Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 8001-8100 න් 15083

7. 1. 10.
සූචිමුඛී සූත්‍රය
341. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්තිමුලක් ඇසුරු කොට වළදිති. එකල්හි සූචිමුඛී නම් වූ පරිව්‍රාජිකාව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කිවූ ය: “මහණ, කිමෙක් ද? යටිමුව ව වළඳහි දැ”යි.
නැඟැණියනි, මම යටිමුව ව නො ම වළඳමි යි.
“මහණ, එසේ නම් උඩුමුව ව වළඳහි දැ”යි
“නැඟැණියනි, මම උඩුමුව ව නො ම වළඳමි”.
මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි. නැගැණියනි, මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි යි.
මහණ, එසේ නම් සිවුඅනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි.
නැඟැණියනි, මම සිවුඅනුදිගටලූ මුව ඇතිව නො ම වළඳමි යි.
මහණ, කිමෙක්ද? යටිමුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම යටිමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් උඩු මුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම උඩුමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවු අනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවු අනුදිගට ලූ මුව ඇති ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් දැන් කෙසේ වළඳහි දැ යි.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් වාස්තුවිද්‍යා නම් තිරශ්චීන විද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ යටිමුව ව වළඳති යි කියනු ලැබෙති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ උඩුමුව ව වළඳති යි කියනු ලැබෙති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් (වූ) මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
නැඟැණියනි, යම්කිසි මහණබමුණු කෙනෙක් අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුඅනුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
නැඟැණියනි, ඒ මම වාස්තුවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. දැහැමින් භික්‍ෂාව සොයමි. දැහැමින් භික්‍ෂාව සොයා වළඳමි යි.
ඉක්බිති සූචිමුඛී පරිව්‍රාජිකාව රජගහනුවර වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට එළඹ මෙසේ පැවසුවා ය. “ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ දැහැමි සේ ආහාර වළඳත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ නිවැරදි සේ ආහාර වළඳත්. ශ්‍රමණශාක්‍යපුත්‍රීයයන්ට පිඬු දෙව” යි.
පළමුවැනි සාරිපුත්ත වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
විවේකජ, අවිතක්ක, පීතී, උපෙක්ඛා සූත්‍ර සමග ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන සූත්‍ර තුන ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන , නිරෝධසමාපත්ති සුචීමුඛී සූත්‍ර දැ යි දශ සූත්‍ර කෙනෙකි.
සාරිපුත්තසංයුත්තය නිමියේ යි.
8. නාග සංයුත්තය
1. නාග වර්‍ගය
8. 1. 1.
සුද්ධික සූත්‍රය
342. සැවැත්නුවර:
මහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ (බිජුවටින් උපන්) නාගයෝ ය, ජලාබුජ (ගර්‍භාශයෙන් උපන්) නාගයෝ ය, සංසේදජ (තෙතමනෙහි උපන්) නාගයෝ ය, ඕපපාතික (උපපාදුක ව එකවර ම උපන්) නාගයෝ ය යි … මහණෙනි, මේ නාගයෝනි සතර යි.
8. 1. 2.
පණීතතර සූත්‍රය
343. සැවැත්නුවර:
මහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ නාගයෝ ය, ජලාබුජ නාගයෝ ය, සංසේදජ නාගයෝ ය, ඕපපාතික නාගයෝ යි. මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ට වඩා ජලාබුජ නාගයොත් සංසේදජ නාගයොත් ඕපපාතික නාගයොත් ඉතා ප්‍රණීතයහ.
මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ටත් ජලාබුජ නාගයන්ටත් වඩා සංසේදජ නාගයොත් ඕපපාතික නාගයොත් ඉතා ප්‍රණීතයහ.
මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ටත් ජලාබුජ නාගයන්ටත් සංසේදජ නාගයන්ටත් වඩා ඕපපාතික නාගයෝ ඉතා ප්‍රණීතයහ. මහණෙනි, මොහු සිවු නාගයෝනීහු යි.
උපෝසථ සූත්‍රය
344. සැවැත්නුවර:
එ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස මෙහි, ඇතැම් අණ්ඩජ, නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද? ප්‍රත්‍යය කිමෙක් දැ යි?
මහණ, මෙහි ඇතැම් අණ්ඩජ නාගයන්ට මේ බඳු අදහසෙක් වෙයි: පෙර අපි කයින් දෙකක් (කුසල් අකුසල්) කරන්නමෝ වූම්හ, වචනයෙන් දෙකක් කරන්නමෝ වූම්හ, සිතින් දෙකක් කරන්නමෝ වූම්හ. ඒ අපි කයින් දෙකක් කරන්නමෝ වදනින් දෙකක් කරන්නමෝ සිතින් දෙකක් කරන්නමෝ කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණියම්හ. ඉඳින් අද අපි කයින් සුසිරිත් කරන්නමෝ වදනින් සුසිරිත් කරන්නමෝ සිතින් සුසිරිත් කරන්නමෝ නම් මෙසේ අපි කාබුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙන්නෙමු. එහෙයින් අපි දැන් කයින් සුසිරිත් කරම්හ වදනින් සුසිරිත් කරම්හ සිතින් සුසිරිත් කරම්හ”යි.
මහණ, මෙහි ඇතැම් අණ්ඩජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
8. 1. 4.
දුතිය උපෝසථ සූත්‍රය
345. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: වහන්ස, මෙහි ඇතැම් ජලාබුජ නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝ ත් වෙත් නම් එයට හේතු කිමෙක් ද? ප්‍රත්‍ය කිමෙක් දැ යි? ...
මහණ, මෙහි ඇතැම් ජලාබුජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
8. 1. 5.
තතිය උපෝසථ සූත්‍රය
346. සැවැත්නුවර:
එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: “වහන්ස, මෙහි ඇතැම් සංසේදජ නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ” යි? ...
මහණ, මෙහි ඇතැම් සංසේදජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
චතුත්‍ථ උපෝසථ සූත්‍රය
347. සැවැත්නුවර:
එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, මෙහි ඇතැම් ඕපපාතික නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි?.
මහණ, මෙහි ඇතැම් ඕපපාතික නාගයන්ට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි කයින් (කුසල් අකුසල් විසින් ) දෙකක් කරන්නමෝ වූම්හ, වදනින් දෙකක් කරන්නමෝ වූම්හ, සිතින් දෙකක් කරන්නමෝ වූම්හ. ඒ අපි කයින් දෙකක් කරන්නමෝ වදනින් දෙකක් කරන්නමෝ සිතින් දෙකක් කරන්නමෝ කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණියම්හ. ඉඳින් අපි අද කයින් සුසිරිත් කරන්නමෝ වදනින් සුසිරිත් කරන්නමෝ සිතින් සුසිරිත් කරන්නමෝ නම් මෙසේ අපි කාබුන් මරණින් මතු මනාගති ඇති සගලොවට පැමිණෙන්නෙමු. එයින් අපි දැන් කයින් සුසිරිත් කරම්හ වදනින් සුසිරිත් කරම්හ සිතින් සුසිරිත් කරම්හ”යි.
මහණ, මෙහි ඇතැම් ඕපපාතික නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
8. 1. 7.
සුත සූත්‍රය
348. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: “වහන්ස මෙහි, ඇතැමෙක් යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි.
මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණ සුලු වදනින් දෙකක් කරණසුලු සිතින් දෙකක් කරන සුලු වෙයි. “අණ්ඩජ නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, මෙහි ඇතැමෙක් යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි මේ ප්‍රත්‍යය යි.
8. 1. 8.
දුතිය සුත සූත්‍රය
349. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි
මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණ සුලු වෙයි ...
8. 1. 9.
තතිය සුත සූත්‍රය
350. සැවැත්නුවර:
එකත්පස් ව හුන් මේ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස යම් හෙයකින් මෙහි, ඇතැමෙක් කාබුන් මරණින් මතු සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍ය කිමෙක් දැ”යි.
මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු වෙයි ... “මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි මේ ප්‍රත්‍යය යි.
8. 1. 10.
චතුත්‍ථ සුත සූත්‍රය
351. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍ය කිමෙක් දැ”යි.
“මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණසුලු වදනින් දෙකක් කරණ සුලු සිතින් දෙකක් කරනසුලු වෙයි. ඕපපාතික නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. ... හෙ කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
8. 1. 11.
අන්නදායක අණ්ඩජ සූත්‍රය
352. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍ය දැ”යි.
“මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු වදනින් දෙකක් කරනසුලු සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් අණ්ඩජ නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙතෙමේ අහර දෙයි. ... පැමිණේ.
8. 1. 12.
පානදායක අණ්ඩජ සූත්‍රය
353. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
8. 1. 13.
වත්‍ථදායක අණ්ඩජ සූත්‍රය
354. ... වත් දෙයි. ... පැමිණේ.
8. 1. 14.
යානදායක අණ්ඩජ සූත්‍රය
355. ... වහන් දෙයි. ... පැමිණේ.
8. 1. 15.
මාලදායක අණ්ඩජ සූත්‍රය
356. ... මල් දෙයි. ... පැමිණේ.
8. 1. 16.
ගන්‍ධදායක අණ්ඩජ සූත්‍රය
357. ... ගඳ දෙයි. ... පැමිණේ.
8. 1. 17.
විලේපන දායක අණ්ඩජ සූත්‍රය
358. ... විලවුන් දෙයි. ... පැමිණේ.
8. 1. 18.