Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 7201-7300 න් 15083

රාධය, කිමෙක් වැය වනසුලු වේ ද යත්:
රාධය, රූපය වැය වනසුලු යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය වැය වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමක් වැය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 11.
සමුදයධම්ම සූත්‍රය
192. සැවැත්නුවර:
එකත් පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් කරා යොමු කළ සිතැති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමක් හටගන්නාසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ ඡන්‍දරාගය පහකටයුතු යි.
රාධය, කිමෙක් හටගන්නාසුලු වේ ද යත්: රාධය, රූපය හටගන්නාසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය හටගන්නාසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් හටගන්නාසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 12.
නිරෝධධම්ම සූත්‍රය
193. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් කරා යොමුකළ සිත් ඇති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්, නම් මැනවැ”යි.
රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධ, කිමෙක් නිරුද්ධ වනසුලු ද යත්: රාධය, රූපය නිරුද්ධ වනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිරුද්ධ වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
තෙවෙනි ආයාචනා වර්‍ග යි
එහි උද්දානය:
මාර-මාරධම්ම, අනිච්ච-අනිච්චධම්ම, දුක්ඛ-දුක්ඛධම්ම, අනත්ත-අනත්තධම්ම, ඛයධම්ම, වයධම්ම, සමුදය ධම්ම හා නිරෝධධම්ම යි සූත්‍ර දොළොසෙකි.
4. උපනිසින්න වර්‍ගය
2. 4. 1.
මාර සූත්‍රය
194. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, “යමෙක් මාර නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතුයැ. රාගය පහකට යුතුයැ, ඡන්‍දරාගය පහකට යුතුයි.
රාධය, කිමෙක් මරු ද යත්: රාධය, රූපය මාර යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. රාගය පහකටයුතු ය. ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව …සංඥාව … සංස්කාර … විඥානය මාර යැ. එහිලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමෙක් මාර නම් එහිලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු ය”යි.
2. 4. 2.
මාරධම්ම සූත්‍රය
195. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, යමෙක් මාරධම්ම (මරණ ස්වභාව) නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය, පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
රාධ කිමෙක් මරණ ස්වභාව ද යත්: රාධය, රූපය මැරෙන සුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මැරෙනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. රාධය යමෙක් මැරෙනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
අනිච්ච සූත්‍රය
196. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, යමෙක් අනිත්‍ය නම් එහි … ඡන්‍දරාගය පහකට යුත්තේ යි.
2. 4. 4.
අනිච්චධම්ම සූත්‍රය
197. සැවැත්නුවර:
රාධය යමෙක් අනිත්‍යධර්‍ම නම් එහි ... ඡන්‍දරාගය ප්‍රහාණ කටයුත්තේ යි.
2. 4. 5.
දුක්ඛ සූත්‍රය
198. සැවැත්නුවර:
රාධය යමෙක් දුක් නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 4. 6.
දුක්ඛධම්ම සූත්‍රය
199. සැවැත්නුවර:
රාධය යමෙක් දුක්ඛධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
අනන්ත සූත්‍රය
200. සැවැත්නුවර:
රාධය යමෙක් අනාත්ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
අනත්තධම්ම සූත්‍රය
201. සැවැත්නුවර:
රාධය, යමෙක් අනාත්මධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
ඛයධම්ම සූත්‍රය
202. සැවැත්නුවර:
රාධය, යමෙක් ක්‍ෂයධර්‍ම නම් එහි ... ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 4. 10.
වයධම්ම සූත්‍රය
203. සැවැත්නුවර:
රාධය, යමෙක් ව්‍යයධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 4. 11.
සමුදයධම්ම සූත්‍රය
204. සැවැත්නුවර:
රාධය, යමෙක් සමුදයධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 4. 12.
නිරෝධධම්ම සූත්‍රය
205. සැවැත්නුවර:
රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
රාධය, කිමෙක් නිරුද්ධ වනසුලු ද යත්: රාධය, රූපය නිරුද්ධ වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිරුද්ධ වනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. රාධය යමක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ රාගය පහකට යුතු යැ ඡන්‍දරාගය පහකට යුතු ය යි.
සිව්වැනි උපනිසින්න වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
මාර සූත්‍රය ද, මාරධම්ම සූත්‍රය ද, අනිච්ච, අනිච්චධම්ම ය යි අනෙක් සූත්‍ර දෙකෙක් ද, දුක්ඛ, දුක්ඛධම්ම ය යි සූත්‍ර දෙකෙක් ද වදාරන ලදහ. එසේ ම අනත්ත, අනත්තධම්මය යි සූත්‍ර දෙකෙකි. ඛයධම්ම, වයධම්ම, සමුදය ධම්ම සූත්‍රයෝ ද වෙත්. (මෙසේ) නිරෝධධම්ම සූත්‍රයෙන් සූත්‍ර දොළසක් වේ.
(මෙසේ මාර සූත්‍ර විස්තර කටයුතු යි. මෙසේ නිරෝධධම්ම සූත්‍රයෙන් සතිස් සූත්‍ර කෙනෙක් විස්තර කටයුත්තාහ. මෙසේ රාධ සංයුත්තය පිඬු කළ කල්හි සුඅනු සූත්‍ර කෙනෙක් වෙත්.)
රාධසංයුත්තය නිමි.
3. දිට්ඨි සංයුත්තය
1. සෝතාපත්ති වර්‍ගය
3. 1. 1.
වාත සූත්‍රය
206. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද: “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු උදා නො වෙති නො ද බැසයෙති (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු” දැයි?
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නොබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදා වෙති, නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වෙ යි ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට “වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති, නො ද පහ ව යෙත්, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියෙක් උපදී ද?
වහන්ස, තෙල නො වේ මැ යි.
මේ යමෙකුත් දක්නා ලද්දේ, අසන ලද්දේ, සුඹුනා රසවිඳිනා පහස්නා ලද්දේ, දන්නා ලද්දේ, පැමිණෙන ලද්දේ, සොයන ලද්දේ, සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති, නො ද පහවයෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටියාහු යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි,යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකහට මේ (දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්තපරියේසිත අනුවිචරිත යන) සතැන්හි සැක ප්‍රහීණ වූයේ වේ නම් දුක්ඛයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක්ඛසමුදයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධගාමිනී පටිපදායෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ය යි කියනු ලැබේ යි.