මහණෙනි, ඇසෙහි යම් ඡන්‍දරාගයෙක් (දුර්‍වල රාගය හා බලවත් රාගයෙක්) වේ නම් මෙය සිතෙහි කෙලෙසීමෙකි. කනෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … නැහැයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... දිවෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … කයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම්… සිතෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් මේ සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නවලොවුතුරු දහමට නැමුණේ ද වේ. නව ලොවුතුරු දහමින් වඩනා ලද ශමථවිදර්‍ශනා සිත පස්විකුම් නුවණින් දැන පසක් කළ යුතු දහමුන් විෂයෙහි ක්‍රියාවට සුදුසු ය යි වැටහේ.
6. 1. 2.
රූප සූත්‍රය
323. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිත්හි කෙලෙසීමෙකි. ශබ්දයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … ගන්‍ධයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... රසයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම්… ස්ප්‍රෂ්ටව්‍යයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධර්‍මයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නව ලොවුතුරු දහමට නැමුණේ ද වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහමුන් විෂයෙහි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 3.
විඤ්ඤාණ සූත්‍රය
324. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ඝානවිඤ්ඤාණ යෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … ජිව්හාවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නවලොවුතුරු දහමට නැමුණේ ද වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කරණී ය යි වැටහේ.
6. 1. 4.
ඵස්ස සූත්‍රය
325. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම්… ඝානසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මාර්‍හයයි හැඟේ.
6. 1. 5.
වේදනා සූත්‍රය
326. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ඝානසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සජ වේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මණ්‍යය යි හැඟේ.
6. 1. 6.
සඤ්ඤා සූත්‍රය
327. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බ සඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 7.
චේතනා සූත්‍රය
328. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධ සඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසසඤ්චෙතනායෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මසඤ්චෙතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ යි.
6. 1. 8.
තණ්හා සූත්‍රය
329. සැවැත්නුවර:
මහණෙනි, රූපතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් සිතෙහි කෙලෙසීමෙකි. සද්දතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
6. 1. 9.
ධාතු සූත්‍රය
330. සැවැත්නුවර:
මහණෙනි, පඨවීධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. ආපෝධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … තේජෝධාතුයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … වායෝධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ආකාශ ධාතුයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... විඤ්ඤාණධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත ද නවලොවුතුරු දහමට නැමුණේ වේ. නවලොවුතුරුදහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මක්‍ෂම යයි වැටහේ.
6. 1. 10.
ඛන්‍ධ සූත්‍රය
331. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. වේදනායෙහි යම් දැඩිරාගයෙක් වේ නම් … සංඥායෙහි යම් දැඩිරාගයෙක් වේ නම් ... සංස්කාරයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් … විඥානයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
මහණෙනි, යම් කලෙක මේ පස්තන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත ද නවලොවුතුරුදහමට නැමුණේ වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මක්‍ෂම ය යි වැටහේ.
පළමුවැනි කිලේස වර්‍ග යි.
එහි සූත්‍ර නාමා වලිය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා යන ඒ සූත්‍ර ධාතු ඛන්‍ධ සූත්‍ර දෙකින් දශයෙක් වේ.
කිලේස සංයුත්තය නිමියේ යි.
7. සාරිපුත්ත සංයුත්තය
1. සාරිපුත්ත වර්‍ගය
7. 1. 1.
විවේකජ සූත්‍රය
332. සැවැත්නුවර:
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹියහ. අන්‍ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඇවැත්නි, මෙහි මම කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට එළැඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම ප්‍රථමධ්‍යානයට සමවදිමි යි හෝ මම ප්‍රථම ධ්‍යානයට සමවන්මි යි හෝ මම ප්‍රථමධ්‍යානයෙන් නැගී සිටියෙමි”යි හෝ මෙබඳු සිතෙක් නොවේ.
එ එසේ මැ යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාර මමිඞ්කාර මානානුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම ප්‍රථම ධ්‍යානයට සමවදිමි යි හෝ මම ප්‍රථමධ්‍යානයට සමවන්මි යි හෝ මම ප්‍රථමධ්‍යානයෙන් නැගී සිටියෙමි” යි හෝ මේ බඳු සිතෙක් නො වේ.
7. 1. 2.
අවිතක්ක සූත්‍රය
333. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඇවැත්නි, මෙහි මම විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි.
ඇවැත්නි, ඒ මට “මම ද්විතීයධ්‍යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්‍යානයට සමවන්මි”යි හෝ “මම ද්විතීයධ්‍යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි.
එ එසේ මැ යි, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාර මමිඞ්කාරමානනුසයයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: “මම ද්විතීයධ්‍යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්‍යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වේ.
7. 1. 3.
පීති සූත්‍රය
334. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුබවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ යි.
ඇවැත්නි, මෙහි මම ප්‍රීතියෙහි ද නො ඇල්මෙන් උපේක්‍ෂා ඇත්තෙම් ද වෙසෙමි. සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද කයින් සුවත් විඳිමි. ආර්‍ය්‍යයෝ “උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුවවිහරණ ඇත්තේ”යයි ඒ යමකට කියත් නම් ඒ තෘතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙම් වෙමි”යි හෝ යි.
7. 1. 4.
උපෙක්ඛා සූත්‍රය
335. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ”යි.
ඇවැත්නි, මෙහි මම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් කැල ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති නො දුක් නොසුව වූ චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙමි. ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 5.
ආකාසානඤ්චායතන සූත්‍රය
336. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... “වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම රූපසංඥාවන් සර්‍වප්‍රකාරයෙන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්ම සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
337. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ. ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ” යි.
7. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
338. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ... ඇවැත්නි, මෙහි මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 8.
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය
339. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ...
ඇවැත්නි, මෙහි මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ... නැගී සිටියෙමි යි හෝ යි.
7. 1. 9.
නිරෝධ සමාපත්ති සූත්‍රය
340. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹියහ. අන්‍ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දීම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඇවැත්නි, මෙහි මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදිමි යි හෝ, මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්මි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නොවේ”.
‘එ එසේ මැ’යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාරමමිඞ්කාරමානනුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්මි යි හෝ, මම සඤ්ඤාවේදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නො වේ.