60. ගාථාවන්ට කිමෙක් මූලකාරණය වේ ද? කිමෙක් ඔවුන්ගේ අරුත් පවසා ද? ගාථාවෝ කුමක් ඇසුරු කොට පවතිද්? ද කවරෙක් ගාථාවන්ට පිහිට වේ ද?
[භගවත්හු:]
ඡන්‍දය ගාථාවන්ට නිදාන වේ. අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. ගාථාවෝ සංඥාවන් ඇසුරු කොට පවතිත්. කවි තෙමේ ගාථාවන්ට පිහිට වේ.
ජරා වර්‍ගය සවැනියි.
එහි උද්දානය:
ජරා, අජරසා, මිත්ත, වත්‍ථු සූත්‍රය, ජනෙති සූත්‍ර තුනය, උප්පථ සූත්‍රය, දුතියාසූත්‍රය, කවි සූත්‍රය යන මෙයින් වර්‍ගය පිරුණේ වේ.
7. අන්‍ව වර්‍ගය
1. 7. 1.
නාම [අන්‍වභවි] සූත්‍රය.
61. සැවැත් නුවර –
[දෙවි:]
කිමෙක් සියල්ල යටපත් කොට සිටියේ ද? කිමෙකින් වැඩියෙක්නැද්ද? සියල්ලෝ ම කිනම් එකදහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවත්හු:]
නාමය සියල්ල යටපත් කොට සිටියේ ය. නාමයෙන් වැඩියෙක් නැත. සියල්ලෝ ම නාමසඞ්ඛාත එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 2.
චිත්ත සූත්‍රය
[දෙවි:]
62. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවත්හු:]
සිතින් ලොව පමුණුවනු ලැබේ. සිතින් අදනා ලැබේ. සියල්ලෝ ම සිත් නමැති මේ එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 3.
තණ්හා සූත්‍රය
[දෙවි:]
63. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවත්හු:]
ලොව තෘෂ්ණායෙන් පමුණුවනු ලැබේ. තෘෂ්ණායෙන් අදනා ලැබේ. සියල්ලෝ ම තෘෂ්ණා නමැති මේ එක් දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 4.
සංයෝජන සූත්‍රය
[දෙවි:]
64. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් නිවණ යයි කියනු ලැබේ ද?
[භගවත්හු:]
ලොව රාගය බැඳුම් කොට ඇත්තේ ය. එහි පාද විතර්‍කයෝ යි. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් නිවණ ය යි කියනු ලැබේ.
1. 7. 5.
බන්‍ධන සූත්‍රය
[දෙවි:]
65. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
[භගවත්හු:]
ලොව රාගය බැඳුම් කොට ඇත්තේ ය. එහි පාද විතර්‍කයෝ යි. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
1. 7. 6.
අබ්හාහත සූත්‍රය
[දෙවි:]
66. ලොව කිමෙකින් ලුහුබඳනා ලද ද? කිමෙකින් පිරිවරණ ලද ද? කුමන හුලෙකින් බැස ගන්නා ලද ද? කිමෙකින් හැමකල්හි දුමන ලද ද?
[භගවත්හු:]
ලොව මරහු විසින් ලුහුබඳනා ලදී. ජරායෙන් පිරිවරණ ලදී. තෘෂ්ණාහුලෙන් බැස ගන්න ලදී. තෘෂ්ණායෙන් හැමකල්හි දුමන ලදී.
1. 7. 7.
උඩ්ඩිත සූත්‍රය.
[දෙවි:]
67. ලොව කිමෙකින් නඟන ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද? කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද?
[භගවත්හු:]
ලොව තෘෂ්ණායෙන් නඟන ලද්දේ ය. ජරායෙන් පිරිවරණ ලද්දේ ය. ලොව මරහු විසින් වසන ලද්දේ ය. ලොව දුකෙහි පිහිටියේ ය.
1. 7. 8.
පිහිත සූත්‍රය.
[දෙවි:]
68. ලොව කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද? ලොව කිමෙකින් එල්බුම් ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද?
[භගවත්හු:]
ලොව මරහු විසින් වසන ලද්දේ ය. ලොව දුකෙහි පිහිටියේ ය. ලොව තෘෂ්ණායෙන් එල්බුම් ලද්දේ ය. ජරායෙන් පිරිවරණ ලදේදේ ය.
1. 7. 9.
ඉච්ඡා සූත්‍රය
[දෙවි:]
69. ලොව කිමෙකින් බැඳේ ද? කුමක් දුරු කිරීමෙන් මිදේ ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
[භගවත්හු:]
ලොව තෘෂ්ණායෙන් බැඳේ. තෘෂ්ණාව දුර ලීමෙන් මිදේ. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
1. 7. 10.
ලෝක සූත්‍රය
[දෙවි:]
70. කුමක් හටගත් කල්හි ලොව හටගත්තේ වේ ද? කිමෙක සන්‍ථවය කෙරේ ද? ලොව කුමක් නිසා කිමෙක පෙළේ ද?
[භගවත්හු:]
ෂඩායතන හටගත් කල්හි ලොව හටගත්තේ වේ. ෂඩායතනයෙහි සන්‍ථවය කෙරේ. ෂඩායතන ම නිසා ෂඩායතනයෙහි ලොව පෙළේ.
අන්‍ව වර්‍ගය සත්වැනියි.
එහි උද්දානය:
නාම, චිත්ත, තණ්හා, සංයෝජන, බන්‍ධන, අබ්භාහත, උඩ්ඩිත, පිහිත, ඉච්ඡා, ලෝක ය යි ඒ සූත්‍ර දශයෙකි
8. ඣත්‍වා වර්‍ගය
1. 8. 1.
ඣත්‍වා සූත්‍රය
71. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
කුමක් නසා සුව සේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක්දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?
[භගවත්හු:]
ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරේ. දෙවිය, විෂ වූ මුල ඇති මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නසා ම ශෝක නො කෙරේ.
1. 8. 2.
රථ සූත්‍රය.
[දෙවි:]
72. රියට සලකුණ කිමෙක් ද? ගින්නට සලකුණ කිමෙක් ද? රටට සලකුණ කිමෙක් ද? ස්ත්‍රියට සලකුණ කිමෙක් ද?
[භගවත්හු:]
ධ්වජය රියට සලකුණ යි. දුම ගින්නට සලකුණ යි. රජ රටට සලකුණ යි. සැමියා ස්ත්‍රියට සලකුණ යි.
1. 8. 3.
විත්ත සූත්‍රය.
[දෙවි:]
73. මෙලොව සත්ත්‍වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කුමක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද? රසයන් අතුරෙන් කිමෙක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත් වන්නහු ශ්‍රේෂ්ඨ ජීවිත ඇතියහ යි කියද් ද?
[භගවත්හු:]
මෙලොව සත්ත්‍වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරිය. නුවණින් ජීවත් වන්නහු ශ්‍රේෂ්ඨ ජීවිත ඇතිහය යි කියත්.
1. 8. 4.
වුට්ඨි සූත්‍රය.
[දෙවි:]
74. නැඟගනුවන් අතුරෙන් කිමෙක් ශ්‍රේෂ්ඨ ද? හෙනුවන් අතුරෙන් කිමෙක් උතුම් ද? පයින් ගමන් කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? කථා කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? යි
[අනෙක් දෙවියෙක්:]
නැඟගනුවන් අතුරෙන් බිජුවට ශ්‍රේෂ්ඨ යි. හෙනුවන් අතුරෙන් වැස්ස උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් ගවයෝ උතුම්හ. කථා කරන්නවුන් අතුරෙන් පුත්‍රයා උතුම්ය යි.
[භගවත්හු:]
නැඟගනුවන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ ය. හෙනුවන් අතුරෙන් අවිද්‍යාව උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් සඞ්ඝයා උතුම් ය. කථා කරන්නවුන් අතුරෙන් බුදුරජ උතුම් ය යි.
1. 8. 5.