Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 501-600 න් 15083

1. 5. 9.
මච්ඡරි සූත්‍රය.
[දෙවි:]
49. දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද්ද,
ඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද් ද,
(ඔහු) නරකයට ද, තිරිසන් යෝනියට ද, යමලෝකයට ද පැමිණෙත්. ඉදින් මිනිසත්බවට එත් නම්, යම් කුලයෙක වස්ත්‍ර ආහාර කාම සම්පත් හා ක්‍රීඩා දුක සේ ලැබෙද් ද, (එබඳු) දිළිඳු කුලයෙක උපදී.
ඒ අඥානයෝ මෙරමාගෙන් (යමක්) බලාපොරොත්තු වෙත් නම්, එය ද ඔවුන්ට නො ලැබේ. මෙලොව ඒ විපාක යි. පරලොව ද දුගතිය වේ.
[දෙවි:]
ගෞතමය වහන්ස, මෙසේ මෙය දැනුම්හ. අනෙකක් විචාරමු. යම් කෙනෙක් මේ ලෝකයෙහි මිනිසත්බව ලැබ පහ වූ මසුරුමල ඇත්තාහු බුදුන් දහම් සඟුන් කෙරෙහිත් පැහැදුනාහු අතිශය ගෞරව ඇත්තාහු (වදාන්‍ය) දන්කලු වූහු ද,
ඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
යම් කෙනෙක් මේ ලෝකයෙහි මිනිසත්බව ලැබ පහ වූ මසුරුමල ඇත්තාහු බුදුන් දහම් සඟුන් කෙරෙහිත් පැහැදුනාහු අත්‍යන්ත ගෞරව ඇත්තාහු (වදාන්‍ය) දන්සොඬ වෙද්ද, ඔහු යම් තැනක උපදිද් ද, ඒ ස්වර්‍ගයෙහි මොහු බබලත්.
ඉදින් මිනිසත්බවට එත් නම්, යම් කුලයෙක වස්ත්‍ර ආහාර කාමවස්තු හා ක්‍රීඩා නිදුකින් ලැබෙද් ද (එබඳු) ආඪ්‍ය කුලයෙක උපදිත්.
අනුන් විසින් රැස් කරණ ලද භෝගයන්හි එහි හිමියන් මෙන් සතුටු වෙත්. මෙලොව ඒ විපාක යි. පරලොවත් සුගතිය වේ.
1. 5. 10.
ඝටීකාර සූත්‍රය
[ඝටීකාර දෙවි:]
50. භික්‍ෂූහු සත්නමක් සත්නමක් අවිහබඹලොවට පැමිණියාහු මිදුනාහු රාගද්වේෂයන් ක්‍ෂය කළාහු (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළාහු ය.
තරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්‍ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් තරණය කළාහු කවුරු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සංඛ්‍යාත ඕරම්භාගිය සංයෝජන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජන) පසත් ඉක්ම ගියාහු ද?
උපක පලගණ්ඬ පුක්කුසාති යන තිදෙන ද, භද්දිය භද්‍දදේව බාහුදන්ති පිඞ්ගිය යන (සිවුදෙන ද) යන ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.
[භගවත්හු:]
මාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට ‘අනවද්‍යයහ’යි බෙණෙහි (පසස්නෙහි). ඔහු කවරෙකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද?
[ඝටීකාර:]
ඔහු යමකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේ නොහැර යි. මුඹ වහන්සේගේ සසුන ද නොහැර යි.
යම් නිවණෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද, මේ සසුනෙහි ඔහු ඒ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ය.
[භගවත්හු:]
ගැඹුරු වූ දැන ගැණීමට දුෂ්කර වූ අතිශයින් දුරවබෝධ වූ වචන කියහි. තෙපි කවරෙකුගේ ධර්‍මය දැන මෙබඳු වචන කියහු ද?
[ඝටීකාර:]
පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙකිම් වීමි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපාසකයකු වූයෙම් මවුපියන් පොෂණය කරන්නෙකිම් වීමි.
මෙවුන්දමින් වෙන් වූයෙම් නිරාමිස (=අනාගාමී) බ්‍රහ්මචාරියකු වූයෙමි. තොප හා එකගම වසන්නෙකිම් වීමි. පෙර තොපගේ යහළුවෙකිම් වීමි.
ඒ මම රාගදේවේෂයන් ක්‍ෂය කළ ලොව තෘෂ්ණාව තරණය කළ මිදුනු මේ භික්‍ෂූන් සත්නම දනිමි.
[භගවත්හු:]
භාර්‍ගවය, යම්සේ කියහි නම් එකල්හි මේ එසේ වී ය. පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙක් වූයේ ය. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසක වූයේ මවුපියන් පෝෂණය කරන්නෙක් වූයේ ය.
මෙවුන්දමින් වැළකුනු නිරාමිස බඹසර ඇත්තෙක් වූයේ ය. මා හා එක ගම වසන්නෙක් වූයේ ය. පෙර මාගේ යහළුවෙක් වී ය.
[තෙරහු:]
වඩන ලද සිත් ඇති අන්තිම සිරුර දරණ පැරණි යහළුවන් දෙදෙනකුගේ මේ එක්වීම මෙසේ විය.
ආදිත්ත වර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
ආදිත්ත, කිංදද, අන්න, ඒකමූල, අනෝම, අච්ඡරා, වනරෝප, ජේතවන, මචේඡර, ඝටීකාර සූත්‍රයයි දශයෙකි.
6. ජරා වර්‍ගය
1. 6. 1.
ජරා සූත්‍රය
51. සැවැත් නුවර –
[දෙවි:]
ජරාව තෙක් කුමක් මැනවි ද? කිමෙක් පිහිටියේ මැනවි ද? මිනිසුන්ට කුමක් රුවන වේ ද? සොරුන් විසින් කුමක් පැහැර නොගතහැකි වේ ද?
[භගවත්හු:]
ජරාව තෙක් ශීලය මැනවි. ශ්‍රද්ධාව පිහිටියා මැනවි. මිනිසුන්ට ප්‍රඥාව රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ.
1. 6. 2.
අජරසා සූත්‍රය
[දෙවි:]
52. නොදිරීමෙන් කුමක් මැනවි ද? කිමෙක් (ස්වසන්තානයෙහි) පිහිටියේ මැනවි ද? මිනිසුන්ට කුමක් රුවන වේ ද? කිමෙක් සොරුන් විසින් පැහැර නොගතහැකි වේ ද?
[භගවත්හු:]
නොදිරීමෙන් ශීලය මැනවි. ශ්‍රද්ධාව පිහිටියා මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ.
1. 6. 3.
මිත්ත සූත්‍රය.
[දෙවි:]
53. බැහැර වසන්නහුට මිත්‍රයා කවරෙක් ද? සිය ගෙහි මිත්‍රයා කවරෙක් ද? කටයුතු ඇත්තහුට මිත්‍රයා කවරෙක් ද? පරලොව මිත්‍රයා කවරෙක් ද?
[භගවත්හු:]
බැහැර වසන්නහුට සාත්තුව (තවලම) මිතුරා ය. සියගෙහි මිතුරා මව ය. කටයුතු ඇත්තහුට යහළුවා නැවත නැවත මිතුරා වෙයි. තමා විසින් කරණ ලද පින් ඒ පරලොව මිතුරා වෙයි.
1. 6. 4.
වත්‍ථු සූත්‍රය
[දෙවි:]
54. මිනිසුන්ට කුමක් පිහිට වේ ද? මෙහි උතුම් යහළුවා කවරෙක් ද? පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් (ඒ) සත්ත්‍වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද්ද?
[භගවත්හු:]
54. පුත්‍රයෝ මිනිසුන්ට පිහිට වෙත්. බිරිය ම උතුම් යහළු ය. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් ඒ සත්ත්‍වයෝ වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.
1. 6. 5.
පඨමජනෙති සූත්‍රය
[දෙවි:]
55. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට මහත් බිය වේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුක ඔහුට මහත් බිය ය.
1. 6. 6.
දුතියජනෙති සූත්‍රය
[දෙවි:]
56. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කුමකින් නො මිදේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුකින් නො මිදේ.
1. 6. 7.
තතිය ජනෙති සූත්‍රය.
[දෙවි:]
57. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට පිහිට වේ ද?
[භගවත්හු:]
තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. කර්‍මය ඔහුට පිහිට වෙයි.
1. 6. 8.
උප්පථ සූත්‍රය.
[දෙවි:]
58. කිමෙක් නොමග ය යි කියන ලද්දේ ද? කිමෙක් රෑ දාවල්හි ගෙවේ ද? බඹසරට කිලුට කිමෙක් ද? දිය නැති නෑම කිමෙක් ද?
[භගවත්හු:]
රාගය නොමග ය යි කියන ලද්දේ ය. වයස රෑ දාවල්හි ගෙවේ. ස්ත්‍රිය බඹසරට කිලුට ය. මේ සත්ත්‍වසමූහයා මෙහි ඇලේ. තපස ද බඹසර ද (යන) එය දිය නැති නෑමයි.
1. 6. 9.
දුතියා සූත්‍රය
[දෙවි:]
59. පුරුෂයාට කවරක් දෙවැන්නී වේ ද? කවරෙක් ඔහුට අනුශාසනා කෙරේ ද? කිමෙක මැනවින් ඇලුනු සත්ත්‍ව තෙමේ සියලු දුකින් මිදේ ද?
[භගවත්හු:]
ශ්‍රද්ධාව පුරුෂයාට දෙවැන්නී වේ. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරෙයි. නිවණෙහි මැනවින් ඇලුනු සත්ත්‍ව තෙමේ සියලු දුකින් මිදේ.
1. 6. 10.
කවි සූත්‍රය
[දෙවි:]