වේදනාව නො දනියි … සංඥාව ... සංස්කාර ... විඥානය නො දනියි, විඥානසමුදය නො දනියි. විඥානනිරෝධය නො දනියි, විඥානනිරෝධගාමිනී පටිපදාව නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිද්‍යාගතත් වේ ය”යි.
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබෙයි. ඇවැත්නි, විද්‍යා නම් කුමක්ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය දනියි, රූපසමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනී. වේදනාව … සංඥාව ... සංස්කාර ... විඥානය දනියි, විඥානසමුදය දනියි. විඥානනිරෝධය දනියි. විඥානනිරෝධගාමිනී පටිපදාව දනී. ඇවැත්නි, මේ විද්‍යා යි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගතත් වේ යයි.
තෙවැනි අවිද්‍යා වර්‍ග යි
එහි උද්දානය:
සමුදය ධම්ම සූත්‍ර තුන යැ, අනෙක් අස්සාද සූත්‍ර දෙක යැ, සමුදය සූත්‍ර දෙක යැ අනෙක් කොට්ඨිත සූත්‍ර තුන යයි සූත්‍ර දසයෙකි.
4. කුක්කුළ වර්‍ගය
1. 3. 4. 1.
කුක්කුළ සූත්‍රය
136. සැවැත්නුවර:
මහණෙනි රූපය ඇවිළගත් උණු අළු රැසක් වැන්න. වේදනාව ඇවිළගත් උණු අළු රැසක් වැන්න. සඥාව ඇවිළගත් උණු අළු රැසක් වැන්න. සංස්කාරයෝ ඇවිළගත් උණු අළු රැසක් වැන්න. විඥානය ඇවිළගත් උණු අළු රැසක් වැන්න. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 4. 2.
පඨම අනිච්ච සූත්‍රය
137. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනිත්‍ය ද එහි ලා තොප විසින් ඡන්‍දය (දුබලරාගය) පහකළ යුත්තේ යැ. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:
මහණෙනි, රූපය අනිත්‍ය යැ. එහිලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යැ. වේදනාව අනිත්‍ය යැ ... සංඥාව අනිත්‍ය යැ ... සංස්කාරයෝ අනිත්‍යයහ ... විඥානය අනිත්‍ය යැ, එහිලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ ය. මහණෙනි, යමෙක් අනිත්‍ය ද එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යි.
1. 3. 4. 3.
දුතිය අනිච්ච සූත්‍රය
138. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් රාගය (බලවත් රාගය) පහකළ යුත්තේ යැ. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:
මහණෙනි, රූපය අනිත්‍ය යැ. එහිලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ. එහිලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමක් අනිත්‍ය ද එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 4.
තතිය අනිච්ච සූත්‍රය
139. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:
මහණෙනි, රූපය අනිත්‍ය යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 5.
පඨම දුක්ඛ සූත්‍රය
140. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යි.
1. 3. 4. 6.
දුතිය දුක්ඛ සූත්‍රය
141. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය දුක් ය. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යි.
1. 3. 4. 7.
තතිය දුක්ඛ සූත්‍රය
142. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 8.
පඨම අනත්ත සූත්‍රය
143. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ, එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළ යුත්තේ යැ. වේදනාව අනාත්ම යැ ... සංඥාව අනාත්ම යැ ... සංස්කාර අනාත්ම යැ ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළ යුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යි.
1. 3. 4. 9.
දුතිය අනත්ත සූත්‍රය
144. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළ යුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 10.
තතිය අනත්ත සූත්‍රය
145. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව අනාත්මයැ ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහිලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 11.
නිබ්බිදාබහුල සූත්‍රය
146. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයකින් රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම්, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
හෙතෙම රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාර පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනියි. හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාර පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි, (සියලු) දුකින් මිදේ ය”යි කියමි යි.
1. 3. 4. 12.
අනිච්චානුපස්සනා සූත්‍රය
147. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
හේ රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දනී. හෙ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.
1. 3. 4. 13.
දුක්ඛානුපස්සී සූත්‍රය
148. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුතුහට මේ අනුදහම වෙයි.
හෙතෙම රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව පිරිසිඳ දනියි. සංඥාව පිරිසිඳ දනියි. සංස්කාරයන් පිරිසිඳ දනියි. විඥානය පිරිසිඳ දනී.
හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකෙන් මිදේ ය යි කියමි යි.
1. 3. 4. 14.
අනත්තානුපස්සනා සූත්‍රය
149. සැවැත්නුවර:
මහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනාත්මය අනු ව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි:
“හේ රූපයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාරයන් පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනී. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.
සිවුවැනි කුක්කුළ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
කුක්කුළ සූත්‍රය, අනිච්චසූත්‍ර තුන ය, අනෙක් දුක්ඛසූත්‍ර තුන ය, අනත්තසූත්‍ර තුන ය. කුලපුත්තසූත්‍ර දුක දෙක යයි සූත්‍ර තුදුසෙකි.
5. දිට්ඨි වර්‍ගය
1. 3. 5. 1.
අජ්ඣත්ත සූත්‍රය
150. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා තමා තුළ සුවදුක් උපදනේ ද?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා තමා තුළ සුවදුක් උපදියි, වේදනාව ඇති කල්හි වේදනාව නිසා තමා තුළ සුවදුක් උපදියි, සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා තමා තුළ සුවදුක් උපදියි, විඥානය ඇති කල්හි විඥානය නිසා තමා තුළ සුවදුක් උපදී, මහණෙනි එ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නොකොට තමා තුළ සුවදුක් උපදනේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ..විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට තමා තුළ සුවදුක් උපනේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, ... විඥාන යෙහිදු කලකිරෙයි, කලකිරෙනුයේ නො ඇලෙයි ... මේ බව සඳහා කටයුතු අන් කිසෙක් නැතැයි දනියි.
1. 3. 5. 2.
එතං මම සූත්‍රය
151. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දකී දැ”යි?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපය ප්‍රත්‍ය කොට “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය ය”යි දකියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි. තෙල මාගේ ආත්මය ය”යි දකී.
මහණෙනි, “ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේ දැ”යි?