Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 701-800 න් 15083

භීත සූත්‍රය.
[දෙවි:]
75. මහාප්‍රාඥ වූ ගෞතමයන් වහන්ස, මුඹවහන්සේ විචාරමි. මාර්‍ගය ද (අටතිස් අරමුණු විසින්) නොයෙක් කරුණු ඇත්තක් කොට ප්‍රකාශ කරණ ලද්දේ ය. මේ ලෝකයෙහි නොයෙක් ජන සමූහයෝ කුමට බිය වූවාහු ද? කිමෙක සිටියේ පරලොවට බිය නොවන්නේ ද?
[භගවත්හු:]
වචනය ද සිත ද මනා කොට පිහිටුවා, කයින් පව් නොකරණ, බොහෝ ආහාරපාන ඇති ගෙහි වසන, ශ්‍රද්ධාවත්, මෘදුගුණ ඇති, බෙදා දී වළඳන සුලු, දන්කලු, සිවු දහම්හි සිටි පුද්ගල තෙමේ දහම්හි සිටියේ පරලොවට බිය නො වන්නේ ය.
1. 8. 6.
නජීරතී සූත්‍රය
[දෙවි:]
76. කිමෙක් දිරා ද? කිමෙක් නො දිරා ද? කිමෙක් නොමග ය යි කියනු ලැබේ ද? දහමුන්ට උවදුරු කිමෙක් ද? කිමෙක් රෑදෙවෙහි ගෙවේ ද? බඹසරට කිලුට කිමෙක් ද? දියරහිත නෑම කිමෙක්ද?
යම් තැනක සිත නො සිටී නම් ලොව (එබඳු) සිදුරු කෙතෙක් ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි ඒ කෙසේ දනිමු ද?
[භගවත්හු:]
සත්ත්‍වයන්ගේ රූපය දිරයි. නාමගෝත්‍රය නො දිරයි. රාගය නොමග ය යි කියනු ලැබේ. ලෝභය දහමුන්ට උවදුරු ය. වයස රෑදෙවෙහි ගෙවේ. ස්ත්‍රිය බඹසරට කිලුට ය. මේ සත්ත්‍වසමූහයා මෙහි ඇලේ, තපස ද බඹසර ද (යන) එය දිය රහිත නමැයි.
යම් තැනෙක සිත නො සිටී නම් ලොව එබඳු සිදුරු සයෙකි. අලසබව ද පමාව ද නැගී නො සිටීම ද අසංවරය ද නින්ද ද තෙමරිය ද ඒ සිදුරු යි. එය සර්‍වප්‍රකාරයෙන් දුරු කරන්නේ ය.
1. 8. 7.
ඉස්සර සූත්‍රය.
[දෙවි:]
77. ලොව අධිපති බව කිමෙක් ද? බඩු අතුරෙන් කිමෙක් උතුම් ද? ලොව මලබැඳි සැත කිමෙක් ද? ලොව උවදුරු කිමෙක් ද?
හැර ගෙණ යන කවරකු වළකත් ද? හැර ගෙණ යන කවරෙක් ප්‍රිය වේ ද? පුනපුනා එන කවරකු පණ්ඩිතයෝ පිළිගණිද් ද?
[භගවත්හු:]
ලොව වශය (අණ පැවැත්වීම) අධිපති බව යි. බඩු අතුරෙන් ස්ත්‍රිය උතුම් ය. ලොව ක්‍රෝධය මලබැඳි සැතයි. සොරු ලොව උවදුරුහ.
හැර ගෙණ යන සොරහු වළකත්. හැර ගෙණ යන මහණ තෙමේ ප්‍රිය වේ. පුනපුනා එන මහණහු පණ්ඩිතයෝ පිළිගණිත්.
1. 8. 8.
කාම සූත්‍රය.
[දෙවි:]
78. වැඩ කැමති සත්ත්‍ව තෙමේ කුමක් නො දෙන්නේ ද? කුමක් නො හරනේ ද? යහපත් වූ කුමක් මුදන්නේ ද? ලාමක වූ කුමක් නො මුදන්නේ ද?
[භගවත්හු:]
සත්ත්‍ව තෙමේ තමා නො දෙන්නේ ය. තමා නො හරනේ ය. යහපත් වචන මුදන්නේ ය. ලාමක වචන නො මුදන්නේ ය යි.
1. 8. 9.
පාථෙය්‍ය සූත්‍රය.
[දෙවි:]
79. කිමෙක මගඋවරණ බඳී ද? කිමෙක භෝගයන්ට පිහිට වේ ද? කිමෙක් මිනිසා අදනේ ද? ලොව කිමෙක දුර ලීමට දුෂ්කර ද? මළපුඩුවෙන් බැඳුනු ලිහිණියක මෙන් බොහෝ සත්ත්‍වයෝ කිමෙක බැඳුනාහු ද?
[භගවත්හු:]
ශ්‍රද්ධාව මගඋවරණ බඳී. ඓශ්වර්‍ය්‍යය භෝගයන්ට ප්‍රතිෂ්ඨාස්ථාන ය යි. තෘෂ්ණාව සත්ත්‍වයා අදනේ ය. ලොව තෘෂ්ණාව දුරලීමට දුෂ්කර ය. මළපුඩුවෙන් බැඳුනු ලිහිණියක මෙන් බොහෝ සත්ත්‍වයෝ තෘෂ්ණායෙන් බැඳුනෝ ය.
1. 8. 10.
පජ්ජෝත සූත්‍රය.
[දෙවි:]
80. ලොව පහන කිමෙක් ද? ලොව නිදිවරන්නා කවරෙක් ද? සමග ජීවත්වන්නවුන්ට කවරෙක් කර්‍මාන්තයෙහි (සහාය) වේ ද? කිමෙක් ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) වේ ද?
කිමෙක් අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ද? පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් (ඒ) සත්ත්‍වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද් ද?
[භගවත්හු:]
නුවණ ලොව පහන ය. සිහිය ලොව නිදිවරන්නා ය. එක්ව ජීවත් වන්නවුන්ට කර්‍මාන්තයෙහි ගෙරිහු (සහාය) වෙති. හීවට ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) යි.
වැස්ස අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ය, පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් ඒ සත්ත්‍වයෝ වැස්ස නිසා ජීවත් වෙත්.
1. 8. 11.
අරණ සූත්‍රය.
[දෙවි:]
81. මේ ලෙව්හි කවුරු කෙලෙස් නැත්තෝ ද? කවුරුන්ගේ විසීම නො නැසේ ද? මෙහි කවුරු තෘෂ්ණාව පිරිසිඳ දනිද් ද? කවුරුන්ට හැමකල්හි නිදහස්බව වේ ද?
(ශීලයෙහි) පිහිටි ඒ කවරකුට මවත් පියාත් බෑයාත් වැඳිද් ද? මෙලොව්හි පහත් ජාති ඇති කවරකුට ක්‍ෂත්‍රියයෝ වැඳිද් ද?
[භගවත්හු:]
මෙලොව්හි ශ්‍රමණයෝ කෙලෙස් නැත්තෝ ය. ශ්‍රමණයන්ගේ විසීම නො නැසේ. ශ්‍රමණයෝ තෘෂ්ණාව පිරිසිඳ දනිත්. ශ්‍රමණයන්ට හැමකල්හි නිදහස් බව වේ.
ශීලයෙහි පිහිටි ඒ ශ්‍රමණයාට මවත් පියාත් බෑයාත් වඳිත්. මෙහි පහත් ජාති ඇති ශ්‍රමණයාට ක්‍ෂත්‍රියයෝ වඳිත්.
ඣත්‍වා වර්‍ගය අට වැනියී.
එහි උද්දානය:
ඣත්‍වා, රථ, චිත්ත, වුට්ඪි, භීත, නජීරති, ඉස්සර, කාම, පාථෙය්‍ය, පජේජාත, අරණ ය යි සූත්‍ර එකොළොසෙකි.
දේවතා සංයුත්තය නිමියේ ය.
2. දේවපුත්ත සංයුත්තය
1. සුරිය වර්‍ගය
2. 1. 1.
පඨමකස්සප සූත්‍රය
82. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති කසුප් දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.
එකත් පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “භාග්‍යවතුන් වහන්සේ මහණහු පැවසූ සේක. මහණහට අනුශාසනාව නො ද (පැවසූ සේක) යි.”
[භගවත්හු:]
කාශ්‍යපය, එසේ වී නම් මෙහි ලා තොපට ම වැටහේවා.
“වාක්සුචරිතය වඩන්නේ ය. ශ්‍රමණයන් විසින් එළඹිය යුතු අටතිස් අරමුණු ද කායවිවේකය ද (අෂ්ටසමාපත්ති වශයෙන්) සිත සංහිඳුවීම ද එකලාව වඩන්නේ” යි.
කසුප් දෙව්පුත් තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ සමාන අදහස් ඇති වූ සේක.
ඉක්බිති කසුප් දෙව්පුත් තෙමේ ශාස්තෲන්වහන්සේ මාගේ (වචන) අනුමත කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
2. 1. 2.
දුතියකස්සප සූත්‍රය
83. සැවැත්නුවර–
එකත්පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මහණ තෙමේ ඉදින් හෘදයානුප්‍රාප්තිසඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමතිවන්නේ නම් ලොව පිළිබඳ උදයව්‍යය දැන ධ්‍යාන වඩන්නෙක් මිදුනු සිත් ඇත්තෙක් (එහෙයින් ම) මනා සිත් ඇත්තෙක් (තෘෂ්ණාදෘෂ්ටින්) අනිඃශ්‍රිතයෙක් ඒ අර්‍හත්ත්‍වය අනුසස් කොට ඇත්තෙක් වන්න්නේ යි.
2. 1. 3.
මාඝ සූත්‍රය
84. සැවැත්නුවර–
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති මාඝ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි මාඝදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කුමක් නසා සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක් දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?
[භගවත්හු:]
ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරේ. ශක්‍රය, විෂ වූ මුල ඇති මිහිරි වූ අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නසා ම ශෝක නො කෙරේ.
2. 1. 4.
මාගධ සූත්‍රය
85. සැවැත්නුවර–
එකත්පසෙක සිටි මාගධ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
යමෙකින් ලොව බබාලා නම් එබඳු එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක නැත. දවල් හිරු බබලයි. සඳු රෑ බබලයි.
තව ද ගින්න රෑදෙවෙහි ඒ ඒ තැන බබලයි. සර්‍වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර ය.
2. 1. 5.
දාමලි සූත්‍රය
86. සැවැත්නුවර–
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති දාමලි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි දාමලිදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කී ය:
නොමැලි වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයා විසින් මේ වීර්‍ය්‍යය කටයුතු ය. වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳ ඒ විශේෂ ප්‍රහාණිය හේතු කොට ගෙණ කිසි භවයක් නො පතයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. දාමලි දේවපුත්‍රය, (බාහිත පාපී) බ්‍රාහ්මණයාට කිසෙක් නැත. ඒ බමුණු තෙමේ කළ කිස ඇත්තේ ම ය. සත්ත්‍ව තෙමේ ගඞ්ගාවන්හි යම්තාක් පිහිටක් නො ලබා ද? (ඒතාක්) සියලු අවයවවලින් වෑයම් කෙරෙයි. හෙ තෙමේ පිහිටක් ලැබ ගොඩ සිටියේ යම් හෙයකින් පරතෙරට ගියේ ද, (එහෙයින්) හෙ තෙමේ වෑයම් නො කෙරෙයි.
දාමලි, ධ්‍යාන කරණසුලු ප්‍රඥා ඇති ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාට මේ උපමායෙකි. හෙ තෙමේ ජාතිමරණ දෙක්හි කෙළවරට පැමිණ පරතෙරට ගියේ ම වෑයම් නො කෙරෙයි.
2. 1. 6.
කාමද සූත්‍රය
87. සැවැත්නුවර–
එකත්පසෙක සිටි කාමද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්‍යවතුන් වහන්ස, (මහණදම් පිරීම) දුෂ්කර ය. භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. කාමද, ශීලයෙන් යුත් ස්ථිරස්වභාව ඇති ශෛක්‍ෂයෝ දුෂ්කර වූත් (මහණකම) කෙරෙත්. ගිහිගෙන් වෙන්බවට පැමිණියහුට සුව එළවන සතුට වේ.
භාග්‍යවතුන් වහන්ස, යම් ඒ සතුටෙක් වේ ද, (එය) දුලබ ය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) යම් කෙනෙකුන්ගේ සිත දහවලුත් රෑත් භාවනායෙහි අලුනේ ද, සිත සංහිඳුවීමෙහි ඇලුනු (ඔහු) දුලබ වූත් සතුට ලබත්.
භාග්‍යවතුන් වහන්ස, යම් ඒ සිතෙක් වේ ද, එය එකඟ කිරීම දුෂ්කර ය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) ඉඳුරන් දමනය කිරීමෙහි ඇලුනෝ එකඟ කිරීම දුෂ්කර වූත් සිත එකඟ කෙරෙත්. කාමදය, ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ දැල සිඳ ගෙන යෙත්.