන සූත්‍රය
96. සැවැත්නුවර–
එකත්පසෙක සිටි චන්‍දන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මෙහි කවරෙක් රෑදෙවෙහි අනලස් ව චතුරෝඝය තරණය කෙරේ ද? කවරෙක් (යට) පිහිටක් නැති (මතුයෙහි) එල්බීමක් නැති ගැඹුරෙහි නො ගිලේ ද?
[භගවත්හු:]
හැම කල්හි සිල්වත් වූ, නුවණැති, එකඟසිත් ඇති, ඇරඹු වෙර ඇති, නිවන පිණිස මෙහෙයූ සිත් ඇති පුඟුල් තෙමේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.
කාමසංඥායෙන් වැළකුණු රූපසංයෝජන ඉක්ම ගිය ක්‍ෂීණ වූ නන්‍දිරාගය ඇති හෙ තෙම් ගැඹුරෙහි නො ගිලේ.
2. 2. 6.
වසුදත්ත සූත්‍රය
97. සැවැත්නුවර–
එකත්පසෙක සිටි වසුදත්ත දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
[භගවත්හු:]
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ සක්කායදෘෂ්ටි ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
2. 2. 7.
සුබ්‍රහ්ම සූත්‍රය
98. සැවැත්නුවර–
එකත්පසෙක සිටි සුබ්‍රහ්ම දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
නූපන් දුක් නිමිති කොට ද, යලිත්, ඉපදුන දුක් නිමිති කොට ද, මේ සිත නිතර තැති ගත්තේ ය. මේ සිත නිතර බියෙන් සැලුණේ ය. මා විසින් විචාරණ ලද්දෙහි. ඉදින් නොතැති ගත් සිතක් ඇත්නම් එය වදාරණු මැනව.
[භගවත්හු:]