Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 5901-6000 න් 15083

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ. එළැඹ ... එකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය:
“වහන්ස, ... (මම්) නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, මට එබඳු දහමක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවි” යි.
“මහණ, තෘෂ්ණාදි විසින් අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ පාපිමත්හුගේ (මරහුගේ) පාශයෙන් මිදුණේ වෙයි.”
“භාග්‍යවතුන් වහන්ස, දන්නා ලදැ යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ”යි.
“මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ කෙසේ නම් තෙපි විස්තර විසින් දනිවු දැ?”
වහන්ස, රූපය, අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් මම් විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මනා යැ මනා යැ. මහණ, මා විසින් සැකෙවින් දේශිතධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් තෙපි විස්තර ලෙස දනිවු.
මහණ, රූපය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුනේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. මහණ මා විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් විස්තර ලෙස දතයුතු යි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ ... එ මහණ රහතුන් වහන්සේ අතරැ අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 4.
අනිච්ච සූත්‍රය
66. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය.
“වහන්ස, මම් යම් දහමක් භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන්වූයෙම් නො පමාවූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම්, නිවන් කරා යොමු කළ සිත් ඇතියෙම්, වාස කෙරෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් දෙසනසේක් නම් මැනැවි” යි.
මහණ, යමෙක් අනිත්‍ය ද, එහි තොපගේ තෘෂ්ණා ඡන්‍දය දුරලියයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු ද?
වහන්ස, රූපය අනිත්‍ය යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළ යුතු වෙයි. වේදනාව අනිත්‍ය යැ ... සංඥාව අනිත්‍ය යැ, ... සංස්කාර අනිත්‍ය යැ, ... විඥානය අනිත්‍ය යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.
මැනවි මැනවි මහණ. මහණ මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසේ විස්තර වශයෙන් දනිවු, මහණ, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. මහණ මා විසින් සැකෙවින් භාෂිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසේ දතයුත්තේ යි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 5.
දුක්ඛ සූත්‍රය
67. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, මම් ... නිවන් කරා යොමුකළ සිතැති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මැනවි යි.
මහණ, යමක් දුක් ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්‍ත්‍ථ කවර අයුරකින් තෙපි විස්තර වශයෙන් දනිවු දැයි.
වහන්ස, රූපය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වෙයි. වේදනාව දුක් යැ, ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.
මැනවි මැනවි මහණ. මහණ මා විසින් සැකෙවින් කියන ලද වචනයාගේ අර්‍ත්‍ථ තෙපි විස්තර වශයෙන් දනිවු, මහණ, රූපය දුක් යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු ය. වේදනාව දුක් යැ ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ. ... එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. මහණ මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්‍ත්‍ථ විස්තර වශයෙන් මෙසේ දතයුත්තේ යි.
එ කල්හි, ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 6.
අනත්ත සූත්‍රය
68. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ:
වහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මනා යි.
මහණ, යමක් අනාත්ම ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍ද ප්‍රහාණ කළයුතු.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි කිසෙයින් විතර විසින් දනිවු දැ යි?
වහන්ස, රූපය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කළයුතු වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ... සංස්කාර අනාත්ම යි ... විඥානය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි විතර විසින් මෙසේ දනිවු, ඒ මැනවි. මහණ, රූපය අනාත්ම යි, එහි ලා තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු. මහණ, මා විසින් සැකෙවින් පැවසූ වචනයාගේ අරුත් විතර විසින් මෙසේ දතයුත්තේ යි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 7.
අනත්තනිය සූත්‍රය
69. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දේශනා කරන සේක් නම් මනා යි.
මහණ, යමක් තමා අයත් ද, එහි තෘෂ්ණාච්ඡන්‍ද හළයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර වශයෙන් දනිවූ දැ යි?
වහන්ස, රූපය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වේදනාව තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. සංඥාව ... සංස්කාර තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. විඥානය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි, මැනවි. මහණ මා විසින් සැකෙවින් පැවසූ වචනයේ අරුත් මෙසේ තෙපි විතර විසින් දනිවු. මහණ, රූපය තමා සතු නොවෙ යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු ය. වේදනාව තමාසතු නො වෙයි, ... සංඥාව තමා සතු නො වෙයි ... සංස්කාර තමා සතු නො වෙයි ... විඥානය තමා සතු නො වෙයි. එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු. මහණ මා විසින් සැකෙවින් පැවසූ මේ වචනයේ අරුත් මෙසේ විස්තර වශයෙන් දතයුත්තේ යි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් ද වූයේ යි.
1. 2. 2. 8.
රජනීය සූත්‍රය
70. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පස්වැ හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා ව කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට දේශනා කරනසේක් නම් මැනැවැ යි.
මහණ, රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටි යමක් ඇත් ද, එහි තාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු දැ යි?
වහන්ස, රූපය රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියේ ය, එහිලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වෙයි. වේදනාව රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියා යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වෙයි. සංඥාව ... සංස්කාර ... විඥානය රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියේ යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්‍ත්‍ථ තෙපි විස්තර විසින් දනිවු. ඒ මැනවි. මහණ, රූපය රඤ්ජන ද්‍රව්‍යාකාරයෙන් සිටියේ වෙයි. එහිලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළ යුතු යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය රඤ්ජන ද්‍රව්‍යාකාරයෙන් සිටියේ වෙයි, එහිලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ අභිවාදනා කොට නික්මැ ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කරනුයේ නොබෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මොනොවට ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වෙත් ද , බඹසර කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත්‍වය තමා මැ දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ යි. “ජාතිය ක්‍ෂය වියැ, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලද, මෙ රහත් බව සඳහා කළමනා අන් කිසෙක් නැතැ”යි වෙසෙසින් දත්තේ යැ. ඒ මහණ රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 9.
රාධ සූත්‍රය
71. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, කිසෙයින් දන්නා කිසෙයින් දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍වනිමිත්තයන්හිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයධර්‍මයෝ නො වෙත් දැ යි?
රාධය, අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇත් ද, ආධ්‍යාත්ම හෝ බාහිර හෝ ඖදාරික හෝ සූක්‍ෂම හෝ හීන හෝ ප්‍රණීත හෝ දුරැ හෝ ළඟැ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් විඥානයෙක් ඇත් ද, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරැ වේවයි ළඟැ වේවයි යම් කිසි විඥානයෙක්
ඇත් ද ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දකියි. රාධය මෙසේ දන්නා මෙසේ දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍ව නිමිත්ත විෂයෙහිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයයෝ නො වෙත් යි ... ආයුෂ්මත් රාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර වූහ යි.
1. 2. 2. 10.
සුරාධ සූත්‍රය
72. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, කිසෙයින් දන්නාහුගේ කිසෙයින් දක්නාහුගේ සිත සවිඥානක වූ මේ කයෙහිත් බැහැර රූපාදි සියලු නිමිති විෂයෙහිත් අහිඞ්කාර (-දිට්ඨි) මමිඞ්කාර (-තණ්හා) මාන පහවූයේ වේ ද, මාන කොටස් මැනැවින් ඉක්මැ වූයේ ක්ලේශව්‍යපශමයෙන් ශාන්ත වූයේ කෙලෙසුන් කෙරෙන් මිදුණේ වේ දැ යි?
සුරාධ, ආධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම්කිසි රූපයෙක් ඇත් ද දුර හෝ ළඟ හෝ යම් රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්‍යක් ප්‍රඥාවෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්සිකි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයෙක් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.
සුරාධ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ විඥාන සහිත කයෙහි ද, බාහිර සියලු නිමිත්තයන්හි ද දිට්ඨි - තණ්හා - මානයෙන් පහවූයේ වෙයි, මාන කොටස් මොනොවට ඉක්මැවූයේ ශාන්ත වූයේ මොනොවට මිදුණේ වෙයි. ... ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර කෙනෙක් වූහ යි.
දෙවැනි අරහන්තවර්‍ග යි.
එහි උද්දානය:
උපාදිය, මඤ්ඤමාන, යළි අභිනන්‍දනා අනිච්ච, දුක්ඛ, අනත්ත, අත්තනිය, රජනීය, රාධ, සුරාධ දැ යි සූත්‍ර දශයකින් දෙවැනි වර්‍ගය පිරුණේ වෙයි.
3. ඛජ්ජනීය වර්‍ගය
1. 2. 3. 1.
අස්සාද සූත්‍රය
73. සැවැත්නුවර:
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ ආශ්වාද ද,ආදීනව ද, නිස්සරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාද ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ ආස්වාදත් ආදීනවත් නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදත් ආදීනවත් නිස්සරණත් ඇති සැටි දනී යි.
1. 2. 3. 2.
පළවැනි සමුදය සූත්‍රය
74. සැවැත්නුවර:
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ සමුදයත්, අස්තඞ්ගමයත්, ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණයත් ඇතිසැටි දනී යි.
1. 2. 3. 3.
දෙවැනි සමුදය සූත්‍රය
75. සැවැත්නුවර:
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද, ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි දනී යි.
1. 2. 3. 4.
පළමුවැනි අරහන්ත සූත්‍රය
76. සැවැත්නුවර:
මහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය ද, එය දුක යි. යමක් දුක් ද, එය අනාත්ම යි. යමක් අනාත්ම ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේ” යයි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය යි. යමක් අනිත්‍ය ද, එය දුක යි. යමක් දුක් ද, එය අනාත්ම යි. යමක් අනාත්ම ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ.” යයි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු.